Thursday, March 28, 2013

සාක්ෂි III

ශ්‍රීමා මුණසිංහ (රශ්මි සිටි කුලී නිවස හිමි විශ්‍රාමලත් විදුහල්පතිනිය) ගේ සාක්ෂිය

මම අවුරුදු 30 කටත් වඩා හිටියේ වැඩකළේ ළමයිත් එක්කයි ළමයින්ගේ අම්මල තාත්තලා එක්කයි හින්ද කෙනෙක් කොහොමද කියන්න වචනයක් කතා කළාම ඇති. ඒ හින්ද රශ්මි ළමයා පත්තරේ පළවුණු දැන්වීම බලාගෙන මාව හම්බවෙන්න ආපු වෙලාවේම මට රශ්මි කොහොමද කියන්න පුළුවන් වුණා. රශ්මි හොඳ තැම්පත් නිවිච්ච දරුවෙක්, දැන් කාලේ හැදෙන අනිත් උන් වගේ නෙමේ අනිත් අයට හොඳට ගෞරව කරලා කතාකරන්න දන්නවා. රශ්මි වැඩිහිටියන්ට කන්දෙන හොඳ කීකරු දරුවෙක් කියල මට දැන ගන්න වැඩිකල් ගියේ නෑ. රශ්මි එහෙමයි, අම්මෙකුට තාත්තෙකුට ආඩම්බරෙන් කතාකරන්න පුළුවන් දුවක්.

අපේ පුතා බැන්දට පස්සේ රට ගිය හින්ද පුතාට අපේ වත්තේම වෙනම හදපු ගේ නිකම්ම වහල දාන්න වුණා. අපි හිතුවේ පුතා ඒ ගෙදර පදිංචි වෙයි කියල ඒ වුණත් දුවට හොඳ රස්සාවක් ලැබුන නිසා ඒවා දාල රට යන්න ගියා. දැන් ඉන්නේ ඔයින් දහ ගුණයකටත් වඩා හොඳ තැනක. මම පින්තුරත් දැක්කනේ. හැබෑ ලස්සනයි. ටික කාලෙකින් මාවත් පුතාල ළඟට ගෙන්න ගන්නවා කියලයි තියෙන්නේ. අපි සතුටු වෙන්න ඕනේ පුතාලගේ වාසනාවට; අපේ මනුස්සයා පුතා නැති එක ගැන කුණු කුණු ගාද්දී මම මතක්කරල දෙන්නේ එහෙමයි. ඉතින් පාලුවට ගිය ගෙට මොකද කරන්නේ කියල මම පුතා කතාකරද්දී ඇහුවම පුතා කිව්වේ කුලියට දෙන්න කියල. ඒත් ඉතින් එහෙම ආවට ගියාට ගෙවල් කුලියට දෙන සිරිතක් නෑනේ. දැන් කාලේ මිනිස්සුන්ව විශ්වාස කරන්න පුළුවන් කාටද. මේ නාකි මනුස්සයවයි මාවයි රෑට මරල දාන්නත් බැරි නෑනේ. පහුගිය කාලේ අපේ ලේන් එකේ ගෙවල් දෙක තුනකටම හොරු පැන්නනේ. දැන් ඔච්චර යහ ගුණේට හිටි රශ්මි ළමයාට වෙච්ච වැඩේම බලන්නකෝ ඉතින්. මම හොඳට හිතල බලලා පත්තරේ දැන්වීම දැම්මා. පවුල් ගෙන්න ගත්තම කරදරයිනේ. අපිට කණක් ඇහිලාවත් ඉන්න තියෙන්න එපායැ. කුලියට දෙන්න හොඳම හොඳ හැදිච්ච තරුණ ගෑණු ළමයෙක්ට. දැන්වීමේ ඒවා පිළිවෙලට ලිව්වා. රශ්මි ළමයා මෙහෙ ආවහම මම හිතුවේ ගැලපෙනම ළමයා එයා කියල.

රශ්මි ළමයාට බොහොම කාර්යබහුල රස්සාවක් තිබුණට මොකද ඉඳහිට මට කතා කරලා අපේ මනුස්සයාගේ ලෙඩ දුක් බලලයි යන්නේ. ඔය ඔක්කොමත් හින්ද මම රශ්මි ළමයට සැලකුවේ මගේම දුවෙක් හැටියට. පරක්කුවෙද්දී හොයල බලන්න, ගෙදෙට්ට යන එන අය කවුද කියල බලන්න, කතාකරන්නේ කාත් එක්කද බලන්න, රස්සාවේ හොඳ නරක අහන්න මම පුරුදු වුණා. ඒවා කරදරයක් හැටියට නෙමේ යුතුකමක් හැටියටයි සැලකුවේ. තනියෙන් ඉන්න ගෑණු ළමයනේ; හොයල බලන්න එපා යැ. කිව්වට මොකද කල වයසත් හරි නිසා මම දෙතුන් පලකින්ම මගුල් තුලා බැලුවත් එක්ක. අනේ ඉතින් ඒ කටයුතු කෙරෙන්නේ නෑනේ.

ඔන්න ඉතින් එදා, රශ්මිව වාහනේ ඇතුලේ මැරිලා ඉඳල හොයාගන්න කලින් දවසේ රෑ මම අපේ ගෙදර ඉස්සරහට වෙලා අපේ මනුස්සයත් එක්ක පුතාගේ පොඩි කාලේ විස්තර කතා කර කරයි හිටියේ. සමහර දාට අපි එහෙම තමයි, කාල එහෙම ඉවර වෙලා රස්නේටත් එක්ක ටිකක් ඉස්තෝප්පුවට වෙලා ඉන්නවා. හුළඟත් නියම ගානට. මිදුලේ ගස් වලින් හින්ද සීතලකුත් එනවනේ. රශ්මි ගෙදර හිටියේ නෑ මම හිතන්නේ, ඒ වුණත් ගෙදරින් එළියක් පෙනුණා. සමහර දාට ඒ ළමයා වැඩට යද්දී ලයිට් නිවන්න අමතක කරනවා. ඉස්තෝප්පුවෙන් වම් පැත්තට වෙන්න තමයි පුතාට හදපු ගේ තිබුනේ. අපි හිටපු තැනට හොඳටම නැතත් ගොඩක් දුරට පැහැදිලිව පෙනුණා ඒ ගෙදර ඉස්සරහ. ඉතින් ටික වෙලාවකින් ඒ ගෙදර මිදුලට වාහනයක් ආවා (ඒ ගෙදරට වෙනවම පාරට යන්න එන්න පුළුවන් විදහටයි හදල තියෙන්නේ), කාර් එකක් මම හිතන්නේ. රශ්මි තව කාත් එක්කහරි මොනවද කතා කරනවත් ඇහුණා, කතා කළේ හිමින්, කතාව ටික වෙලාවක් ඇදුනා. අපු කෙනා ආයේ වාහනේට නැගල ටිකකින් ආපු වාහනේ යන්න ගියා. ඒක සක කරන්න තරම් දෙයක් නොවුනත් රශ්මි යන්නේ එන්නේ කාත් එක්කද බලන එක අපේ වගකීමක් නේ. මම මොකද කියල බලන්න යන්නත් හැදුව කොහෙද මේ අපේ මනුස්සයා කෑගහන්න ගත්තනේ යන්න ඕනේ නෑ කියල. ඊට පස්සේ විශේෂ මුකුත් වුණේ නෑ. ටිකකින් ගේ ඉස්සරහ ලයිට් එහෙමත් නිවුණා. ඊට පහුවෙනිදා තමා ඉතින් ඕං ආරංචිය ආවේ රශ්මිව මරල දාල කියල. දෙයියනේ මම බය වුණු තරමක්. මම පොලිසියට දෙතුම් පාරක් කතා කළත් එක්ක. මම පුතාටත් කෝල් කරලා කිව්වා.

මටනම් සැක අර පොත් ලියන මිනිහා. ඒ මිනිහ ලියන්නෙත් ඔය අපරාධ ගැනලු නේ. මම නම් ලියපු එව්වා කියවල නෑ, ඔය බාල බොලඳ පත්තර වල යන කුණුහරප කියවන්න ඕනෙත් නෑ, අහපු කතා තමයි. කව්ද දන්නේ හැමදාම ලියන එව්වා ඇත්තටම කරලා බලන්න ඕනේ වුණාද කියල. ඔය වගේම කතා ලියල ලියලම මොලේ විකාර වෙලා ඇති. මට මතකයි දෙතුන් පාරක්ම ඒ මිනිහ රශ්මි දුවව කතාවට අල්ල ගන්න හදනවා. රශ්මිත් ඉතින් හරි නිරහංකාර ළමයා හින්ද කාත් එක්කත් කතා කරනවා. මම පස්සේ රශ්මිට කියල දුන්න සමහර වෙලාවට ගෑණු ළමයෙක් ආඩම්බර වෙන්නත් ඕනේ කියල.

මීට මාස කීපයකට කලින් මට ඔය මහා ලොකු ලේඛකයාව හම්බ වුණා. අපේ ලේන් එකේ තරුණ ළමයි එකතුවෙලා ශ්‍රමදානයක් කළානේ. ඔය මිනිහත් ඇවිත් හිටියා. කරපු වැඩක් නම් නෑ, හැමෝවම කතාවට අල්ලාගෙන හැමෝගෙම වැඩට බාධා කළා මිසක්. මම ඉතින් ගියා මිනිහ ළඟට, මොකද්ද මේච්චර විශේෂ කියල බලන්න.

"ආ මිසිස් මුණසිංහ, කොහොමද?" මිනිහා හිනා වුණා. කපටි හිනාවක්.

"ළමයෝ, හරියට වැඩ නේද? මම හිතුවේ මේ ළමයාගේ  කතා පත්තර වල යන තරමට ගෙදරින් හෙල්ලෙනවත් වෙලාවක් නැතුව ඇති කියල."

"මේවාට නෑවිත් කොහොමද?" මිනිහ ආයෙත් බොරුවට දත් පෙන්නුවා. "ඒක නෙමෙයි. මම මේ දවස් වල ලියාගෙන යන කතාවේ මිසිස් මුණසිංහ වගේම කෙනෙක් ඉන්නවා. කතාව ලියන යද්දී මට මිසිස් මුණසිංහව ම යි මතක් වුණේ. කාටවත් කියන්නේ නැත්තම් රහසක් කියන්නම්," මිනිහා කටේ සද්දේ අඩු කළා. "මිසිස් මුණසිංහ තමයි ඒකෙ මිනීමරුවා. පත්තරේ ආවම කියවන්නකෝ." මිනිහ කතාව නැවත්තුවේ මට ඇහැකුත් ගහල.

මාව පිච්චිලා ගියා. ඇයි දෙයියනේ මේ මට අහන්න පුළුවන් කතාද, මම වගේ කෙනෙක්ට කියන දේවල්ද. ඔය කෙහෙල්මල් කතාව පිට වුණාම මිනිස්සු මොනවා නොහිතයිද. මගේ කේන්තිය පිට කරන්න විදිහක් තිබ්බේ නැතුව මම එවෙලේ ගල් ගැහුණා. ගෙදර ආව ගමන් මම කලේ අපේ ප්‍රොක්ට මල්ලිට කතා කරලා විස්තරේ කිව්ව එක. ඒ මල්ලි කිව්වේ දැනට කලබල නොවී ඉඳල ප්‍රශ්නයක් වුණොත් විතරක් අර මිනිහට විරුද්ධව ඇක්ෂන් එකක් ගමු කියල. චරිත ඝාතනය වෙනුවෙන් ලොකු වන්දියක් ගන්නත් පුළුවන් වේවිනෙ. එයින් පස්සේ මම ඒ මිනිහ ඉන්න දිහාවත් බැලුවේ නෑ. ඉතින් ඒ මිනිහාව සැක කරන එක සාධාරණ නැද්ද කියන්නකෝ.

අන්තිමට රශ්මි ළමයා නැති වුණා. මේ අකල් මරණේ නොදකින්න ඒ ළමයාගේ දෙමව්පියෝ නොහිටිය එකම හොඳ යි. මට දුක කියල ඉවර කරන්න බැහැ. ඒත් ඉතින් අපියි කියලත් මොනවා කරන්නද. ජීවත විනාස වෙනහැටි තමයි ඉතින්. මම මේ විස්තර මොකුත් අපේ එක්කනාට කිව්වේ නෑ. ලෙඩ මනුස්සයනේ, හදවත දුර්වලයි. මම කිව්වේ රශ්මි වැඩ වගයකට රට ගිහින් කියල. ඒ පාර එයා අහනවා පුතා ඉන්න රටටද කියල. මම කටට ආපු රටක නමක් කියාල බේරුණා. පව් ඉතින්; මම ඕවා නොකියන්නේ එයාගෙම හොඳට නේ. මීට පස්සෙනම් කවුරු මොනවා කොච්චර කිව්වත් මම නම් ආයේ කීයටවත් ගෙවල් කුලියට නම් දෙන්නේ නෑ.

සාක්ෂි තුනම අවසානයි. විසඳුම ඉදිරියට ඉතිරිව ඇත.

Tuesday, March 26, 2013

සාක්ෂි II

වගීෂ ගුණතිලක (රශ්මිගේ වෘත්තීය සහයක) ගේ සාක්ෂිය.

රශ්මිව විස්තර කරන්න ගොඩක් ආකාර තියනවා. දක්ෂයි කියල විශේෂණයක් ඉස්සරහට රශ්මිගේ නම ඉස්සරහින් එනවනම් වඩාත් නිවැරදියි. අපේ කම්පනි එකට රශ්මි ඇවිත් වැඩි කල් නෑ. අවුරුදු දෙකකටත් අඩුයි මට මතක විදිහට. මුලින්ම ආවේ අකවුන්ටන්ට් කෙනෙක් විදිහටම වුණත් ඉක්මනටම රශ්මිට ඩිවිෂන් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් වුණා. අපේ ආයතනයේ ප්‍රොජෙක්ට් කිහිපයකටම රශ්මි කැපවීමෙන් වැඩ කළා. රශ්මිට හොඳ ඉවසීමකුත්, පිලිවලකුත් තිබුණ නිසා එයත් එක්ක වැඩ කරන එක අනිත් අයටත් පහසුයි. දක්ෂ රශ්මි; එයාව එහෙම හඳුන්වනවාට එයා කැමති යි.

එක ව්‍යාපෘතියක මට බාර වෙලා තිබුනේ ඇඩ්වටයිසින් පැත්ත. රශ්මිට ඒ ගැන ඇකඩමික් දැනුමක් නැතිවුණත් මාත් එක්ක එකතුවෙලා වැඩ කරන්න පුළුවන් වුණා. ඇත්තම කිව්වොත් රශ්මිගේ ටෙක්නික්ස් නියමයි. මිනිස්සු නොදැනීම අපේ ප්‍රඩක්ට් එකට නම්මගන්න ඒවාට ලේසියෙන්ම පුළුවන්. රශ්මිට ඉන්ඩස්ට්‍රී එක ගැන හොඳ අලුත් වෙන දැනුමක් තිබුණා. ඒවගේම එයා හැම දෙයක් ගැනම ටච් එකෙන් හිටියේ. අපේ තරඟකාරයෝ ගැන, අපිට තර්ජනයක් වෙන්න පුළුවන් අලුත් ආයතන ගැන එයාට අනාවැකි කියන්න පුළුවන් වුණා. ඉව; ඔව් රශ්මිට හොඳ ඉවක් තිබුණා. අපේ කම්පනි එක එයාගේ ඉවෙන් උපරිම ප්‍රයෝජන නොගත්තත් රශ්මි හින්ද වුණ වාසි නම් ගොඩයි.

ඔය වගේ දේවල් හින්ද තමයි මට රශ්මි ගැන කැමැත්තක් ඇති වුණේ. වෘත්තීය සම්බන්ධයකට වැඩි විශේෂ පෞද්ගලික බැඳීමක් ඇති කරගන්න මම කැමැත්තෙන් හිටියා. මම ඒ බව එයාට අඟවද්දී එයා අකමැත්තක් පෙන්නුවේ නෑ. විශේෂයෙන් කැමැත්තක් පෙන්නේවෙත් නෑ. අපි දෙන්නා එක එක තැන්වලට ගියා කෑම කන්න එහෙම. ෆිල්ම් බලන්නත් බීච් එකටත් දෙතුන් පාරක් ගියා මතක යි. ඒ වගේ යාලුවෝ එකතු වුණහම පොඩි පොඩි දේවල්. එච්චරයි, වෘත්තියමය යාලුවෝ; ඒ වගේ නමක් අපේ සම්බන්ධය හඳුන්වන්න යොදාගන්න පුළුවන්.

"මම ඔයාට කැමති යි." දවසක් මම රශ්මිට කෙලින්ම කිව්වා. "නිකම්ම කැමැත්තක් නෙමෙයි, විශේෂ කැමැත්තක්."

රශ්මි යන්තම් හිනා වුණා. ඒ හිනාව එයත් මට කැමතියි කියන හිනාවක් නෙමෙයි. 'මම දන්නවා, මට අකමැති කෙනෙක් නෑ' කියන හිනාවක්.

"ඇත්තටම, මම කැමතියි අපි අතරේ විශේෂ සම්බන්ධයක් ඇති වෙනවා නම්." මම ආයේ උත්සහ කළා.

"ඉතින් ළමයෝ අපි අතරේ තියන සම්බන්දේ විශේෂයි තමයි. ඔයා හිතන්න කෙල්ලෝ කීදෙනෙක් ඔයත් එක්ක මේ විදිහට කිසිම හැංගිච්ච බලාපොරොත්තුවක් නැතිව තැන් තැන් වල රස්තියාදු වෙන්න එයි ද?" රශ්මි එහෙම කියල ඇස් පුංචි කරලා හිනාවුණේ එයා කියපු දේ මම දැනටත් දැනන් ඉන්න ඕනේ දෙයක් වගේ.

මම මුකුත් උත්තරයක් දෙන්න ගියේ නෑ.

රශ්මි මම ගැන දැක්වුවේ බොහොම ඇල්මැරුණු උදාසීන ආකල්පයක් හින්ද මම මගේ තිබුණ අදහස අත්හැර ගත්තා. මම හිතන්නේ රශ්මිට ලොකු හීන තිබුණ. ඕනෙනම් එයාට අපේ වගේ කම්පනි එකක් තනියම පටන් අරන් සාර්ථක විදිහට කරන්යන්න පුළුවන් කම තිබුණා. රශ්මි ඒක දැනගෙනත් හිටියා. මම වගේ අවධානමක් ගන්න අකැමති කෙනෙක් එක්ක එකතුවෙන එක එයාගේ ගමනට බාධාවක් හැටියට එයා හිතන්න ඇති. එයා ගැන තිබුණ අදහස නැති කරගත්තේ කිසිම තරහකින් නෙමෙයි. ඔව්, මම පිලිගන්නවා ඒක ලේසි වැඩක් නෙමෙ යි. එවුණත් නොවෙන දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැති වැඩක්. ඒ හින්ද මට පොරොන්දු වෙන්න පුළුවන් රශ්මිව මරල දාන්න තරම් තරහක් නම් මට කොහොමවත්ම තිබුණේ නෑ.

රශ්මි මගේ කාර් එක ඇතුලේ මැරිලා හිටියේ කොහොමද කියන්න මම දන්නේ නෑ. ඒ මගේ කාර් එක තමයි. එවුණත් මම ඊට දවස් දෙකකට කලින් මම මගේ වාහනේ සර්විස් කරන්න ගරාජ් එකකට දීලයි තිබුණේ. නැහැ, ගරාජ් එක මම දන්නා තැනක් හින්ද රිසිට් එකක් ගත්තේ නෑ. මම වාහනේ ආයේ අරන් යන්න ආවා කියන කතාව පිළිගන්නේ නෑ. මට එහෙම ගන්න යන්න උවමනාවක් තිබුණේ නෑ. වාහනේ බාරදෙද්දී කිව්වේ වැඩේට දවස් හතරක් පහක් යයි කියල. ඉතින් මම මොකටද කළින් ගන්න යන්නේ. මම ඒ චෝදනාව ප්‍රතික්ශේප කරනවා.

රශ්මි මැරිලා කියල ආරංචි වුණ දවසට කලින් දවසෙත් මම රශ්මිව දැක්කා. අපි වෙනද වගේම කතාබහ කළා වැඩ කළා. එයාගේ වෙනසක් පෙන්න තිබුනේ නෑ. එයා වෙනද වගේම සැහැල්ලුවෙන් උනන්දුවෙන් වැඩ කළා. නැහැ, මම හිතන්නේ නැහැ එයාට වෙන පෞද්ගලික ප්‍රශ්න තියනවා කියල. දැන් මේක කියද්දියි මතක් වෙන්නේ, රශ්මි එයාගේ පෞද්ගලික විස්තර කතාකරන්න හරි අකැමතියි. මම දැනන් හිටියේ එයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම නැතිවෙලා එයාව හදා ගත්තේ එයාගේ ආච්චි, දැන් ඒ ආච්චිත් නැතිවෙලා කියලා විතරයි. එයා වැඩි විස්තර කියන්න අකමැති නිසා මම හාර හාර විස්තර අහල එයාව අපහසුවට ලක් කරන්න ඕනේ වුණේ නෑ.

කොහොමහරි එදා මම වැඩ ඇරිලා ගෙදර ගියේ පාරේ බස් එකේ. ගෙදර ගිහින් කළේ වෙනද කරන ඒව ම යි. මහන්සියට නාල කළා නිදා ගත්තා. ඊට පස්සේ දවසේ මගේ ඔෆිස් කැබින් එකටම ඇවිත් මාව පොලිසියෙන් එක්ක යද්දී තමයි මම රශ්මි මැරිලා කියල දැන ගත්තේ. මම හිතන්නේ මට ආයේ එතන වැඩ කරන්න පුළුවන් වෙන එකක් නෑ. මාව රිමාන්ඩ් කරන්න අරන් යද්දී මං දිහා බලන් හිටපු විදිහ මතක් වෙද්දී මම ආයේ එතන රස්සාව කරන්නේ කොහොමද. අන්තිමට කියන්න තියෙන්නේ මම නිර්දෝශියි කියල තම යි. ඉස්කෝලේ යන කාලේ වලියකදී ඇරෙන්න මම කාටවත් ගහලවත් නෑ. මම රශ්මි වගේ කෙල්ලෙක්ව ඔහොම මරල දන්නා තරම් අමනයෙක් නෙමෙයි. මාව විශ්වාස කරන්න, මේ මට ජීවත් වෙන්න ඕනේ විදිහ නෙමෙයි.

දෙවන සාක්ෂිය ඉවරයි. අවසන් සාක්ෂිය සමග විසඳුම ඉදිරියට.

Friday, March 22, 2013

සාක්ෂි I

චානක සිරිවර්ධන (රශ්මි රණසිංහගේ අසල්වැසි ලේඛක) ගේ සාක්ෂිය.

කාර් එකේ පිටිපස්සේ වම්පත්තේ දොර ඇරලයි තිබුණේ, සම්පූර්ණයෙන්ම නෙමෙයි තරමක්. කාගේද අතක් එළියට ඇවිත්. අතේ අයිතිකාරි (ගැහැණු අතක්, සිහින් සියුමැලි අතේ වළලු දෙකක් තිබුණා) හෙල්ලුනේ නෑ. අත එතනමයි. වාහනේ විදුරු කලුයි. ඇතුලින් එළිය මිසක් එළියේ ඉඳන් අතුල බලන්න අමාරුයි. මම ළඟට ගියේ හිමින් අඩි  තියමින්. ඒ මොකද කියල දන්නේ නෑ, ඉබේම එහෙම වුණා.

ළඟට යද්දිත් අත හෙල්ලුනේ නෑ. මම ළඟට ගිහින් දොර සම්පූර්ණයෙන්ම විවෘත කළා. ඇතුලේ හිටියේ මගේ අසල්වැසියා රශ්මි රණසිංහ. මම නම් එයාට කතා කළේ මිස් රශ්මි කියලා. එයා මට කතා කරන්න කිව්වෙත් එහෙමයි.

"මම රශ්මි. අපි දැන් නේබර්සලා. ඊයේ තමා බඩු ගෙනත් දාල අස්පස් කරගත්තේ." රශ්මි මට මුලින්ම මුණගැහුණු දවසේ කිව්වා. "දන්නේ නැද්ද, වටේ පිටේ ඉන්න අය අඳුනගන්න එක හොඳයිනේ."

මම ඔලුව වැනුවා. හිනාවුණා. ඊළඟට එයාට වාඩිවෙන්න කතා කළා. රශ්මි පස්සේ එන්නම් කියල ආපහු හැරුණා. මම හිතුවේ නිකම් ගැලවෙන්න කිව්ව බොරුවක් කියල, හැබැයි එයා ආවා, කිහිප වතාවක්ම. රශ්මි ලස්සනම කෙනෙක් නෙමෙයි. කැතත් නැහැ. සාමාන්‍ය පෙනුමක් තිබුණත් රශ්මිගේ අමුතු ආකර්ශනයක් තිබුණා. යන එන විදිහේ, බලන විදිහේ, කතාකරන විදිහේ වෙනසක් තිබුණා. දන්නේ නැද්ද නිකම් කාන්දමක් වගේ ගතියක්. ගිනි දැල්ලට ගිනිකණ වැටෙනවා වගේ. රශ්මිට ඒක ගැලපුනා; ගිනි සිළුව.

"මම පොත් ලියනවා." මම මොනවද කරන්නේ කියල රශ්මි ඇහුවහම මම උත්තර දුන්නා.

"හ්ම්. ලේඛකයෙක්." රශ්මි මගේ පොත් රාක්කය දිහා බලමින් හිටියා. මම හිතුවා කියවන්න පොතක් ඉල්ලයි කියල. ඒත් කියවන්න උවමනාවක් තිබුනේ නෑ. පොත් කියවනවට වඩා පොත් අතර ඉන්න රශ්මි කැමති වුණා .

"මොනවද ලියන්නේ?" එහෙම ඇහුවේ රශ්මි තවත් දවසක. ඇය ආවහම ලොකු වෙලාවක් ඉන්නේ නෑ. ඇවිත් මගෙන් ප්‍රශ්න අහන්න අමතක කරන්නේ නෑ. හැමදාම එක එක ප්‍රශ්න. මට අකමැති වෙන්න දෙයක් නෑ මගේ ලිවීම ගැන උනන්දු වෙන අයට මම කැමතියි. හැබැයි ඇය අහන ප්‍රශ්න වලට උත්තරයක් දුන්නත් නැතත් කමක් නෑ.  මම ලියපු මුල්පිටපත් බලන්න පුලුවන්ද කියලත් දවසක ඇහුවා. ඒ වෙලාවේ මා ළඟ තිබුණේ නෑ. මම ඒ බව කිව්වම රශ්මි ඇස් දෙක පුංචි කළා. මම කිව්වේ බොරු කියල හිතන්න ඇති.

"සාමාන්‍යයෙන් රහස් පරීක්ෂක කතා, මිනීමැරුම්, අපරාධ ගැන." රශ්මි පුටුවක වාඩිවෙලා කකුල් දෙකත් උඩට ගත්තා. "ඒ ඇරුනම කෙටි කතා දෙක තුනකුත් ලියල තියනවා."

"අන්තිමට වැරදිකාරය අල්ලගන්නවද? නැත්තම් පැනල යනවද? මම නම් කැමති අපරාධකාරයා පැනල යන ජාතියේ ඒවාට. නැත්තම් බෝරින්"

සිද්ධිය වෙන්න කලින් දවසේත් රශ්මි මාව මුණගැහෙන්න ආවා. මම වැඩ ගොඩක එරිලා හිටියේ. සති අන්ත පත්තර තුනකට මගේ කතා ඕනේ වෙලා තිබුණා. කතා පටලගන්නේ නැතුව ලියන්නත් ඕනෙනේ. ඒ අතරේ මම භාර දීපු එක කොටසකට කැමති නෑ කියන්න පත්තරේක සංස්කාරක මාත්‍ එක්ක ඇමතුමක. මිනිහට කතාව අකමැති වෙලා හින්ද නෙමේ, ඊළඟට වෙන්නේ මොකද්ද කියල දැනගන්න උවමනාව තිබුණේ.

"මම ඔයාගේ පොතක චරිතයක් වෙනවනම්.  අපරාධකාරයෙක්ද අහිංසකයෙක්ද?" හැමදේම අතරින් රශ්මි ඇහුවා. මම වාඩිවෙන්න කියල ඇයට අතින් සන් කළාට රශ්මි එහෙම කළේ නැතුව මගේ මෙසේ තියන කොළ කෑලි, මම කතාව කියන්න අරං බාගෙට ලියල හරි නැති හින්ද අයින් කරපුවා කියවන්න ගත්තා. ඒවායේ පිළිවෙලක් අගක් මුලක් නෑ. අනික රශ්මි කියෙව්වෙත් එහෙන් මෙහෙන්. ඒ වුණාට ඒවා කියවද්දී රශ්මිගේ ඇස් දිලිසුනා.

කටට ආපු බොරු වගයක් කියල මම කෝල් එක නැවැත්තුවා.

මම කල්පනා කළා. රශ්මි පොතකට හොඳ චරිතයක් වුණාට එහෙම චරිතයක් මම මීට කලින් නිර්මාණය කරලා තිබුණේ නෑ. මගේ චරිත බොහොම සාමාන්‍යය යි, සමහර වෙලාවට සෑහෙන්න නීරස යි. අමුතු චරිත මගේ කතාවලට එකතු කරන එක මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙන්න හේතුවක් විදිහටයි මම හිතුවේ.

"ඔය හිතන්නේ කොහොමද?" උත්තරයක් හිතාගන්න බැරි තැන මම ප්‍රශ්නයක්ම ඇහුවා.

"මම හිතන්නේ මම හරිද වැරදිද කියල හිතාගන්න කාටවත් බැරිවෙයි. මම සදහටම අභිරහසක් වෙයි." රශ්මි හිනාවුණා. ඇස් පුංචි කරලා කලින් මතක් වෙච්ච දේකට වගේ. ඊට පස්සේ එක පාරටම රශ්මි යන්න ගියා.

කොහොමහරි ආයේ මුලට ආවොත්. මම මගේ අලුත් පොතේ වැඩකට එඩිටර්ව හම්බවෙන්න ගියේ සිද්ධිය වෙන්න කලින් දවසේ. කතා කරන්න දේවල් සෑහෙන දේවල් තිබුණ හින්ද ගිය දවසෙම මට ගෙදර එන්න වුණේ නෑ. මට ඕනේ වුණේ ගෙදර ආපු හැටියෙම නාල තේ එකක් එහෙම බීලා නිදා ගන්න. ඒත් මම ගෙදර එද්දී ගේට්ටුව ඇරලා කවුරුහරි වාහනයක් දාල තිබුණා. කවුරුත් වටපිට පේන්න හිටියෙත් නෑ. කලින් කිව්වා වගේ මම වාහනේ ළඟට ගියේ කවුරුත් ඉන්නවද බලන්න.

ඔන්න ඉතින් මම කාර් එකේ දොර ඇරියා. ඇතුලේ හිටියේ රශ්මි. මුණ ඇතුළු පැත්තට වෙන විදිහට සීට් එක උඩ තියාගෙන හිටපු විදිහට මම මොහොතකට හිතුවේ රශ්මි නිදි කියල. ඒත් මහ දවල් මගේ මිදුලේ කාගේද කාර් එකක නිදාගන්න සිරිතක් නෑනේ. මම රශ්මිගේ උරහිසට තට්ටු කළා. එකපාරටම ඇගේ ඇඟ පණ නැතුව වගේ කඳ කඩන් වැටුණා. මම දෙතුන් පාරක්ම හය්යෙන් තට්ටු කළත් ඇය හෙල්ලුනේ වත් නෑ. ඇඟ තරමක් සීතල වෙලා තිබුනේ මම හිතන්නේ. මම ආයෙත් වට පිට බැලුවා. නෙබ්‍ර්සලා කවුරුවත් පේන්න හිටියේ නෑ. ඊට පස්සේ මම කර එකේ අනෙක් තැන් වලත් බැලුවා මොනවහරි තියනවද කියල. ලේ මොනවත් තිබුණේ නෑ. රශ්මිට එහා පැත්තෙන් එයාගේ බෑග් එක තිබුණා එච්චරයි. මම පොලිසියට කතා කළා. පොලිසිය එන්න විනාඩි විස්සකටත් වඩා ගියා. ඇවිත් ප්‍රශ්න ඇහුවා. හැම තැනම බැලුවා. මට පොලිසියට යන්නත් වුණා කට උත්තර දෙන්න. ගිහින් එද්දී මිදුල නිදහස් වෙලා තිබුණා. රශ්මිත් වාහනෙත් අරන් ගිහින්.

දවසකට පස්සේ දැන ගන්න ලැබුණා රශ්මි මැරිලා කියාලා.

පළමු සාක්ෂිය අවසානයි. තවත් සාක්ෂි දෙකක් හා විසඳුම ඉදිරියට.