Tuesday, November 22, 2011

සුනේත්‍රාගේ පහස ලැබ | To Sunethra, with Love.



මේ කියන්න යන්නේ සුනේත්‍රා ගැන, එහෙමත් නැත්තම් සුනේත්‍රා රාජකරුණානායක නම් සම්මානනීය ලේඛිකාව ගැන. මට සුනේත්‍රා ව මුණගැහුනේ මීට අවුරුදු හය හතකට කලින්. ඒ මගේ අක්කා කෙනෙක් ළඟ තිබුණු 'පියනි මණ්ඩපය' කියවීම හරහා. සුන්දර සිහිනමය චීන නාඩගමක් ආශ්‍රයෙන් ලියවුණු එය මම සුනේත්‍රාගේ කැමතිම පොත්වලින් එකක්. ඒත් එතනින් එහාට සුනේත්‍රාගේ පොත් කියවීමේ අවස්ථාවක් කාලයක් යනකම් ලැබුනේ නෑ. ඊළඟට ඇයව හමුවෙන්නේ 2008 වසරේදී, ඒ ඇය සම්මාන ගණනාවක්ම 'පොදු පුරුෂයා'ට හිමි කරගත්තට පස්සේ. පොදු පුරුෂයා මම තුලින්ම දකිමින් මම ඒකට බැඳෙන්න ගන්නවා. ඔන්න ඉතින් මමත් සුනේත්‍රා සින්ඩ්‍රෝමයෙන් ආතුර වෙනවා. අමුතුවෙන් කියන්න ඕනේ නෑ, සරසවියේ තියන සුනේත්‍රාගේ පොත් කන්දරාවම මගේ පොත් ගොඩටත් එකතු වෙනවා. වහින වෙලාවට ඇඳට වෙලා කොපි බිබී ඒවා කියවනවා, නිදිමත වුණහම එහෙම්ම ම ඇයත් එක්ක නිදා ගන්නවා. සුනේත්‍රා මගේ ජීවිතේට එකතු වෙන්නේ ඔහොමයි. දැන් ඇය සැලකිය යුතු තරම් මට බද්ධ වෙලා. ඕනෙනම් දැන් මට යම් සිද්දියක් ගැන ඇය මොන මතයක් දරාවිද කියල උපකල්පනය කරන්න පුළුවන්. මේ කතාබහත් ඒවගේ. සැබෑවට ඇයව මුණගැහෙන්න අවස්ථාවක් මට ලැබිල නෑ (ලැබෙනවා නම් කොච්චර හොඳද!). මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්නෙත් මම ම යි, හැබැයි ඒ මම ඇයගේ ප්‍රතිරූපයට ආරූඪ වෙලා.

මම: ඔබ කැමතිම ඔබේ පොත මොකද්ද?
සුනේත්‍රා: ඕක තමන්ගේ ළමයි කිහිප දෙනෙක්ගෙන් වැඩිපුරම ආදරේ මොන ළමයටද කියල අහනවා වගේ වැඩක් නේ. මෙහෙමයි, එක එක නිර්ණායක අනුව මගේ නිර්මාණ වර්ග කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට මුලින්ම රාජ්‍ය සම්මාන ලැබුණු 'රිදී තිරංගනාව' වඩා හොඳයි කියල කෙනෙක්ට කියන්න පුළුවන්.
මම:  හරි ඒ ප්‍රශ්නෙම මෙහෙම ඇහුවොත් ඔබට අනුව වඩාත්ම සාර්ථක නිර්මාණය කුමක්ද?
සුනේත්‍රා: සම්මාන ලැබීම සාර්ථකත්වය කියල සලකනවා නම් රිදී තිරංගනාව, පොදු පුරුෂයා, කවි කඳුර සාර්ථකයි කියල කියන්න පුළුවන්. ඒත් මට අනුව සාර්ථකත්වය තීරණය වෙන්නේ පාටකයාට ඒ කෘතිය කරන බලපෑම හරහා. ඒක ඇත්තෙන්ම බොහොම සාපේක්ෂ දෙයක්.
මම: ඔබේ බොහොමයක් නිර්මාණ වල තියෙන්නේ පරාජිත ප්‍රේමය නැත්තම් තාවකාලික ආදරය. ඔබ කියන්න හදන්නේ සදාකාලික ආදරයක් නෑ කියලද නැත්තම් ඔබට අත්දකින්න ලැබුනේ එහෙම සම්බන්ධතා විතරද?
සුනේත්‍රා: නැහැ, මම කතාකරල තියනවා. පොදු පුරුෂයා කියන්නේ සදාකාලික ප්‍රේමයක් ගැන කතාකරන නිර්මාණයක්. ඒ සදාකාලික ප්‍රේමය තමයි මමංකාරයෙන් තොර මෛත්‍රිය. ඒ කියන්නේ සියලුම ප්‍රේමයන් එකිනෙකට සම්බන්ධ වෙන සියුම් හුයකින් බැඳෙන මෛත්‍රී සුත්‍රය. ඒක එක අතකින් භාවනාවක් වගේ. තමන්ට තමන් ආදරේ කරන අතරේ ඒ ආදරය අනෙක් පුද්ගලයන්ටත් විහිදෙනවා. ඒක බොහම විරාගි යි, එනිසා කාලයෙන් ප්‍රශ්නයක් එන්න විදිහක් නෑ. අකාලිකයි. බුදුහාමුදුරුවෝ නාලාගිරි මෙල්ල කරන්නෙත්, අංගුලිමාලට රහත්වෙන්න පාර කියන්නෙත් ඔය මෛත්‍රී සුත්‍රයම යි. ඒ සදාකාලික ආදරය අවෛරයම යි. ප්‍රභාකරන්ට වුණත් ළඟම නෑයට වුණත් සමානව සලකන්න පුළුවන් වෙන්නේ ඒ මෛත්‍රී සූත්‍රයෙන්.

ඔය විදිහට තව තවත් ඉදිරියට කතා කරගෙන යන්න පුළුවන් වුණත් මම මෙහෙම කරන්නේ නෑ, මොකද මගේ හිතේ ඇඳුනු සුනේත්‍රා සැබෑ සුනේත්‍රා සමග කොච්චර දුරට සමපාත වෙයිද දන්නේ නැති නිසා. කොච්චර නොගැලපීම් තිබුණත් දෙන්නා කෙහෙවලු පටලව ගන්න එකක් නෑ කියලනම් විශ්වාස යි. කොහොම වුණත් දැන් මේ ලියන්නේ මම වඩාත්ම ප්‍රිය කරන, සුනේත්‍රා විසින් රචිත කෘති කිහිපයක් ගැන කෙටි සටහන්.

රිදී තිරංගනාව
මෙය ඇය ලියූ, මා වඩාත්ම ප්‍රියකරන පොත කියල හැඳින්වූවාට වරදක් නෑ. ඒ මනුශිගේ කතාව, නැත්තම් මාශලා මානෙල් නම් බෞතිස්ම ලද්දියගේ ජීවිත කතාව. පොත ආරම්බයේදී ඇති ප්‍රවේශ කතා වස්තුවේදී ඇය මෙහෙම කියනවා,
මට මුණු පහක් තියනවා
අත් දහයක්
පංච මූර්තියක්...
මේ ඒ පංච මුර්තියේ කතාව, මාශලා අත්දැකීම් සමග පරිවර්තනයේ රංගනය. එක අතකින් මෙය සිනමා නිර්මාණයක්. රංගන ශිල්පිනියක් අලලා සෑදු චිත්‍ර පටයක්. එනිසාම වෙන්න ඕනේ කතාවේ තියෙන්නෙත් නිකම් සිනමාත්මක බවක්. ඒක එක පැත්තකින් යථාර්ථවාදයත් අනෙක් පසින් ෆැන්ටසියත් අරගෙන ඒදණ්ඩ තරණය කරනවා වගේ. හිමිවීම, ඒ සමගම එන අහිමි වීම, ප්‍රේමය හා විරහව, අතීතකාමය, සතුට දුක ආත්ම අනුකම්පාව එක්ක බැඳුනු මනුෂී නම් නිළිය ධර්ම චක්‍රය හරහා නොනවතින ගමනක යන්නේ විටක ශ්‍රී දේවිය වෙලා තවත් වෙලාවක කාලි යක්ෂණිය වෙලා. හැම කතාවක වගේම සුනේත්‍රාගේ ස්ත්‍රීවාදී දෘෂ්ටිය තුලින් බලන සමාජය, ප්‍රේමය, පිරිමියා, මිනිසුන්, දේශපාලනය, කලාව, මාධ්‍ය මෙහිත් වඩාත් පුළුල්ව විවරණය කරන්න ඇය සමත් වෙලා (මේ පොතේ වඩාත් හොඳින් ගුණාගුණ පිරික්සන්නට නම් වෙනම ලියන්න වෙනවා, එය පස්සට තබමු).

ප්‍රේම පුරාණය
කතෝලිකයට බයිබලය වගේ මෙය සෑම සුනේත්‍රා පාටකයෙක් සතුවම තිබිය යුතු පොතක්. ඕනෙනම් මේ සුනේත්‍රාගේ සාරය ලෙස හැඳින්වූවාට වරදකුත් නෑ, ඒ ඇය සෑම කෘතියකින්ම කියන්න හදන පණිවිඩය මේ හරහා අඩු/වැඩි වශයෙන් කියවෙන හන්ද. උවමනා නම් කෙනෙකුට කෙටිකථා සංග්‍රහයක් කියල හැඳින්විය හැකි සුනේත්‍රාට අනුව නම් නවකතාවක් වන මෙහි ඇත්තේ නිර්මලා තම ජීවිතයේ මුහුණදෙන අත්දැකීම් කිහිපයක්. පොතේ පසු කවරයේ මෙහෙම තියනවා,
නිර්මලා තම ජීවීන අත්දැකීම් පමණක් නොව අනුන්ගේ ජීවන වෘත්තද නව ශාන්ති මාර්ගයකට විලක්කු එළි බවට පත් කර ගන්නීය. ඇය පෞද්ගලික පරාජයන් ශක්ති ප්‍රවාහයක් බවට පත් කරන්නට තැත් කරන්නීය. නිර්මලා ශුද්ධ ස්වරයක්, බ්‍රහ්ම සංකේතයක් හා ගැඹුරු දේශපාලන වන කැළැල් සුවයට ප්‍රේමයේ නව බසක් සොයන්නීය.
නිර්මලා සොයන්නේ පුණ්‍යවන්තයන්ට හා පිළිගත් සුචරිත නියමයන්ගේ වෙස් මුහුණු පැළඳ සිටින්නන්ට පමණක් නොව සියලු පව්කාරයන්ටද ප්‍රේම කළ හැකි මාර්ගයකි.
කලින් කිව්වා විදිහට මෙය මට බයිබලය වගේ හින්ද මම සෑහෙන වතාවක් කියවල තියනවා. ඉදිරියටත් ප්‍රශ්නයක් නැතුව කියවන්න පුළුවන් වේවි.


විස්තර කරනවා නම් සුනේත්‍රාගේ පොත් හැම එකක්ම වුණත් ගන්න පුළුවන්. ඒත් අවශ්‍ය නෑ, මේ දෙකෙන් යම් අදහසක් ලැබෙනවා. තවත් මම කැමති කෘති ලෙස මේවා නම් කළ හැකි යි. පොදු පුරුෂයා, හර්ද සූත්‍රය, සුබෝධාලංකාරය, කවි කඳුර, සඳුන් ගිර ගිනි ගනියි, මතක පොත හා පූර්ව ජන්ම අපූර්වය. අවසානයේ කියන්න තියෙන්නේ මේ ලිපිය සුනේත්‍රට භක්ත්‍යාදරය දැක්වීම සඳහාම ලියූ බව. මේ ලිපිය අවසානයට ප්‍රේම පුරාණයේ ඇය ලියූ පිදුම ගැලපේවි කියල හිතනවා.

ප්‍රේමයෙන්ම හුස්ම ගනිමි
ප්‍රේමයෙන්ම හුස්ම හෙලමි
ප්‍රේමයේ ඔසු වනයේම සරා ඵල නෙලමි
සිත් චිත් ආනන්දයෙන්
ප්‍රේමයේම සුවය සොයමි
මම මා ප්‍රේමයෙන්ම
ශුන්‍ය ප්‍රීතියට මුසු කරමි
අසංග වූ ප්‍රේමයෙන්
මේ ප්‍රේම පුරාණය 
ප්‍රේමයටම පුද කරමි

11 comments:

  1. මමනම් ඇයගේ පොත් කියවලා තියෙන්නේ අඩුවෙන් මට මතක හැටියට.. ලංකාවෙන් ආවට පස්සේ පොත් කියෙවුවෙම නෑ..

    ReplyDelete
  2. මම එක පොතක් වත් කියවලා නෑ වගේ..ලැජ්ජයි තමා ඒත් මම පරිවර්තන කෘති වලට ඇබ්බැහි නිසා වෙන්ට ඇති.....
    කිවන්න වෙයි දැන් හොයාගෙන වත්!

    ReplyDelete
  3. කිව්වම මොකද මටත් ඔය අසනීපෙම තියෙනව... මං ඈව අඳුනගත්තෙ අපේ නැන්දල දෙන්නගෙ පරණ ශ්‍රී සඟරාවල මහ දිග කතාවලින්.. වයසට වඩා පැහිච්ච දේවල් කියවපු පොඩි කාලෙ ඒ මහ දිග කතාව තියවපු මතකෙට මම ඉස්සෙල්ලාම ඇගේ පොතක් පුස්තකාලෙන් අරන් ආවෙ.. මං හිතන්නෙ ඒ සඳුන් ගිර ගිනි ගනියි.. ඇගේ පලමුවෙනි පොත... එදා ඉඳල මම ඇගේ පොත් එකතු කරනව. මං හිතන්නෙ මම වැඩිම වාර ගණනක් කියවන්නෙත් ඇගේ පොත්... එකක් හෝ දෙකක් හැරෙන්ඩ අනිත් සියල්ලම වාගෙ පොත් මගේ ලඟත් තියෙනව... දැන් මේක කියවන ගමන් මම කල්පනා කලේ මගෙ රිදී තිරංගනාවි කෝ කියල... කවුරු හරි ඉල්ලන් ගියා ගියාමයි හොයා ගන්ඩ නෑ....එයාගෙ ටින් කිරි පැටියා කියල පොතක් කියෙනව.. මං තාමත් ඒක හොයනව...
    මම නම් තාමත් ආසම එක ප්‍රේම පුරාණය තමයි...!!

    ReplyDelete
  4. මටත් ඉතින් ඔය ලෙඩේ බොහොම දරුණු විදියට තියෙනවා. සුනේත්‍රගෙ පොතක් ඇත්නම් වෙන මොකුත් එපා

    ReplyDelete
  5. මම නම් හිතන්නේ මම ඉස්සල්ලම කියෙව්වේ එයාගේ 'පොදු පුරුෂයා' කියන කතාවයි. ගෑනියෙක්ට මෙහම ලියන්ට පුලුවන්ද කියලා (විශේෂයෙන් ලංකාව වගේ රටක ) ලොකු පුදුමයකුත්, එහෙම කරපු එක ගැන ලොකු ආඩම්බරයකුත් හිතට ආවා. එයාගේ සම්මාන හම්බ උනු අලුත් පොතත් කියෙව්වා. මේවා ලියලා හම්බවෙන සල්ලිවලින් එයා ඉන්දියාවේ සංචාරය කරනවා කියලත් තිබුනා වගේ මතකයි.

    ඔයයි, එයයි අතර වෙලා තියෙන සංවාදෙත් බොහොම අගෙයි...:D

    අම්මෝ පිදුමේ ලස්සන....

    ReplyDelete
  6. @Dinesh: පුළුවන් වෙලාවක කියවන්න යාළුවා, කියවන්න වටිනවා.

    @ගලයා: හෙහේ, ඕකට ඉතින් ඔච්චර ලජ්ජා වෙන්න ඕනේ නෑ, මොනම පොතක් වත් නොකියවන අයත් ඉන්නවනේ. හොයාගෙන කියවන්න.

    @hansakinkini: මම ඇය ශ්‍රී සඟරාවට ලියූ දෑ කියවල නෑ. මමත් ප්‍රේම පුරාණයට සෑහෙන්න කැමතියි. අත්දැකීම් බෙදාගත්තට ස්තුතියි.

    @mier: ඕකනම් මටත් අදාලයි. :)

    @Kumarihami: ඔව්, සුනේත්‍රා නිර්භීත ලේඛිකාවක්.
    ස්තුතියි.
    ලස්සනයි නේ? එකනේ තෝරාගත්තේ. :D

    ReplyDelete
  7. ගොඩක් උදවියගෙ වර්ණනා කරන නිසාම මමත් බත් තරංග අරන් ඇවිත් කියෙව්ව.. හැබැයි භාගයයි..

    මගේ අවංක අදහස කියනව නම්, මට දැනෙන විදිහට උඹ ලියන ඒව ඊට වඩා ගොඩක් ඉස්සරහින් තියෙනව..

    ReplyDelete
  8. @සාතන්: සුනේත්‍රාගේ පොත් කියවලම නැත්නම් කියවන්න පළවෙනි පොත විදිහට මම 'බත් තරංග' නිර්දේශ කරන්නේ නෑ. පෞද්ගලිකව නම් මම ඒ පොතට එච්චර කැමති නෑ. තේමාව, ලිවීම අතින් වගේම කතාව අතිනුත් මෙය මටනම් එතරම් සාර්ථක නෑ. කොහොම වුණත් ඉතිරි ටිකත් ඔහොම්මම කියවල බලන්න.

    ReplyDelete
  9. සුනේත්‍රා රාජ කරුණානායක මහත්මියගෙ බොහොමයක් පොත් මම කියවලා තියෙනවා. නමුත් ඔය බත් තරංග කියන පොත නම් කියවලා නෑ. මට සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ පොත් කියවන්න ආසා හිතුනේ දිවයින පත්තරේ පළවුණු "මතක පොත" කියන තීරු ලිපිය කියවලා....

    ReplyDelete
  10. මට මග ඇරිල තියෙන්නෙ සුබෝධාලංකාරය විතරයි.... මමත් හරිම කැමති ලේඛිකාවක්... ඇත්ත තමයි එපා වෙන්නෙ නෑ එයාගෙ පොත්.... හිරණ්‍ය සුනේත්‍රා දෙන උත්තර ලියල තියෙනවනේ.. මට හිතෙන්නෙ ඇත්තටමත් එයා දෙන්නෙ ඔය වගේ උත්තර තමයි කියලයි....

    ReplyDelete