Saturday, December 31, 2011

මේඝයක් සේ හුදකලා වී | Lonely as a Cloud


නිවාඩු දවසකත් උදේ පාන්දර ඇහැරුණ හේතුව දන්නේ නෑ. හරියටම කියල නිදාගෙන හිටියේ නැති හින්ද 'ඇහැරුණා' කියන වචනය කෙතරම් සුදුසුද මන්ද. අසල්වැසි ගෙදරක රේඩියෝවකින් ඉලෙක්ට්‍රොනික පිරිත් සද්දයක් ඇහුනේ යාන්තමට. ඒ වගේම එහෙන් මෙහෙන් වාහන සද්දෙත් එක්ක කුරුල්ලන්ගේ කතාබහ නෑහුනා නෙමේ. වෙනද ඇඳෙන් නැගිටින්නේ කම්මැලිකමෙන් වුණාට අද එහෙම උවමනාවක් නැතුවම ඉන්න පුළුවන් වුණා. මම ගෙදර දොරත් ඇරගෙනම එලියට ආවේ සිහිල් සුළං ඇඟේ වැදෙද්දී යි.

අත්‍යවශ්‍ය උවමනාවකට ඇරුනම මේ වෙලාවට (උදේ පහට විතර) හේතුවක් නැතුව ගෙදරින් ගිහිල්ලම නෑ. ඒ හින්දම මට මේ වෙලාවේ රස්තියාදු වෙන්න ආසාවක් ආවා. ඉතා සීමිත වගකීම් ගණනක් ඇතිව ජීවත්වීමේ වාසී මම මට ම මතක් කර දෙන ගමන් මම ඇවිදින්න ගත්තා. වෙනද යන පාරේම හිමින් හිමින් ගෑටුවේ වට පිට බලන ගමන්. මම හිතුවේ වෙනද දකින දේ වල වුණත් වෙනසක් දකින්න ඒ වෙලාවේදී පුළුවන් වේවි කියල. ඒත් එහෙමම වෙනසක් ඇත්තෙත් නෑ, කරුවලත් එක්ක එහෙන් මෙහෙන් ආ එළි එකතු වෙලා හැදුවේ හැන්දෑවේ දකින පරිසරයම නොවෙයි වුණත් ඊට සමාන යමක්. 

නිශ්චල පරිසරයට චලනය වෙන දෑ විදිහට,
  • වාහන
  • රාජකාරි නිමවී එන්නන් හා රාජකාරි සඳහා යන්නන්
  • ව්‍යායාම කරන්නන් (තනිවම, යාලුවෙක් සමග හෝ බල්ලෙක් සමග)
  • කුරුල්ලන් (හොඳින් පෙනුනේ නැතත්)
  • අම්මෙකුයි පොඩි ළමයෙකුයි (කොහේ යනවද මන්ද?)
එකතු වෙලා තිබුණා.

නොයෙක් උවමනාවන් සඳහා ක්‍රියාකරන්නන් අතරින් කිසිම අවශ්‍යතාවක් වෙනුවෙන් නොගිය එකම පුද්ගලයා මම වෙන්න ඕනේ. සමහර දේවල් කරන්න පැහැදිලි හේතුවක් තියෙන්න අවශ්‍ය නෑ. අනික යමක් කරද්දී හේතු හොයා බැලීම එක අතකින් අවස්ථාවාදී කමක්. ඒ වගේම හේතු කියල හොයන්නෙත් ප්‍රයෝජන හා වාසී පමණ යි. ඒ කාරණයේදී ඒක ගැන වැරද්දක් කියන්නත් බෑ. අලස රස්තියාදුවකත් එක්තරා ආත්මීය ප්‍රීතියක් තියනවා. එය හඳුනාගන්න නම් එහෙම ගමන් ගිහින්ම බලන්න වෙනවා. ඒත් සමහර විට ගිහින් බැලුවත් එය නො දැනෙන්නත් පුළුවන්. සමහර විට එය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්නත් හැකියි.

තනිකම කියන්නේ තමන්ට තමන් ලංවෙන අවස්ථාවක්. සමහරු තමන්ට තමන්ව මුණගැහුනහම බය වෙන්න, පුදුම වෙන්න, දුක් වෙන්න, කේන්ති ගන්න වගේ විවිධ ප්‍රතිචාර දක්වන්න ගන්නවා. මම ගැන කියවන්නම් මම උත්සහ කරන්නේ කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න. ඒක තමන් තමන්ව මග ඇරීමක් වගේ පෙනුනත් එහෙම නෑ. ඇලීමත් ගැටීමත් අතරේ යමක්. උපේක්ෂාවක්.

උපේක්ෂා! හිරණ්‍යට ඇයව මතක් වුණා. දැන් ඇය මොනවා කරනවා ඇත්ද? මාව මතක් වෙනවා ඇත්ද? ආයේ මුණගැහෙන්න අවස්ථාවක් ලැබේවිද? මුණගැහුනොත් මොකද කරන්නේ? එතකොට ඇයගේ ප්‍රතිචාරය මොනවගේ වේවිද....

"මෙච්චර බෑ කියලත් තාමත් ඒකි මත්තේ නැහෙන්නේ උඹට ලජ්ජා නැද්ද බං?" මම හිරණ්‍ය ට හිනා වුණා.
"ආදරේදී ලැජ්ජාවක් නෑ."
"ආදරේ? කෙහෙම්මල! උඹට තියන අමාරුව එකිත් එක්ක නිදාගන්න  බැරි වෙච්ච එක..."
"නෑ."
"උඹ ගැන දන්නේ උඹ මිස වෙන කව්ද?"
"එහෙනම් ඉතින් ඒ ආදරේ කියල දැනගන්න ඕනෙනේ" මම හිරණ්‍යට උත්තර දෙන්න ගියේ නෑ. අනුන්ට පිළිතුරු සපයන එකට වඩා තමන්ටම උත්තර දෙන එක සෑහෙන අපහසු කටයුත්තක්.

පරිසරය යන්තමින් එළිය කරමින් සුර්යාලෝකය පැතිරෙන්න ගත්තා හින්ද මම ආපස්සට හැරුණා. ඉර එළිය වැටීමෙන් අවට පරිසරය වර්ණවත් වෙලා ප්‍රාණවත් බවකින් දිස්වුණා. ඒත් මම බලාපොරොත්තු වුණේ වැස්සක්. වැස්සක් පතිත වුණානම් මේ අවස්ථාව මීට වඩා නාට්‍යාකාර වෙලා භාවාත්මක ස්වභාවයක් උසුලන්න තිබුණා. පරිසරයෙන් මගේ හිතේ ස්වභාවය ගම්‍ය කරවන්න උදව් ගන්න තිබුණා. ඒත් හැමවෙලේම අපිට අවශ්‍ය බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ නෑ. නොහිතන දෙයක් ලැබෙන කොට එයින් අපට උවමනා දේට යන්න පාර කපාගන්න වෙනවා. යාමට හෝ නොයෑමට, එය තමා අභියෝගය.

මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ …

නොදැන මඟතොට බලා වටපිට

අයාලේ යන ගමන කොතැනටදෝ…



Thursday, December 22, 2011

මරණය දැක සතුටු වෙන්නට | Die Happy!



මැරෙන්න තව විනාඩි දාහතයි. විනාඩි දාහතක් ගතකරන්න හොඳම විදිහ මොකද්ද කියන්න මම දන්නේ නෑ. ගතකරපු හැම විනාඩි දාහතකට ම වඩා ජීවිතේ අන්තිම විනාඩි දාහතට විශේෂයක් එකතු වෙලා තියෙන හේතුව නොදන්නවා වුණත් ඒක එහෙම වෙලා. මම හිතන්නේ මම හැසිරෙන්නේ තව සුළු කාලයකින් මැරෙන්න ඕනේ කෙනෙක් විදිහට නෙමේ යි. එක අතකට මැරෙන වෙලාව දන්නා කෙනෙක් හැසිරෙන්න ඕන නිශ්චිත විදිහක් ඇත්තෙත් නෑනේ. තමන් මැරෙන වෙලාව දැනගැනීම වාසියක්ද අවාසියක්ද මන්ද. මටනම් ඒකේ එතරම් වරදකුත් නෑ. ජීවිතේ අවසානය ගැන දන්නවා නම් ඒ ඒ වැඩ කලින්ම සැලසුම් කරන්න පුළුවන්නේ. ඒත් ඒ අවස්ථාව මට ලැබුනේ නෑ. ඒ මම අත්තඩංගුවට පත්වෙලා විභාග කළ නඩුවදී මට මරණ දඬුවම නියම වුනු හින්දා.

මිනිහෙක් මරණය හමුවේ කරන්න පුළුවන් මෝඩ ම වැඩේ තමයි තම ජීවිත කාලේ කළ වැරදි ගැන කම්පා වෙන එක. මෝඩයෙක් නොවෙන හින්ද මම එහෙම නොවෙන්න පුළුවන් උපරිම උත්සහ ගත්තා. ඒක එක අතකින් නොසලකා හැරීමක් විදිහටත් ආත්මාර්ථකාමී ක්‍රියාවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. සමහරවිට ජීවත් වෙන අන්තිම මොහෙතේදී තමන් තමන් ගැන හොයන්න එළඹෙන්නේ ඉබේම වෙන්න ඇති. නැත්තම් හැම වෙලාවේම වගේ මැරෙන්න ලං වුනහම ස්වයං අනුකම්පාවක් දැනෙනවා ඇති.

දැන් තියෙන්නේ විනාඩි දහතුනයි. දහතුන සලකන්නේ අවාසනාවන්ත අංකයක් විදිහට උනත් අංක හතට වඩා දහතුන වීම සැහැල්ලුවක් විදිහට දැනුණා. වෙන වෙලාවකනම් මම මැරෙන්න බයයිද කියල කවුරුහරි ඇහුවොත් දෙන උත්තරේ වෙන්නේ නැහැයි කියල. ඒත් මේ අවස්ථාවේ කියන්නේ තියෙන්නේ මම දන්නේ නෑ කියල. කුතුහලයක් එක්ක නොසන්සුන් කමක් විතරක් ඉතිරි වෙලා තියනව. හරියට මම සැබෑවටම ජීවත් වුණා ද යන්න දැන ගන්න මැරෙනවා වගේ. මම හිතන්නේ මම ජීවත්වුණා. ඒ ජීවත් විය යුතු විදිහට නොවෙන්න ඇති. ඒත් ජීවත් විය යුතු නිවැරදි ආකාරය මොකද්ද? ඒ නොදැනීම තමයි සමහර විට මට මම මැරෙන වෙලාව දැන ගන්න උදව් වෙන්න ඇත්තේ. 

හත්වෙනි විනාඩිය. කලින් කිව්වා වගේ මම අකමැති අංකය, හත. බන්ධනාගාරයේ නිලධාරීන් මාව එල්ලා මරණ තැනට එක්ක යන්න ගත්තත් එක්කම මගේ කුතුහලය වැඩි වුණා. මැරෙන්න ආසාවෙන් ඉන්නවා කියල පෙන්නන්න නෙමෙ යි. මම මැරෙන්න අකමැති යි, අනෙක් හැමෝම වගේම. ඒත් ඇත්ත, ඒකට හරස් වෙනවා. මේ වෙලාවේ ඇත්ත තමයි මම මැරෙන්න නියම වී සිටීම, තව විනාඩි හතකින් හුස්ම හිරවී මියයාම. ඒත් ඒක වෙනස් වුණොත්? විනාඩි හතකදී වෙන්න පුළුවන් දේවල් කොච්චර තියනවද. කාගේ හරි අනුකම්පාව මත මගේ දඬුවම ලිහිල් කිරීම, මම නිදහස් වෙලා පැනයාම, ප්‍රාතිහාර්යකින් මම මිය නොයෑම වගේ. මේ ඕනෙම දෙයක් විය හැකි නමුත් වෙන්න නෑ. ඒක එක අතකින් අධියථාර්තවාදී යි. ජීවිතය පැරඩොක්සීය යි.

ඇත්ත කතා කිරීම මරණීය යි. ජීවිතය අහිමි වෙන තරම්ම තර්ජනයන් ගෙන දෙන සුළුයි. ඇත්ත නිසා ජීවිතය නැතිවෙන පළමු කෙනාත් අවසන් කෙනාත් මම නෙමේ යි. මැරෙන මරන මිනිසුන් අතරේ තවත් එක් චරිතයක් විතරයි. නැහැ, සමහර විට මගේ මරණයට ඊට වඩා දේශපාලනික වටිනා කමක් එකතු වෙන්න පුළුවන්. මගේ මරණය මගේ පාක්ෂිකයන්ට ඒකරාශී වෙන්න හොඳ අවස්ථාවකුත් මට විරුද්ධ වුවන්ට සතුටු වෙන්න හොඳ අවස්ථාවකුත් උදා කරනවා. කොහොම වුණත් හොඳ අවස්ථාවක්, වාසියක්. මගේ මරණය ඔවුන්ට සතුටක්. එහෙම වෙනවට මම කැමතියි. මරණය දුක් වෙන්න හේතුවක් කරගන්න අවශ්‍ය නෑ.

මැරෙන්න තව විනාඩි තුනයි. හිතපු නැති විදිහට දාඩිය දාන්න ගත්තා. ඒ වගේම ටිකක් වෙව්ලන්න ගත්තේ නොහිතපු විදිහට. ඒක පාලනයෙන් තොරව වෙච්ච දෙයක් ද නැද්ද කියන්න දන්නේ නෑ. සමහර විට මම ජීවත් වෙන බව හඟවන්න මම මටම හොරෙන් දරපු උත්සාහයක ප්‍රතිපලයක් වෙන්න ඇති.
"මොනවහරි කියන්න තියනවද?" විනිශ්චයකාර වරයා මගෙන් ඇහුවේ අවසන් විනාඩියේදී.
මම මුකුත් නෑ කියන්න ඔලුව වන්න හදලත් ආයේ කට ඇරියා, "මේ ආරම්බය, ඉපදීමක්. නොනවතින ගමනක තවත් සංදිස්ථානයක් විතරයි. " මම හිනාවුණා. ඒ ඇත්තටම හදවතින්ම ආ හිනාවක්.

අලුගෝසුව මගේ ඔලුව වැහුවා. ඔලුව වැහුවා කියල මට අඳුරක් දැනුනේ නෑ. පරිසරයම ඒකාලෝක වුණා. සැබෑව බොරුවක් වුණහම, මායාව යථාර්තය බවට පත්වෙන්න මහා වෙලාවක් යන්නේ නෑ. මායාවත් සැබෑවත්  අතරින් මම ගිලිහිලා යන්න ගත්තේ විශාල ආලෝක කදම්බයක් ඔස්සේ. එක අවසානයක්. එක ආරම්බයක්.

Monday, December 19, 2011

සිදුහත් අත්හල යශෝධරාව


ත්පලා පළතුරු අරන් ගියේ කුමාරිකාව ඒවාවත් කාවිද බලන්න. කුමාරිකාව දැන් සති ගණනාවක ඉඳල හරියකට කන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ. ඔහේ බලා ගත්තු අත බලාන ඉන්නවා. හරියට පණ ගිය ගානයි. අනික් අතට ඕක පුදුම වෙන්න දෙයකුත් නෑ. උන්නුගමන් කුමාරයා කුමාරිව දාල ගියහම ඔහොම නොවෙනවානම්නේ පුදුමේ. මහ රජ්ජුරුවෝ නම් කියන්නේ 'ඒකා මගේ ළමයෙක් වෙන්න බෑ' කියලයි. උත්පලා නම් වැඩියත් දුක් වුණේ අලුත උපන් කුමාරයා ගැන. ඉපදුනු ගමන් මූණවත් බලන්නේ නැතිව දාල යන්න පුළුවන් මොන තාත්තටද.

"කුමරිය, මේ පළතුරුවත් කෑවනම්..."
"මට එපා උත්පලා, ඕවා අරන් යන්න."
"අනේ එහෙම කියල කෝමද, පුංචි කුමාරයා ගැනවත් හිතන්න එපායැ..."

ඡන්න ඇවිත් කුමාරයා ආරණ්‍යවාසී වෙන්න ගියා කිව්වහම යශෝධරාට උන් හිටි තැන් අමතක වෙලා සිහි නැති වුණා. ඈ හිතුවේ මේ දකින්නේ නරක හීනයක් වෙන්න ඇති කියලා, ඒක කවදාවත් ඉවර නොවෙන හීනයක්. කොහොමහරි ගිහින් හොයාගෙන 'මගෙන් උන වැරැද්ද මොකද්ද දෙයියනේ?' කියලා කුමාරයාගේ දෙපාමුල වැටිලා කෑගහල අඬන්න හිතුන වාර අනන්තයි. ඒ වගේම 'සිද්ධාර්ථ කියන්නේ මහා ආත්මාර්ථකාමී නරුමයෙක්' කියලත් නොහිතුනා නෙවෙයි. කොහොම උනත් යශෝධරාට කුමාරයා හිටියේ මොකක් නමුත් ප්‍රශ්නෙක හිටියේ කියලා මතක් වුණා. ඒ බව ඇහුවාහම සිද්ධාර්ථ කළේ ලාවට හිනාවෙලා ප්‍රශ්නේ මග ඇරලා ගිය එක විතරයි.

කුමාරයා ගියාට පහුවදා ඉඳලම කුමරිය ආභරණ පැළඳුවේ නෑ, වත්සුණු තැවරුවේ නෑ. ඇන්දේ සරල චාම් ඇඳුම් විතරයි. එහෙම කරන්නේ කාවෙනුවෙන්ද කියලයි හිතුවේ. එදා ඉඳල දවස් ගානක්ම මොනවත්ම නොකා හිටිය නිසා පුංචි කුමාරයට කිරි දෙන්න කිරි අම්මාවරු ගෙන්නන්න වුණා. ප්‍රජාපති දේවිය ඇවිත් හිත හදල හදල කෑම කවල ගියාට පස්සෙයි, යශෝධරට යන්තන් පණ ටිකක් ඉනුවේ. මේ දවස් ටිකට කුමරිකාවක්ද කියලා හිතාගන්නවත් බැරි තරමටම යශෝධරා වෙනස් වෙලා හිටියා. යශෝධරාට එකම සතුට වුණේ රාහුල කුමාරයා විතරයි. රාහුල හීනෙන් හිනාවෙනකොට, ඇඟට එතිලා නිදියන කොට, තමන් දිහා බලලා ඇසිපිය ගහන කොට යශෝධරා හිතාගත්තේ කවදාවත් තාත්ත වගේ අත්හැරලා යන්න දෙන්නේ නෑ කියලා.

පහන් දැල්ලෙන් කුමාරිකාවගේ මලානික මුහුණේ කඳුළු බින්දු දිලිසුනා. කඳුළු පිහදගත්ත යශෝධරා හිමිහිට පළතුරු කන්න ගත්තේ කිසිම කැමැත්තකින් නෙමෙ යි, කන්න උවමනාම නිසා. විශාල යහනේ නිදන් හිටියේ පුංචි කුමාරයා. යශෝධරා පැත්තකින් වාඩිවෙලා කුමාරයා දිහා බලන් ඉඳිද්දී තමයි දේවදත්ත කුමාරයා ආවේ.

"නංගා, කොහොමද?" යශෝධරා උත්තර දුන්නේ නෑ. දේවදත්ත උත්තරේ දැනගෙනමයි හිටියේ. "මම මේ ආවේ නංගිව එක්කන් යන්න."
උත්පලා අයියල නංගිලට කතාකරන්න ඉඩ දීලා යන්න ගියා.
"මට බැහැ" යශෝධරා හෙමිහිට උත්තර බැන්දා.
"බැහැ කියල කොහොමද, දැන් මෙහෙ නංගිට කවුරුත් නෑනේ."
"ඉන්නවා, මේ මගේ පුතා..."
"ඒක තමයි කිව්වේ, මේ දරුවත් එක්ක තනියම ඉන්නේ කොහොමද? පියරජතුමා ඉන්නේ තරහින්, ආවේ නැත්තන් ප්‍රශ්නයක් වේවි."

යශෝධරා දිග සුසුමක් පිටකළා. රාහුල නැගිටලා අඬන්න පටන්ගත්තා. යශෝධරා කමින් හිටි පළතුරු පැත්තකින් තියල දරුවාව වැදගත්තේ බොහොම සෙනෙහසින්. වඩාගෙන ටිකක් නලවන කොට රාහුල අයෙත් නින්දට වැටුණා.

"හ්ම්ම්,,, මට හිතන්න තිබුණා මෙහෙම දෙයක් වේවි කියල, ඒ දවස්වල එක එක අනාගත වාක්‍ය අහන්න ලැබුනත් අපි ඒවා විශ්වාස කළේ නෑ."
"දැන් ඔය පරණ දේවල් වැඩක් නෑ අයියා. මට ඕනේ පුතාව ලොකුමහත් කරන්න විතරයි"
"මෙහෙ අය නංගිට හරියට සලකන එකක් නෑ."
"නැහැ මේ අම්ම තාත්තා මට කවදත් හොඳට සැලකුවා, තාමත් එහෙම්ම ම යි."
"පස්සේ පස්සේ හරි නැති වෙයි. කොහොමහරි අපි නංගිට හැමදාම ඉන්නවා ප්‍රශ්නයක් වුණොත් මට කියන්න."
"මම දන්නවා අයියේ."
"සිද්ධාර්තව හොයන්න කවුරුත් යැව්වේ නැද්ද?"
"යැව්වා, අලාරකාලාම ගුරුතුමා ගාව ඉන්නවා කියන්නේ. ආයේ මාලිගාවට එන්න බෑ කිව්වලු..." අන්තිම වචනටික ඇහෙද්දී දේවදත්ත නැගිට්ටවුණා. තමන්ගේ නංගිට වුණු අසාධාරණය වෙනුවෙන් නැගුනු තරහ පාලනය කරගන්න ලොකු ආයාසයක් යොදන්න වුණා. 

"කේන්ති අරන් වැඩක් නෑ අයියේ, ගිය කෙනා ගියා, එච්චරයි."
"නංගි කලකිරීමෙන් නේද ඉන්නේ?"
"හ්ම්ම්,,, දැන් කලකිරිලත් වැඩක් නෑ. සිද්ධාර්ථ ගැන වෛරයක් ඇත්තෙත් නෑ. මම හිතන්නේ පුතා ගැන විතරයි." දේවදත්තට තමන්ගේ නංගි ගැන හිතල දුක්ගත්තා, දරාගන්න බැරි දුකක්.
"මම යනවා නංගි" දේවදත්ත යශෝධාරගේ ඔලුව අතගාල යන්න හැරුණා. යශෝධරාට පොඩි කාලේ මතක් වුණා. අයියා තමන්ව කොච්චර ආරක්ෂා කළාද, මව්රැජින තමන් වෙනුවෙන් කොච්චර වගකීම් දරාගත්තද, පියරජතුමා තමන් ගැන කොච්චර ආඩම්බර වුණාද. යශෝධරා ඒ වතාවේ කඳුලක් හෙළුවේ තමන්ගේ පවුල වෙනුවෙන්.
"අයියා, අම්ම තාත්තා මතක් කළා කියන්න." යශෝධරා කිව්වා.

Monday, December 12, 2011

නරකය යනු දෘෂ්ටිකෝණයක් පමණි | Evil is a Point of View


සංදර්ශනයට තව විනාඩි පහ යි. කණ්ණාඩිය ඉදිරියට වෙලා මුණේ පාට තවරමින් හිටියේ අද සෙනඟ කොච්චර ඇවිත්ද කියල හිතන ගමන්. පහුගිය කාලේ තිස්සෙම මේ සර්කස් බලන්න එන අය ටිකෙන් ටික අඩු වුණා. දැන් කුඩාරම පිරෙන්න මිනිස්සු එන්නේම නැති තරම්. අපිට හිනාවෙන පොඩිත්තන්ගේ හිනා හඬ අහන්න අපි කොච්චර ආසද, වඩාගෙන හුරතල් කරන්න, සීනි බෝලයක් ටොපියක් දීල සතුටු වෙන්න. එහෙමත් කාලයක් තිබුණා. දැන් කාටවත් සර්කස් ඕනේ නෑ. දැන් සමහරුන්ට සර්කස් කියන්නේ මොකද්ද කියලත් අමතක යි.

"ලෑස්තිද? බය වෙන්න ඕනේ නෑ. කවුරුත් දන්නේ නෑනේ." මගේ සගයෙක් ඇවිත් පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.
"නෑ. මම කලබල වෙලා බෑ"
"ඔව්, අපි කළේ වැරද්දක් නෙවෙයිනේ"

සර්කස් එක තියන ඉඩමේ අයිතිකාරයා මැරුණට පස්සේ ඉඩම බාර වෙලා තියෙන්නේ බැංකුවකට. ඒ බැංකුවෙන් නියෝජිතයෙක් එව්වා ඉඩම බාරගන්න බව දැනුම් දෙන්න. අපි අවුරුදු ගානක් ඉඳන් හිටියේ මෙතන. ඉඩමේ අයිතිකර මහත්තයා කවදාවත් අපිව එලවගත්තේ නෑ. අනේ ඒ මනුස්සයට කොහොම ස්තුති කරලා ඉවර කරන්නද. තමන්ට යන්න එන්න තැන නැති වුණහම කාටත් වෙනවා වගේ අපිත් කම්පා වුණා, දුක්වුණා, අනාගතය ගැන තවතවත් බය දැනෙන්න ගත්තා. අපිට ලබා දුන්නේ සති දෙකයි. ඒ බැංකු නියෝජිතයත් නරක එකෙක් නෙමේ. රාජකාරියනේ, කරන්න වෙනවනේ අකමැති වුණත්.

මම තවත් පව්ඩර් ටිකක් මුනේ ගාගත්තා. ඇස් වටේට රතු කළු පාටින් ලොකු රවුන් දෙකකුත්, කට මැදිවුණු රතු පාට ලොකු හිනාවකුත් ඇඳගත්තේ පුරුදු විදිහටම යි. හැමදාම වගේ මම මම නොවී වෙන ලෝකෙකින් ආපු විහිළුකාරයෙක් වෙලා හිටියා. පොඩි ළමයි ආදරය කරන, වැඩිහිටියෝ බයවෙන තාලේ කෙනෙක්. බොරු කොන්ඩෙත් එක්කම තියෙන තොප්පියයි, බැලුන් බෝල ටිකයි ගත්තම මගේ පෙනුම සම්පූර්ණයි. එතකොට මට විහිළුකාරයට ආරෑඪ වෙලා හැමෝවම සතුටු කරන්න පුළුවන්, හැමෝවම.

මිනිස්සු ප්‍රශ්න ඕනෙවට වඩා ඔලුවට ගන්නවා වැඩියි. සමහර ප්‍රශ්න ආයේ හිතල බැලුවහම ඇත්තටම ප්‍රශ්නත් නෙමෙ යි. මම නම් හිතන්නේ මිනිස්සුන්ව ජීවත් කරවන්නේ ප්‍රශ්න. සමහරුන්ට ප්‍රශ්නයක් නැත්තම් නින්ද යන්නේ නෑ. සරල කම කියන එක නිකම්ම වචනයක් වෙලා. උවමනාවෙන්ම තමන්ගේ වැඩ වැඩි කර ගෙන වෙලාව නෑ කියා කියා බොරුවට දුක්වෙන එක තරම් විහිළුවක් තවත් නෑ. ඔය වගේ මිනිස්සුන්ගේ හිනා යන වැඩ කොච්චර තියනවද. ඒවා මිනිස්සු තේරුම් ගන්නවා නම් මට මෙහෙම අමුතුවෙන් විහිළුකාරයෙක් වෙන්න ඕනේ නෑ. නිරායාසයෙන්ම මිනිස්සුන්ට සතුට ළඟා වේවි. ඔය කොයි දේ කිව්වත් සමහරු සල්ලි ගෙවල හිනාවෙන්න උත්සහ කළත් බැරි අයත් ඉන්නවා. ඒ මිනිස්සුන්ට නම් මොනවා වෙලාද මන්ද. එක්කෝ හිනාවෙන්න උවමනාවක් නැතිකම. නැත්තම් හිනාවට තියෙන බය. ඔව් සමහර මිනිස්සු හිනාවට බය යි.

මට අර බැංකු නියෝජිතට වුණ දේ ගැන දුකයි, ඇත්තටම. ඒත් මට කරන්න දෙයක් නෑ. සමහර වෙලාවට එක හොඳ වැඩක් නිසා නරක ප්‍රතිපලයක් ලැබෙන්න පුළුවන්. හරියට ආත්ම ආරක්ෂාවට තවත් කෙනෙක්ව මරණවා වගේ. එතකොට කෙනෙක් මරන්නේ අපිට ජිවත් වෙන්න හින්ද එක වැරද්දක් නෙමෙ යි. නැත්තම් රට වෙනුවෙන් යුද්ධ කරනවා වගේ. අපි හතුරෝ මරන්නේ නොමරා රට බේරගන්න බැරි හින්දනේ. මේකත් ඒවගේ තම යි. අපි අවුරුදු ගානක ඉඳල ජීවත් වෙන, සල්ලි හොයාගන්න තැන දාල කොහේ යන්නද. දැන් ඉස්සර වගේ හිස් ඉඩකඩන් ඇත්තෙත් නෑනේ. අනික අපිට ඉඩන් ගන්න එච්චර සල්ලි කොහෙද. අපිට උදව් කරන්නේ කව්ද. අපි මිනිස්සුන්ව හිනැස්සුවට අපිට හිනාවෙන්න අවස්ථාවක් දෙන්නේ කොයි මිනිහද. මම සටන් කළා, ඔව් රට වෙනුවෙන් සටනට ගිය සොල්දාදුවෙක් වගේ. මම රණවිරුවෙක්, මම අපේ කණ්ඩායම වෙනුවෙන් යුතුකම් ඉටු කළා. ඉදිරියත් එහෙමයි. මම දන්නවා මේ අවසානය නෙවෙයි, ආරම්බය.

අපේ කණ්ඩායමේ අය මට දැන් කලින්ටත් වඩා ගෞරව කරන්නේ මම වීරයෙක් හින්ද. හැමෝම වගේ මමත් මගේ ගුණ කියනවට කැමති යි. ඉතින් එහෙම සලකන කොට මම ආඩම්බර වෙනවා. සතුටු වෙනවා. අපේම උන් වෙනුවෙන් මැරෙන්න වුණත් හිතෙන තරම් ශක්තියක් එන්නේ කොහෙන්ද මන්ද. සර්කස් බලන්න එන බාහිර මිනිස්සුන්ට මම විහිලු කාරයෙක් විතරයි. ඒත් කමක් නෑ. ඒ මගේ වෘතිය, මේ මගේ ස්වභාවය.

"යමු, දැන් වෙලාව හරි" මගේ සගයා කුඩාරමට ඔලුව දාල කිව්වා.

මම නැගිට්ටේ ඇඳුම් පැළඳුම් වල වැරදි හදන ගමන්. සර්කස් එක තියෙන ලොකු කුඩාරම පිරෙන්නම නැතත් සෑහෙන සෙනඟක් ඇවිත් හිටියා. ඒක ඇහැට කඳුලක් ගේන සතුටක්. හැම තැනම ආලෝකය විහිදිලා දිලිසුනා. ආයේ හැමදේම පරණ තලෙටම ඇවිත් කියල කෑගහලා උඩ පනින්න තරම් සතුටක් ඇති වුණේ පොඩිත්තන්ගේ හිනා කටවල් දැක්කහම. ඒක මගේ හිතේ තිබුන හැම සැකයක්ම, හැම දුකක්ම නැතිවෙන තාලේ හැඟීමක්. මම අපරාධකාරයෙක් නෙමේ, මම වීරයෙක් මම මටම කියාගත්තේ සියවෙනි වතාවට.

"සර්කස් එකට පැමිණි සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා!" අපේ සර්කස් එකේ නායක තුමා හැමෝටම ඇහෙන්න කිව්වා.

Wednesday, December 7, 2011

ඇය මගේ පාපය යි


අන්ධකාර රාත්‍රී පසුකර
පිනිබිඳු තැනින් තැන
හුඟක් තදින් ඇලුණු පත්‍ර
කමින් බොමින් තුටු වන
මුදු බැටළු දෙන ඔබ
දඩයම් කරන වෘකයා මම

Friday, December 2, 2011

"මිනිස්සු නොදන්නා දේට බයයි" | Afraid of the Unknown



ඇය දැක්ක මොහෙතේ ඉඳලම මට හිතුනේ ඇය මනුෂ්‍ය දුවක් වෙන්න බැරි බව. මනුස්සයෙකුගේ නැති අමුතුම ලක්ෂණ රාශියක් ඇගෙන් දිස්වුණා. දිලිසෙන සුදුමැලි සම, කාන්තිය විහිදුවන නෙත් සඟල වගේම ඇඟලාගෙන හිටි දුහුල් ධවල වස්ත්‍රය කියා පෑවේ අමනුෂ්‍ය ස්වභාවයක්. ඇයව ඇස ගැටුනේ මැදියම් රාත්‍රියේ නිසා මගේ හිත කිව්වේ ඇය මෝහිනී වෙන්න පුළුවන් බව නමුත් මම ඇය සුරඟනක් ලෙස සලකන්න උත්සහ ගත්තා. ඇය මා දිහා බැලුවා, ඒ බැල්ම සාමාන්‍යය පරයා ගිය එකක්. ඇය බැලුවේ මගේ ආත්මය දෙස. ඇගේ කාන්තිමත් නයන මගේ ගත හරහා විනිවිද ගමන් කළා. ඒ හැඟීම ප්‍රසිද්ධියේ නිරුවත් වීමට සමාන යි. ඒ බැල්ම මට දරාගන්නට නොහැකිව අහක බැලුවහම ඇය හිනා වුණා, හරියටම ඇය එය මගෙන් වේවියැයි බලාපොරොත්තු වුණා වගේ.

"බයයි නේද?" සිහින් සීතල කටහඬකින් ඇය ඇහුවා.
"නෑ, මම? කාටද?"
"ඔයා ඔයාටම..."
මම උත්තර දෙන්න ගියේ නෑ. අහන අහන හැම ප්‍රශ්නෙකටම පිළිතුරු සපයන්න කියල නීතියක් ගැන කියනවා මට මතක නෑ.
"බයයි තමයි."
"මේ හීනයක් නේද?"
"ඒක දන්නේ ඔයාම තමයි."
"මම දන්නේ නෑ."
"හ්ම්,,, මිනිස්සු දන්නේ නැති දේ ගැන පුළුවන් උපරිම භයානක දේ හිතාගන්නවා, ඊට පස්සේ ඒ හිතලුවට බය වෙනවා, බය නැති කරගන්න වීරයෝ වෙන්න යනවා, අන්තිමට කරලා තියෙන්නේ රඟපෑමක් විතරයි..."

මම ඇගේ අත අල්ලාගත්තේ මම ඇයට බය නැති බව පෙන්වන්න. ඒ ස්පර්ශය බොහෝදුරට මානුෂික යි. අමුත්තකට තිබුනේ ඇගේ අත බොහොම සිසිල් වීම පමණ යි. ඇය මා දිහා බලලා හිනා වුණේ දෑසින්. අපි දෙන්න අත් දවටගෙන ඇවිදින්න ගත්තා. රෑ අහස නිසසල යි, සඳ එළිය නොමැති නිසා තරු එළිය වඩාත් දීප්තිමත්ව දිස්වුණා. පාරේ මිනිස්සු කිහිප දෙනෙක් මතුවෙලා ආයේ අතුරුදන් වුණත් වාහන නම් ගියේ නැති තරම්.

"ඇයි ඔයා මාව හොයන ආවේ?" ඇවිදන් යන අතරේ මම ඇහුවා.
"ඔයාට මාව ඕනේ වුණා නේද?"
"සමහරවිට ඕනේ වෙන්න ඇති. මට ඔයාගෙන් ලැබෙන්නේ මොනවද?"
"ඉල්ලන ඉල්ලන දේ දෙන්න මම පහනේ භූතයා නෙමේ."
"මට තරුවක් වෙන්න ඕනේ, මගේ තනියට එනවද?"
"තරු කොහොමත් තනිවෙලා."
"කවදාවත් තනි වෙන්නේ නැති දෙයක් කියන්න."
"තනිකම. තනිකම හැමදාම තනිවුණු කෙනත් එක්ක ඉන්නවා."
"එහෙනම් මට තනිකම වෙන්න ඕනේ."
"විශ්වාස කරන්න, තනිකම වෙනවා කියන එක ලේසි වැඩක්නම් නෙමෙ යි."

අපි ඇවිදන් ඇවිත් නැවතුනේ පාලමක් උඩ. පහලින් ගඟ ගලන් ගියේ ශබ්ද වලින් තොරව, නැත්තනම් පාලම ළඟට සද්දේ ඇහුනේ නෑ. තැනින් තැනට විදුලි ආලෝකය වැටිලා ගංගා ජලය දිස්නේ දුන්නා. එතකොට නම් ගඟ නෙමේ නිකම්ම වතුර ගොඩක් විතරයි වගේ පෙනුනේ. එකම දේ කෙතරම් විධි ගණනකින් බලන්න පුලුවන්ද. සුරංගනාව දිගටම මගේ අත අල්ලගෙනම හිටි නිසා ඇගේ අතට ඒ වෙද්දී සියුම් රස්නයක් එකතු වෙලා තිබුණා. ඇය නැවතත් මං දිහා බලලා හිනාවුණා, ඒ පාර හිනාව නම් ඇත්තටම යි.

"මම බය නෑ."
"එහෙනම් හොඳයි, ඔයාට මාව දැන් ඕනේ වෙන එකක් නෑ."
"මාත් එක්ක හැමදාම ඉන්න නවතින්නකෝ..."
"බැහැ, කවදාහරි යන්නම වෙනවා, කිසිම දෙයක් සදාකාලික නෑ." මගේ කම්මුලට ලාවට තට්ටුවක් දමන ගමන් ඇය කිව්වා.
"එතකොට මම තනිවෙයිනේ."
"නැහැ, මම ඔයා වෙනුවෙන් ඉන්නවා."
"යන්න කලින් ඔයා කව්ද කියන්න?" මම ඇගේ අත තදින් අල්ලගෙනම ඇහුවා. ඇය ළා සිනහවක් පෑවත් එක්කම හිස් අවකාශයට බොඳවෙලා ගියේ හරියට එහෙම කෙනෙක් කවදාවත් හිටියේ නෑ වගේ.

Thursday, December 1, 2011

ළය විරේකය හා සෝ අවශෝෂකය



පහුගිය දින කිහිපයම ගෙවුනේ සාතන්ගේ ලෙඩේ බෝවෙලා බොහොම උදාසීන ව, මොනවත් ලියන්නවත් ලියූ දෑ කියවන්නටවත් ඇති කැමැත්ත අඩුවෙලා තිබුණා. මේ ලියන්නේ ඒ නරක පුරුද්ද ඇබ්බැහියකට යන එක නතර කරන්න. ඒ දවස් කිහිපය අතරේ මට දුරින් යාලුවෙක් වෙන කෙනෙක්ගේ (ඒ කිව්වේ යාලුවෙක්ගෙ යාලුවෙක්) දුක්ගන්නාරාල වෙන්න සිදුවුණා. තව කෙනෙකුගේ දුක් ගැනීම කියන්නේ බොහොම ආතතියක් ගෙන දෙන කටයුත්තක් වුණත් මම ඒ කතාව අහන් හිටියේ ඒ යාලුවට හරි ඒකෙන් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්.

ඒ යාලුවට වෙලා තියෙන්නේ තමන් ආදරේ කළ කෙනා තමන් ඉදිරියේම වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්න විතරක් නෙමේ ඒකට උදව් කරන්නත්. මෙහෙම අහන්නේ නැතුව විස්තර ලියන එක කොපමණ දුරට නිවැරදිද කියල නොදන්නා නිසා මට වැඩි විස්තර කියන්න විදිහක් නැහැ. කොහොම වුණත් ඒ යාළුවා -අසංක කියමු- විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා විවාහ වෙන්නේ වෙන කෙනෙක් එක්ක. ඒ පවුල් දෙකම සමීප පවුල් නිසා අන්තිමට ඔහුටම ඒ විවාහය වෙනුවෙන් උදව් කරන්න සිදුවෙනවා. ඔහු ඉදිරිපිටම ඇය අසංකව නොවෙන කෙනෙක් හා විවාහ වෙනවා, අසංකට ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇතිද කියල මට හිතාගන්න අමාරුයි. ඒ යාළුවා මාත් එක්ක කතා කරද්දී ඇඩුවේ නැති වුණාට ඇස් වල තෙරපෙන දුක දකින්න අමාරු වුණේ නෑ. අපි එතරම් සමීප මිතුරොත් නෙවෙයි, ඒත් අසංක කතාව කියන්න ඇත්තේ තමන්ගේ කතාව කාටහරි කියන්න ඕනේම වුණු නිසා වෙන්න ඕනේ.

ඔය විදිහට අසංක ළය විරේක කළාට පස්සේ ශෝක අවශෝෂකය වෙන්නේ මම යි. අසංකට දෙන්න උත්තරයක් ම සතුව තිබුනේ නෑ, අනිත් අතින් ඔහු උත්තරයක් බලාපොරොත්තු වෙන්න නැතුවත් ඇති. සුනේත්‍රා ලියූ පූර්ව ජන්ම අපූර්වය කියවන්න කියල නිර්දේශ කරන්න හදලත් නිකන් හිටියේ ඒ වගේ අවස්ථාවක පොත් කියවන්න කීම කොහොම විදිහට බාරගනියිද දන්නේ නැති නිසා. පුළුවන් තරම් සැනසිලි වදන් මම කිව්වත් ඒකෙන් නම් වැඩක් වෙන්න නැතුව ඇති. ඒත් ළය විරේකය නිසා යම් තරමක සහනයක් ඔහුට ලැබෙන්න ඇති.

දැන් කියන්න යන්නේ සෝ අවශෝෂකය වුණු මා ගැනයි. අසංකගේ අත්දැකීම් බ්ලොග් කතාවකටනම් හොඳටම ගැලපෙනවා, ඒත් ඇත්තටම එය සිදුවෙද්දී ඒ පුද්ගලයට එය කොච්චර තදින් බලපානවද කියල තේරුනේ ඒ අවස්ථාවේදී යි. මීට සමාන කතාවක් සන්නස්ගල ලියූ 'මගේ කුළුඳුල් පෙම්වතිය' කෘතියෙත් ඇති බව පසුව මතක් වුණා. පොත කියවුවාට වඩා සෑහෙන ලොකු බලපෑමක් අත්දැකීම් බෙදාගැනීමෙන් ලැබෙනවා. ඒ එහි සජීවී බව උපරිමයෙන් අත්දකින නිසා විය යුතුයි.

කුමාරිහාමිගේ අත්තම්මා කිව්වා වගේ විවාහ වෙන්න ඕනේ එකට මිසක් වෙන්වෙලා ජිවත් වෙන්න බැරි කෙනාව මිසක් එකට ඉන්න පුළුවන් වේවි කියල හිතන කෙනාව නෙමෙයි කියලයි මමත් විශ්වාස කරන්නේ. මුදල්, තත්වය, තනි වීමට ඇති බය, අනුන්ව සතුටු කිරීම වගේ චූල අපේක්ෂා සඳහා විවාහ වීම නම් මට විහිළුවක්. ඒකෙන් පෙනෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ නොහැකියාව, ආත්මාර්ථය හා අසරණකම. එක අතකින් හැමදේටම වානිජකරණය ඔලුව දාපු ලෝකෙක පරමාදර්ශි ලෙස ප්‍රේමයක් විවාහය කරා යාම පුදුමයක් වෙන්නත් පුළුවන්. අසංකගේ පෙම්වතිය තමන්ට අනවශ්‍ය විවාහයකට කොටු වුණේ කුමන හේතුවක් නිසාද කියන්න නම් මම දන්නේ නෑ. සමහර විට එය දෙමව්පියන්ගේ අණට කීකරු වීම, තමන්ට තමන් වෙනුවෙන් නැගී සිටින්නට ඇති නොහැකියාව, ආර්ථික ප්‍රශ්නයක් හෝ සැබෑවටම ඇය අසංකට ආදරය නොකිරීම වුණත් විය හැකියි.

අසංකගේ කතාවෙන් බර වුණු හිත සැහැල්ලු කරගැනීමේ බලාපොරොත්තුවෙන් කවියක් ලියුවා. සාමාන්‍යයෙන් මා දමන්නේ කවිය විතරක් වුණාට කවියකට පූර්ව කතා, අතුරු කතා, පශ්චාත් කතා තියනවනේ, මේ කිව්වේ ඒ වගේ පූර්ව කතාවක්. මේ ලිපිය පෙර සූදානමකින් තොරව ලියූ නිසා කෙනෙක්ට බොහොම කම්මැලි වෙන්නත් නැතිනම් කමකට නැති හෑල්ලක් වෙන්නත් ඉඩ තියනවා. කොහොම වුණත් සුපුරු ලිවීමට අවතීර්ණ වෙන්න මේ ලිපිය පාර කියාවි.

නොහඳුනමි ඔබව මම
කව්රුන්ද ඔබ
අරක්ගත් මා පෙම්බරිය
කියූ පද ලියූ කවි
තනිකර අත්හැර දමා
පලායන කෝඩුකාරිය

නොහඳුනන ඔබව
පහසුය අතැර යාම
අප අපට නොහැඟෙන
සම්බන්ධය අසාර්ථක බැව්
දන්නා නිසා හොඳටම

පිට වන හුස්ම පොද ඔබ
මා කිසි දිනක හඳුනා ගත්
ගලා යන දිය පහර ඔබ
මා කිසි විටක ස්පර්ශ නොලත්
පියාඹන සරුංගලය නුඹ
මා සතුව එහි හුය නොමැති

ආයුබෝවන් නාන්නදුනන්නිය
නොහඳුනන ඔබ නොහැඟුණ 
සුබ ගමන් පෙම්බරිය
කිසි විටක ආලය කරනට
අවස්ථාවක් නොලද

Tuesday, November 22, 2011

සුනේත්‍රාගේ පහස ලැබ | To Sunethra, with Love.



මේ කියන්න යන්නේ සුනේත්‍රා ගැන, එහෙමත් නැත්තම් සුනේත්‍රා රාජකරුණානායක නම් සම්මානනීය ලේඛිකාව ගැන. මට සුනේත්‍රා ව මුණගැහුනේ මීට අවුරුදු හය හතකට කලින්. ඒ මගේ අක්කා කෙනෙක් ළඟ තිබුණු 'පියනි මණ්ඩපය' කියවීම හරහා. සුන්දර සිහිනමය චීන නාඩගමක් ආශ්‍රයෙන් ලියවුණු එය මම සුනේත්‍රාගේ කැමතිම පොත්වලින් එකක්. ඒත් එතනින් එහාට සුනේත්‍රාගේ පොත් කියවීමේ අවස්ථාවක් කාලයක් යනකම් ලැබුනේ නෑ. ඊළඟට ඇයව හමුවෙන්නේ 2008 වසරේදී, ඒ ඇය සම්මාන ගණනාවක්ම 'පොදු පුරුෂයා'ට හිමි කරගත්තට පස්සේ. පොදු පුරුෂයා මම තුලින්ම දකිමින් මම ඒකට බැඳෙන්න ගන්නවා. ඔන්න ඉතින් මමත් සුනේත්‍රා සින්ඩ්‍රෝමයෙන් ආතුර වෙනවා. අමුතුවෙන් කියන්න ඕනේ නෑ, සරසවියේ තියන සුනේත්‍රාගේ පොත් කන්දරාවම මගේ පොත් ගොඩටත් එකතු වෙනවා. වහින වෙලාවට ඇඳට වෙලා කොපි බිබී ඒවා කියවනවා, නිදිමත වුණහම එහෙම්ම ම ඇයත් එක්ක නිදා ගන්නවා. සුනේත්‍රා මගේ ජීවිතේට එකතු වෙන්නේ ඔහොමයි. දැන් ඇය සැලකිය යුතු තරම් මට බද්ධ වෙලා. ඕනෙනම් දැන් මට යම් සිද්දියක් ගැන ඇය මොන මතයක් දරාවිද කියල උපකල්පනය කරන්න පුළුවන්. මේ කතාබහත් ඒවගේ. සැබෑවට ඇයව මුණගැහෙන්න අවස්ථාවක් මට ලැබිල නෑ (ලැබෙනවා නම් කොච්චර හොඳද!). මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්නෙත් මම ම යි, හැබැයි ඒ මම ඇයගේ ප්‍රතිරූපයට ආරූඪ වෙලා.

මම: ඔබ කැමතිම ඔබේ පොත මොකද්ද?
සුනේත්‍රා: ඕක තමන්ගේ ළමයි කිහිප දෙනෙක්ගෙන් වැඩිපුරම ආදරේ මොන ළමයටද කියල අහනවා වගේ වැඩක් නේ. මෙහෙමයි, එක එක නිර්ණායක අනුව මගේ නිර්මාණ වර්ග කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට මුලින්ම රාජ්‍ය සම්මාන ලැබුණු 'රිදී තිරංගනාව' වඩා හොඳයි කියල කෙනෙක්ට කියන්න පුළුවන්.
මම:  හරි ඒ ප්‍රශ්නෙම මෙහෙම ඇහුවොත් ඔබට අනුව වඩාත්ම සාර්ථක නිර්මාණය කුමක්ද?
සුනේත්‍රා: සම්මාන ලැබීම සාර්ථකත්වය කියල සලකනවා නම් රිදී තිරංගනාව, පොදු පුරුෂයා, කවි කඳුර සාර්ථකයි කියල කියන්න පුළුවන්. ඒත් මට අනුව සාර්ථකත්වය තීරණය වෙන්නේ පාටකයාට ඒ කෘතිය කරන බලපෑම හරහා. ඒක ඇත්තෙන්ම බොහොම සාපේක්ෂ දෙයක්.
මම: ඔබේ බොහොමයක් නිර්මාණ වල තියෙන්නේ පරාජිත ප්‍රේමය නැත්තම් තාවකාලික ආදරය. ඔබ කියන්න හදන්නේ සදාකාලික ආදරයක් නෑ කියලද නැත්තම් ඔබට අත්දකින්න ලැබුනේ එහෙම සම්බන්ධතා විතරද?
සුනේත්‍රා: නැහැ, මම කතාකරල තියනවා. පොදු පුරුෂයා කියන්නේ සදාකාලික ප්‍රේමයක් ගැන කතාකරන නිර්මාණයක්. ඒ සදාකාලික ප්‍රේමය තමයි මමංකාරයෙන් තොර මෛත්‍රිය. ඒ කියන්නේ සියලුම ප්‍රේමයන් එකිනෙකට සම්බන්ධ වෙන සියුම් හුයකින් බැඳෙන මෛත්‍රී සුත්‍රය. ඒක එක අතකින් භාවනාවක් වගේ. තමන්ට තමන් ආදරේ කරන අතරේ ඒ ආදරය අනෙක් පුද්ගලයන්ටත් විහිදෙනවා. ඒක බොහම විරාගි යි, එනිසා කාලයෙන් ප්‍රශ්නයක් එන්න විදිහක් නෑ. අකාලිකයි. බුදුහාමුදුරුවෝ නාලාගිරි මෙල්ල කරන්නෙත්, අංගුලිමාලට රහත්වෙන්න පාර කියන්නෙත් ඔය මෛත්‍රී සුත්‍රයම යි. ඒ සදාකාලික ආදරය අවෛරයම යි. ප්‍රභාකරන්ට වුණත් ළඟම නෑයට වුණත් සමානව සලකන්න පුළුවන් වෙන්නේ ඒ මෛත්‍රී සූත්‍රයෙන්.

ඔය විදිහට තව තවත් ඉදිරියට කතා කරගෙන යන්න පුළුවන් වුණත් මම මෙහෙම කරන්නේ නෑ, මොකද මගේ හිතේ ඇඳුනු සුනේත්‍රා සැබෑ සුනේත්‍රා සමග කොච්චර දුරට සමපාත වෙයිද දන්නේ නැති නිසා. කොච්චර නොගැලපීම් තිබුණත් දෙන්නා කෙහෙවලු පටලව ගන්න එකක් නෑ කියලනම් විශ්වාස යි. කොහොම වුණත් දැන් මේ ලියන්නේ මම වඩාත්ම ප්‍රිය කරන, සුනේත්‍රා විසින් රචිත කෘති කිහිපයක් ගැන කෙටි සටහන්.

රිදී තිරංගනාව
මෙය ඇය ලියූ, මා වඩාත්ම ප්‍රියකරන පොත කියල හැඳින්වූවාට වරදක් නෑ. ඒ මනුශිගේ කතාව, නැත්තම් මාශලා මානෙල් නම් බෞතිස්ම ලද්දියගේ ජීවිත කතාව. පොත ආරම්බයේදී ඇති ප්‍රවේශ කතා වස්තුවේදී ඇය මෙහෙම කියනවා,
මට මුණු පහක් තියනවා
අත් දහයක්
පංච මූර්තියක්...
මේ ඒ පංච මුර්තියේ කතාව, මාශලා අත්දැකීම් සමග පරිවර්තනයේ රංගනය. එක අතකින් මෙය සිනමා නිර්මාණයක්. රංගන ශිල්පිනියක් අලලා සෑදු චිත්‍ර පටයක්. එනිසාම වෙන්න ඕනේ කතාවේ තියෙන්නෙත් නිකම් සිනමාත්මක බවක්. ඒක එක පැත්තකින් යථාර්ථවාදයත් අනෙක් පසින් ෆැන්ටසියත් අරගෙන ඒදණ්ඩ තරණය කරනවා වගේ. හිමිවීම, ඒ සමගම එන අහිමි වීම, ප්‍රේමය හා විරහව, අතීතකාමය, සතුට දුක ආත්ම අනුකම්පාව එක්ක බැඳුනු මනුෂී නම් නිළිය ධර්ම චක්‍රය හරහා නොනවතින ගමනක යන්නේ විටක ශ්‍රී දේවිය වෙලා තවත් වෙලාවක කාලි යක්ෂණිය වෙලා. හැම කතාවක වගේම සුනේත්‍රාගේ ස්ත්‍රීවාදී දෘෂ්ටිය තුලින් බලන සමාජය, ප්‍රේමය, පිරිමියා, මිනිසුන්, දේශපාලනය, කලාව, මාධ්‍ය මෙහිත් වඩාත් පුළුල්ව විවරණය කරන්න ඇය සමත් වෙලා (මේ පොතේ වඩාත් හොඳින් ගුණාගුණ පිරික්සන්නට නම් වෙනම ලියන්න වෙනවා, එය පස්සට තබමු).

ප්‍රේම පුරාණය
කතෝලිකයට බයිබලය වගේ මෙය සෑම සුනේත්‍රා පාටකයෙක් සතුවම තිබිය යුතු පොතක්. ඕනෙනම් මේ සුනේත්‍රාගේ සාරය ලෙස හැඳින්වූවාට වරදකුත් නෑ, ඒ ඇය සෑම කෘතියකින්ම කියන්න හදන පණිවිඩය මේ හරහා අඩු/වැඩි වශයෙන් කියවෙන හන්ද. උවමනා නම් කෙනෙකුට කෙටිකථා සංග්‍රහයක් කියල හැඳින්විය හැකි සුනේත්‍රාට අනුව නම් නවකතාවක් වන මෙහි ඇත්තේ නිර්මලා තම ජීවිතයේ මුහුණදෙන අත්දැකීම් කිහිපයක්. පොතේ පසු කවරයේ මෙහෙම තියනවා,
නිර්මලා තම ජීවීන අත්දැකීම් පමණක් නොව අනුන්ගේ ජීවන වෘත්තද නව ශාන්ති මාර්ගයකට විලක්කු එළි බවට පත් කර ගන්නීය. ඇය පෞද්ගලික පරාජයන් ශක්ති ප්‍රවාහයක් බවට පත් කරන්නට තැත් කරන්නීය. නිර්මලා ශුද්ධ ස්වරයක්, බ්‍රහ්ම සංකේතයක් හා ගැඹුරු දේශපාලන වන කැළැල් සුවයට ප්‍රේමයේ නව බසක් සොයන්නීය.
නිර්මලා සොයන්නේ පුණ්‍යවන්තයන්ට හා පිළිගත් සුචරිත නියමයන්ගේ වෙස් මුහුණු පැළඳ සිටින්නන්ට පමණක් නොව සියලු පව්කාරයන්ටද ප්‍රේම කළ හැකි මාර්ගයකි.
කලින් කිව්වා විදිහට මෙය මට බයිබලය වගේ හින්ද මම සෑහෙන වතාවක් කියවල තියනවා. ඉදිරියටත් ප්‍රශ්නයක් නැතුව කියවන්න පුළුවන් වේවි.


විස්තර කරනවා නම් සුනේත්‍රාගේ පොත් හැම එකක්ම වුණත් ගන්න පුළුවන්. ඒත් අවශ්‍ය නෑ, මේ දෙකෙන් යම් අදහසක් ලැබෙනවා. තවත් මම කැමති කෘති ලෙස මේවා නම් කළ හැකි යි. පොදු පුරුෂයා, හර්ද සූත්‍රය, සුබෝධාලංකාරය, කවි කඳුර, සඳුන් ගිර ගිනි ගනියි, මතක පොත හා පූර්ව ජන්ම අපූර්වය. අවසානයේ කියන්න තියෙන්නේ මේ ලිපිය සුනේත්‍රට භක්ත්‍යාදරය දැක්වීම සඳහාම ලියූ බව. මේ ලිපිය අවසානයට ප්‍රේම පුරාණයේ ඇය ලියූ පිදුම ගැලපේවි කියල හිතනවා.

ප්‍රේමයෙන්ම හුස්ම ගනිමි
ප්‍රේමයෙන්ම හුස්ම හෙලමි
ප්‍රේමයේ ඔසු වනයේම සරා ඵල නෙලමි
සිත් චිත් ආනන්දයෙන්
ප්‍රේමයේම සුවය සොයමි
මම මා ප්‍රේමයෙන්ම
ශුන්‍ය ප්‍රීතියට මුසු කරමි
අසංග වූ ප්‍රේමයෙන්
මේ ප්‍රේම පුරාණය 
ප්‍රේමයටම පුද කරමි

Sunday, November 20, 2011

ඝාතනයේ ආශ්වාදය | Killing for fun




සමනළයා මල එක්ක බර කතාවක වැටිලා ඉන්න කොටයි දඩයක්කාරයා කොහේදෝ ඉඳල මතු වුණේ. ඒ සමනළ දඩයක්කාරයෙක්. ඔහු ගාව විවිධ වර්ගයේ සමනළයන් එකතුවක් තිබුණා. මිනිස්සු ඒ එකතුව බලල සතුටු වුණා. සමහර දාට දඩයක්කාරයා සාදයක් සංවිධානය කරලා දන්න දන්න හැමෝටම කතා කළා. හැමෝම එකතු වෙලා සමනළ එකතුව අගය කළා. ආපු පුරුෂයන්ට දඩයම් කිරීමේ අසාවෙන් තුවක්කු ගැන තොරතුරු හෙව්වා, කාන්තාවෝ එකතු වෙලා සමනළ පිහාටු වල පාට ගැන කතා කරලා ඇහිබැම නැටෙව්වා.

"අනේ මේ මොකද?" දඩයක්කාරයා දැකපු මල කෑගැහුවා. දඩයක්කාරයා මලට උත්තර දුන්නේ නෑ සමහර විට මල කිව්වේ මොනවද කියල ඇහෙන්න නැතුවත් ඇති. දඩයක්කරයට සිහිවුනේ තමාගේ එකතුව. මේ සමනළ වර්ගය විතරයි ඔහුට අඩු වෙලා තිබුණේ.
"පැනල යන්න, ඉක්මනට" මල සමනළයට කිව්වේ බයෙන් වෙව්ලන ගමන්.
සමනළයා පුළුවන් උපරිමයෙන් පියාඹන්න ගත්තා. ඒත් වැඩි වෙලා යන්න ලැබුනේ නෑ. ඩෝන්! මහා සද්දෙකුත් එක්ක පිටවුණු වෙඩි උණ්ඩය සමනළයාව අප්‍රාණික කරලා බිම හෙලුවා.

දඩයක්කාරයා සතුටින් ඉපිලුණා. කොච්චර කල් ඉඳල කරගන්න උවමන වුණු දෙයක්ද මේ. දඩයක්කාරයා ආයෙත් අහසට වෙඩිල්ලක් යැව්වේ සතුට වැඩි කමට. මියැදුණු සමනළයා පෙට්ටියක දාගත්ත දඩයක්කාරයා ආපහු යන්න හැරුණේ සාදයක් දාන්න කටයුතු සුදානම් කරන්න හිතින් සැලසුම් කරන ගමන්.
මේ හැමදේම බලන් හිටපු මලට අඬන්න ඇහැට කඳුළු ආවෙත් නැතුව අසරණ වුණා.

Wednesday, November 16, 2011

සංසාර ආරණ්‍යය : නිසසල නවාතැන

පළවෙනි කොටස
දෙවැනි කොටස
තෙවැනි කොටස
සිව්වැනි කොටස


"අපි ඇයි මෙහෙට ආවේ?" ආදිත්‍ය අවස්ථාව තේරුම් ගැනීමේ උවමන්වෙන් ඇහුවා.
"දන්නෑ"
"දන්නෑ?"
"පොඩ්ඩක් කටවහන් ඉන්නවද?" මගේ ඒ ප්‍රකාශය ආදිත්‍යව නිහඬ කළා.
මම ආදිත්‍යට පේරාදෙණිය මල් වත්තට යමු කිව්වේ ඇයි කියන ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් නෑ. ඒක මගේ හිතට සහනයක් ලබා ගැනීම, ආදිත්‍යගේ ලියුමට ප්‍රතිචාරයක් දැක්වීම, නැතිනම් නිකම්ම නිකන් අලස රස්තියාදුවක් වගේ කරුණක් වෙනුවෙන් විය හැකි යි. ඇත්තෙන්ම හේතු හොයන්න යන එකේ තේරුමකුත් නෑ. අවශ්‍ය වුණේ ඉදිරිය පැහැදිලි කර ගැනීම පමණයි. ආදිත්‍යට දෙන්න ඕනේ කොයි වගේ පිළිතුරක් ද කියල මම දැනගෙන හිටියේ නැති වුණාට එයා කියපු විදිහේ පිළිකුලක් නම් ඇති නොවුණු බව විශ්වාස යි. ඒත් එතනින් එහා දැනුණු හා හැඟුණු දේ වචන වලට පෙරලීමේ අපහසු කටයුත්තේ මම අතරමන් වෙලා.

සංසාර ආරණ්‍යයේ ස්වභාවය තුලින් මේ ප්‍රශ්නයට උත්තර ලැබුනත් ඒකට හාත් පසින්ම වෙනස් ලෝකෙක ප්‍රශ්නවලට උත්තර සෙවීම පහසු නෑනේ. අනිත් එක හැමදාම ෆැන්ටසියක් තුල ජීවත්වෙලා තමන්ටම බොරුකරගත්තත් සැබෑවට මුහුණ දෙන්න දවසක් උදා වෙනවනේ. සමහරවිට ඒ මේ පරිවර්තනයේ ආරම්බය වෙන්න පුළුවන්. සාර්ථකත්වය සාපේක්ෂයි වුණත් මට ජීවිතය සාර්ථක කරගැනීමේ උවමනාව හොඳටම තිබුණා. ඒත් ආදිත්‍ය ඒ සාර්ථකත්වය එක්ක ගැලපෙන්නේ කොහොමද කියන එකයි ගැටලුව.
"අපි කතාකරන්න ඕනේ..." මම ආදිත්‍යට කිව්වම එයා ඔලුව වැනුවා."කෙටියෙන්ම කිව්වොත් උඹ බලාපොත්තු වෙන දේ වෙන්නේ නෑ."
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ උඹ ජීවත් වෙන්නේ හීන ලෝකෙක, ඒ හීන කවදාවත් හැබෑ වෙන්නේ නෑ"
"ඒත් උත්සහ කරන්න පුළුවන්නේ"
"ඔව්, ඒත් කවදාහරි තේරේවි කරපු දේවල් වැඩක් නෑ කියල."
"එහෙම වෙන්නත් පුළුවන්, ඒත් කමක් නෑ."
"ජීවිතේ නාස්තිකර ගත්තට කමක් නෑ?"
"හීන පස්සේ ගිහින් නොලැබුනත් ඒක හීන නොබලා ඉන්නවට වඩා හොඳයි."
"ඒ උඹ හිතන විදිහ..."
"දැන් රවීන් හිතන්නේ කොහොමද?"
"මම හිතන්නෙද? මම හිතන්නේ අපේ යාළුකම මෙතනින් ඉවර යි."
"මොකද්ද?"
"උඹ මීට පස්සේ මගේ යාලුවෙක් නෙමේ යි." මම වචන කඩමින් උච්චාරණය කළා.
මම ආදිත්‍යගේ ප්‍රතිචාරය ලැබෙනකන් හිටියේ නෑ. ප්‍රතිචාරය දැන ගන්න ඕනේ කමක් තිබුනෙත් නෑ. ඒක එක්තරා විදිහක ළදරු වැඩක් වුණත් එහෙම හරි ප්‍රශ්න වලින් පැනල යන්න මට ඕනේ වුණා. අනිත් අතට මේ ප්‍රශ්නේ විසඳ ගත යුත්තේ කොහොමද කියල තේරුමක් මට තිබුනෙත් නෑ. දැනන් හිටියේ නොවිය හැකි යමක් කියල විතර යි. මම ආපහු හැරිලා යන්න ගත්තා. අතින් ආදිත්‍ය නවතින්න කියල කෑගැහුවත් මම නැවතුනේ නෑ. මම නෑහුනා වගේ දිගටම ඇවිද්දා.

"උඹ මහ බයගුල්ලෙක් රවීන්!" ආදිත්‍ය එහෙම බෙරිහන් දෙනවත් එක්කම මම නැවතුනේ මොන හේතුවකට කියල හරියටම කියන්න අමාරු යි. සමහරවිට මම බයගුල්ලෙක් කියල හඳුන්වනවාට ඇති අකමැත්ත නිසා වෙන්න පුළුවන්. නැත්තම් මගේ හොඳම යාළුවව මෙහෙම මගහරින්න බැහැ කියල හිතුන හින්ද වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ප්‍රශ්නයට විසඳුමක් ආ යුත්තේ අපෙන්මයි කියල හිතුන හින්ද. කොයි හේතුව වුණත් නැවතුන එක ගැන මම අදටත් සතුටු වෙනවා.
* * * * * *

අපි වැල් පාලමේ මැදට වෙලා යටින් ගලා යන මහවැලි ගඟ දිහා බලන් හිටියේ පරිසරයේ නිස්කලංක බව හා සුන්දරත්වය විඳින ගමන්. පරිසරය හා මුසු වෙච්ච ළා සුළඟ අපිව සුවපත් කළා. ඒ ශාන්ති දායක සුවය වඩා වැදගත් වෙන්න ඇත්තේ මට යි.
"මට ඕනේ වුනේ මට දැනෙන දේ රවීන්ට කියන්න විතර යි." ආදිත්‍ය කතාව ආරම්බ කළා. "රවීන්ට මෙහෙම හිතෙන්නේ නැත්තන් කමක් නෑ. එහෙනම් ඒක මගේ ප්‍රශ්නයක්. එත් අපි තවදුරටත් යාලුවෝ නෙමෙයි කියන එක අසාධාරණයි..."
"මම එහෙම හිතන්නේ නැත්තේ නෑ." මම අමාරුවෙන් වචන එකතු කළා.
"මොකද්ද?"
"අ,,, උඹට හිතෙන විදිහ. එහෙම මටත් හිතෙනවා..." ආදිත්‍යට හිනා ගියා, අර ළා හිනාව තවත් හිත් පැහැරගන්න තරම් සුන්දර වෙලා. ඒ නිසාම මටත් හිනා නොවී බැරි වුණා.
"ඉතින් එහෙනම්?"
"මම හිතන, ඇත්තමට කිව්වොත් හිතාගන්න තැනක් තියනවා සංසාර ආරණ්‍යය කියල" ආදිත්‍යට උත්තර දෙන්නේ නැතුවම මම කියන් ගියා. "එතන තියෙන්නේ උපරිම නිදහසක්. කිසිම දෙයකට කිසිම කෙනෙක් බාධා කරන්නේ නෑ. ඒ වගේ තැනක අපි දෙන්නට ඉඩක් තිබුනට, සැබෑ ලෝකෙදි අපි දෙන්නට අනගතයක් නෑ. අපි ආදරය කරන්නේ පුද්ගලයාට මිසක් භාහිර දේට නෙමේ යි කියන එක තේරුම් කරගන්න එකකුත් නෑ. ඒකයි මම කියන්නේ අපි මේ දකින්නේ හීන විතරයි කියල."
"හ්ම්ම්,,, හරි මෙහෙම හිතමු ඔය සංසාර ආරණ්‍යය කියන්නෙත් ඇත්ත ලෝකෙම තමයි. සැබෑ ලෝකෙත් කිසිම බාධාවක් නෑ, සම්පූර්ණයෙන්ම නිදහස්. සීමා මායිම්, බාධක, සම්මතයන් සේරම හදාගන්නේ මිනිස්සුම මිසක් හැමදාම පැවතුන ඒවා නෙමෙයි නේ. අනුන් හිතන, කරන දේ අපි ප්‍රශ්නයක් කර නොගන්නා තාක් අපිට ඔය කියන සංසාර ආරණ්‍යයේම ජීවත් වෙන්න පුළුවන්..."
වෙන කවුරුවත් ඔය දේම එවෙලාවේදී නැත්තම් ඕනෙම කෙනෙක් වෙන වේලාවකදී මට ඔය කතාව කිව්වොත් මම කරන්නේ ඒ ගැන තවතවත් හිතල හිත බර කර ගැනීම. ඒත් ඒ වෙලාවේදී පුදුමෙකට වුණේ එකේ අනිත් පැත්ත. මගේ හිත සැහැල්ලු වුණා. පිහාටුවක් වගේ පාවෙලා යන තරමටම නොවුණත් ඒ තරමටම ලංවෙන්න. ආදිත්‍යට යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු වුණත් මට කියන්න දෙයක් එක පාරටම හිතට ආවෙත් නෑ. ආදිත්‍යත් එක දැනගෙන වෙන්න ඇති බලකරලා මොනවත් දැන ගන්න ඕනේ වුණෙත් නෑ.

අපි දෙන්නා පරිසරයේ සන්සුන් බවත් එක්කම එකතුවෙලා ඒ නිහඬ බවේ සුන්දරත්වය විඳගත්තා. ඒක නියගයකට පස්සේ වැටෙන වැස්සක්, අසනීපයකට ලැබෙන රස ඔසුවක්, දාහයට හමන මද පවනක් තරම්ම සුවදායි යි. අවශ්‍යතාවයක් තියනවනම් කරන්න බැරි දෙයක් නැති නිසාත්, ජීවිතය කියන අභියෝගය භාර ගෙන මම මම වෙනුවෙන් හා අපි අපි වෙනුවෙන් සටන් කළයුතු නිසාත් මම අපේ අනගතය ගැන සිහින මවමින් හිටියා. ආදිත්‍ය මගේ කර වටේට අත දාල එයාගේ ඔලුව මගේ උරහිස උඩින් තිබ්බෙත් ඒ එක්කම යි.

"දන්නවද? මට දැන් කලින් නොතිබුන දෙයක් තියනවා." මම කිව්වේ නිහඬ බවට හානියක් නොවෙන්න.
"මොකද්ද?"
"බලාපොරොත්තුවක්..."


-සංසාර ආරණ්‍යය මෙතැනින් නවාතැන් ගනී.-

Sunday, November 13, 2011

පාලුයි ද සෙබළ



ඒකල දුරකථන කුටියෙන්
ඇමතුමක් ගන්නේ
තුවක්කුව එල්ලා ගත්
හුදකලා සෙබළෙක්

බයිසිකලය පැදගෙන 'විත්
නැවතුනේ කුටිය අසල
තවකෙක්, ඒත් ඒ
අපේ (නො)වෙන එකෙක්

සෙබළා කියයි දුක
දුරකතනයට හෙමිහිට
අනෙකා බලාසිටි
අවස්ථාව එන තුරු ඔහුට

"වැඩ කරන්නේ නැද්ද කොහෙද"
එළියට එන සෙබළා කියා
යයි එක්වන්නට
සුපුරුදු හුදකලාවට

අනෙකා තවම අනෙකාමයි
නැහැ එහි වෙනසක්
බලා කුටිය දෙස 
යන්නට ආපසු හැරුණා
අතැර පැතුම් දහසක්

පාලුයි ද සෙබළ
නැතිව කෙනෙක් තනිකමට
අමතක වී ද කතාකරන්න
ළඟම ඉන්න නෑයාට

Wednesday, November 9, 2011

සංසාර ආරණ්‍යය : පෙම්බර කුමරාණ

දෙවැනි කොටස
තෙවැනි කොටස

රවීන්,
පහුගිය අවුරුදු දාහතටම මට යාලුවෝ සෑහෙන ගණනක් හිටියා, තාමත් එහෙම්ම ම ගානක් ඉන්නවා. ඒත් 'හොඳම' කියල විශේෂණයක් ඉස්සරහට දාන්න තරම් කවුරුවත් මට හමුවෙලා තිබුනේ නෑ, එක්කෝ හම්බවෙච්ච අය තේරුම් ගන්න මම උත්සහ කළේ නෑ. සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන්, මම කොච්චර වැරදි වුණත් මාව හරිගස්සන්න උත්සහ කරන, බැන්නත් ගහගත්තත් මරාගෙන හරි අඬාගෙන හරි වුණත් යාළුකම නැතිකරගන්නේ නැති කෙනෙක්. කිසිම සැකයක් බයක් පැකිලීමක් නැතිව ඕනෙම දෙයක් කතාකරන්න, හිතේ තියෙන හැමදේම කියන්න කොටිම්ම කිව්වොත් මුළු ආත්මයම නිරාවරණය කරන්න පුළුවන් යාළුවෙක්. කලින් මම හිතුවේ එහෙම යාලුවෝ ඇත්තටම නැතිව ඇති කියල, හරියට පරිපූර්ණ වායු වගේ. ඒත් ඒ වගේ පරිපූර්ණත්වයේ අයිඩියෝලොජි එකක් විදිහට වෙන්න වත් උත්සහ ගන්න කෙනෙක් මට හමු වෙලා තිබුනේ නෑ. ඒත් මම වැරදියි, ඒ එක්කම මම වරද්දා ගත්තට සතුටුයි. මේ මම වැරදුනහම සතුටු වෙන පළවෙනි වතාව වෙන්න ඕන.

මට ඒ පරිපූර්ණ යාළුවාව මුණ ගැහුනා.

මම දැන් ලියන්නේ මගේ කාමරේ ජනේලේ ගාව මේසේ තියාගෙන. මේ හැන්දෑව පුදුම තරම් ලස්සනයි. කඳු අතරින් ඉර එළිය ගලාගෙන එන්නේ තැඹිලි, කහ, රතු පැහැයන්ගේ සංකලනයකින්. වලාකුළු වලට ඒ එළිය වැටිලා මවල තියෙන්නේ හිත නිසංසල කරවන විදිහේ චිත්‍රයක්. ජනේලේ ළඟ බලන් ඉන්න මමත් ඒ චිත්‍රෙටම ඇතුළු වෙලා ධ්‍යාන ගත වෙලා. මනස සමාධි ගත වෙලා තියෙන්නේ මගේ යාලුකම ගැන අලුත්ම සොයාගැනීම තුල. ඒක ඒක විදිහක පිස්සුවක්, ආදරණීය පිස්සුවක්! වැස්සේ තෙමෙන්න හිතෙන, නිකන් ඉන්න ගමන් සින්දු මිමිණෙන, කොලයක් දැක්කොත් මොනවා හරි කුරුටු ගෑවෙන, හිනා යන්නේ නැති ඒවටත් හිනා වෙන, නම මතක් වෙද්දීත්  ඇස දිලිසෙන තාලේ මේනියාවක්. කියවපු අහපු බලපු කතාවල නම් මෙහෙම වෙන්නේ මොකටද කියල මම දන්නවා. කවදාවත්ම බලාපොරොත්තු වුණේ නැති විදිහට මමත් ප්‍රේමයෙන් ආතුර වෙලාද?

උඹ අහස තරම්ම ගැඹුරුයි රවීන්.


රවීන්,
වසන්තය දැන් උදාවෙලා, ඒත් ඒක මට විඳ ගන්න ලැබෙන්නෙත් නැතිව අත්හරින්නයි වෙන්නේ. මොකද මගේ වසන්තය එළඹිලා තියෙන්නේ ගිම්හාන කාලයක නිසා. ඒත් ඒ මගේම වසන්තයනේ. ඒක හින්ද මම එකට ආදරෙයි. ඒත් සමහරු මම රැවටිලා කියල කියාවි, වසන්තය කියල මම අල්ලාගෙන තියෙන්නේ සිසිරය යැයි කියාවි, ඒත් නැත්තන් මගේ වසන්තය විනාශ කරලා දාවි. මේ විස්තර ලියද්දි මට මතක් වුණේ නන්ද මාලිනි කියන සින්දුවක්.

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න
මගේ හීනෙන් මා මුදන්න ලං නොවන්න

මටත් මගේ වසන්තය ඕනේ. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? මම ඉර ඉල්ලලා අඬන්නේ නෑ. හඳ මගේ කියල පම්පෝරි ගහන්නෙත් නෑ. මට ඕනේ වසන්තය විතරයි, ඉතින් එකත් ලැබෙන්නේ නැතිව ගියහම මට මොකද වෙන්නේ?


ඉතින් රවීන්,
ඉස්කෝලෙට ආව පළවෙනි දවසෙම මට ගුටි කන්න වෙච්ච එක ගැන උඹ පස්සේ දවසක මට මෙහෙම කිව්වා,
"සොරි මචන්"
"මොකටද?"
"උඹට ගහන්න වෙච්ච එකට. ඒ වෙලාවේ මට මොනවා උනාද මන්ද..."
"අවුලක් නෑ."
"සොරි ආදිත්‍ය"
"හරි හරි, දැන් අවුලක් නෑ කියල කිව්වනේ."
"ඒ වුණාට සොරි..."
"උඹට වෙරිද බං?"
"අනේ මන්ද බං..."
ඔය ප්‍රශ්නේ ඒ කිව්වේ 'උඹට වෙරිද' කියල මගෙන් ඇහුවත් මටත් උත්තර දෙන්න වෙන්නේ මම දන්නේ නෑ කියල තමයි. ඔව්, මම ආදරයෙන් මත් වෙලා. මේ මත කවදාවත් හිඳෙන්නේ නෑ, එන්න එන්න වැඩි වෙනවා විතරයි. ප්‍රේමයේ ඇල්කොහොල් ප්‍රතිශතය පරද්දන්න මොන බීමට වත් බැහැ. එහෙම වෙන්න ඕනෙත් නෑ. මම දන්නවා රවීන්, උඹත් දැන් මත් වෙලා ඉන්නේ කියල, ඒත් එක තාම උඹ දන්නේ නෑ. මටත් ඔහොම කාලයක් තිබුණා. ඒත් මං දැන් දන්නවා.

මම උඹට මත් වෙලා රවීන්.


රවීන්,
මේ ලියුම මම ලිව්වේ දෙන්න හිතාගෙන නෙමේ යි. ඒත් දැන් මම ඒක උඹට දෙන්න තීරණය කළා. ඇයි කියල කියන්න දන්නේ නෑ. සමහරවිට මගේ හිතේ තියන දේවල් උඹට දැන ගන්න අරින්න වෙන්න ඇති. අනිත් අතට උඹ මගේ හොඳම යාලුවනේ, අපිට කතා කරන්න බැරි දෙයක් තියෙන්න විදිහක් නෑනේ.
දැනට මගේ ආදරය මට විතරක් වුණාට පස්සේ කලෙකදී ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියනවා. ඒ මොකද මම ආදරේ කරන්නේ කොල්ලෙකුට හින්දා. මම ආදරේ කරන්නේ කෙල්ලෙක්ට නෙමේ යි කියන ඒක අනිත් එවුන්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල මට තේරුම් ගන්න අමාරු යි. අනිත් අතට මට අනිත් එවුන්ගේ මගුල් වලින් වැඩක් ඇත්තෙත් නෑ. ඒත් මට කිසිම ලෙඩක් නැතිව මානසික ලෙඩෙක් කියල අහගන්න, කිසිම හැදියාවක් නැති වනචරයෙක් කියල බැනුම් අහන්න, කිසිම දෙයක් කරගන්න බැරි නපුංසකයෙක් කියල කතා අහගන්න මම කරපු වැරැද්ද මොකද්ද. ආදරේ වැරද්දක් වෙන්නේ කොහොමද රවීන්? මම මහා පවුකාරයෙක් වෙන්න ඇති.
මම දන්නවා ආදරේ කරන්න ලේසි නෑ. ආදරේ කොහොමත් අමාරුයි. ඒත් මේ වගේ අවස්ථාවකදී ඒ අමාරුකම් වලට තවත් අමාරුකම් ගොන්නක්ම එකතු වෙනවා. මම ඒවාට බයත් නෑ, බය වෙන්න ඕනත් නෑ. ඒත් ඒක ඒකපාර්ශවීය වුණහම විඳව ගන්න අමාරුයි.මේ ආදරේ ඉල්ලලා කෑගහනවා නෙමෙ යි. මගේ හිතේ තද කරගෙන තියන ඒවා කියනවා විතර යි, ආදරෙයි කැස්ස යි හංගන්න බෑ වගේ කොහෙන්ම හරි ඒ හැඟීම් එලියට එනවා. මම දන්නේ නෑ මේ ලියුම කියවල උඹ මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. ගොඩක් වෙලාවට උඹ මාව පිළිකුල් කරයි. ඒත් කමක් නෑ. මම ඉවසන්නම්.

මම උඹට ආදරෙයි රවීන්.

මීට,
ආදිත්‍ය.



-ඉතිරිය මතුවට-

Tuesday, November 8, 2011

කොන්දේසි විරහිත ආදරය | The Giving Tree



ඔන්න එක ගහක් හිටියා...
ඇය පොඩි ළමයෙකුට ගොඩාක් ආදරෙන් හිටියේ.
හැමදාම ඒ ළමයා ඇවිත් ඇගේ කොළ එකතු කරලා ඔටුන්නක් හදාගෙන කැලේ රජතුමා විදිහට සෙල්ලම් කළා.
ඔහු ඒ ගහේ කඳ උඩට නැග්ගා, අතුවල එල්ලිලා ඔන්චිලි පැද්දා, හැදිලා තිබුන ඇපල් ගෙඩි කඩන් කෑවා.
එයාල එකතුවෙලා හැංගිමුත්තන් සෙල්ලම් කළා.
පොඩි ළමයට මහන්සි දැනෙන කොට ඇගේ සෙවනට වෙලා නිදාගත්තා.
ළමයා ගහට ආදරේ කළා... ගොඩාක්....
ඉතින් ගහ හරිම සතුටු වුණා.

ඔහොම කල් ගතවුණා.
ළමයා ටිකෙන් ටික වැඩිහිටියෙක් වෙන්න පටන් ගත්තා. ඉතින් ගහ හැම වෙලාවේම වගේ හිටියේ තනියම.
ඔන්න ඉතින් දවසක්, ඔහු ගහ හොයාගෙන ආවා.
"එන්න දරුවෝ, ඇවිත් ගහට නගින්න, අතුවල එල්ලිලා ඔන්චිලි පදින්න, ඇපල් කන්න, මගේ වටේ සෙල්ලම් කරන්න ඉතින් එහෙම කරලා සතුටු වෙන්න." ඇය කිව්වා.
"මම දැන් එහෙම සෙල්ලම් කරන්න ලොකු වැඩියි" ඔහු කිව්වා. "මට එක එක දේවල් අරන් සතුටු වෙන්න සල්ලි ඕන."
"මට සමාවෙන්න." ගහ කිව්වා. "මං ගාව සල්ලි නැහැනේ. තියෙන්නේ කොළයි ගෙඩියි විතරයි. මේ ඇපල් ගන්න. ඒවා අරන් ගිහින් නගරේ විකුණන්න. එතකොට සල්ලි ලැබිල සතුටු වෙන්න පුළුවන් වෙයි."
ඉතින් ඔහු ගහට නැගල ගෙඩි කඩාගෙන යන්න ගියා.
ඉතින් ගහත් සතුටු වුණා.

ඒත් ඒ ළමයා කාලෙකින් ගහ බලන්න අවේ නෑ... ගහ බොහොම දුක් වුණා.
ආයෙත් දවසක ළමයා ආවා. දැන් ඉතින් ගහට සතුට ඉහ වහා ගියා.
"එන්න දරුවෝ, ඇවිත් ගහට නගින්න, අතුවල එල්ලිලා ඔන්චිලි පදින්න, ඇපල් කන්න, මගේ වටේ සෙල්ලම් කරන්න ඉතින් එහෙම කරලා සතුටු වෙන්න." ඇය කිව්වා.
"එහෙම කරලා සතුටු වෙන්න දැන් මට වෙලාව නෑ." ඔහු කිව්වා. "මාව රස්නෙන් තියන්න මට ගෙයක් ඕන, මගේ බිරිඳටයි ළමයින්ටයි ඉන්න ගෙයක් ඕනේ. මට ගෙයක් දෙන්න පුලුවන්ද?"
"ඒත් ඉතින් මට ගෙයක් නෑනේ." ඇය කිව්වා. "මේ කැලේ තම මගේ ගෙදර. ඒත් මේ මගේ අතු කපාගෙන ගිහින් ගේ හදාගෙන සතුටු වෙන්න."
ඉතින් ඔහු ගහේ අතු ටික කපාගෙන ගිහින් ගෙයක් හැදුවා.
ඉතින් ගහත් සතුටු වුණා.

ළමයා නෑවිත් තවත් කාලයක් ගතවුණා...
ඔහු නැවතත් ආවා. ගහට සතුට වැඩි කමට කතා කරගන්නත් බැරිව ගියා.
"එන්න දරුවෝ." ඇය කිව්වා. "ඇවිත් සෙල්ලම් කරන්න."
"මට දැන් වයසයි දුකයි හින්ද සෙල්ලම් කරන්න බෑ." ළමයා කිව්වා. "මට බෝට්ටුවක් ඕනේ මාව මෙහෙන් අරන් යන්න යන්න. මට බෝට්ටුවක් දෙන්න පුලුවන්ද?"
"මේ ගහේ කඳ කපල අරන් බෝට්ටුවක් හදන්න" ගහ කිව්වා. "ඈතට යාත්‍රා කරන් ගිහින් සතුටු වෙන්න."
ඉතින් ළමයා ගහ කපල බෝට්ටුවක් හැදුවා.
ඈතට පාවෙලා යන්න ගියා.
ගහ සතුටු වුණා.
ඒත් ඇත්තටම නෙමෙයි.

සෑහෙන කාලෙකට පස්සේ ළමයා ආයෙත් ගහ හොයා ගෙන ආවා.
"මට සමාවෙන්න දරුවෝ." ගහ කිව්වා. "මා ගාව දෙන්න දෙයක් ඉතිරි වෙලා නෑ. මගේ ඇපල් නැතිව ගිහින්."
"මගේ දත් වලින් දැන් ඇපල් හපන්න අමාරුයි" ළමයා කිව්වා.
"මගේ අතු නැතිව ගිහින්." ඇය කිව්වා. "එල්ලිලා සෙල්ලම් කරන්න බෑ."
"අතුවල එල්ලිලා සෙල්ලම් කරන්න මම වයසක වැඩියි." ඔහු කිව්වා.
"මගේ කඳ නැති වෙලා." ඇය කිව්වා. "ගහට නගින්නත් බැහැ"
"මට ගස් නගින්න මහන්සියි." ළමයා කිව්වා.
"මට සමාවෙන්න දරුවෝ මට දෙන්න දෙයක් නෑ." ගහ කිව්වා. "මම දැන් මොනවත් කරගන්න බැරි පරණ මුල් කොටයක් විතරයි. මට සමාවෙන්න..."
"මට වැඩිය මොනවත් ඕනේ නෑ." ළමයා කිව්වා. "ඕනේ වාඩිවෙලා ඉන්න නිසංසල තැනක් විතරයි. මට දැන් හරිම වෙහෙසයි..."
"හොඳයි" පුළුවන් තරම් කොටය සමතල කරමින් තරම් ඇය කිව්වා. "මේ පරණ කොටය ඉඳගන්න ඇති වෙයි නේ. එන්න දරුවෝ, ඇවිත් වාඩිවෙලා වෙහෙස නිමා ගන්න."
ඉතින් ළමයා එහෙම කළා.
ඉතින් ගහ සතුටු වුණා...

෴නිමි.෴


ප.ලි. : මේ Shel Silverstein නම් තැනැත්තිය විසින් 1964දී රචනා කළ ළමා පොතක් වූ The Giving Tree නම් කතාව. සමහර විට කලින් අහලත් ඇති. සෑහෙන්න සංවේදී ලස්සන කතාවක් හින්ද අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියල මම සිංහලට හැරෙව්වා. ඕනෙනම් ඒ කතාවම තියන වීඩියෝවත් බලන්න.