Thursday, October 11, 2012

අඩි | Steps


ඩි. වේගයෙන් තබන, වේගයෙන් ඔසවන අඩි. අඩි තබන වාරයක් පාසා උඩ විසිවන වතුර. අහස කුසෙන් ඇද හැලෙන වතුර. චිරි චිරි හඬින් බිම පතිත වෙන වතුර බිඳු. ත්ලොප් හඬින් මුහුණේ ගැටෙන වතුර බිඳු. කුඩ ඉහල ගෙන වැස්සෙන් මුවා වෙන්න අඩි ඉක්මන් කරන මිනිස්සු. එහෙම යන අතෙරේදී අනෙකා ගැන නොසිතන මිනිස්සු. මිනිස්සු අතරේ ඇඟේ වැදෙමින් පැද්දෙමින් ගාටන ඔහු. වත්කම් සරු කර ගන්නට අනෙක් මිනිස්සුන්ගේ සතුට උදුරා ගන්නා ඔහු.

ඔහු තමාව ගිජු ලිහිණියෙක් හැටියට උපමා කරගත්තා. කාන්තාරෙක ඉහල අහසේ සැරිසරමින් ගොදුරු හොයන, සුදුසු ගොදුරක් ඇස ගැසුනොත් මුදා නොහරින, ගොදුරක් නැති දාට ගොදුරක් මවා ගන්නා, තනිව හැසිරෙන ගොරුදුකරගන්නෙක්. සමාජ ශෝධකයෙක්. ඒ වගේ නමකින් වෙනත් අයෙක් ඔහු තමාව හැඳින්වුවා නම් බාර ගන්නත් තිබුණා. මිනිස්සු ගොදුර ගැන කම්පා වුණාට ගොදුරුකරගන්නා ගැන කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. ඒත් ඒ ස්වභාවය කියල පිළිගන්නේ නැතිව ඉන්නේ කොහොමද? ඔහු පියවර තැබීමේ වේගය වැඩි කළා. ගිජු ලිහිණියට ගොදුරක ඉවක් දැනිලා.

ගොදුර ඇඳන් හිටියේ මිල අධික ඇඳුමක් නිසා බැලූ බැල්මට සල්ලි තියන බව පෙනුණා. සල්ලි. සල්ලි තමයි ප්‍රධාන අපේක්ෂාව. ගොදුරෙන් බලපොරෝත්තු වෙන්නෙත් සල්ලිම තමයි. ගොදුර තරුණ ගැහැණියක්. ඇය කුඩයක් ඉහලාගෙන පරිස්සමින් අඩි තබමින් බස් නැවතුමට ගියා. ෆෝන් එක එලියට අරන් කාටද කතාකරන්න පටන්ගත්තා. ගිජු ලිහිණියාගේ කටයුත්තට දැන් පහසුයි, ඇස් දිලිසුනේ ඒ එක්කම යි. පදික වේදිකාවේ ඉන්න මිනිස්සුන්ව නාවගෙනම බස් එකක් නැවැත්තුවා. ගොදුර කුඩේ ඇකිලුවේ දුරකථනය කනේ තියාගන්න උත්සහ කරමින්. ගිජු ලිහිණියා ගොදුර වෙත ඇදුනා, සද්දේ ඇහෙන්නේ නැතිව අඩි තියන බළලෙක් වගේ. අඩි තබන මිනිස්සු අතරේ අඩි නොතබන්නෙක්.

ඇය බසයට ගොඩ වෙනවත් එක්කම ඔහුට දැනුන කාලය ගතවීම ඉතාම මන්දගාමී වෙනවා. හරියට ඒ කාල පරතයට දෙපැත්තෙන් ප්‍රති විරුද්ධව ආතතීන් යොමු වුණා වගේ. ඉතින් ගිජු ලිහිණියත් ගොදුර වෙත යොමු වුණා. අඩියෙන් අඩිය ඇය වෙත ළඟා වුණේ කිසි වගේ අවධානය නොලබමින්. ඇය බස් රථයට ගොඩ වෙන කොටම ඔහුගේ ඇත ඇයගේ බෑගයේ ඇතුලට ගිහිල්ල පසුම්බිය එලියට අරගෙනත් ඉවරයි. 'යමක් අමතක වුණා' වගේ පොඩි රඟපෑමකින් පස්සේ ඔහු ලෙහෙසියෙන්ම බසයෙන් බැස්සා. බසය ඉදිරියට ඇදෙද්දී ඔහු හිටියේ බසයට පෙනෙන මානයෙන් බොහෝ ඈත. තමන්ගේ ගොදුර ගැන ගිජු ලිහිණියා චුට්ටක්වත් පසුතැවිලි වුණේ නෑ. අනුන් වෙනුවෙන් දුක්වීමේ අවධිය පහුකරලා කලක් ගතවෙලා තිබුණා. ගිජු ලිහිණියා ගැන කිසිවෙක් නොසිතද්දී ඔහු අන් ඇය ගැන හිතන්නේ මොකටද? 'මා, මම හා මාගේ' ඔහුගේ ආදර්ශ පාඨය වුණා.

ගිජු ලිහිණියට එක්වරම කුඩා දරුවෙක් එක අතකිනුත් අනෙක් අතින් ලොකු මල්ලකුත් එල්ලගෙන යන මවක් ඇස ගැටුණා. දරුවයි මල්ලයි නොතෙමි තියාගෙන සමබරව ඉන්න ඈ ලොකු උත්සහයක් ගත්තා. උත්සාහය සාර්ථක වුණේ නෑ; මල්ල කිහිප වතාවක් බිමට වැටිලා වතුර ගෑවුණා. ඒ අම්මව හොඳටම තෙමිලා, මල්ල තරමක් තෙමිලා, දරුවා නොතෙමි ඉන්න හැටි ටික වෙලාවක් ගිජු ලිහිණිය බලන් හිටියා. මොහොතින් මොහොත ගත වෙද්දී ගිජු ලිහිණියාගේ 'ගිජු' කොටස අවකාශයේ අතුරදන් වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඔහු ලිහිණියෙක්. නිකම්ම නිකන් ලිහිණියෙක්. හුළඟේ පාවෙන සැහැල්ලු වැහි ලිහිණියෙක්.

ඔහු නැවතත් අඩි තබන්න පටන් ගත්තා. ඔහුට නොදැනීම, දැනීම ඔහු ඇවිත් නැවතුනේ පාළමක් උඩ. යටින් ගඟක් ගලාගෙන ගියා. වැස්සෙන් එකතු වුණ මඩ වතුර, තැනින් තැනින් ආපු කුණු, කොහෙන්හරි එකතු වුණු කළු පාට තෙල් පදාස එක්ක මිනිසුන්ගේ සුසුමුත් ගඟ මුහුදට අරන් ගියා. සාක්කුවේ පරිස්සමට තියා ගත්තු පසුම්බියෙන් සල්ලි කොළ ගණන් කරන්නේවත් තමන්ට කීයක්වත් ඉතිරි කරගන්නේවත් නැතුව ඔහු ඒවා ඉරන්න පටන්ගත්තා. ලිහිණියා ඒවා ඉරුවේ පිළිවෙලකට. එකවතාවක්, ඊටපස්සේ ගොඩවල් දෙකම අල්ලලා අයෙත් වතාවක් වශයෙන් කිහිපවතාවක් කරද්දී සල්ලි කොළ කෑලි මිටියක් ලිහිණියා අතේ ඉතුරු වුණා. ලිහිණියා අත අතහැරියා චුටි චුටි සල්ලි, ධනයේ සංකේත ගොන්නක් පාවෙමින් ගිහින් ගඟට එකතු වුණා. කුණු ගඟට තවත් කුණු.

තප්පර කිහිපයකින් ලිහිණියාගේ ගිජු බව ආයෙත් දළුලන්න වුණා. ඔහු තමනුත් කුණු ගොඩක් බව දැනගත්තත් ගඟට පැනල පාවෙලා යන්න බැරි බව දැනුණා. වතුර වගුරවමින් වලවල් වල ඕන කමින් වැටෙමින් යන වාහන අතරට ඔහු නැවතත් එකතු වුණා. ජීවත් වෙන කුණු ගොඩට ගිජු ලිහිණියා නැවතත් පියාසර කරන්න ගත්තා. ඒත් තටු නැති ඔහු පියාසර කරන්න තැබුවේ අඩි. අඩි; වතුර විසි කරමින් නැවතත් මඩ වතුර පාගමින් තබන අඩි.

8 comments:

  1. නිකම්ම නිකං ලිහිණියට වඩා මම නම් කැමති ගිජු ලිහිණියට...

    ReplyDelete
    Replies
    1. මම නම් කොයි ලිහිණියටවත් විශේෂ කැමැත්තක් නෑ. ඕනෙම ලිහිණියෙක් තුලම ගිජු ලිහිණියෙක් ඉන්න බව දන්නවා, එච්චර යි.

      Delete
  2. අය්යෝ අර දුප්පත් මිනිස්සුන්ට ඒ සල්ලි ටික දුන්නානම් මොකද වෙන්නේ?

    මහා නරක ගිජු ලිහිණියෙක්...:D

    ReplyDelete
    Replies
    1. එහෙම දුන්න කියලත් ගිජු ලිහිණියා හොඳ වෙන්නේ නෑ. ඌ ඌම තමයි.

      Delete
  3. ගිජුකම හැමකෙනෙකුටම පොදුයි. හ්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. පොදු නෑ, පොදු කරගන්නවද නැද්ද කියන එක තීරය කරගන්න ඕනේ තමන් ම යි.

      Delete
  4. ගිජු ලිහිණියෙක් සහ වැහි ලිහිණියෙක් අතර මගේම කතාව... මරු!

    'හරියට ඒ කාල පරතයට දෙපැත්තෙන් ප්‍රති විරුද්ධව ආතතීන් යොමු වුණා වගේ.' සුපිරි!

    ReplyDelete