Saturday, June 4, 2011

සමාන්තර (අවසාන කොටස)



ගිම්හාන්ගේ දෘෂ්ටි කෝණයෙන්:

අපි කාටහරි ආදරේ කරන්න පටන් ගනිද්දී අපි ඒ කෙනාගේ ප්‍රතිරූපයක් අපේ හිතේ හදා ගන්නවා. ඒ ප්‍රතිරුපේ අපි ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන හැම දේම ඇතුලත් කරනවා, හැබෑ පුද්ගලයාගේ නැති ලක්ෂණ පවා. ඉතින් ඔහොම කලක් යද්දී අපිට වඩා ලංවෙන්නේ අර ප්‍රතිරූපය. හැබෑව යටපත් වෙලා අපි මායාවක වෙලෙනවා. ඔහොම කටයුතු සිද්ධ වෙනකොට හැබෑ පුද්ගලයාගේ මොනම හරි අඩුපාඩුවක් වෙනකොට අපි කෝප වෙනවා, දුක් ගන්නවා, හැබැයි අපට අමතකයි අපි මේ කම්පා වෙන්නේ හිතලුවක් වෙනුවෙන් කියල. ප්‍රශ්නේ දුර දිග ගිහින් ආදරේ ගැටළුවක් වෙනතරම් අවස්ථාත් එනවා. මමත් ඔය මායා දැලේම ඇමිණිලා, පැනල යන්න උත්සහ කරනවා. උත්සාහය කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නේ නෑ. සැබෑ ජීවිතේදී සුරංගනා කතාවල වගේ ඉතින් 'ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් වුණා' කියල ඉවර වෙන්නේ නෑනේ. ඒ නිසා මගේ කතාවේ ගලායාම කොහොම වේවිද තීරණය කරන්න දැන්ම අමාරුයි.
ගෙදර දොරේ සීනුව නාද වුණා. බලන්නත් කලින්ම දැනගත්ත මේ ඇවිත් ඉන්නේ අවිශ්ක බව. උත්තරා කතා කරලා විස්තරේ ඔක්කොම කිව්වට පස්සේ අවිෂ්කගේ තත්වය තේරුම් ගන්න අමාරු වුනේ නෑ. දොර ඇරියා. අවිශ්ක දොරකඩ හිටන් හිටියේ කොහේදෝ ලෝකෙකින් ඉඳන් ඇවිත් උන්හිටි තැන් මඟ අරුණු අතරමන් වෙච්ච කෙනෙක් වගේ. කිසිම කතාවක් නැතිව සෑහෙන වෙලාවක් මගේ දිහා ඔහේ බලන් හිටියා. පැය ගණනාවක් රස්තියාදු වෙන්න ඇති. එහෙමවත් හිත හැදෙනවානම් ප්‍රශ්නයක් නෑ. 

"ඉතින්, ඇතුලට එන්නේ නැද්ද?", ටික වෙලාවකට පස්සේ මම ඇහුවා.

උත්තරයක් නොදීම අවිශ්ක ඇදි ඇදී ගේ ඇතුලට ආවා. මොනවද කතාකරන්න ඕනේ කියල මට තේරුනේ නෑ. හිත හදන්න මොනවහරි කිවිය යුතු උනත් මම ඔහේ අවිශ්ක දිහා බලන් හිටියා. මේ ඇත්තටම මම ආදරය කරපු පුද්ගලයමද, වැඩි කාලයක් නැතත් කොච්චර ලොකු වෙනස් කමක් වෙලාද, දැන් මට අවිශ්ක ආගන්තුකයෙකුට වඩා වෙනස් විදිහට පෙන්නේ නෑ. කාලයත් සමග හිත වෙනස් වෙන ඉක්මන කොච්චර පුදුමාකාරද.

"මට වතුර ටිකක් දෙනවද?", අවිශ්ක ඇහුවම මම ගෙනත් දුන්නේ ඊට පස්සේ මුකුත් කියයි කියන බල පොරොත්තුවෙන්. ඒත් එහෙම උනේ නෑ. කොහොමත් මම හිතපු දේවල් වෙන්නේ නැති තරම්.
"මට සමාවෙන්න" අවිශ්ක යන්න නැගිට්ටා. සමාව ඉල්ලන්න අවිශ්ක මට වැරද්දක් කලාද, එහෙම මම කවදාවත් හිතල නෑ. ඉදිරියට හිතන එකකුත් නෑ. සමහර විට මගේ හිතේ කොණක අවිශ්ක-උත්තරා ගැන සැකයක් තියෙන්න ඇති. දැන් අවිෂ්කගේ සමාව ඉල්ලීම අහල මට මම ගැනම දුක හිතුනා. මේ සිද්දියේදී මම නිකම්ම අතුරු චරිතයක් වෙලා. 

අවිශ්ක මගේ ඇස් දිහා බලල "යන්නම්" කිව්වා, මම යන්තමට ඔලුව වැනුවා. 

*******

"දැන් මම හිතන දේ පුලුවන්නම් කියන්න", අවිශ්ක ඇහුවා.
"ම්ම්ම්,,, උඹ මොනවත් හිතන්නේ නෑ.", ඒ පාර අවිශ්ක සද්දෙට හිනාවුණා.
"නෑ හිතනවා, ආයේ කියන්න."
"උඹ හිතන දේ මට කවදාවත් කියන්න බෑ කියල"
"හ්ම් ගොඩක් දුරට හරි, ඒත් ඒකම නෙමේ"
"හෙහෙ, කොහොමහරි කිව්වනේ"

අවිශ්ක ආයෙත් මුහුද පැත්තට හැරුනා. ඉර බැහැගෙන යන්න තව ටිකක් කල් තියනවා. පරිසරය හරිම සිත්ගන්න සුළුයි, හරියට විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකුගේ චිට්‍රයකට ඇතුල් වෙලා වගේ. හැමදාකම මේ වගේ විචිත්‍ර චිරයක් ජීවත් වෙන්න ඇත්නම්. 
අවිශ්ක නැගිට්ටා, කොහෙන්ද මන්ද කෝටුවක් හොයාගෙන වෙරළෙ කවියක් ලියන්න ගත්තා.


ඔබ හා මා දොරටුවක් අබියස 
විවරවේද දෙදෙනාටම මාවත
අවසනයක් නොව 
ආරම්බයකි මෙය  
සුබ පැතීමට කලබල වන්නේ කීමට 
මා පසුසින් ගමන් ගන්නවද 
තවත් මාවතක් ඇතිද 
සමාන්තර ද ප්‍රතිවිරුද්ධ ද
කිම්වුවද කම් නැත 
තවත් නැවතුමකදී 
හමුවේවි අප  


"එහෙම නම් මට යන්න වෙලාව හරි, පරිස්සමෙන් හිටහන්" මම යන්න නැගිට්ටා. 
"කවදාවත් නෑ", අවිශ්ක ආයෙත් හිනා වුණා. මම ආසම හිනාව. මම ආදරේ කරපු හිනහව. 

මම රේල් පාර පැත්තට ඇවිත් කොටෙන් කොටේට අඩිය තියන්න උනා. එහෙම ටික දුර ගිහින් මම ආපහු හැරිලා බැලුවා. අවිශ්ක රේල්පාරේ අනික් පැත්තට යනවා. එයත් හැරිලා බැලුවා, මම අත වැනුවා. එයා ඔලුව වනල හිනාවුණා.






සමාන්තර මෙතනින් අවසාන නොවේ මෙය ආරම්බයක් ද නොවේ, එසේම මෙය එක්තරා ආකාරයක අවසානයක් හා ආරම්බයක් වේ. කෙසේ වුවද මා සමාන්තර ලියා අවසන් . 

3 comments:

  1. යාළුවා සමාවෙන්න ඕන.. මට මේක මග හැරුනනේ.. කොහොම උනත් ලස්සනට ලිය උන කතාවක් මම කියවපු අනිත් කතා වලට වඩා.. හරිම අපූරුයි.. තව කතාවක් ලියන්න..

    ReplyDelete
  2. @Dinesh: ඕ, ඒකට කමක් නෑ යාලු... ස්තුතියි.
    ඉදිරියේදී තවත් කතා ලිය වේවි...

    ReplyDelete
  3. මේක මට මිස් වෙලානෙ... 4 වෙනි කොටසට වෙනකම් (ගිම්හාන්ව අයින් කලහම) මට මේක සෑහෙන්න කිට්ටුයි... අවිශ්ක උත්තරාට ආදරේ නොකලට උත්තරා අවිශ්කට ආදරේ කලා.. ;) නිකම්ම හිතල ලිව්ව කතාවක් කියල හිතන්න පුළුවන් කමක් නෑ මිත්‍රය.. :)

    මොකද කියන්නෙ සහෝදරය මේකෙන් ටෙලියක් කරන්න ට්‍රයි එකක් දීල බලමුද?...

    ReplyDelete