Saturday, October 29, 2011

දෙමළුන්ට ප්‍රශ්න තියනවද?

ඔය ප්‍රශ්නෙට උත්තරේ ඔව්, දෙමළාට විතරක් නෙමේ සිංහලයාට, මුස්ලිමානුවන්ටත් ප්‍රශ්න තියනවා. ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකේ හොයා ගන්න නෑනේ. ඒත් මෙතන අදහස් කෙළේ ලංකාව තුල දෙමළෙක් වීම නිසා වෙනම ම මතු වුණු ගැටළු තියනවාද කියන දේ. ඒ ප්‍රශ්නෙටත් උත්තරේ ඔව් ම තමයි.
මේ කියන්න යන්නේ පොතක් ගැන විස්තරයක්. ඒ කෙටි කරපු දිග කතා ලියල තියෙන්නේ කුමාරි (කුමාරි කුමාරගමගේ) නම් කෙනෙක්. ඇය නැගෙනහිර පළාතේ සිටින විට 2007 වසර ඇතුලත ලබා ගත් අත්දැකීම් මත, විවිධ පුද්ගලයන් මුල්කරගත් කෙටි කතා කිහිපයක එකතුවක් තමයි මේ පොතේ ඇතුලත් වෙන්නේ. පොත කියවන්න පටන් ගත් වෙලාවේ ඉඳල ඇති වුණු කම්පනය නම් දරුණු යි. කියවල ඉවර වෙලා කිහිප දවසක් ම ගත වුණත් තාමත් ඒ අකුරු අතරින් ගලා ආපු කෘර බව හිතට වද දෙනවා. මම මේ කරන්න යන්නේ විචාරයක් නෙමේ, අනික සැබෑ අත්දැකීම් මත ලියපු යමක් විචාරය කරන්නත් බැහැ කියලයි මම හිතන්නේ. ඒ නිසා යම් යම් උපුටා දැක්වීම් කිහිපයක් පමණක් දක්වන්නම්.

කතාව ගැන යමක්
දිනක් ත්‍රිකුණාමලයේ සිට නුවර බලා යමින් සිටි මා ගමන් ගත් රථය පිපිරුම් ශබ්දයකට පාරේ නැවතිණි. ඒ තම්පලකාමම් / තඹලගමුව මංසන්ධිය යි. ඉදිරියේ නාවුක හමුදා බසයක් බිම් බෝම්බයකට හසුව පුපුරා ගොස් පසෙක තිබු කුඹුරකට පෙරළී ගිනි ගෙන තිබුණි. මළ සිරුරු හා සියලු සුන් බුන් ලහි ලහියේ ඉවත් කොට පැයකට පමණ පසු මාර්ගය විවෘත විය. නාවුක හමුදා බටයෙකුට අයත්ව තිබු ඔප දැමු කළු පැහැ සපත්තුවක් අයිති කරුවා අහිමිව තනිවී පාර අයිනේ රැඳී තිබුණි. එය මට පැවසුයේ අත්හරිනු ලැබූ තවත් එක් කතාවකි.

පාර්වතී
තනිවම ඇවිද ගන්න බැරිව පැනල එන්නේ කොහොමද? අනික ඒ කඳවුරු වටවෙලා තියෙන්නේ හමුදා කඳවුරකින්. අනිත් පැත්තෙන් මුහුද, තව පැත්තක ගඟ. කොහොම හරි පැනල ආවමයි කියමුකෝ. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් උස්සගෙන් ගිහින් පැනල ගියාට දඬුවම් දෙයි. නැත්තම් කවුරුහරි වෙඩි තියල දායි. ඒත් නැත්තම් ළමයා වෙනුවට ගෙදර කාවහරි අරන් යයි. කරදර විතරයි. එහෙම වෙන්නේ නෑ කියල කාටද සහතික වෙන්න පුළුවන්. අන්තිමට පාර්වතී තීරණය කළා බලා ඉන්න. කවදාහරි දවසක කවුරු හරි පුතාව ගෙදර ගෙනත් ඇරලවයි.

පොන්නුදුරෙයි
"පුතාව හම්බ වුණාද?"
"ඔව්, අපි ඉන්න තැන හොයාගත්තා. කතාබහ කරන්නත් හම්බ වුණා. ළමයා අඬනවා ගෙදර එන්න. අපි මොනවා කරන්නද නෝනා. දෙවියෝ තමයි අපිට ඉන්න එකම පිහිට."
"දෙවියෝ! දෙවියෝ ඉන්නවනම් ඉතින් ඇයි ඔයාලට මෙච්චර කරදර වෙන්නේ..."
"නෝනා එහෙම කියන්න එපා. ජීවිතේ පටන් ගත්ත දා ඉඳන් අපි වෙනුවෙන් කිසිම කෙනෙක් මොනවත් කළේ නැහැ. ඉස්සරහට කරන්නෙත් නෑ. බලයේ හිටපු අයයි බලය ගන්න හදන අයයි කවුරුත් කළේ අපිට නිදහසේ ඉන්න දුන්නේ නැති එක. අපිට ඉන්නේ දෙවියෝ විතරයි නෝනා. දෙවියෝ මගේ පුතාව ගෙදර එන්න සලස්වාවී"
පොන්නුදුරෙයිලගේ ගෙදරට පිටිපස්සේ ගෙදරින් වයසට ගිය අම්මෙක් එබිකම් කළා. " ඒ මගේ අක්කා, එයාගේ පුතාවත් එල්.ටී.ටී.ඊ. එකෙන් අරන් ගියා. දැන් අවුරුදු දෙකකට විතර ලොකු පුතා පැනල ආපු කාලෙ ඒ ළමයාත් පැනල ආවා. කරුණා පාටිය ඇවිත් මේ ගේ ඉස්සරහ... අන්න අර අඹ ගහ ළඟදී ඒ දරුවට වෙඩි තිබ්බා. මැරෙනකොට අවුරුදු 18 යි වයස. යන්තමින් දැලි රැවුල ආවා විතර යි..."
පොන්නුරෙයි ගේ අක්කා කම්බි වැට උඩින් අපි දිහා බලලා එක දතක් වත් නැති ලොඹු කටින් හිනා වුණා.
"දෙමළ වෙලා ඉපදුන පාපෙට දෙයියෝ මොනවා කරන්නද?"
අපි එන්න හැරෙනකොට ඒ කතාව ඇහුනේ පොන්නුදුරෙයි ගේ අක්කගේ ගෙවල් පැත්තෙන්.

මව්වරු සහ දරුවන්
"එදා හවස එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් පැලේ හේත්තු කරලා තිබුණ බයිසිකලේ ඉල්ලලා. එයා කියල අනේ ඒක නම් දෙන්න බැහැ ඒක නැතුව කොහොමද මම ගෙදර යන්නේ කියල. උන් ඒක අහන්නේ නැතිව බයිසිකලේ ළඟට යද්දී බල්ලා ගොරවලා. එතකොටත් එයා කිව්වලු බල්ලට මොනවත් කරන්න එපා බයිසිකලේ මම අරන් දෙන්නම් කියල. ඒත් උන් බයිසිකලේ අත ඇරලා බල්ලාගේ කනට වෙඩි තියල..."

සිත්තාන්ඩි
"කවුද ඉතින් වෙඩි තියල තියෙන්නේ?"
"දන් නෑ"
"එල්.ටී.ටී.ඊ. ද?"
"නෑ"
"කරුණාද?"
"නෑ"
"වෙන කණ්ඩායමක්ද?"
"නෑ"
"හමුදාවද?"
"දන් නෑ"
-------------------
"හමුදාවේ පොලිසියේ අය ආවේ නැද්ද ශිව කුමාරගේ මරණෙට?"
"පහුවදා ආවා"
"ඉතින්?"
"කවුද වෙඩි තිබ්බේ ඇහුවා අපි කිව්වා දන්නේ නෑ කියල"
"එතකොට එයාල මොකද කිව්වේ?"
"ඔව්, ඔයාල දන්නේ නෑ. එල්.ටී.ටී.ඊ. එකෙන් වෙන්න ඇති කිව්වා."
"ඔයගොල්ලෝ කිව්වද නෑ කියල?"
"එක නැන්දෙක් කිව්වා ඇඳුම් ඔයාලගේ වගේ, දිග තුවක්කු තිබුණා කියල"
-------------------
"කව්ද ගමට ෂෙල් ගැහුවේ?"
"දන්නේ නෑ"
"ඇයි? කවුරුත් ඔයාලට කිව්වද ඔයාල දන්නේ නෑ කියල?"
"ඔව්..."

කුහන් - ත්‍රීවිල්කාරයා / දේශපාලනඥයා
"ඇත්තටම සිංහල දෙමළ අතර ඉරි අඳින්න පුළුවන් කාටද අක්කා... කොහෙන් කොහොමද ඒක පටන් ගන්නේ? මම දෙමළ වෙලා ඉන්න කැමතියි. ඇත්තම කිව්වොත් දෙමළ කියාගන්න ආඩම්බරයි. හැබැයි ඒක මාව මරණයට තීන්දු කරන්න හේතුවක් වෙන්නේ කොහොමද? ඒක අක්කව මරන්න මට ලැබෙන ලයිසන් එකක් වෙන්නේ කොහොමද? ඒක මම කතා කරන භාෂාවට, මම ජීවත් වෙන විදිහට, මම අදහන ආගමට, මම ජීවත් වෙන ප්‍රදේශයට හේතුවක් විතරක් කරගන්න පුළුවන් නම්... එහෙනම් අපි කොච්චර වසනාවන්තද නේද අක්කා... දැන් බලන්න කඳවුරේ හිටපු අර මල්ලි... එයාගේ අම්මා සිංහලද දෙමළද? එය දෙමළ කියල කවුරු හරි කියනව නම් එයාගේ සිංහල කෑල්ලට තියන අයිතිය එහෙම්පිටිම්ම නැති වෙනවද? එතකොට ඒ අම්මගේ ළමයි... උන් කවුද? ඒ ළමයින්ට ජීවිතේ කවදාවත් සතුට කියන එක විඳින්න බැරි වෙන්න කරපු පාපය මොකද්ද? අපේ මිනිස්සුන්ට මේවා තේරෙන කාලෙ වෙද්දී අනිත් ඒවා කෙසේ වෙතත් ලොකු කනත්තක් නම් ඉතිරි වේවි."


ආයේ අමුතුවෙන් මට කියන්න දෙයක් නෑ, මේ වචන ඒවා වෙනුවෙන්ම කතා කරනවා. මේ පොතේ නැවත නැවතත් කියවෙන්නේ යුද්ධයේ කුරුරි බව හා සාමයේ වැදගත්කම ගැනම තමයි. ඒ වගේම 'දෙමළුන්ට ප්‍රශ්න තියනවද' කියන ප්‍රශ්නෙටත් සාධාරණ උත්තරයක් මේ පොතෙන් ලැබෙනවා. ඇය කියල තියන විදිහටම මේ මහා චිත්‍රය නෙමේ යි, මේ ඉතාම කුඩා කොටසක් පමණයි. මේ කොටසින් මහා රූපය බලන්න බෑ වගේම මේ කොටස නැතුව මහා චිත්‍රය සම්පූර්ණ වෙන්නෙත් නෑ. අවසානයේදී කියන්න තියෙන්නේ නොකියවුණු කතාවක් දැනගන්න මේ පොත පුලුවන්නම් කියවන්න කියල තමයි.

සියොතුනේ උතුරින් මෙහි එන පියඹා 
සියොතුනේ දකුණින් එහි යන පියඹා 
දකුණේ දිනු ගම් පීරා
උතුරේ උන් හා.. 
අහසේ හමුවන තැන කොතැනේ....

Thursday, October 27, 2011

සංසාර ආරණ්‍යය : වස්සානයට අවසරයි



විවේක කාලයෙදි පන්තිය සම්පූර්ණයෙන් ම වගේ හිස්. ආදිත්‍ය පේලි කිහිපයක් ඈතින් වාඩිවෙලා තනියම පොතක් කියවමින් (නැත්තම් කියවන බව පෙන්වමින්) හිටියා. අසාර්ථක රැග් එකෙන් පස්සේ සැලකිය යුතු තරම් දෙයක් සිද්ධ වුණේ නෑ. මං ළඟින් වාඩිවෙන්න ආවත් ආපහු වෙන තැනකට ආදිත්‍ය මාරු වුණා. පන්තියේ කවුරුත් ආදිත්‍ය එක්ක කතා කරන්න උත්සහ කළේ වත් ආදිත්‍ය ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ වත් නෑ. කොටින්ම කිව්වොත් ආදිත්‍ය එක්තරා විදිහකින් කොන් වෙලා හිටියා. අලුතින් ඉස්කෝලෙට ආපු පළවෙනි දවසෙම ඔහොම ඉරණමක ට මුහුණ දෙන්න කොහොමවත් නොහිතන්න ඇති. ඒත් මට කරන්න දෙයක් නෑනේ.

එක අතකින් ඒකට මමත් වගකිව යුතුයි තමයි.

මම ආදිත්‍ය හිටපු තැනට ගිහින් පිටට තට්ටුවක් දැම්මා. ඒකට එයා ගැස්සුනා. බලාපොරොත්තු නොවුණු වෙලාවක සිද්ධ වෙන දේවල් නිසා ගැස්සෙනවා තමයි. මට හිනා යන්න ආවත්, ඒක අසාර්ථක විදිහට පාලනය කරමින් හිටියා. ආදිත්‍ය තාමත් ගැස්සුණු ගමන් මා දිහා බලන් හිටියේ සැකෙන් වගේ.

"කැන්ටීන් එකට යමුද?" මං ඇහුවා, ඒක කොච්චර දුරට සාර්ථක ප්‍රශ්නයක් ද මන්ද, ඒත් මට අහන්න කටට ආවේ ඕක යි. මම පුළුවන් උපරිමයෙන් අවංකවම හිනා වුණා. සැකය තාමත් ඉවර නෑ. පුදුමෙන් වගේ මගේ මූණ දිහා බලන් හිටියා විතරයි, එක අතකින් පුදුම නොවී ඉන්නත් බැහැ නේ. ඒත් ඊළඟට පුදුම වෙන්න අවස්ථාව උදාවුනේ මට යි, ආදිත්‍ය ඔලුව වනල 'යමු' කිව්වා.

දවල් වුණත් පරිසරය ළා මීදුමක ගිලිලා තිබුණේ. වැහින්නේත් නැති නැත්තෙත් නැති වලාකුළු වලින් අහස බර වෙලා මහනුවරම අඳුරක පටලවලා. උදේ ඉඳන් ඉර එලිය නොවැටීම නිසාවෙන් උෂ්ණත්වයත් සිසිලස යි. අපි කැන්ටීන් එකට යන අතර තුරේදී අපි දෙන්නා ගෙන් කවුරුත් කතා කළේ නෑ. මට නම් කතා කරන්න උවනමාවක් තිබුණත් කතාව පටන් ගන්න අවස්ථාවක් නැති කමෙන් ලොප් වුණා.
"මොනවද කන්නේ මම ගන්නම්?" මම ඉදිරිපත් වුණා.
"එපා එපා, මම ගන්නම්."
"බෑ බෑ, මොනවද ගන්නේ කියන්නකො?"
"එහෙනම්, කැමති දෙයක් ගන්න." ආදිත්‍ය උත්තර දුන්නේ හිනා වෙලා. සමහර විට මේ එක්කන් යන්නේ තවත් රැග් එකකට කියල හිතන්න ඇති. නැත්තම් තාමත් මේ රැග් එකේම කොටසක් කියල හිතනවද දන්නෙත් නෑ. කොහොම වුණත් මට ඒ ප්‍රතිචාරය යම් සහනයක් ගෙනාවා.

නිශ්චිතවම කන්නේ මොනවද කියල ආදිත්‍ය කිව්වේ නැති හින්ද මම ගත්තේ මම සාමාන්‍යයෙන් ගන්න කෑම ම යි. වෙන දවසක් වුණානම් කැන්ටීන් එක පිරෙන්න ම ළමයි ඉන්නවා උනත් එදා කැන්ටින් එක සෑහෙන දුරට හිස්. ජනේලයක් ළඟ මේසයකට අපි එකතු වෙනකොට වැහිබර වලාකුළු වැස්ස නිදහස් කරලා තිබුණා.

"කම්මුල් පාර රිදුනද?" මම එහෙම ඇහුවේ නෑ. අහන්න උවමනාවක් නම් හොඳටම තිබුණා. ඒකට ලැබෙන ප්‍රතිචාර කොහොම වේවිද කියල හිතාගන්න බැරිව ලත වෙද්දී වැරද්දක් කළාට පස්සේ ඇතිවෙන කලකිරීමකුත් හිතේ දෝලනය වුණා. ඒත් එහෙම අහල මේ ගලා යාම නතරකරන්න බැරි ගතියක් දැනුනා. ඒ වෙනුවට මම ඇහුවේ "ආදිත්‍ය කොහෙද ගෙවල් කියල?" යි.

"කටුගස්තොට." තනිවචනයේ උත්තරයක්. ආදිත්‍යගෙන් දිගටම ලැබුනේ තනි වචනයේ පිළිතුරු. 'කලින් ඉස්කෝලේ ගියේ කොහෙද' 'ඇයි මේ ඉස්කෝලෙම තෝරාගත්තේ?' 'පන්ති යන්නේ කොහෙද?' 'පවුලේ විස්තර' වගේ හැම දෙයක් ගැනම මම ප්‍රශ්න ඇහුවා. ආදිත්‍ය උත්තර දුන්නේ අකමැත්තෙන් නොවෙයි කියල තේරුනත් වැඩි පුරාම කතා කෙළේ මම යි. ආදිත්‍ය වැඩි පුරාම කලේ ඔලුව හොල්ලන එක තමයි. එක අතකින් ඒක එයාගේ හැටි වෙන්නත් ඇති. පළවෙනි හමු වීමෙන් ම පුද්ගලයන් ගැන නිගමන වලට එන්න බෑනේ.

විවේක කාලය ඉවර වුණත් අපි (ඇත්තම කිව්වොත් මම) ඔහේ කතා කර කර හිටියා. ආදිත්‍ය ට ආපහු යන්න ඕනේ බවක් පෙනුනෙත් නෑ. වැස්සත් යම් තරමකින් අඩු වෙලා තිබුනත් ළා චිරි චිරිය අපිව කම්මැලි කරලා එක්තැන් කළා. එකපාරටම කැන්ටීන් එකට ඉක්මන් ගමනකින් ආව හරේන්, මම යි ආදිත්‍ය යි කතා කරමින් ඉන්නවා දැකල එතනට ආවා. මම මුලින් ම හිතුවේ පන්තියට කවුරුවත් ඇවිල්ලා ඇති කියලා. ඒත් එහෙම නෙමේ යි.
"රවීන්, උඹල දෙන්න පන්තියේ නැති හින්ද බලන්න ආවේ..." හරේන් කිව්වේ සැකෙන්.
"ඇයි?" මම ඇහුවා.
"නෑ මේ, වලියක්ද බැලුවා... දැන් ප්‍රශ්නයක් නෑ?" මම එහෙම නෑ කියන්න ඔලුව වැනුවා.
"වලියක් නෑ?" ඒ ප්‍රශ්නය යොමු වුනු මෙච්චර වෙලා කතා නැතිව හිටපු ආදිත්‍ය ගෙන්.
"නෑ, ඇයි දැන් වලියක් ඕනෙද?" මම ඇහුවේ විහිලුවට.
"අපරාදේ, මම හිතුවේ මටත් කම්මුලට ගහන්න චාන්ස් එකක් ලැබේවි කියලා." ආදිත්‍ය කට කොනින් හිනා වෙලා කිව්වා, මටත් හිනා. මේ කතා නොතේරුණු හරේන් අපි දිහා ඇස් ලොකු කර ගෙන බලන් හිටියේ අපිට පිස්සු යි කියන්න වගේ.

වැස්සේ සැර අඩුවෙලා යන්න පුළුවන් තත්වයට ආවත් එහෙන් මෙහෙන් ළා පොද වැටුනා. ඒත් ආයේ වැස්ස පටන් ගනීවිද කියලා දන්නේ නැති නිසා පන්තියට ආවේ හරේන් ඉස්සරහිනුත් ආදිත්‍ය හා මම එක පෙලට පිටිපසිනුත්. ආදිත්‍ය ගේ හැසිරීම දැන් කලින්ට වඩා සැහැල්ලු වෙලා තිබුණා. කලින් සැකෙන් ඉන්න ඇති මම මොනවද කරන්න යන්නේ කියලා හරියටම හිතාගන්න බැරිව.
"කම්මුල තාම රිදෙනවද?" පන්තියට යන අතර තුරේදී මම ඇහුවා.
"ඇයි රිදෙනවා නම් අතගාන්න ද?"
"ඕනේ නම් බැරි කමකුත් නෑ..."
"මෙහෙම කරමු, මම රවීන්ට කම්මුල් පාරක් ගහන්නම්, එතකොට රිදෙනවද නැද්ද කියලා බලාගන්න බැරියෑ" ආදිත්‍ය කිව්වේ විහිලුවට, කට කොනින් හිනාවෙන ගමන්. අර ළා හිනාව. මම හිතන්නේ ඒක ආදිත්‍ය හැම තිස්සෙම කරන දෙයක් වෙන්න ඕන. මාත් ඒ එක්කම හිනාවෙලා නිකන් හිටියට කල්පනා කළේ කම්මුල් පාරක් නොවුණා නම් අපි ඉන්නේ කොතනද කියන දේ. කම්මුල් පාරක් නිසා නේ අපිට මෙහෙම කතා කරන්න ඉඩ ලැබුනේ. සමහර විට ඒක විය යුතු ම දෙයක් වෙන්න ඇති.


-ඉතිරිය මතුවට-

Tuesday, October 25, 2011

සංසාර ආරණ්‍යය (ඇරඹුම)

ආයෙත් කතාවක් ලියන්න හිතුවා, කියවල බලන්න. පෙර සේම සියලු නම්, ගම්, සිද්ධි මනඃකල්පිත යි. සැබෑ ලෝකය හා සම්බන්ධය හුදු අහඹුවක් පමණයි.



මට ඕනේ වුණා මේ ලෝකේ තියන නේකවිධ රාමු අතරින් මිදෙන්න, සියලු දේටම ලේබල් ගහල වර්ගීකරණය කළ සමාජයක ඒක අභව්‍යය යි තමයි. ඒත් පුළුවන් උත්සාහයෙන් මම ලේබල් විරහිතව ඉන්න උත්සහ කළා, ඉදිරියටත් එහෙම යි. ප්‍රධාන හේතුව මට එක රාමුවකට කොටු වෙන්න කිසිම අවශ්‍යතාවක් නොවීම, මාව ලේබලයකින් කිසිවෙක් තේරුම් ගන්න උත්සහ කරනවානම් ඒක ඒ පුද්ගලයා දැන දැනම කරගන්නා වැරද්දක්. අවශ්‍ය වෙන්නේ මා තුලින් මාව හඳුනාගන්න තැත් දැරීම. අනිත් අතින් තවමත් මම මාවම තේරුම් ගනිමින් සිටිනා නිසා බාහිර පුද්ගලයකුට කලින් එය සොයාගත යුත්තේ මම ම යි.


සංසාර ආරණ්‍යය; ඒක තමයි මම දුන්න නම. එතන කොහොම තැනක්ද කියල විස්තර කරන්න බෑ, විස්තර කරන්න ඕනෙත් නෑ. එතකොට වෙන්නේ ඒ පිළිබඳව සිතේ යම් සටහනක් ඇඳෙන එකයි. ඒ කියන්නේ රාමු නිර්මාණය වීමක්. සංසාර ආරණ්‍යය කියන්නේ කිසිවකින් නිශ්චය කරන්න බැරි ස්ථානයක්. එතැන සාපේක්ෂව දක්වන්න අමාරු රාමු එතනට අදාල නැති නිසයි. ඒත් මේ විදිහට සංසාර ආරණ්‍යය හඳුන්වන්න පුළුවන්. සංසාර ආරණ්‍යය කියන්නේ මම හිතෙන් හිතාගත්ත ෆැන්ටසියක්. ඒ තුල මම නිදහස්. සියල්ලෙන්ම නිදහස්. රාමු, සීමා, බැඳීම් මේ කිසිවක් සංසාර ආරණ්‍යයේ අන්තර්ගත වෙන්නේ නෑ. මේ ආරණ්‍යය මට සංසාරය තුල නවාතැන් සපයනවා. ඒක හරියට ආරණ්‍යයවාසී ව ජීවත් වෙනවා වගෙයි. බාහිර ලෝකයෙන් වියුක්තයි. ඒත් ෆැන්ටසියක් පස්සේ පන්නන එකේ තේරුමක් නෑ, මොකද කවදාවත් නොලැබෙන දෙයකට ආශා වුණහම නවතින්න වෙන්නේ සිත් වේදනා මැද නිසා. ඒ බව දැන දැනත් සමහර වෙලාවට අපිට ඒ දේවල් අතාරින්න අපහසුයි. මම සංසාර ආරණ්‍යය තුලම ඇලෙන්නේත් ඒ නිසා වෙන්න ඕනේ.

මහනුවර, මගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් වලට පසුබිම් සපයනවා. ඒක එක අතකින් අර සින්දුවේ කියන 'මේ නගර මා ඔබ මුණ ගැසුණු නගරය යි' වගේ මගේ ජීවිතය ආදේශ කරන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ ගීතයම නෙමෙයි කොටසක් පමණයි. හැම කොටසක්ම ආදේශ කරන්න ගියොත් වෙන්නේ රාමු ගත වෙන එක, අර කලින් කිව්වා වගේ. පාසල, නිවස, ප්‍රේමය ආදී එකී නොකී දෑ මහනුවර වටා කේන්ද්‍ර ගත වෙලා පැවතුනා සහ පවතිනවා. ඒ නිසා මගේ ජීවිතයේ ප්‍රධාන ම අංගයක් විදිහට නුවර හැඳින්වුවාට වරදක් නෑ. සංසාර ආරණ්‍යය ට කවදාහරි බාහිර පෙනුමක් අවශ්‍ය වුණොත් ලැබෙන්නේ මේ සෙන්කඩගල ම තමයි.

වසරේ අරම්බක දිනය, උසස් පෙළ කරන්න පළවෙනි පාරට ඉස්කෝලෙට ගියේ මහා බලාපොරොත්තු ගොඩක් ඔලුවේ තියාගෙන නොවුණත් සාර්ථකව විභාගේ කරන්න අධිෂ්ඨානයක් තිබුණා. ඒත් වසර පටන් ගැන්මට යෙදුනු දවස කම්මැලි දවසක් වෙන පාටක් තිබුණේ, සෑහෙන තරම් පැමිණීමක් තිබුණත් වැඩක් කෙරුනේ නෑ. පන්ති වලට අපි විෂයන් අනුව වෙන්වෙන හැටි අපිට කලින්ම දැනුම් දීල තිබුණා. වාණිජ පන්ති හතරක් තිබුණ ඒ ගොඩනැගිල්ලේ උඩම, තෙවන තට්ටුවේ පන්ති අතරින් මහනුවර වැවට මුහුණලා, කෙලවරේ පන්ති කාමරය ස්ථානගත වුණා. එදා වෙන්වුණේ එකිනෙකාව අඳුන ගන්න කියල තමයි පන්ති භාර ගුරුතුමා කරුණු පැහැදිලි කළේ. ඒ වුණත් සර් හිටියේ එක පීරියඩ් එකයි, ඊට පස්සේ එයා යන්න ගියා අපිට අපිවම අඳුන ගන්න ඉඩ දීලා (සර් එහෙම කිව්වේ නැතත් අපි එහෙම හිතා ගත්තා). ඒත් එක වසරේ ඉඳල ඉස්කෝලේ ගිය මට අමුතුවෙන් අඳුන ගන්න කෙනෙක් නෑ. සමාවෙන්න, මම වැරදියි! අඳුර ගන්න කෙනෙක් හිටියා.

ඒ තමයි ආදිත්‍ය.

ආදිත්‍ය පන්තියට ආවේ කාල පරිච්ඡේද දෙක තුනක් විතර පහුවෙලා. ඒ අලුතින් ඉස්කෝලෙට අලුතින් ඇතුලත් වෙන ශිෂ්‍යයන්ට පවත්වපු දේශනයෙන් පරක්කු වුණු නිසයි. මම වාඩි වෙලා හිටියේ පන්තියේ මැද කොටසේ ජනේලයක් ළඟට වෙන්න. මට එහා පැත්තේ ඩෙස් එක හිස්, ආදිත්‍ය වාඩි වෙන්න තීරණය කළේත් එතන යි. තව හිස් තැන් කිහිපයක් තිබුණත් එතනටම පැමිණි හේතුව මම දන්නේ නෑ. සමහර විට එහෙම විශේෂ හේතුවක් තියෙන්නත් නැතුව ඇති.

"මෙතන කවුරුත් ඉන්නවද?" ආදිත්‍ය ඇහුවේ ළා හිනාවක් එක්කයි. මට උත්තර දෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ. පන්තියේ හැමෝම ආදිත්‍යව වට කර ගත්තේ සෑහෙන වේගෙකින්.

"නම මොකද්ද?" මගේ හොඳ යාලුවෙක් වන හරේන් ඇහුවේ ආදිත්‍ය ගෙන්. ආදිත්‍යගෙන් බය වුණු පෙනුමක් දිස් වුණේ නෑ, තිබුණේ අර කලින් නඟා ගත්ත ළා හිනාව ම යි. මේක අපේ කණ්ඩායමට ප්‍රශ්නයක් වුණා. හරේන්ට ඕනේ වුණේ ආදිත්‍යව ගැස්සිලා යන්නයි.

"ආදිත්‍ය නානායක්කාර." පැහැදිලි ගැඹුරු හඬකින් කිව්වා, ඒ මම නම අහපු පළවෙනි වතාව.

"හා, එහෙනම් යනවා පන්තිය ඉස්සරහට, ගිහින් අපිට උගන්නනවා! පේනවනේ අද උගන්නන්න කවුරුත් නෑ." හරේන් කිව්වේ අණ කිරීමේ ස්වරයෙන්. තාමත් අර ළා හිනාව, දැන්නම් ඒකට යම් විදිහක සියුම් උපහාසකුත් එකතු වෙලා. ආදිත්‍ය 'බෑ' කියන්න වගේ ඔලුව වැනුවා. මේ නම් හරේන් ඇතුළු රැග් කාරයන් කොහොමටවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමේ යි. කට්ටියම ඊළඟ පියවර ගැනීම සඳහා මොහොතක් දෙකක් වැය කළා.

"දැන් එතකොට යන්නේ නෑ?" හරේන්ගේ කටහඬේ තිබුණේ ආවේගයක්.

"නෑ." සන්සුන් පැහැදිලි ස්වරයෙන් ආදිත්‍ය උත්තර දුන්නා. හරේන් වට පිට බැලුවේ තිබුන ආවේගය සංසිඳවා ගන්න වුණත් ඒක සාර්ථක වුණ පාටක් නැහැ. ආදිත්‍ය ගේ ප්‍රතිචාරය එකට තවත් උදව් කළා විතරයි. හරේන් ආදිත්‍ය ළඟට යන්න ගත්තා, වටා වෙලා හිටපු කට්ටියම ඇතුළු මමත් වෙන්න යන්නේ මොකද්ද කියල බලන් හිටියේ ගල් ගැහිලා වගේ. හරේන් හෙමින් ළඟට ගිහින් ආදිත්‍ය ව පස්සට තල්ලු කළා. ඒක එතරම් ලොකු තල්ලුවක් නෙමේ වුණත් සෙල්ලමට කරන තල්ලුවකුත් නෙමේ යි. ආදිත්‍ය මොකුත් නොකර වෙන පැත්තක් දිහා බලන් හිටියේ මොනවත් වුණේ නෑ වගේ. හරේන් තව තවත් තරහ ගත්තා. ඊළඟ තල්ලු කිරීම කලින් වතාවට වඩා රළු වුණා. ඒත් ආදිත්‍ය ගෙන් ලැබුණු ප්‍රතිචාරය එම ම යි. හරේන් පිරුණු කෝපයත් එක්ක ආදිත්‍ය ව තල්ලු කළේ වඩාත් තදින්. ආදිත්‍ය පස්සට විසිවෙලා ගියත් සමබරතාව රැක ගන්න පුළුවන් වුණා. ඊළඟ සිදුවීම් වුණේ සෑහෙන ඉකමනින්, ආදිත්‍යගේ ඉවසීම පිපිරුවා, ඉස්සරහට ඇවිත් හරේන්ව තල්ලු කළේ බලාපොරොත්තු නොවුණු වෙලාවක. හරේන් පිටිපස්සට විසිවෙලා වැටුනේ ඩෙස් පුටුත් පෙරලගෙන. ඊළඟට මම කරලා තිබුනේ පුළුවන් උපරිම වැරෙන් ආදිත්‍ය ගේ කම්මුලට ගහපු එකයි.

'චටාස්' කම්මුල් පහර දසත පැතිරුණා. ආදිත්‍ය මම දිහා පුදුමෙන් වගේ බලාගෙන් හිටියා මිසක් මට ආයේ ගහන්න අවේ නෑ. එහෙම වුණානම් මොකද කරන්නේ කියල තීරණයක් මට තිබුනෙත් නෑ. හැමෝම මම දිහා බලන් හිටියේ විවිධ හැඟීම් මූණේ රඳවා ගෙන. 'එල, ඔහොම තම කරන්න ඕනේ' 'පිස්සුද බං?' 'හොඳ වැඩේ, අලුතෙන් ආවනම් ඒ විදිහට ඉන්න ඕනේ' 'පව් බං' වගේ ප්‍රතිචාර මුහුණු වලින් මට කියව ගන්න පුළුවන් වුණා. ඒත් කියවගන්න බැරි වුණේ ආදිත්‍යගේ මූණ විතර යි. කලකිරුණු ස්වභාවයක්, එපා වීමක් වගේම කේන්තියක් වගෙත් තිබුණා වගේ පෙනුනත් හරියටම හිතාගන්න අමාරුයි. මම ඔහේ හිටියා, මොකද්ද ඊළඟ පියවර කියල එක පාරට හිතාගන්න බැරිව, වරදකාරී හැඟීමක නිමග්න වුණා.

මම ආයේ සැබෑ ලෝකෙට එන කොට සර් පන්තියට ඇවිත්. ඩෙස් පුටු පෙරළීමයි, කම්මුල් පාරේ සැරයි පහළ ස්ටාෆ් රූම් එකට දැනිල තිබුණා. සර් ඇවිත් කෙලින්ම ප්‍රශ්න කළේ ආදිත්‍ය ගෙන්, සමහර විට රැග් එක ගැන සැක හිතිලා වෙන්න ඇති.

"නෑ, සර් මේ වතුර වගයක් වැටිලා තිබිල මම වැටුනා" ආදිත්‍ය උත්තර දුන්නා. සර් උත්තරේ විශ්වාස කරන බවක් වත් බාරගන්න බවක් වත් පෙනුනේ නැතත් 'හ්ම්,,, කට්ටිය තමන්ගේ වැඩක් බලාගන්න' කියල ආයේ යන්න ගියා. හරේන් මගේ දිහා බැලුවේ, මූණේ ප්‍රශ්නාර්ථයක් තියාගෙන. මම උත්තර දැනන් හිටියේ නෑ. මම ජනේලේ පැත්තට හැරිලා එලිය බැලුවා. මහනුවර කඳු මුදුන් මීදුමෙන් වැහිලා අතරමන් වෙලා හිටියේ දැන් ගැලවෙන්නේ කොහොමද කියල හිතාගන්න බැරිව.

-ඉතිරිය මතුවට-

Saturday, October 22, 2011

දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි


"පිස්සෝ, ඔය මොකද්ද කරන්නේ? වහිනවා පෙන්නේ නැද්ද, මෙහාට එනවා නැත්තම් අසනීප වේවි" රසංගා කෑගැහුවා. ඒ වුණාට සමීරට නම් ගානක් වත් නෑ. වැහි පොද මූනට වැටෙද්දී දැනෙන සියුම් වින්දනයෙන් මන්මත් වෙලා හිටියේ හරියට ආරූඪයකින් වගේ. ආදරෙන් හිත පිරුණම, තමන් ආදරේ කරන කෙනා දැන් ඉන්නවා වගේ ජීවිතේ හැම දවසකම හැම තප්පරයකම ලඟින් ඉන්නවා කියල දැනුනම ඔහොම වෙනවා. ඒක ආදරණීය පිස්සුවක්. රසංගා ඕක දන්නවා වුණාට පොඩ්ඩක් තරුවටු කළේ බයටත් වඩා ආදරේට.
"ඔයත් එන්න." සමීර කිව්වා.
"මට බෑ" ඒපාර සමීර රසංගා වැස්සට මුවා වෙලා හිටපු ගහ යටට ආවේ දඟ ගමනකින්.
"ගහ යට වැහි දෙකයි කියල අහල නැද්ද?"
"ඇත්තට? මට නම් මෙහෙම හොඳයි"
"ඒ වුණාට මට හොඳ නෑ. යංකෝ"
"පිස්සුද? මට බෑ."
"මෙහෙ එනවා." කියල සමීර කරපු වැඩේ කොහොමටවත් හිතාගන්න බැරි තරම්. සමීර රසංගාව හරහට වඩා ගත්තේ හරියට පොඩි බබෙක්ව උස්සනවා වගේ. රසංගා කෑගැහුවා, එත් වැස්සේ රාවය ඒ හඬට වඩා උස් වුණා. සමීර රසංගා ව උස්සගෙනම මුවා වුණු තැනින් එලියට ආවේ දෙන්නවම වැස්සට නිරාවරණය කරගෙන.
"ඔයාට නම් හොඳටම පිස්සු සමීර, මාව බිමින් තියන්න." රසංගා කිව්වේ සමීරගේ පපුවට ළා පහරක් ගසමින්.
"මට පිස්සු කියල දැන්ද දන්නේ?"
"නෑ නෑ, කලින් ඉඳලම දන්නවා. දැන් ඉතින් බිමින් තියන්නකෝ."
"බෑ, එතකොට ඔයා ආපහු යාවිනේ."
"නෑ, පොරොන්දු වෙන්නම්."
"මොනවද?"
"හාදු පන්සීයක්!" සමීර රසංගාව හිමීට බිමින් තිබ්බා. රසංගා වැස්සෙන් පැනල ගියේ නෑ. අනික දැන් ගියත් වැඩක් නෑ, හොඳටම තෙමිලා ඉවරයි.
"කෝ හාදු?"
"ඒ මොකටද? මං පොරොන්දු කැඩුවේ නෑනේ."
"ඒ වුණාට කමක් නෑ." සමීර හිනා වුණා.ඒ හිනාවට රසංගා ටත් හිනා නොවී ඉන්න බැරි වුණා.
"බෑ, දෙන්නේ නෑ." සමීර රසංගගේ ඇඟ වටේ අත දාල ලඟට ගත්තා.
"ඕනේමයි."
"මට මොනවද දෙන්නේ?"
"මොනවද ඕනේ?"
"ඉල්ලන ඕනෙම දෙයක් දෙනවද?" සමීර රසංගාගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ. රසංගා සමීරගේ ඇස් දෙක දිහාම බලන් හිටියා. කටින් උත්තර නොලැබුනත් ඇස් දෙකෙන් තමන්ට අවශ්‍ය උත්තරේ ලැබුන නිසා රසංගා අයෙත් වැස්සට මුවා වෙන්න යන්න හැදුවා. ඒත් සමීරගේ ග්‍රහණයෙන් මිදෙන්න රසංගා ට බැරි වුණා.
"හරි, හාදු දෙන්නම්. දැන් යමු." රසංගා කට කොනේ හිනාවක් තියාගෙන කිව්වා. ඒ පාර සමීරටත් හිනා. සමීර රසංගා ගේ නළල සිපගත්තේ වැස්සෙන් හොඳටම තෙමිලා හීතලේ ගැහෙද්දි වුණත් රසංගා ට සීතලක් නම් දැනුනේම නෑ. සමීරට තුරුළු වෙලා ආදරෙන් මත් වෙලා ඉඳිද්දී මොන සීතලක්ද. සමීරගේ චුම්බනයෙන් රසංගාට තව තවත් රස්නේ දැනුනා. ආදරේ කොච්චර පුදුමකාරද ගැහෙන හීතලක උණුසුමක් ගේන්නත් ඉන්න බැරි තරම් දාහයක මද නලක් වෙන්නටත් ආදරේ සමත්.
"ඔන්න ආයෙත් දඟ වැඩ බෑ." දෙන්නම යන්න හදද්දී රසංගා මිමිනුවා.
"බලමුකෝ..." සමීර උත්තර දුන්නේ දඟ හිනාවක් එක්කයි.

Wednesday, October 19, 2011

වැද්දොත් එක්ක යුද්ද කරමු!

අජිත් තිලකසේනයන් රචනා කළ සුන්නද්දූලි කෙටි කතා සංග්‍රහයේ එන වැද්දන් සමග යුද වදින්නට කෙටි කතාව අනුසාරයෙන් ලියුවෙමි.


"දැන් ලෑස්තිද? මේ වෙනකොට රෙඩි පිට ඉන්න ඕනේ." අමිත් හර්ෂට කිව්වේ කාමරේට ඇතුල් වෙනවත් එක්කමයි. මුළු කාමරේම කහළ ගොඩකටත් වඩා යුද පිටියක් වගේ. ඒත් තවම යුද්දේ පටන්ගෙන නෑ. යුද්ද කරන්න සුදානම් වීමත් එක්තරා විදිහක යුද්දයක් තමයි. මේසේ උඩ අත් පත්‍රිකා, පෝස්ටර් තොගයක්, පාප්ප බාල්දි, ලොකු පින්සල්, තීන්ත බෝතල් එහෙමත් බිම ගල් ඉනි, උදලු, මෝල්ගස්, දම්වැල්, හොකී පිතිත් තිබුනේ පිළිවලකින් තොරවයි. හර්ෂ කාමරේ ඉඩ තියන තැනකින් වාඩිවෙලා තමන් ලියමින් හිටි පොස්ටරෙන් ඔලුව ඉස්සුවා.
"ඔව්, දැන් සෑහෙන වැඩ කොටසක් ඉවරයි අයියේ."
"එහෙනම් අද රෑට මෙව්වා අලවමු" අමිත් කිව්වේ පෝස්ටර් එහෙන් මෙහෙන් අධීක්ෂණය කරන ගමන්.
"අයියට ෂුවර් නේද අවුලක් වෙන එකක් නෑ කියල?"
"ඔව් බන් ඔව්, ඒක නෙමේ අද මට නියම භාණ්ඩයක් හම්බුණා." අමිත් ඉනේ ගහගෙන හිටපු පිස්තොලේ පරිස්සමින් අරගෙන හර්ෂ අතේ තිබ්බේ ධාතු වඩම්මනවා වගේ. හර්ෂ ටිකක් විතර ගැස්සුනත් හිත තද කරගෙන භාණ්ඩේ අතට ගත්තේ 'මටත් මේක පාවිච්චි කරන්න වේවිද' කියල හිතමිනුයි. හදිස්සියෙන් වත් එහෙම වුණොත් මොනවා වෙයිද කියල නොහිතන ගමන්ම ආයෙත් වස්තුව අතින් අතට මාරු කළා. හර්ෂ අමිත් දිහා බැලුවේ මේක කොහෙන්ද කියල දැන ගැනීමේ ආසාවෙන්.
"උඹ නොදන්නවට මේ වැඩේට හුඟ දෙනෙක් සපෝට් බං." අමිත් හයියෙන් හිනාවුණා. හිනාවේ සද්දේ මුළු ගෙදරටම පැතිරුණා ඒ හින්ද ආයෙත් සද්දේ කාමරේට එක්කන් ආවේ හර්ෂගේ අක්කා අනුපමා ව.

"මොකද්ද මේ කට්ටියම එකතුවෙලා කරන්න යන්නේ?" අනුපමා ඇහුවේ කේන්තියෙන්. මේ වැඩවලට මල්ලිත් එකතුයි කියල දැන ගන්නකොට ගෙදර උන්දැලා පරක්කුයි. අම්මා කඳුළු හැලුවත් තාත්තා කතා නොකර හිටියත් හර්ෂව නවත්තන්න බැරිවුණා. අම්මා පිට පළාතක වැඩ කරන අනුපමා ට කතා කරලා ගෙන්න ගත්තේ අක්කට වත් මල්ලිව මට්ටු කරන්න පුලුවන්ද බලන්න. දැන් ඔය අක්කා ගෙදර ආව විතරයි. හර්ෂ අක්කා දිහා ගොලුවෙලා වගේ බලන් හිටියා. අමිත් මේසේ උඩ තිබුන අත් පත්‍රිකාවක් අරන් අනුපමා ට දුන්නා.

-------------------------------------------------------------------------------------
වහාම නැවැත්විය යුතු වැද්දන්ගේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණය
  • වැද්දන් යනු කව්රුන්ද?
වැද්දන් යනු විජයට දාව කුවේණි බිහි කළ දරුවන් දෙදෙනාගෙන් පැවත එන්නන් කියා කතාවක් වැද්දන් කියයි. අප දන්නා පරිදි එසේ බිහිවූ ජාතියක් නම් නැත. එසේ වූවානම් ඔවුන් අවජාතික ජාතියකි, අවලම් ජාතියකි. ඒ කෙසේද යත් කුවේණි නම් යක්ෂණිය විජය රජතුමා කෙරෙහි ඇති කරගත් නොසන්සිදෙන කාමය නිසා ඇති වූ ප්‍රතිපලයක් නිසාවෙනි. අවසානයේදී මේ අවලම් කාමය වෙනුවෙන් යුක්තිය විජය රජුට ඉෂ්ට වුයේ කුවේණි නම් සදාචාර විරෝධී ගැහැණිය පන්නා දැමීමෙනි. දැන් තත්වය භයානකය, මේ වැද්දන් තමන්ට ආදිවාසීන් යැයි කියාගනියි. එහෙත් ඔවුන් කියන කාරණාවේ විසංවාදයක් ඔබටම පෙනෙනවා ඇත. ප්‍රශ්නය ආරම්භවන්නේ එතැනනි.

  • වැද්දන් කරන්නට යන්නේ කුමක්ද?
  1. වැද්දන්ගේ තමන්ට ආදිවාසීන් යැයි කියා ගැනීම.
  2. වැද්දන්ට ලැජ්ජාවක් කියා දෙයක් නැති බැවින් අදින්නේ ගස්වල කොට අතු හා පරණ රෙදි කෑලි පමණක් නිසා අපේ රටේ අවුරුදු දෙදහස් ගණනක් පවත්නා සංස්කෘතිය හා සදාචාරයට වන හානි කිරීම.
  3. ඉහත දක්වා ඇති දෙය වැද්දන් දන්නා නමුත් ඔවුන් උවමනාවෙන්ම තම නිරුවත පෙන්වීමට උත්සහ කිරීම.
  4. වනචාරී ලෙස හැසිරෙමින් එය ඔවුන්ගේ උරුමය පිලිබඳව අයිතිය යැයි කියා ආඩම්බර වීම.
  5. අපගේ භාෂාව භාවිත කිරීමට හා අපගේ සදාචාරය පිළිගෙන සුචරිතවත් ශිෂ්ට ජීවිතයක් ගත කිරීමට උත්හස නොකිරීම.
  6. සත්ව ඝාතනය හා ගව ඝාතනය.
  7. ඔවුන් තවමත් අශිෂ්ට ලෙස ගස් ගල් වඳිනවා පමණක් නොව එම පළාත්වල අනෙක් ආගම ප්‍රචාරණයට අකමැති වීම.
  8. ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් සිටිනා නිසා විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වීම.
මේ ඔවුන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියා මාර්ග කිහිපයක් පමණි.

  • අප කුමක් කළ යුතුද?
අප වහා ක්‍රියාත්මක විය යුතුය. අපගේ අඛණ්ඩ සංස්කෘතිය සදාචාරය හා ඒකීයත්වය එදිරියටත් පවත්වාගෙන යා යුතුය. ඒසඳහා සැවොම එක්වෙමු. එලෙසම ඔබලා දැනගත යුතු දෙයක් ඇත එනම් ඊනියා මානවවාදීන් යැයි කියා ගන්නා පිට රටවලින් සල්ලි ගරාගන්නා පිරිසක් වැද්දන්ට උදව් කිරීමයි. ඔවුන් වැද්දන්ටත් වඩා ආන්තික හෙයින් ඔවුන්ගෙන් වඩා පරිස්සම් විය යුතුයි.
  • අපි එක්වෙමු!
මේ පිළිබඳව දැනුවත් කිරීම් මාධ්‍ය හරහා ප්‍රචාරය වීම ළඟ දීම ආරම්බවීමට නියමිතයි. එතෙක් වැඩි විස්තර දැන ගත යුතු නම්. මට කතා කරන්න. අමිත් - 000 0000000.
---------------------------------------------------------------------------------


"මොනවද මේ විකාර? ඔලුව හොඳ නැද්ද මල්ලි" අනුපමා කෑගැහුවා. එතකොට තමයි දැක්කේ කාමරේ පුරවල තිබුණු ආයුධ තොගය. "හානේ! මේවා මොනවටද?"
"වැද්දොත් එක්ක යුද්ද කරන්න" හර්ෂ වෙනුවෙන් උත්තර දුන්නේ අමිත්.
"පිස්සුද? උන් තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසකයෝ."
"අහිංසක? දන්න තරම තමයි!" අනුපමා ට තරහ පාලනය කරගන්න බැරිතරම්. අනුපමා එහෙටයි මෙහෙටයි ඔලුව හැරෙව්වා. කලින් අහල තිබුන විදිහට දහයට ගණන් කරන්න පටන් ගත්තා. මොන, කිසි වෙනසක් නෑ. ඒපාර කළේ මේසේ උඩ තිබුන පෝස්ටර් ටික ඉරල දන්න හදපු ඒක, ඒත් අමිත් ඉක්මනින් ක්‍රියත්මක වුණා. අනුපමා පැත්තකට වීසි වුණා. 'මල්ලි' අක්කට කෑගැහුනා. හර්ෂ අක්කව අල්ලාගෙන ළඟ තිබුන පුටුවකින් වාඩිකෙරෙව්වා.
"මල්ලි, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා ඔය කරන්න යන දේ ගැන." තරහ අයින් කළ අනුපමා කතා කළේ සන්සුන් ස්වරයෙන්.
"අපි යමු බං උඹලගේ අක්කට පිස්සුද කොහෙද?" අමිත් පෝස්ටර් ටිකයි පාප්පයි අතට ගන්න ගමන් කිව්වා. හර්ෂ අමිත් එක්ක යන්න ගත්තත් ආයේ පස්ස හැරිලා අක්කා දිහා බැලුවා. අනුපමා මල්ලි දිහා බලන් හිටියේ හැඟීම් වලින් තොර බැල්මකින්.

Tuesday, October 18, 2011

'මම ඔයාට කැමතියි' කියන්න තවත් ක්‍රමයක්


"දිලීපා, පොඩ්ඩක් ඔහොම ඉන්න." පොත් ටිකක් තුරුළු කරගෙන කලබලෙන් වගේ දුවන දිලීපාට මම කෑගැහුවා. එයා මං දිහා හැරිලා බැලුවේ 'ඇයි' කියන බැල්මෙන්.
"අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?" ඒ ප්‍රශ්නෙට දිලීපා ටිකක් ගැස්සුනා. අපි ඔය එහෙන් මෙහෙන් දැකපු වෙලාවට හිනා වෙලා ඔලුව වනල යනවා මිසක් එතැනින් එහාට වැඩිය කතා කරන්නේ නෑනේ.
"බයවෙන්න එපා, ඔයා මාත් එක්ක කතා කළා කියල ලෝකේ ලොකුම කාම අපරාධේ කළා වෙන්නේ නෑ." මම කිව්වේ කට කොනේ හිනාවකුත් එක්කයි.
"අනේ මේ, ඔයා මට අමුතුවෙන් අපරාධ ගැන උගන්නන්න ඕනේ නෑ."
දිලීපා මං දිහා බලාගෙන හිටියේ අමුතු මූණක් හදාගෙන. මම එයාගේ අතින් අල්ලාගෙන වාඩි වෙන්න තැනක් හොයාගෙන ගියා. දසත පැතිරුණු නුග ගහක් යට  සුදු පාට කොන්ක්‍රීට් බංකු තිබුණා. මම අතින් සන් කළේ එතැනින් ඉඳගමු කියල. අපි දෙන්න වාඩිවෙලා මුහුණට මුහුණ බලාගත්තා.
"මේක ව්‍යාපෘතියක් වෙනුවෙන් කරන සමීක්ෂණයක්, ඔයාට කරන්න තියෙන්නේ මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න." දිලීපා සැකෙන් වගේ ඔලුව වැනුවා.
"හරි එහෙනම් මෙන්න පලවෙනි ප්‍රශ්නය, ඔයාට කව්රුහරි ආදරේ ප්‍රකාශ කළොත් ඔයාගේ ප්‍රතිචාරය වෙන්නේ මොකද්ද?"
"හ්ම්, ඒක අවස්ථාව, පුද්ගලයා අනුව වෙනස් වෙනවා."
"ඒකියන්නේ ඔයා අවස්ථාවාදීයි?"
"මෙහෙමයි, ඒ වගේ වෙලාවට එහෙම වෙන්න වෙනවා."
"එහෙම ආදරය ප්‍රකාශ කරන කෙනා මම නම්?"
"එතැනදී අවස්ථාව ගැන ගැටළුවක් එනවා."
"ඒකියන්නේ පුද්ගලයා ප්‍රශ්නයක් නෙමේ?"
"ඔයාගේ ඔය සමීක්ෂණයට ඒවත් අදාලද?"
"හරි දෙවැනි ප්‍රශ්නය, අසම්මත ආදරය ගැන ඔයාගේ අදහස මොකද්ද?"
"අසම්මත සම්මත කියල ආදරය බෙදන්න බැහැ."
"අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති වුණොත්?"
"වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරමුද?"
"ඉතින් ඒකනෙ අසම්මතයි කියන්නේ, සාමාන්‍යයෙන් නොවෙන දේ නේ. කොහොමහරි තුන්වෙනි ප්‍රශ්නය, ඔයා ආදරය කරන කෙනා කොයි වගේ වෙන්න ඕනද?"
"එයා කොයි වගේ වත් වෙන්න ඕනේ නෑ. එයා එයාම වුණාම විතරක් ඇති. නිකන් රූකඩ වගේ මිනිස්සු මට වැඩක් නෑ."
"ම්ම්,,, ඊළඟ ප්‍රශ්නේ, ඔයා ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?"
"මොනවත් නෑ."
"ඒ කිව්වේ?"
"මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මොනවත් බලාපොරොත්තුවෙන් කෙනෙක්ට ආදරේ කරනවානම් ඒක ආදරේ වෙන්න බෑ, එහෙනම් ඒක බිස්නස් එකක්, ආත්මාර්ථකාමී කමක්."
"ඔයාට ආදරේ කරන කෙනා මම නම් ඔයා මගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද?"
"කරුණාකරලා, අවශ්‍ය ප්‍රශ්න විතරක් අහනවද?"
"පස්වෙනි ප්‍රශ්නය, ඔයා ලව් ඉන් ෆස්ට් සයිට් විශ්වාස කරනවද?"
"කොහෙත්ම නෑ, එකපාරක් දැක්ක ගමන් ආදරයක් ඇතිවෙන්න විදිහක් නෑ ආශාවක් මිසක්. ඒ--"
"මමඔයාටආදරෙයි."
"මොකද්ද?"
"මම ඔයාට ආදරෙයි." මම දෙවැනි වතාවටත් උත්සහ කළේ වචන එකින් ඒක ඈත් කරමින් ශබ්ද නගා උච්චාරණයෙන්.
"මං දැන ගත්තා ගොනා හැරෙන කොටම." දිලීපා දඟ හිනාවක් දැම්මා.
මට ඒ වෙලාවේ මොනවද කරන්න ඕනේ කියල හිතාගන්න බැරිවෙලා මම ගල් වුණා. 'ඔයා ඉතින් මොකද ඒ ගැන කියන්නේ?' 'ඔයත් මට කැමතිද' වගේ ප්‍රශ්න ඇසිය යුතු වුණත් මං ඇහුවේ නෑ. අනික ඒවා අහන්නේ නැතිවම වුණත් දිලීපා මට කැමතියි කියල දැනුනා. එයා බංකුවෙන් නැගිටලා මගේ අතින් ඇදල "අපි යමු" කිව්වා. මගේ ඔලුව වැනුණේ ඉබේටමයි.

Monday, October 17, 2011

ජනකතා හා පොලිටික්ස්



"කොටි වලිගේ අල්ල ගත්තා වගේ" යන කියමන අපේ කටවහරේ පවතිනවනේ. මේ ප්‍රස්ථාව පිරුළ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ ගැලවෙන්න අමාරු කරදරයක් සම්බන්ධයෙනුයි. ඒ පිරුළ අපි අතරට එන්නේ කතාවකින්. මට මතක විදිහට ඒ කතාව මෙහෙමයි.

ඔන්න දවසක් වෙළෙන්දෙක් වෙළදාමේ ගිහින් ආයේ ගමට එමින් හිටියා. ගමට යන පාර වැටිලා තියෙන්නේ කොටි වලස්සු එහෙම ඉන්න ඝන කැලෑවක් මැදින්. ඉතින් වෙළෙඳ ඔහොම කැලේ මැදින් යද්දී කොටියෙක් කුරුමානම් අල්ලමින් වෙළෙන්දා පස්සෙන් ගියා. ඒ බව වටහා ගත් වෙළෙන්දා කොටිය පනිද්දීම බේරුනේ කොටියාගේ වලිගේ එල්ලිලා. වෙළෙන්දාගේ වැඩෙන් කොටිය හොඳටම කලබල වෙලා දුවන්න පටන්ගත්තා. තමන් කරපු වැඩේ තමන්ටම හිතාගන්න අපහසු වුණු වෙළෙන්දා කොටියාගේ වලිගේ අතාරින්න බයවුණා. දැන් ඔහොම කොටියා මෙලෝ සිහියක් නැතිව දුවද්දී වෙළෙන්දා ගාව තිබුණු සල්ලි කාසි මල්ල ඉරිලා කාසි එකින් එක වැටෙන්න පටන් ගත්තා. ඔහොම ටිකක් දුර යද්දී ගැමියෙක් මේ සිද්ධිය දැක්කා.
"මොකද බොල මේ?" ගැමියා කෑගහල ඇහුවේ පුදුමයෙන්.
"ආ,,, මේ කොටියා නිධානයක්. මුගේ නැට්ටේ එල්ලිලා යද්දී සල්ලි මතුවෙනවා!" කපටි වෙළෙන්දා උත්තර දුන්නා.
අනේ මේ නූගත් ගැමියා මේ කතාව ඇත්ත කියල පිළිගත්තා. ඇයි ඉතින් කියපු විදිහටම සල්ලිත් පාර දිගට වැටිලානේ. ඉතින් ඒ මිනිහටත් ඕනේ වුණා කොටියාගේ නැට්ටේ එල්ලිලා සල්ලි හොයාගන්න.
"අනේ ඕයි මටත් ටිකක් ඔය නැට්ට දෙනවකො" ගැමියා යෝජනා කළා.
"පස්සේ බලමු..." වෙළෙන්දා බොරුවට ගණන් ඉස්සුවේ ගැමියාගේ විශ්වසේ තවත් වැඩි කරන්න.
"අනේ..." ඒපාර ගැමියා පින්සෙන්ඩු වුණා.
"හා හා අල්ලගන්නවකෝ එහෙනම්."
ඔන්න ඉතින් කොහොම හරි වෙළෙන්දා අල්ල ගත්ත කොටි නැට්ට ගැමියාට දුන්නා. වෙළෙන්දා උගුලෙන් ගැලවුණා, තමන්ගේ සල්ලි ටිකත් අහුලාගෙන ආයේ ගමට යන්න ගත්තා.

පහුගිය ඡන්ද දවසේ මහපාරේ මිනිස්සු ඉස්සරහම දේශපාලකයෝ මීනිමරාගත්තට පස්සේ විවිධ පුද්ගලයෝ එක එක විදිහේ කතා කිව්වනේ. මේ තියෙන්නේ මම අහපු දැකපු කතා කිහිපයක්. 

"මළ එකත් එකයි, මැරෙන්න ඉන්න එකත් එකයි. අවිගත්තෝ අවියෙන්ම නැසෙති!"
"මැරෙන්න ඕනේ එකා නෙමෙයි මළේ. අර ඉස්පිරිතාලේ ඉන්නවා ඇත්තේ බොරුවට. තව ටික දවසකින් වැඩිපුර බෙහෙත් කරන්න කියල රටිනුත් පනියි."
"මැරුණට පස්සේ විතරක් ඇයි මිනිස්සුන්ගේ හොඳ පෙන්නේ?"
"මහා කුඩ්ඩා තුවාල වෙලා හින්ද පොඩි කුඩ්ඩො හරි අමාරුවෙන් ඇත්තේ..."
"එක්ස් රේ එකේ පේන වෙඩි උණ්ඩය, උණ්ඩයක් නෙමේ ඒ උගේ මොලේ!"
"අනේ කෙල්ලේ මේ පොලිටික් මඩවලට නම් නාවට කමක් නෑ"
"ඔය හැම දේටම වග කියන්න ඕනේ ලොක්ක තමයි. වැරදිකාරයා මුළු රටම දැන දැනත් තාම කිරි පොවන හැටි."
"මුන් ලොක්කට බනින හැටි ලජ්ජා නැතිව, රට නිදහස් කරගත්ත මේ මහා නායකයා රටෙන් කෑල්ලක් කෑවත් මොකෝ."
"උනුත් එකයි, මුනුත් එකයි, ඡන්දේ දෙන අපිත් එකයි. මේ ක්‍රමය වෙනස් වෙන්නේ කවද්ද..."
"අතීතය නැවත නැවතත් සිදුවේ."

මේ කතා කියන හැමෝම වාසි බලාගෙන කොටි වල්ගයක් අල්ලාගෙනද? නැත්තම් මේ කතාව ලියන මම කොටි වල්ගයක් අල්ලගෙනද? නැත්තම් හැමෝම එකතු වෙලා නොදැනීම අල්ලාගෙන තියෙන්නේ එකම කොටියාගේ වල්ගයද? ලැබෙන්නේ නැති දේවල් පස්සේ ගිහින් කොටි වල්ගයක් අල්ලාගත්තේ අපි හොඳටම රැවටිලා හින්දද, නැත්තම් රැවටිලා කියල දැන දැනත් එල්ලිලා ඉන්නේ අත ඇරියොත් කොටියා කාවි කියන බයටද, එහෙනම් ඇයි කොටියා කියල දැන් දැනත් වලිගේ අල්ලාගත්තේ...

Friday, October 14, 2011

ප්‍රහර්ෂය : කාම වියෝග සූත්‍රය

පළවෙනි කොටසට
දවස් හතකට පස්සේ මම ඇහැරුණා. නිදාගත්තේ කොතනද කියල මතක නැතත් අවදි වුණේ මගේම ගෙදර මගේම ඇඳින්. පහුගිය දවස් කිහිපය කොහොම කොයි විදිහට ගත කළාද කියල මතක් කරගන්න උත්සහ දැරීමෙන් වුණේ දැනෙමින් තිබූ හිසේ කැක්කුම උත්සන්න වීම පමණයි. ගතේ අපහසුවත් එක්ක ඔලුවේ අසහනය එකතුවෙලා හර්ද කැක්කුම බල රහිත කළා. පහුගිය දවස් ගණනේ මතක අතුරුදන් වීමට ඒ හදවත් වේදනාව බලපාන්න ඇතියි කියලා මතක් වුණේ එතකොටයි. ඇඳෙන් නැගිටලා මට හිටගන්න පුලුවන්ද කියල බලන්න ඕනේ වගේ කල්පනාවක් ආවත් ඇඳේම ඇලිල හිටියේ කම්මැලි කමකටත් වඩා උවමනාවක් නැතිවීම නිසයි. පහුගිය දවස් හත ගැන මතකයක් නැති වුණත් දවස් හතකට කලින් වුණ දේවල් මතක තිබුණා. ඒත් ඒ මතකයන් අවුස්සන එක එච්චර ඇඟට ගුණ නැති බවත් ඇවිස්සුවා නම් තව දවස හතකට විතරක් නෙමේ, මාස හතක් මට මම ම නොදැනී ගෙවන්න පුළුවන් බව දැනුණා.

මට උවමනා කරලා තිබුනේ ඇඳටම වෙලා ඉන්නයි, ක්ෂේත්‍රයේ ඇසුරම හොයන සමාජ සත්වයා අතුරුදන් වෙලා හිටියා. හොයාගන්න අවශ්‍යතාවත් නැතිවෙලා ගිහින්. ඇඳටම වෙලා කිසිවක් නොකර ඉඳල මොනව කරන්නද වගේ ප්‍රශ්නයක් හිතේ කොනක එල්ලිලා තිබුණත් ඒ ගැන නොසලකා හැරියා. කව්රුවත් නොබලන නොසලකන අත්හැර දැමු වයෝවෘදයන් මෙහෙම අසරණවම මැරිලා ගිය පුවතක් සිහියට නැගෙමින් තිබුණා. එතකොටයි මතක් වුණේ මට හරි හමන් මිත්‍ර සම්බන්ධතාවක් වත් නැහැ නේද කියන කාරණය. ක්ෂේත්‍රයේ හඳුනාගත් ව්‍යාපාරික සබඳතා, සෝබන හිනාවීම් කතාවීම් ඇරුණු කොට පෞද්ගලික ජීවිතේට එකතුවුණු කව්රුත් හිටියේ නෑ. එහෙම අවස්ථා උදා වුණත් මම ම මඟ ඇරියා මට අවශ්‍ය නැහැයි කියල.

වෙලාව බැලීමේ අරමුණෙන් ඇඳ ළඟ තිබුණු ඔරෝලොසුව දිහා බලද්දියි දැක්කේ එතන ලියුමක් තියනවා. නිකම් කොළයක හදිස්සියට ලියපු කලබල අත් අකුරු ඒකෙ සටහන් වෙලා. ලියුම ලියල තියෙන්නේ චමේලි. පහුගිය දවස්වල කොතැනක හරි ඒකිත් රැඳුනා කියල යන්තම් මතකයක් ආවා. මේ වගේ අවස්ථාවක ගණිකාවක ගෙන් ලියුමක් කියවන්න ලැබීම වාසනාවක්ද අවාසනාවක්ද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඉඩ නොදීම මම ලියුම කියවන්න පටන් ගත්තා.

අනුරුද්ධ,
මේ ලියුම ලියන්න කලින් කිහිප වතාවක්ම කල්පනා කළා ලිවිය යුතුද නැද්ද කියල. අන්තිම තීරණයේ ප්‍රතිපලය තමයි මේ ඔයා කියවන්නේ. ලියුම ලියපු හේතුව අහන්න එපා. ඇහුවත් කියන්නෙත් නෑ, අනික ඔයාට කියල වැඩකුත් නෑ. ඒවගේම ඕනෙම යක්ෂයෙක් ඇතුලේ උනත් මනුස්සකම් දන්න මිනිහෙක් හැංගිලා හරි ඉන්නවා කියල මම දන්නවා. එහින්ද ඔයාටම හේතුව තේරුම් ගන්න පුළුවන් වේවි කවදාහරි. අනිත් පැත්තෙන් ඔයා ආචාර්යවරයෙක් සමාජය හොඳින් දන්න කෙනෙක්. එහින්ද මානුෂික සබඳතාවල ස්වභාවය අමුතුවෙන් ඔයාට විතර කරලා දෙන්න උවමනා නැහැනේ.
එදා ඔයා මං ගාවට එද්දී හොඳටම බීලයි හිටියේ, හරියකට කෙලින් හිටගන්නවත් බැරිතරම්. ඔයාට අවශ්‍ය වුණේ මගේ ගතේ පහස නෙමෙයි. මගේ සෙනෙහස. ඔයාට ඕනේ වුණා මගෙන් සැනහෙන්න. මං ළඟට එන හැම මිනිහටම වගේ ඕනත් ඕකමයි. ලෝකෙටම පේන්න ලොකුකම් කියවන මිනිස්සු හිතින් හරි අසරණයි. මගේ නිරුවතට අවනත වෙන ඒ මිනිස්සු මගේ ආදරය ඉදිරියේ අඬන්න ගන්නවා. ඒ වෙලාවට උන්ගේ ඇස් වලින් පෙනෙන්නේ තනිකමින් පීඩාවෙන හදවත් වල විලාපය. ඔයගෙනුත් මම දැක්කේ ඒ තනිකම ම තමයි. මම දන්නවා මම ඔය කාගෙවත් පෞද්ගලික විස්තර දන්නේ නෑ තමයි. ඒ වගේම ඒ දේවල් නොදැන මිනිස්සුන්ව මණින එකත් මම අනුමත කරන්නේ නැහැ. හැබැයි මම දන්න දේ නම් මා ගාවට එන ගැනුම්කරුවන් ඉදිරියේ මම නිරුවත් වුණාට උන්ගේ නිරුවත් වෙන්නේ ගත නෙමෙයි, මුළු ආත්මයම. ඒ ආත්මයන් තැලිලා පොඩිවෙලා පීඩාවෙලා. එතකොට මට ඒ මිනිස්සු ගැන දැනෙන්නේ කලකිරීමක් නෙමෙයි දුකක්.
තවත් මේ විදිහට විස්තර කරන්න යන්න පුළුවන් වුනත් මම එහෙම කරලා ඔයා ඉන්න තත්වය තවත් පහළට ඇදල දන්න උවමනාවක් මට කොහෙත්ම නෑ. ඒත් ඔය දැන ගත යුතු දේ කියන්න ඕනේ. ඔයා වෙරිවෙලා ඉඳිද්දී ඔයා 'සඳා' කියල කියවන්න ගත්තා. මම දන්නවා ඔයා බැඳලා නැහැයි කියල, ඒ හින්ද මගේ ඊළඟ උපකල්පනය වුණේ ඔයාගේ හිටපු පෙම්වතියක් එවන්න ඇති කියල. ඔයා ඒ අවසිහියෙන්ම ඒ නම කියමින් අඬන්න පටන් ගත්තා. මම කොච්චර උත්සහ කළත් නැවතුනේ නෑ. මම දන්නවා ඔයා ඒ සම්බන්ධයෙන් සෑහෙන්න දුක්වෙන්න ඇති. අනිත් කෙලවරක් නැති සම්බන්ධතා වලට මූලික හේතුව වෙන්න ඇති. අනිත් කෙල්ලන්ගෙන් සඳාව හොයන්න මහන්සි වෙලා පසු තැවෙන්න ඇති. ආදරේ කියන්නේ ඔහොම තමයි. ආදරෙන් පීඩා විඳින්නෙත් ආදරේ කරන අයම තමයි. ඒ වගේම ආදරේ නිසාම අනිත් අයට පීඩා කරන්නෙත්.
ඔයා පහුගිය දවස්වල හිටියේ මා ගාව, මගේම ගෙදර. එතෙනට ගැනුම්කාරයෝ කව්රුවත් එන්නේ නෑ. ඒත් ඔයාව මම එතනට ගත්තා. කන්න බොන්න දුන්නා සැලකුවා. ඊට පස්සේ ඔයාව ගෙදරටම ගෙනත් ඇරලුවා. ඔයාට දැන් ඒවා අමතක ඇති. නැත්තම් අමතක කරන්න උත්සහ කරනවා ඇති. ඒක හොඳයි. ඔයා ඒ හිටපු තත්වය අනුව ඔයාව නිකන් අත ඇරලා දාන්න මට බැරිවුණා. ඔයා ඒ දවස් වල හැසිරුනේ මැරෙන්න දඟලන සතෙක් වගේ. මට ඔහොම තේරුමක් නැතිව ජිවිතේ විනාස කරගන්නවා බලන් ඉන්න බැහැ. මේ පළවෙනි වතාවත් නෙමෙයි. ඔය අවස්ථාවම නොවුනත් මීට සමානව මම ක්‍රියා කළ අවස්ථා තිබුණා. කොහොම වුණත් මෙච්චරයි කියන්න තියෙන්නේ මීට පස්සේ ඔයා මං ගාවට එන්න එපා. ආවට බාරගන්නෙත් නෑ. මම දන්නවා ගණිකාවකගෙන් උපදෙස් ගන්න උවමනාවක් නම් ඔයාට කොහෙත්ම නැතුව ඇති ඒත් පුළුවන් නම් මාව, මම කරපු දේවල් පහු කරලා ආයෙමත් ජීවත් වෙන්න උත්සහ කරන්න.

හිතුවට වඩා දේවල් ලියවුණා, දැන් නැවත්විය යුතුයි. අවසානයේදී කියන්න තියෙන්නේ මගෙන් ජීවිතයට සුබ පැතුම් අනුරුද්ධ කියලයි.

මීට, චමේලි.


-ප්‍රහර්ෂයේ නිමාවයි-

Wednesday, October 12, 2011

ප්‍රහර්ෂය : සූරතාන්තය



අනීශාට ඕනේවුණා මම යන යන හැම තැනකම යන්න. ඉඳිකට්ට පස්සේ නූල වගේ ගෑණු හැම වෙලේම ඇඟේ එල්ලෙන එකට මම කොහෙත්ම කැමති නෑ. ඒත් අපි අපිව අඳුන ගැනීමේ පියවරක් විදිහට ඒක එයා කරන බව පෙන්නුවා. ඒ විතරක් නෙමේ අනීශා එකෙන් සෑහෙන ඵල නෙලා ගත්ත කිව්වොත් මම වඩාත් නිවැරදියි. මගේ තිබුණ සිවිල් බලයේ වටිනාකම ගෑණි හොඳ හැටි තේරුම් ගනිමින් මගේ නම ප්‍රයෝජනයට ගත්තා. මා හරහා ක්ෂේත්‍රයේ විවිධ විදිහේ දැන ඇඳුනුම්කම් ඇති කරගත්තා, උපාධියක් කරන්න ඕනේ කිව්වම ඒකටත් මම උදව් කළා. ඔය විදහට ගෑණිට මීඩියා වල හොඳ නමක් ආවේ වැඩි කල් යන්න කලින්මයි. ඊට පස්සේ ඒ රූපවාහිනී ආයතනයේ උසස් තත්වයක් ලැබුනේ විවිධ වාර්තාමය වැඩසටහන් කරන්න, ඒවටත් අදහස් ලැබුනේ මගෙන්ම තමයි.
"ඔයා නම් අනුරුද්ධ අදහස් සාගරයක්" ඔහොම කිය කියා අනීශා තවත් හුරතල් වුණා.

අනීශාට මාව බඳින්න උවමනාව හොඳටම තිබුණා. මගෙන් කෙලින්ම ඇහුවේ නැති වුණත් නොකියා අහපු අවස්ථා එමටයි. අනීශාගේ කිසිම විශේෂත්වය නැහැ. අනිත් අතට මට එහෙම විශේෂ ලක්ෂණයක් අවශ්‍ය වෙලා තිබුනෙත් නෑ. අහිංසකකම, දඟකම, ක්‍රියාශීලීබව, දක්ෂතාවය, උගත්කම, උතුරා යන ලස්සන වගේ විවිධ ගති ලක්ෂණ වලින් හෙබි පෙම්වතියන් මම පහුකරගෙන අත්විත් තිබුණත් ඒ කාටවත් ඇලීමක් ඒ ලක්ෂණයන් නිසා විශේෂ කැමැත්තක් මට ඇති වෙලා තිබුණේ නෑ. අනිත් එක ඒවා බාහිර කරුණු මිසක් ප්‍රධාන කරුණු නෙමෙයි නේ. මෙතුවක් පෙම්වතියන් ගෙන් සැබෑවටම මම ආදරය කරපු කෙල්ලන්ගේ එහෙම විශේෂයක් තිබුණේ නෑ. අනිත් අතට ඒ දේවල් ගැන මම විශේෂයෙන් තියා කොහොමටවත් හොයන්න මහන්සි ගත්තේ නෑ. මට ඕනේ කළේ ප්‍රේම කරන්න විතරමයි. ප්‍රේමය අන්ධයි කියන කතාවේ ඇත්ත නැත්ත මට හොඳටම වැටහුනේ එතකොටයි. කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරනවානම් අනිත් ප්‍රශ්න ගැටළු නෙමේ. නිකම් පුහු දේවල් ආදරය හමුවේ අදිසි වෙන දූවිලි.

ඔයින් මෙයින් මට තේරුනේ මම අනීශාට කිසිම ආදරයක් නැති බව. අනාගතය ගැන ස්ථිරවම කියන්න බැරි වුණත් අනීශාට ආදරේ කරන්න අනාගතයේදී වුණත් පුළුවන් වේවිද කියන සැකය මගේ හිතේ කරනම් ගැහුවා. ඒත් එක්කම මේ හැම දේකම අවසානයක් උවමනා බවකුත් දැනෙමින් තිබුණා.
"උඹ බඳින්නේ කවද්ද?" මගේ හිත මගෙන්ම ඇහුවා.
"කවදාහරි."
"කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලපන්. අවුරුදු හතලිහ වෙන්න තව මාස කීයද? හැමදාම ජීවත් වෙනවා කියලද හිතන් ඉන්නේ?"
"ඉතින් මැරෙන්න කලින් බඳින්න ඕනේ කියල නීතියක් නෑනේ..."
"යකෝ, උඹ හැමදාම එක විදිහට ඉන්නවා කියලද හිතන් ඉන්නේ? බලපන් තවටික දසකින් උඹේ කොන්ඩෙත් සුදු වෙන්න ගනියි. ඇස පෙන්නේ නැතිවෙයි."
"දැන් එතකොට බඳින්න ඕනේ නාකිවෙනවා කියන බයටද?"
"නැතුව, උඹ මහා මෝඩයෙක්. සාකච්චා වලදී මුළු රටටම කියන විදිහට ආදරයේ නාමයෙන් බැඳපන්. ඔය බැඳලා ඉන්න උනුත් ආදරේ කරන එකක් යෑ. බොරුවට රටටම පෙන්න රඟපානවා මිසක්."

මම මට උත්තර දෙන්න ගියේ නෑ. හිත තව තව දේවල් ඔහේ කියාගෙන ගියා. මම කල්පනා කළේ අනීශා ගැන, අනීශාව බඳින එක ගැන. ඒකිගේ කියන්න තරම් වරද්දකුත් නෑ. අනිත් එක බැන්දට පස්සේ හරි ආදරයක් ඇතිවෙන්න පුළුවන් බව යන්තමින් දැනුණා. ඔය විදිහට මම මාවම එක්තරා විදිහකට රවට්ටමින් අනීශාව බැඳීමට අවශ්‍ය කරුණු සාධාරණය කරමින් හිටියා. ඒ ක්‍රියා මාර්ගය අසාර්ථකයි කියන්න බැහැ, සෑහෙන දුරට වැඩේ සාර්ථකයි. උච්ච අවස්ථාව ලංවෙද්දි මම අනීශාව බඳින්න සම්පූර්ණ සූදානමකින් හිටියා. ආයෙත් හිතල බැලුවොත්, කව්රුහරි මගෙන් හරහට ප්‍රශ්න කළොත් ඇත්ත කියවෙන්න පුළුවන් වුණත් මම ඒ සඳහා උපරිමයට සංයමයක දැහැන්ගත වුණා.

අනීශා ඒ වෙන කොට වැඩසටහනක් රූගත කරන්න දඹුල්ලේ ගිහින් හිටියේ, මම එයාගේ දුරකථන අංකය ඇමතුවේ මගේ තීරණය ගැන එයාට දැනුම් දෙන්නයි. ඒත් මට කතාකරන්න ලැබුනේ නෑ. ඒහින්ද මම ඒ කණ්ඩායමේ අධ්‍යක්ෂක වන මගේ යාලුවෙක්ට කතා කළා.
"කෝ අනීශා ඉන්නවද? මම එයාගේ ෆෝන් එකට ගත්තා වැඩ කළේ නෑ."
"දැන් නම් කොහෙද කියන්න දන්නේ නෑ. ඇයි අද අනීශා අපේ ටීම් එකේ ප්‍රෝඩියුසර්ව බැන්ද කියල දන්නේ නැද්ද?... මම හිතුවේ උඹ දන්නවා ඇති කියලා..."


-ඉතිරිය මතුවට-

Monday, October 10, 2011

ප්‍රහර්ෂය : සරාගී දෑස අතර

පළමු කොටසට


"ඔයා මට ආදරේද?" අනීශා ඇහුවා. මේ වගේ හදිසි එක්වීම් වලින් පස්සේ ගෑණුන්ට ඔය වගේ ප්‍රශ්න අහන්න හිතෙනවා. ඒක තමන් දැන් පත්වුණු තත්වය, ස්ථාවරය දැනගන්න කරන ස්ත්‍රී මායමක් වෙන්නත් පුළුවන්, නැත්තම් ස්වභාවිකව ගැහැණියට ආරක්ෂාව රැකවරණය දෙන්න පිරිමියා අවශ්‍ය බව පෙනෙන පරිණාමික ලක්ෂණයක් වෙන්නත් බැරි නැහැ. කොහොම වුණත් මම ඕක අහන බව දන්නවා, ඊට පස්සේ අහන ප්‍රශ්නත් අහනවා. ටිකෙන් ටික පිරිමියාව දැලේ දාගෙන කසාද බඳින්න තල්ලු කරන්නේ හීන් සීරුවේ. අන්තිමට නොදැනිම වලේ වැටිලා. මෙච්චර අත්දැකීම් රාශියක් එක්ක මාව තම්බන්න පුළුවන් කියල වෙන්න ඇති අනීශා හිතන් ඉන්නේ.

"ගෑණුන්ට ඔය ප්‍රශ්නේ හරි වැදගත් නේද?"
"ඔව්, ඉතින් උත්තර දෙන්නකෝ..."
"මෙහෙමයි, මට ඕනෙනම් ඔව් කියල උත්තර දීල ඔයාව රවට්ටන්න පුළුවන්. ඒත් මම බොරු කියන්න කැමති නෑ. ඔයාට ආදරේ කරන්න නම් ඔට ගැන කොච්චර දේවල් දැනගන්න තියනවද, අනිත් එක ඒකට තව කල් ඕනේ. තප්පරෙන් දෙකෙන් ආදරයක් ඇතිවෙන්න බැහැනේ. අපි මෙහෙම කරමු."මම සුපුරුදු ශේප් නියාය අනුගමනය කරමින් හිටියා. "අපි අපිව මුලින්ම අඳුනගන්න ඕන, ඊට පස්සේ ඕක කියන්න බැරියෑ"

"මාත් එක්ක නිදාගත්තට පස්සෙද ඒක මතක් වුණේ?"
"සෙක්ස් කියන්නෙත් ඒකෙම කොටසක් තමයි."

බලාපොරොත්තු වුණු විදිහටම අනීශා මගේ ඒ ප්‍රතිචාරයට කැමති වුණේ නෑ. ඒත් දැන් කරන්න කියල වෙන දේකුත් නැති හින්ද ගෑණිට එකඟ වෙන්නම වෙනවා. කෙල්ලෙක්ව දැනගන්න, තේරුම් ගන්න මම කැමතියි. ඒත් එහෙම ගත් උත්සාහයන් එකකවත් අවසානය සාර්ථක නැහැ, හැම අවස්ථාවකදීම මට සිදු වුණේ හර්ද කම්පාවකට ලක්වෙන්න. හදවතට දැනෙන කම්පා භුමි කම්පවකටත් වඩා භයානකයි. තැලිලා පොඩිවෙලා චෝප්පවෙලා ගිහින් හදවත කෑලි වලට කුඩු වුනාට පස්සේ ආයේ හාවෙන්න ලේසි නෑ. දැන් මගේ හදවත දොරවල් හතකින් වහල තියෙන්නේ. මොන කෙල්ල ආවත් ඔය හැම දොරකටම යතුරු උන් ගාව නෑ. නැත්තම් තියනවා කියල දන්නේ නෑ, මම හොයාගන්න උදව් කරන්නෙත් නෑ.

මම මුල්ම වතාවට ප්‍රේමයෙන් ආතුර වෙද්දී ස්වප්න මෝචනය වුණා විතරයි. මම ඒ සිද්ධිය අයියාට කිව්වට පස්සේ එයා 'උඹ දැන් ලොකු මිනිහෙක්' කියල හිනාවුණා. මට මුලින්ම කෙල්ලෙක්ට ලියුමක් ලියන්න ලැබුනේ මට ලැබුණු ලියුමක උත්තරයක් විදිහට. ඒකිට හොඳ හොඳ කතා හැදිලා තිබුනට මට අලුත් මම ගැන දැනගන්න ඒකි උදව් කළා. ඇත්තම කිව්වොත් සඳමාලි මට අවුරුදු දෙකක් වැඩිමල් අක්ක කෙනෙක්. මුලින් මුලින් මට මල්ලි කියමින් හිටියට මට පස්සේ අයියා වැඩ කරන්න පුළුවන් වුණා. කසාද බැඳලා යන්න හදද්දී සඳා අක්ක හොඳටම ඇඬුවා ඒකි යන්නේ අපායකට කියල. මට කරන්න කියලා කිසිම දෙයක් තිබුනෙත් නෑ, මම කරබාගත්ත. එදා තමයි මම කෙල්ලෙක් වෙනුවෙන් අඬපු පළවෙනි වතාව. ආයේ නම් කෙල්ලෙක් වෙනුවෙන් අඬන්නේ නෑ කියල මම මටම පොරොන්දුවක් දීගත්තට මොකද මම අතින් කීප වතාවක්ම ඒ පොරොන්දුව බිඳුනා. අර සිනමාවේ පෙන්නන විදිහේ නැත්තම් නවකතාවල තියන විදිහේ අකුණු වදින ගතියක්, මල්වෙඩි  පුපුරන ගැස්මක් නැති වුණත් මම සඳා අක්කට ආදරේ කළා. සමහර විට පෙම්වතියකටත් වඩා මගේම සහෝදරියක් විදිහට. ඒ වෙන්වීමෙන් පස්සේ මම මාස ගණනාවකටම අක්‍රීය වුණා. කෙල්ලෙක් ගැන යන්තම්වත්  උනන්දුවක් ඇතිවුණේ, අවුරුද්දකින් විතර පස්සේ. සඳමාලිව මුණ ගැහෙන්න කියල එක එක ප්ලෑන් ගැහුවට එක ක්‍රියා කරවන්න මට මානසික ශක්තියක් තිබුනේ නෑ, අනිත් එක ප්‍රශ්න ඇති කරගන්න ඕනේ වුණෙත් නෑ. අයියාට මගේ වෙනස තේරුණා උදව් කරන්නත් හැදුවා ඒත් මම ඕනේ නෑ කිව්වා. මම ඒ උදව් බාර ගත්තනම් මම දැන් ඉන්නේ බොහොම වෙනස් තැනක් කියන එක ස්ථිරයි. ඊට පස්සේ වුණේ කවදාවත් කෙල්ලන්ට මගේ හදවතේ ඉඩක් නොදෙන්න උත්සහ කරපු එක. ඒත් මම අසාර්ථක වුණා, කිහිප වතාවක්ම. එහින්දම දැන් ඒ ගැන මම හොඳටම සැලකිලිමත්.

අනීශාට මම, අපි අපිව හඳුනාගන්න ඕනේ කියල කිව්වේ බොරුවටමත් නෙමේ. මේ යාමට අවසානයක් තියෙන්නත් ඕනෙනේ. හැමදාම මෙහෙම නිදාගන්න විතරක් ගෑණු පස්සේ යන එකත් එපා වෙන කාලයක් ඒවි කියල මම දැනන් හිටියා. ඒත් ස්ථිර වශයෙන්ම තැම්පත් වීමක් ගැන මම විශ්වාස කළේ නෑ. එක ගෑණියෙක්ට කොටුවෙන්න උවමනාවක් තිබුණෙත් නෑ. ඒත් යම් අවසානයක් අවශ්‍ය බව විතරක් දැනන් හිටියා. ඒ අවසානයට ගැලපෙන්නේ කොයි විදිහේ කෙල්ලෙක්ද කියල මට යම්තම්වත් අදහසක් තිබුණේ නෑ. අනික එක එක විදිහේ පෙම්වතියන් ඉඳලත් ඒ ගැන නොදැනීම මහා පුදුම දෙයක්.

එකවතාවක් රූපවාහිනී සාකච්චාවකදී රැඩිකල්වාදියෙක් කිව්වා "මිනිහෙක් ගෑණු සියගානක් එක්ක වුණත් නිදාගෙන ඊට පස්සේ හැබෑ ආදරේ හොයාගන්න පුළුවන් කියල." මම ඒකට එකඟ වුණාම මගේ පාර්ශවයේ අනිත් උන් පුදුම වුණා. එකෙක් වැඩසටහන තුලදීම මට කිව්වා මම කටුස්සෙක් කියල. තව එකෙක් පාවාදෙන දෙන්න කීයක් ගත්තද කියලත් ඇහුවා. කොච්චර වංක මිනිහෙක්ට වුණත් ආත්මයක් තියනවනම් එක වතාවක් හරි අවංක වෙනවා කියල කියන්න හිතුනත් මම කියන්න ගියේ නෑ. ඕකුන්ට ඕව කියල වැඩකුත් නෑ.

අනීශා මං දිහා බලල හිනා වුණා. මමත් හිනා වුණා.
"හරි එහෙනම් හොඳ උත්සහයක් දෙමු." මම ඔලුව වැනුවා. මම අනීශාව තුරුළු කරගත්තේ මටවත් නොදැනීමයි. 


-ඉතිරිය මතුවට-

Saturday, October 8, 2011

ප්‍රහර්ෂය : රතු දෙතොල් (උද්භවය)

අලුත් කතාවක්, 'කතාව කතාව වෙනුවෙනි' කියල කතාව කියවල බලන්න. සියලු නම් ගම් මනඃකල්පිතයි. මෙම කතාව හා සැබෑ ලෝකය අතර සම්බන්ධතාව හුදු අහඹුවක් පමණයි.


මම ආචාර්යවරයෙක්, ඔය එක එකාට වගේ මට උපාධිය ලැබුනේ පිනට නෙමේ මගේම මහන්සියෙන්. මම මාධ්‍යකරුවෙක්, ඒකත් මට අම්ම අප්පගෙන් ලැබුණු දායාදයක් නෙමේ. මම දවසකට එකොලොස් වතාවක් ස්වයං වින්දනයේ යෙදෙනවා. ඒ වගේම අතිශෝක්තිය කියන්නේ මගේ ඇඟේම තියන දෙයක්. මම මේ සමාජයේ තරමක ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා මට විවිධ ආකාරයේ ආරාධනා ලැබෙනවා. එදා සාදයට සහභාගී වුණෙත් එහෙමයි.

ඒවුණත් මම ගියේ එතරම් කැමැත්තකින් නෙමේ. එදා හැන්දෑවේ මගේ එකසිය අසුහත්වෙනි පෙම්වතිය මගෙන් වෙන්වුණා ඒකිට ගෙදරින් බඳින්න බලකරනවා කියල. ඔච්චර අත්දැකීම් ගණනාවක් තිබුණත් මට ඒ ප්‍රතික්ෂේප වීම දරාගන්න අමාරු වුණා. මට ඕන කරලා තිබුණේ මගේම ගෙදරට වෙලා ජනෙල් දොරවල් සේරම ඇරගෙන නිරුවතින් ඇඳේ පෙරළිලා මළා වගේ නිදා ගන්න. ඒත් එහෙම ඉන්න බැරි ගතියක් දැනුණා. සාදයට යායුතුයි කියල හිතුනේ කව්රුහරි ඒක මගේ ඔලුවට බලෙන් ඔබ්බවනවා වගේ. මම ඒ සමාජ සත්වයාගේ හැඟීමට යටත් වුණා. ඒත් සාදයේ හිටිය කව්රුවත් එක්ක කතාකරන්න බැරිවුණා, කතාකරන්න උවමනාවක් තිබුණෙත් නෑ. මේ දවස්වල මීඩියා වල ප්‍රසිද්ධ සිද්ධි වුණු නාගරික මන්ත්‍රියෙක්ගේ හොර අඹුවගේ අභිරහස් මරණය, කවදාවත් අහල නැති මාධ්‍යවේදියෙක්ගෙ දේශපාලන ආගමනය, ලබන ජන්දෙට ව්‍යාපාරිකයන්ගේ බලපෑම වගේ දේවල් කතාවුණා. මම කළේ ඇල්කොහොල් තොලගාමින් ඔලුව හෙල්ලීම හා මද සිනහ පෑම පමණයි.

ඔය අතරෙදියි මට ඒ රතු දෙතොල් ඇස ගැටුනේ. සුදු මතුපිටක රතු පැල්ලමක් වගේ පැහැදිලව මට ඇය දිස්වුණා. ඇය ඇඳලා හිටියේ හොඳට ඇඟ කැපිල පෙනෙන කළු කොට සාද ගවුමක්. හැසීරීම සුපිරි පොහොසත් කාන්තාවක් ලෙසට වුණත් එකී කොයි වගේද කියල හඳුනාගන්න මට අමාරු වුණේ නෑ. ඇයගේත් ඇස් මා හරහා ඉඳහිට වැටුණා.
"කොහොමද?" සාදයේ කොනක තිබුණු බාර් එකේ උස පුටුවකට වෙලා ඉන්න අතරේ ඇය මගේ ලඟට ඇවිත්.
ඒ තොල්. සරාගී ඇස්. මම ගල් ගැහුනා. ඇයගේ හිනාව හදවත කිතිකවල ඉඹින ආකාරයේ හිනාවක්. මම මත් වුණේ ඇල්කොහොල් වලට නෙමේ.
ඇය - ගිනි උඳුන
මම - ජල බඳුන
ඇය තව තවත් ගිනි පිඹල මාව රත් කරන්න ගත්තා, මම රත්වුනේ තව රස්නේ මදි කියමින්. ඇය මගේ පපුවට ඇඟිල්ල තියල හෙමිහිට පහලට අරන්ගියා, මට දැනුනේම මගේ පපුව විවර වෙලා හදවත ඉවතට පනිවි කියල.
"ගාන කීයද?"
"ගාන වැඩියි"
"අපි යමු" ඒකි මගේ අතින් ඇඳන් ගියා. අපායට ඇදන් යන මාර දූතිකාවක් එක්ක වුණත් යන්න පුළුවන් කමක් දැනුණා නිසා මාත් ඇයටම ඉඩ දුන්නා.



පළමු හමුවීමෙන් මට අහිමි වුණු මුදල සැලකිය යුතු තරම් වුණත් මම කිහිප වතාවක්ම ඇය හමුවීම මත ඇය මගේ නිල නොවන පෙම්වතිය බවට පත්වුණා. ඉඳහිට අපි කතා බස් කළා, විනෝද වුණා, තැන තැන ඇවිදින්න ගියා. ඒත් ඒ සේරම බොහොම තාවකාලිකයි කියල අපි හොඳට දැනගෙන හිටියා.
"ගෑණු හැමවෙලේම හිම බෝලයක් වගේ පිරිසිදු වෙන්න ඕනේ කියලද අනුරුද්ධ කියන්නේ?" චමේලි එකපාරටම එහෙම ඇහුවහම මම පුදුම වුණා. ඔය අහන්නේ ඊට කලින් දවසක මම එක්තරා නාලිකාවක 'සංස්කෘතිය හා ගැහැණිය' කියන මාතෘකාවට කළ කතාවක් ගැන.
"මම දැනන් හිටියේ නෑ නේ ඔයා ස්ත්‍රීවාදිනියක් කියල"
"මම ස්ත්‍රීවාදී තමයි, අනික් ගැණු ඔයාට සෙක්ස් පිනට දුන්නට මම ඒකට අය කරනවනේ" මට එකපාරට උත්තරයක් හිතාගන්න බැරිවුණා. එනිසාම මම ඒකට මුකුත් කියන්න ගියේ නෑ.
"ඉතින් ඔයා මොකද්ද ඒ ගැන කියන්නේ?"
"කියන්නේ මේකයි, මතු පිටින් සුදු හුණු ගෑවට මිනිස්සුන්ගේ චරිත ගැන කව්රු කව්රුත් දන්නවා!"
"ඊළඟ දවසේ ඔයත් එන්න සාකච්චාවට" මම හිනාවුණා.
"එන්න පුළුවන් තමයි, ඕවට එන උන්ට වඩා වැදගත් දෙයක් මට කියන්න පුළුවන්. ඒත් මගේ බල්ලවත් එන්නේ නෑ." චමේලි කියන් ගියේ කේන්තියෙන්, මම මුකුත් කියන්න ගියේ නෑ. ඔහේ හිටියා. එක අතකින් ඒකි කියපුවත් වැරදීම නෑනේ. 



මට වැඩ අධික කාලයක් ආව, අනිත් එක චමේලිට එච්චර සල්ලි වියදම් කරන්න ලොබ වුණා. ඒනිසාම චමේලි එක්ක ආශ්‍රය අඩුවුණා. ඔය අතරෙයි, අර රූපවාහිනී වැඩසටහනට අලුතින් නිවේදිකාවක් ආවේ. අනීශා, ලස්සනයි හැඩයි, හැබැයි මෝඩයි. ඒකි සාකච්චාවේදී මගෙන් වැඩිපුර ප්‍රශ්න අහද්දී, මං දිහා බලද්දී, මගේ කතාවට තව තව කාරණා එක්කරද්දී මට තේරුණා ඒකිට ඕන කාරණය. මම අනීශාට කතා කළා කොපි බොන්න.
"ඉතින්?" මම මනමාල හිනාවක් දාන ගමන් ඇහුවා.
"ඉතින් ඉතින්?" ඒකිට අහගන්න බැරිව ලතවුණා. මට හිනා.
"ඉතින් ඉතින් ඉතින්?" 
"පිස්සා, මොකද දැන්ද ඒ වචනේ ඉගෙනගත්තේ?"
"ඔයත් එක්ක ඉන්නකොට දන්න දේවල් අමතකයි."
"අර අහස ලස්සනයි නේ?" අනීශා අහස දිහා බලාගෙන කිව්වා. අපි කොපි බිව්ව තැන හදල තියෙන්නේ මුහුද ආසන්නයේ නිසා පරිසරය පැහැදිලිව පෙනෙන්න සකසල තිබුණා. එදා අහස වෙනද අහසම තමයි, විශේෂයක් නෑ. ඒත් මම එකඟ වුණා.
"ගෙදරට අහස මීට වඩා ලස්සනයි, යමුද බලන්න?" මම ඇහුවහම අනීශා ඔලුව වැනුවේ දඟ හිනාවක් පාමින්.


-ඉතිරිය මතුවට-