Wednesday, November 16, 2011

සංසාර ආරණ්‍යය : නිසසල නවාතැන

පළවෙනි කොටස
දෙවැනි කොටස
තෙවැනි කොටස
සිව්වැනි කොටස


"අපි ඇයි මෙහෙට ආවේ?" ආදිත්‍ය අවස්ථාව තේරුම් ගැනීමේ උවමන්වෙන් ඇහුවා.
"දන්නෑ"
"දන්නෑ?"
"පොඩ්ඩක් කටවහන් ඉන්නවද?" මගේ ඒ ප්‍රකාශය ආදිත්‍යව නිහඬ කළා.
මම ආදිත්‍යට පේරාදෙණිය මල් වත්තට යමු කිව්වේ ඇයි කියන ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් නෑ. ඒක මගේ හිතට සහනයක් ලබා ගැනීම, ආදිත්‍යගේ ලියුමට ප්‍රතිචාරයක් දැක්වීම, නැතිනම් නිකම්ම නිකන් අලස රස්තියාදුවක් වගේ කරුණක් වෙනුවෙන් විය හැකි යි. ඇත්තෙන්ම හේතු හොයන්න යන එකේ තේරුමකුත් නෑ. අවශ්‍ය වුණේ ඉදිරිය පැහැදිලි කර ගැනීම පමණයි. ආදිත්‍යට දෙන්න ඕනේ කොයි වගේ පිළිතුරක් ද කියල මම දැනගෙන හිටියේ නැති වුණාට එයා කියපු විදිහේ පිළිකුලක් නම් ඇති නොවුණු බව විශ්වාස යි. ඒත් එතනින් එහා දැනුණු හා හැඟුණු දේ වචන වලට පෙරලීමේ අපහසු කටයුත්තේ මම අතරමන් වෙලා.

සංසාර ආරණ්‍යයේ ස්වභාවය තුලින් මේ ප්‍රශ්නයට උත්තර ලැබුනත් ඒකට හාත් පසින්ම වෙනස් ලෝකෙක ප්‍රශ්නවලට උත්තර සෙවීම පහසු නෑනේ. අනිත් එක හැමදාම ෆැන්ටසියක් තුල ජීවත්වෙලා තමන්ටම බොරුකරගත්තත් සැබෑවට මුහුණ දෙන්න දවසක් උදා වෙනවනේ. සමහරවිට ඒ මේ පරිවර්තනයේ ආරම්බය වෙන්න පුළුවන්. සාර්ථකත්වය සාපේක්ෂයි වුණත් මට ජීවිතය සාර්ථක කරගැනීමේ උවමනාව හොඳටම තිබුණා. ඒත් ආදිත්‍ය ඒ සාර්ථකත්වය එක්ක ගැලපෙන්නේ කොහොමද කියන එකයි ගැටලුව.
"අපි කතාකරන්න ඕනේ..." මම ආදිත්‍යට කිව්වම එයා ඔලුව වැනුවා."කෙටියෙන්ම කිව්වොත් උඹ බලාපොත්තු වෙන දේ වෙන්නේ නෑ."
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ උඹ ජීවත් වෙන්නේ හීන ලෝකෙක, ඒ හීන කවදාවත් හැබෑ වෙන්නේ නෑ"
"ඒත් උත්සහ කරන්න පුළුවන්නේ"
"ඔව්, ඒත් කවදාහරි තේරේවි කරපු දේවල් වැඩක් නෑ කියල."
"එහෙම වෙන්නත් පුළුවන්, ඒත් කමක් නෑ."
"ජීවිතේ නාස්තිකර ගත්තට කමක් නෑ?"
"හීන පස්සේ ගිහින් නොලැබුනත් ඒක හීන නොබලා ඉන්නවට වඩා හොඳයි."
"ඒ උඹ හිතන විදිහ..."
"දැන් රවීන් හිතන්නේ කොහොමද?"
"මම හිතන්නෙද? මම හිතන්නේ අපේ යාළුකම මෙතනින් ඉවර යි."
"මොකද්ද?"
"උඹ මීට පස්සේ මගේ යාලුවෙක් නෙමේ යි." මම වචන කඩමින් උච්චාරණය කළා.
මම ආදිත්‍යගේ ප්‍රතිචාරය ලැබෙනකන් හිටියේ නෑ. ප්‍රතිචාරය දැන ගන්න ඕනේ කමක් තිබුනෙත් නෑ. ඒක එක්තරා විදිහක ළදරු වැඩක් වුණත් එහෙම හරි ප්‍රශ්න වලින් පැනල යන්න මට ඕනේ වුණා. අනිත් අතට මේ ප්‍රශ්නේ විසඳ ගත යුත්තේ කොහොමද කියල තේරුමක් මට තිබුනෙත් නෑ. දැනන් හිටියේ නොවිය හැකි යමක් කියල විතර යි. මම ආපහු හැරිලා යන්න ගත්තා. අතින් ආදිත්‍ය නවතින්න කියල කෑගැහුවත් මම නැවතුනේ නෑ. මම නෑහුනා වගේ දිගටම ඇවිද්දා.

"උඹ මහ බයගුල්ලෙක් රවීන්!" ආදිත්‍ය එහෙම බෙරිහන් දෙනවත් එක්කම මම නැවතුනේ මොන හේතුවකට කියල හරියටම කියන්න අමාරු යි. සමහරවිට මම බයගුල්ලෙක් කියල හඳුන්වනවාට ඇති අකමැත්ත නිසා වෙන්න පුළුවන්. නැත්තම් මගේ හොඳම යාළුවව මෙහෙම මගහරින්න බැහැ කියල හිතුන හින්ද වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ප්‍රශ්නයට විසඳුමක් ආ යුත්තේ අපෙන්මයි කියල හිතුන හින්ද. කොයි හේතුව වුණත් නැවතුන එක ගැන මම අදටත් සතුටු වෙනවා.
* * * * * *

අපි වැල් පාලමේ මැදට වෙලා යටින් ගලා යන මහවැලි ගඟ දිහා බලන් හිටියේ පරිසරයේ නිස්කලංක බව හා සුන්දරත්වය විඳින ගමන්. පරිසරය හා මුසු වෙච්ච ළා සුළඟ අපිව සුවපත් කළා. ඒ ශාන්ති දායක සුවය වඩා වැදගත් වෙන්න ඇත්තේ මට යි.
"මට ඕනේ වුනේ මට දැනෙන දේ රවීන්ට කියන්න විතර යි." ආදිත්‍ය කතාව ආරම්බ කළා. "රවීන්ට මෙහෙම හිතෙන්නේ නැත්තන් කමක් නෑ. එහෙනම් ඒක මගේ ප්‍රශ්නයක්. එත් අපි තවදුරටත් යාලුවෝ නෙමෙයි කියන එක අසාධාරණයි..."
"මම එහෙම හිතන්නේ නැත්තේ නෑ." මම අමාරුවෙන් වචන එකතු කළා.
"මොකද්ද?"
"අ,,, උඹට හිතෙන විදිහ. එහෙම මටත් හිතෙනවා..." ආදිත්‍යට හිනා ගියා, අර ළා හිනාව තවත් හිත් පැහැරගන්න තරම් සුන්දර වෙලා. ඒ නිසාම මටත් හිනා නොවී බැරි වුණා.
"ඉතින් එහෙනම්?"
"මම හිතන, ඇත්තමට කිව්වොත් හිතාගන්න තැනක් තියනවා සංසාර ආරණ්‍යය කියල" ආදිත්‍යට උත්තර දෙන්නේ නැතුවම මම කියන් ගියා. "එතන තියෙන්නේ උපරිම නිදහසක්. කිසිම දෙයකට කිසිම කෙනෙක් බාධා කරන්නේ නෑ. ඒ වගේ තැනක අපි දෙන්නට ඉඩක් තිබුනට, සැබෑ ලෝකෙදි අපි දෙන්නට අනගතයක් නෑ. අපි ආදරය කරන්නේ පුද්ගලයාට මිසක් භාහිර දේට නෙමේ යි කියන එක තේරුම් කරගන්න එකකුත් නෑ. ඒකයි මම කියන්නේ අපි මේ දකින්නේ හීන විතරයි කියල."
"හ්ම්ම්,,, හරි මෙහෙම හිතමු ඔය සංසාර ආරණ්‍යය කියන්නෙත් ඇත්ත ලෝකෙම තමයි. සැබෑ ලෝකෙත් කිසිම බාධාවක් නෑ, සම්පූර්ණයෙන්ම නිදහස්. සීමා මායිම්, බාධක, සම්මතයන් සේරම හදාගන්නේ මිනිස්සුම මිසක් හැමදාම පැවතුන ඒවා නෙමෙයි නේ. අනුන් හිතන, කරන දේ අපි ප්‍රශ්නයක් කර නොගන්නා තාක් අපිට ඔය කියන සංසාර ආරණ්‍යයේම ජීවත් වෙන්න පුළුවන්..."
වෙන කවුරුවත් ඔය දේම එවෙලාවේදී නැත්තම් ඕනෙම කෙනෙක් වෙන වේලාවකදී මට ඔය කතාව කිව්වොත් මම කරන්නේ ඒ ගැන තවතවත් හිතල හිත බර කර ගැනීම. ඒත් ඒ වෙලාවේදී පුදුමෙකට වුණේ එකේ අනිත් පැත්ත. මගේ හිත සැහැල්ලු වුණා. පිහාටුවක් වගේ පාවෙලා යන තරමටම නොවුණත් ඒ තරමටම ලංවෙන්න. ආදිත්‍යට යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු වුණත් මට කියන්න දෙයක් එක පාරටම හිතට ආවෙත් නෑ. ආදිත්‍යත් එක දැනගෙන වෙන්න ඇති බලකරලා මොනවත් දැන ගන්න ඕනේ වුණෙත් නෑ.

අපි දෙන්නා පරිසරයේ සන්සුන් බවත් එක්කම එකතුවෙලා ඒ නිහඬ බවේ සුන්දරත්වය විඳගත්තා. ඒක නියගයකට පස්සේ වැටෙන වැස්සක්, අසනීපයකට ලැබෙන රස ඔසුවක්, දාහයට හමන මද පවනක් තරම්ම සුවදායි යි. අවශ්‍යතාවයක් තියනවනම් කරන්න බැරි දෙයක් නැති නිසාත්, ජීවිතය කියන අභියෝගය භාර ගෙන මම මම වෙනුවෙන් හා අපි අපි වෙනුවෙන් සටන් කළයුතු නිසාත් මම අපේ අනගතය ගැන සිහින මවමින් හිටියා. ආදිත්‍ය මගේ කර වටේට අත දාල එයාගේ ඔලුව මගේ උරහිස උඩින් තිබ්බෙත් ඒ එක්කම යි.

"දන්නවද? මට දැන් කලින් නොතිබුන දෙයක් තියනවා." මම කිව්වේ නිහඬ බවට හානියක් නොවෙන්න.
"මොකද්ද?"
"බලාපොරොත්තුවක්..."


-සංසාර ආරණ්‍යය මෙතැනින් නවාතැන් ගනී.-

6 comments:

  1. ඒ මොකද්ද හිරණ්‍ය ඒ කලේ... කතාව හිතේ කුතුහලයක් ඉතුරු කරලා නවත්තලා.. බලාපොරොත්තුවක්.. මොකද්ද ඒ බලාපොරොත්තුව??

    ReplyDelete
  2. ඒ උනත් ඔයා මම හිතපු විදියටමයි කතාව ඉවර කරලා තියෙන්නේ...:D

    ReplyDelete
  3. බලාපොරොත්තුවක් තියෙනවනම් එතැන හැමදාම නිදහස් තැනක්ව තියෙන්න විදියක් නෑ. බලා‍පොරොත්තුව නිදහස නැති කරල දායි.

    කතාව හිතාමතාම නතර කළාවත්ද?(ඉන් එහාට ලියන්න දෙයක් නැති නිසා)

    ReplyDelete
  4. @Dinesh: ඒක ඉතින් යාළුවම තමයි හිතන්න ඕන. හැබැයි අහපු හින්ද මෙහෙම කියන්නම්, ඒ බලාපොරොත්තුව ජීවිතයට, ජීවිතය ජීවත් වීමට, නැත්තම් නිදහසට වෙන්න පුළුවන්.

    @Kumarihami: හෆොයි, එහෙනම් ඉතින් ඊලඟ වතාවේවත් උත්සහයක් දීලා බලමු. :)

    @Outsider: මෙහෙම හිතුවොත්, බලාපොරොත්තුව නිදහසට නම්. එතකොට ඒ කතාව ටිකක් උත්ප්‍රාසාත්මක වෙනවා නේද...
    කතාව ඉදිරියටත් ලියන් යන්න පුළුවන්. හිතාමතාම නතර කළේ මෙතනින් අවසන් කල යුතයි කියල දැනුණු නිසා.

    ReplyDelete
  5. නවතින්නම වෙනවා හිරණ්‍ය ඔයාට මෙතනින්..
    ඔය සම්මතය ඇතුලේ තාමත් ඉන්න නිසා
    ගතින්!

    ReplyDelete
  6. මම නම් හිතන්නෙ මේක මෙතනින් එහාටත් ලිව්වනම් හොඳයි කියල...

    ReplyDelete