Sunday, November 6, 2011

කාළ හංස යෝගය | Black Swan Complex



නුදුරේදී වඩාත්ම සිත්ගත් සිනමා කෘතිය කුමක්දැයි කිසිවෙක් ලේඛකයාගෙන් ඇසුවහොත් ඔහුගේ පිළිතුර වනුයේ Black Swan (2010) ය. එය ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේදී විවිධ අංශයන්ගෙන් නිර්දේශ වීම හා ප්‍රධාන චරිතය රඟ දැක් වූ Natalie Portman හට හොඳම නිලිය (Actress in a Leading Role) සම්මානය පවා හිමි වීමෙන් එහි සාර්ථකත්වය මොනවට පැහැදිලි වේ.

මෙහි අන්තර්ගත කතාව කෙටියෙන් මෙසේ යි; තම ජීවිතයෙන් උපරිමයෙන්ම බැලේ නාටිකාංගනාවක් (ballerina) වන නීනාට (Natalie Portman) හංස විල මුද්‍රා නාටකයේ (Swan Lake) ප්‍රධාන චරිතය රඟ දැක්මට අවශ්‍ය වේ. එහෙත් ඇයගේ නර්තන උපදේශකයා ඇයට එම චරිතය ලබා දීමට මැලි වේ. හංස විල නාටකයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නියට ද්විත්ව රංගනයක නිරත වීමට ඇත. එකක් අහිංසක සියුමැලි ධවල හංසිනිය යි, අනෙක කපටි රාගික කාළ හංසිනිය යි. නීනා සුදු හංස චරිතය නැටුමට ඉතා දක්ෂ වුවත් කාළ හංස චරිතය සාර්ථකව කිරීමට අසාර්ථක වේ. මේ නිසා ඇය වෙනුවට ලිලී (Mila Kunis) නම් තවත් ශිල්පිනියක් ගැනීමට සුදානම් වේ. නර්තන උපදේශකගේ විවිධ බලපෑම් මත නීනා පුළුවන් උපරිමයෙන් තමා තුලින් කාළ හංසිනිය උපදවා ගැනීමට උත්සහ කරයි. ඇගේ උත්සාහය මත ඇයට ඒ චරිතය හිමිවන අතර එය ඇය ඉතා විශිෂ්ට ලෙස නර්තනයටද අවස්ථාව ලැබේ. එහෙත් කාළ හංසිය ධවල හංසිය යටපත් කරයි, සුදු හංසිනිය කාළ හංසිනිය අතින් මරණයට පත්වේ. එහෙත් ඇය සාර්ථකය, අවසානයේදී ඇය පරිපුර්ණත්වයට පැමිණේ. ඇගේ අවසාන ප්‍රකාශය 'මම පරිපූර්ණත්වයට පැමිණියා' කියා යි ("I was perfect...").

ලේඛකයාට හැඟෙන පරිදි මෙය මිනිස් ස්වභාවය අපුර්ව ලෙස ප්‍රතිනිර්මාණය කරන සිනමා නිර්මාණයකි. සෑම මිනිසෙකු තුලම හොඳ මෙන්ම නරක දෙකම ඇත, සම්පූර්ණයෙන්ම කළු සුදු චරිත නැති අතර විවිධ වර්ගයේ අළු පැහැයන් පමණක් පවතියි. යින්-යැන්, කළු-සුදු, 0-1, දෙවියා-යක්ෂයා ආකාරයේ ද්වන්ධත්වය (duality) පවතින්නේ මිනිස් සිතේ පමණක් නොවේ, ලෝකයේ පවතින සියල්ලටමද ක්‍රියා සිදුවීම් සියල්ලටමද මේ ස්වරූපය හිමිවේ. එනම් එක අතකින් මෙය 'සියල්ල සාපේක්ෂය' යන්න නැවත නැවතත් කියන කතාවකි. එක මොහොතක සුදු දෙයක් එක මොහොතකින් කළු බවට හැරවීමට ඒ දෙය වෙනස් වීමටම අවශ්‍ය නැත. ඒ සඳහා ඉදිරිපත් වන නිර්ණායක වෙනස් වන විට ඒ පිලිබඳ ආකල්පයද වෙනස් වේ. එහි විලෝමය ආකාරයක්ද ගත හැක. එනම් සුදු දෙයක් දිගටම සුදු බව පවත්වා ගැනීමට අවශ්‍ය නම් 'සුදු යනු කුමක් දැයි' නිර්වචනය වන ආකාරය වෙනස් කළ කල්හි සුදු දෙයක් කෙතරම් කළු බවට හැරුණත් එය සුදු ලෙසම පවතී යි. අවසානයේ කළු සුදු කිසිවක් නැති අතර ඉතිරිවන්නේ විවිධ ලෙස අර්ථ දැක්වූ දෑ සමූහයක් පමණි.

යමක් සර්ව සම්පූර්ණ වන්නට නම් එහි මේ කියනා අන්ත දෙකම තිබිය යුතුය. එක අන්තයක් තිබු පමණින් පූර්ණත්වයට පත් විය නොහැක, ඒ එක අන්තයක් මග හැරීමෙන් එයට අයත් සියල්ලද ඒ සමග අතහැරෙන බැවිනි. මේ කියනා පරිපූර්ණත්වය මධ්‍යම ප්‍රතිපදාව විය නොහැක, මෙහිදී වන්නේ අන්ත දෙකකින් කිසිවෙකට අයත් නොවීම නොව අන්ත දෙකටම අයත් වීම යි (ඒ අරුතින් ගතහොත් මැදුම් පිළිවෙතද අන්තයක් වේ!). දුක-සතුට, යස-අයස (කොටින්ම මුළු අටලෝදහමම) ඇතුලත් වූ කල්හි පමණක් සර්ව සම්පූර්ණ බවට පත්විය හැක. ඇතැම් විටෙක අපේ රට 'සකල සිරින් පිරි සිරි ලංකාවක්' කියා ආශ්චර්ය කර යන ගමනේදී ඔවුන් අපි සර්ව සම්පූර්ණ විය යුතු යි කියා සිතනවා විය හැක. එවිට අප (ආණ්ඩු පක්ෂය, විපක්ෂය, සෙසු පක්ෂ හා එකී නොකී සියලු දෙනාම) මේ පරිපූර්ණත්වය වටහා ගත යුතු ය. කුඩු කාරයන්, මිනීමරුවන්, හොරුන්, මංකොල්ලකාරයන්, බොරුකාරයන් ද අත්‍යවශ්‍යයෙන්ම සිටිය යුතු ය. ඔවුන්ව නැති නොකර රැක ගත යුතු ය. කිනම් හෙයින්ද යත් පරිපූර්ණත්වයේදී සියල්ලන්ම අවැසි වන බැවිනි.

ඉහත සඳහන් චිත්‍රපටයට එක්තරා ආකාරයකින් සමාන්තර තේමාවක දිවෙන Born This Way ගීත දසුනේ Lady GaGa මෙසේ කිය යි; How can I protect something so perfect without evil? ('නරකය නැතිව කෙසේද මා පරිපූර්ණත්වය සුරකින්නේ?'). එනිසා බිය නොවන්න, කලබල විය යුතුද නැත. මේ අප පරිපූර්ණත්වය කරා යන ගමන යි.

5 comments:

  1. Black Swan මමත් දෙපාරක්ම බැලුවා.. Natalie Portman ගේ ෆිල්ම් එකක් මම පලවෙනි පාර ඒ බැලුවෙ.. ඊට පස්සේ මම ඇයගේ ෆිල්ම් හොයාගෙන බැලුවා.. ඒත් මේ රංගනය තරම් මට අනිත් ඒවා සමිප උනේ නෑ...

    ReplyDelete
  2. මම නම් බලලා නෑ ...හොයාගෙන බලන්න ඕන...
    සෑම මිනිසෙක් තුලම හොඳ ,නරක ලෙස චරිත දෙකක් ජීවත් වේ......
    ඉන් බැහැරට කුමන චරිතයක් නිරූපණය වේද යන්න බාහිර සමාජය මත තීරණය වේ.....

    ReplyDelete
  3. යමක් දෙව්ලොව දක්වා එසවෙන්නනම් එහි මුල් අපාය දක්වා ගිහිල්ල තියෙන්න ඕනි කියල නීට්ෂේ අංකලුත් කියල තියෙනවලුනෙ.

    ReplyDelete
  4. @Dinesh: මාත් කැමති නිලියක් තමා ඇය. ඔව් මේ සිනමා පටයේ රංගනයත් විශිෂ්ටයි. (Closer, V for Vendetta එහෙමත් හොඳයි කියල කියනවා)

    @ගලයා: බලන්න, හොයාගෙන බලන්න තරම් වටිනවා. :)

    @Outsider: ඒකනේ, දැන් අපේ රටේ හැමදේම දාර්ශනික විදිහටනේ වෙන්නේ...

    ReplyDelete
  5. බටහිර සිනමාවෙ නමින් දන්න එකම නිලිය... මේ ෆිල්ම් එක නම් බලන්න වුනේ නෑ..

    මම නම් දැකපු වැදගත්ම දේවල් ටික තිබුනෙ අන්තිම ඡේද දෙකේ.. සම්පූර්ණයෙන්ම එකඟයි.... ඒත් ගොඩක් දෙනෙක් පිළිගන්න ලැස්ති නැත්තෙත් ඕකමයි...

    ReplyDelete