Tuesday, November 8, 2011

කොන්දේසි විරහිත ආදරය | The Giving Tree



ඔන්න එක ගහක් හිටියා...
ඇය පොඩි ළමයෙකුට ගොඩාක් ආදරෙන් හිටියේ.
හැමදාම ඒ ළමයා ඇවිත් ඇගේ කොළ එකතු කරලා ඔටුන්නක් හදාගෙන කැලේ රජතුමා විදිහට සෙල්ලම් කළා.
ඔහු ඒ ගහේ කඳ උඩට නැග්ගා, අතුවල එල්ලිලා ඔන්චිලි පැද්දා, හැදිලා තිබුන ඇපල් ගෙඩි කඩන් කෑවා.
එයාල එකතුවෙලා හැංගිමුත්තන් සෙල්ලම් කළා.
පොඩි ළමයට මහන්සි දැනෙන කොට ඇගේ සෙවනට වෙලා නිදාගත්තා.
ළමයා ගහට ආදරේ කළා... ගොඩාක්....
ඉතින් ගහ හරිම සතුටු වුණා.

ඔහොම කල් ගතවුණා.
ළමයා ටිකෙන් ටික වැඩිහිටියෙක් වෙන්න පටන් ගත්තා. ඉතින් ගහ හැම වෙලාවේම වගේ හිටියේ තනියම.
ඔන්න ඉතින් දවසක්, ඔහු ගහ හොයාගෙන ආවා.
"එන්න දරුවෝ, ඇවිත් ගහට නගින්න, අතුවල එල්ලිලා ඔන්චිලි පදින්න, ඇපල් කන්න, මගේ වටේ සෙල්ලම් කරන්න ඉතින් එහෙම කරලා සතුටු වෙන්න." ඇය කිව්වා.
"මම දැන් එහෙම සෙල්ලම් කරන්න ලොකු වැඩියි" ඔහු කිව්වා. "මට එක එක දේවල් අරන් සතුටු වෙන්න සල්ලි ඕන."
"මට සමාවෙන්න." ගහ කිව්වා. "මං ගාව සල්ලි නැහැනේ. තියෙන්නේ කොළයි ගෙඩියි විතරයි. මේ ඇපල් ගන්න. ඒවා අරන් ගිහින් නගරේ විකුණන්න. එතකොට සල්ලි ලැබිල සතුටු වෙන්න පුළුවන් වෙයි."
ඉතින් ඔහු ගහට නැගල ගෙඩි කඩාගෙන යන්න ගියා.
ඉතින් ගහත් සතුටු වුණා.

ඒත් ඒ ළමයා කාලෙකින් ගහ බලන්න අවේ නෑ... ගහ බොහොම දුක් වුණා.
ආයෙත් දවසක ළමයා ආවා. දැන් ඉතින් ගහට සතුට ඉහ වහා ගියා.
"එන්න දරුවෝ, ඇවිත් ගහට නගින්න, අතුවල එල්ලිලා ඔන්චිලි පදින්න, ඇපල් කන්න, මගේ වටේ සෙල්ලම් කරන්න ඉතින් එහෙම කරලා සතුටු වෙන්න." ඇය කිව්වා.
"එහෙම කරලා සතුටු වෙන්න දැන් මට වෙලාව නෑ." ඔහු කිව්වා. "මාව රස්නෙන් තියන්න මට ගෙයක් ඕන, මගේ බිරිඳටයි ළමයින්ටයි ඉන්න ගෙයක් ඕනේ. මට ගෙයක් දෙන්න පුලුවන්ද?"
"ඒත් ඉතින් මට ගෙයක් නෑනේ." ඇය කිව්වා. "මේ කැලේ තම මගේ ගෙදර. ඒත් මේ මගේ අතු කපාගෙන ගිහින් ගේ හදාගෙන සතුටු වෙන්න."
ඉතින් ඔහු ගහේ අතු ටික කපාගෙන ගිහින් ගෙයක් හැදුවා.
ඉතින් ගහත් සතුටු වුණා.

ළමයා නෑවිත් තවත් කාලයක් ගතවුණා...
ඔහු නැවතත් ආවා. ගහට සතුට වැඩි කමට කතා කරගන්නත් බැරිව ගියා.
"එන්න දරුවෝ." ඇය කිව්වා. "ඇවිත් සෙල්ලම් කරන්න."
"මට දැන් වයසයි දුකයි හින්ද සෙල්ලම් කරන්න බෑ." ළමයා කිව්වා. "මට බෝට්ටුවක් ඕනේ මාව මෙහෙන් අරන් යන්න යන්න. මට බෝට්ටුවක් දෙන්න පුලුවන්ද?"
"මේ ගහේ කඳ කපල අරන් බෝට්ටුවක් හදන්න" ගහ කිව්වා. "ඈතට යාත්‍රා කරන් ගිහින් සතුටු වෙන්න."
ඉතින් ළමයා ගහ කපල බෝට්ටුවක් හැදුවා.
ඈතට පාවෙලා යන්න ගියා.
ගහ සතුටු වුණා.
ඒත් ඇත්තටම නෙමෙයි.

සෑහෙන කාලෙකට පස්සේ ළමයා ආයෙත් ගහ හොයා ගෙන ආවා.
"මට සමාවෙන්න දරුවෝ." ගහ කිව්වා. "මා ගාව දෙන්න දෙයක් ඉතිරි වෙලා නෑ. මගේ ඇපල් නැතිව ගිහින්."
"මගේ දත් වලින් දැන් ඇපල් හපන්න අමාරුයි" ළමයා කිව්වා.
"මගේ අතු නැතිව ගිහින්." ඇය කිව්වා. "එල්ලිලා සෙල්ලම් කරන්න බෑ."
"අතුවල එල්ලිලා සෙල්ලම් කරන්න මම වයසක වැඩියි." ඔහු කිව්වා.
"මගේ කඳ නැති වෙලා." ඇය කිව්වා. "ගහට නගින්නත් බැහැ"
"මට ගස් නගින්න මහන්සියි." ළමයා කිව්වා.
"මට සමාවෙන්න දරුවෝ මට දෙන්න දෙයක් නෑ." ගහ කිව්වා. "මම දැන් මොනවත් කරගන්න බැරි පරණ මුල් කොටයක් විතරයි. මට සමාවෙන්න..."
"මට වැඩිය මොනවත් ඕනේ නෑ." ළමයා කිව්වා. "ඕනේ වාඩිවෙලා ඉන්න නිසංසල තැනක් විතරයි. මට දැන් හරිම වෙහෙසයි..."
"හොඳයි" පුළුවන් තරම් කොටය සමතල කරමින් තරම් ඇය කිව්වා. "මේ පරණ කොටය ඉඳගන්න ඇති වෙයි නේ. එන්න දරුවෝ, ඇවිත් වාඩිවෙලා වෙහෙස නිමා ගන්න."
ඉතින් ළමයා එහෙම කළා.
ඉතින් ගහ සතුටු වුණා...

෴නිමි.෴


ප.ලි. : මේ Shel Silverstein නම් තැනැත්තිය විසින් 1964දී රචනා කළ ළමා පොතක් වූ The Giving Tree නම් කතාව. සමහර විට කලින් අහලත් ඇති. සෑහෙන්න සංවේදී ලස්සන කතාවක් හින්ද අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියල මම සිංහලට හැරෙව්වා. ඕනෙනම් ඒ කතාවම තියන වීඩියෝවත් බලන්න.



8 comments:

  1. කාලෙකින් මේ පැත්තෙ ආවෙ... බ්ලොග් කියවිල්ලයි ලිවිල්ලයි එපා වෙලා...

    මේ කතාව නම් නියමයි... කලින් කියවල තිබුනත් ආයිමත් කියෙව්ව.. :)

    ReplyDelete
  2. හරිම ලස්සන කතාවක්..ආදරේ කියන්නේ උතුම් පරිත්‍යාගයක් කියන එක ඇත්තම තමා..

    ReplyDelete
  3. ඕක කොහෙ හරි සිංහල පොතක තිබිල මම කියෙව්ව මතකයි. ආදරය කියන්නෙ ඒ වගේ දෙයක් තමයි. පූර්ණ පරිත්‍යාගය.

    ReplyDelete
  4. මමත් මේ කතාව රූප පෙලකින් කියවල තිබුණ... ඒ වුණත් ආයෙත් දැණුනෙ ඒ හැඟීමමයි.

    සාතන්ටත් මගෙ ලෙඩේමයි හැදිල තියෙන්නෙ... ඒ වුණාට බොහොම කැමැත්තෙන් අතරින් පතර මේ සටහන් කියවන්නේ :D

    ReplyDelete
  5. මම මේ කතාව කලින් කියවලා තිබුනා.. ඒත් ආයෙ ආයෙම කියවන්න ආස හිතෙන කතාවක් මේක...

    ReplyDelete
  6. @සාතන් & hare: ඒ මොකෝ, ඇයි එපා වෙලා තියෙන්නේ?

    @හැමෝටම අදහස් දැක වුවාට ස්තුතියි. :)

    ReplyDelete
  7. මම අදමයි කියෙව්වේ අපූරුයි!

    ReplyDelete