Monday, December 19, 2011

සිදුහත් අත්හල යශෝධරාව


ත්පලා පළතුරු අරන් ගියේ කුමාරිකාව ඒවාවත් කාවිද බලන්න. කුමාරිකාව දැන් සති ගණනාවක ඉඳල හරියකට කන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ. ඔහේ බලා ගත්තු අත බලාන ඉන්නවා. හරියට පණ ගිය ගානයි. අනික් අතට ඕක පුදුම වෙන්න දෙයකුත් නෑ. උන්නුගමන් කුමාරයා කුමාරිව දාල ගියහම ඔහොම නොවෙනවානම්නේ පුදුමේ. මහ රජ්ජුරුවෝ නම් කියන්නේ 'ඒකා මගේ ළමයෙක් වෙන්න බෑ' කියලයි. උත්පලා නම් වැඩියත් දුක් වුණේ අලුත උපන් කුමාරයා ගැන. ඉපදුනු ගමන් මූණවත් බලන්නේ නැතිව දාල යන්න පුළුවන් මොන තාත්තටද.

"කුමරිය, මේ පළතුරුවත් කෑවනම්..."
"මට එපා උත්පලා, ඕවා අරන් යන්න."
"අනේ එහෙම කියල කෝමද, පුංචි කුමාරයා ගැනවත් හිතන්න එපායැ..."

ඡන්න ඇවිත් කුමාරයා ආරණ්‍යවාසී වෙන්න ගියා කිව්වහම යශෝධරාට උන් හිටි තැන් අමතක වෙලා සිහි නැති වුණා. ඈ හිතුවේ මේ දකින්නේ නරක හීනයක් වෙන්න ඇති කියලා, ඒක කවදාවත් ඉවර නොවෙන හීනයක්. කොහොමහරි ගිහින් හොයාගෙන 'මගෙන් උන වැරැද්ද මොකද්ද දෙයියනේ?' කියලා කුමාරයාගේ දෙපාමුල වැටිලා කෑගහල අඬන්න හිතුන වාර අනන්තයි. ඒ වගේම 'සිද්ධාර්ථ කියන්නේ මහා ආත්මාර්ථකාමී නරුමයෙක්' කියලත් නොහිතුනා නෙවෙයි. කොහොම උනත් යශෝධරාට කුමාරයා හිටියේ මොකක් නමුත් ප්‍රශ්නෙක හිටියේ කියලා මතක් වුණා. ඒ බව ඇහුවාහම සිද්ධාර්ථ කළේ ලාවට හිනාවෙලා ප්‍රශ්නේ මග ඇරලා ගිය එක විතරයි.

කුමාරයා ගියාට පහුවදා ඉඳලම කුමරිය ආභරණ පැළඳුවේ නෑ, වත්සුණු තැවරුවේ නෑ. ඇන්දේ සරල චාම් ඇඳුම් විතරයි. එහෙම කරන්නේ කාවෙනුවෙන්ද කියලයි හිතුවේ. එදා ඉඳල දවස් ගානක්ම මොනවත්ම නොකා හිටිය නිසා පුංචි කුමාරයට කිරි දෙන්න කිරි අම්මාවරු ගෙන්නන්න වුණා. ප්‍රජාපති දේවිය ඇවිත් හිත හදල හදල කෑම කවල ගියාට පස්සෙයි, යශෝධරට යන්තන් පණ ටිකක් ඉනුවේ. මේ දවස් ටිකට කුමරිකාවක්ද කියලා හිතාගන්නවත් බැරි තරමටම යශෝධරා වෙනස් වෙලා හිටියා. යශෝධරාට එකම සතුට වුණේ රාහුල කුමාරයා විතරයි. රාහුල හීනෙන් හිනාවෙනකොට, ඇඟට එතිලා නිදියන කොට, තමන් දිහා බලලා ඇසිපිය ගහන කොට යශෝධරා හිතාගත්තේ කවදාවත් තාත්ත වගේ අත්හැරලා යන්න දෙන්නේ නෑ කියලා.

පහන් දැල්ලෙන් කුමාරිකාවගේ මලානික මුහුණේ කඳුළු බින්දු දිලිසුනා. කඳුළු පිහදගත්ත යශෝධරා හිමිහිට පළතුරු කන්න ගත්තේ කිසිම කැමැත්තකින් නෙමෙ යි, කන්න උවමනාම නිසා. විශාල යහනේ නිදන් හිටියේ පුංචි කුමාරයා. යශෝධරා පැත්තකින් වාඩිවෙලා කුමාරයා දිහා බලන් ඉඳිද්දී තමයි දේවදත්ත කුමාරයා ආවේ.

"නංගා, කොහොමද?" යශෝධරා උත්තර දුන්නේ නෑ. දේවදත්ත උත්තරේ දැනගෙනමයි හිටියේ. "මම මේ ආවේ නංගිව එක්කන් යන්න."
උත්පලා අයියල නංගිලට කතාකරන්න ඉඩ දීලා යන්න ගියා.
"මට බැහැ" යශෝධරා හෙමිහිට උත්තර බැන්දා.
"බැහැ කියල කොහොමද, දැන් මෙහෙ නංගිට කවුරුත් නෑනේ."
"ඉන්නවා, මේ මගේ පුතා..."
"ඒක තමයි කිව්වේ, මේ දරුවත් එක්ක තනියම ඉන්නේ කොහොමද? පියරජතුමා ඉන්නේ තරහින්, ආවේ නැත්තන් ප්‍රශ්නයක් වේවි."

යශෝධරා දිග සුසුමක් පිටකළා. රාහුල නැගිටලා අඬන්න පටන්ගත්තා. යශෝධරා කමින් හිටි පළතුරු පැත්තකින් තියල දරුවාව වැදගත්තේ බොහොම සෙනෙහසින්. වඩාගෙන ටිකක් නලවන කොට රාහුල අයෙත් නින්දට වැටුණා.

"හ්ම්ම්,,, මට හිතන්න තිබුණා මෙහෙම දෙයක් වේවි කියල, ඒ දවස්වල එක එක අනාගත වාක්‍ය අහන්න ලැබුනත් අපි ඒවා විශ්වාස කළේ නෑ."
"දැන් ඔය පරණ දේවල් වැඩක් නෑ අයියා. මට ඕනේ පුතාව ලොකුමහත් කරන්න විතරයි"
"මෙහෙ අය නංගිට හරියට සලකන එකක් නෑ."
"නැහැ මේ අම්ම තාත්තා මට කවදත් හොඳට සැලකුවා, තාමත් එහෙම්ම ම යි."
"පස්සේ පස්සේ හරි නැති වෙයි. කොහොමහරි අපි නංගිට හැමදාම ඉන්නවා ප්‍රශ්නයක් වුණොත් මට කියන්න."
"මම දන්නවා අයියේ."
"සිද්ධාර්තව හොයන්න කවුරුත් යැව්වේ නැද්ද?"
"යැව්වා, අලාරකාලාම ගුරුතුමා ගාව ඉන්නවා කියන්නේ. ආයේ මාලිගාවට එන්න බෑ කිව්වලු..." අන්තිම වචනටික ඇහෙද්දී දේවදත්ත නැගිට්ටවුණා. තමන්ගේ නංගිට වුණු අසාධාරණය වෙනුවෙන් නැගුනු තරහ පාලනය කරගන්න ලොකු ආයාසයක් යොදන්න වුණා. 

"කේන්ති අරන් වැඩක් නෑ අයියේ, ගිය කෙනා ගියා, එච්චරයි."
"නංගි කලකිරීමෙන් නේද ඉන්නේ?"
"හ්ම්ම්,,, දැන් කලකිරිලත් වැඩක් නෑ. සිද්ධාර්ථ ගැන වෛරයක් ඇත්තෙත් නෑ. මම හිතන්නේ පුතා ගැන විතරයි." දේවදත්තට තමන්ගේ නංගි ගැන හිතල දුක්ගත්තා, දරාගන්න බැරි දුකක්.
"මම යනවා නංගි" දේවදත්ත යශෝධාරගේ ඔලුව අතගාල යන්න හැරුණා. යශෝධරාට පොඩි කාලේ මතක් වුණා. අයියා තමන්ව කොච්චර ආරක්ෂා කළාද, මව්රැජින තමන් වෙනුවෙන් කොච්චර වගකීම් දරාගත්තද, පියරජතුමා තමන් ගැන කොච්චර ආඩම්බර වුණාද. යශෝධරා ඒ වතාවේ කඳුලක් හෙළුවේ තමන්ගේ පවුල වෙනුවෙන්.
"අයියා, අම්ම තාත්තා මතක් කළා කියන්න." යශෝධරා කිව්වා.

9 comments:

  1. දෙවනි ඡේදෙ "ඒ බව ඇහුවාහම සිද්ධාර්ථ කළේ ලාවට හිනාවෙලා ප්‍රශ්නේ මග ඇරලා ගිය එක විතරයි." කෑල්ලත් එක්ක මටත් හිනාවක් ගියා... උඹේ හැම පෝස්ට් එකකම ඔහොම කෑල්ලක් තියෙනව... (දැන් මගේ පෝස්ට් එක ලිමිට් කරන්න වෙනව)

    සම්පූර්ණ පෝස්ට් එක ගැන කියනව නම් උඹ ඇරෙන්න කී දෙනෙක් සිදුහත් කුමාරයගෙ කතාවෙන් එලියට ගිහින් මේ පැත්ත බැලුවද දන්නෙ නෑ.. අවංකවම මම නම් බලල නෑ.. ඒත් පෝස්ටුවෙ එක්ක ෆිල්ම් එකක් වගේ මැවිල පේන්න ලියල තියෙනව... නියමයි සහෝදරය..

    ReplyDelete
  2. ලස්සනට ලියලා...

    මම ආසම චරිතයක් යශෝධරා. එයා ගැන පෝස්ට් එකක් කරන්ටත් ආසාවක් තිබුනා. මගේ ඇහෙන් එයා දිහා බලලා. සමහරවිට මම ඒක කරන්ටත් ඉඩ තියනවා. ඔයාගේ පෝස්ට් එක දැක්කට පස්සේ තවත් ආසා හිතුනා.

    ඇයි සිදුහත්ගේ පැත්තෙන් මේ කතාව දිහා බැලුවේ නැත්තේ? සැමියෙක්ගේ ඇහැකින්....

    ReplyDelete
  3. හොද නිර්මාණයක්.
    @පොඩ්ඩි
    අපි මෙතෙක් කාලයක් බැලුවෙ ඒ පැත්තෙන්නේ. දැං තමයි අනිත් පැත්තෙන් බලල තියෙන්නෙ.

    ReplyDelete
  4. "කේන්ති අරන් වැඩක් නෑ අයියේ, ගිය කෙනා ගියා, එච්චරයි."

    ඔය වාක්‍යයට ගොඩක් යශෝධරාවාදියෝ කැමැති වෙන එකක් නෑ. මොකද එයාලට අනුව සිතුවිල්ලකින් ලක්ෂෙකින් කෑල්ලක් තරමින්වත් යශෝධරා පතිභක්තිය, ආදරය විනාශ කරගෙන නෑ. ඒත් යශෝධරාත් එහෙම නොවන ගැහැණියක් කියන එක ඉහත වාක්‍යයෙන් කියවෙනව.

    ReplyDelete
  5. නියමයි මචෝ... සාතන් කිව්ව වගේ චිත්‍රපටියක ජවනිකාවක් වගේ දැණුනෙ. ඇත්ත කතාවත් මේකට වඩා වෙනස් වෙන්න නැතිව ඇති. අපි දන්නෙ උත්කර්ෂයට නංවපු වර්ෂන් එකක්නේ...

    ReplyDelete
  6. දේවදත්ත ගැන හැමදාමත් මගේ හිතේ කොනක දයාවක් තියෙනවා.තමන්ගේ රාහුල බෑනාට හැමදාමත් නොවෙනස්ව දක්වපු ආදරය වෙනුවෙන්

    ReplyDelete
  7. අපූරුවට ලියලා යාළුවා...

    ReplyDelete
  8. @සාතන්: හෙහේ, එහෙම කොටසක් එකතු කරන්නේ සවිඥානිකව නෙමෙයි හැබැයි.
    ස්තුතියි සහෝ.

    @Kumarihami: බොහොම ස්තුතියි.
    ලියමු ලියමු, කුමාරිහාමි දකින විදිහත් දැනගන්න කැමතියි.
    ඇත්තම කිව්වොත් ලිව්වේ නැත්තේ සැමියෙක් විදිහට ඔහුගේ අත්දැකීම් මට හිතාගන්න අපහසු නිසා.

    @රාජ්: බොහොම ස්තුතියි.

    @Outsider: ඔව්, අකමැති වෙන්න ඉඩ තියනව. සමහර විට එය මගේ හෝ ඔවුන්ගේ අඩුපාඩුවක් වෙන්න ඇති.

    @Prasanna: ස්තුතියි.

    @hare: බොහොම ස්තුතියි.

    @Dinesh: ස්තුතියි යාළුවා.

    ReplyDelete