Thursday, June 30, 2011

රැඩිකල් පෙම්වතා


කිසිදා නොසිඳෙන පිපාසයක
කිසිදා සුව නොවෙන රෝගයක
කිසිදා නොගැලවෙන ජාලාවක
හසුව සිටින මා
වරදක් නොකළ අපරාධකරු වෙම්

සඳේ පහස දැන දැනම
හිරු උදාවෙන තෙක් බලන
මලක සුවඳ දැන දැනම
සමනළයන් පසුපස යන මා
සම්මතය නොදන්නා මානවයා වෙම්

බල්ලන් උඩුබුරලන විට
අවඥාවෙන් සිනාසෙන හිවලා
ගංගාව මුහුදට ගලනවිට
උඩුගම්බලා පාවෙන පාත්‍රය
මා මඩෙහි පිපුන නෙළුම වෙම්

කෙසේ ඇතිවුනි දැයි නොදැනම
පණමෙන් ඔබටම ප්‍රේම කරන
හිමි නොවනා බව දැන දැනත්
නැවතත් ඔබෙන්ම ආදරය ඉල්ලන
මා ඔබේ රැඩිකල් පෙම්වතා වෙම්

Tuesday, June 28, 2011

සඳ පහන් රැයේ සිහිනයක...



"හිරණ්‍ය ඔයාට තව සැහෙන දුරක් යන්න තියනව, මටත් එහෙමයි. හැබැයි අපි ගමන් කරන්න ඕනේ එකට නෙවෙයි, ඒක බොහොම පෞද්ගලික ගවේෂණයක්", උපේක්ෂා මං දිහා බලල ආයෙත් වැව පැත්තට හැරුණා.

උපේක්ෂා තාවකාලිකව නැවතිලා හිටිය ආරමෙට ඇවිත් බලන්න කියල මෙත්තා මෙහෙණියෝ කරපු ආරාධනාවට ප්‍රතිචාර දැක්වුවේ එහෙ ගිහින් නැවතිලා. ටික කාලයක් ඒ කියන අධ්‍යාත්මික සුවය විඳින්න මට අවශ්‍ය වුණා. උපේක්ෂාව මුණගැහෙන්න උවනමාවක් නැතිවුනාමත් නෙමෙයි හැබැයි අපේ අන්තිම හමුවීමෙන් මට අමාරුවෙන් වුනත් පිළිගන්න වුණා අපි අතරේ ඇති වෙන්න පුළුවන් ලොකුම බැඳීම හොඳ මිත්‍රත්වයක් විතරයි කියල. 

ආරාමේ පිහිටලා තියෙන්නේ බොහොම නිසල භූමියක. මාර, පලු, වීර, කොහොඹ වගේ විවිධ ගස් තැනින් තැන හිටවල ඒවා අතරට තවත් ඖශධ පැළෑටිත් තව මොනවද ලස්සනට වවන කුඩා පඳුරු විශේෂයකුත් වවල. ඒ ආරමෙට සැහෙන තරම් දිගු ඉතිහාසයක් තිබුනත් භාවනා කරන්න කුටි හදන තත්වයට ඇවිත් තියෙන්නේ මෑතකදීයි. එතරම් විශාල නොවුනට සැලකිය යුතු තරම් ඉඩක් හිමිවුණු ඒ භූමිය අවසන් වෙන්නේ කුඩා වැවකින්. ඒ රාත්‍රියේ අපි අසුන් ගෙන හිටියෙත් වැවට යාබද කුඩා ගල් තලාවකයි.

ඈත පිහිටි කඳුගැට අතරින් හඳ හිනැහෙමින් තිබුණා. හුළඟ නිසා හටගත්ත වැවේ ළා දිය රැලි වලට හඳ එලිය වැටිලා දිලිසුනා විතරක් නෙමෙයි පරිසරයම අමුතු ළා නිල් පාට ආලෝකයකින් වහගෙන සුරංගනා ලෝකයක් මවන්න උත්සහ ගත්ත. ඒ පරිසරයේ තිබුණ හඳයි, තරුයි, වැවයි, ඈත කඳුවටියයි, අවට තුරුයි එකතුවෙලා අපිව ඇදල අරගෙන විචිත්‍ර චිත්‍රයකට ඔබ්බව ගත්තේ අපිත් ඒ සිතුවමට අයිතියි කියන්න වගෙයි.

"ඔයාට මං ගැන දුක හිතෙන්නේ නැද්ද උපේක්ෂා?"
"නැහැ, මට ඔය ගැන සතුටක්වත් දුකක්වත් නැහැ."
"ඒකියන්නේ ඔයාට මං ගැන කිසිම භැඟීමක් නෑ?"
"නැත්තේ නෑ, ඔයා ගැන කැමැත්තක් කියනව. හැබැයි ඒ ඔයා මේ ජීවිතේ මොකද්ද කියල හොයන කෙනෙක් වෙන නිසා මිසක් වෙන මොනවත් නෙමෙයි."
"හ්ම්ම්,,,"
"ඇයි? ඔයාට ඔයා ගැන දුකද හිරණ්‍ය?"
"ඇත්තටම ඔව්. මම මේ තරම් කවදාවත් දුක් වෙලා නැතිව ඇති."
"වෙන්නත් පුළුවන්, ඒත් මේ අවසාන වතාව නොවෙන්න පුළුවන්, අනික් අතට ඔයාට එහෙම හිතුන එකත් හොඳයි එතකොට ඔයාට ඔයා යන ගමනට උදව්වක් වේවි... එන්න අපි අර පැත්තට යමු...", උපේක්ෂා මාවත් ඇදන් කොහෙද යන්න සැරසුණා. මමත් ඉබේටම වගේ අවනත වුණා. 

උපේක්ෂා මාව ගස් අතරින් අරන් ආවේ පිට්ටනියක් අසල ළමා උද්‍යානයකට. හඳ එළිය අපේ පස්සෙන් ඇවිල්ල මුළු පිට්ටනියමත් මේ ළමා උද්‍යානයත් ඒකාලෝක කළා, පිට්ටනියේ තණ කොළවල පිනිබිඳු දිලිහෙන්න සැලැස්සුව. උපේක්ෂා ගිහින් ද්විත්ව ඔන්චිල්ලාවක වාඩිවුණේ මටත් අනිත් ආසනේට එන්න කියන්න වගෙයි. මමත් ගිහින් වාඩිවෙලා යන්තමින් පැද්දෙන්න උත්සහ කළා. උපේක්ෂා ඉදිරියට පැද්දෙනකොට මම පිටිපස්සටත් මම ඉස්සරහට යද්දී උපේක්ෂා පිටිපසටත් විදිහට රටාවකට අපි මුසුවුණා.

"මම ලබන මාසේ විතර ඉන්දියාවේ යන්න ඉන්නේ, එහෙ යාලුවෙක් මාව ආශ්‍රම කීපයකටම එක්කන් යන්න පොරොන්දු වුණා. මම ගිහින් ඔයාටත් විස්තර කියන්නම්.", උපේක්ෂා කතා කළා, මම ඔලුව වැනුවා.
"ආයේ කවද්ද එන්නේ?", මට යන්තමින් ප්‍රශ්නයක් අහන්න කටහඬ ශක්තිමත් කරගන්න පුළුවන් වුණා.
"කියන්න බෑ හිරණ්‍ය, මාසයක් නැත්තම් අවුරුද්දක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මම නෑවිදින් ඉන්නේ නෑ... බය වෙන්න මම ඔයාව මගාරින්නේ නෑ...", උපේක්ෂා හිනා වුනේ ඇස්දෙකෙන් ඒ හින්ද ඒ කියන්නේ ඇත්තමයි කියල හදවතටම දැනුණා. 

ඊට පස්සේ උපේක්ෂා කළේ හරිම බොලඳ වැඩක්. ඔන්චිල්ලාවෙන් නැගිටලා ගිය ඇය තණ කොළ අතර වැතිරිලා අහස නිරීක්ෂණය කරන්න පටන් ගත්ත.

"මේ මොකද, ඔන්චිලි පැද්දට පස්සේ චූටි බබෙක් වෙන්න පටන් ගත්තද?", මම හිනා වේවි ඇහුවා. එයත් හිනාවෙලා ඔලුව වැනුවා. මමත් ගිහින් එය ලඟින්ම දිගාවෙලා අහස බලන්න පටන් ගත්තා. හොඳටම හඳ එළිය තිබුණ නිසා තරු පෙනුනේ අඩුවෙන් උනත් අහස මනහර විදිහට හිටියා.
"අහස හරිම ලස්සනයි නේද හිරණ්‍ය.", උපේක්ෂා ප්‍රශ්නයක්මත් නොවෙන ප්‍රකාශයක් කළා. ඒ මුහුණට හඳ එළිය වැටිලා බැබලුවා, ඇස් කාන්තිමත් වුණා. උපෙක්ෂාගෙන් දිස් වුනේ මනුෂ්‍ය දුවකට එහා ගිය සුන්දරත්වයක්. 
"හ්ම්ම්,,, හරියට ඔයා වගෙයි." ආයෙත් ඒ ඇස් දිලිසුණා.

Friday, June 24, 2011

වැම්පයර් දත් වලට දන නම්වු!


සඳ සඟවාගත් රැයක
කලඑළි බසින්නේ මා
පාලු වී ගිය නිවෙස් අතරින් 
ඊළඟ ගොදුර වෙත ඇදෙන්නට 

වීදියේ සැරිසරන කල 
අතරමන් වූ ආත්මයන් 
මා සතු කාර්යය පහසු කරයි

මේ ශක්තිමත් දත් 
සම තුලටම කිඳා බැස
රීරිමාංශ යුෂ උරාගනියි
මා තවත් බලවත් වේ

උඹේ හම, මගේ නම.

පලිඟු  මෙන් දිලිසෙන මුහුණ
කාගේත් සිත වසඟ කර ගත්තද
දන්ත ධාතුවට තැති ගනියි
එතෙත් ගැලවීමක් නම් නැත

ඉතින් මුග්ධයෙනි,
වැම්පයර් දත් වලට දන නම්වු!

Tuesday, June 21, 2011

ප්‍රේමයටම ප්‍රේම කරමි.


මම කණ්ඩායමක් එක්ක ට්‍රිප් යන්න කැමති නෑ. විශේෂයෙන් පොඩි ළමයි ඉන්නවා නම්. ඒ ළමයින්ට අකමැති නිසා නම් නෙමෙයි, ළමයි එක්ක ට්‍රිප් ගිහාම තියන ප්‍රශ්න නිසා, එක්කෝ ලෙඩ වෙයි නැත්තම්  'මහන්සියි මාව වඩාගන්න', 'අනේ දැන් ඇති ගෙදර යං' වගේ මොනවහරි කියයි ඔය වගේ ජන්ජාල ගොඩයිනේ. ඕවා අතරේ බලන්න යන තැන හරියට බලාගන්න වෙන්නේ නෑනේ. කලබලේට දුවන්න තමයි වෙන්නේ. කොහොමහරි ඉතින් මගේ හොඳම මිත්‍රයා මුදිත, පොළොන්නරුවේ යන්න කතා කලහම නොයා ඉන්න හේතුවක් හොයාගන්න බැරි කමටම යන්න වුණා. කලින් කියපු වගේ කණ්ඩායමක් ගියත් ඒ ප්‍රශ්න මගේ ප්‍රශ්න නොවෙන්න මම උපරිම උත්සහ ගත්තා. 

"මේවා ඒ කාලේ කොහොමට තියෙන්න ඇත්ද? මටනම් හිතාගන්නවත් බැහැ", පරාක්‍රම මාලිගාවේ නටඹුන් අතරේ ඇවිදමින් හිටපු මුදිත කිව්වා.
"මොකද බැරි, මේ තියන නටඹුන් වලට ඉතිහාසයේ කියවෙන දේයි තව අපේ නිර්මාණාත්මක අදහසුයි එකතුකරලා සෑහෙන තරම් පැහැදිලි චිත්‍රයක් මවාගන්න පුළුවන්." මම උත්තර දුන්නේ ධර්ම දේශනාත්මක ස්වරුපයෙන්.
"ඒත් එහෙම බැලුවත් චිත්‍ර එකකට එකක් වෙනස් වේවි. කාගේ ෆැන්ටසියද නිවැරදි කියන එක ප්‍රශ්නයක්"
"ඔව් එකත් ප්‍රශ්නයක් තමයි, ඒත් වෙලාවකට හිතෙනවා ඇත්ත දැන නොගෙන ඉන්න එක වඩා හොඳයි කියල. හදිස්සියෙන්වත් ඇත්ත චිත්‍රය අපි නොහිතනම විදිහක නම් එකෙක්කෙනාගේ ෆැන්ටසි කඩා වැටේවි." 

ඔය විදිහට දෙපැත්තට ප්‍රශ්න කරකර ආයේ ඒවාට  ප්‍රතිතර්ක ඉදිරිපත් කරමින් නටඹුන් අතරේ ගැවසෙන එක වෙනමම විනෝදයක්. අමුතුම ප්‍රීතියක්. මේ විදිහට ඔහේ රස්තියාදු වෙමින් ඉන්න අතරේ ඇස ගැටුනේ නොසිතු දසුනක්. ඒ උපේක්ෂා. මේ කාලේ වෙනකොට අර කලින් හමුවීම වෙලා මාස කිහිපයක්. ආයේ හමුවෙන්න අවශ්‍ය තොරතුරු මොනවවත් අපි හුවමාරු කරගත්තේ නැති නිසා මට ආයේ එයාව කවදා මුණ ගැහෙයිද කියල කිසිම අදහසක් තිබුනේ නෑ. ඈතින් දැක්ක කෙනා උපෙක්ෂමයි කියල හිතුනේ කොහොමද කියල හිතන ගමන් මම මුදිත වත් අඬ ගහගෙන එයා ඉන්න පැත්තට ගියා.

"හිරණ්‍ය ඔයා?", මාව දැකල පුදුම වෙච්ච උපේක්ෂා ඇහුවා.
උත්තර නොදීම මම හිනා වෙලා ඔලුව වැනුවා. උපේක්ෂා ඇවිත් තිබුනේ තව කෙනෙක් එක්ක, ඒ මෙහෙණින් වහන්සේ නමක්. 
"අපි මේ ට්‍රිප් එකක් ආවා, ඔයාත් එහෙමද?" උපේක්ෂා, මෙහෙණින් වහන්සේ නමක් එක්ක මේ නටඹුන් බලන්නේ ඇයි කියල දැන ගන්නත් එක්ක මම ඇහුවා.
"මම මේ දවස් වල මේ ළඟ ගමක මෙහෙණි අරාමෙක භාවනා කරන්න නැවතිලා ඉන්නවා. ඉතින් අපි හවසට ඇවිත් මේ පැරණි නගරේ ගොඩ නැගිලි අතර සැරිසරනවා.", උපේක්ෂා කාව්‍යමය විදිහට උත්තර දෙනකොට මම මොනවද කියන්නේ කියල හිතාගන්න බැරිව මම අමාරුවෙන් හිනා වෙන්න හැදුවා.
"මේ යාලුවෙක් ද?", මෙහෙණින් වහන්සේ මගේ දිහා බලල උපෙක්ෂගෙන් ඇහුවා. 
ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න උපේක්ෂට ටිකක් කල් ගත වුණා. අන්තිමේදී ඔව් කියන්න ඔලුව වනුවේ යන්තමින්.

තව කතාරන්න උවමනාව හොඳටම තිබුනට පරිසරය එකට බාධා වෙලා. උපෙක්ෂටත් මොනවහරි කියන්න ඕනෑ බව පෙනුන වුනත් එයත් වෙනම ලෝකෙක ඉන්න බවක් දිස්වුණා.
"ඉතින් උපේක්ෂා මේ යාලුවන්ටත් ආරාමේ පැත්තේ ඇවිත් යන්න එන්න කියන්නකෝ", මෙහෙණින් වහන්සේ අපි දිහා මන්දස්මිතියකින් බලල සන්සුන් ස්වරයෙන් විමසුවා.
උපේක්ෂා එක පාරටම හීනෙකින් අවදිවෙලා වගේ " ආ ඔව්, ඔයාලත් එන්න. අපි දැන් යමු නේද? " කියල මං දිහාවත් බලන්නේ නැතිව හැරිලා යන්න ගියා. ඒ දිහා බලල පුදුම වුනු මෙහෙණින් වහන්සේ  කලබලයක් නැතිවම අපිට ආරමෙට යන පාර කියල යන්න හැරුණා.

මම මුදිතට උපේක්ෂා ගැන කලින් කියල තිබුනේ, ඒ හින්ද මම උපේක්ෂට නම කියල කතා කලේ නැතිවත් ඒ කව්ද කියල හිත ගන්න ඇති.

"උඹ මේ සැරේ මොකද්ද බං අල්ලගත්තේ?", ආපහු අපි නැවතිලා ඉන්න තැනට එන ගමන් මුදිත ඇහුවා. දෙන්න උත්තරයක් මං ළඟ තිබුනේ නෑ. මම උරහිස් අකුලලා කරබගත්තා.

ඔය තමයි එයාව හමුවුන දෙවැනි දවස.

Saturday, June 18, 2011

ඔබ වෙනුවෙනි අකාලිකවම


ඔබ මා හමුවෙන නොනවතින ගමනක 
සත් සමුදුර තරණය කර
සත් මහල් ප්‍රසාද පසුකොට
ඉර හඳද අතහැර වුවද 
සුදානම් මා ඔබව සොයා ගැන්මට

අනන්ත කාලයක් විශ්වයේ සැරිසරා
ආත්මයෙන් ආත්මයට පාරමිතා පුරා
කල්පයක් වුවද දුෂ්කර ක්‍රියාවට 
මා සුදානම් ඔබව ලබා ගැන්මට 

අන්ධකාර මේඝයේ රිදී රේඛාව
රාත්‍රිය නිම කරන පහන් තාරකාව
ඉඩෝරයට ඇද හැලෙන පොද වර්ෂාව 
මොහොතින් මොහොතට මාගේ 
ජීවත් වීමේ බලාපොරොත්තුව
ඔබ වෙනුවෙනි අකාලිකවම, 

''ඔබ හමු වූවිට මා මාවම සොයා ගනීවි''

Saturday, June 11, 2011

මගේ අලුත්ම පෙම්වතිය



පොතක් හොයන්න කියල පුස්තකාලයේ රස්තියාදු වෙද්දී තමයි මට මුලින්ම එයාව මුණගැහුනේ. පොත් රාක්ක අතරේ ඉඳිමින් පොතින් පොතට අත තිය තිය ඇය මොකද්දෝ පොත් සෙවීමේ ව්‍යාපාරයක නියැලෙමින්  හිටියා. ඒ දර්ශනය හරියට චිත්‍රපටියක කොටසක් වෙලා මම ම නොදැන මම රංගනයක නිරත වෙලා. නිල් පාට ඩෙනිම් කලිසමකිනුයි සුදුපාට කුර්තා කමිසයකිනුයි ඇය සැරසිලා හිටිය ඇයට මගේ පැමිණීම වැටහෙන්න එච්චර කල් ගතවුනේ නෑ. ඇගේ ඒ තිබුන පුදුමාකාර ආකර්ෂණය නිසාවෙන්ම මට හිනා නොවී ඉන්න බැරි වුණා.

"මම හිරණ්‍ය, පොතක් හොයාගන්නයි ආවේ ඒත් ඒක නෑ වගෙයි. උදව්වක් දෙනවද?", මම පරිස්සමෙන් වචන එකතු කළා.
"මම උපේක්ෂා, ඉතින් මොකද්ද හොයන පොත?", ඈ ළා සිනහවකින් සංග්‍රහ කරන ගමන් ඇහුවා.

උපේක්ෂත් එක්ක පොත් හොයන එක අමුතුම අත්දැකීමක්, ඇත්තෙන්ම කිව්වොත් ඇය ඒ පොත හොයද්දි ඒ දිහා බලා ඉන්න එකයි මම කළේ. ඒක එයාට තේරෙන්නත් ඇති, ඒත් එයා සෙවීම දිගටම කරන් ගියා. අතරින් පතර අපි කියවන පොත් මොනවද, කැමතිම කතෘ කව්ද, කවදාහරි පොත් ලියන්න බලාපොරොත්තුවක් තියනවද වගේ සරල ප්‍රශ්න වලින් අපි අපේ තොරතුරු හුවමාරු කරගත්තා. සැහෙන වෙලාවක් පොත හොයන්න මහන්සියි උනත් පොත තිබුනේ නෑ. හැබැයි උපේක්ෂා අදුනගන්න ලැබීම එක්ක සලකා බලද්දී ඒක කාලය වැය වෙච්ච එක බොහොම සුළු පාඩුවක්.

"හ්ම්, වැඩක් නෑ වගෙයි. කඩේකින් වත් අහල බලන්න වෙයි. ඒක නෙමේ අපි කොහෙටහරි ගිහිල්ල තේ බොමුද?", ඒ කරපු යෝජනාව කොයි විදිහට බාර ගනීවිද කියල හිතන්නත් කලින්ම මම ඇහුවා.
පුදුමෙකට වගේ එයා ඔලුව වැනුවා. අපි ළඟ තැනක් හොයන්න පිටත් වුණා.

"ආ,,, ඔයා හොයන්න ආපු පොත ඒකට මොකද කරන්නේ?", මට පස්සේ මතක් වෙලා ඇහුවා.
"එහෙම විශේෂයෙන් පොතක් බැලුවෙත් නෑ, පස්සේ හොයාගන්න පුළුවන්. අනික අන්තිමේදී හැම කතාවකින්ම කියවෙන්නේ එකම දෙයක්. එකම මන්ත්‍රයක්. එක එක කතුවරු ඒක විවිධ විදිහට ජප කරනවා." 

වෙන කවුරුහරි මට ඔය විදිහට කිව්වනම් මම හයියෙන් හිනා වෙලා 'උඹට පිස්සුද?' කියල අහයි. ඒත් උපේක්ෂා එහෙම කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන්ම යි  කියල තේරුම් ගියා. ටික වෙලාවකින් අපිට ගැලපෙන විදිහේ 'තේ කඩයක්' හම්බවුණා. සාමාන්‍යට වඩා වෙනස් විදිහට සකස් කරපු ඒ තැන, එළිමහනේ මේස පුටු තියල තිබුනා.මල්වැල් වලින් කුඩා පොකුණු වලින් අලංකාර වුණුඒ පරිසරය අර කලින් කියපු චිත්‍රපටි ස්වභාවය අල්ලලා තියාගන්න සමත් වුණා.

ඊළඟට වුනේ හිතාගන්නත් අමාරු දෙයක්; කොතනින් ආරම්බ වුනාද කියල දන්නෙම නැතිව මම උපේක්ෂට මගේ කලින් තිබුන ඒක පාර්ශවීය ආදරයෙන් විඳපු වේදනා ගැන විස්තර කරමින් හිටියා. බොහොම සාවදානව මට සවන් දුන්න ඇය මගෙන් හරස් ප්‍රශ්න එකක්වත් ඇහුවේ නෑ. කොහොමින් කොහොම හරි මගේ ප්‍රේම කතා ඉවර වෙද්දී සැහෙන වෙලාවක් ගත වෙලා තිබුණා. මේ වගේ අහම්බෙන් මුණ ගැහෙන කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන්න කවදාවත් බෑනේ. කොහොම වුනත් මගේ සමහර හිතවතුන්ටත් වඩා ඇය මට මේ පැය ගණන තුල සමීප වෙලා.

"අපි කාලෙන් කාලෙට එක එක හීන පස්සේ එලවනවා, ඒ හීන සැබෑ වෙන්නේ නෑ කියල දැනුනම එක ඇත හැරලා තවත් එකක් හොයා ගන්නවා. දැන් ඔය ඔයා කියපු ප්‍රේම කතාවත් මම හිතන්නේ අකලංක එකක් නෙවයි. නිකන් ආසාවක් විතරයි. කාලෙකට දැකපු හීනයක් වගෙයි. ඒ හීනෙන් හෙම්බත් වුනාම දැන් ඔයා තවත් එකක් හොයා ගනියි." , ඒපාර ගෑණි කිව්ව කතාවෙන් මම හොල්මන් වුණා. මම හොරෙක් වංචාකාරයෙක් කියල හිතනවද දන්නේ නෑනේ. 

"බය වෙන්න එපා, මම මේ කිව්වේ හැම කෙනෙක්ගෙම ස්වභාවය.", හරියට එයා මගේ හිත කියෙව්වා වගේ උත්තර දුන්නා.
"එතකොට ඔයා, ඔයත් එහෙමද?"
"ඔව්, ඒත් එහෙම නොවෙන්න උත්සහ කරනවා. දැන් මම යන්න ඕනේ", උපේක්ෂා යන්න නැගිට්ටා. යම්තමින් හිනා වෙලා ඔලුව වනල ඇය යන්න ගියා. 

ඔන්න ඉතින් ඔය විදිහට තමයි මගේ අලුත්ම පෙම්වතිය මට මුණගැහුනේ.


Thursday, June 9, 2011

ෆැෂන් නමස්කාරය!



ඇත මට අවියක් නවතම 
ඇත බලවත් නිදහසට කාරණාවක්
ෆැෂන් මගේ ආගමයි 
ශිෂ්ටාචාරයේ උපරිමයයි

හැඟෙන දේ පෙන්වන්න
අනවශ්‍ය දෑ වසා ගන්න 
මගේ නවතම පළිහ; ෆැෂන් 

මම ඔබගේ සිහිනයයි
කෙදිනක හෝ ළඟා විය නොහැකි
මම අනාගතයයි නුතනත්වයේ 
අතීතයටම ආපසු ගමන් කරන්නා වූ 

හිතන්නේ කොහොමද 
පළඳින්නේ මම එලෙසට 
ක්‍රියා කරන්නේ කෙලෙසද
හැඩවෙන්නේ මම නිසිලෙස

මගේ නිදහසේ අනාගතය 

"නමස්කාර වේවා ෆැෂන්!" 

Wednesday, June 8, 2011

මිනීමරු ආදරය



මගේ ආදරය මිනීමරුවෙකි
ඝාතනය කළා ඔබව
ටිකෙන් ටික
සතුටින් මිය යන්න

උණුසුම් දෙතොලක පහස
උපරිමයෙන්ම විඳින්න
තප්පරක් පාසා
තෘප්තිමත් බවේ අනන්තයට

මාගේ සලකුණු
ඔබගේ ශරීරයේ පුරාවට
ඔබගේ උණුසුම
තවමත් මා සතුව

වනචාරී කමේ උපරිමය
අත්දකිමු ඔබත් මමත්
දැන් ඔබ මිය ගොස් අවසන්
මාගේ ආදරයේ යුක්තියෙන්

Saturday, June 4, 2011

සමාන්තර (අවසාන කොටස)



ගිම්හාන්ගේ දෘෂ්ටි කෝණයෙන්:

අපි කාටහරි ආදරේ කරන්න පටන් ගනිද්දී අපි ඒ කෙනාගේ ප්‍රතිරූපයක් අපේ හිතේ හදා ගන්නවා. ඒ ප්‍රතිරුපේ අපි ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන හැම දේම ඇතුලත් කරනවා, හැබෑ පුද්ගලයාගේ නැති ලක්ෂණ පවා. ඉතින් ඔහොම කලක් යද්දී අපිට වඩා ලංවෙන්නේ අර ප්‍රතිරූපය. හැබෑව යටපත් වෙලා අපි මායාවක වෙලෙනවා. ඔහොම කටයුතු සිද්ධ වෙනකොට හැබෑ පුද්ගලයාගේ මොනම හරි අඩුපාඩුවක් වෙනකොට අපි කෝප වෙනවා, දුක් ගන්නවා, හැබැයි අපට අමතකයි අපි මේ කම්පා වෙන්නේ හිතලුවක් වෙනුවෙන් කියල. ප්‍රශ්නේ දුර දිග ගිහින් ආදරේ ගැටළුවක් වෙනතරම් අවස්ථාත් එනවා. මමත් ඔය මායා දැලේම ඇමිණිලා, පැනල යන්න උත්සහ කරනවා. උත්සාහය කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නේ නෑ. සැබෑ ජීවිතේදී සුරංගනා කතාවල වගේ ඉතින් 'ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් වුණා' කියල ඉවර වෙන්නේ නෑනේ. ඒ නිසා මගේ කතාවේ ගලායාම කොහොම වේවිද තීරණය කරන්න දැන්ම අමාරුයි.
ගෙදර දොරේ සීනුව නාද වුණා. බලන්නත් කලින්ම දැනගත්ත මේ ඇවිත් ඉන්නේ අවිශ්ක බව. උත්තරා කතා කරලා විස්තරේ ඔක්කොම කිව්වට පස්සේ අවිෂ්කගේ තත්වය තේරුම් ගන්න අමාරු වුනේ නෑ. දොර ඇරියා. අවිශ්ක දොරකඩ හිටන් හිටියේ කොහේදෝ ලෝකෙකින් ඉඳන් ඇවිත් උන්හිටි තැන් මඟ අරුණු අතරමන් වෙච්ච කෙනෙක් වගේ. කිසිම කතාවක් නැතිව සෑහෙන වෙලාවක් මගේ දිහා ඔහේ බලන් හිටියා. පැය ගණනාවක් රස්තියාදු වෙන්න ඇති. එහෙමවත් හිත හැදෙනවානම් ප්‍රශ්නයක් නෑ. 

"ඉතින්, ඇතුලට එන්නේ නැද්ද?", ටික වෙලාවකට පස්සේ මම ඇහුවා.

උත්තරයක් නොදීම අවිශ්ක ඇදි ඇදී ගේ ඇතුලට ආවා. මොනවද කතාකරන්න ඕනේ කියල මට තේරුනේ නෑ. හිත හදන්න මොනවහරි කිවිය යුතු උනත් මම ඔහේ අවිශ්ක දිහා බලන් හිටියා. මේ ඇත්තටම මම ආදරය කරපු පුද්ගලයමද, වැඩි කාලයක් නැතත් කොච්චර ලොකු වෙනස් කමක් වෙලාද, දැන් මට අවිශ්ක ආගන්තුකයෙකුට වඩා වෙනස් විදිහට පෙන්නේ නෑ. කාලයත් සමග හිත වෙනස් වෙන ඉක්මන කොච්චර පුදුමාකාරද.

"මට වතුර ටිකක් දෙනවද?", අවිශ්ක ඇහුවම මම ගෙනත් දුන්නේ ඊට පස්සේ මුකුත් කියයි කියන බල පොරොත්තුවෙන්. ඒත් එහෙම උනේ නෑ. කොහොමත් මම හිතපු දේවල් වෙන්නේ නැති තරම්.
"මට සමාවෙන්න" අවිශ්ක යන්න නැගිට්ටා. සමාව ඉල්ලන්න අවිශ්ක මට වැරද්දක් කලාද, එහෙම මම කවදාවත් හිතල නෑ. ඉදිරියට හිතන එකකුත් නෑ. සමහර විට මගේ හිතේ කොණක අවිශ්ක-උත්තරා ගැන සැකයක් තියෙන්න ඇති. දැන් අවිෂ්කගේ සමාව ඉල්ලීම අහල මට මම ගැනම දුක හිතුනා. මේ සිද්දියේදී මම නිකම්ම අතුරු චරිතයක් වෙලා. 

අවිශ්ක මගේ ඇස් දිහා බලල "යන්නම්" කිව්වා, මම යන්තමට ඔලුව වැනුවා. 

*******

"දැන් මම හිතන දේ පුලුවන්නම් කියන්න", අවිශ්ක ඇහුවා.
"ම්ම්ම්,,, උඹ මොනවත් හිතන්නේ නෑ.", ඒ පාර අවිශ්ක සද්දෙට හිනාවුණා.
"නෑ හිතනවා, ආයේ කියන්න."
"උඹ හිතන දේ මට කවදාවත් කියන්න බෑ කියල"
"හ්ම් ගොඩක් දුරට හරි, ඒත් ඒකම නෙමේ"
"හෙහෙ, කොහොමහරි කිව්වනේ"

අවිශ්ක ආයෙත් මුහුද පැත්තට හැරුනා. ඉර බැහැගෙන යන්න තව ටිකක් කල් තියනවා. පරිසරය හරිම සිත්ගන්න සුළුයි, හරියට විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකුගේ චිට්‍රයකට ඇතුල් වෙලා වගේ. හැමදාකම මේ වගේ විචිත්‍ර චිරයක් ජීවත් වෙන්න ඇත්නම්. 
අවිශ්ක නැගිට්ටා, කොහෙන්ද මන්ද කෝටුවක් හොයාගෙන වෙරළෙ කවියක් ලියන්න ගත්තා.


ඔබ හා මා දොරටුවක් අබියස 
විවරවේද දෙදෙනාටම මාවත
අවසනයක් නොව 
ආරම්බයකි මෙය  
සුබ පැතීමට කලබල වන්නේ කීමට 
මා පසුසින් ගමන් ගන්නවද 
තවත් මාවතක් ඇතිද 
සමාන්තර ද ප්‍රතිවිරුද්ධ ද
කිම්වුවද කම් නැත 
තවත් නැවතුමකදී 
හමුවේවි අප  


"එහෙම නම් මට යන්න වෙලාව හරි, පරිස්සමෙන් හිටහන්" මම යන්න නැගිට්ටා. 
"කවදාවත් නෑ", අවිශ්ක ආයෙත් හිනා වුණා. මම ආසම හිනාව. මම ආදරේ කරපු හිනහව. 

මම රේල් පාර පැත්තට ඇවිත් කොටෙන් කොටේට අඩිය තියන්න උනා. එහෙම ටික දුර ගිහින් මම ආපහු හැරිලා බැලුවා. අවිශ්ක රේල්පාරේ අනික් පැත්තට යනවා. එයත් හැරිලා බැලුවා, මම අත වැනුවා. එයා ඔලුව වනල හිනාවුණා.






සමාන්තර මෙතනින් අවසාන නොවේ මෙය ආරම්බයක් ද නොවේ, එසේම මෙය එක්තරා ආකාරයක අවසානයක් හා ආරම්බයක් වේ. කෙසේ වුවද මා සමාන්තර ලියා අවසන් . 

Friday, June 3, 2011

අවබෝධය යනු සියල්ලටම සමාව දීමද?



මම ලියපු කවියක අවසානයට "අවබෝධය යනු සියල්ලටම සමාව දීමයි" කියන පාඨය යොදා ගත්තා, ඒ කියමන හරිද වැරදිද? මම හිතන විදිහට නම් වැරද්දක් නම් නෑ. ඔය කියමන මට මුලින්ම කියවන්න ලැබුනේ කැත්ලීන් ජයවර්ධන ලේඛිකාව රචනා කළ 'තඹරවිල' නවකතාවෙන්. ඒකෙ සඳහන් වුණේ රුසියන් ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයිගේ 'යුද්ධය හා සාමය' කෘතියෙන් ඒ වැකිය උපුටාගත් බවටයි,  'යුද්ධය හා සාමය' කෘතියෙ ඉංග්‍රීසි පරිවර්තනයේ මෙහෙම කියවෙනවා; 

  " One must put oneself in every one's position. To understand everything is to forgive everything. " 

 අන්තර්ජාලයේ සැරිසරනකොට ඔය ඉංග්‍රීසි වැකියම බුදුන්වහන්සේ දේශනා කළ එකක් බවටත් කිහිප තැනකම සඳහන් වෙලා තිබුණා. කොහොම උනත් දැන් පුංචි වචන සෙල්ලමක් කරමු. සමාව දීම කියන්නේ මොකද්ද? ඒකට නිර්වචනයක් මම මේ විදිහට ඉදිරිපත් කරනවා; යමක් (සිද්ධියක් හෝ පුද්ගලයෙක්) ඒ පවතින ආකාරයෙන්ම ගැටීමකින් (හෝ ඇලීමකින්) තොරව බාර ගැනීම කියල. ඊළඟට අවබෝධය කියන්න වචනෙට මම මෙහෙම කියනවා; ඇති දේ ඇති සැටියෙන් තේරුම් ගැනීම කියල. දැන් මේ පැහැදිලි කිරීම් දෙකේම තියෙන්නේ බොහෝදුරට සමාන අර්ථයක් නේද? 
ලියෝ ටෝල්ස්ටෝයිම තවත්තැනක මෙහෙම කියල තියනව,

"All, everything that I understand I understand only because I love."


 මේකේ කියල අදහස් කරලා තියෙන්නේ සාමාන්‍ය පෞද්ගලික ආදරයට එහා ගිය මෛත්‍රිය වැන්නක් විය යුතුයි. යමක් දිහා උපේක්ෂාවෙන් බලන්න බැරි උනහම ඒ පුද්ගලයා අන්තවාදී වෙනවනේ, එතකොට ඇත්ත නැත්ත තේරුම් ගැනීමේ හැකියාව (අවබෝධය) නැතිවෙනවා. ඉතින් දේවදත්ත ගැන වෙනමම කෝණයකින් ලියන්න උත්සහ කරපු කවියකට ඒ වැකිය යොදා ගත්ත ඒක සාධාරණයි කියල හිතනවා. 

ප.ලි. : තවත් දෙයක් කියන්න ඕනේ මේ මම වචන තේරුම් ගත්ත විදිහනේ, තවත් කෙනෙක් මේවට වෙනම අරුත් එකතුකරයි එතකොට අර පාඨය එක්ක එකඟ නොවී ඉඳීවි. ඒක ඉතින් තම තමන්ගේ අයිතියනේ. මේ කියන්න හැදුවේ ඇයි මම මේ වැකිය යොදාගත්තේ කියල.