Tuesday, December 4, 2012

කිරි මුහුදේ ඈත කොණක | Far away home


ආභස්සර ජීවියාට නිශ්චිත අත් පා වගේම මුහුණක් තිබුනෙත් නෑ. ජල්ලි හැඩති විනිවිද පෙනෙන ශක්ති ප්‍රවාහයක් ජීවියාගේ සිරුර වුණා. ශක්ති ප්‍රවාහය මැද යමක් ගැස්මක් ඇතිව දිස්න දුන්නේ ජීවය සංකේතවත් කරමින්. ආභස්සර වාසීන්ට තිබුණේ සරල නාමකරණ, බොහෝ විට ඒවා එක ශබ්දයක් පමණක් වුණා. මේ ජීවියාගේ නම මා. මා තම නිවස කියල හඳුන්වා ගත් තැනට ඇවිත් විවේක ගන්න සැරසුණා. ඒත් මා'ට හිතේ සහනයක් තිබුනේ නෑ.

මීට කලින් දවසක මා අභාස්සර ලොවින් බොහෝ ඈත පෘථිවිය නම් හඳුන්වා තිබු ග්‍රහ ලොවට අයත් සිනමා පටයක් අහම්බෙන් බලා තිබුණා. එහි වූ ජීවින් දෙදෙනෙක් ඔවුන් එකිනෙක වෙත දැක්වූ සෙනෙහස මා ට ඉතා ආගන්තුක වුණා. මනුෂ්‍යයන් එය හැඳින් වුයේ ප්‍රේමය නමින්. අභාස්සර වාසීන් එකිනෙකාට විශේෂ සැලකීමක් වත් නොසැලකීමක් වත් දැක්වුයේ නෑ. හිතමිතුරු බව පවා මා කිසිදාක අත්දැක තිබූ දෙයක් නෙවෙ යි. සිනමා පටයේ චරිත දෙක එකිනෙක වෙනුවෙන් කොපමණ කැපවෙලා හිටියාද කිව්වොත් තමන්ගේ ජීවිතය පවා පුදකරන්න හැකියාවක් තිබුණා. අන්තිමේදී ඔවුන් දෙදෙනා වෙන්ව යනවා. මා ට එක්වරම මින් කිසිදාක නොදැනුණු විදිහේ සංවේදනයක් දැනෙන්න ගත්තා. තමන්ගේ ජීවය ඇති තැන කවුරු හරි මිරිකා තලා දානවා වගේ දැනෙනවත් එක්කම මුළු ඇඟම තාපයෙන් දැල්වෙනවා කියල හිතිලා මා නොසන්සුන් කමින් එහේ මෙහේ ගලායන්න ගත්තා.

මා තම අනන්ත වූ දත්ත ගබඩාව පිරික්සල තමන්ට මොකද වුණේ කියල හොයන්න ගත්තා. හැඟීම්, ඒ තමයි මා ට ලැබුණු පිළිතුර. මනුෂ්‍යන් තුල වූ ස්වභාවික දෙයක් බව මා දැන ගත්තේ ඒ එක්කම යි. මනුෂ්‍යයන්ට දැනෙන දේ තමන්ට දැනුන දේ තමන්ට දැනෙන්න ගැනීම මා ට ප්‍රශ්නයක් වුණා. මා තීරණය කළා චිත්‍රපට නොබලා ඉන්න. කාලය ගත වුණත් සිනමා පටයේ මතකය අත්හරින්නට මා ට පුළුවන් වුනේ නෑ. ඒ විදිහට තමන්ට ආදරය කරන කෙනෙක්, තමන් ආදරය කරන්නට කෙනෙක්, ආදරය මොනවගේද වගේ ප්‍රශ්න වලින් මා ගේ හිත වැහිලා තිබුණා. උත්සාහය සාර්ථක වුණේ නෑ. මා නැවත වරක් චිත්‍ර පටයක් බලන්න ගත්තා. එහි ප්‍රේමවන්තයන් දෙදෙනා අවසානයේදී එක්වෙනවා. මා ගේ මුළු සිරුර හරහාම විදුලි එලි විහිදුණා, හිත ප්‍රබෝධමත් වුණා. සතුට, ඒ ඒ හැඟීමේ නම.

ඉන් පස්සේ මා ගේ දවස ගත වුණේ පෘථිවි සිනමා නිර්මාණ අතරින්. විවිධ තේමා වල විවිධ කෝණ වලින් නිර්මාණය වූ ඒවා භාෂාවේ ප්‍රශ්නයක් නැතිවම විඳින්නට මා ට පුළුවන් වුණා. විවිධ හැඟීම් වෙන වෙනම හඳුනා ගන්නට පමණක් නෙවෙයි, යම් තරමකින් තමන්ටත් හැඟීම් දැනෙන්නත් පුළුවන් වුණා. මා කවදාවත් නොසිතු අන්දමින් තමන්ටත් හැඟීම් දැනෙන්නට පටන් ගනිමින් තිබුණා. මනුෂ්‍ය වාසීන්ගේ විවිධ ගති ලක්ෂණ එක්ක තමා තුල හටගන්නා හැඟීම් සංසන්දනය කළා. වෙනදා පෝෂණය පිණිසම අවකාශය හරහා උරාගත් ඵල වල රසය විඳින්න, ඒවායේ රස වෙනස වටහා ගන්න, අලුත් රසයන් හඳුනා ගන්න අලුත උපන් ආශ්වාදයකින් මා පිරිලා ගියා. මනුෂ්‍යයන් කන බොන පරිද්දෙන් කෑම තෝරන්න මා පටන් ගත්තා. අලුත් දේ දැන ගැනීමේ නවතම ආසාවකින් මා ඇලිලා හිටියා. ආශාව; ඒ හැඟීමට මා ආශා කළා.

සිනමා පට බැලීමත් එක්කම පෘථිවිය ගැන ලියවුනු දෑ කියවන්න පටන් ගත්ත මා තුල අලුත් ආශාවක් දැනෙන්න ගත්තා. ඒ තමයි පෘථිවිය බලන්න යාම. අභාස්සර ලොවේ තාක්ෂණය දියුණු නිසා ඒක නොකළ හැක්කක් නොවුනත් මෙවැනි යමක් අභාස්සර ජීවියෙක් කළ බවට මා අසා තිබුනේ නෑ. කුතුහලයත් සමග එකතු වූ ආශාව මගින් මා තරු දොරටුව වෙත එක්ක ගෙන ආවා. මා දන්නා හඳුනන තවත් වැසියන් කිහිප දෙනෙක් මා එක්ක එකතු වුණේ ඔවුනුත් පෘථිවිය ගැන දැනගත්තාට පස්සේ. ගමනාන්තය සටහන් කළ මා සමග පිරිවර දොරටුවෙන් ඇතුළු වුණා.

පෘථිවිය සිනමා පට වල දක්කටත් වඩා මා හිතුවටත් වඩා වෙනස් ව පෙනුණා. ඉහල ඉමක් නැති නිල් ආලෝකයත් පහතින් පැතිරගත් ලා කහ පැහැයත් මා ගේ සිත් ගත්තා. "මේ බිම, යුෂ උර බිලා බලන්න" මා සමග ආ අයෙක් මනොමයෙන් දැනුම් දුන්නා. මා තමාට පහතින් වූ මෘදු තලය ඉව කරන්නට ගත්තා. කිසි දාක වින්ද නැති ආකාරයේ රසයකින් මා ප්‍රමෝධයට පත් වුණේ නිතැතින්. මා ඒ රසයට තව තවත් ලොල් වන්නට ගත්තා. "අපි යන්න ඕනෑ" අයෙක් කිව්ව ම යි මා නැවතත් පියවි සිහියට පැමිණියේ. මා ප්‍රතික්ෂේප කළා. මා ට පෘථිවිය දමා යන්න කිසිම වුමනාවක් තිබුනේ නෑ. අත්දකින්න මෙතරම් දේ ඇති, විඳින්න අනන්ත දේ ඇති ලෝකයක් දාල යන්න මා අකමැති වුණා. නැවත යායුතු අය යද්දී මා සමග කිහිප දෙනෙක් නැවතුණා. මේ සුන්දර ග්‍රහ ලොව වෙත හටගත් ඇල්ම මා ව සතුටට පත් කළා. මේ තමයි ජීවත් වීම; මාගේ නිගමය වුණේ එය යි.

ප.ලි. : මෙය ලියුවේ බුදු දහමේහි එන අග්ගඤ්ඤ සුත්‍රය ඇසුරෙනි. එය ගෞතම බුදුන් වාසෙට්ඨ නම් බමුණෙක් උදෙසා කළ දේශනාව කි. එහිදී කුල භේදයේ ආරම්භය පැහැදිලි කිරීම සඳහා පෘථිවිය තුල ජීවයේ උපත ගැන බුදුන් මීට සමාන අදහසක් ඉදිරිපත් කර යි.

Friday, November 30, 2012

අමා (විෂ) ඵලය | Intoxicated Life


අපායට මුල් ඇද එයින් ජීවය ලද
පැළවුණු කුඩා ලොවි ගස
හුළඟින් ද පහර වැද වැද
ප්‍රාණවත් විය, ඵල නෙලන තරමට

නමුත් එක ගෙඩියකි එහී
වෙන කිසිවකුත් නැති
මවු මරා උපන් කුමරෙකි
ලොවි ගස අභාවයට යතී

රුහිරු පැහැයෙන් සැරසී එය
විෂ බින්දු එන්නත් කළෙමි මම
කල් යල් බලා හනිකට
පිළිගන්වමි පසමිතුරු හට

මරණයෙන් එය සංතෘප්ත
හුස්ම තද කරයි බිඳ බිඳ
හද ගැස්මේ අවසන් හඬ
අසා සැනසුනෙමි මම

රුදාවකින් හිස බමන්නට විය
ක්ලාන්ත වී වැටෙන්නට විය
අත තිබූ පැන් බඳුන කැඩී
හාත්පසම පැතිරෙන්නට ගතී

මා ගත් තැතම ඔහුත්
ගෙන ඇත මා මරුමට
ඵලක් නැත්තේ නැත මෙය
අවසන් වේ නම් මින් මතු

"මිනී මරන්න තහනම්; ඒ නිසා මිනීමරුවන්ට දඬුවම් ලැබෙනවා, හැබැයි ඒ ඔවුන් මරන්නේ බෙර සද්ද මැද්දේ විසල් සංඛ්‍යා වලින් නෙවෙයි නම්." - වොල්ටෙයාර්

Wednesday, November 21, 2012

පාරාදීසයක අතරමංව | Lost In Paradise


ලංකාවේ ජීවත්වෙනවා කියන්නේ ප්‍රථම ත්‍යාගය දිනපු ලොතරැයියක් තමන් ම නැතිකරගන්නවා වගේ වැඩක්. ජයග්‍රහණ කොච්චර ලැබුවත් අන්තිමට දිනලා නෑ. එතකොට පරාජිතයෝ? එහෙම උන් ඇත්තෙත් නෑ. පරාජිතයෝ නැති වීම සතුටට කාරණයක් වෙන්න ඕනේ වුණත්, පරාජිතයෝ අතුරුදන් වීම සැක කරන්නේ ජයග්‍රාහිකයන්ගේ දිනුම. අන්තිමට කවුරුවත් දිනලා නැත්තේ ඒකයි. ජයපරාජයෙන් තොර තැනක් සාමකාමී නිසසල විය යුතු වුණත් ලංකාව එහෙම නෑ. සාධාරණ තරඟ නැතිකොට සාධාරණ දිනුම් ඇත්තෙ නෑ.

ගොඩක් අයට උත්ප්‍රාසය කියන දේ තේරෙන්නේ නෑ, ඒ හින්ද උත්ප්‍රාසයෙන් ලියපු යමක් සැබෑවට අරන් තමන්ම තමන් විහිළුවක් කරගන්නවා දැක්කම හිනා යනවා. ඒත් ජාතිවාදී කතා උපහාසයට ලක් කරමින් ලියූ යමකට එකතුවුණු 'පොරටෝක්' දැක්කහම "අනේ මෝඩයෝ!" කියල හිනාවෙන්න බැරිවුණා. පුරවැසියෙකුට තමන්ගේ රටේ ජීවත් වෙන්න තියන අයිතියට ගරු කරන්නේ නැති අයට වචනයකින් පවා අනෙක් ජාතියක අයෙක්ට රිදෙන්න පුළුවන් කියල කීම විහිළුවක් බව තේරුම් ගන්න මට කල් ගියා.

ඇමරිකාවේ විසිවෙනි සියවසේ මැදක් වෙනකම්ම තිබුණු ජාතිවාදය අත්හැරලා ඔවුන් මේ වෙනකට සෑහෙන දුරක් ඇවිල්ල. වචන බාවිතයේදී පවා ඔවුන් සැලකිලිමත් වුණේ නැතිනම් සමාජයෙන් බැනුම් අහන්නට වෙන්නේ නිතැතින්ම යි. ඒ විතරක් නෙමෙ යි; කලා නිර්මාණ වලදී පවා විවිද ජාතින් නිරූපණය කරන්න ඔවුන් උත්සහ ගන්නවා. ලංකාවේ කිසියම් කලා නිර්මාණයක සිංහල නොවෙන අනෙක් ජාතියක අයෙක් නිරූපණය වෙන නැත්තම් අඩුම තරමේ ඔවුන් ගැන කතාවෙන අවස්ථා කීයක් ගණින්න පුලුවන්ද? සුළුතර ජනවර්ග නියෝජනය වුණොත් අකමැති වෙන නැත්තම් පුදුම වෙන තරම ට ම ඒක සාමාන්‍යකරණය වෙලා. එහෙම වෙන්නේ භාෂාමය ප්‍රශ්නයක් නිසා කියල මම මාවම සනසවා ගන්න ගත් උත්සාහය සාර්ථක වුණේ තාවකාලිකව යි.

ජාතිවාදය ගැන, එහි ඇති වැරැද්ද ගැන කියන එක තේරුමක් නැති තැන මම ඒ ගැන කතාකරන එක නැවැත්තුවා. මම දන්නවා ඒක කම්මැලියෙක්ගේ නැත්තම් බයගුල්ලෙක්ගේ ලක්ෂණයක් තම යි. ඒත් අනිත් අයගේ මතය අහන්නවත් උවමන්වක් නැති, තමන්ට වඩා වෙනස් මත දරන්නන් මරල දානකන් බලන් ඉන්න අයත් එක්ක කතාව බොහොම වෙහෙසකර යි, රළු යි. මම ඉස්කෝලෙදි පරිසර සංරක්ෂණ සංගමයක සාමාජිකයෙක් වෙලා හිටියා. ඒ සංගමය ගැන ඉස්කෝලේ ළමයි අතරත් සමහර ගුරුවරුන් අතරත් පිළිගැනීමක් තිබුනේ නෑ. කොටින්ම කිව්වොත් අපද්‍රව්‍ය කළමනාකරණය වගේ ව්‍යාපෘති හින්ද ඒක එක්තරා විහිලුවකට භාර අරන් තිබුනේ. කොහොම වුණත් අපි ඉස්කෝලේ අතුගාන කුණු එකතු කරන අයත් එක්ක පවා එකට වැඩ කළා, කරන් ආපු ව්‍යාපෘති දිගටම කරගෙන ගියා, ආරාධිත පාසල් එක්ක වැඩමුළු පැවැත් වුවා, අන්තර් පාසැල් තරඟ වලින් දිනපු අවස්ථාත් තිබුණා. ඔය කොච්චර දේ කළත් අපිව විහිල්ලුවකට ගත්ත අය නැති වුනේ නෑ. කොච්චර බාධක තිබුනත් තමන් නිවැරදි යැයි පිළිගත් දේ වෙනුවෙන් පෙනීසිටීම ගැන ඉගෙන ගත්තේ එහෙමයි. ඒ නිසා මගේ ගොළු බව ගිමන් හරින කම් විතර යි.

රටක බහුතරය, සුළුතරය තමන්ව අවරෝධනයට ලක්කරනවා කියල කෑගහන එක විකාරයක් තම යි. ඒත් නොයෙක් විකාර අතරේ ඕකත් විශ්වාස කරන අය අඩු නෑ. කිසිම තාර්කික බවක් නැති තොරතුරු, නිගමන අනෙක් අයෙක් කියූ පමණින් පිළිගන්නේ තමන් තමන්ටම හිතන්න හැකියාවක් නැති හින්දද, නැත්තම් කවුරුවත් කියූ පමණින් දෙයක් පිළිගන්නට හුරු කරපු නිසාද? කොහොම වුණත් ලංකාවේ අනන්‍යතාවය මොකද්ද, ලාංකිකයන්ගේ අනන්‍යතාවය මොකද්ද කියන දේට ඇති උත්තරය හොයන්න පුළුවන් කාටද. ස්වාධීනත්වය ගැන නොදන්නා අයගෙන් අනන්‍යතාවයක් බලාපොරොත්තු වෙන්නේ අමාරු යි. තමන් වෙනුවෙන් තමන් සිතනවා නම් ඇති විය හැකි ප්‍රශ්න කීයක් වලක්වා ගන්න පුලුවන්ද.

පාරාදීසයක ඉඳලත් එහි සුන්දරත්වය විඳින්න බැරි අවාසනාව නිසා කියල හිත හදාගන්න පහසු නෑ, අනෙක එහෙම කරන්න උවමනාවකුත් නෑ. වැරැද්ද වැරද්දක් බව තේරුම් ගන්න කොතරම් කල් යනවද කියන දේ තමයි ප්‍රශ්නය. සමහර විට කොතරම් කල් ගත වුණත් කොතරම් අත්දැකීම් ලැබුවත් නොපිළිගන්නා උදවිය නොඉන්නවා නෙමෙ යි. ඒත් තාම බලාපොරොත්තු හිඳිලා ගිහින් නෑ. වඩා යහපත් අනාගතයකට ඇති හීන තම එහෙම්ම ම යි. එතකම් මම රස්තියාදු වෙනවා, පාරාදීසයක අතරමං වෙලා වෙලා ඉන්නවා. එතකන් -කව්රු බිම දැම්මත් කාට අහුලන්න නියම වෙලා තිබුණත් පරිසරය වෙනුවෙන් කොළ අහුලපු (විටෙක තවමත් අහුලන) මට- මම විශ්වාස කරන දේ වෙනුවෙන් හැම වෙලාවකම කතාකරන්න අපහසු වෙන එකක් නෑ.

Monday, November 5, 2012

සඟවන කැස්ස


"මට කැස්ස!" මම කැහැල පෙන්නුවා.
"හාං?"
"ඇත්තටම මට කැස්ස"
"ඉතින්? මට මොනවද කරන්න කියන්නේ..."

ඊට පස්සේ මම එයාට කැස්ස ගැන කියන්න ගියේ නෑ. එයා ඇහුවෙත් නෑ.

"මේ ඔයාට මතකද දවසක් මට කිව්වා ඔයාට කැස්ස කියලා" කාලෙකට පස්සේ එයා ඇහුවා.
"ආං එහෙමද?"
"ඔව්වොව්, අහන්නකෝ ඉතින් දැන් මට කැස්ස වගේ"
"ඉතින් මම දැන් මොකද කරන්නේ?"

එයා මොනවත් කිව්වේ නෑ, ලජ්ජාවෙන් වගේ හිනාවුණා විතරයි.

"ඔයාට මතකද අපිට කැස්සක් හැදුණා, කාල දෙකකදි"
"ම්, ඔව් ද කොහෙද, ඉතින්?"
"අපි දෙන්නටම එකම කාලෙකදී කැස්ස හැදුනානම්?"
"ඔයා කියන්නේ වෙනසක් වෙන්න තිබුන කියලද?"

මම ඔලුව වැනුවා.

"මේ" මම කතා කළා.
"ම් ඇයි?"
"මිනිස්සුන්ට කැස්ස නැතුව ජීවත් වෙන්න අමාරුයි"
"මම නම් ඕවා දන්නේ නෑ"
"බොරුකාරි!"
"හරි හරි, මම ටිකක් විතර දන්නවා ඉතින්..."
"ඒකනේ, ඉතින් කියන්නකෝ"
"වැඩක් නෑ"

එයා උත්තර දුන්නේ නෑ, මම බලකළෙත් නෑ.

"ඔයාට දැන් කැස්සක් ඇත්තෙම නැද්ද?"
"නෑ මම හිතන්නේ..." එයා අවිශ්වාසයෙන් උත්තර දුන්නේ.
"ඔහොම කියල බෑ, හරියටම කියන්න."
"මේවා හරියටම කියන්න බෑනේ"
"මටනං පුළුවන්"
"මටත් පුළුවන් ලූ..."

එයා මාව තල්ලු කරලා දුවන්න ගත්තා, මට හිනා.

Thursday, October 25, 2012

කබ්බෝ ෆෝම් කිරීම; ලිංගිකත්වය

පහුගිය දවසක ලංකාවේ ප්‍රසිද්ධ ෆෝරම් එකක ප්‍රශ්නයක් අහල තිබුණා, "ඇයි කැම්පස් යන කෙල්ලෝ සෙක්ස් ෆන් ගන්න බය වෙන්නේ නැත්තේ?" කියල. ඒ ප්‍රශ්නෙටම තව අධ්‍යාපන සුදුසුකම් තියනවා නම් කාත් එක්ක සෙක්ස් කළත් ඒ කෙල්ලන්ව බඳින්න අය ඉන්න නිසාද කියලත් මේවට වගකියන්න ඕනේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය නිසා කියල කොහෙන්දෝ මන්ද හොයාගත්ත තර්කෙකින් බැනලත් තිබුණා. ඒ පොස්ට් එකේ දිගට කතා කරන යද්දී සමහරක් අයට එක කන්‍යාභාවය ගැන ප්‍රශ්නයකුත්, සුද්දට බනින්න අවස්ථාවකුත්, සෙක්ස් ගැන කතාකරමින් ගන්න ස්වයංවින්දනයකුත්, රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට බනින්නත්, නිදහස් අධ්‍යාපනයේ වැරදි හොයන්නත් අවස්ථාවක් වෙලා තිබුණා. කොහොම වුණත් අනුන්ගේ ලිංගික සම්බන්ධතා අපිට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල අහපු පිරිසකුත් නොහිටියා නෙමෙයි.

මේ මාතෘකාව පට්ට ගහපු ඩෙනිමක් වගේ. තැනින් තැන ඉරිලත්, නිල පාට හේදිලා ගිහින් සුදුපාට වෙන්න ඔන්න මෙන්න වෙලත් තව හොඳන්න වෙලා. මීට අවුරුදු හයකට විතර කලින් ඉඳල සිංහල බ්ලොග් පටන් ගත්ත කාලෙදිම ලිව්ව ප්‍රසිද්ධ මාතෘකාවක් වෙලත් අඩුම තරමේ අන්තර්ජාලයේ වත් පෞද්ගලිකත්වය ගැන, අනුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ගැන, ලිංගිකත්වය කියන්නේ මැජික් එකක් නෙමෙ යි කියන එක ගැන කීදෙනෙක් ඉගෙනගෙන තියනවද කියන එක ප්‍රශ්නයක්. සාපේක්ෂ වශයෙන් නිදහස් ස්වාධීන තැනක් හැටියට ගැනෙන තත්‍යසම පරිසරයකත් මෙහෙම නම් ඉන් පිටතදී මේ ගැන ආකල්පය කොහොම වේද? ඒක අතකින් ඒක පුදුමයකුත් නෙමෙ යි. වැඩිහිටි ගැහැණු පිරිමි ඉන්න කාමර ඇතුලට ඇවිත් කුදලාගෙන පොලිසියක් ඇති, 'අපේ පුතානම් ගෑනු ළමයෙක් දිහා බලන්නේ වත් නෑ" කියා ප්‍රශංසා කරන දෙමාපියන් සිටින, අලිංගික වීම උත්කර්ෂයට ලක්කළ සමාජයක මෙවැනි ප්‍රතිචාර බලාපොරොත්තු විය යුතුයි. කකුළුවා යන්නේ ඇදේට නම් කැකුළු පැටව යන්නෙත් ඇදේට.

ලංකාවේ අන්තර්ජාලය හරිම ග්‍රාම්‍යයි. චින්තන කියන විදිහටම ඒක "වර්ල්ඩ් වයිඩ් වෙබ් එක ලංකාවේ ගමයෝ ඕපාදුප කතාකරන කඩපිලක්". අපේ රටේ වැඩියෙන්ම පිවිසුම් වාර ගණනක් ඇති සිංහල වෙබ් අඩවිය වන ගොසිප් සයිට් එකකට යන්නේ ඕපාදුප කියවන්න. නිරන්තරයෙන් අලුත් දැනුම මතවාද එකතුවෙන තැනක් එකතැන පල්වෙන කඩයක් වුණහම මේ ග්‍රාම්‍ය මිනිස්සුන්ට අලුතින් යමක් එකතු වෙන්න ඇති අවකාශය නැතිව යනවා. ඉතින් ලාංකික සමාජයත් ලංකාවතුල අන්තර්ජාලයත් තුල ලිංගික අසහනය පිටකරගන්න අවස්ථාව අහිමි වෙනවා. සරල ලෙස 'මටත් ලිංගික අසාවන් තියනවා' කියල කියාගන්න බැරි වෙනවා, ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න බැරි වෙනවා. ඒ තුලින් ඇති වෙන්නේ පීඩනයක්. සමාජය තුල දූෂණ/අතවර විදිහටත් අන්තර්ජාලය තුල මේ වගේ ප්‍රශ්න අහන එක, ටැටූ ගහපු කෙල්ලන්ට බඩු කියල බනින බ්ලොග් පොස්ට් දාන එක වගේම ගොසිප් සයිට් එකකට ගියහම ඒවාට දමන කමෙන්ට් වලිනුත් ඔවුන්ගේ පීඩනය සමනය කරගන්න හදනවා.

මම මෙහෙම කියල දූෂකයන්ව වත් ලිංගික හිංසකයන්ව වත් සාධාරණීකරණය කරන්න උත්සහ ගන්නවා නෙමෙ යි. එසේ වීම ඇති හැකියාවන් විමසුවා පමණ යි. කාටවත් වරද පැටවීමෙන් තේරුමක් නෑ. කොයි හේතු මත වුවත් තමන් උවමනාවෙන් කළ වැරැද්ද වරද්දක්ම තමයි. තමන්ගේ වැරද්දක් තියනවා නම් නිවැරදි කරගත යුතුත් තමන් ම යි. ලිංගික ආශාවන් ස්වභාවික බවත්, ඒවා ඉටු කර ගැනීම මානුෂික බවත්, ඒසේම එය තම තමන්ට පෞද්ගලික වූ දෙයක් බවත් දැන ගත යුත්තේත් තමන් ම යි. දෙදෙනාගේම කැමැත්ත ඇතිව, නිසි පරිස්සමක් සහිතව කිසිවෙක් ලිංගිකව කීදෙනෙක් සමග කෙතරම් වාර ගණනක් යෙදුනත් ඇය හෝ ඔහු පහත් කොට සැලකීමට අනෙකුකට සාධාරණ හැකියාවක් නෑ. මොකද එක ඔවුන්ගේ ස්වාධීන අයිතියක් නිසා, ඒක ඔවුන්ගේ පෞද්ගලිකත්වය නිසා. ඔවුන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය පිට කෙනෙකු ඉදිරියේ (පොලිසිය ඉදිරියේ පවා) දිගහැරිය යුතු නෑ. සමාජයක පෞද්ගලිකත්වයට, පුද්ගල නිදහසට හා අයිතීන්ට ගරු කරන්නේ එහෙමයි.

අපිට තියෙන්නේ ප්‍රශ්න නෙමෙ යි, ප්‍රශ්න කියල මවාගත්ත ෆැන්ටසි. එහෙමත් නැත්තම් ප්‍රශ්න විය යුතු ඒවා අපි ප්‍රශ්න හැටියට භාරගන්නේ නෑ, ඒ ගැන කතාකරන්නේ නෑ, කතාකරන්න බොහෝ දුරට දැනුමක් නෑ. මේ ප්‍රශ්න නොවෙන ඒවාට තවත් ප්‍රශ්න නොවෙන ඒවත් එකතු කරගෙන මහා අච්චාරුවක් හදාගෙන ඒක රහ කරකර කන්න අපි දක්ෂයි. එහෙම වෙද්දී සැබෑ ප්‍රශ්නයක් කතාකරද්දී අපිට තරහයි ආතල් එක කුඩු වුණ නිසා. එතකොට ඇත්ත ප්‍රශ්න කතාකරන එකා 'පිස්සෙක්' (ඇත්තටම මේ හඳුන්වන පදය තම තමන්ගේ හිතළු අනුව වෙනස් වෙනවා; දේශද්‍රෝහියා, බටහිර ගැත්තා, වනචරයා වගේ) වෙනවා. ඉතින් පිස්සන් අතර තවත් පිස්සෙක් වෙලා සාමාන්‍යය යැයි කියා ගන්නවද, පිස්සන් අතර පිස්සෙක් නොවී 'පිස්සා' කියල අහගන්නවද?


Sunday, October 14, 2012

කව්ද මැරිලා, ඉබේටම.

'කව්ද මැරිලා' එහෙම කිව්වේ කව්ද කියල මට දැන් මතක නෑ. 'කව්ද' කියල කිව්වට මැරුණු කෙනාව නොදනන්නවා නෙමෙ යි. ඒ අපේ මාමා. අම්මගේ බාලම මල්ලි. පොඩි කාලේ සිද්ධවෙන දේවල් මතක හිටින්නේ චිත්‍ර විදිහට, ඒක පුදුමයි. පාට පාට චිත්‍ර; හරියට පාට පාට හීන වගේ, හීන වලට විතරක් සීමා වුණ හීන. සමහර චිත්‍ර සැබෑ නොවෙන මතක විදිහටත් හිතාගන්න අවස්ථා තියනවා වුණත් මේක එහෙම නොවෙන බවට විශ්වාස යි.

එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. මිනිස්සුන්ගේ මරණ වලට සත පහක අවධානයක් නොමු නොවුණු, හැම කෙනෙක්ටම මිලක් නියම වුණු, දේශද්‍රෝහියා දේශප්‍රේමියා බවට තප්පරයෙන් වෙනස් වුණු, හමුදා සෙබළුන් 'රණවිරුවන්' ලෙස හැඳින්වූවේ නැති කාලයක් ඒ. මළ ගෙදර දවසක් ඇතුලත ඉවර කරන්න හැමෝම කතාවෙලා තිබුණා. වැඩි දෙනෙක් සහභාගී නොවුණු නිසා ඒක අපහසුවක් වුණෙත් නෑ. මාමා වගේ කෙනෙක් මියගියහම ඒ මළ ගෙදරට යාමත් අවධානම් දෙයක් බව දැන ගත්තේ පස්සේ යි. මට මාමව බලන්න ඕනේ කිව්වහම ඒකට අම්මා ඉඩ දුන්නේ නැතුව අඬන්න පටන් ගත්තා. තාත්ත මාව වඩාගෙන කිව්වේ 'බලන්න දෙයක් නෑ පැටියෝ' කියල විතරයි.

එදා හවසම මාමව වැළලුවා. කනත්තට පයින්ම ගිය අය පයින්ම ආවේ කතාවක් නැතුව. කිසිම දෙයක් දැක්කේ, ඇහුවේ, දැනුනේ නැති අබ්බගාතයෝ වගේ. මම ප්‍රශ්න අහන්න ගියේවත් කරදර කාලේ වත් නෑ. වෙනදා සෙල්ලම් කරන්න එන මාමා දැන් නැති බව දැනෙන්න මට ටිකක් කල් ඕනේ වුණා. මාස කිහිපයක් යනකම්ම ගෙදර හැමෝම කතාකලෙත් හිමින්. නෑදැයෝ දන්නා අඳුන අයත් ඉඳල හිටලා ඇවිත් ආච්චිව මුණ ගැහුණා. 'අතුරුදන් නොවී හිටිය එකවත් මදෑ...' 'දැන් ඉතින් ඕවට දුක් වෙලා වැඩක් නෑ...' 'අපි නම් ඔහොම වෙයි කියල කලින්ම කිව්වා, කොහෙද අම්මල පුතාලට විප්ලව කොරන්න ඕනේ වුනානේ!' වගේ ඒවා කියනවත් ඇහුණා.

දවසක් මම කම්මැලි වෙලා ඉන්නකොට සෙල්ලමක් කරන්න හිතුණා. සෙල්ලම තමයි 'මාමගේ මළ ගෙදර'. මළ ගෙදර අයයි, නිදන් ඉන්නව වගේ මැරුණු මාමයි හැමෝම විදිහට රඟපෑවේ මංම යි. මාමගේ මළ ගෙදර නොතිබුණු දෙයකුත් මගේ අතින් එකතු වුණා. ඒ කතාවක් කිරීම. කොහෙන් හරි මළ ගෙවල් වල කතා පවත්වනවා කියල මම දැන ගෙන හිටියා. මාමගේ කාමරේට ගිහින් ඇඳේ මෙට්ටේ යට තිබුණ පෝස්ටරයක් බිත්තියේ එල්ලලා එහෙම මම කතාව කරන්න පටන් ගත්තා.

"ඔව්, අද ඔබ මෙහි පැනීම සිටින්නේ මළ ගෙදරක් සැමරීමට යි. මගේ මාමා මැරිලා, ඒ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ. ඇයි කියල ඇහුවහම කවුරුවත් කිව්වෙත් නෑ. මට දැන් සෙල්ලම් ක-" මට කතාව කරන්න ලැබුණු නෑ. දිගට හරහට කම්මුල් පහරවල් ගණනාවක් ලැබුණා. තාත්තට යක්ෂයා ආවේශ වෙලා හිටියේ. "ඈ යකෝ තෝ මොනවද මේ කියවන කුණුහරප... මරණයක් කියන්නේ සෙල්ලමක් කියල හිතුවද..." තාත්තගේ පහරදීම තවත් වෙලාවක් පැවැතුණා, නැවතුනේ ආච්චි ඇවිත් නතර කළාට පස්සෙ යි. අම්මා බය වෙලා වගේ ඉඳන් අඬන්න ගත්ත විතර යි. මට අඬන්නවත් මතක් වුණේ නෑ. පහර කෑමෙන් මම තෙහෙට්ටුවට පත් වෙලා ගොළුවුණා.

තාත්තගේ තරහ හිතුවට ඉක්මනට අඩුවුණා. සමහරවිට අම්මයි ආච්චියි දොස් කියන්න ඇති. තාත්තා ඇවිත් මාව වඩා ගත්තා. ටිකක් වෙලා පාර දිගේ ඇවිද්දා. මගේ දිහා බලල හිනාවෙලා "පුතා මාත් එක්ක තරහද?" ඇහුවහම මම ඔලුව වැනුවා. "මට ඕනේ මාමා ගැන කතාවක් කරන්න විතරයි තාත්තේ..." මම ටික වෙලාවකින් කිව්වා. තාත්තා මාව තදින් බදාගත්තා.


ප.ලි. : මේක මගේ පෞද්ගලික අත්දැකීමක්වත් කවුරුවත් මට සෘජුව කියූවක් ඉදිරිපත් කිරීමක්වත් නෙමෙ යි, 1989 වසර පසුබිම් කර ලියූ ප්‍රබන්ධයක් පමණ යි.

Thursday, October 11, 2012

අඩි | Steps


ඩි. වේගයෙන් තබන, වේගයෙන් ඔසවන අඩි. අඩි තබන වාරයක් පාසා උඩ විසිවන වතුර. අහස කුසෙන් ඇද හැලෙන වතුර. චිරි චිරි හඬින් බිම පතිත වෙන වතුර බිඳු. ත්ලොප් හඬින් මුහුණේ ගැටෙන වතුර බිඳු. කුඩ ඉහල ගෙන වැස්සෙන් මුවා වෙන්න අඩි ඉක්මන් කරන මිනිස්සු. එහෙම යන අතෙරේදී අනෙකා ගැන නොසිතන මිනිස්සු. මිනිස්සු අතරේ ඇඟේ වැදෙමින් පැද්දෙමින් ගාටන ඔහු. වත්කම් සරු කර ගන්නට අනෙක් මිනිස්සුන්ගේ සතුට උදුරා ගන්නා ඔහු.

ඔහු තමාව ගිජු ලිහිණියෙක් හැටියට උපමා කරගත්තා. කාන්තාරෙක ඉහල අහසේ සැරිසරමින් ගොදුරු හොයන, සුදුසු ගොදුරක් ඇස ගැසුනොත් මුදා නොහරින, ගොදුරක් නැති දාට ගොදුරක් මවා ගන්නා, තනිව හැසිරෙන ගොරුදුකරගන්නෙක්. සමාජ ශෝධකයෙක්. ඒ වගේ නමකින් වෙනත් අයෙක් ඔහු තමාව හැඳින්වුවා නම් බාර ගන්නත් තිබුණා. මිනිස්සු ගොදුර ගැන කම්පා වුණාට ගොදුරුකරගන්නා ගැන කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. ඒත් ඒ ස්වභාවය කියල පිළිගන්නේ නැතිව ඉන්නේ කොහොමද? ඔහු පියවර තැබීමේ වේගය වැඩි කළා. ගිජු ලිහිණියට ගොදුරක ඉවක් දැනිලා.

ගොදුර ඇඳන් හිටියේ මිල අධික ඇඳුමක් නිසා බැලූ බැල්මට සල්ලි තියන බව පෙනුණා. සල්ලි. සල්ලි තමයි ප්‍රධාන අපේක්ෂාව. ගොදුරෙන් බලපොරෝත්තු වෙන්නෙත් සල්ලිම තමයි. ගොදුර තරුණ ගැහැණියක්. ඇය කුඩයක් ඉහලාගෙන පරිස්සමින් අඩි තබමින් බස් නැවතුමට ගියා. ෆෝන් එක එලියට අරන් කාටද කතාකරන්න පටන්ගත්තා. ගිජු ලිහිණියාගේ කටයුත්තට දැන් පහසුයි, ඇස් දිලිසුනේ ඒ එක්කම යි. පදික වේදිකාවේ ඉන්න මිනිස්සුන්ව නාවගෙනම බස් එකක් නැවැත්තුවා. ගොදුර කුඩේ ඇකිලුවේ දුරකථනය කනේ තියාගන්න උත්සහ කරමින්. ගිජු ලිහිණියා ගොදුර වෙත ඇදුනා, සද්දේ ඇහෙන්නේ නැතිව අඩි තියන බළලෙක් වගේ. අඩි තබන මිනිස්සු අතරේ අඩි නොතබන්නෙක්.

ඇය බසයට ගොඩ වෙනවත් එක්කම ඔහුට දැනුන කාලය ගතවීම ඉතාම මන්දගාමී වෙනවා. හරියට ඒ කාල පරතයට දෙපැත්තෙන් ප්‍රති විරුද්ධව ආතතීන් යොමු වුණා වගේ. ඉතින් ගිජු ලිහිණියත් ගොදුර වෙත යොමු වුණා. අඩියෙන් අඩිය ඇය වෙත ළඟා වුණේ කිසි වගේ අවධානය නොලබමින්. ඇය බස් රථයට ගොඩ වෙන කොටම ඔහුගේ ඇත ඇයගේ බෑගයේ ඇතුලට ගිහිල්ල පසුම්බිය එලියට අරගෙනත් ඉවරයි. 'යමක් අමතක වුණා' වගේ පොඩි රඟපෑමකින් පස්සේ ඔහු ලෙහෙසියෙන්ම බසයෙන් බැස්සා. බසය ඉදිරියට ඇදෙද්දී ඔහු හිටියේ බසයට පෙනෙන මානයෙන් බොහෝ ඈත. තමන්ගේ ගොදුර ගැන ගිජු ලිහිණියා චුට්ටක්වත් පසුතැවිලි වුණේ නෑ. අනුන් වෙනුවෙන් දුක්වීමේ අවධිය පහුකරලා කලක් ගතවෙලා තිබුණා. ගිජු ලිහිණියා ගැන කිසිවෙක් නොසිතද්දී ඔහු අන් ඇය ගැන හිතන්නේ මොකටද? 'මා, මම හා මාගේ' ඔහුගේ ආදර්ශ පාඨය වුණා.

ගිජු ලිහිණියට එක්වරම කුඩා දරුවෙක් එක අතකිනුත් අනෙක් අතින් ලොකු මල්ලකුත් එල්ලගෙන යන මවක් ඇස ගැටුණා. දරුවයි මල්ලයි නොතෙමි තියාගෙන සමබරව ඉන්න ඈ ලොකු උත්සහයක් ගත්තා. උත්සාහය සාර්ථක වුණේ නෑ; මල්ල කිහිප වතාවක් බිමට වැටිලා වතුර ගෑවුණා. ඒ අම්මව හොඳටම තෙමිලා, මල්ල තරමක් තෙමිලා, දරුවා නොතෙමි ඉන්න හැටි ටික වෙලාවක් ගිජු ලිහිණිය බලන් හිටියා. මොහොතින් මොහොත ගත වෙද්දී ගිජු ලිහිණියාගේ 'ගිජු' කොටස අවකාශයේ අතුරදන් වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඔහු ලිහිණියෙක්. නිකම්ම නිකන් ලිහිණියෙක්. හුළඟේ පාවෙන සැහැල්ලු වැහි ලිහිණියෙක්.

ඔහු නැවතත් අඩි තබන්න පටන් ගත්තා. ඔහුට නොදැනීම, දැනීම ඔහු ඇවිත් නැවතුනේ පාළමක් උඩ. යටින් ගඟක් ගලාගෙන ගියා. වැස්සෙන් එකතු වුණ මඩ වතුර, තැනින් තැනින් ආපු කුණු, කොහෙන්හරි එකතු වුණු කළු පාට තෙල් පදාස එක්ක මිනිසුන්ගේ සුසුමුත් ගඟ මුහුදට අරන් ගියා. සාක්කුවේ පරිස්සමට තියා ගත්තු පසුම්බියෙන් සල්ලි කොළ ගණන් කරන්නේවත් තමන්ට කීයක්වත් ඉතිරි කරගන්නේවත් නැතුව ඔහු ඒවා ඉරන්න පටන්ගත්තා. ලිහිණියා ඒවා ඉරුවේ පිළිවෙලකට. එකවතාවක්, ඊටපස්සේ ගොඩවල් දෙකම අල්ලලා අයෙත් වතාවක් වශයෙන් කිහිපවතාවක් කරද්දී සල්ලි කොළ කෑලි මිටියක් ලිහිණියා අතේ ඉතුරු වුණා. ලිහිණියා අත අතහැරියා චුටි චුටි සල්ලි, ධනයේ සංකේත ගොන්නක් පාවෙමින් ගිහින් ගඟට එකතු වුණා. කුණු ගඟට තවත් කුණු.

තප්පර කිහිපයකින් ලිහිණියාගේ ගිජු බව ආයෙත් දළුලන්න වුණා. ඔහු තමනුත් කුණු ගොඩක් බව දැනගත්තත් ගඟට පැනල පාවෙලා යන්න බැරි බව දැනුණා. වතුර වගුරවමින් වලවල් වල ඕන කමින් වැටෙමින් යන වාහන අතරට ඔහු නැවතත් එකතු වුණා. ජීවත් වෙන කුණු ගොඩට ගිජු ලිහිණියා නැවතත් පියාසර කරන්න ගත්තා. ඒත් තටු නැති ඔහු පියාසර කරන්න තැබුවේ අඩි. අඩි; වතුර විසි කරමින් නැවතත් මඩ වතුර පාගමින් තබන අඩි.

Monday, October 1, 2012

වැඩිහිටි තොත්ත බබාලා


ප්‍රංශ මනෝ විශ්ලේෂකයෙකු වූ ෂක් ලැකාන්ට (Jacques Lacan) අනුව පියෙකුගෙන් ඉටුවිය යුතු ප්‍රධාන කාර්යන් දෙකකි. එනම් රැකවරණය හා තහනම්කාරී වීම ලෙස ය. එහෙත් පසුගිය දශක දෙකක (විටක තුනක) සිට සමස්ත පියවරුන්ගෙන් ඉටුවන්නේ රැකවරණ කාර්ය පමණකි. දරුවන්ට කෑම පිසදෙන, පාසලට රැගෙන යන, පාසල් අවසන් වන තෙක් ගේට්ටුව අසල රැඳී සිටින පියවරුන් දුර්ලබ නැත. එහෙත් රැකවරණය පමණක් ඉටු කරන පියා, සැබෑ පියෙක් නොවේ, තවත් මවක් ම පමණි. (රැකවරණය වරදක් බව කිසි විටක මෙයින් අදහස් කෙරෙන්නේ නැත.) ලැකාන් මෙහි අදහස් කරන පියා සැබවින්ම භෞතික පියෙක් නොවේ, ඔහු සංකේතිය පියෙකි. සංකේතීය පියාගේ කාර්ය මව සහ කුඩා දරුවා අතර සංකේතීය දුරස්ථ බවක් නිර්මාණය කිරීම යි. එමගින් දරුවා නීතිය පිලිබඳ අදහසක් වර්ධනය වෙයි, සංස්කෘතික පරිසරයට යොමුකරවයි.

සංකේතීය පියා නොලද දරුවන් තම ළමා වියේ වැදගත් වර්ධනීය අවදියක් අතපසු කරගනියි. කායිකව වර්ධනය වුවත් මානසිකව නොවැඩුණු ඔවුන් තවමත් දරුවන් ය. තම දෙමාපියන්ගේ වෙන්වී සංකෘතික සමාජය තුල ස්වාධීන වීම කළ නොහැකි මොවුන්ට කුමන හෝ අන්දමකින් අනෙකෙකු මත යැපීමට සිදුවේ. තමන්ගේ ම කියා අදහස්/මත නැති සෑම දෙයටම දෙමාපිය සරණ පතන වැඩිහිටි දරුවන් දුර්ලබද? දෙමාපියන් සොයාදෙන රැකියාවක් කරන, හඳුන්වාදෙන කෙනෙකකු සමග විවාහ වෙන, කියන කලට කියන ගණනට ළමුන් වදන දරුවන් නැත්තේ නැත.

වර්තමාන සංස්කෘතිය සකස් වන්නේ ළමුන්ට පමණක් වීම වෙනම කතාවකි. වැඩිහිටියන්ට පමණක් වූ දේ වාරණය මෙන්ම ළමුන් මුල්කරගෙන වන වැඩිහිටියන්ගේ නිදහස සීමා කිරීම් වලින් සකස් වන්නේද ඉහත කී ආකාරයේ වැඩිහිටි දරුවන්ට ම ගැලපෙන පරිසරයකි. කලාව, සමාජය ළමුන්ට ම ගැලපෙන සේ සාධන මෙවන් යැපෙන්නන් ගෙන් පිරෙන රටක් කෙබඳු වේද? දැනටමත් තරමක් එසේ වී ඇති නිසා අවට සමාජය නිරීක්ෂණයෙන් ඒ බව හඳුනාගත හැකිය. සාධනයක් නැති බව දැන දැනත් ඒ ඒ පුද්ගලයන්ම තමන්ගේ නියෝජිතයන් ලෙස ඡන්දයෙන් තොරගන්නෙත්, කෙනෙක් යමක් හොඳයි (හෝ නරකයි) කීවිට 'ඔව්, එසේමැයි' කියා හිස නමා පිළිගන්නෙත්, වැඩිහිටියන් වෙනුවෙන් තැනු යමක් වාරණය වෙද්දී එය හිස් මුදුනෙන් සම්මත කරන්නෙත් වැඩිහිටි දරුවන් මිස වෙන කවුද?

පියා මෙසේ සංකේතීය පියාගේ කාර්යභාරය අත්හැර ඇත්තේ දරුවා කෙරෙහි ඇති අර්චන කාමය (Fetish) හේතුවෙනි. ඔහු දරුවා වස්තුවක් ලෙස සලකා රක්ෂණය කරයි, කවයි පොවයි, පරිස්සම් කරයි. අනුන් ඉදිරියේ තම දරුවාගේ හපන්කම්, කටකාරකම් ගැන කියමින් ආශ්වාදයක් ලබයි. කොටින්ම දරුවා දරුවෙකු ලෙස නොව තමා සතු වස්තුවක් ලෙස සලකයි. (කෙනෙකුට මෙය පශ්චාත් නුතන සමාජයක ලක්ෂණ ලෙස නැති නම් ධනවාදයේ අතුරු විපාක ලෙස හන්දිවිය හැක.)

ඉහත සඳහන් කළ සංකේතීය පියාගේ කාර්යය අනුන්ගෙන් යැපීම වැළකීමයි. එහෙත් තහනම්කාරී නොවන රැකවරණය පමණක් ඉටු කරන පියා අනුන්ගෙන් යැපීමට දරුවා හුරු කරවයි. අනතුරක් ඇති අවස්ථාවලදී ඊට මැදිහත් වීමෙන්, දරුවට තමන්ටම කරගත හැකි වැඩ කරදීම ආදියෙන් ඔහු ස්වාධීන නොවූ දරුවෙක් බිහිකරයි. උපතේ සිට කූඩු කර තැනු කුරුල්ලා නිදහස් කළ විට වන දෙයම සමාජය එළඹෙන මෙවන් දරුවන්ටත් සිදුවෙයි. ඉතින් මෙය කියවා 'දැන් අපි කුමක් කරමු?' දැයි නොඅසන්න එසේ ඇසීම ම ඔබ යැපෙන්නෙක් බව තහවරු කරන්නකි.

Wednesday, September 12, 2012

දර්ශන හතරක්; එක කතාවක්


I

ඇය අල්තාරය ඉදිරිපස දණ ගසාගෙන සිටියා ය. අත් එකිනෙකට බැඳී තිබුනද ඇය යාතිකා කළේ නැත. අගේ චෛතිසික ඒකාග්‍රතාව හාවෙකු මෙන් තැන තැන පැන පැන ගියෙන් ඇයට හාවා අල්ලා කූඩු කරගත නොහැකි විය. ඇය කුරුසයේ ඇණ වලින් පසාරු වූ ලේ ගලන අත් ඇති ජේසුස් දෙස දෑස් යොමු කළා ය; එසේ සිටිනා විට දැනෙන වේදනාව ප්‍රශ්න කිරීම මෝඩ කමකි. තමන්ටවත් උදව් කරගත නොහැකි මිය ගිය කෙනෙකුගෙන් ආධාර පැතීම නිෂ්ඵල බැවින් ඇය නැගිට ගත්තේ පිටව යාම සඳහා ය.

පල්ලියේ දීර්ග පුටුවක කෙළවරක ඇස්කොට් තොප්පියක් පැළඳි මිටි මහත මිනිසෙක් ඇය හමුවීම පිණිස හිඳ ගෙන සිටියේ ය. ඈ සෙමෙන් අඩි තබමින් පැමිණ ඔහු අසලින් වාඩිවිය. ඔහුගේ ඇස් තොප්පියේ සෙවනැල්ලට ලක්ව නොපෙනී ගොසිනි. චප්ප වූ නාසයේ තුඩ පමණක් පල්ලියේ මලානික ආලෝකයෙන් දිස්න දෙමින් පැවතියේ ය. නොසන්සුන් කමින් බර වූ ඇය තම අතැඟිලි දෙස බැලුවාය.

"මෙතනින් එළියට ගියහම ඉවරයි." ඔහු බැරෑරුම් හඬකින් කිවේය.

ඇය හිස සැලුවේ ඇය ඔහු කී දේ වටහාගත් බව පැවසීම ට යි. ඊළඟ ඔලුව සෙලවීම් ඇයගේ අනුමැතිය නොලබා සිදුවූ අතර සුළු මොහොතකින් එය සියුම් ඉකි ගැසුමකටත්, තවත් මොතොයකින් කඳුළු පෙරාගත් බෙරින්හන් දීමකටත් දක්වා පරිවර්තනය විය. කොහේදෝ සිට මතු වූ කන්‍යා සොයුරියක් ඇය වෙත පැමිණෙද්දී තොප්පි කාරයා සොයුරිය වෙත කුඩා පිස්තෝලයක් මාන්න ගත්තේ ය. සොයුරිය ක්ෂණයකින් සිටි තැනම ගල් වූවා ය.

II

ඒ ස්ථානය තනිකරම අන්ධකාරයෙන් මුදවා ගන්නේ එක් විදුලි බල්බයකින් පමණි. බල්බයට පහතින් පුටුවක් ද පුටුව මත සිහිසුන් අත් පා බැඳී මුඛය වැසි මිනිසෙක්ද සිටි යි. ඊට දෙපසින් නින්ජා ක්‍රමය අනුගමනය කරමින් උවමනාවෙන් කට වසාගත් තුවක්කු කරුවන් දෙදෙනෙක් ගල්පිලිම මෙන් සිටගෙන ඇත. උඩුකය බැනියමකින් පමණක් වසාගත් යෝධයා පැමිණෙන්නේ එවිට යි. යෝධයා පැමිණියේ වතුර බල්දියක්ද රැගෙනය; බල්දියේ වතුර එක්වරම රඳවාගත් තැනැත්තා මතට හිස්විය. ක්ෂණයෙන් විශාල හුස්මක් ගත් ඔහු නැවත සිහිය ලබා ගැන්මට සමත් විය.

"වල් පරයා!" යෝධයා ගුගුලේ ය. "තෝ ලෑස්තිද?"
රඳවාගත්තා හිස සැලීය.
"මොකද්ද කිව්වේ? ඔව් ද නැද්ද කියපිය..."
නැවත ඔහු හිස සැලීය.
"සිංහලෙන් කියපිය වේස බල්ලෝ, සිංහල!"
ඔහු 'ඔව්' යැයි සැලකිය හඬක් පිට කළේ ය.

නින්ජා අනුකාරකයෙක් ට සන් කළ යෝධයා රැඳවියාගේ මුඛ අවාරය ඉවත් කරන ලෙස අණ කළේ ය. මුඛය නිදහස් රැඳවියා සුසුමක් පිට කළේ ය.

III

එය සුඛෝපභෝගී පුස්තකාල කාමරයකි. ඔහු දුම් පයිප්පයක දුමෙහි සුවඳ අල්ලමින් සිටියේ ය. ඔහු ඉදිරියේ ඇති කුඩා බංකුව මත විවෘත කළ පොතට අසල චිමිනි ලාම්පුවේ ආලෝකය පතිත විනි. පොත් කියවන්නා සිටියේ පැරණි මතකයක් තුල නැවත ජීවත් වෙමිනි. ඔහු එයට ආශා කළ අතර පුරුද්දක් වශයෙන් මනෝලෝක වල සංචාරය කළේ ය. ඉඳහිට ඒ සංචාරක සටහන් කොළ වල කුරුටු ගා තම මිතුරන් හා හුවමාරු කරගනිමින් සතුටු වූ අවස්ථාද ඇත. මෙවර ඔහු සංචාරය කළ ලෝකය හරිත වනයකි. ඒ වනයේ ඉමක් පෙනෙන්නට නොවී ය. ශිෂ්ටාචාරයකට අසන්න ම දෙය එක්තරා ගෝත්‍රික ගම්මානයක් පමණකි.

ඔහු ගෝත්‍රිකයන් සමග ඉතා ඉක්මනින් කුළුපග විය. ගෝත්‍රිකයෝ ද ඔහුගේ පැමිණීම සතුටට කරුණක් ලෙස සැලකූහ. ඔහුගේ පාර භෞතිකයන් හැම විටම එසේම විය. සැවොම මිත්‍රශීලි මෙන්ම කාරුණික වූ අතර සෑම කතාවකම අවසානය සතුටක්ම විය. ඔහු ගෝත්‍රික දරුවන්ට ගණිත පාඩමක් කරමින් සිටින අතරතුර දුරකථනය නාද විය. ළමුන්ට ශබ්ද නොකරන ලෙස අවවාද කළ ඔහු දුරකථන ඇමතුම ලබාගත්තේය.

ඇමතුම ලබාදුන් තැනැත්තා මොනවාද කිව්වේ ය, ගණිත ගුරුවරයා ඒවාට හිස සැලීය. ඇමතුම විනාඩි කිහිපයකින් අවසන් විය. හුන් තැනම මොහොතක් ගත කළ ඔහු යම් කිසිවක් සොයන්නට මෙන් අසල තිබු මේස වල ලාච්චු හරින්නටත් අල්මාරි වල දොරවල් හරින්නටත් පටන්ගත්තේ ය. අවසානයේ ඔහුට උවමනා දේ සමුවිය. එය තම සාක්කුවේ හොව ගත් ගුරුවරයා 'තමන්ට වැදගත් රාජකාරියක් ඇති පවසා අද දිනට පාඩම අවසාන බව' ළමුන්ට පැවසුවේ ය. පුස්තකාල කාමරයෙන් යන්නට හැරුණු ඔහු අඩි කිහිපයක් තබා නැවත ආවේ තම දුම් පයිප්පය වෙතයි. දුම් පයිප්පය දත් අතර සිරකරගත් ඔහුට යම් සහනයක් දැනී සිනා පහල විය.

IV

කන්‍යා සොහොයුරිය ආපසු දිව ගියා ය. තොප්පිකරයා එවර පිස්තෝලය ඇය වෙත හැරවුයේ ය. ඇය එක්වරම නැගිට ගත්තා ය. තොප්පිකරයා පල්ලියෙන් ඉවත් වන මෙන් සන් කළෙන් ඇය ඔහුට අවනත විය. සෙමින් හා ඉක්මන් යන රටාවක් රහිත පරිද්දෙන් පා තැබූ ඇය පල්ලියෙන් පිටතට පැමිණියා ය. පිටත පරිසරය සැන්දෑ කහ/තැඹිලි හිරු එළියෙන් නැහැවී තිබිණ. යෝධයා හා ඔහුගේ නින්ජා ගෝලයෝ දෙදෙනා පසෙකින් සිටියේ තවත් මිනිසෙක්ද සමගයි. ඇය ඔහුව මීට පෙර හමුවී ඇති බවට මතකයක් නැති වූයෙන් ඇය තරමක් සතුටට පත් වුවාය.

නින්ජා ලා දෙන්නා අනෙක් මිනිසා සමග සිටිද්දී යෝධයා පැමිණ ඇයව ඉදිරියෙන් අනෙක් රැඳවියා සිටින සේ ස්ථාන ගත කළේය. ඒ මිනිසාට ඇයට තුවක්කුවක් බැගින් බෙදුවේ තොප්පිකරයා යි.

"ඔය තුවක්කුවල තියෙන්නේ එක උණ්ඩය ගානේ. ඒ තමන් ඉස්සරහ ඉන්න කෙනාට වෙඩි තියන්න. වෙඩි තියන කෙනාට දිනුම." තොප්පිකරු පැහැදිලි කළේ ය.

මේවන විට අනෙකාට වෙඩි තැබීමට ඇය තම සිත සදා ගෙන සිටියා ය. එසේ නැති වුවත් දැන් එයට කාලය ප්‍රමාණවත් නොවේ. තුවක්කුව ඉදිරියට දික්කර ගත් ඇය තම ඉදිරියේ සිටින පුද්ගලයා දෙස බැලුවා ය. ඔහු සිටියේ අසිහියෙනි, තමන් ඉන්නේ කොහෙද, කරන්නේ කුමක්ද යන වගක් ඔහු දන්නා බව ඔහුගෙන් දිස් වුයේ නැත. තොප්පිකරයා ගණන් කරන්නට පටන්ගත්තේය.

"එක..."
"දෙක..."
"තු-" ඔහුට ගණන් කිරීම අවසන් කිරීමට ඉඩ ලැබුනේ නැත. කොහේදෝ වෙඩි ශබ්ධයක් ඇසිනි, ඒ සමගම පයිප්පකරයා දර්ශන පථයට ඇතුල් විය. ඇයට එක්වරම හුස්ම ගැනීමට අපසුවක් ඇති වී ක්ලාන්ත විය. පයිප්පකරු යෝධයාට එල්ල කළ වෙඩි පහර එල්ලවී තිබුනේ ඇයට යි. "දෙවියනේ" ඔහුට කියවිණි. සිදුවූ දෙය තේරුම් ගත් වනම රැඳවියා උඩ පැන සතුට ප්‍රකාශ කළේ ය. ඒ කෑගසුම නැවතුනේ ඔහුගේ පපුවටද උණ්ඩයක් ගමන් කිරීමෙන් අනතුරුවයි.

"ඇයි?" රැඳවියා අවසාන වතාවට විමසීය.
"ඒ දිනුම ඔට්ටු නෑ" තොප්පිකාරයා කීවේ ය.

සුඛාන්තයක් වෙනුවෙන් කළ ව්‍යායාමය නිෂ්ඵල වීමෙන් කළ කිරුණු පයිප්පකරු සිටියේ  දුක්බර මුහුණක් සහිතව ය. අවසාන වතාවට බිම වැටුණු ඇයගේ හා රැඳවියාගේ නිසල දේහයන් දෙස බැල්මක් හෙලු ඔහු නැවත යන්නට සැරසුණි. නින්ජා ගෝලයෝ දෙදෙනා ඔහු දෙස බලා අත් වැනුවෝය.

Thursday, September 6, 2012

නිෂ්ඵල ආගම

මට සංස්කෘත භාෂාවෙන් කතා කරන්න පුළුවන්.

එතන ආලෝකයක් තිබුනෙම නෑ. ආලෝකයක් නැති නිසා එතන 'තැනක්' වෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක්, අනවශ්‍ය කාරණයක්. ඒත් අනවශ්‍ය කාරණා වලට වැදගත් කමක් ආරෝපණය වෙන, නැත්තම් බලෙන් පටවන අවස්ථා දුලබ නෑ. එහෙම ආරෝපිත 'වැදගත්' කාරණා 'තැන්' නොවන තැන් 'ස්ථාන' බවට පත්කරනවා. මම නටන්න පටන්ගත්තා, මම දිහා බල්ලන්න කෙනෙක්වත් හිටියත් බලන්න හැකියාවකුත් නැති නිසා බාහිර ප්‍රතිචාර ගැන වැඩ වෙන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් නැටුම කියල හඳුන්වන්නේ රිද්මයනුකුල අංග චලනයක් වුනත් මගේ නැටුම කාලයත් එක්ක සමපාත වුනේ නෑ.

එළියක් නැති තැනක එළිය හොයාගන්න අමාරු නෑ. ඒ ආලෝකය හොයාගන්න වෙන්නේ තමා තුලින් ම යි. ඒ හොයාගන්න එළිය කව්‍යත්මකව කියන්නක් නෙමෙයි, භෞථික එකක්. නැටුමත් එක්කම මම එක්තරා සමාධියකට පැමිණියා. ඕනෙමනම් එකට ආවේශ වීමක් කියලත් කිව්වහැකි මම හිතන්නේ. කොහොම වුණත් හඳුන්වන විදිහෙන් වැඩක් නෑ. එහෙම වුණා කියල මම කරන්නේ මොකද්ද කියල මම නොදැනීමක් ඇති වුණේ නෑ. ඇත්තට වුණේ එකේ අනික් පැත්ත මම මම කරන දේ ගැන පූර්ණ අවධානය යොමුකරගෙන හිටියා. තප්පර දශම ගණනක් අතරත් සිදුවන අංග චලනයන් ගැන, ඊළඟට යොමුවන ඉරියව්ව ගැන, සංගීතයේ හැම තාලයක් ගැනම මට යම් කිසි හැඟීමක් තිබුණා. ඒක පාලනය ගැන අත්විඳීමක් නෙමෙයි, පූර්ණ නිදහස තුල අවධානය තබා ගැනීමක්, සමාධියක්.

"මට මාව හොයාගන්න ඕනේ!" මම මාත් එක්කම කතාකරන්න පටන් ගත්තා.
"ඊට කලින් මම මම වෙන එක නවත්තන්න."
"කොහොමද?"
"අත්හැරීම..."
"මම මම වීම අත්හරින්නේ කොහොමද මම මාව දන්නේ නැත්තම්?"
" 'අත්හැරීම' කියන වචනේ තේරුම් අරන් තියනවා වැරදියි."
"එහෙනම්?"
"අත්හැරීම මග ඇරීමක් වත් අමතක කිරීමක් වත් නෙමෙයි. ඒක අවබෝධයක්, උපේක්ෂාවක්."

'මම' කියන්නේ බොරුවක්. තප්පරයක් ගානෙම ඒ බොරුව ජීවත් කරවන්න මම මාව ම මරාගන්නවා. යථාර්තය හා ෆැන්ටසියක් අතර මාව රඳවා තබා ගැනීම තමයි මගේ ජීවිතය. ( කෙනෙක්ට ඒ පරතරය අධි යථාර්තවාදී වීමක් හැටියටත් හඳුන්වන්න පුළුවන්.) ඒක විවේක කාලවලින් තොර සිනමා පටයක්. ප්‍රේක්ෂකයා, නළුවා හෝ අධ්‍යක්ෂකවරයා වගේ කිසිම තනතුරක් මට මම පවරන්නේ නැති වුණත් ඒ චිත්‍ර පටය මගේ. මා වටා ඉන්න පුද්ගලයන්ටත් එහි යම් යම් ප්‍රතිශත වලින් හිමිකාරිත්වයක් උරුමයි. ඒ චිත්‍ර පටයට තිර රචනා ලියන්නාව මුණ ගැහෙන්න සැහෙන කාලයක් බලන් හිටියට එහෙම කෙනෙක් හිටියේ නෑ. සමහර විට ඒ එවන් පුද්ගලයෙක් නැති හින්ද වෙන්න පුළුවන්. මම මට උවමනාවෙන් නොකරන ඒ වුණත් මට බලපාන දේට වගකීම ගත යුත්තෙක් ඉන්න ඕනේ වුණත්, මම තීරණය කළා මම 'මම' වීම වෙන්න ඕනේ මට විදිහට වෙන්න. නැත්තම් සරල විදිහට, මම ඉපදුන වෙලාවේ ඉඳන් කළේ ඒක වෙන්න ඇති. නාට්‍යකාරී වීම, ඇඳුම් අභරණ, හැසිරීම, කැමති/අකමැති දේ පිට කෙනෙක්ට බොරුවක් වගේ පෙනුනත්, (සමහරවිට මට ම ත් බොරුවක් වගේ පෙනෙන) ඒ මම 'මම' වෙනවා වෙන්නත් පුළුවන්.

මම මාව හඳුන්වා ගන්න සංරචක දැන් බොඳ වෙලා ගිහින්. ඒක අතකින් පාර භෞතික සංඥා, නිර්වචන වලින් කිසිවෙක් හැඳින් වීම යථාර්තවාදී නොවන හින්ද ඒකෙ කිසි වැරැද්දකුත් නෑ. මම මාවම හඳුන්වාගන්න කැමතිත් නෑ. කොටින්ම හඳුන්වා ගැනීමක් අවශ්‍යම නෑ. අනන්‍යතාවය කියන්නේ පෞද්ගලික දෙයක්ද කියන එකත් ප්‍රශ්නයක්. මම සිහින දකින මගේ ස්වරූපයයි, මාව කැඩපතකින් පෙනෙන විදිහයි, චිත්‍ර ශිල්පියක් මාව සිත්තම් කරන විදිහයි එකිනෙක අංගසම නෑ. ඒ වගේම ඒ කිසිවක් මගේ හරිවත් වැරදිවත් ප්‍රති නිර්මාණ නෙමෙයි. වැදගත් වෙන්නේ මම මමය කියා බාර ගන්න ස්වරූපය විතරයි. ඒ මම. මම උපන් හැටි. යථාර්තය වෙන්නේ මම මට යථාර්තය කියල හඳුන්වා දෙන දේ.

ඒක සරලයි. මට උවමනා මගේ ෆැන්ටසිය ගොඩ නගන්න මම යථාර්තය භාරගන්න ඕනේ. ඔය විදිහට ෆැන්ටසිය යථාර්තයට හරවන මාධ්‍යය රාශියකින් එකක් තමයි භාෂාව. මේ ලියන්නෙත් භාෂාවකින්, එය ඔය කියවන්නෙත් භාෂාවකින්. මම ලියන භාෂාව ඔබට කියවන්න පුළුවන් වුණා කියල අපේ භාෂාව සමාන වෙන්නේ නෑ, වෙන්න ඕනත් නෑ. හේතුව තමයි; මම. අපි ආයෙමත් මුලට යනවා. මම තවමත් අන්ධකාරයේ නටමින් ඉන්නේ. සමාධියක පිහිටියහම කාලය පරයා යන හින්ද වෙලාව ගැන සඳහනක් හෝ අවධානයක් අවශ්‍ය නෑ. කියපු විදිහටම ආලෝකය හෝ අඳුර කියන්නේ යථාර්තයද කියන එක තීරය වෙන්නේ මට අනුව හින්ද මම ඒ කිසිවක් විස්තර කිරීමෙනුත් වැඩක් නෑ. මම; යථාර්තය තුල සැඟවුණු ෆැන්ටසිය තුල උපදින්න බලන් ඉන්න බොරුවක්.

මේනිසිඛ වෑණිසිඩකට ඈනිසිති ධේනිසියක් නේණිසිවේ. නීනිසිශ්ඵල ප්‍රාණීසියෝගයක් වීණිසිතරයි.

ඔන්න මම සංස්කෘත කතා කළා.

Friday, August 31, 2012

පිරිමියාගේ රෝග ලක්ෂණය හෙවත් ස්ත්‍රිය


(කුඩා දරුවන් මෙය කියවීමට සුදානම්වනවා නම් කරුණාකර එසේ කිරීමෙන් වලකින්න. )
තමාටත් වඩා විසල් කැඩපතක් ඉදිරියේ ඇය නිරුවත්ව සිටියාය. ප්‍රතිබිම්බය ඇය දෙස හෙළුවේ හැඟීම් වලින් තොර බැල්මකි. ඇය තම පිරී නොගිය පියයුරක් තද කොට එහි පුඩුව කෙනිත්තුවේ වේදනාව දැනෙනවද යන්න සැක හැර දැන ගැනීමට මෙනි. ඇයට රිදුනේ නැත, කිසිවක් සංවේදනය නොවුනේද නැත. රිදීමත් ආශ්වාදයත් අතර යමක උවමනාව ඇයට දැනෙන්නට විය. තමා දෙස අවසන් වරටත් බැල්මක් හෙලු ඈ අසල වූ යහනේ වාඩිවිය.

පසෙකින් වූ කුඩා මේසයේ ලච්චුවකින් උවමනාවට වඩා ඔතා තිබු යමක් ඇය එලියට ගත්තාය. පරිස්සමින් එකින් එක ආවරණ ගලවමින් ඇය ඇයවම ලජ්ජාවට පත්කර ගත්තාය. පසුගිය උපන්දිනයට ඇයට මෙය හිමිවුයේ සීත රටක වෙසෙන ඇගේ මිතුරියක ගෙනි. "ඔයාට ඉතින් කවුරුත් නෑනේ. තනිකමට මේක හොඳයි. ඇත්තටම කිව්වොත් පිරිමිත් මේකට පරාදයි." මිතුරිය සෙල්ලම් බඩුව පැහැදිලි කළේ එලෙසිනි. ඇය මෙය අසා ඉතා අපහසුතාවයට පත්ව මුහුණ රතු කරගත්තාය. එහෙත් තෑග්ග ආපසු ගන්න යයි ඇය බල නොකළේ ආචාරශීලි ගුණය නිසාම නොවේ.

ආවරණ වලින් තොරවූ සෙල්ලම් බඩුව හරහා ඇගේ අත කිහිප වරක් එහා මෙහා චලනය විය. එය සිහිල් පිරිමැදීමක්, රළු තද කිරීමක් බවට ක්‍රමක් ක්‍රමයෙන් පත්විය. ඇය සීරුවෙන් ඇඳ මත වතිරුණා ය. තම දෙනෙත් පියාගත් ඈ සෙල්ලම් බඩුව තම කකුල් අතරට ගෙන ආවාය. මොහොතක් දෙකක් කල්පනාවේ නිමග්න වීමෙන් අනතුරුව ඇය ඇගේ දෙවැනි දෙතොල් මත සෙල්ලම් බඩුවේ තුඩ තැබුවා ය. ඉන්පසු කල්පනා කරන්නට දෙයක් නොතිබුයෙන් ඇය යන්ත්‍රය තම සිරුර තුලට ඇතුලත් කර ගත්තාය. ඇය වේදනාවෙන් මිරිකුනේ තප්පර කිහිපයකට පමණි. ඉන්පසු පැමිණියේ ප්‍රමෝදයයි. ඇය එම ප්‍රමෝදයට ඉඩ දෙමින් "අහ්" යන හඬක් පිට කළා ය; ඒ සමගම ස්වරාක්ෂර කිහිපයක්ම පිළිවලින් ඇගෙන් මුවෙන් පිටවුණේ තම අනුමැතිය නොලබමිනි.

ඇයට නොදැනීම ඇය එම ප්‍රහර්ෂය තුලටම කිඳා බැස ගත්තාය. එවිට සෙල්ලම් බඩුව වෙනුවට සිටියේ පෙම්වතෙකි. ලෙයින් මසින් සැදී හදවත ගැසෙනා ඒ පුරුෂයාට පැහැදිලි මුහුණක් නොවීය. ඇයට ඔහුගේ වත දැක ගැනීමට අවශ්‍ය වීද යන්න ගැටලුවකි. තම සිරුර ඉරා දමමින් ඉහල පහල යන ඔහුව තදින් බදාගන්නට උත්සහ ගත්තාය. එහෙත් ඒ උත්සාහය අසාර්ථක වුයේ ඔහුගේ පිට ඇගේ නිය වලින් සීරිමෙනි; නැත, එය සීරිමකට වඩා හූරා දැමීමකි. ඒ හූරා දැමීම කෙතරම් බරපතල වීදයත් ඒවායින් රුධිර බින්දු උනන්නට විය. එලෙස ගැලු ලේ බිඳක් ඇය මතටද වැටුණි, ඇය ඒ දෙස බැලුවේද නැත. තුවාල ලද ද ඇගේ පෙම්වතාගේ උස් පහත් වීම වැඩි වුණා මිස අඩු වුයේ නැත. ඇය ඔහුගේ කර වටා අත් යවා ඔහුගේ අපැහැදිලි මුහුණ සිපගන්නට පටන් ගත්තාය.

ඔහුගේ උස් පහත් වීම තවත් වේගවත් විය. ඇය තවත් ශබ්ද කිහිපක්ද පිට කළා ය. ක්‍රමයෙන් ඈ සූරතාන්තයට ආසන්න විය. දසවන තප්පරයදී ඇය ඔහුව තවත් බදා ගත්තාය. නමවන තප්පරයදී ඔහුගේ පපුව මත ඇගේ අලුත පිරුණු පියයුරු තෙරපිනි. අටවන තප්පරයදී ඔහු ඇගේ පයෝධර තුඩු විකන්නට විය. සත්වන තප්පරයදී ඇය ඔහුගේ තොල සැපුවාය; ඔහු කෑගැසුවේය. සයවන තප්පරයදී ඇය නැවතත් "අහ්" හඬක් පිට කළාය. පස්වැනි තප්පරයදී ඈ ඔහුගේ හිසකෙස් තුලින් තම අතැඟිලි පීරා යැවුවාය. හතරවන තප්පරයේදී ඇගේ දොරට කව්දෝ තට්ටු කරන හඬක් ඇසී නැසී ගියේය. තුන්වන තප්පරයේදී ඈ සූරතාන්තය හිනි පෙත්තටම ළඟා වුවාය. දෙවන තප්පරයේදී තමාව කව්දෝ අමතන බව ඇයට පසක් විය, ඈ ඒ ඇමතීම නොසලකා හැරීමට සිතා ගත්තාය. අවසන් තප්පරයේදී ඈ සූරතාන්තයට එළඹීයා ය.

"...දොර අරින්න ළමයෝ! මොකද කෙඳිරි ගාන්නේ, අසනිපයක් වත් ද? කෝ ඉතින් ඔහොම දොරවහන් කාමරේට වෙලා ඉඳල බැහැනේ..." ඇගේ මව තව මොනවාදෝ කියවමින් සිටියද තම මවට සවන් දීමට ඇයට අවැසි නොවීය. කොටින්ම කිව්වොත් ඇය තම මවගේ කතා ඇසීමෙන් වෙහෙසට පත්වී සිටියාය. අසල තිබු පොරෝනාවකින් තම සිරුර වසාගත් ඕ නිදා ගැනීමට සැරසුණාය.

Wednesday, August 1, 2012

කළු රෝස | Black Rose


සදා චලිත අග්නි චක්‍ර තුල
දියවෙමින් නැවත දළුලමින්
වැඩෙමින් නැවත පණ ලදින්
ගිලන් වූ කෘෂ රෝස ගස

ලෝහිතය අත හැරී අරක්ගත්
කාළ වර්ණ හුදකලා මල මතට
පාවී ආවෙම් අහම්බෙන් මෙන්
අකාලයේ හමන සුළං මග

කඩාගත් තියුණු කටුවකින්
පසාරු කළෙම් ලේ නහර
ජීවය පොවන්නට බිඳු බිඳු
කාළ රෝස මල තුලට

ගිම්හාන දාහයෙන් බැට ලද
මල නැවත පණ ලද්දේ නැත
පිටාර ගලන රුධිර දහරා හමුවේ
ගිලුණා මිසක යාන්ත්‍රිකව

අවසන් ඉකිගැස්ම සමග ඔබ
මරණය සිපගත් රෝස මල
සමුදෙන්නම් යලි හමුවන්නට
මේ චක්‍රයේ කොතැනක හෝ සිට

ප්‍රේමයෙන්ම ගත් හුස්ම
හෙළීමට තවම නොහැකිව
කටු පොකුරු සිප ගනිම්
ආයේ හමු වනු පිණිස

Wednesday, July 18, 2012

බඩු වනාහි? | Miss Independent


කාන්තාවක් ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරන අවස්ථාවලදී හෝ වෙනත් වේලාවන්හිදී හදිසියෙන්වත් ලිංගික අතවරයකට ලක්වුනොත් කාන්තාව 'වැරදිකරුවා' වන අවස්ථාවන් මම පෞද්ගලිකව ඕනෑතරම් අහලා දැකල තියනවා. ඒ කාන්තාව ඊනියා වැරදිකරුවා බවට පත්කරවන එක සාධයක් තමයි ඇය ඇඳ සිටි ඇඳුම්. එසේ කාන්තාව වැරදියි කියල තීන්දුව දෙන්න කඩිනම් පුද්ගලයන්, ඇය තමාව අතවරයට ලක්කරගන්න උවමනාවෙන්ම යම් ආකාරයකින් ඇඳුම් ඇන්දා කියන්න තරම් පහත් මට්ටමට පත්වෙන අවස්ථාත් දුලබ නැහැ. කුමන ආකාරයේ, කොතරම් සම නිරාවරණය ඇඳුම් ඇන්දත් එසේ කරන්නියන් අතවරයට ලක්විය යුතුයි කියල සිතීම කොයි පදනමකින් පණ ලද සිතුවිල්ලක්ද? වැරදිකරුවාගේ වරද සාධාරණිකරණය වෙද්දී වරදට ගොදුරු වූ පුද්ගලයා පිට වරද පැටවෙන අවස්ථා රාශියක් අතරින් තවත් එකකියි මේ.

'Slut Shaming' කියන පදය භාවිත වෙන්නේ ගැහැණියක් තම ලිංගිකත්වය ගැන ස්වාධින නම් සහ තමන්ට කැමති ඕනෑම ආකාරයක (සම නිරාවරණය වන පවා) ඇඳුම් ඇඳීම ප්‍රශ්නයක් නොකර ගැනීම පහත් කොට/ අපහාසයක් කොට සලකද්දීයි. 'Slut' (සිංහලෙන් වඩාත් ආසන්න වචනය, 'බඩුව') පාවිච්චි වෙන්නේ සමාජ සම්මතයන් අනුව ඇය වෙනස් කියා බාහිර පුද්ගලයන් සිතනවානම් ඇයව පහත් කොට සැලකීමට වුණත් බොහෝ දෙනෙකුට අමතක වෙන කරුණක් තමයි 'ලිංගිකත්වය' මානුෂික අවශ්‍යතා වලින් එකක් බව. මේ කාරණාවේදී කුහකත්වයත් ප්‍රධාන බලපෑමක් එල්ල කරනවා. ද්විත්ව මිමි (double standards) බොහෝ සමාජවල දක්නට ලැබෙන දෙයක් වගේම සමහර රටවල ඒ සඳහා නීති පවා ස්ථාපිත කරලා තියෙන්නේ කිසිම පදනමකින් තොරවයි.

දෙදෙනාගේම කැමැත්ත ඇතිව නම්, කායිකව හා මානසිකව සුදානම් නම්, නිසි ආකාරයෙන් සුරක්ෂිත නම්, තමගේ සහකරු/සහකාරිය තමන්ට ගැලපෙනවා නම් ලිංගික එක්වීමෙහි කිසිඳු ප්‍රශ්නයක් නැහැ. ලිංගිකව එක්වන වාර ගණන හෝ පුද්ගලයන් කීදෙනෙක් සමග එකතුවෙනවාද යන්නේ එසේ කරන්නියගේ මිස අන් අයගේ කාර්යක් නෙමෙයි වගේම එවැනි කරුණු කිසිවෙකු පහත් කොට සලකන්න හේතුත් නෙමෙයි. කිසිවෙකුගේ ලිංගික ජීවිතය ඒ කෙනාට ඉතා පෞද්ගලික දෙයක් මිස බාහිර කිසිවෙකුට ඇඟිල්ල දික්කරන්න කාරණයක් වෙන්නේ නෑ.

ඇඳුම් ගැන කියනවා නම් කෙනෙක් ඇඳුමක් තෝරාගන්නේ තමන් කැමතිනම්, තමන්ට අවශ්‍යනම් හා ගැලපෙනවා නම්. ඇඳුමකින් තමන්ගේ ආත්ම විශ්වාසය, පෞරුෂත්වය ගොඩ නැගෙන්නට/වැඩි වෙන්නට හේතුවක් විදිහට, එහෙමත් නැත්නම් එක්තරා  ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් විදිහට හඳුන්වන අවස්ථාත් තිබෙනවා. තමන් තමන්ට හොඳින් දිස්වෙන්න තමන්ට කැමති ඇඳුමක් ඇඳීම ඒ පුද්ගලයාගේ සතු කාර්යක් මිස බාහිර බලපෑම් එල්ල විය යුතු කාරණයක් නෙවේයි වගේම ඇයගේ ඇඳුම ඇයට අපහාස කරන්න නැතිනම් පෙර සඳහන් කල පරිදි අවස්තාවක ඇය පිට වරද පටවන්න කිසිවිටකත් හේතුවක් වෙන්නේ නෑ.

කොහොම වුනත් සමාජය පොදුවේ කාන්තාව කෙතරම් වාස්තවිකරණයට (objectification) ලක් කරලද කිව්වොත් ගැහැණියක් හඳුන්වන වචයක් තමයි 'බඩුව'. කොටින්ම කාන්තාවකට භාවිත කරන සෑම නමක්ම පාහේ ඇයව පණ නැති වස්තුන්ට සමාන කරනවා. සමහර විට එසේ කියන්නේ කාන්තාව පහත් කොට සලකන්න නෙමෙයි වෙන්න පුළුවන් වුනත් අප්‍රාණික ද්‍රව්‍යයක් පණ ඇති හැඟීම් දැනීම් ඇති පුද්ගලයකුට කීම අපහාසයක් වෙන්නේ ඉබේටමයි. පිරිමියෙකුට භාවිත කරන නම් වර්ගත් (කුකුළා, ඇඹලයා) කාන්තාවකට භාවිත කරන නම් වර්ගත් (බඩුව, කෑල්ල) ඇසුරෙන් අවිඥානික හෙලිවෙන්නේ සමාජය තුල කාන්තාවකට ඇති පිළිගැනීමද? ඇයට ඇති තත්වයද? උත්තරය කුමක් වුණත් 'බඩුව' වචනය භාවිත කළ යුත්තේ අප්‍රාණික ද්‍රව්‍ය හැඳින්වීමට පමණයි.

''If you are a strong female you don't need permission.''

ප.ලි. : තමන්ට කැමති දේ කෙලින් කියන, ස්වාධින අදහස්/ක්‍රියා ඇති ස්ත්‍රීවාදී සිංහල බ්ලොග් ලියන්නියන් වන අරුණි ශපිරෝවජිරදේවිපොඩි කුමාරිහාමි, රමේෂා ඇතුළු සැමට මගේ ආචාරය!

Friday, July 13, 2012

බ්ලොග් ගෝත්‍රිකයා | Not even mad!

එකමත් ඒක කාලෙක ඈන් රයිස් ලියපු කතාවක් ගැන ලියන එක අත්තරලා දැම්මේ කවුරුවත් කියවන එකක් නෑ කියල හිතාගෙන. සිංහල සාහිත්‍යයේ ශානර බෙදිමක්වත්, ප්‍රබන්ධ ගැන සැලකීමක්වත්, යථාර්තවාදී නවකතාවලින් ඔබ්බට ඇති ලිවීම් ගැන සලකා බැලීමක්වත් නැති හින්ද ඒකෙ කොහොමත් වැඩක් නෑ. ඒ වෙනුවෙන් මාටින් වික්‍රමසිංහට හිතෙන් බැන බැන ඉන්නකොට තමයි මතක් වුණේ බ්ලොග් පාටිය, තීම් එක ට්‍රයිබල්. තීම් එකට ගැලපෙන ඇඳුමක් කල්පනා කරද්දී හිතුනා ඇඳුමක් නැතුවම ඇඟේ මොනවහරි කලර් කරන යන්න. ඒත් අන්තිමට බෑ කියල හිතිලා නම දන්නේ නැති ගහකින් කොළ කඩාගෙන ඉන වටේට එල්ල ගත්තා.

පාටිය තිබුනේ බත්තරමුල්ලේ පැත්තේ ඔයක්ද වැවක්ද ළඟ. නම කියන එක හරි නෑ, ඒක හින්ද කියන්නේ නෑ. ඒක සරසල තිබුනේ දෙවෙනි වරම කියල කට්ටියක්. වැඩේ නම් අවුලක් නෑ. කැලයක් වගේම තිබුණා. වැඩේ කියන්නේ හෝල් ඒක මැද්දේ ගිනි ගොඩකුයි පැත්තකින් ගුහාවකුත් තිබුණා. කොළ ඇඳුම අස්සේ හංගන් හිටපු මගේ අයිෆෝන් ඒක කොහොම හරි එළියට අරන් ෆොටෝ එකක් අරන් ට්වීට් කරන්න යනකොටම එතනට කව්ද මන්ද එකෙක් කඩාපාත් වුණා.



"උඹ හිරණ්‍ය නේ?" මම නෑ කියන්න ඔලුව වැනුවා.
"නැත්තේ මොකද උඹ හිරණ්‍යම තමා, මේ මම සාතන්!" ඒ පාර මම ඔලුව වැනුවේ ඔව් කියන්න.

අපි දෙන්න අඟහරු ජීවීන්ගේ මානව හිමිකම් කඩවීම් ගැන බරපතල සාකච්චාවක යෙදිලා ඉඳිද්දී කව්ද මන්ද කෙල්ලෙක් එතෙනට අවා. එයාගේ ඇඳුම ගැන විස්තර කරන එක සෑහෙන අමාරුයි, ෆොටෝ එකක් ගන්න තිබුණා ඒත් අමතක වුනානේ.

"මම ඔයාලව දන්නවා. ඒත් මම කියන්නේ නෑ. :D" එයා කිව්වා.
"ඒ ඇයි, ඔයා ඇනොනිමස් ද?" සාතන් ගොයියා ඇහුවා.
"අනේ නෑ අනේ, අර ඉන්නේ ඇනෝල... :D" එයා අත දික්කරල එකෙක්ව පෙන්නුවා. ඒ ඇනෝල අර වී ෆෝ වැන්ඩෙටා මූවි එකේ වගේ වෙස් මුණක් දාගෙන හිටියේ. මම එක ඇනොවෙක්ට අත වැනුවා, ඒත් ඌ ඒක නොදැක්ක වගේ හිටියා. 

"ඉතින් ඔයා කව්ද කියල කිව්වේ නෑනේ?" මම ඇහුවා. ඒත් එයාගෙන් උත්තරයක් ගන්න ලැබුනේ නෑ. එකපාරටම කව්ද මන්ද කෑගහන සද්දෙකුත් එක්කම බල්ලෙක් බුරන්වත් ඇහුණා. අපි තුන්දෙනා එතනට දුවල ගියා. යද්දී මොකුත් වෙලා තිබුනේ නෑ. කෑගහපු කෙනා බල්ලවත් වඩාගෙන හුරතල් වේවි හිටියා.
"හරී කි-යු-ට්. :D" 

අපිත් එක්ක හිටපු කෙල්ල හුරතල් බලන්න එතන නැවතුණා. මමයි සාතනුයි ආයේ පැත්තකට වෙලා අනාගතේදී අපේ ගෝත්‍රික සංස්කෘතිය රැකගන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ බාරසාර සාකච්චාවක් ආරම්භ කළා. සාතන්ගේ යෝජනාව වුණේ නීති රීති මාලාවක් හදන්න ඕනෙයි කියන කාරණය. 'අනිවා' මම එකඟ වුණා. ඊට පස්සේ අපි නීති එකින් එක පෙළගස්වමින් ඉන්නකොට ඇනොවෙක් ආවා. හැබැයි මුකුත් කිව්වෙත් නෑ. අපි දෙන්නගේ කට දිහා බලාගෙන හිටියා.

"ඉතින් මොනවත් කියන්නේ නැද්ද?" මම ඇනොගෙන් ඇහුවා. ඇනෝ ඔලුව වැනුවා.
"හරී කි-යු-ට්!" මට කියවුණා.

ඊළඟට බ්ලොග් ගෝත්‍රයේ වංශය කබල් ගෑම, සමුහ ගී ගායනය, හොඳම මඩ වගේ පොඩි පොඩි තරඟ කිහිපයකුත් තිබුණා. සැඟවුණු අමුත්තා කව්ද හොයන තරඟයක් නැද්ද කියල මට දැනගන්න ඕනේ වුණහම මේ අවුරුදු උත්සවයක් නෙමෙයි කියල සාතන් මට මතක් කරලා දෙන්නත් වුණා. ඔය තරඟයක් අතරේදී කව්ද මන්ද කැමරාවක් උස්සගෙන එහාටයි මෙහාටයි පැන පැන වීඩියෝ කරන්න පටන් ගත්තා. නිකන් හිතන්නකෝ ගෝත්‍රිකයෙක් වගේ ඇඳගෙන කැමරාවකුත් අරන් ඉන්න කොට, ගොනයි මීමටයි වැඩිය වෙනසක් නෑ. අපරාදේ මගේ අයිපෑඩ් එක අරන් ගියේ නෑනේ නැත්තම් ඒ වෙලාවේම පොස්ට් එකක් ලියල දානවා.

තරඟ ඉවරවෙලා දිනපු අයට තෑගිත් දුන්නා. ඊට පස්සේ එළඹුණේ හොඳම බ්ලොග් එකට තෑගි දෙන අවස්ථාව. හැමෝම හිතුව වගේම ඒ තෑග්ග ලැබුනේ මට. මමත් ඉතින් පුදුම වෙලා වගේ ගිහින් සම්මානය ගත්තා. කට්ටියව නිදිකරවන්නත් එක්ක පැයක ස්තුති කතාවකුත් කරලයි නැවතුනේ. ඒ වුණාට කාටවත් නින්ද ගිහින් තිබුනේ නෑ. හැමෝම කම්මැලි කමින් හිටියේ. අවොර්ඩ් එක ගොඩක් උස ගහක අත්තක් හින්ද මගේ ලේක්සස් කාර් එකේ අරන් යන්නත් අමාරුයි, මම කැබ් එකකට කෝල් කළා. ඒ අස්සේ අර ලොකු ඇඩ් එකක් දාපු එකා ඇවිත් අපේ වීඩියෝ පෙන්නන්න පටන්ගත්තා. මම සාතන්ට ඇහැක් ගැහුවා, ඌ හිනාවුණා.

පාටිය ඉවරයි, කොහොමත් සැරසිලි කාලයක් හින්ද යද්දී පරිසරය එද්දී පරිසරයට වඩා වැඩි වෙනසක් නෑ. සාතන් මට ටටා කියල යන්න ගියා. මාත් බායි කියල කැබ් එක එනකන් හිටියා. මේ වෙද්දී ඉන වටේ තිබුණ කොළ ගැලවෙන්න ඔන්න මෙන්න. බොහොම අමාරුවෙන් ඒවා හැලෙන්න නොදීමේ අසාර්ථක උත්සාහයක යෙදෙද්දී වැස්සක් වහින්න ගත්තා. හෝල් එක අස් කරන හින්ද ආපහු යන්න පුළුවන් වුනෙත් නෑ. සම්මානේ පැත්තකට විසි කරලා මම ගෙදර ගියා. ඔය විදිහට සම්මානේ සති දෙක තුනකට අමතක වුණා. ආයේ අවොර්ඩ් එක මතක් වෙලා ගිහින් බැලුවහම ඒක පැල වෙලා. අපේ පොළවේ වටිනාකම ගැන පොස්ට් එකක් දාන්න හිතාගෙන මම ආපහු ආවා. ඉතින් ඊට පස්සේ මමයි මගේ බ්ලොග් එකයි හැමදාටම සතුටින් ජීවත් වුණා.




ප.ලි. - මේ කතාවක් හින්ද මගේ නමයි මගේ යාළුවා, සාතන්ගේ නමයි (නම පාවිච්චි කළේ අහලනම් නෙමේ, අකමැත්තක් නෑ කියල හිතනවා.) ඇරුනම අනික් හැම කොටසක්ම මනඃකල්පිතයි. සැබෑ සිද්ධීන් හෝ පුද්ගලයන් අතර කිසිම සම්බන්ධයක් නෑ. 

Saturday, June 30, 2012

මිනීමරුවෝ වීරයෝ නොවේ | Heroes, Are they?



රිනාවේ ඒකමතික බලකිරීම වුණේ ප්‍රතිවාදියාගේ මරණය. 'ඕකව මරපන්!' කියල දහස් ගණනක් මිනිස්සු කෑගැහුවා. එක්වරම වැරෙන් එල්ල කළ කඩු පහරින් සතුරාගේ ගෙල සිඳී ගියා. කවන්ධය බිම පතිත වෙන 'තඩ්' ශබ්ධය මිනිස්සුන්ගේ බෙරිහන්දීම පරයාගෙන ඇවිත් ග්ලැඩියේටර් වීරයාගේ මනස තුලට රිංග ගත්තා. ප්‍රීති ඝෝෂාව විනාඩි ගණනක්ම පැවතුනු අතරේ කඩුවේ රුධිර බින්දු රූටගෙන ඇවිත් වාලුකා අතරේ හැංගෙන්න වුණා. මිහිකත මතින් අස්වාභාවික ලෙස විනාශ වුණු තවත් මිනිසෙක්ගේ මතක සටහන් පොළව තමන් සතු කරගත්තේ එහෙමයි.

වීරයාට තව දුරටත් ලේ විලකින් මැදි වුණ මළ සිරුර ආසන්නයේ ඉන්න අමාරු වුණා. තප්පර කිහිපයක හිරිවටිමකින් පස්සේ ඔහු පියවි සිහියට ආවේ තමන් දැන් නිදහස් කියන කාරණය. ජීවිත කාලෙම වහලේක්ව ඉඳල දිනාගත් නිදහස ඉතාම සතුටට හේතුවක් විය යුතු වුණත් තමන්ට හිනා වෙන්න බැරි ගතියක් දැනුණා. උගුරේ යමක් හිරවෙලා, මුළු සිරුරම පිච්චෙනවා වගේ සවේදනයක් දැනෙන්න ගත්තෙත් ඒ එක්කමයි. හැම වහලෙක්ගේම හීනයක් වුණු, සමහර විට අධිෂ්ඨානයක් වුණු නිදහස ලැබීමෙන් සතුටු වෙන්න නොහැකි වීම අවප්‍රාප්තියක්, දෛවයේ සරදමක් විතරක් කියලා හිත හදාගන්න පුළුවන් කමක් ඔහුට තිබුනේ නෑ.

නිදහස ලබාගැනීම මිස තමන් නිදහස ලබාගත් ආකාරය වැදගත්වෙන්නේ නෑ කියල තමන්ටම කියාගනිමින් වීරයා රණපිටියෙන් ඉවත් වුණා. විවිධ පුද්ගලයන් ළඟටම ඇවිත් සුබපතල, සතුට පල කරලා ගියත් ඔහු ඒවාට ප්‍රතිචාර දුන්නේ හීනයකින් වගේ. ඔහුට තමන් එක්කම කුඩා කාලේ ඉඳලම සටන් පුහුණු වුනු, තරඟයක් නිසා 'සතුරෙක්' වුනු, මිතුරාගේ මුහුණ මතක් වුණා. ඒ මුහුණ අමතක කරන්න අසාර්ථක උත්සාහයක යෙද්දී ඔහුට 'සතුරා' එක්වතාවක තමන් වෙනුවෙන් සටන් වැදුණු හැටි සිහියට නැගිලා ඇසට කඳුළු ආවේ අවිඥානිකවයි.

ඔහු වෙනුවට මේ අවස්ථාවට ප්‍රතිවාදියා මුහුණ දුන්නනම්, ඔහුත් කරන්නේ ඒ දේමයි කියල තමන්ව සාධාරණිකරණය කරගන්න විනාඩි කිහිපයක් වැය වුණා. තවත් විනාඩි ගණනකට, නැත්තම් පැය ගණනාවකට වුණත් එයම කරන්න පුළුවන් වුණාට තමාගේ වරද වසර ගණනක් ගියත් 'හොඳ' වෙන්නේ නැති බව වීරයාගේ හදවතේ කොනක තැම්පත් වෙලා තිබුණා. තරඟය සම්පූර්ණවන්න නම් කවුරුහරි මියයාම අනිවාර්යයි. තරඟයේ වීරයා මිනීමරුවා වෙන අතරේ, මැරුම් කෑ එකා පරාජිතයා වෙනවා. තමාට ජයග්‍රාහී වීර හැඟීමක් නොපැමිණීම තමන්ටම දොස් කියාගන්න අතරේ නිදහස ලැබීමෙන් කරන්නේ මොනවද කරන්නේ කියල වීරයා හිතන්න පටන් ගත්තා.

සීසර්ගේ කතාවක් අවසානයේ වීරයාව වර්ණනා කරලා තෑගි ලැබුණා. සංකේතාත්මක අසිපතක් ලැබුනේ නිදහස් මිනිසෙක් බව ප්‍රදර්ශනය කරන්න. ඒසමගම ඔහුගේ වහල් භාවය අහෝසි වුණා. කාගෙවත් අණට යටත් නොවී තමන් කැමති දෙයක් කිරීමේ නවතම හැකියාව ගැන සතුටකින් ඔහුව පිරුණා. දහස් ගණනක් ජනතාව වගේම තැනින් තැන හිටපු වහල්ලු හදවතින්ම සතුටු වෙන්න ඇති කියල හැඟීමක් වීරයාගේ හිතේ ඇති වෙලා නැති වෙලා ගියා.

අවසන් වතාවට ඇරිනාව පුරාවටම නෙත් හෙලු වීරයා එතැනින් පිට වෙන්න සුදානම් වුණා. තබන අඩියක් පාසා ඔහුට මතක් වුණේ ඔහු අතින් වගේම වෙන් උන අතිනුත් ඔහුගේ ඇස් ඉදිරියේ මරණයට පත්වූ මිනිස්සු, රණ ශුරයෝ. ආරම්භයේ සිට දස දහස් ගණනක් මේ සටන් පිටිය මත අවසන් හුස්ම හෙලන්න ඇති, ඒ දහස් ගණන අතරින් අතේ ඇඟිලි ගන්නටත් වඩා වැඩි ගණනකගේ වියෝවට වග කිව යුත්තේ ඔහුයි. නිදහසට මිනීමැරීම. අලුත් සුත්‍රයක්. නැහැ සමහර විට අලුත් නැහැ, සර්ව කාලින සුත්‍රයක් කියන එක වඩා සුදුසුයි.

නිදහස ලබා ගැනීම = මිනීමැරීම මගින් ජය ගැනීම
මිනීමැරීම තුලින් ජය ගැනීම = වීරයෙකු වීම

දොරටුවෙන් පිට වෙලා ටික දුරක් ගමන් කරද්දී ඔහු ඉදිරියට ආවේ බෙහෙවින් වැහැරුණු වයසක කාන්තාවක්. ඇයව නිවැරදිවම හඳුන්ගන්නට බැරි වුණත් කිසියම් හුරු පුරුදු බවක් වීරයාට දැනුණා. ඇය ඔහු දිහා බලන් හිටියේනම් හොඳින් දන්නා කියන ස්වරූපයෙන්. 'පිස්සු ගැනියෙක්' කියල යන්න හදද්දිම ඇය කව්ද කියල ඔහුට මතක් වුණා. ඒ ඔහු අතින් මරණයට පත්වුණු 'සතුරාගේ' මව, පොඩි කාලේ ඔහු අනාථයෙක්ව සිටිද්දී තමන්ටත් ඇය කරුණාවෙන් සැලකුවා කියල මතක් වුණේ ඒ එක්කමයි. වීරයාට තව දුරටත් ඇය දිහා එක එල්ලේ බලන්න අපහසු වුණා. කිසිවක් නොකියාම, නොකරම ඔහු ඇයව මග හැරලා යන්න ගත්තේ අලුත උපයාගත් නිදහස භුක්ති විඳීමට.

Friday, June 8, 2012

අස්ථාවර සුඛාන්තය | Happy Endings


ගලමත නලියන පෙණ බුබුලක් මත
සුළඟට සෙලවෙන පිහාටුවක්
සුසිනිදු එය මත ඉඩ ඇත්තේ නැත
ඇහි පිල්ලමක් යලි අහුරන්න

පිහාටුවට ගිනි තබමි මම
හානි නොවෙන්න බුබුලට
පාවී යන භෂ්ම තනිකරයි
දිය බුබුල තුල අවකාශය

හිස්කම අතරින් මතුව දිස්වන
බුබුල මත හිරු එලියෙන් දිදුලන
සිටගනිමි සීරුවෙන් සැනසෙන්නට
අස්ථාවර බව තුල ස්ථායිව

අප්‍රාණික බුබුල තුල වාතය
මුසුවේ පිටතට හනික
පර්වතය අසල තනිව මම
මාගේ සුඛාන්තය සමගම

Tuesday, May 29, 2012

Melancholia


This story is suppose to be depressing. So happy people, be aware. I thought about writing a poem and moving on. It didn't work out though, I wish it would. What happened you may ask? I don't know, I wish I know why, among other things I always wanted to know, as in why do I live? what is life? who is responsible for all these horrible things and the list goes on. Anyway so things happen. Shit happens. It's just that I'm unable to grasp the concept of life.

So I was just listening to some indie music when some girl (okay, it's not some girl, she's kind of my friend, Anupama, her name, Anu, as they call her) and asked if I wanted to go to some random get together. I told her "No, can't, busy." she sighed, obviously knowing that I was lying she asked me if I was okay. So I was like "Sure, why not?" she sighed again and hanged up. It's great that Anu didn't push me to answer unless I probably would have told her to fuck off. I wanted to go back to listening music, I couldn't though, instead I decided to go to the party.

The party is like any other party you have witnessed. Loud music, booze, clumsy dancing, awkward chatter and little bit of drama, this is no exception. Some people looked at me as if they saw the latest world wonder. Because, well I don't know. I'm not a party animal type and it shows, since people are so judge-y it might be surprise for them, but can't care less about what others might think. I almost gave middle finger for the host when someone came over me.


"Didn't expect to see you here." said Ran, my best friend, or boyfriend as some might say, with a beer can in his hand.
"A simple greeting would have been nice, asshole."
"Need anything to drink?" he didn't wait for my answer and brought a can for me. It was cool thus comforting, so I kept drinking it without worrying about getting drunk.
"So what made you come?" he asked. I shrugged and went back to scanning the area. But there's nothing interesting.

"Oh! look who's here." Anu appeared with another chick, exclaiming. I tried to look surprised for her too, though I failed.
"Who's she?" I asked pointing the other girl.
"She's Natasha, and Natasha this is Max and that's Ran." I acted like it was nice to meet her while Ran put a protective hand over my shoulder.

They began to talk about some boring topic, when I tried to escape to somewhere else Natasha asked if I want to dance. I felt like doing anything reckless, so yeah why not. She threw her hands over my neck and leaned closer, or more than closer, almost to the point that her erect nipples rubbing against my chest. And we danced. Danced like there's nothing happening in the world, danced like we'll never party again, danced like tomorrow is the apocalypse. I felt loosened up, better, then I stopped.


Ran didn't looked mad as I thought he would, he just looked concerned. I got another can and faced him. He smiled, it's genuine enough to make me smile too.
"What?" he asked.
"What what?"
"You are smiling."
"Yeah, so?"
"Well that's great, it's a rare sight that I'm willing to see." he grinned.

Well you might say Ran is adorable. He's not. He can be complete dick when he want to be. Like once he stopped talking me for a week because onetime I told him to mind his own business. Anyway we are the opposite of each other. That have to be reason we get along so well, when he's ying I become yang. When I'm black so he's white. Then Natasha came and asked if I want to dance again. I said no, but she didn't leave.


Natasha wanted to get under my pants so bad that it's pathetic. She said I look great over and over and kept suggesting how cool it'll be if we left to her place. I tried not to laugh. Actually, I enjoyed her company because of her desperate need of cock. So I kept pushing her buttons to make her more helpless, I know that's inhumane and all but it's just fun, well at least it's funny to me. I started my fifth can when Ran came and told me it's enough for today. I was just starting to have fun and he have to be a jerk about it, I told him to get lost, and he went away.

I'm the one who got lost though. After that beer I lost my conscience and gravity seem to be gone. Losing my control left me insane. I think I puked several times (was it on Natasha?) and blacked out. I woke up after someone threw water at me, actually it's Ran, he kind of washed my face. Then he got me to my home. That's the last thing I remember from that night.

Next day is one the worst day of my life. Hang over is bitch and it ruined everything for that day. I always felt like I wanted to throw up, it didn't, easily because I haven't eaten anything. Nausea didn't let me eat anything, and this head-freaking-ache kept killing me slowly. I wanted sleep away the whole day. In other words; I'm a mess, a big fucking Mess.

"Dude, you look like hell" said Ran when he came.
"I know man, feel like it too."
"Want anything?" I just shook my head.


"Actually, there something you can do..."
"Yeah, what?"
"I want to die, help me to suicide, please dude, just do it for me." I begged. He sighed.
"I don't know man, all these times I've been helping you, but this doesn't seem to get better." he said, looking sad with a long face. "I think I'm failing."
"You know what, just forget what I said."
"Well, you cann't say something like that and tell me to forget it."
"I know, I'm sorry. I'm spoiling you." now it was my turn to sigh.

It's not that I wanted end my life is the controversy here, It's just that I'm so fed up with this fuckery, I can't  do it anymore. I know, that make me a loser,a pussy. Call me any name you wish but it does nothing for me, for better or worse. I don't regret my life, I really don't. But it's not the perfect life either. You can go on about how everyone has their own problems and so on, but no it's not simple as that.

Ran insisted me to eat, I complied. Food had no taste or at least I didn't sense if it had. I want food to be tasty, music to be soothing, air to be refreshing. It didn't, all I got was pressure. Life already is killing me slowly. It's a paradox that I'm not willing to fulfill. Let go, that's the way. I have to let go, starting from myself.

I threw away my indie music and started listening to country. I guess you can color me weird.



PS: So it's the first time I'm posting something in English. This is the first chapter I wrote for a novel (with some cuts and edits), which I stopped continuing long time ago. I'll translate this to Sinhala someday, but for now tell me what you guys think.

Sunday, May 20, 2012

ප්‍රදීපාගාරය හා නොදන්නා සඳ | Unknown Luna


  "උඹ මාව අන්දනවා නෙමෙයි නේ? හැබැයි පුතෝ එහෙම කරලා තිබුනොත් මගෙන් බේරෙනවා නෙමෙයි!" මම තුන්වෙනි වතාවටත් එහෙම කිව්වේ අදිත කියන්නේ ඇත්තමද කියල දැනගන්න.

  අදිත මං දිහා තරහෙන් වගේ බලල මොනවද කියන්න හැදුවත් ආයේ ඕනේ නෑ කියන්න වගේ ඔලුව වනල වාහනේට හයියෙන් තට්ටුවක් දැම්මා.

  අපි දැන් අතරමන් වෙලා ඉන්නේ කිව්වට වැඩි වැරද්දක් නෑ.වෙනසකට තියෙන්නේ කොහෙද ඉන්නේ කියල දන්න එකයි. හැබැයි ඒ දන්නෙත් සාපේක්ෂව වශයෙන් විතරයි. අපි දෙන්නා යායුතු ගමන ඉක්මනින් යායුතු වුණූ නිසාමයි කෙටි පාරක් විදිහට හඳුන්වපු මේ වගුර මැදින් යන කුඩා පාර භාවිත කරන්න තීරණය කළේ. ඒත් කිලෝමීටර් ගණනක ලාබය බලන්නේ නැතුව අනිත් පාරෙන්ම ගියානම් හොඳයි කියල හිතෙන්නේ මේ වගේ කාත් කවුරුත් නැති පාළු වගුරක් මැද වාහනේ කැඩුනහම තමයි. මගේ වාහන ගැන කාර්මික දැනීම බින්දුවට වඩා චුට්ටක් වැඩි නිසා අදිත කියන්නේ ඇත්තද කියල දැනගන්න ක්‍රමයක් නැහැ. අදිතට එයාගේ තාත්තාගෙන් ලැබුණු කාර්එක සාමාන්‍යයෙන් ලෙඩ දෙන්නේ නෑ කියල දන්නේ සෑහෙන වතාවක් මේ වාහනෙන් ගිහින් තියන හින්දමයි. ඉතින් එහෙම දැනීමක් තියෙද්දී එක පාරට කාර්එක කැඩුනහම විශ්වාස කරන්න අමාරුයිනේ. අනික අදිත නිසා එක එක විදිහේ රැවටීම් වලට මුහුණ දුන්න අය කිහිප දෙනෙක්ම හිටියා. මේ අවස්ථාවත් ඒකක් නම් මාස ගානකට යාලුවෝ අතර හිනාවට කාරණාව වෙන්න මම වාසනාවන්ත වේවි.

  "මෙතන බලං හිටියට වැඩක් නෑ බං. මම පොඩ්ඩක් ඇවිදලා බලන්නම්." මම කිව්වා.
  "ඕනේ නම් බලපන් හැබැයි වැඩක් වෙන එකක් නෑ. මේ පාරේ එක ගෙයක්වත් නෑ."
  "කවුරුවත්ම නෑ."
  අදිත අවිනිශ්චිතව ඔලුව වැනුවා. "බිල්ඩිමකට කියල තියෙන්නේ පරණ ලයිට් හවුස් එකක් විතරයි."
  "ලයිට් හවුස් එකක්?"
  "ඔව්, ඒත් මම හිතන්නේ නෑ ඒකෙ කවුරුත් ඇති කියල. අවුරුදු ගානක ඉඳල ඇත්තරලා දාල."

  මේ වගුර එක විදිහකින් තැනිතලාවක් වගෙයි පෙනෙන්නේ. විශාල උස ගස් එකක් වත් නැති තරම්, අඩි තුන හතරක් විතර උස කොළ-දුඹුරු පාටින් පඳුරු යායට වැවිලා. හවස කහතැඹිලි හිරු එළියෙන් පඳුරු නහවල තිබුණා. ඒත් සාමාන්‍ය තැන්නකින් වෙනස් වෙන්නේ මඩ ගොහුරු තැනින් තැන භයානක විදිහට පිහිටි නිසයි. වගුර එක පැත්තකින් අවසන් වෙන්නේ මුහුදින් නිසා අතින් 'හෝ' හඬ ලාවට ඇහුනා. චිත්‍රපට දර්ශන තලයකට සුදුසු පරිසරයක් සකස් වෙලා තිබුනත් සන්සුන් මනසක් නැති හින්දම සුන්දරත්වය විඳින්න වුණේ නෑ.

  'ක්‍රොව්,,,ක්‍රොව්,,,' කොහෙද ඉඳල ආපු ලොකු කළු කපුටෙක් කෑගහමින් වාහනේ වැහුවා. අදිත ගැස්සුනා, ඌව පන්නන්න අසාර්ථක උත්සාහයක අදිත යෙදෙද්දී මට හිනා නොවී ඉන්න බැරිවුණා. කොහොමහරි හිරිගඩු පිපෙන තරම් හීතල, තරමක තද සුළගක් එක්කම කාකයා උවමනාවෙන්ම ඉගිලිලා ගියා. හුළඟ එක්ක ආපු කළු වැහිබර වලාකුළු පරිසරය කලුකරගෙන අහස වහගන්න පටන් ගත්තා.

  "ලොකු වැස්සක් එන්න වගේ, මෙතන හිටියොත් හෙන වැදිලා මැරෙන්නේ" මම කිව්වේ අහස දිහා බලන ගමන්.
  "බය නම් කාර් එක ඇතුලට වෙලා හිටහන්" අදිත උත්තර දුන්නේ උපහාසයෙන්, කලින් මම එයාට හිනාවුණ වාඩුවට වෙන්න ඇති.
  "උඹට ඕනෙනම් හිටපන්!" අදිතගේ උත්තරේට තරහගිය මම හයියෙන් කෑගහල හයියෙන් ඉස්සරහට ඇවිදින්න ගත්තා. ඒ වැඩේ නිකම් ප්‍රාථමික පන්තියේ වැඩක් තමයි, ඒත් එත්නටවෙලා නිකන් බලන් ඉන්නවට වඩා ඇවිදින එක සාර්ථකයි කියල හිතුනා.

  සෑහෙන තරම් දුරක් ඇවිදින්න වුණා තරහ පාලනය කරගන්න. ආපස්ස හැරිලා බැලුවහම ඈතින් වාහනේ පෙනුනා, මට ටිකක් පිටිපස්සෙන් අදිත ගාටමින් ආවා. දැන් පරිසරය සෑහෙන තරම් අඳුරුයි, අහස කළු වලාකුළු වලින් පුරවාගෙන වතුර හලන්න බලාගෙන හිටියා. අතරින් පතර අකුණු හඬත් ඇහුනා. කුණාටුවක් එන තරමටම කාළගුණය සකස් වෙලා.

  මුහුද පැත්තෙන් කුරුල්ලෝ රංචුවක් කෑගහමින් ගොඩබිමට පියඹා ගෙන ගියා, එතකොට තමයි දැක්කේ ඒ ප්‍රදීපාගාරය. ඒක පළාතටම විශේෂ වෙන විදිහට පොළව මට්ටමේ ඉඳල අහස දෙසට ගොඩ නැංවීලා. ප්‍රදීපාගාරය දෙසට යන පොඩි අඩිපාරක් තිබුණා. වැස්සට ආවරණයක් ඕනේ නිසාත් උදව් ගන්න කව්රුවත් ඉන්නවද කියල බලන්නත් එක්කත් ඒ අඩිපාරට හැරුනේ මඩේ එරෙන එකක් නෑ කියල ප්‍රර්ථනා කරන ගමන්.

  අඩිපාරේ ගමන් කරද්දී මුහුදත් ප්‍රදීපගාරයත් වඩ වඩාත් පැහැදිලිව පෙනෙන්න ඇහෙන්න දැනෙන්න ගත්තා. ඒ අඩිපාර යන්නේ කෙලින්ම ප්‍රදීපාගාරය ලඟට. කව්රුහරි භාවිත කරනවා කියල කියන්න පුළුවන් තරමටම පාර යම් තත්වයක තිබුණා. ගොඩබිම මුහුදින් අවසන් වෙන්නේ වෙරක් නැතිවයි, ගල්පර හැම අතටම විහිදිලා. සැඩ සුළඟ මුහුදු රළ රළු කරලා ගල්පර වල හැප්පුවා. ප්‍රදීපාගාරය ගොඩනගල තියෙන්නේ ඒ අවට තිබුණු විශාලම හා උසම ගල්පරය උඩ.

  ගල්පර එච්චර විශාල නැතිවුනත් ගල්වල දියසෙවල බැඳිලා නිසාත් මුහුදු රළ වල බාධාව නිසාත් ඒ පර්වතයට නගින්න වෙලාව ගතවුණා. ප්‍රදීපාගාරයේ සුදු වර්ණය දුර්වර්ණ වෙලා තිබුනේ පරිසරයේ බාධාවන් නිසා වෙන්න ඇති. ප්‍රදීපාගාරය ඇතුලට යන්න තිබ්බේ සාමාන්‍ය එක දොරක් විතරයි. ඒ දොර කලෙකකින් ඇරපු වහපු බවක්වත් පේන්න නැති වුනත් දොරට තට්ටු කරලා කතා කරලා බැලුවේ පුරුද්දට වගේ.

  "කවුරුත් නැහැ, දොර කඩමු." කියල අදිත කකුලුන් ගහල දොරට ගහන්න සැරසුණා.
  "එපා!" මම කෑගහුවා.
  "එපා, දොර ඕනේ වෙන්න පුළුවන්." මම පැහැදිලි කළා.

  අහසින් පොද වැටෙන්න පටන් ගත්තා. ළඟ තිබුන ගලක් අරගෙන දොරේ අගුලට ගැහුවට පස්සේ අගුල කැඩුනේ කොහොමත් මළකාල දුර්වල වෙලා තිබුන නිසා. වැස්ස තවත් තද කරනවත් එක්කම අපි ප්‍රදීපගාරයට ඇතුල් වුණා. පරණ කාර්යාල මේසෙකුයි ඒකටම පුටුවකුයි, ගිනි උඳුනකුයි, ප්‍රදීපාගාරය උඩට සර්පිලාකාරව විහිදෙන ලී තරප්පු පෙළයි ඇරුනම ප්‍රදීපාගාරය සම්පුර්ණයෙන්ම හිස්. පඩිපෙළ උඩට ගිහින් අවසන් වෙන්නේ ප්‍රදීපාගාර පහන තියෙන කුඩා කුටියෙන් කියල ප්‍රදීපාගාරයේ අඳුර අතරෙන් බලන ගමන් හිතාගන්න පුළුවන් වුණා.

"මම උඩට නැගල බලන්නං ෆෝන් එකට සිග්නල් තියනවද කියල." කියාගෙනම මම උඩට නගින්න පටන් ගත්තා. තරප්පු පෙළ සෑහෙන්න පරණ විය යුතු වුනත් දිරල ගිහිල්ල අඩිය තියන්න බැරි තත්වයකට ඇවිල්ල නැහැ. ඒ වුනත් පඩිපෙළ කඩාගෙන වැටෙන එකක් නෑ කියල හිතන ගමන් උඩට නැග්ගා. ඒත් කරදරයක් වුණේ මකුළු දැල්. අවුරුදු ගණනාවක ඉඳන් එකතු වුණු ජාලා හැමතැනකම එල්ලිලා ගමනට බාධා කළා. කොහොමහරි මකුළුදැල් කඩාගෙන පහන තියන තට්ටුවට ආවා. ප්‍රදීපාගාර පහන දල්වන්න ඇත්තේ තෙල්වලින්, විදුලිය ලැබුණු සලකුණු නැහැ. කුටිය වටේටම වීදුරු ජනේල සවිකරලා, ඒ එක්කම එලියට යන්න කුඩා හිඩැසකුත් ආරක්ෂාවට වැටකුත් තියනවා පෙනුනා.

  වලාකුළු අතර හිඩැස් වලින් ගලා ආපු අප්‍රාණික හිරු රැස් වේගයෙන් රැලි ගහන මුහුදට වැටිලා ආලෝක රටා මැව්වා. ඉඳල හිටලා කොටපු අකුණු හින්ද මුළු පරිසරයම ආලෝකමත් වෙලා අයෙත් අඳුරේම ගිල්ලුවා. කිහිප වතාවක්ම ෆෝන් එකට සංඥා ලැබුනෙම නැති හින්ද ආපහු පහලට බැස්සා. අදිත ඉටි පන්දමක් පත්තුකරලා තිබුණා.

  "කොහෙන්ද?" මම ඉටිපන්දම පෙන්නලා ඇහුවා.
  "මේ මේස ලාච්චුවේ තිබුණා."

  අදිත මේස පුටුවේ වාඩිවෙලා මේසෙට ඔලුව තියාගෙන හිටියා. මම පඩිපෙළේ පඩියක වාඩිවෙලා එලියෙන් ඇහෙන හුළඟට ඇහුම්කන් දුන්නා.

* * * * *

  එක පාරටම මට ඇහැරුනා. මම ඉන්නේ කොහෙද කියල හිතාගන්න තප්පර කිහිපයක් වැය වුණාට පස්සේ තමයි තේරුනේ වැස්ස නැවතිලා කියලා. ඉටිපන්දම නිවිලා ගිහින් තිබුනත් ප්‍රදීපාගාරයේ කවුළු වලින් ළා නිල පාට එළියක් ගලාගෙන ආවා. ඒත් එක්කම තමයි තේරුනේ මාව නැගිට්ටපු හේතුව, ඉහල කුටියෙන් සද්දයක් ඇහුණා. අදිතව ඇහැරවන්නේ නැතිවම මම උඩට නගින්න ගත්තා. උඩට ටිකෙන් ටික එද්දී තේරුනේ ඒ සද්දයක් නොවෙන බව, එක සංගීතයක්, පැහැදිලිවම කියනවා නම් වයලින් වාදනයක්.

  පහන් කුටිය හඳ එළියෙන් පිරිලා අලෝකමත් වෙලා තිබුණා. එතකොට තමයි මට ඇයව දැක ගන්න ලැබුනේ. ඇය කුටියෙන් පිටත කුඩා ඉඩ තුල ඉඳගෙන වයලීනයක් වාදනය කලේ ඒ සංගීතයේම මත්වෙලා. තනි සුදු පැහැ ඇඳුමකින් හැඩවෙලා හිටපු ඇයගේ දිග කොණ්ඩය සුළඟට සෙලවුණා, හඳ එළියෙන් හම බැබළුණා. ඇත්තෙන්ම කියනවා නම් ඇය කවුරුවුනත් මනුෂ්‍ය දියණියක් වෙන්න බැහැ. ගණන් කරන්න බැරිතරම් කාලයක් ඇයගේ වාදනයට කන්දීගෙන හිටියට පස්සේ ඇය වාදනය නැවැත්තුවා. එයාගේ ආසන්නයෙන්ම වැටේ වහල හිටියේ ලොකු කපුටෙක් (ඒ කාකය අපි කලින් දැකපු කපුටමයි කියලා කියන්න බැරිවුණත් ඌමයි කියලයි මට හිතුනේ). ඇය මා දිහා බලල යන්තම් හිනාවුණා. එච්චරයි, එච්චරමයි. ඇය අවකාශය තුලින් නොපෙනී ගියා.

* * * * *

  මම ආයෙමත් නැගිට්ටා, නිදාගත්ත තැනින්ම. කලින් දැක්කේ හීනයක් කියලා හොඳටම විශ්වාස වුණත් තරමක් හිත කලබල වෙලයි තිබුනේ. උදේ වෙලා, අදිත නැගිටලා හිටියා. අපි ආයෙත් වාහනේ නතර වෙච්ච තැනටම ආවා. නිකමට වගේ වාහනේ ක්‍රියාත්මක කරලා බැලුවේ බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඒත් වාහනේ ස්ටාර්ට් වුණා. කැඩුණු වාහන නිකම්ම වැඩකරන්නේ කොහොමද කියලා අහන්නේ නැතුවම ඉක්මනට වාහනේට නැගල අපි ආයෙත් පිටත් වුණා. ඈතින් ප්‍රදීපාගාරය කලින් තිබුණ විදිහටම තනියෙන් ආගන්තුකව දිස්වුණා.

  වාහනය පදවන ගමන් අදිත සංගීතයක් සිවුරුහන් කරන්න ගත්තා. ඒ මිමිනුමේ එතිලා තිබුනේ අතීතකාමී පළපුරුදු බවක්. ඒ එක්කම තමයි මතක් වුණේ ඊයේ හීනෙන් දැකපු වයලින් වාදනයේ තනුවත් එයම බව. මගේ ඇඟේ රෝම කූප ප්‍රතිචාර දක්වල හිරිගඩු පිපෙන්න ගත්තා.


ප.ලි. : මේක මීට කාලෙකට කලින් ලියල එක කොටසක් විතරක් පලකළා. කොටස් වශයෙන් ලියන කතාවලට හැමෝමවගේ අකමැති හින්ද මේ කතාව කෙටි කළා. ලියල කාලයක් ගතවෙලා හින්ද මම ආයේ කියවද්දී නම් නොගැලපෙන/නුසුදුසු කොටස් ගොඩකුත්, වැරදි කිහිපයකුත් තියනවා. ආයේ මුල ඉඳන් ලියන්න කම්මැලියි. කොහොමහරි, කියවල අදහස් කියන්න.