Friday, June 3, 2011

අවබෝධය යනු සියල්ලටම සමාව දීමද?



මම ලියපු කවියක අවසානයට "අවබෝධය යනු සියල්ලටම සමාව දීමයි" කියන පාඨය යොදා ගත්තා, ඒ කියමන හරිද වැරදිද? මම හිතන විදිහට නම් වැරද්දක් නම් නෑ. ඔය කියමන මට මුලින්ම කියවන්න ලැබුනේ කැත්ලීන් ජයවර්ධන ලේඛිකාව රචනා කළ 'තඹරවිල' නවකතාවෙන්. ඒකෙ සඳහන් වුණේ රුසියන් ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයිගේ 'යුද්ධය හා සාමය' කෘතියෙන් ඒ වැකිය උපුටාගත් බවටයි,  'යුද්ධය හා සාමය' කෘතියෙ ඉංග්‍රීසි පරිවර්තනයේ මෙහෙම කියවෙනවා; 

  " One must put oneself in every one's position. To understand everything is to forgive everything. " 

 අන්තර්ජාලයේ සැරිසරනකොට ඔය ඉංග්‍රීසි වැකියම බුදුන්වහන්සේ දේශනා කළ එකක් බවටත් කිහිප තැනකම සඳහන් වෙලා තිබුණා. කොහොම උනත් දැන් පුංචි වචන සෙල්ලමක් කරමු. සමාව දීම කියන්නේ මොකද්ද? ඒකට නිර්වචනයක් මම මේ විදිහට ඉදිරිපත් කරනවා; යමක් (සිද්ධියක් හෝ පුද්ගලයෙක්) ඒ පවතින ආකාරයෙන්ම ගැටීමකින් (හෝ ඇලීමකින්) තොරව බාර ගැනීම කියල. ඊළඟට අවබෝධය කියන්න වචනෙට මම මෙහෙම කියනවා; ඇති දේ ඇති සැටියෙන් තේරුම් ගැනීම කියල. දැන් මේ පැහැදිලි කිරීම් දෙකේම තියෙන්නේ බොහෝදුරට සමාන අර්ථයක් නේද? 
ලියෝ ටෝල්ස්ටෝයිම තවත්තැනක මෙහෙම කියල තියනව,

"All, everything that I understand I understand only because I love."


 මේකේ කියල අදහස් කරලා තියෙන්නේ සාමාන්‍ය පෞද්ගලික ආදරයට එහා ගිය මෛත්‍රිය වැන්නක් විය යුතුයි. යමක් දිහා උපේක්ෂාවෙන් බලන්න බැරි උනහම ඒ පුද්ගලයා අන්තවාදී වෙනවනේ, එතකොට ඇත්ත නැත්ත තේරුම් ගැනීමේ හැකියාව (අවබෝධය) නැතිවෙනවා. ඉතින් දේවදත්ත ගැන වෙනමම කෝණයකින් ලියන්න උත්සහ කරපු කවියකට ඒ වැකිය යොදා ගත්ත ඒක සාධාරණයි කියල හිතනවා. 

ප.ලි. : තවත් දෙයක් කියන්න ඕනේ මේ මම වචන තේරුම් ගත්ත විදිහනේ, තවත් කෙනෙක් මේවට වෙනම අරුත් එකතුකරයි එතකොට අර පාඨය එක්ක එකඟ නොවී ඉඳීවි. ඒක ඉතින් තම තමන්ගේ අයිතියනේ. මේ කියන්න හැදුවේ ඇයි මම මේ වැකිය යොදාගත්තේ කියල.

6 comments:

  1. ආදරණීය දේවදත්ත කවි පන්තිය කියවද්දි මම ඇත්තටම කල්පනා කලා ඇයි මේ වැකිය අවසානයේ යොදා ගත්තේ කියලා.. දැන්නම් කාරණාව පැහැදිළියි..

    ReplyDelete
  2. පැහැදිලි කිරීමට අනුවනම් මේක හරි... මමත් පිලිගන්නවා...

    ReplyDelete
  3. සිරා හොඳේ.. මම කවිය කියවලා ඕක ගැන හිතුවත් අවබෝධය සහ සමාව අතර සම්බන්ධයක් කල්පනා වුනේ නෑ. නියම පැහැදිලි කිරීමක්. මේක කියවලා මම ආයෙමත් කවිය කියෙව්වා. සුපිරි ආහ්...

    ReplyDelete
  4. ස්තුතියි යාලුවනේ, පැහැදිලි වුණා නම් ඒක මට සතුටට කරුණක්, හැබැයි මම කිව්ව නිසාම පිළිගන්න එපා. ආයේ ආයේ තමන්ගෙන්ම ප්‍රශ්න කරලා, විස්තර හොයල බලන්න.

    ReplyDelete
  5. කෙටියෙන් කිව්වොත් තිසිම අවුලක් නොහිතා ඉන්න පුළුවන් නම් ඉවරයි නේද?

    ReplyDelete
  6. @hare: ඔව්, ඇත්තෙන්ම. ඒත් හැමදේකම ඇලෙන්නේ/ගැටෙන්නේ නැතිව ඉන්න එක ලේසි කටයුත්තක් නෙමේ. සෑහෙන පුහුණුවක් අවශ්‍යයි.

    ReplyDelete