Sunday, October 14, 2012

කව්ද මැරිලා, ඉබේටම.

'කව්ද මැරිලා' එහෙම කිව්වේ කව්ද කියල මට දැන් මතක නෑ. 'කව්ද' කියල කිව්වට මැරුණු කෙනාව නොදනන්නවා නෙමෙ යි. ඒ අපේ මාමා. අම්මගේ බාලම මල්ලි. පොඩි කාලේ සිද්ධවෙන දේවල් මතක හිටින්නේ චිත්‍ර විදිහට, ඒක පුදුමයි. පාට පාට චිත්‍ර; හරියට පාට පාට හීන වගේ, හීන වලට විතරක් සීමා වුණ හීන. සමහර චිත්‍ර සැබෑ නොවෙන මතක විදිහටත් හිතාගන්න අවස්ථා තියනවා වුණත් මේක එහෙම නොවෙන බවට විශ්වාස යි.

එතකොට මට අවුරුදු හතරක් විතර ඇති. මිනිස්සුන්ගේ මරණ වලට සත පහක අවධානයක් නොමු නොවුණු, හැම කෙනෙක්ටම මිලක් නියම වුණු, දේශද්‍රෝහියා දේශප්‍රේමියා බවට තප්පරයෙන් වෙනස් වුණු, හමුදා සෙබළුන් 'රණවිරුවන්' ලෙස හැඳින්වූවේ නැති කාලයක් ඒ. මළ ගෙදර දවසක් ඇතුලත ඉවර කරන්න හැමෝම කතාවෙලා තිබුණා. වැඩි දෙනෙක් සහභාගී නොවුණු නිසා ඒක අපහසුවක් වුණෙත් නෑ. මාමා වගේ කෙනෙක් මියගියහම ඒ මළ ගෙදරට යාමත් අවධානම් දෙයක් බව දැන ගත්තේ පස්සේ යි. මට මාමව බලන්න ඕනේ කිව්වහම ඒකට අම්මා ඉඩ දුන්නේ නැතුව අඬන්න පටන් ගත්තා. තාත්ත මාව වඩාගෙන කිව්වේ 'බලන්න දෙයක් නෑ පැටියෝ' කියල විතරයි.

එදා හවසම මාමව වැළලුවා. කනත්තට පයින්ම ගිය අය පයින්ම ආවේ කතාවක් නැතුව. කිසිම දෙයක් දැක්කේ, ඇහුවේ, දැනුනේ නැති අබ්බගාතයෝ වගේ. මම ප්‍රශ්න අහන්න ගියේවත් කරදර කාලේ වත් නෑ. වෙනදා සෙල්ලම් කරන්න එන මාමා දැන් නැති බව දැනෙන්න මට ටිකක් කල් ඕනේ වුණා. මාස කිහිපයක් යනකම්ම ගෙදර හැමෝම කතාකලෙත් හිමින්. නෑදැයෝ දන්නා අඳුන අයත් ඉඳල හිටලා ඇවිත් ආච්චිව මුණ ගැහුණා. 'අතුරුදන් නොවී හිටිය එකවත් මදෑ...' 'දැන් ඉතින් ඕවට දුක් වෙලා වැඩක් නෑ...' 'අපි නම් ඔහොම වෙයි කියල කලින්ම කිව්වා, කොහෙද අම්මල පුතාලට විප්ලව කොරන්න ඕනේ වුනානේ!' වගේ ඒවා කියනවත් ඇහුණා.

දවසක් මම කම්මැලි වෙලා ඉන්නකොට සෙල්ලමක් කරන්න හිතුණා. සෙල්ලම තමයි 'මාමගේ මළ ගෙදර'. මළ ගෙදර අයයි, නිදන් ඉන්නව වගේ මැරුණු මාමයි හැමෝම විදිහට රඟපෑවේ මංම යි. මාමගේ මළ ගෙදර නොතිබුණු දෙයකුත් මගේ අතින් එකතු වුණා. ඒ කතාවක් කිරීම. කොහෙන් හරි මළ ගෙවල් වල කතා පවත්වනවා කියල මම දැන ගෙන හිටියා. මාමගේ කාමරේට ගිහින් ඇඳේ මෙට්ටේ යට තිබුණ පෝස්ටරයක් බිත්තියේ එල්ලලා එහෙම මම කතාව කරන්න පටන් ගත්තා.

"ඔව්, අද ඔබ මෙහි පැනීම සිටින්නේ මළ ගෙදරක් සැමරීමට යි. මගේ මාමා මැරිලා, ඒ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ. ඇයි කියල ඇහුවහම කවුරුවත් කිව්වෙත් නෑ. මට දැන් සෙල්ලම් ක-" මට කතාව කරන්න ලැබුණු නෑ. දිගට හරහට කම්මුල් පහරවල් ගණනාවක් ලැබුණා. තාත්තට යක්ෂයා ආවේශ වෙලා හිටියේ. "ඈ යකෝ තෝ මොනවද මේ කියවන කුණුහරප... මරණයක් කියන්නේ සෙල්ලමක් කියල හිතුවද..." තාත්තගේ පහරදීම තවත් වෙලාවක් පැවැතුණා, නැවතුනේ ආච්චි ඇවිත් නතර කළාට පස්සෙ යි. අම්මා බය වෙලා වගේ ඉඳන් අඬන්න ගත්ත විතර යි. මට අඬන්නවත් මතක් වුණේ නෑ. පහර කෑමෙන් මම තෙහෙට්ටුවට පත් වෙලා ගොළුවුණා.

තාත්තගේ තරහ හිතුවට ඉක්මනට අඩුවුණා. සමහරවිට අම්මයි ආච්චියි දොස් කියන්න ඇති. තාත්තා ඇවිත් මාව වඩා ගත්තා. ටිකක් වෙලා පාර දිගේ ඇවිද්දා. මගේ දිහා බලල හිනාවෙලා "පුතා මාත් එක්ක තරහද?" ඇහුවහම මම ඔලුව වැනුවා. "මට ඕනේ මාමා ගැන කතාවක් කරන්න විතරයි තාත්තේ..." මම ටික වෙලාවකින් කිව්වා. තාත්තා මාව තදින් බදාගත්තා.


ප.ලි. : මේක මගේ පෞද්ගලික අත්දැකීමක්වත් කවුරුවත් මට සෘජුව කියූවක් ඉදිරිපත් කිරීමක්වත් නෙමෙ යි, 1989 වසර පසුබිම් කර ලියූ ප්‍රබන්ධයක් පමණ යි.

16 comments:

  1. සුපිරි ලියමනක්... කථාව ඇතුලෙ කොකී කතා ගනනාවක්...

    ඇත්තටම මේ කාලේ හිරන්‍ය ඉපදිලාද?..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.
      කණගාටුයි, පෞද්ගලික විස්තර නම් කියන්න බැහැ.

      Delete
  2. ලිවිල්ල නියමයි මචන්...

    මේ වෙද්දි නම් මරණයක් කියන්නේ සෙල්ලමක් බන්... මොනර නාලිකාවෙ නිවුස් වල රඟපාල පෙන්නනවලු(මම නම් දැක්කෙ එක දවසයි.. දැන් මොකකවත් නිවුස් බලන්නෙ නෑ)

    ReplyDelete
    Replies
    1. උඹට ස්තුතියි.
      හපෝ දැන් එහෙමත් පෙන්නනවද, 'ප්‍රවෘර්ති' නොකියා 'ටෙලිය' කිව්වනම් හරි, තවත් මෙගා එකක් වගේ.

      Delete
  3. නියමයි කියවද්දි තමන්ගෙ කියන හැඟිම හිතට දැනුනා තදින්ම. ඇයි කියන්න හේතු දන්නෙ නෑ. එත් හොදම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. එහෙම දැනෙන්නේ ලියපු රටාව නිසා වෙන්න ඇති. කටවහර වඩා සමීපව දැනෙන්න පුළුවන්. ස්තුතියි.

      Delete
  4. අද කතාව නම් හොඳට රස වින්දා...අලුත්ම ආරෙකට ලියලා...හිරණ්‍ය මොන තරම් දක්ෂ කෙනෙක්ද කියලා මේ නිර්මාණයෙන් පේනවා...:)

    ReplyDelete
    Replies
    1. ප්‍රසංසාවට බොහොම තුති. :)

      Delete
  5. මම ඉපදෙනකොට ඔය සිද්ධි සේරම ඉවරයි. කටින් කට ගිය කතා පොත් පත් වල ලියවෙච්චා කියවලයි යමක් දැනගත්තේ! ආයෙත් ඒ දේවල් දකින්න ලැබෙයිද?

    ReplyDelete
    Replies
    1. ආයේ ඒ විදිහට වේවිද නොවෙවිද කියන එක තීරණය වෙන්නේ වර්තමානයේ වැඩකරන විදිහ අනුව තමා. එක්තරා පිරිසක් ඕනවට වඩා අවරෝධනයට ලක්වුනොත් ඔයවගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙයි.

      Delete
  6. නියම කතාවක්.. කියන්න ඕනේ දාහක් දේවල් වචන අතරේ හංගලා කරපු අපූරු නිර්මාණයක්.. ජය වේවා.. :)

    ReplyDelete
  7. ලොකු අය සීරියස් ගන්න දේවල් පොඩි උන්ට සෙල්ලම්... පොඩි උන්ට සීරියස් දේවල් ලොකු උන්ට සෙල්ලම්... ඒ අස්සෙ පොඩි උන් ලොකු වෙනවා...

    ReplyDelete
    Replies
    1. එතකොට 'සෙල්ලම්' කියල දෙයක්වත් 'සීරියස්' කියල දෙයක්වත් නෑනේ? ඉතුරුවෙන්නේ වචන ටිකක් විතරයි.

      Delete
  8. පුංචි අයට වැටහෙන්නෙ නැහැයි කියල සඟවන දේවල් වලින් ඇතිවෙන හානිය ගැන කතා කරන්න කාලයක් ඉක්මණින් ඇතිවේවා කියල පතනවා. අපි බොහොමයක් කතා කරන්න ඕන දේවල් කතා කරන්නෙ නැහැ. ඕනෑ නැති දේවල් ගැන අවුරුදු ගණන් එකම විදියට කතා කරමින් ඉන්නවා!!!!

    ReplyDelete
  9. විශිෂ්ට ලියමනක් !!!
    පමා වී හෝ මේ අඩවිය දකින්නට ලැබුන එක සතුටක්. දිගටම ලියන්න.
    ප්‍රතිපලයේ සාර්ථකත්වය මොන අගයකින් ලැබුනත්, මේ දේවල් වෙනස් කරන්න අපිට පුළුවන් තරමින් දායක වෙන එක තමා අද දවසේ අපේ වගකීම.

    ReplyDelete