Thursday, December 1, 2011

ළය විරේකය හා සෝ අවශෝෂකය



පහුගිය දින කිහිපයම ගෙවුනේ සාතන්ගේ ලෙඩේ බෝවෙලා බොහොම උදාසීන ව, මොනවත් ලියන්නවත් ලියූ දෑ කියවන්නටවත් ඇති කැමැත්ත අඩුවෙලා තිබුණා. මේ ලියන්නේ ඒ නරක පුරුද්ද ඇබ්බැහියකට යන එක නතර කරන්න. ඒ දවස් කිහිපය අතරේ මට දුරින් යාලුවෙක් වෙන කෙනෙක්ගේ (ඒ කිව්වේ යාලුවෙක්ගෙ යාලුවෙක්) දුක්ගන්නාරාල වෙන්න සිදුවුණා. තව කෙනෙකුගේ දුක් ගැනීම කියන්නේ බොහොම ආතතියක් ගෙන දෙන කටයුත්තක් වුණත් මම ඒ කතාව අහන් හිටියේ ඒ යාලුවට හරි ඒකෙන් සහනයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්.

ඒ යාලුවට වෙලා තියෙන්නේ තමන් ආදරේ කළ කෙනා තමන් ඉදිරියේම වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්න විතරක් නෙමේ ඒකට උදව් කරන්නත්. මෙහෙම අහන්නේ නැතුව විස්තර ලියන එක කොපමණ දුරට නිවැරදිද කියල නොදන්නා නිසා මට වැඩි විස්තර කියන්න විදිහක් නැහැ. කොහොම වුණත් ඒ යාළුවා -අසංක කියමු- විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා විවාහ වෙන්නේ වෙන කෙනෙක් එක්ක. ඒ පවුල් දෙකම සමීප පවුල් නිසා අන්තිමට ඔහුටම ඒ විවාහය වෙනුවෙන් උදව් කරන්න සිදුවෙනවා. ඔහු ඉදිරිපිටම ඇය අසංකව නොවෙන කෙනෙක් හා විවාහ වෙනවා, අසංකට ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇතිද කියල මට හිතාගන්න අමාරුයි. ඒ යාළුවා මාත් එක්ක කතා කරද්දී ඇඩුවේ නැති වුණාට ඇස් වල තෙරපෙන දුක දකින්න අමාරු වුණේ නෑ. අපි එතරම් සමීප මිතුරොත් නෙවෙයි, ඒත් අසංක කතාව කියන්න ඇත්තේ තමන්ගේ කතාව කාටහරි කියන්න ඕනේම වුණු නිසා වෙන්න ඕනේ.

ඔය විදිහට අසංක ළය විරේක කළාට පස්සේ ශෝක අවශෝෂකය වෙන්නේ මම යි. අසංකට දෙන්න උත්තරයක් ම සතුව තිබුනේ නෑ, අනිත් අතින් ඔහු උත්තරයක් බලාපොරොත්තු වෙන්න නැතුවත් ඇති. සුනේත්‍රා ලියූ පූර්ව ජන්ම අපූර්වය කියවන්න කියල නිර්දේශ කරන්න හදලත් නිකන් හිටියේ ඒ වගේ අවස්ථාවක පොත් කියවන්න කීම කොහොම විදිහට බාරගනියිද දන්නේ නැති නිසා. පුළුවන් තරම් සැනසිලි වදන් මම කිව්වත් ඒකෙන් නම් වැඩක් වෙන්න නැතුව ඇති. ඒත් ළය විරේකය නිසා යම් තරමක සහනයක් ඔහුට ලැබෙන්න ඇති.

දැන් කියන්න යන්නේ සෝ අවශෝෂකය වුණු මා ගැනයි. අසංකගේ අත්දැකීම් බ්ලොග් කතාවකටනම් හොඳටම ගැලපෙනවා, ඒත් ඇත්තටම එය සිදුවෙද්දී ඒ පුද්ගලයට එය කොච්චර තදින් බලපානවද කියල තේරුනේ ඒ අවස්ථාවේදී යි. මීට සමාන කතාවක් සන්නස්ගල ලියූ 'මගේ කුළුඳුල් පෙම්වතිය' කෘතියෙත් ඇති බව පසුව මතක් වුණා. පොත කියවුවාට වඩා සෑහෙන ලොකු බලපෑමක් අත්දැකීම් බෙදාගැනීමෙන් ලැබෙනවා. ඒ එහි සජීවී බව උපරිමයෙන් අත්දකින නිසා විය යුතුයි.

කුමාරිහාමිගේ අත්තම්මා කිව්වා වගේ විවාහ වෙන්න ඕනේ එකට මිසක් වෙන්වෙලා ජිවත් වෙන්න බැරි කෙනාව මිසක් එකට ඉන්න පුළුවන් වේවි කියල හිතන කෙනාව නෙමෙයි කියලයි මමත් විශ්වාස කරන්නේ. මුදල්, තත්වය, තනි වීමට ඇති බය, අනුන්ව සතුටු කිරීම වගේ චූල අපේක්ෂා සඳහා විවාහ වීම නම් මට විහිළුවක්. ඒකෙන් පෙනෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ නොහැකියාව, ආත්මාර්ථය හා අසරණකම. එක අතකින් හැමදේටම වානිජකරණය ඔලුව දාපු ලෝකෙක පරමාදර්ශි ලෙස ප්‍රේමයක් විවාහය කරා යාම පුදුමයක් වෙන්නත් පුළුවන්. අසංකගේ පෙම්වතිය තමන්ට අනවශ්‍ය විවාහයකට කොටු වුණේ කුමන හේතුවක් නිසාද කියන්න නම් මම දන්නේ නෑ. සමහර විට එය දෙමව්පියන්ගේ අණට කීකරු වීම, තමන්ට තමන් වෙනුවෙන් නැගී සිටින්නට ඇති නොහැකියාව, ආර්ථික ප්‍රශ්නයක් හෝ සැබෑවටම ඇය අසංකට ආදරය නොකිරීම වුණත් විය හැකියි.

අසංකගේ කතාවෙන් බර වුණු හිත සැහැල්ලු කරගැනීමේ බලාපොරොත්තුවෙන් කවියක් ලියුවා. සාමාන්‍යයෙන් මා දමන්නේ කවිය විතරක් වුණාට කවියකට පූර්ව කතා, අතුරු කතා, පශ්චාත් කතා තියනවනේ, මේ කිව්වේ ඒ වගේ පූර්ව කතාවක්. මේ ලිපිය පෙර සූදානමකින් තොරව ලියූ නිසා කෙනෙක්ට බොහොම කම්මැලි වෙන්නත් නැතිනම් කමකට නැති හෑල්ලක් වෙන්නත් ඉඩ තියනවා. කොහොම වුණත් සුපුරු ලිවීමට අවතීර්ණ වෙන්න මේ ලිපිය පාර කියාවි.

නොහඳුනමි ඔබව මම
කව්රුන්ද ඔබ
අරක්ගත් මා පෙම්බරිය
කියූ පද ලියූ කවි
තනිකර අත්හැර දමා
පලායන කෝඩුකාරිය

නොහඳුනන ඔබව
පහසුය අතැර යාම
අප අපට නොහැඟෙන
සම්බන්ධය අසාර්ථක බැව්
දන්නා නිසා හොඳටම

පිට වන හුස්ම පොද ඔබ
මා කිසි දිනක හඳුනා ගත්
ගලා යන දිය පහර ඔබ
මා කිසි විටක ස්පර්ශ නොලත්
පියාඹන සරුංගලය නුඹ
මා සතුව එහි හුය නොමැති

ආයුබෝවන් නාන්නදුනන්නිය
නොහඳුනන ඔබ නොහැඟුණ 
සුබ ගමන් පෙම්බරිය
කිසි විටක ආලය කරනට
අවස්ථාවක් නොලද

8 comments:

  1. මමත් ගොඩක් වෙලාවට යාළුවන්ගේ ඔය වගේ කතා වලට ඇහුම් කන් දෙනවා.. අන්තිමට හිත සැනසෙන්න දෙන්න උත්තරයක් නෑ.. ඒත් නිහඩව අහන් ඉන්නවා ඇරෙන්න සමහර වෙලා වලට කරන්න දෙයක් නෑ..

    ReplyDelete
  2. සවන් දීම තමයි හොඳම උදව්ව. වෙන කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  3. මමත් ඔය වගේ මිනිස්සුන්ට සහ තවත් ජීවිතේ ප්‍රශ්න කියා ගන්න බැරිව ලතවෙන මිනිස්සුන්ට අසන්නෙක් වෙලා ඉඳලා තියෙනවා ඕනේ තරම්....

    ReplyDelete
  4. තනි අලියාDecember 2, 2011 at 12:57 PM

    සවන් දෙන එක තමයි හරි!

    හැබැයි ඔහොම එකක් උනානං පපුව පැලෙනව තමා! :(

    ReplyDelete
  5. @Dinesh: ඔව්, යාළුවා. ඒ ඇර අපට කරන්න දෙයක් නෑ.

    @Outsider: එකඟයි.

    @ලොකු පුතා : අසන්නෙක් වෙලා ඉඳීම පහසු නෑ. ඒත් අපි සවන් දුන් නිසා ඔවුන්ට සහනයක් ලැබීම ගැන සතුටුයි.

    @තනි අලියා: ඒකනේ, කොච්චර දුකක්ද දැනෙන්න වෙලා තියෙන්නම ඕනේ. :|

    ReplyDelete
  6. ඕවට උත්තර දෙන්න අවශ්‍ය නෑ යාලුව... අහන් හිටියහම ඇති... මට නම් ඔහොම එකක් වෙලාම නෑ ඕන්... ;)

    ReplyDelete
  7. ගෙදර හිටියේ නැති හන්දා ඔයාගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්ට බැරි උනා. ලස්සනම, ලස්සන කවි.

    අත්තම්මා මතක් කලාට බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete
  8. @සාතන්: වෙලාම නැත්තන් ඔන්න ආයේ අවස්ථාවක් අපු වේලාවකදී කියන්නම්. :P

    @Kumarihami: බොහොම ස්තුතියි.
    දැන් ඔන්න කුමාරිහාමි නිසා වලව්වේ අත්තම්මලගේ කතාත් මම දන්නවා.

    ReplyDelete