Tuesday, June 28, 2011

සඳ පහන් රැයේ සිහිනයක...



"හිරණ්‍ය ඔයාට තව සැහෙන දුරක් යන්න තියනව, මටත් එහෙමයි. හැබැයි අපි ගමන් කරන්න ඕනේ එකට නෙවෙයි, ඒක බොහොම පෞද්ගලික ගවේෂණයක්", උපේක්ෂා මං දිහා බලල ආයෙත් වැව පැත්තට හැරුණා.

උපේක්ෂා තාවකාලිකව නැවතිලා හිටිය ආරමෙට ඇවිත් බලන්න කියල මෙත්තා මෙහෙණියෝ කරපු ආරාධනාවට ප්‍රතිචාර දැක්වුවේ එහෙ ගිහින් නැවතිලා. ටික කාලයක් ඒ කියන අධ්‍යාත්මික සුවය විඳින්න මට අවශ්‍ය වුණා. උපේක්ෂාව මුණගැහෙන්න උවනමාවක් නැතිවුනාමත් නෙමෙයි හැබැයි අපේ අන්තිම හමුවීමෙන් මට අමාරුවෙන් වුනත් පිළිගන්න වුණා අපි අතරේ ඇති වෙන්න පුළුවන් ලොකුම බැඳීම හොඳ මිත්‍රත්වයක් විතරයි කියල. 

ආරාමේ පිහිටලා තියෙන්නේ බොහොම නිසල භූමියක. මාර, පලු, වීර, කොහොඹ වගේ විවිධ ගස් තැනින් තැන හිටවල ඒවා අතරට තවත් ඖශධ පැළෑටිත් තව මොනවද ලස්සනට වවන කුඩා පඳුරු විශේෂයකුත් වවල. ඒ ආරමෙට සැහෙන තරම් දිගු ඉතිහාසයක් තිබුනත් භාවනා කරන්න කුටි හදන තත්වයට ඇවිත් තියෙන්නේ මෑතකදීයි. එතරම් විශාල නොවුනට සැලකිය යුතු තරම් ඉඩක් හිමිවුණු ඒ භූමිය අවසන් වෙන්නේ කුඩා වැවකින්. ඒ රාත්‍රියේ අපි අසුන් ගෙන හිටියෙත් වැවට යාබද කුඩා ගල් තලාවකයි.

ඈත පිහිටි කඳුගැට අතරින් හඳ හිනැහෙමින් තිබුණා. හුළඟ නිසා හටගත්ත වැවේ ළා දිය රැලි වලට හඳ එලිය වැටිලා දිලිසුනා විතරක් නෙමෙයි පරිසරයම අමුතු ළා නිල් පාට ආලෝකයකින් වහගෙන සුරංගනා ලෝකයක් මවන්න උත්සහ ගත්ත. ඒ පරිසරයේ තිබුණ හඳයි, තරුයි, වැවයි, ඈත කඳුවටියයි, අවට තුරුයි එකතුවෙලා අපිව ඇදල අරගෙන විචිත්‍ර චිත්‍රයකට ඔබ්බව ගත්තේ අපිත් ඒ සිතුවමට අයිතියි කියන්න වගෙයි.

"ඔයාට මං ගැන දුක හිතෙන්නේ නැද්ද උපේක්ෂා?"
"නැහැ, මට ඔය ගැන සතුටක්වත් දුකක්වත් නැහැ."
"ඒකියන්නේ ඔයාට මං ගැන කිසිම භැඟීමක් නෑ?"
"නැත්තේ නෑ, ඔයා ගැන කැමැත්තක් කියනව. හැබැයි ඒ ඔයා මේ ජීවිතේ මොකද්ද කියල හොයන කෙනෙක් වෙන නිසා මිසක් වෙන මොනවත් නෙමෙයි."
"හ්ම්ම්,,,"
"ඇයි? ඔයාට ඔයා ගැන දුකද හිරණ්‍ය?"
"ඇත්තටම ඔව්. මම මේ තරම් කවදාවත් දුක් වෙලා නැතිව ඇති."
"වෙන්නත් පුළුවන්, ඒත් මේ අවසාන වතාව නොවෙන්න පුළුවන්, අනික් අතට ඔයාට එහෙම හිතුන එකත් හොඳයි එතකොට ඔයාට ඔයා යන ගමනට උදව්වක් වේවි... එන්න අපි අර පැත්තට යමු...", උපේක්ෂා මාවත් ඇදන් කොහෙද යන්න සැරසුණා. මමත් ඉබේටම වගේ අවනත වුණා. 

උපේක්ෂා මාව ගස් අතරින් අරන් ආවේ පිට්ටනියක් අසල ළමා උද්‍යානයකට. හඳ එළිය අපේ පස්සෙන් ඇවිල්ල මුළු පිට්ටනියමත් මේ ළමා උද්‍යානයත් ඒකාලෝක කළා, පිට්ටනියේ තණ කොළවල පිනිබිඳු දිලිහෙන්න සැලැස්සුව. උපේක්ෂා ගිහින් ද්විත්ව ඔන්චිල්ලාවක වාඩිවුණේ මටත් අනිත් ආසනේට එන්න කියන්න වගෙයි. මමත් ගිහින් වාඩිවෙලා යන්තමින් පැද්දෙන්න උත්සහ කළා. උපේක්ෂා ඉදිරියට පැද්දෙනකොට මම පිටිපස්සටත් මම ඉස්සරහට යද්දී උපේක්ෂා පිටිපසටත් විදිහට රටාවකට අපි මුසුවුණා.

"මම ලබන මාසේ විතර ඉන්දියාවේ යන්න ඉන්නේ, එහෙ යාලුවෙක් මාව ආශ්‍රම කීපයකටම එක්කන් යන්න පොරොන්දු වුණා. මම ගිහින් ඔයාටත් විස්තර කියන්නම්.", උපේක්ෂා කතා කළා, මම ඔලුව වැනුවා.
"ආයේ කවද්ද එන්නේ?", මට යන්තමින් ප්‍රශ්නයක් අහන්න කටහඬ ශක්තිමත් කරගන්න පුළුවන් වුණා.
"කියන්න බෑ හිරණ්‍ය, මාසයක් නැත්තම් අවුරුද්දක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මම නෑවිදින් ඉන්නේ නෑ... බය වෙන්න මම ඔයාව මගාරින්නේ නෑ...", උපේක්ෂා හිනා වුනේ ඇස්දෙකෙන් ඒ හින්ද ඒ කියන්නේ ඇත්තමයි කියල හදවතටම දැනුණා. 

ඊට පස්සේ උපේක්ෂා කළේ හරිම බොලඳ වැඩක්. ඔන්චිල්ලාවෙන් නැගිටලා ගිය ඇය තණ කොළ අතර වැතිරිලා අහස නිරීක්ෂණය කරන්න පටන් ගත්ත.

"මේ මොකද, ඔන්චිලි පැද්දට පස්සේ චූටි බබෙක් වෙන්න පටන් ගත්තද?", මම හිනා වේවි ඇහුවා. එයත් හිනාවෙලා ඔලුව වැනුවා. මමත් ගිහින් එය ලඟින්ම දිගාවෙලා අහස බලන්න පටන් ගත්තා. හොඳටම හඳ එළිය තිබුණ නිසා තරු පෙනුනේ අඩුවෙන් උනත් අහස මනහර විදිහට හිටියා.
"අහස හරිම ලස්සනයි නේද හිරණ්‍ය.", උපේක්ෂා ප්‍රශ්නයක්මත් නොවෙන ප්‍රකාශයක් කළා. ඒ මුහුණට හඳ එළිය වැටිලා බැබලුවා, ඇස් කාන්තිමත් වුණා. උපෙක්ෂාගෙන් දිස් වුනේ මනුෂ්‍ය දුවකට එහා ගිය සුන්දරත්වයක්. 
"හ්ම්ම්,,, හරියට ඔයා වගෙයි." ආයෙත් ඒ ඇස් දිලිසුණා.

6 comments:

  1. මට තේරෙන විදිහට උඹත් එක්තරා ආකාරයක පිස්සෙක්... බ්ලොග් අවකාශෙදි හරි අඳුරගන්න ලැබුනට සතුටුයි සහෝදරය... :)

    ReplyDelete
  2. මොනව කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැ යාළුවා.. ඇත්තමයි..

    ReplyDelete
  3. යා දෙක නොරත රත
    එකට පෑහීමක් නැත, කියන කතාව වෙනස් කරයිද මේ කතාව? බලමුකො...

    ReplyDelete
  4. @සාතන්: ඔන්න ඉතින් හිරණ්‍ය සාතන්ගේ නෑයෙක් උනාලු! ;)

    @Dinesh: හ්ම්ම් මොනවත් නොකිය ඉන්න එකත් හොඳයි...

    @Outsider: දැනටමත් එකට තරමක උත්තරයක් ලැබිල තියෙන්නේ, ඉදිරියේදී හොඳටම පැහැදිලි වේවි...

    ReplyDelete
  5. හ්ම්ම්ම්... හිතුවෙවත් නැති පැත්තකට කතාව ඇදෙනවා වගේ...

    ReplyDelete
  6. @දඩබ්බරී: හ්ම්ම් ඒ වගෙයි...

    ReplyDelete