පොතක් හොයන්න කියල පුස්තකාලයේ රස්තියාදු වෙද්දී තමයි මට මුලින්ම එයාව මුණගැහුනේ. පොත් රාක්ක අතරේ ඉඳිමින් පොතින් පොතට අත තිය තිය ඇය මොකද්දෝ පොත් සෙවීමේ ව්‍යාපාරයක නියැලෙමින් හිටියා. ඒ දර්ශනය හරියට චිත්‍රපටියක කොටසක් වෙලා මම ම නොදැන මම රංගනයක නිරත වෙලා. නිල් පාට ඩෙනිම් කලිසමකිනුයි සුදුපාට කුර්තා කමිසයකිනුයි ඇය සැරසිලා හිටිය ඇයට මගේ පැමිණීම වැටහෙන්න එච්චර කල් ගතවුනේ නෑ. ඇගේ ඒ තිබුන පුදුමාකාර ආකර්ෂණය නිසාවෙන්ම මට හිනා නොවී ඉන්න බැරි වුණා.
"මම හිරණ්‍ය, පොතක් හොයාගන්නයි ආවේ ඒත් ඒක නෑ වගෙයි. උදව්වක් දෙනවද?", මම පරිස්සමෙන් වචන එකතු කළා.
"මම උපේක්ෂා, ඉතින් මොකද්ද හොයන පොත?", ඈ ළා සිනහවකින් සංග්‍රහ කරන ගමන් ඇහුවා.
උපේක්ෂත් එක්ක පොත් හොයන එක අමුතුම අත්දැකීමක්, ඇත්තෙන්ම කිව්වොත් ඇය ඒ පොත හොයද්දි ඒ දිහා බලා ඉන්න එකයි මම කළේ. ඒක එයාට තේරෙන්නත් ඇති, ඒත් එයා සෙවීම දිගටම කරන් ගියා. අතරින් පතර අපි කියවන පොත් මොනවද, කැමතිම කතෘ කව්ද, කවදාහරි පොත් ලියන්න බලාපොරොත්තුවක් තියනවද වගේ සරල ප්‍රශ්න වලින් අපි අපේ තොරතුරු හුවමාරු කරගත්තා. සැහෙන වෙලාවක් පොත හොයන්න මහන්සියි උනත් පොත තිබුනේ නෑ. හැබැයි උපේක්ෂා අදුනගන්න ලැබීම එක්ක සලකා බලද්දී ඒක කාලය වැය වෙච්ච එක බොහොම සුළු පාඩුවක්.
"හ්ම්, වැඩක් නෑ වගෙයි. කඩේකින් වත් අහල බලන්න වෙයි. ඒක නෙමේ අපි කොහෙටහරි ගිහිල්ල තේ බොමුද?", ඒ කරපු යෝජනාව කොයි විදිහට බාර ගනීවිද කියල හිතන්නත් කලින්ම මම ඇහුවා.
පුදුමෙකට වගේ එයා ඔලුව වැනුවා. අපි ළඟ තැනක් හොයන්න පිටත් වුණා.
"ආ,,, ඔයා හොයන්න ආපු පොත ඒකට මොකද කරන්නේ?", මට පස්සේ මතක් වෙලා ඇහුවා.
"එහෙම විශේෂයෙන් පොතක් බැලුවෙත් නෑ, පස්සේ හොයාගන්න පුළුවන්. අනික අන්තිමේදී හැම කතාවකින්ම කියවෙන්නේ එකම දෙයක්. එකම මන්ත්‍රයක්. එක එක කතුවරු ඒක විවිධ විදිහට ජප කරනවා."
වෙන කවුරුහරි මට ඔය විදිහට කිව්වනම් මම හයියෙන් හිනා වෙලා 'උඹට පිස්සුද?' කියල අහයි. ඒත් උපේක්ෂා එහෙම කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන්ම යි කියල තේරුම් ගියා. ටික වෙලාවකින් අපිට ගැලපෙන විදිහේ 'තේ කඩයක්' හම්බවුණා. සාමාන්‍යට වඩා වෙනස් විදිහට සකස් කරපු ඒ තැන, එළිමහනේ මේස පුටු තියල තිබුනා.මල්වැල් වලින් කුඩා පොකුණු වලින් අලංකාර වුණුඒ පරිසරය අර කලින් කියපු චිත්‍රපටි ස්වභාවය අල්ලලා තියාගන්න සමත් වුණා.
ඊළඟට වුනේ හිතාගන්නත් අමාරු දෙයක්; කොතනින් ආරම්බ වුනාද කියල දන්නෙම නැතිව මම උපේක්ෂට මගේ කලින් තිබුන ඒක පාර්ශවීය ආදරයෙන් විඳපු වේදනා ගැන විස්තර කරමින් හිටියා. බොහොම සාවදානව මට සවන් දුන්න ඇය මගෙන් හරස් ප්‍රශ්න එකක්වත් ඇහුවේ නෑ. කොහොමින් කොහොම හරි මගේ ප්‍රේම කතා ඉවර වෙද්දී සැහෙන වෙලාවක් ගත වෙලා තිබුණා. මේ වගේ අහම්බෙන් මුණ ගැහෙන කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන්න කවදාවත් බෑනේ. කොහොම වුනත් මගේ සමහර හිතවතුන්ටත් වඩා ඇය මට මේ පැය ගණන තුල සමීප වෙලා.
"අපි කාලෙන් කාලෙට එක එක හීන පස්සේ එලවනවා, ඒ හීන සැබෑ වෙන්නේ නෑ කියල දැනුනම එක ඇත හැරලා තවත් එකක් හොයා ගන්නවා. දැන් ඔය ඔයා කියපු ප්‍රේම කතාවත් මම හිතන්නේ අකලංක එකක් නෙවයි. නිකන් ආසාවක් විතරයි. කාලෙකට දැකපු හීනයක් වගෙයි. ඒ හීනෙන් හෙම්බත් වුනාම දැන් ඔයා තවත් එකක් හොයා ගනියි." , ඒපාර ගෑණි කිව්ව කතාවෙන් මම හොල්මන් වුණා. මම හොරෙක් වංචාකාරයෙක් කියල හිතනවද දන්නේ නෑනේ.
"බය වෙන්න එපා, මම මේ කිව්වේ හැම කෙනෙක්ගෙම ස්වභාවය.", හරියට එයා මගේ හිත කියෙව්වා වගේ උත්තර දුන්නා.
"එතකොට ඔයා, ඔයත් එහෙමද?"
"ඔව්, ඒත් එහෙම නොවෙන්න උත්සහ කරනවා. දැන් මම යන්න ඕනේ", උපේක්ෂා යන්න නැගිට්ටා. යම්තමින් හිනා වෙලා ඔලුව වනල ඇය යන්න ගියා.
ඔන්න ඉතින් ඔය විදිහට තමයි මගේ අලුත්ම පෙම්වතිය මට මුණගැහුනේ.