Saturday, July 23, 2011

මමයි ඔබගේ රෝමියෝ


අසන්න මා පෙම්වත,
පැමිණියෙමි නැවත හමුවන්නට 
ඔබ නැතිව ගෙවනා සෑම තප්පරයක්ම
තනිකමින් අතරමංව මම 

මේ ඇස් කියනා ආරයේ කතාව
දැනෙනවා නේද, හැඟෙනවා නේද
දිව්රන්නම් දහස් වරක් වුවද
ප්‍රේමය කිසිදා නොමියන බවට

කොන්දේසි විරහිත ආදරය
අනන්තව පුදමි අකාලිකව
එක්ව ජීවත්වන මොහොතක් පාසා
ඔබේ නාමයෙන් ගෙවමි මම 

මේ සොඳුරු ආදරය සැබෑවක් බවට 
වටහාගන්නට පවසන්නම් මම
'මම ඔබට ආදරෙයි' කියා 
මේ පිවිතුරු ප්‍රේමය ඔබ හැර
වෙන කිසිවෙකුටත් නොවන බවට 

මාගේ වංශය අහිමි වුවත් 
මා සතු සියල්ල උදුරාගත්තත්
දුක්වන්නේ නැත මම
මාගේ අමිල වස්තුව ඔබ නිසාවෙන්

ඔබේ ඔය සිනිඳු ඇඟිලි තුඩු සිපගනිමි
සපථ කරන්නට කුමරාණනි,
මාගේ මේ ප්‍රේමය සත්‍ය බව
මා ඔබගේ රෝමියෝ වෙමි
ආත්මයෙන් ආත්මයේ...

ප.ලි.: සාමාන්‍යයෙන් මම කවියක් ලිව්වට පස්සෙයි එකට රූපයක් හොයන්නේ, ඒ විදිහට බලද්දී මේ අවස්ථාව ටිකක් විශේෂයි. මේ රූපය දැක්කහම මට මොනම හරි ලියන්න ඕනේ වුණා. මේ ඒ ප්‍රතිඵලය. තවත් පුංචි කාරණාවක්, මේ මාගේ 50 වැනි පොස්ටුව. 

Friday, July 22, 2011

ඒ පෙම්වතිය මගේම වෙයි.



උපේක්ෂාගෙන් ලියුමක් ලබන්න බලාපොරොත්තුවක් නොතිබුණාට එයාගෙන් ලියුම් සැහෙන ප්‍රමාණයක් ලබන්න මම වාසනාවන්ත වුණා. උපේක්ෂා ඉන්දියාවේ ගිහින් ලියුම් එවනවා කිව්වම මම ඇහුවේ 'ඇයි ලියුම් ලියන්නේ ඔයාට කතා කරන්න පුළුවන්නේ නැත්තම් ඊ මේල් කරන්න පුළුවන්නේ' කියලා, ඒත් එයා උත්තර දුන්නේ  'අතින් ලියන ලියුමක තරම් සමීප බවක් වෙන මොන මාධ්‍යක වත් නැහැ' කියල. එයා මව මගාරින්න එහෙම කිව්වද කියල හිතන ගමන් මම ඔලුව වනුවේ යාන්තමට. ඒ හින්දමද කොහෙද එයාගෙන් ලියුමක් ලැබුනම මගේ ඇස් උඩ ගියා. 

"හිරණ්‍ය, 
දැන් වෙලාව උදේ 5.30 යි. මේ මම දිල්ලි වල ඉඳල අග්‍රා වලට යන ගමන් බස් එකේ. මම හිතපු තරම් කරදරයක් මෙහෙ ගමනාගමනයට නැහැ. යන්න ඕනේ තැනට කොහොම හරි යාගන්න පුළුවන්. මම කලින් එක වතාවක් ටජ් මහල බලන්න ඇවිත් තියනවා, ඒත් ඒ හදිස්සියේ යෙදුන ගමනක් නිසා කිසිම නිදහසක් තිබුනේ නෑ. ඒ හින්දමයි මේ වගේ දවසක්ම ටජ් මහලට වෙන්කරලා ආසාවෙන්ම රස්තියාදු වෙන්නේ. මෙහෙම තනියම ඇවිත් ලොකු කුළුණු අතරේ, පලිඟු බිත්ති අතරේ අතරමන් වෙලා ලැබෙන සතුට වෙන කොහෙන් ලබන්නද? මට එහා පැත්තේ බස් එකේ වාඩිවෙලා යන කෙනා කියනවා ටජ් මහල බලන්න යන්න ඕනේ මගේ පෙම්වතාත් එක්කලු. මට හිතුනා මේ එයාට තමයි මේ ලියුම් ලියන්නේ කියල කියන්න, ඒත් විහිළුවටවත් බොරු කියන්න ඕනේ නෑනේ කියල මම කට වහගත්තා..."

ඔය විදිහට තව සෑහෙන විස්තරයක් ලියල තිබුනත් වැඩක් ඇති දේවල් මොනවත් ලියල නෑ. එහෙමයි කියලා මෙයාට බනින්න යෑ, මට කියන්න තියන දේ කෙලින්ම කිවනම් හරි කියන්න යෑ. අනිත් එක මෙහෙමවත් ලියුමක් එවන එකම ඇතිනේ. අනිත් එක මගෙත් වැරද්ද, උපේක්ෂා කොයිම වෙලාවකවත් මට බලාපොරොත්තු තියාගන්න විදිහට වැඩ කළේ නැහැනේ, මමමනේ එයා මට කැමති වෙයි කියල හිතාගෙන මනෝලෝකෙක හිටියේ. එක අතකින් මම අසාර්ථකයි කියන්නත් බැහැ, කොහොමහරි එයා මගේ හිතවතියක් බවට පත්වුණානේ. ඒක හින්ද මට අවශ්‍ය විදිහට පෙම් හසුන් නොඑවා මේ සංචාරක සටහන් ලැබුනට මට තරහ ගන්න, දුක් වෙන්න හේතුවක් නෑ.

මුදිතට ඔය ලියුම පෙන්නුවොත් හිනා වෙනවමයි කියල දැන දැනත් කියවන්න දුන්නම මුදිත හිනා වුණේ නෑ.
"දැන් ඉතින් උඹට සතුටුද?"
"ඔව් නෑ දෙකම"
"හඃ! දැන් උඹ උපේක්ෂා වගේ කතා කරන්නත් පටන් ගත්තද? දෙපැත්තටම නැති ගානට? මටනං ඔය කෙලින් වැඩ කරන්නේ නැති උන් අල්ලනේ නෑ."
"උඹ තේරුම් අරගත්තා වැරදියි, මට සතුටු එයා කියපු විදිහට ලියුම් එවපු එක ගැන, දුක ඒ මම බලාපොරොත්තු වුණ විදිහේ එකක් නොවුණු හින්දා."
"මෝඩයා, උඹ හිතුවද මෙහෙදී 'බෑ බෑ' කියකිය හිටිය කෙල්ල ඉන්දියාවේ ගියහම 'හා' කියයි කියල?"
"හිතුවා වෙන්න ඇති..."
"වෙන්න ඇති නෙමේ, එහෙම තමයි. ඉතින් දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ?"
"ආයේ භාවනා කරන්න යන්න ඕනේ."
"ඇත්තටම? මම හිතුවේ ඒ උපේක්ෂාව හම්බවෙන්න කරපු බොරුවක් කියල."

"මුලදී නම් එහෙම තමයි ඒත් දැන් නම් ඇත්තටම උවමනාවක් තියනවා." , මුදිත මුණ අමුතු කරලා මං දිහා බැලුවේ මව විශ්වාස කරන්නේ නෑ කියන්න වගේ. මම උරහිස් අකිලුවා.
"උඹ මාත් එක්ක යන්න එනවනේ"

උපේක්ෂා ඉන්දියාවේ යන්න කලින් කියල ගියේ ආයේ කවද ඒවිද කියන්න බැහැ කියලයි. ඒ වෙලාවේ මට දරාගන්න බැරි තරම් දුක හිතෙන්න ඕනේ උනත් එහෙම වුණේ නැත්තේ සදාකාලික එක්වීමක් අපිට නැහැයි කියල මගේ හිතේ කොනක හරි සටහන් වෙලා තිබුණ නිසා වෙන්න ඕනේ. නැත්තම් උපෙක්ෂගෙන් අහන්න දකින්න ලැබුන දේවල් වලින් මගේ හිතේ වෙනස් වීමක් ඇති වුණා වෙන්නත් පුළුවන්. ඔය කොයි දේ උනත් ඒ වෙන්වීම දරාගන්න පුළුවන් තත්වයකට මගේ හිත සංයමය වෙලා, සන්සුන් වෙලා. මේ දේවල් එකින් එක කල්පනා කරලා බලද්දී තමයි මට තේරුම් ගන්න පුළුවන් උනේ දැන් මම කොච්චර වෙනස් කෙනෙක් බවට පත් වෙලාද කියලා. කලින් හිටපු හිරණ්‍ය ව යටපත් කරගෙන නැගී හිටපු අලුත් හිරණ්‍ය කෙනෙක්. ඒ හිරණ්‍ය මට තවම ආගන්තුකයි, සමීප බැවින් තොරයි. ඒත් කලින් හිටපු නාට්‍යාකාර 'මම' ට වඩා දැන් 'මම' ට මම කැමතියි, ඒ මේ අලුත් හිරණ්‍ය ගේ උපතට මුල් වුණේ උපේක්ෂා නිසා. 

හැම සිද්දියක් අතරම මම තවමත් භාවනා කරන්න යනවා. මෙත්තා මෙහෙනියන්ගේ මෛත්‍රී ශක්තිය මට විතරක් නෙමේ මුළු ලෝකෙටම විහිදෙනවා. මුදිත මම කරන කියන හැම දෙයක්ම සතුටින් බලන් ඉන්නවා, උපේක්ෂා සියල්ලටම ඉහලින් මම දිහා බල ඉන්නේ උපේක්ෂාවෙන් කියලා මට හැඟෙනවා. මේ සේරමත් එක්ක මට තේරෙන්නේ මම සැහෙන්න වයසට ගිහින් වගේ, කවුරු හරි මගෙන් වාසය ඇහුවොත් දැන් මම උත්තර දෙන්නේ දෙසිය විස්සයි කියලා. එච්චර වයසක කෙනෙක් මේ ලෝකෙන්ම වැඩිහිටියා වෙන්න ඕනෙනේ. ඔව් දැන් මට හැමෝම මගේ දරුවෝ වගේ කියලා හිතන්න පුළුවන් වෙලා. ඉතින් හැම දරුවෙක්ටම මගෙන් කරුණාව ඉතිරෙනවා. ප්‍රභාකරන්ට උනත් හිට්ලර්ට උනත් අහලපහල ඉන්න නෑදෑයාට උනත් මගේ කරුණාව එක සමානයි. හැමෝටම සලකන්නේ එකම සුත්‍රයකින්. ඒ සුත්‍රය ලෞකික බවෙන් ඔබ්බට ගිය ලෝකෝත්තර දෙයක් කියලා යන්තම් දැනෙමින් තියනවා.

Tuesday, July 19, 2011

රතු ගිටාරය


සඳ එළියෙන් ගිටාරයේ
තත් දිලිසෙන විට
හදවතේ රිද්මය සුසර වී
වයන්නට පටන් ගනියි
අපගේ ප්‍රේමයේ
අනවරත සංධ්වනිය

Sunday, July 17, 2011

හොඳ, නරක හා කැත



'හොඳ' කියන වචනෙට නිර්වචනයක් දෙන්න පුලුවන්ද? ඔව්, හැබැයි පුද්ගලයන් 50 දෙනෙක් ගෙන් ලබාගත්ත ප්‍රතිචාර 50 යම් තරමින් හරි එකිනෙකට වෙනස් වෙනවා. ඒකියන්නේ 'හොඳ' කියන වචනෙට නිශ්චිත අදහසක් නෑ කියලද? එහෙමත් කියන්න පුළුවන්. කොහොම වුනත් ඒ පුද්ගලයන්ගේ ජාතිය, ආගම, සමාජය, සංස්කෘතිය, උගත්බව, අත්දැකීම්, වයස වගේ කරුණුත් එක්ක 'හොඳ' ට දෙන අදහස එහා මෙහා වෙනවා. 
'හොඳ' වචනය භාවිත වෙන අවස්ථා කිහිපයක් තියනවා.
"මේ නවකතාව හොඳයි."
"අර සංගීතය හොඳයි", වගේ අවස්ථාවලදී අපි අදහස් කරන්නේ අපේ කැමැත්ත ප්‍රකාශ කරන්න. ඒක සෞන්දර්යාත්මක ඇගයීමක්.
"මේ බෙහෙත කැස්සට හොඳයි"
"සීතලට දුම්බීම හොඳයි", ආදී විදිහට අපි ප්‍රකාශ කරන්නේ කිසියම් උපයෝගිතාවක්. 
"අසරණයන්ට සැලකීම හොඳයි"
"වැඩිහිටියන්ට ගරු කළ යුතුයි", වගේ අවස්ථාවලදී අපි ආචාරාත්මක කාරණා කියන්නත් මේ වචනෙම යොදාගන්නවා. එහෙමත් නැත්තම් මේ හැම කාරණාවකටම වෙන්නත් පුළුවන්.

යමක් හොඳයි කියල කියන්න හේතුවෙන ලක්ෂණ ස්වභාවය අනුව විස්තර කරන දාර්ශනිකයින් දෙපිරිසක් ඉන්නවා.
1) වාස්තවිකවාදීන්
2) ආත්මීයවාදීන්
වාස්තවිකවාදීන්ගේ අදහසට අනුව හොඳ ඇතිකිරීමේ ලක්ෂණ බහිරව වාස්තවිකව පවතියි. ඉතා පැරණි වාස්තවිකවාදියෙක් වෙච්ච ප්ලේටෝ කියා සිටියේ හොඳ බව ඒකියන්නේ 'සාධුත්වය' බාහිරව පවතින දෙයක් බවත් ලොව පවතින සියලුම සාධුත්වයේ ආකෘතිය අධිභෞතික වෙන බවත් ගැනයි. මෑතකාලීන වාස්තවික වාදියෙක් වුන ජී. ඊ. මුවර් (G. E. Moore) ට අනුව හොඳ අවිශ්ලේෂණීය යි. හරියට 'මලක් කහ පාටයි' කිව්වා වගේ. 'කහපාට මොකද්ද' කියල ඇහුවොත් කරන්න තියෙන්නේ කහපාට දෙයක් පෙන්වල 'මේ වගේ' කියල කියන එක වගේ හොඳ ත් අර්ථ දක්වන්න ඔහු උත්සහ ගත්තා. කොහොම වුනත් වාස්තවික වාදීන්ට විරුද්ධව විවේචන එල්ල කරනවා. එකක් තමයි, 'හොඳ' වාස්තවික නම් ලෝකයේ හොඳ කියල සම්මත වුන සෑම  දේකම එක පොදු ගුණාංගයක් තිබිය යුතුයි, එහෙත් හැම වෙලේම එසේ වන්නේ නැහැ.

ආත්මීයවාදීන්ට අනුව යමක් හොඳ වීමට ආත්මීය කාරණා බලපායි. ඇරිස්ටෝටල් මෙසේ හොඳ පිලිබඳ ආත්මීය අදහසක් ඉදිරිපත් කළ අයෙක්. ඔහු කීවේ 'සතුටට තුඩු දෙන' දේ හොඳ දේ බවයි. සතුට නම් මානසික තත්වය ඇතිකරවන දේ හොඳ දේ බවයි. මේ නිසා හොඳ යන්න වාස්තවික නොවන බවකි ඔහු කියන්නේ. නමුත් සතුට ඇතිවන සියලුම ක්‍රියා හොඳ දේ ලෙසට හඳුන්වන්න පුලුවන්ද? ඒක එහෙම වෙන්නත් නොවෙන්නත් පුළුවන්.

මේ ප්‍රධාන මත දෙකටම වෙනස් මතයක් ස්ටීවන්සන්, හෙයාර්, ටුල්මින් වගේ ආචාරත්මක් චින්තකයින් දැරුවා. ඔවුන් කීවේ හොඳ ලක්ෂණයක් විදිහට හඳුන්වන එක වැරදි බව හා එය ක්‍රියාවක් ලෙස සැලකිය යුතු බව. "නුඹ දුවපන්", "මේ පාන් කන්න" වගේ අවස්ථාවල මෙන් හොඳයි යන්නද ක්‍රියාවක් ලෙස ගතයුතු බව ඔවුන් කියා සිටියා. හොඳයි යන්නෙන් වෙන ක්‍රියා කිහිපහයකි. අනුමත කිරීම, වර්ණනා කිරීම, අණ කිරීම, තීරණය කිරීම වැනි කාර්යයන් ඒවා යි. මොවුන්ගේ අදහස අනුව හොඳයි යන්න හුදු චිත්ත වේග ප්‍රකාශ කිරීමක් පමණකි. එහෙත් එය එසේමද?


මේ විදිහට හොඳ නරක විග්‍රහ කරද්දී හොඳ කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
1)පරායක්ත හොඳ 
2)ස්වායක්ත හොඳ 
උදාහරණයකින් කිව්වොත්, කිසිවෙක් "හෙම්බිරිස්සාවට විටමින් සී හොඳයි" යැයි කිව්වොත් හෙම්බිරිස්සාව සුව වීම අපේක්ෂා කරයි. එනම් ප්‍රධාන අරමුණ නිරෝගී බවයි. නිරෝගීබව ඇති වන්නේ නැති නම් විටමින් සී හොඳ යැයි කියන්නේ නැත. මේ ආකාරයෙන් හඳුන්වන හොඳ 'පරායක්ත හොඳ' යි. නිරෝගීකම අප හැම විටම අපේක්ෂා කරන්නකි, එය නිෂ්ටාවකි. එය 'ස්වායක්ත හොඳ' ලෙස වේ.  

මේ විදිහට බැලුවහම හොඳ මොකද්ද කියන එක දැනගන්න කරන්න වෙන්නේ මොකද්ද? බොහෝවිට ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න මිනිසුන් උත්සහ දරන්නේ ආගමෙන් තුලින්. මේ ලිපියේ දෙවැනි කොටස විදිහට 'හොඳ හා ආගමික පසුබිම' ගැන පසුවට ලියන්නම්, එතකන් ඔබේ 'හොඳ' පිළිබඳව ඔබේ අදහස් දැනගන්න කැමතියි.

ප.ලි. : ඔය උඩින් තියන රූපය The good, the Bad and the Ugly කියන චිත්‍ර පටය වෙනුවෙන් සකස් කළ පෝස්ටරයවෙලාව තියනව නම් හොයාගෙන බලන්න!

Wednesday, July 6, 2011

එන්න මැජික් බලන්න



එන්න කරමු අපි
අලුත් සෙල්ලමක්
කවදාවත් දැකල නැති
කවදාවත් විඳලා නැති
අලුත්ම විදිහේ වැඩක්

රස්නේම රස්නෙන්
පොප්සිකල් සූප්පු කරන්න
ඊට පස්සේ අලුත් යෝගට්
රහ බලන්න
නැත්තම් කෙලින්ම
පොඩිකාලේ වගේ
අස්සයා ගෝන් ටික් ටික්
යන්න සැරසෙන්න

ඔයාව ටිකක් කොනිත්තන්ද?
මේ ඇත්තමද කියල හිතාගන්න
මටවත් හිමීට ඇනල බලන්න
මායාවක් නෙමෙයි මේ

ලෙදර් සුවඳ එක්ක
දිලිසෙන රිදී මුද්ද
ඔයාගේ ඇඟිල්ලට
ලස්සනට ගැලපෙනවා

ඉක්මන් කරන්න
මේ වික්ටෝරියානු නාසියන්ගෙන් 
ගැලවෙන්න, එන්න අපි දුවමු
මේ අමුතු මැජික් දැකල
කලන්තේ හැදෙන්න කලින්
රැජිනවත් නොදන්න සදාචාරය ගැන
අපිට බණ කියන්න කලින්

හා! තමාතුලම සිටින සත්වයා නැත'යි කියාගන්නා අසාර්ථක හඬ!!

Monday, July 4, 2011

ඔබයි මමයි...


හුළඟ වගේ නුඹ
කණ්ණාඩිය ළඟ හිඳ
මුහුණ බලන විට
දඟ ගතිය පෙනේ මට
අතින් අල්ලා
පිදිය හැකියි මගේ හද