ඇය දැක්ක මොහෙතේ ඉඳලම මට හිතුනේ ඇය මනුෂ්‍ය දුවක් වෙන්න බැරි බව. මනුස්සයෙකුගේ නැති අමුතුම ලක්ෂණ රාශියක් ඇගෙන් දිස්වුණා. දිලිසෙන සුදුමැලි සම, කාන්තිය විහිදුවන නෙත් සඟල වගේම ඇඟලාගෙන හිටි දුහුල් ධවල වස්ත්‍රය කියා පෑවේ අමනුෂ්‍ය ස්වභාවයක්. ඇයව ඇස ගැටුනේ මැදියම් රාත්‍රියේ නිසා මගේ හිත කිව්වේ ඇය මෝහිනී වෙන්න පුළුවන් බව නමුත් මම ඇය සුරඟනක් ලෙස සලකන්න උත්සහ ගත්තා. ඇය මා දිහා බැලුවා, ඒ බැල්ම සාමාන්‍යය පරයා ගිය එකක්. ඇය බැලුවේ මගේ ආත්මය දෙස. ඇගේ කාන්තිමත් නයන මගේ ගත හරහා විනිවිද ගමන් කළා. ඒ හැඟීම ප්‍රසිද්ධියේ නිරුවත් වීමට සමාන යි. ඒ බැල්ම මට දරාගන්නට නොහැකිව අහක බැලුවහම ඇය හිනා වුණා, හරියටම ඇය එය මගෙන් වේවියැයි බලාපොරොත්තු වුණා වගේ.
"බයයි නේද?" සිහින් සීතල කටහඬකින් ඇය ඇහුවා.
"නෑ, මම? කාටද?"
"ඔයා ඔයාටම..."
මම උත්තර දෙන්න ගියේ නෑ. අහන අහන හැම ප්‍රශ්නෙකටම පිළිතුරු සපයන්න කියල නීතියක් ගැන කියනවා මට මතක නෑ.
"බයයි තමයි."
"මේ හීනයක් නේද?"
"ඒක දන්නේ ඔයාම තමයි."
"මම දන්නේ නෑ."
"හ්ම්,,, මිනිස්සු දන්නේ නැති දේ ගැන පුළුවන් උපරිම භයානක දේ හිතාගන්නවා, ඊට පස්සේ ඒ හිතලුවට බය වෙනවා, බය නැති කරගන්න වීරයෝ වෙන්න යනවා, අන්තිමට කරලා තියෙන්නේ රඟපෑමක් විතරයි..."
මම ඇගේ අත අල්ලාගත්තේ මම ඇයට බය නැති බව පෙන්වන්න. ඒ ස්පර්ශය බොහෝදුරට මානුෂික යි. අමුත්තකට තිබුනේ ඇගේ අත බොහොම සිසිල් වීම පමණ යි. ඇය මා දිහා බලලා හිනා වුණේ දෑසින්. අපි දෙන්න අත් දවටගෙන ඇවිදින්න ගත්තා. රෑ අහස නිසසල යි, සඳ එළිය නොමැති නිසා තරු එළිය වඩාත් දීප්තිමත්ව දිස්වුණා. පාරේ මිනිස්සු කිහිප දෙනෙක් මතුවෙලා ආයේ අතුරුදන් වුණත් වාහන නම් ගියේ නැති තරම්.
"ඇයි ඔයා මාව හොයන ආවේ?" ඇවිදන් යන අතරේ මම ඇහුවා.
"ඔයාට මාව ඕනේ වුණා නේද?"
"සමහරවිට ඕනේ වෙන්න ඇති. මට ඔයාගෙන් ලැබෙන්නේ මොනවද?"
"ඉල්ලන ඉල්ලන දේ දෙන්න මම පහනේ භූතයා නෙමේ."
"මට තරුවක් වෙන්න ඕනේ, මගේ තනියට එනවද?"
"තරු කොහොමත් තනිවෙලා."
"කවදාවත් තනි වෙන්නේ නැති දෙයක් කියන්න."
"තනිකම. තනිකම හැමදාම තනිවුණු කෙනත් එක්ක ඉන්නවා."
"එහෙනම් මට තනිකම වෙන්න ඕනේ."
"විශ්වාස කරන්න, තනිකම වෙනවා කියන එක ලේසි වැඩක්නම් නෙමෙ යි."
අපි ඇවිදන් ඇවිත් නැවතුනේ පාලමක් උඩ. පහලින් ගඟ ගලන් ගියේ ශබ්ද වලින් තොරව, නැත්තනම් පාලම ළඟට සද්දේ ඇහුනේ නෑ. තැනින් තැනට විදුලි ආලෝකය වැටිලා ගංගා ජලය දිස්නේ දුන්නා. එතකොට නම් ගඟ නෙමේ නිකම්ම වතුර ගොඩක් විතරයි වගේ පෙනුනේ. එකම දේ කෙතරම් විධි ගණනකින් බලන්න පුලුවන්ද. සුරංගනාව දිගටම මගේ අත අල්ලගෙනම හිටි නිසා ඇගේ අතට ඒ වෙද්දී සියුම් රස්නයක් එකතු වෙලා තිබුණා. ඇය නැවතත් මං දිහා බලලා හිනාවුණා, ඒ පාර හිනාව නම් ඇත්තටම යි.
"මම බය නෑ."
"එහෙනම් හොඳයි, ඔයාට මාව දැන් ඕනේ වෙන එකක් නෑ."
"මාත් එක්ක හැමදාම ඉන්න නවතින්නකෝ..."
"බැහැ, කවදාහරි යන්නම වෙනවා, කිසිම දෙයක් සදාකාලික නෑ." මගේ කම්මුලට ලාවට තට්ටුවක් දමන ගමන් ඇය කිව්වා.
"එතකොට මම තනිවෙයිනේ."
"නැහැ, මම ඔයා වෙනුවෙන් ඉන්නවා."
"යන්න කලින් ඔයා කව්ද කියන්න?" මම ඇගේ අත තදින් අල්ලගෙනම ඇහුවා. ඇය ළා සිනහවක් පෑවත් එක්කම හිස් අවකාශයට බොඳවෙලා ගියේ හරියට එහෙම කෙනෙක් කවදාවත් හිටියේ නෑ වගේ.
“තනිකම“ මුණ ගැහිලා හිරණ්‍යට........
ReplyDeleteමේක සිහිනයක්ද යාළුවා??
ReplyDeleteහැබැයි හෙන ලස්සනයි! :)
ReplyDeleteමටත් මුණගැහිලා මගේ ගාව ගොඩවෙලාවට ඉඳලා තියෙනවා...
ReplyDeleteලොකු පිරිසක් මැද්දේ උනත් මට එයාව දැනෙනවා
මම හරිම කැමතියි එයාට...
"තනිකම"
පහුගිය දවස්වල වුන ඒව එක්ක මේ පැත්තෙ එන්න වුනේ නෑ...
ReplyDeleteඋඹ ලියන ඒව නම් සුපිරි බන්... සමහර විට මේක මගේ ටේස්ට් එක හින්ද වෙන්න ඇති... ලංකාවෙ සුපිරි ලේඛකයො කියන උදවියට වඩා උඹ ලියන ඒව කියවන්න ආස හිතෙනව...
මගෙත් තේරීම....
ReplyDeleteසුදුමැලි සීතල අනුරාගී තනිකම... :)
කම්මැලිකම.....
මම නම් කොහොමත් දැනගන හිටියා හිරන්‍යය වැම්පයර් කෙනෙක් බව. ඔය හම්බවෙලා තියෙන්නෙත් ඒ වගේ කෙනෙක්...:D
ReplyDeleteඇඟත් පොඩ්ඩක් සීතල වෙලා ගියා කතාව ඇහුවාම.
//"යන්න කලින් ඔයා කව්ද කියන්න?"//
එහෙමත් කියයිද?...:)))
@වත්: ඔව්, ඇය ඉඳහිට (බොහෝවිට නොවේ නම්) මුණ ගැහෙනවා, දොඩමලු වෙනවා, නැවත යන්න යනවා...
ReplyDelete@Dinesh: සිහිනයක්මත් නෙවෙයි, ඇත්තක්මත් නෙවෙයි, හැබැයි එහම කියල මේක බොරුවක් වෙන්නෙත් නෑ.
@තනි අලියා: තනිකමත් සුන්දරව දකින්න පුළුවන්, ස්තුතියි. :)
@ලොකු පුතා: ඔව්, ඇයට වෛර කරනවට වඩා ආදරේ කරන එක හොඳයි.
@සාතන්: ඔන්න උඹ මාව මුරුංගා අත්තේ තියනවා! ස්තුතියි, හැබැයි මම තාමත් හිතන්නේ මගේ දියුණු වෙන්න ගුණාංග රාශියක් තියනවා කියල.
ඒ වගේම උඹ කියන හේතුවත් වෙන්න පුළුවන්, මම ලියන ඒවා වඩා සමීප වෙන නිසා ඒවා වඩාත් තදින් ග්‍රහණය වෙනවා. හැබැයි එතකොට වෙන්නේ සමීප බව නැත්නම් කිසි අතීතකාමී රසයක් දැනෙන එක විතරයි නේ, අලුත් දෙයක් ලැබෙන්නේ නෑනේ (ඕනනම් ඒක හොඳ හෝ නරක ලෙස වර්ගකල හැකියි). මටත් ඔය කතාවම උඹ ලියු සමහර දෑ (උඹ ලඟකදී ලිව්වේ නෑනේ, ආයේ ලියන්නේ නැද්ද බොල?) ගැනත් මට කියන්න පුළුවන්, ඒ අපි දෙන්නගේ දැක්ම සමාන්තර නිසා විය හැකියි. :)
@Charmi: ඇත්තටම කම්මැලිකම එක්කම තනිකමත් එකතු වෙනවනේ? ඒ ගැන තව හිතල බලන්න වෙනවා. :)
@Kumarihami: හෙහේ, කුමාරිහාමි හැමදේම කලින්ම දැනන් ඉන්නවනේ! අමරණීය වුණහම ඔය වගේ එක එක ඇය මුණ ගැහෙනවනේ. මේ හමුවුනේ වැම්පයර් කෙනෙක් නෙවෙයි මං හිතන්නේ, කව්ද නොකිව්ව එකත් හොඳයි, එතකොට මට නැවත හමුවෙනකම් ඒ කව්ද කියල කල්පනා කරන්න පුළුවන්නේ.
ඔන්න ඔය තනිකමත් අතහැරැල දාල ගියානම් ඉවරයි...
ReplyDeleteමටත් හිතුණා 'තනිකම' වෙන්න ඇත්නම් කියලා.... එතකොට මම ආදරේ කරන හදවතක් තනිවෙලා ඉන්නකොට කිසිම සීමාවකින්...භාධාවකින් තොරව මට එයා ළඟින්ම ඉන්න පුලුවනි.... එයා තනිය වෙනුවට කෙනෙක් හොයාගන්නකල්ම... :))
ReplyDelete@Oustider: වැඩේ කියන්නේ බලන්නෙම තනිකමට හරි ඇලිල ඉන්න මිසක් දාල යන්න නෙමෙයි...
ReplyDelete@මකුළු පැංචි: ඒකනේ, ඕනේ නම් කරන්න බැරි දෙයක් නැති හින්ද, උත්සහයක් අරන් බලමු පුළුවන් වෙයිද කියලා. :)
තනිකම.. තනියට තනි රකින..
ReplyDeleteනිර්මාණශීලීව ලියලා තියෙනවා.. හරිම ලස්සනයි සහෝ.. :)
තනිකම තරම් ලඟින් ඉන්න මිතුරෙක් කවදාවත් කොහෙදිවත් හමුවෙන්නෙ නැහැ....
ReplyDelete@නන්දු: බොහොම ස්තුතියි.
ReplyDelete@වින්චැට්කිරිල්ලි: ඒකනේ...