Wednesday, March 30, 2011

සමාන්තර

හැමෝම කතා ලියන එකේ මටත් කතාවක් ලියන්න ඕනෙම උණා, ලියන්න පටන් ගත්තම ඔහේ ලියවුණා, මේ පළවෙනි කොටස.
----------------------------------------------------------------------------------
"අපි දෙන්නත් මේ රේල්පාර වගෙයි නේද අවිශ්ක? හැමදාම සමාන්තරයි.", රේල්පාරේ කොටන් එකින් එකට පනිමින් ඇවිදින ගමන් උත්තරා මගේ දිහාට හැරිලා ඇහුවා.

"හ්ම් මතු පිටින්නම් එහෙම තමයි."
"ඒ කිව්වේ, ඔයා හිතන්නේ නැද්ද අපි හැමදාම මේ වගේ ඉන්න ඕනේ කියල?"
"හ්ම්,,, හිතනවා එත් හිතන හැමදේම වෙනවනම් කොච්චර හොඳයිද!"

මට උත්තරා සුසුම්ලනවා ඇහුනේ යන්තමින්. අපි දෙන්නට පොඩිකාලේ ඉඳල පුරුද්දක් තිබුණා මෙහෙම මොනවහරි කියෝ කියෝ ඔහේ ඇවිදින්න, තාමත් ඒ පුරුද්දට ආස වුනේ මොකද මන්ද, වයස ගියත් උත්තරා එක්ක ඉන්නකොට ඒ සරල සැහැල්ලු ගතිය දැනුනේ නිරායාසයෙන්මයි, අපි එච්චර කතාකළේ නැති උනත් අපිට අපේ හිතේ තියන දේ මොකද්ද කියල අනුමාන කරන්න පුළුවන් උනා. ඒ පුංචිකාලේ ඉඳල එකට හැදිච්ච හින්ද වෙන්න ඇති, ඒක එතරම් ශක්තිමත් පරිණත බැඳීමක්.

බහින ඉරේ එළිය උත්තරාගේ මුනේ පතිත වෙලා දිලිහුනා, හුළඟින් උත්තරාගේ කොන්ඩේ හැම අතේම වැනුණේ පණ ඇවිල්ල පැනලයන්න හදනවා වගේ. ඒ අතරේ මුහුදු වෙරළේ ළමයි කෑගහමින් සෙල්ලම් කරන හඬත් ටිකක් ඈතින් ඉඳල හිටලා ඇහෙන වාහන නලා හඬත් එක්ක එකතුවුන මුහුදේ හෝ සද්දේ ගෙනාවේ අමුතුම මිහිරියාවක්. අතීතය සිහිගන්වන සමීපබවක්.    

"අනේ මට මහන්සියි අවිශ්ක, ටිකක් වාඩි වෙමු.", ටික වෙලාවකට පස්සේ උත්තරා යෝජනා කළා.

තවත් ටිකක් ඇවිදින්න උනා ඉඳගන්න තැනක් හොයන්න, හොඳයි කියල හිතෙන තැනක වාඩි වුණා. ඉඳල හිටලා මුහුදු රළ ඇවිත් කකුලේ හීතලට වැදුණා. උත්තරා ලඟපාත තිබුණ සිප්පිකටු එකතු කරන්න පටන් ගත්තා. මමත් තැනින් තැන ඇවිදලා ඒ වැඩේට උදව් කළා. මෙහෙම වත් සතුටු වෙන්න උත්තරා ඉන්න ඕනෙනේ.

සිප්පිකටු අහුලන සෙල්ලම නවත්තන්න උනේ තවත් ඉතිරි වෙලා නැති බව පෙනිච්ච හන්දයි, උත්තරා තවත් වටපිට බලබල ඉන්න අතරේ මම කෝට්ටක් හොයාගෙන වෙරළේ කවියක් ලිව්වා,

ඔබයි මමයි
අහසයි පොළවයි
ක්ෂිතිජය අපිව එක්කරයි
සැරිසරමු අනන්තයට
අත් අල්ලන්
හුළඟ අපට පාර කියාවි
දේදුන්න අපිට උදව් කරාවි     

මම ලියනවා දැකල කවිය කියවපු උත්තරා "හානේ, ලස්සනයි" කියල මගේ අතේ එල්ලුනා. මම හිනාවුණේ ඉබේටම. 

තවත් වෙලාවක් මුහුද දිහා බලන් ඉන්න වෙන්වුණා.

"දන්නවද ඔයාගෙයි මාලන්ගෙයි තියන වෙනස?"  සෑහෙන වෙලාවකට පස්සේ උත්තරා ඇහුවා. 
මම ඇය දිහා බැලුවා, එයාගේ මුහුණේ තිබු හැගීම මොකද්ද කියල වැටහ ගන්න අපහසු වුණා. සතුටකුත් දුකකුත් දෙකම එකපාරට ඇති උන බවක් පෙනුණා, එක්කෝ මගේ නිරීක්ෂණය වැරදි වෙන්න ඇති.

"ඔයා හරියට මුහුද වගේ ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් තැම්පත්, මාලන් එහෙම නෙමේ එයා ඇළක් වගේ වේගෙන් ගහගෙන යනවා කලබලකාරී." මම උත්තර නුදුන්න නිසා එයාම ඉතිරි ටිකත් කිව්වා.

"ඉතින් ඔයා වැඩිපුරම කැමති මුහුදටද ඇළටද"
"දෙකටම කැමතියි, හැබැයි ඒ විදි දෙහෙකට."
"ඔයා ඔය කතාව මට කිව්වට මාලන්ට එහෙම කියන්න එපා, වරදවා තේරුම් ගනීවි", උත්තරා එකට හයියෙන් හිනාවුණා.

"බය වෙන්න එපා, එයා ඔය හිතන තරම් නරක නැහැ."
"මම දැන් නරකයි කියල කිව්වේ නැනේ."
"ම්,,, එහෙම හිතන් හිටියද දන්නේ නැනේ."

මම මුකුත් කියන්න ගියේ නෑ, අනික එහෙම කියන්න දෙයක් හිතට ආවෙත් නෑ.

"ඔයා කිව්වා වගේ අපි රේල් පීලි දෙකක් නම්, ඇතට පෙන්නේ එක් වෙනව වගේනේ, එක හින්ද පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි."
"මට පුදුමයි ඔයා එහෙම කිව්වට, ඔයා කවදාවත් පිටින් එන දේවල් වලට බය වුනේ නැනේ."
"ඒක කිව්වේ මම ගැන නෙමෙයි ඔයා ගැන හිතල."
උත්තරාට එහෙම කියද්දී හිනාවුනේ නැති වුනත් එයාගේ ලොකු ඇස් ආදරයෙන් හිනාවුණා. 

"දැන් යමු හොඳටම හවස් උනානේ.", හවස හයටත් ලංවෙන හින්ද මම කිව්වා.
"හරි යමු එත් ඊට කලින් කියන්න දෙයක් තියනවා, මම කාටවත් අයිති වෙන්නේ නෑ, මට ඔයාත් ඔයාට මමත් හැමදාම වගේම ඉන්නවා."
එහෙම දෙයක් මොකට මට කිව්වද කියල මට හිතාගන්න අමාරු වුණා. සමහරවිට ඒක මට කියපු දෙයකටත් වැඩ එයාටම කිව්ව දෙයක් වෙන්න ඇති.

"අනිත් එක මම නැති වුනත් දැන් ඔයාව බලාගන්න ගිම්හාන් ඉන්නේ.", ඒපාර කෙල්ල 
 කිව්වේ හිනා වේවි.

"උත්තරා කොහොමද එයා ගැන දන්නේ.", මම ඇහුවේ පුදුමයත් කුතුහලයත් එක්ක.

"ඇයි අමතක උනාද මම ඔයාගේ හොඳම යාළුවා කියල." 

Monday, March 28, 2011

ප්‍රීතිමත් සමුගැන්ම



නිශ්ශබ්දතාවය දසත පැතිරී
සැරසෙන්නේ සුන්දර වූ සමුගැන්මට
විවෘත වූ හදවත් අතර ඔබේ හදවතේ අඟුල් දමා
ජීවිතය යැයි කියා වැළඳ ගන්නා තනිකම
උරුම වූ ඔබ තැවෙන්නේ මරණය ගැනද
විරහවට පෙම්බැඳි ඔබ හා
ඔය දිදුල නයන යුගල අත්හල හැකිද
පියවරෙන් පියවර මේ මහා ආත්මීය අනුකම්පාව අතරින්
යාත්‍රා කරන්න, මගේ පෙම්බරයාන
කෙදිනකවත් සිහින දකින්න අමතක නොකරන්න
කෙදිනකවත් සුවඳ විඳීම අත් නොහරින්න


මගේ සමනළයාන,
ඔබේ ලෝකයේ මම මලක් වෙම්
මගේ පුංචි තාරකාව,
ඔබේ ලෝකයට මම ආදිත්‍ය වෙම්
රමණීය වන උයනෙහි අනන්තය දක්වා
රැව්දෙන්න අපේ හඬ
හදවතේ දොරගුළු විවර කරනු වස්
මගෙන් ඔබට හර්ද සුත්‍රයක්
සමුගැන්මේ උදුල බලයෙන් ඔබට
සමුදෙම් මම හදවතේ ඉඩ තබා


Saturday, March 26, 2011

රත්තරන් හා අඟුරු



දිවිසුන් කර ගැනීමට
ලෝකාන්තය වෙත සෙමෙන් ඇදෙන
අසරණ අබාධිත මුව පොව්වෙක්
වඩාගත්තේ සෙනහසින්
"මම උඹට උදව්කරන්නම් පැටියෝ" කියා
උගේ මෘදු කුඩා හිස අතගා
අතහැරියා අන්ධකාර අගාධයට
උදව්වක් කළේ මම
මායාවින් පිරුණු රජදහනේ
අප තනාගත් නීති වලින් අපටම
බාධක පමුණුවා ගන්නේ කුමට
අවදිවෙමු සිහිනයෙන්
සැබැව කුමක් දැයි වටහාගනු අපහසු


Thursday, March 24, 2011

ලිංගිකත්වය


ලිංගිකත්වය
අලෙවි කිරීමට ඇත
සල්ලි නැත්තම් නිකන් හරි
අනේ මේ බලන්න
කෝ බලන්නකෝ
මේ මේන්

මෙහෙමත් වනචාරිකමක්
බල්ලට අලුත් තෑග්ගක්;
සදාචාරය
සංස්කෘතිය තියාගත්තා;
හදිස්සියකදී අනිත් උන්ට
බනින්න

මනුස්සකම මොකටද මට විතරක්
ආදරය මොකදට රාගය තියෙද්දී
අනික් අය බණ කිව්වට ඒවා ප්‍රයෝගිකද
හෙහ් මේ මොන විකාරද

හැම දේම විකිණෙන යුගයක ඕකත් මොකද්ද
අපිට මොකෝ තව බැන්නත්
අනේ නිකාහිටහන්
 

Wednesday, March 23, 2011

ආදරණීය සතුරා


හුරේ!
ඔබ මගේ සතුරා
දිගු කාලීන හිටපු මිතුරා
මිතුරා
සතුරා වී
මම උඹ මරා දැම්මා
විසිකළා මිනිය
වත්ත





ඊලග දිනයේ
මම බලන කොට
මිනිය අතුරුදන්
දුක් වුවා මම

රි



Friday, March 18, 2011

වසන්තය එනවා සත්තයි



වස්සන්තය එන තෙක්
බලා හිටියේ වැරෙන්
මල් පිපේයැයි කියා
ප්‍රේමයේ අග්‍ර ‍ඵලය
නෙලාගත යුත්තේ
එවිටයි කියූ නිසා
මතකද
අඳුර විසින් එළිය
ගිලගන්නා මොහොතේ
මම ඔබට දිව්රුවා
'වසන්තය එනවා සත්තයි' කියා 




Wednesday, March 16, 2011

ඇය කියූ වදන්



නෙතුපියන් වැසී ඇත
රූපරාමු රැසක් මා ඉදිරිපිට
එකින් එක මාව බිලිගනී
ඔබ කොහෙද
වචන හා හැගීම් පොදියක්
සිත තුල තෙරපෙයි
අතර අගාධයක ඔබ හා මා
ආදරය වද කඳවුරක සිරවී
ඔබ මාව පෙනෙනවාද
ඔබට මාව දැනෙනවාද
නියඟයෙන් මුඩු වුන
මේ පොලව මතට
ලා පොද වැස්සක්වී සිප
ඔය සිනිදු කොපුලේ
තුවාල කැළැල් ඇතිවී
අම මිහිරි හඬකින්
ඇය කියූ වදන්
තවමත් සිත බරයි


Tuesday, March 15, 2011

මේ මොහොත දකින්න


ඕ ශාන්ති
හදවත් විවෘත කර
දකින්න
යථාර්තය

ආලෝක ධාරා වලට
නිරාවරණය වන්න
එළියට එන්න
තෙවැනි ඇස
යොමු කරන්න

කවදාවත්
නොදුටු නොඇසුණු නොදැනුනු
දේ දකීවි ඇසේවි දැනේවි
ඇති දේ
ඇති සැටියට
ග්‍රහණය

නිදහස් වන්න
නිදහස
මේ මහා බරින් නිදහස් වන්න
මේ මොහොත දකින්න
දකීවා

Tuesday, March 8, 2011

සැමදා ආදරෙයි


සොයන්නේ ඔබව
මා නොව
මගේ හදවතයි
ඇසුනාද
හදවතේ විලාපය
නොලැබෙන බව
දැන දැනත්
ඔබව
ඔබ මත්තෙම
මගේ හද
විඳවන හැටි

දුකක් නෑ
මට
වැටෙනා
හැම කඳුලක්ම
ඔබේ නාමයෙන්
නිසා
ඒ අවසරයවත්
උරුමයි නේද
මට

කමක් නෑ,,,

ඔබ සමඟ
ගෙවුන
තත්පරය
වසරක් කරන්
ගෙවමි මම
ජීවිතය සැමදා

මා වෙනුවෙන්
ඔබ ගතකල
මොහොතටත්
ඔබට ස්තුතියි

Saturday, March 5, 2011

]දැන්වීමයි[



වැරදි කර අතීතයේ
යලි යලි මැරි මැරී
නැවත උපදින
චුදිතයෙකුට 
කාල යන්ත්‍රයක්
උවමනා කර තිබේ!

"අනවශ්‍ය දෙයක්
සිදුවුනේ
සමාව දෙන්න එපා
දෙයියනේ,,,

ඇත්තු ලවා අද්දල හරි 
සදොස් නිදොසට 
ආපහු අතීතය 
ගෙන්වීම වස්, 

විද්‍යාඥයෙක්
දාර්ශනිකයෙක්
මායාකාරියෙක්
අනේ කව්රුහරි
හදා දෙන්න
කාල යන්ත්‍රයක්"


Thursday, March 3, 2011

.::වැස්ස::.


වැස්ස
දන්නවද ඔබ,
මගේ හර්දය කම්පාවෙන්
නාය ගිහිල්ල,
අනේක සොසුසුමන්
පිටාර ගලල,
කදුළු කැට වලින්
ගංවතුරත් ඇවිල්ලා.

වැස්ස
මගේ ආදරණීය වැස්ස,
ඔබ මාව දෝවන්න
මේ සෝසුසුම් පහකරන්න..
වෙලුනු කඳුළු පැල්ලම් සෝදන්න..
ඉරිතැලුණු හර්දය සුවපත් කරන්න...

වැස්ස
අනේ ප්‍රේමනීය වැස්ස,
ඔබ මට ආදරෙයි නේද? 


 සැ.යු. : මේ නිර්මාණය මෙන්ම මීට ඉහත දැමු ඒවාද මා විසින්ම වෙනත් Forum එකකට ලියු ඒවා වේ, එබැවින් මේ වෙන කිසිවෙකුගේ නිර්මාණ පිටපත් කිරීමක් නොවන බව සලකන්න. 

Wednesday, March 2, 2011

මාධ්‍ය හා මැස්සෝ


මැස්සා උඹ දක්ෂයා
කුණුගොඩකට මාරයා
කුණු නැත්නම් මවලා හරි
පෙන්නන්නට ශුරයා

කිහිපයකට හරි හොඳයි
සමහරකට කරදරයි
හැමතැනකම වහන හින්ද
පොඩිකරන්න සැරසෙතෙයි

එක මැස්සෙක් මියගියා
අනෙක් මැස්සෝ බයවුණා 
හැමතැන කලබල කළා
මුළු රටක්ම ඇවිලූවා 

ආවා සංවිධානය
ගියා පෙළපාලිය
ලෝකෙට හඬනගා
පෙන්වූවා දුක, වැලපුණා

මාසයකුත් ගතවුණා
හැමෝටම අමතකවුණා 
හොයාගත්තා කුණුගොඩක්
මැස්සෝ යෙත් එක්වුණා