Tuesday, November 1, 2011

සංසාර ආරණ්‍යය : විකසිත ආදර ප්‍රාර්ථනා




වලාකුළු බැම්ම එපිටින් නුවර වැවේ කම්මැලි කමට වගේ රැලි ගහන අතරේ බැහැගෙන යන ඉර එලිය තරංග මත ආලෝක රටා මැව්වා. අපි, ඒ කියන්නේ මම හා ආදිත්‍ය ඇවිදමින් හිටියේ නුවර වැව වටා යන සංගරාජ මාවතේ පදික වේදිකාවේ. ඒක අර්ධ-අලස රස්තියාදුවක් වුණාට ඇත්තට ම නම් අපි අපේ හිත් සොයාගැනීමේ වීර චාරිකාවක්. ඔඩිසි වගේ කතාවක කියවෙන විදිහේ ආක්‍රමණ ශීලී යුද්ධ, නාවික ගමන්, දේව අනුග්‍රහයන් නැතිවුණත්, අටවක පුත්තු වල එන දමයන්ත තමන්ගේ මියගිය අඩහඳයාව තමන්ට හමුවෙන පුද්ගලයන් තුලින් සෙවීම වගේ ගවේශනයක් අප දෙදෙනා අතරේ නොවුණත් අපි අපිට තවත් සමීප වෙමින් තිබුණා. මගේ වචන වලින් කිව්වොත් සංසාර ආරණ්‍යය තුලට ආදිත්‍ය ආගමනය වීමේ ක්‍රියාවලිය ආරම්බ වුණා.

වසන්තය හේතුවෙන් ගස් වල මල් පිපිලා බිමට හැලිලා පදික වේදිකාව එක්තරා ආකාරයක මල් පලසක් කරලා තිබුණා. අපි ඇවිද්දේ ඔය මල් පලස උඩින්. ආදිත්‍ය මල් බේරලා අඩිය තියද්දි මම ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ. තැකීමක් කළේ නෑ කියන්නේ මට ඒ ගැන මතක් වුණෙත් නෑ. ඒ වගේ වෙලාවක බිම වැටුණු මල් පෑගෙයි කියල කරදර වෙන්නේ කව්ද.
"ඔය මල් පාගන්න එපා අපරාදේ..." ආදිත්‍ය කිව්වා.
"හ? කොහොමත් මේවා අපරාදේ තමයි."
"ඔව්, ඒත් පාගල දාන එක ඊටත් වඩා අපරාදයක්!"
ආදිත්‍ය ගේ කීම අහල මමත් මල් බේරමින් ඇවිදින්න ගත්තා. එහෙම ඇවිදින්න නම් කකුල තියන්න වෙන්නේ එක එක තැන වලින්. සමහර විට පනින්නත් වෙනවා, එක විදිහක අර පොඩි කාලේ කරන සෙල්ලමක් වගේ. කවුරුහරි අපිව දැක්කනම් පිස්සෝ දෙන්නෙක් කියල අපි හිතන්නත් ඉඩ තියනවා.

ඒ වෙනකොට අපි හොඳම යාලුවෝ වෙලා හිටියේ. ඉඳල හිටල 'තාම කම්මුල රිදෙනවද' කියල විහිලුවට අහනවා ඇරුණම අපි අතරේ ප්‍රශ්නයක් ඇති වුණෙම නැතිතරම්. අපි මුලිම යාලුවෝ ඊට පස්සේ පියවර විදිහට හොඳම යාලුවෝ බවට පරිවර්තනය වුණේ ඉබේටම වගේ. ඒ ක්‍රමයෙන්ම හොඳම යාලුවන් ගෙනුත් තව පියවරක් ඉදිරයට යැවුනේ අපිටත් නොදැනීමයි. ආදිත්‍ය ට මේ කියන දවසේ පන්ති ඉවර වුණාට ගෙදර යන්න කම්මැලි වුණා. මට ආරාධනා කළේ එයත් එක්ක ඔහේ රවුන් ගහන්න. මටත් ඒ අවස්ථාව මගාරින්න උවමනාවක් කොහෙත්ම නැති නිසා මම ආරාධනාව ඉහලින්ම පිළිගත්තා.

"කඩල කනවද?" වලාකුළු බැම්ම ඉවර වෙලා නාගරික තදබදය අඩු වුණාට පස්සේ කඩල විකුණන කරත්තයක් දැකල මම ඇහුවා. ආදිත්‍ය ඔලුවේ වැනුවේ 'හා' කියන්න. කඩල ගත්තට පස්සේ ඔහේ ඇවිදින එක නතර කරලා ගහකට හේත්තු වෙලා වැව දිහා බලාගෙන කඩල කන්න ගත්තා.

හිරු එලිය වැටීම ටිකෙන් ටික අඩු වෙලා අඳුරෙන් කඳු වැහෙන්න ගත්තත් එක්කම තැනින් තැන කෘතීම ආලෝක, ඒ කියන්නේ විදුලි බල්බ දැල්වෙන්න ගත්තා. පරිසරයේ උෂ්ණත්වය අඩුවෙලා සිසිලස ගලා එන්න පටන්ගත්තෙත් ඒ එක්කමයි.
"ප්‍රශ්නයක් අහන්න ඕනේ" ආදිත්‍ය කිව්වා. "ටිකක් විතර විකාර ප්‍රශ්නයක්..."
"මම, විකාර ප්‍රශ්න වලට කැමති යි."
"අපි කොහොමද යාලුවෝ උනේ?"
"හ්ම්,,, මාත් මේ හිතන්නේ මොකට යාලු උනාද කියල තමයි." මම හිනා වුණා. "නෑ මෙහෙම යි අඳුනගත්ත වෙලාවේ ඉඳල ඒක ඉබේම වෙච්ච දෙයක්."
"ඒක හින්ද වෙන්න ඇති ආපු ගමන් වලියක් ඇදගත්තේ?"
"ඕනේ නම් ඒක අඳුන ගැනීමේ උපක්‍රමයක් කියල හිතන්න පුළුවන්."
"නෑ, අපි සෑහෙන්න වෙනස්නේ"
"මම හිතන්නේ ඒක හොඳයි, අපි දෙන්න එක වගේ උනානම් කොහෙත්ම යාලුවෝ වෙන්නේ නෑ. අනික කොහොමත් මිනිස්සු එකිනෙකාට වෙනස් නේ. සමහර වෙලාවට අදහස් නොගැලපීම මත ඇතිවෙන සම්බන්ධය ශක්තිමත් වෙන්න පුළුවන්. මම හිතන්නේ මම අනිත් අයට යාලුවෙක් වෙන්න ඇත්තේ මම මාව අනික් පුද්ගලයන්ට ඉදිරිපත් කරන විදිහ වෙන්න ඇති. ඒ අනුව මාව විශ්වාසකරන මට්ටමට ඒ පුද්ගලයා මානසිකව සකස් වෙනවා ඇති, මම මාවම අගයකරගෙන උද්දච්ච විදිහට හිටියනම් එහෙම වෙන එකක් නෑ. ඒත් ඒකම තවත් කෙනෙක් මම කරන්නේ බොරු රඟපෑමක් කියල හිතන්නත් පුළුවන්. පුද්ගලයන් තමන්ව ඉදිරිපත්කරන සහ ඒ ඉදිරිපත් කිරීම අනෙක් අය බාරගන්න විදිහ විවිධකාරයිනේ. පෞද්ගලිකව මම ආදිත්‍ය ට කැමති උඹ හැමෝටම හොඳින් කතාකරන සලකන, බොහොම සැහැල්ලු, සතුටින් ඉන්න උත්සහ කරන චරිතයක් හින්ද. "
"හ්ම්,,, ඔය කියන දේවල් මම කරන්නේ හිතල නෙමෙයි. සමහර විට ඒ ඒ පුද්ගලයා කරන්නෙත් නොදැනුවත්වම, නැත්තම් සමහර විට ඒ එයාලගේ හැටි වෙන්න ඇති."
"ඔව්, වැදගත් වෙන්නේ තමන් තමන්ම විතරක් වීම."
"ඒක සෑහෙන්න පුදුමයි, මොකද සමහර වෙලාවට තමන් යාලු වෙලා තියෙන්නේ තමන්ට වෙන්න අවශ්‍ය පුද්ගලයා එක්ක."

ඔය විදිහේ ප්‍රශ්න වට, කතා තුලින් වුණේ අපි අපට ලංවෙනවාටත් වඩා මම මාවම තේරුම් ගැනීමක්. ඒ ආදිත්‍ය අහන ප්‍රශ්නවලට උත්තර දීමෙන් මම මාවම ප්‍රශ්න කරගන්න නිසා. කාලයත් එක්ක ඒක විශේෂ ප්‍රාගුන්‍යයකට හැරුණා. අර කලින් කිව්වා වගේ ඒකෙන් වුණේ ආදිත්‍ය සංසාර ආරණ්‍යයට ඇතුල්වීම, ඇතුලත් කරගැනීම කළේ මම වුණත් ආදිත්‍ය ඒකට නොදැනුවත්වම උදව් දුන්නා. මම අභ්‍යන්තරව හදා ගත්ත මනෝ ලෝකෙකට කෙනෙක් පැමිණීම පිටින් බලන්නෙකුට මහා දෙයක් නොවෙන්න පුළුවන්, ඒත් ඒක මට විශේෂයි. කාව්‍යාකාරව දක්වනවා නම් ඒක සමාන වෙන්නේ 'මගේ හදවතේ ප්‍රේමයක් හට ගැනීම හේතුවෙන් හදවත ප්‍රේමයට පුද කිරීම' වගේ අලංකාර අතිශයෝක්ති භාවිතයකට.

"දැන් යමුද? රෑ වෙලා ." මම ආදිත්‍යගේ කර වටේ අතදාන ගමන් ඇහුවා. ආදිත්‍ය ඔලුව වැනුවා. විදි ලාම්පු වල එළියෙන් ආදිත්‍යගේ ඇස් දිලිසුනෙත් ඒ එක්කමයි.


-ඉතිරිය මතුවට-

5 comments:

  1. තවත් එක් සුපිරි කොටසක්...ගැඹුරු සරල බස් වහරක්...සම්මත ලිවීම රටාවෙන් බැහැරට යන සෙයක්..
    මාර කොටස සහෝ..මේක කියවපුවහම ඉතිරි කොටස ගැන නොඉවසිල්ල වැඩි වුණෝ..
    පරක්කු කරනවා එහෙම නෙවෙයි ඕං....
    අපි මග බලං ඉන්නේ..එතකාං කහට කෝප්පයක් බීලා එන්නංකෝ...

    ReplyDelete
  2. හුරේ මම කප් එක ගැසීමි...මං පලවෙනි..(අම්මට සතූ‍ටු හිතෙයිද දන්නේ නෑ..සතු‍ටු හිතුනොත් නම් අනිවාරයෙං සුන්දර බැනුං කන්දක් තමා බ්ලොග් පිස්සුවට..බුකියටත් එක්ක එකතු කොරලා තමා ලුණු දාන්නේ..හික් හික්)

    ReplyDelete
  3. ලස්සනයි ලියලා තියන හැටි. මේ දෙන්නගේ අපූරු යාලුකමක්නේ තියෙන්නේ. හිත ඇතුලට කුතුහලයකුත් ගලාගන එනවා. ඔයා මිනිස් හිත අඳුනගෙන තියන විදිය වෙනස්නේද කියලත් හිතෙනවා.

    ඉතිරි ටිකත් කියමු බලන්ට.

    ReplyDelete
  4. ඉස්සරහට මොනවාගේ දෙයක් වෙයිද කියලා ඇට්තටම මට හිතා ගන්න බෑ..

    හිරණ්‍යට මුහුණු පොතේ එකවුන්ට් එකක් තියෙනවානම් මාව එකතු කරගන්න... මගේ එකවුන්ට් එක මගේ බ්ලොග් එකේ තියෙනවා...

    ReplyDelete
  5. @ගලයා: ම්, ගලයා තමා එක.
    බොහොම තුති, ඊළඟ කොටස ඉක්මනින්ම දාන්නම්.

    @Kumarihami: කියන්නම්, ස්තුතියි.

    @Dinesh: හරි, මම බලන්නම්.

    ReplyDelete