Sunday, May 20, 2012

ප්‍රදීපාගාරය හා නොදන්නා සඳ | Unknown Luna


  "උඹ මාව අන්දනවා නෙමෙයි නේ? හැබැයි පුතෝ එහෙම කරලා තිබුනොත් මගෙන් බේරෙනවා නෙමෙයි!" මම තුන්වෙනි වතාවටත් එහෙම කිව්වේ අදිත කියන්නේ ඇත්තමද කියල දැනගන්න.

  අදිත මං දිහා තරහෙන් වගේ බලල මොනවද කියන්න හැදුවත් ආයේ ඕනේ නෑ කියන්න වගේ ඔලුව වනල වාහනේට හයියෙන් තට්ටුවක් දැම්මා.

  අපි දැන් අතරමන් වෙලා ඉන්නේ කිව්වට වැඩි වැරද්දක් නෑ.වෙනසකට තියෙන්නේ කොහෙද ඉන්නේ කියල දන්න එකයි. හැබැයි ඒ දන්නෙත් සාපේක්ෂව වශයෙන් විතරයි. අපි දෙන්නා යායුතු ගමන ඉක්මනින් යායුතු වුණූ නිසාමයි කෙටි පාරක් විදිහට හඳුන්වපු මේ වගුර මැදින් යන කුඩා පාර භාවිත කරන්න තීරණය කළේ. ඒත් කිලෝමීටර් ගණනක ලාබය බලන්නේ නැතුව අනිත් පාරෙන්ම ගියානම් හොඳයි කියල හිතෙන්නේ මේ වගේ කාත් කවුරුත් නැති පාළු වගුරක් මැද වාහනේ කැඩුනහම තමයි. මගේ වාහන ගැන කාර්මික දැනීම බින්දුවට වඩා චුට්ටක් වැඩි නිසා අදිත කියන්නේ ඇත්තද කියල දැනගන්න ක්‍රමයක් නැහැ. අදිතට එයාගේ තාත්තාගෙන් ලැබුණු කාර්එක සාමාන්‍යයෙන් ලෙඩ දෙන්නේ නෑ කියල දන්නේ සෑහෙන වතාවක් මේ වාහනෙන් ගිහින් තියන හින්දමයි. ඉතින් එහෙම දැනීමක් තියෙද්දී එක පාරට කාර්එක කැඩුනහම විශ්වාස කරන්න අමාරුයිනේ. අනික අදිත නිසා එක එක විදිහේ රැවටීම් වලට මුහුණ දුන්න අය කිහිප දෙනෙක්ම හිටියා. මේ අවස්ථාවත් ඒකක් නම් මාස ගානකට යාලුවෝ අතර හිනාවට කාරණාව වෙන්න මම වාසනාවන්ත වේවි.

  "මෙතන බලං හිටියට වැඩක් නෑ බං. මම පොඩ්ඩක් ඇවිදලා බලන්නම්." මම කිව්වා.
  "ඕනේ නම් බලපන් හැබැයි වැඩක් වෙන එකක් නෑ. මේ පාරේ එක ගෙයක්වත් නෑ."
  "කවුරුවත්ම නෑ."
  අදිත අවිනිශ්චිතව ඔලුව වැනුවා. "බිල්ඩිමකට කියල තියෙන්නේ පරණ ලයිට් හවුස් එකක් විතරයි."
  "ලයිට් හවුස් එකක්?"
  "ඔව්, ඒත් මම හිතන්නේ නෑ ඒකෙ කවුරුත් ඇති කියල. අවුරුදු ගානක ඉඳල ඇත්තරලා දාල."

  මේ වගුර එක විදිහකින් තැනිතලාවක් වගෙයි පෙනෙන්නේ. විශාල උස ගස් එකක් වත් නැති තරම්, අඩි තුන හතරක් විතර උස කොළ-දුඹුරු පාටින් පඳුරු යායට වැවිලා. හවස කහතැඹිලි හිරු එළියෙන් පඳුරු නහවල තිබුණා. ඒත් සාමාන්‍ය තැන්නකින් වෙනස් වෙන්නේ මඩ ගොහුරු තැනින් තැන භයානක විදිහට පිහිටි නිසයි. වගුර එක පැත්තකින් අවසන් වෙන්නේ මුහුදින් නිසා අතින් 'හෝ' හඬ ලාවට ඇහුනා. චිත්‍රපට දර්ශන තලයකට සුදුසු පරිසරයක් සකස් වෙලා තිබුනත් සන්සුන් මනසක් නැති හින්දම සුන්දරත්වය විඳින්න වුණේ නෑ.

  'ක්‍රොව්,,,ක්‍රොව්,,,' කොහෙද ඉඳල ආපු ලොකු කළු කපුටෙක් කෑගහමින් වාහනේ වැහුවා. අදිත ගැස්සුනා, ඌව පන්නන්න අසාර්ථක උත්සාහයක අදිත යෙදෙද්දී මට හිනා නොවී ඉන්න බැරිවුණා. කොහොමහරි හිරිගඩු පිපෙන තරම් හීතල, තරමක තද සුළගක් එක්කම කාකයා උවමනාවෙන්ම ඉගිලිලා ගියා. හුළඟ එක්ක ආපු කළු වැහිබර වලාකුළු පරිසරය කලුකරගෙන අහස වහගන්න පටන් ගත්තා.

  "ලොකු වැස්සක් එන්න වගේ, මෙතන හිටියොත් හෙන වැදිලා මැරෙන්නේ" මම කිව්වේ අහස දිහා බලන ගමන්.
  "බය නම් කාර් එක ඇතුලට වෙලා හිටහන්" අදිත උත්තර දුන්නේ උපහාසයෙන්, කලින් මම එයාට හිනාවුණ වාඩුවට වෙන්න ඇති.
  "උඹට ඕනෙනම් හිටපන්!" අදිතගේ උත්තරේට තරහගිය මම හයියෙන් කෑගහල හයියෙන් ඉස්සරහට ඇවිදින්න ගත්තා. ඒ වැඩේ නිකම් ප්‍රාථමික පන්තියේ වැඩක් තමයි, ඒත් එත්නටවෙලා නිකන් බලන් ඉන්නවට වඩා ඇවිදින එක සාර්ථකයි කියල හිතුනා.

  සෑහෙන තරම් දුරක් ඇවිදින්න වුණා තරහ පාලනය කරගන්න. ආපස්ස හැරිලා බැලුවහම ඈතින් වාහනේ පෙනුනා, මට ටිකක් පිටිපස්සෙන් අදිත ගාටමින් ආවා. දැන් පරිසරය සෑහෙන තරම් අඳුරුයි, අහස කළු වලාකුළු වලින් පුරවාගෙන වතුර හලන්න බලාගෙන හිටියා. අතරින් පතර අකුණු හඬත් ඇහුනා. කුණාටුවක් එන තරමටම කාළගුණය සකස් වෙලා.

  මුහුද පැත්තෙන් කුරුල්ලෝ රංචුවක් කෑගහමින් ගොඩබිමට පියඹා ගෙන ගියා, එතකොට තමයි දැක්කේ ඒ ප්‍රදීපාගාරය. ඒක පළාතටම විශේෂ වෙන විදිහට පොළව මට්ටමේ ඉඳල අහස දෙසට ගොඩ නැංවීලා. ප්‍රදීපාගාරය දෙසට යන පොඩි අඩිපාරක් තිබුණා. වැස්සට ආවරණයක් ඕනේ නිසාත් උදව් ගන්න කව්රුවත් ඉන්නවද කියල බලන්නත් එක්කත් ඒ අඩිපාරට හැරුනේ මඩේ එරෙන එකක් නෑ කියල ප්‍රර්ථනා කරන ගමන්.

  අඩිපාරේ ගමන් කරද්දී මුහුදත් ප්‍රදීපගාරයත් වඩ වඩාත් පැහැදිලිව පෙනෙන්න ඇහෙන්න දැනෙන්න ගත්තා. ඒ අඩිපාර යන්නේ කෙලින්ම ප්‍රදීපාගාරය ලඟට. කව්රුහරි භාවිත කරනවා කියල කියන්න පුළුවන් තරමටම පාර යම් තත්වයක තිබුණා. ගොඩබිම මුහුදින් අවසන් වෙන්නේ වෙරක් නැතිවයි, ගල්පර හැම අතටම විහිදිලා. සැඩ සුළඟ මුහුදු රළ රළු කරලා ගල්පර වල හැප්පුවා. ප්‍රදීපාගාරය ගොඩනගල තියෙන්නේ ඒ අවට තිබුණු විශාලම හා උසම ගල්පරය උඩ.

  ගල්පර එච්චර විශාල නැතිවුනත් ගල්වල දියසෙවල බැඳිලා නිසාත් මුහුදු රළ වල බාධාව නිසාත් ඒ පර්වතයට නගින්න වෙලාව ගතවුණා. ප්‍රදීපාගාරයේ සුදු වර්ණය දුර්වර්ණ වෙලා තිබුනේ පරිසරයේ බාධාවන් නිසා වෙන්න ඇති. ප්‍රදීපාගාරය ඇතුලට යන්න තිබ්බේ සාමාන්‍ය එක දොරක් විතරයි. ඒ දොර කලෙකකින් ඇරපු වහපු බවක්වත් පේන්න නැති වුනත් දොරට තට්ටු කරලා කතා කරලා බැලුවේ පුරුද්දට වගේ.

  "කවුරුත් නැහැ, දොර කඩමු." කියල අදිත කකුලුන් ගහල දොරට ගහන්න සැරසුණා.
  "එපා!" මම කෑගහුවා.
  "එපා, දොර ඕනේ වෙන්න පුළුවන්." මම පැහැදිලි කළා.

  අහසින් පොද වැටෙන්න පටන් ගත්තා. ළඟ තිබුන ගලක් අරගෙන දොරේ අගුලට ගැහුවට පස්සේ අගුල කැඩුනේ කොහොමත් මළකාල දුර්වල වෙලා තිබුන නිසා. වැස්ස තවත් තද කරනවත් එක්කම අපි ප්‍රදීපගාරයට ඇතුල් වුණා. පරණ කාර්යාල මේසෙකුයි ඒකටම පුටුවකුයි, ගිනි උඳුනකුයි, ප්‍රදීපාගාරය උඩට සර්පිලාකාරව විහිදෙන ලී තරප්පු පෙළයි ඇරුනම ප්‍රදීපාගාරය සම්පුර්ණයෙන්ම හිස්. පඩිපෙළ උඩට ගිහින් අවසන් වෙන්නේ ප්‍රදීපාගාර පහන තියෙන කුඩා කුටියෙන් කියල ප්‍රදීපාගාරයේ අඳුර අතරෙන් බලන ගමන් හිතාගන්න පුළුවන් වුණා.

"මම උඩට නැගල බලන්නං ෆෝන් එකට සිග්නල් තියනවද කියල." කියාගෙනම මම උඩට නගින්න පටන් ගත්තා. තරප්පු පෙළ සෑහෙන්න පරණ විය යුතු වුනත් දිරල ගිහිල්ල අඩිය තියන්න බැරි තත්වයකට ඇවිල්ල නැහැ. ඒ වුනත් පඩිපෙළ කඩාගෙන වැටෙන එකක් නෑ කියල හිතන ගමන් උඩට නැග්ගා. ඒත් කරදරයක් වුණේ මකුළු දැල්. අවුරුදු ගණනාවක ඉඳන් එකතු වුණු ජාලා හැමතැනකම එල්ලිලා ගමනට බාධා කළා. කොහොමහරි මකුළුදැල් කඩාගෙන පහන තියන තට්ටුවට ආවා. ප්‍රදීපාගාර පහන දල්වන්න ඇත්තේ තෙල්වලින්, විදුලිය ලැබුණු සලකුණු නැහැ. කුටිය වටේටම වීදුරු ජනේල සවිකරලා, ඒ එක්කම එලියට යන්න කුඩා හිඩැසකුත් ආරක්ෂාවට වැටකුත් තියනවා පෙනුනා.

  වලාකුළු අතර හිඩැස් වලින් ගලා ආපු අප්‍රාණික හිරු රැස් වේගයෙන් රැලි ගහන මුහුදට වැටිලා ආලෝක රටා මැව්වා. ඉඳල හිටලා කොටපු අකුණු හින්ද මුළු පරිසරයම ආලෝකමත් වෙලා අයෙත් අඳුරේම ගිල්ලුවා. කිහිප වතාවක්ම ෆෝන් එකට සංඥා ලැබුනෙම නැති හින්ද ආපහු පහලට බැස්සා. අදිත ඉටි පන්දමක් පත්තුකරලා තිබුණා.

  "කොහෙන්ද?" මම ඉටිපන්දම පෙන්නලා ඇහුවා.
  "මේ මේස ලාච්චුවේ තිබුණා."

  අදිත මේස පුටුවේ වාඩිවෙලා මේසෙට ඔලුව තියාගෙන හිටියා. මම පඩිපෙළේ පඩියක වාඩිවෙලා එලියෙන් ඇහෙන හුළඟට ඇහුම්කන් දුන්නා.

* * * * *

  එක පාරටම මට ඇහැරුනා. මම ඉන්නේ කොහෙද කියල හිතාගන්න තප්පර කිහිපයක් වැය වුණාට පස්සේ තමයි තේරුනේ වැස්ස නැවතිලා කියලා. ඉටිපන්දම නිවිලා ගිහින් තිබුනත් ප්‍රදීපාගාරයේ කවුළු වලින් ළා නිල පාට එළියක් ගලාගෙන ආවා. ඒත් එක්කම තමයි තේරුනේ මාව නැගිට්ටපු හේතුව, ඉහල කුටියෙන් සද්දයක් ඇහුණා. අදිතව ඇහැරවන්නේ නැතිවම මම උඩට නගින්න ගත්තා. උඩට ටිකෙන් ටික එද්දී තේරුනේ ඒ සද්දයක් නොවෙන බව, එක සංගීතයක්, පැහැදිලිවම කියනවා නම් වයලින් වාදනයක්.

  පහන් කුටිය හඳ එළියෙන් පිරිලා අලෝකමත් වෙලා තිබුණා. එතකොට තමයි මට ඇයව දැක ගන්න ලැබුනේ. ඇය කුටියෙන් පිටත කුඩා ඉඩ තුල ඉඳගෙන වයලීනයක් වාදනය කලේ ඒ සංගීතයේම මත්වෙලා. තනි සුදු පැහැ ඇඳුමකින් හැඩවෙලා හිටපු ඇයගේ දිග කොණ්ඩය සුළඟට සෙලවුණා, හඳ එළියෙන් හම බැබළුණා. ඇත්තෙන්ම කියනවා නම් ඇය කවුරුවුනත් මනුෂ්‍ය දියණියක් වෙන්න බැහැ. ගණන් කරන්න බැරිතරම් කාලයක් ඇයගේ වාදනයට කන්දීගෙන හිටියට පස්සේ ඇය වාදනය නැවැත්තුවා. එයාගේ ආසන්නයෙන්ම වැටේ වහල හිටියේ ලොකු කපුටෙක් (ඒ කාකය අපි කලින් දැකපු කපුටමයි කියලා කියන්න බැරිවුණත් ඌමයි කියලයි මට හිතුනේ). ඇය මා දිහා බලල යන්තම් හිනාවුණා. එච්චරයි, එච්චරමයි. ඇය අවකාශය තුලින් නොපෙනී ගියා.

* * * * *

  මම ආයෙමත් නැගිට්ටා, නිදාගත්ත තැනින්ම. කලින් දැක්කේ හීනයක් කියලා හොඳටම විශ්වාස වුණත් තරමක් හිත කලබල වෙලයි තිබුනේ. උදේ වෙලා, අදිත නැගිටලා හිටියා. අපි ආයෙත් වාහනේ නතර වෙච්ච තැනටම ආවා. නිකමට වගේ වාහනේ ක්‍රියාත්මක කරලා බැලුවේ බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඒත් වාහනේ ස්ටාර්ට් වුණා. කැඩුණු වාහන නිකම්ම වැඩකරන්නේ කොහොමද කියලා අහන්නේ නැතුවම ඉක්මනට වාහනේට නැගල අපි ආයෙත් පිටත් වුණා. ඈතින් ප්‍රදීපාගාරය කලින් තිබුණ විදිහටම තනියෙන් ආගන්තුකව දිස්වුණා.

  වාහනය පදවන ගමන් අදිත සංගීතයක් සිවුරුහන් කරන්න ගත්තා. ඒ මිමිනුමේ එතිලා තිබුනේ අතීතකාමී පළපුරුදු බවක්. ඒ එක්කම තමයි මතක් වුණේ ඊයේ හීනෙන් දැකපු වයලින් වාදනයේ තනුවත් එයම බව. මගේ ඇඟේ රෝම කූප ප්‍රතිචාර දක්වල හිරිගඩු පිපෙන්න ගත්තා.


ප.ලි. : මේක මීට කාලෙකට කලින් ලියල එක කොටසක් විතරක් පලකළා. කොටස් වශයෙන් ලියන කතාවලට හැමෝමවගේ අකමැති හින්ද මේ කතාව කෙටි කළා. ලියල කාලයක් ගතවෙලා හින්ද මම ආයේ කියවද්දී නම් නොගැලපෙන/නුසුදුසු කොටස් ගොඩකුත්, වැරදි කිහිපයකුත් තියනවා. ආයේ මුල ඉඳන් ලියන්න කම්මැලියි. කොහොමහරි, කියවල අදහස් කියන්න.

20 comments:

  1. හරිම ලස්සනයි. මම ලඟදි කියවපු නවකතාවකුත් මතක් උනා. නම මේ දැන් ඔලුවට එන්නේ නෑ. නවකතාකට උනත් ලස්සන කතාවක්. අර තරුනියට පෙම් බැඳලා ඒ එක තරුනයෙක් ප්‍රදීපාගාරේ පදිංචි වෙන කතාවක්.:)

    හිරණ්‍යට හරි ලස්සනට ලියන්ට පුලුවන්. ඒ දර්ශන මැවිලා පේනවා. ඇඟේ හිරිගඬුත් පිපෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, කතාව දිගටම ලියන යනවා නම් හැබැයි මීට ටිකක් වෙනස් විදිහට තමයි ලියන්න වෙන්නේ. මේ ඉන්න තරුණිය ජීවතුන් අතර නෑ. ඒ මේ ප්‍රදීපාගාරයේ හිටපු භාරකාරයාගේ බිරිඳ, කාලෙකට කලින් වගුර හරහා වෙච්ච හොරබඩු ජාවාරමක් හොයාගන්න ගිහින් ඇයට අනතුරක් වෙනවා මේ තරුණයෝ දෙන්න ඒ මිනීමරුවෝ හොයාගන්නවා වගේ කතාවක් ලියන්න පුළුවන්.

      Delete
    2. නැත්තන් ... මේ තරුණිය විදිහට පෙනී හිටින්නේ මායාකාරියක්. කපුටා එයාගේ අතවැසියෙක්. ඈ ප්‍රදීපාගාරේ හිරවෙලා. මායාකාරී ප්‍රදීපාගාරේට එන තරුණයින්ව වසඟයට ගන්නවා. ඉස්සර ඈ ප්‍රදීපාගාරේ අත ඇරලා දාන්න කලින් මුහුදේ යන එන නැව් වලට වැරදි සිග්නල් දීල ඕනේ කමින් ඒවා මුහුදුබත් කරපු කෙනෙක්. ප්‍රදීපාගරේ අත ඇරලා දාල තියෙන්නෙත් ඒකයි....
      :D

      Delete
  2. ඇත්තටම ලස්සනයි.............:)

    ReplyDelete
  3. උඹට තියෙන්නෙ චිත්‍රපටි තිර පිටපත් ලියන්න පටන්ගන්න... හිතේ රූප මවන්න උඹට සුපිරියටම පුළුවන්... ඒ රූප ගොඩක් තියුණුයි...

    මේක අවිඥාණික ප්‍රේම කතාවක්ද...? නැත්තං කිසිම විධියකින් පරායත්ත නොවුණ සිද්ධි කීපයක් කපුටෙක් සහ තනුවකින් සම්බන්ධ වුණාවත්ද?

    ReplyDelete
    Replies
    1. බලමුකෝ අවස්ථාවක් ලැබුනොත් නොලිය ඉන්නේ නෑ. ස්තුතියි.

      දෙවෙනි ආකාරයේ එකක් හැටියට ගන්න පුළුවන්. අනිත් අතට Gothic/Fantasy ෂානරයන්ට ඇතුලත් වෙන්න ලියපු නිසා එහෙම වෙන්න ඔනමත් නෑ.

      Delete
  4. ආහ් මේ පලියක් දාල තියෙන්නෙ... මම ඒත් බැලුව දාපු කතාවක්ම නේද මේ කියල...

    ReplyDelete
    Replies
    1. ඔව්, කලින් ලිව්ව කොටසත් එක්ක සම්පූර්ණ (කෙටි කළ) කතාව තමා මේ.

      Delete
  5. ඒක ඇත්ත චිත්ත රූප මැවීම ප්‍රබලයි.

    ReplyDelete
  6. කලින් දැම්මා කියපු කොටසනම් මට දැන් මතක නෑ.. ඒත් මේකනම් සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා...

      Delete
  7. මොකක් හරි හේතුවක් නිසා මට මතක් උනේ මේක :
    Yet, if you enter the woods
    Of a summer evening late,
    When the night-air cools on the trout-ringed pools
    Where the otter whistles his mate,
    (They fear not men in the woods,
    Because they see so few.)
    You will hear the beat of a horse's feet,
    And the swish of a skirt in the dew,
    Steadily cantering through
    The misty solitudes,
    As though they perfectly knew
    The old lost road through the woods.
    But there is no road through the woods.

    ReplyDelete
    Replies
    1. The Way Through the Woods by Rudyard Kipling නේ? ලස්සනයි.

      Delete
  8. ඇත්තටම චිත්තරූප මැවෙන සුන්දර රචනා ශ්‍යලයක්... කතාව තව ලිව්වොත් නරකද... නවකථාවක්ට අපූරු ආරම්භයක් කියල මටත් හිතුනා

    ReplyDelete
    Replies
    1. තව ලියන්න නම් බැරි කමක් නෑ. හැබැයි ලියල ඉවරයක් කරන්න අමාරුයි. පිටු 500/600 විතර තියන නවකතාවකට තරම් ලියන්න සිදුවීම්/අදහස් හොයාගන්න අමාරු නෑ. බ්ලොග් එකකට ගැලපෙන්නේ මෙහෙම තමයි. ස්තුතියි.

      Delete
  9. ගොඩක් හිතන්න වෙන කතාවක්....

    ReplyDelete