Wednesday, November 21, 2012

පාරාදීසයක අතරමංව | Lost In Paradise


ලංකාවේ ජීවත්වෙනවා කියන්නේ ප්‍රථම ත්‍යාගය දිනපු ලොතරැයියක් තමන් ම නැතිකරගන්නවා වගේ වැඩක්. ජයග්‍රහණ කොච්චර ලැබුවත් අන්තිමට දිනලා නෑ. එතකොට පරාජිතයෝ? එහෙම උන් ඇත්තෙත් නෑ. පරාජිතයෝ නැති වීම සතුටට කාරණයක් වෙන්න ඕනේ වුණත්, පරාජිතයෝ අතුරුදන් වීම සැක කරන්නේ ජයග්‍රාහිකයන්ගේ දිනුම. අන්තිමට කවුරුවත් දිනලා නැත්තේ ඒකයි. ජයපරාජයෙන් තොර තැනක් සාමකාමී නිසසල විය යුතු වුණත් ලංකාව එහෙම නෑ. සාධාරණ තරඟ නැතිකොට සාධාරණ දිනුම් ඇත්තෙ නෑ.

ගොඩක් අයට උත්ප්‍රාසය කියන දේ තේරෙන්නේ නෑ, ඒ හින්ද උත්ප්‍රාසයෙන් ලියපු යමක් සැබෑවට අරන් තමන්ම තමන් විහිළුවක් කරගන්නවා දැක්කම හිනා යනවා. ඒත් ජාතිවාදී කතා උපහාසයට ලක් කරමින් ලියූ යමකට එකතුවුණු 'පොරටෝක්' දැක්කහම "අනේ මෝඩයෝ!" කියල හිනාවෙන්න බැරිවුණා. පුරවැසියෙකුට තමන්ගේ රටේ ජීවත් වෙන්න තියන අයිතියට ගරු කරන්නේ නැති අයට වචනයකින් පවා අනෙක් ජාතියක අයෙක්ට රිදෙන්න පුළුවන් කියල කීම විහිළුවක් බව තේරුම් ගන්න මට කල් ගියා.

ඇමරිකාවේ විසිවෙනි සියවසේ මැදක් වෙනකම්ම තිබුණු ජාතිවාදය අත්හැරලා ඔවුන් මේ වෙනකට සෑහෙන දුරක් ඇවිල්ල. වචන බාවිතයේදී පවා ඔවුන් සැලකිලිමත් වුණේ නැතිනම් සමාජයෙන් බැනුම් අහන්නට වෙන්නේ නිතැතින්ම යි. ඒ විතරක් නෙමෙ යි; කලා නිර්මාණ වලදී පවා විවිද ජාතින් නිරූපණය කරන්න ඔවුන් උත්සහ ගන්නවා. ලංකාවේ කිසියම් කලා නිර්මාණයක සිංහල නොවෙන අනෙක් ජාතියක අයෙක් නිරූපණය වෙන නැත්තම් අඩුම තරමේ ඔවුන් ගැන කතාවෙන අවස්ථා කීයක් ගණින්න පුලුවන්ද? සුළුතර ජනවර්ග නියෝජනය වුණොත් අකමැති වෙන නැත්තම් පුදුම වෙන තරම ට ම ඒක සාමාන්‍යකරණය වෙලා. එහෙම වෙන්නේ භාෂාමය ප්‍රශ්නයක් නිසා කියල මම මාවම සනසවා ගන්න ගත් උත්සාහය සාර්ථක වුණේ තාවකාලිකව යි.

ජාතිවාදය ගැන, එහි ඇති වැරැද්ද ගැන කියන එක තේරුමක් නැති තැන මම ඒ ගැන කතාකරන එක නැවැත්තුවා. මම දන්නවා ඒක කම්මැලියෙක්ගේ නැත්තම් බයගුල්ලෙක්ගේ ලක්ෂණයක් තම යි. ඒත් අනිත් අයගේ මතය අහන්නවත් උවමන්වක් නැති, තමන්ට වඩා වෙනස් මත දරන්නන් මරල දානකන් බලන් ඉන්න අයත් එක්ක කතාව බොහොම වෙහෙසකර යි, රළු යි. මම ඉස්කෝලෙදි පරිසර සංරක්ෂණ සංගමයක සාමාජිකයෙක් වෙලා හිටියා. ඒ සංගමය ගැන ඉස්කෝලේ ළමයි අතරත් සමහර ගුරුවරුන් අතරත් පිළිගැනීමක් තිබුනේ නෑ. කොටින්ම කිව්වොත් අපද්‍රව්‍ය කළමනාකරණය වගේ ව්‍යාපෘති හින්ද ඒක එක්තරා විහිලුවකට භාර අරන් තිබුනේ. කොහොම වුණත් අපි ඉස්කෝලේ අතුගාන කුණු එකතු කරන අයත් එක්ක පවා එකට වැඩ කළා, කරන් ආපු ව්‍යාපෘති දිගටම කරගෙන ගියා, ආරාධිත පාසල් එක්ක වැඩමුළු පැවැත් වුවා, අන්තර් පාසැල් තරඟ වලින් දිනපු අවස්ථාත් තිබුණා. ඔය කොච්චර දේ කළත් අපිව විහිල්ලුවකට ගත්ත අය නැති වුනේ නෑ. කොච්චර බාධක තිබුනත් තමන් නිවැරදි යැයි පිළිගත් දේ වෙනුවෙන් පෙනීසිටීම ගැන ඉගෙන ගත්තේ එහෙමයි. ඒ නිසා මගේ ගොළු බව ගිමන් හරින කම් විතර යි.

රටක බහුතරය, සුළුතරය තමන්ව අවරෝධනයට ලක්කරනවා කියල කෑගහන එක විකාරයක් තම යි. ඒත් නොයෙක් විකාර අතරේ ඕකත් විශ්වාස කරන අය අඩු නෑ. කිසිම තාර්කික බවක් නැති තොරතුරු, නිගමන අනෙක් අයෙක් කියූ පමණින් පිළිගන්නේ තමන් තමන්ටම හිතන්න හැකියාවක් නැති හින්දද, නැත්තම් කවුරුවත් කියූ පමණින් දෙයක් පිළිගන්නට හුරු කරපු නිසාද? කොහොම වුණත් ලංකාවේ අනන්‍යතාවය මොකද්ද, ලාංකිකයන්ගේ අනන්‍යතාවය මොකද්ද කියන දේට ඇති උත්තරය හොයන්න පුළුවන් කාටද. ස්වාධීනත්වය ගැන නොදන්නා අයගෙන් අනන්‍යතාවයක් බලාපොරොත්තු වෙන්නේ අමාරු යි. තමන් වෙනුවෙන් තමන් සිතනවා නම් ඇති විය හැකි ප්‍රශ්න කීයක් වලක්වා ගන්න පුලුවන්ද.

පාරාදීසයක ඉඳලත් එහි සුන්දරත්වය විඳින්න බැරි අවාසනාව නිසා කියල හිත හදාගන්න පහසු නෑ, අනෙක එහෙම කරන්න උවමනාවකුත් නෑ. වැරැද්ද වැරද්දක් බව තේරුම් ගන්න කොතරම් කල් යනවද කියන දේ තමයි ප්‍රශ්නය. සමහර විට කොතරම් කල් ගත වුණත් කොතරම් අත්දැකීම් ලැබුවත් නොපිළිගන්නා උදවිය නොඉන්නවා නෙමෙ යි. ඒත් තාම බලාපොරොත්තු හිඳිලා ගිහින් නෑ. වඩා යහපත් අනාගතයකට ඇති හීන තම එහෙම්ම ම යි. එතකම් මම රස්තියාදු වෙනවා, පාරාදීසයක අතරමං වෙලා වෙලා ඉන්නවා. එතකන් -කව්රු බිම දැම්මත් කාට අහුලන්න නියම වෙලා තිබුණත් පරිසරය වෙනුවෙන් කොළ අහුලපු (විටෙක තවමත් අහුලන) මට- මම විශ්වාස කරන දේ වෙනුවෙන් හැම වෙලාවකම කතාකරන්න අපහසු වෙන එකක් නෑ.

9 comments:

  1. උඹම කියල තියෙනව වගේ සමහර දේ ගැන කතා කිරීම තේරුමක් නෑ... එහෙම වෙලාවට නිහඬව ඉන්න එක දාහෙන් සම්පතයි... විශ්වාස කරන දේ වෙනුවෙන් හැමවෙලේම කතාකරනව කියන එකට වඩා විශ්වාස කරන දේ අනුව තමන්ගෙ වැඩ ටික කරගෙන යනව කියන එක හොඳයි කියන එකයි මගේ අදහස...

    අනිත් අතට මචන් කවුරු මොනා කිව්වත් මිනිහ කියන්නෙ තාමත් ස්වභාවික සතෙක්... උන් මරාගන්න ඕන, පොරකන්න ඕන, තමන් අවට ඉන්න උන්ව පරද්දන්න ඕන වගේ ගොඩක් දේ තියෙනව... ඒ ගැන දුක් වෙලා (හිත හිත ඉඳීමේ) තේරුමක් නෑ...

    ReplyDelete
    Replies
    1. උඹ කියන විදිහට 'තමන්ගේ වැඩ කරන් යන' එකට කතා කරන එකත් අයිතියි බං. පොර කෑම, මරා ගැනීම වගේම අනෙකෙකු වෙනුවෙන් කම්පා වීම, හිතවත්කම වගේ අංගත් ස්වාභාවික යි. මනුෂ්‍යත්වය කියන්නේ වඩා හොඳ දේ තෝරාගැනීමේ හැකියාවටත් එක්කනේ. ශිෂ්ඨාචාරයක් විදිහට දියුණු වෙන්නේ එහෙම නේද?

      Delete
    2. මං පාවිච්චි කරපු වචනයත් එක්ක වැරදි අදහසක් ඇවිත් නේද?... තමන්ගෙ වැඩේ කරන් යන එක කියන එක ඇතුලට කතා කිරීම මම ඇතුලත් කලේ නෑ... :)

      මනුෂ්‍යත්වයේ අංග කියල තියෙන ටිකෙන් අනෙකෙකු වෙනුවෙන් කම්පා වීම නම් මගෙන් සිද්ද වෙන්නෙ නෑ... මොකක් හරි හින්ද ඒක නැති වෙලාම ගිහින්... වෙන විදිහකට කිව්වොත් මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන මනුස්සයගෙ කරදරයකදි උදව් කරන්න මට පුළුවන්. හැබැයි ඒ කෙනා වෙනුවෙන් කම්පා වීමක් නම් මගෙන් වෙන්නෙ නෑ...

      Delete
    3. "අනිත් අතට මචන් කවුරු මොනා කිව්වත් මිනිහ කියන්නෙ තාමත් ස්වභාවික සතෙක්... උන් මරාගන්න ඕන, පොරකන්න ඕන, තමන් අවට ඉන්න උන්ව පරද්දන්න ඕන වගේ ගොඩක් දේ තියෙනව"

      අනික් සත්වයින්ට සාපේක්ෂව ඉහල බුද්ධියක් තියෙන මනු සතා තමන් මේ මරාගෙන පොරකාගෙන අවට උන්ව පරද්දගෙන ලබා ගන්න හදන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධන් ඉන්නත් ඕනේ! :)

      Delete
    4. @සාතන් : උඹ කියන්නේ පෞද්ගලික කාරණයක් නේ. එහෙම දේ ඒකාකෘති කරන එක නිවැරදි නැහැනේ. කොහොම වුණත් මම විශ්වාස කරන්නේ නෑ මනුෂ්‍යත්වයේ අංග 100%ක් සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් කියල, තාවකාලික යටපත් වීමක් නම් වෙන්න පුළුවන්.

      Delete
  2. මම නිතරම හිතන දෙයක් තමයි අපේ රට සංවර්ධනය කරන්න කලින් අපේ මිනිස්සුන්ගේ ඔළු හදලා ඉන්න ඕනේ! මෙච්චර අපූරු රටක ඉදං ආගම ජාතිය ඔළුව උඩ තියාගෙන තමන්ගෙම ආතල් කුඩු කරගන්න එකනම් හැබෑම මෝඩ කමක්!(වැරදියට තේරුම් ගන්න එපා මං කියන්නේ ආගම ජාතිය ඕන්නෑ කියලා නෙමෙයි ඒවා තමන් ගාව තියාගන්න අනුන්ට කරදරයක් නොවෙන්න කියලා!) රටක්, රටක් විදිහට දියුණු වෙන්නේ කොහොමද කොටස් වලට බෙදිලා?

    ReplyDelete
    Replies
    1. ඔව්, ජාතිය තමන්ගේ අනන්‍යතාවයේ සාධකයක් විදිහටත් ආගම පෞද්ගලික හැදෑරීමක්/පිළිගැනීමක් විදිහටත් ලෙසටත් තමයි පැවතිය යුත්තේ.

      Delete
  3. අපි අවංකවම මහ මෝඩ ජාතියක්..දැන් කියාවි මම ජාතිදෝහියෙක් කියලා.ඒ වුණත් ඇත්ත ඒකයි..අවුරුදු ගාණක් තිස්සෙ යුද්ධයක් නිසා වින්ඳ දුක අපේ උන්ට අවුරුදු කීපයකින් අමතකම වෙලා ගිහින්නොය ජාතිවාදී හණමිටි කරපින්නගෙන ඉන්නෙ බොහොම කීප දෙනෙක් වුණත්..ඒ අමන ක්‍රියාවන් නිසා අපි හැමෝම ඒ කැටගරියට වැටෙනවා බොහොම වෙලාවට..කිරි කලයක්ම නාස්ති වෙන්න එක ගොම බිංදුවක් ඇතිනෙ..

    ආගමක අගය තියෙන්න ඕනේ තමන්ට..ආගමක් කියන්නෙ අකින් අයට අපහාස කරන්න තියෙන ආයුධයක් නෙවෙයි..විශේෂයෙන්ම බුදු දහම..හැබැයි ඉතින් දැන් ඔය මෝඩ මොල නිවැරදි කරන්න සෑහෙන්න අමාරුයි...ඒවා අවුරුදු ගානක් තිස්සෙ කුරුවල් වෙලා..නිවැරදි කරනවනම් කරන්න ඕන පුංචි තැන ඉඳන්..ළමා වයසෙ ඉඳන්.ඒත් ඒක කරන්න හරිම අමාරුයි දැන් මේ රටේ තියෙන දේශපාලන අධිකාරියේ ස්වරූපයත් එක්ක..ඒත් සංවර්ධනය වෙන්න නම් ඒක කරන්නම ඕනේ...

    ඒත් දැනටනම් ඒක දවල් හීනයක්ම විතරයි වගේ... :(((

    ReplyDelete
    Replies
    1. යුද්දේ පටන් ගන්න හේතුවත් අඩු හෝ වැඩි වශයෙන් ජාතිවාදය ම යි. ඒවගේම යුද්දේ ඉවර වුණෙත් ජාතිවාදය මානුෂික නොවන බව හිතාගෙන නෙමෙයිනේ. 'දෙමලු මරමු' කියල ආදර්ශපාඨ තියාගෙන යුද්දේ ඉවර කළා මිසක් සහයෝගිතාව ගැන කතාවත් වුනේ නෑ. ඉතින් කොහොමද යුද්දෙන් පස්සේ ජාතිවාදය නැති වෙන්නේ? ඔහොම පසුබිමක සමහරු ජාතිවාදය වැරදියි කියලවත් දන්නේ නෑ.

      Delete