Tuesday, November 22, 2011

සුනේත්‍රාගේ පහස ලැබ | To Sunethra, with Love.



මේ කියන්න යන්නේ සුනේත්‍රා ගැන, එහෙමත් නැත්තම් සුනේත්‍රා රාජකරුණානායක නම් සම්මානනීය ලේඛිකාව ගැන. මට සුනේත්‍රා ව මුණගැහුනේ මීට අවුරුදු හය හතකට කලින්. ඒ මගේ අක්කා කෙනෙක් ළඟ තිබුණු 'පියනි මණ්ඩපය' කියවීම හරහා. සුන්දර සිහිනමය චීන නාඩගමක් ආශ්‍රයෙන් ලියවුණු එය මම සුනේත්‍රාගේ කැමතිම පොත්වලින් එකක්. ඒත් එතනින් එහාට සුනේත්‍රාගේ පොත් කියවීමේ අවස්ථාවක් කාලයක් යනකම් ලැබුනේ නෑ. ඊළඟට ඇයව හමුවෙන්නේ 2008 වසරේදී, ඒ ඇය සම්මාන ගණනාවක්ම 'පොදු පුරුෂයා'ට හිමි කරගත්තට පස්සේ. පොදු පුරුෂයා මම තුලින්ම දකිමින් මම ඒකට බැඳෙන්න ගන්නවා. ඔන්න ඉතින් මමත් සුනේත්‍රා සින්ඩ්‍රෝමයෙන් ආතුර වෙනවා. අමුතුවෙන් කියන්න ඕනේ නෑ, සරසවියේ තියන සුනේත්‍රාගේ පොත් කන්දරාවම මගේ පොත් ගොඩටත් එකතු වෙනවා. වහින වෙලාවට ඇඳට වෙලා කොපි බිබී ඒවා කියවනවා, නිදිමත වුණහම එහෙම්ම ම ඇයත් එක්ක නිදා ගන්නවා. සුනේත්‍රා මගේ ජීවිතේට එකතු වෙන්නේ ඔහොමයි. දැන් ඇය සැලකිය යුතු තරම් මට බද්ධ වෙලා. ඕනෙනම් දැන් මට යම් සිද්දියක් ගැන ඇය මොන මතයක් දරාවිද කියල උපකල්පනය කරන්න පුළුවන්. මේ කතාබහත් ඒවගේ. සැබෑවට ඇයව මුණගැහෙන්න අවස්ථාවක් මට ලැබිල නෑ (ලැබෙනවා නම් කොච්චර හොඳද!). මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්නෙත් මම ම යි, හැබැයි ඒ මම ඇයගේ ප්‍රතිරූපයට ආරූඪ වෙලා.

මම: ඔබ කැමතිම ඔබේ පොත මොකද්ද?
සුනේත්‍රා: ඕක තමන්ගේ ළමයි කිහිප දෙනෙක්ගෙන් වැඩිපුරම ආදරේ මොන ළමයටද කියල අහනවා වගේ වැඩක් නේ. මෙහෙමයි, එක එක නිර්ණායක අනුව මගේ නිර්මාණ වර්ග කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට මුලින්ම රාජ්‍ය සම්මාන ලැබුණු 'රිදී තිරංගනාව' වඩා හොඳයි කියල කෙනෙක්ට කියන්න පුළුවන්.
මම:  හරි ඒ ප්‍රශ්නෙම මෙහෙම ඇහුවොත් ඔබට අනුව වඩාත්ම සාර්ථක නිර්මාණය කුමක්ද?
සුනේත්‍රා: සම්මාන ලැබීම සාර්ථකත්වය කියල සලකනවා නම් රිදී තිරංගනාව, පොදු පුරුෂයා, කවි කඳුර සාර්ථකයි කියල කියන්න පුළුවන්. ඒත් මට අනුව සාර්ථකත්වය තීරණය වෙන්නේ පාටකයාට ඒ කෘතිය කරන බලපෑම හරහා. ඒක ඇත්තෙන්ම බොහොම සාපේක්ෂ දෙයක්.
මම: ඔබේ බොහොමයක් නිර්මාණ වල තියෙන්නේ පරාජිත ප්‍රේමය නැත්තම් තාවකාලික ආදරය. ඔබ කියන්න හදන්නේ සදාකාලික ආදරයක් නෑ කියලද නැත්තම් ඔබට අත්දකින්න ලැබුනේ එහෙම සම්බන්ධතා විතරද?
සුනේත්‍රා: නැහැ, මම කතාකරල තියනවා. පොදු පුරුෂයා කියන්නේ සදාකාලික ප්‍රේමයක් ගැන කතාකරන නිර්මාණයක්. ඒ සදාකාලික ප්‍රේමය තමයි මමංකාරයෙන් තොර මෛත්‍රිය. ඒ කියන්නේ සියලුම ප්‍රේමයන් එකිනෙකට සම්බන්ධ වෙන සියුම් හුයකින් බැඳෙන මෛත්‍රී සුත්‍රය. ඒක එක අතකින් භාවනාවක් වගේ. තමන්ට තමන් ආදරේ කරන අතරේ ඒ ආදරය අනෙක් පුද්ගලයන්ටත් විහිදෙනවා. ඒක බොහම විරාගි යි, එනිසා කාලයෙන් ප්‍රශ්නයක් එන්න විදිහක් නෑ. අකාලිකයි. බුදුහාමුදුරුවෝ නාලාගිරි මෙල්ල කරන්නෙත්, අංගුලිමාලට රහත්වෙන්න පාර කියන්නෙත් ඔය මෛත්‍රී සුත්‍රයම යි. ඒ සදාකාලික ආදරය අවෛරයම යි. ප්‍රභාකරන්ට වුණත් ළඟම නෑයට වුණත් සමානව සලකන්න පුළුවන් වෙන්නේ ඒ මෛත්‍රී සූත්‍රයෙන්.

ඔය විදිහට තව තවත් ඉදිරියට කතා කරගෙන යන්න පුළුවන් වුණත් මම මෙහෙම කරන්නේ නෑ, මොකද මගේ හිතේ ඇඳුනු සුනේත්‍රා සැබෑ සුනේත්‍රා සමග කොච්චර දුරට සමපාත වෙයිද දන්නේ නැති නිසා. කොච්චර නොගැලපීම් තිබුණත් දෙන්නා කෙහෙවලු පටලව ගන්න එකක් නෑ කියලනම් විශ්වාස යි. කොහොම වුණත් දැන් මේ ලියන්නේ මම වඩාත්ම ප්‍රිය කරන, සුනේත්‍රා විසින් රචිත කෘති කිහිපයක් ගැන කෙටි සටහන්.

රිදී තිරංගනාව
මෙය ඇය ලියූ, මා වඩාත්ම ප්‍රියකරන පොත කියල හැඳින්වූවාට වරදක් නෑ. ඒ මනුශිගේ කතාව, නැත්තම් මාශලා මානෙල් නම් බෞතිස්ම ලද්දියගේ ජීවිත කතාව. පොත ආරම්බයේදී ඇති ප්‍රවේශ කතා වස්තුවේදී ඇය මෙහෙම කියනවා,
මට මුණු පහක් තියනවා
අත් දහයක්
පංච මූර්තියක්...
මේ ඒ පංච මුර්තියේ කතාව, මාශලා අත්දැකීම් සමග පරිවර්තනයේ රංගනය. එක අතකින් මෙය සිනමා නිර්මාණයක්. රංගන ශිල්පිනියක් අලලා සෑදු චිත්‍ර පටයක්. එනිසාම වෙන්න ඕනේ කතාවේ තියෙන්නෙත් නිකම් සිනමාත්මක බවක්. ඒක එක පැත්තකින් යථාර්ථවාදයත් අනෙක් පසින් ෆැන්ටසියත් අරගෙන ඒදණ්ඩ තරණය කරනවා වගේ. හිමිවීම, ඒ සමගම එන අහිමි වීම, ප්‍රේමය හා විරහව, අතීතකාමය, සතුට දුක ආත්ම අනුකම්පාව එක්ක බැඳුනු මනුෂී නම් නිළිය ධර්ම චක්‍රය හරහා නොනවතින ගමනක යන්නේ විටක ශ්‍රී දේවිය වෙලා තවත් වෙලාවක කාලි යක්ෂණිය වෙලා. හැම කතාවක වගේම සුනේත්‍රාගේ ස්ත්‍රීවාදී දෘෂ්ටිය තුලින් බලන සමාජය, ප්‍රේමය, පිරිමියා, මිනිසුන්, දේශපාලනය, කලාව, මාධ්‍ය මෙහිත් වඩාත් පුළුල්ව විවරණය කරන්න ඇය සමත් වෙලා (මේ පොතේ වඩාත් හොඳින් ගුණාගුණ පිරික්සන්නට නම් වෙනම ලියන්න වෙනවා, එය පස්සට තබමු).

ප්‍රේම පුරාණය
කතෝලිකයට බයිබලය වගේ මෙය සෑම සුනේත්‍රා පාටකයෙක් සතුවම තිබිය යුතු පොතක්. ඕනෙනම් මේ සුනේත්‍රාගේ සාරය ලෙස හැඳින්වූවාට වරදකුත් නෑ, ඒ ඇය සෑම කෘතියකින්ම කියන්න හදන පණිවිඩය මේ හරහා අඩු/වැඩි වශයෙන් කියවෙන හන්ද. උවමනා නම් කෙනෙකුට කෙටිකථා සංග්‍රහයක් කියල හැඳින්විය හැකි සුනේත්‍රාට අනුව නම් නවකතාවක් වන මෙහි ඇත්තේ නිර්මලා තම ජීවිතයේ මුහුණදෙන අත්දැකීම් කිහිපයක්. පොතේ පසු කවරයේ මෙහෙම තියනවා,
නිර්මලා තම ජීවීන අත්දැකීම් පමණක් නොව අනුන්ගේ ජීවන වෘත්තද නව ශාන්ති මාර්ගයකට විලක්කු එළි බවට පත් කර ගන්නීය. ඇය පෞද්ගලික පරාජයන් ශක්ති ප්‍රවාහයක් බවට පත් කරන්නට තැත් කරන්නීය. නිර්මලා ශුද්ධ ස්වරයක්, බ්‍රහ්ම සංකේතයක් හා ගැඹුරු දේශපාලන වන කැළැල් සුවයට ප්‍රේමයේ නව බසක් සොයන්නීය.
නිර්මලා සොයන්නේ පුණ්‍යවන්තයන්ට හා පිළිගත් සුචරිත නියමයන්ගේ වෙස් මුහුණු පැළඳ සිටින්නන්ට පමණක් නොව සියලු පව්කාරයන්ටද ප්‍රේම කළ හැකි මාර්ගයකි.
කලින් කිව්වා විදිහට මෙය මට බයිබලය වගේ හින්ද මම සෑහෙන වතාවක් කියවල තියනවා. ඉදිරියටත් ප්‍රශ්නයක් නැතුව කියවන්න පුළුවන් වේවි.


විස්තර කරනවා නම් සුනේත්‍රාගේ පොත් හැම එකක්ම වුණත් ගන්න පුළුවන්. ඒත් අවශ්‍ය නෑ, මේ දෙකෙන් යම් අදහසක් ලැබෙනවා. තවත් මම කැමති කෘති ලෙස මේවා නම් කළ හැකි යි. පොදු පුරුෂයා, හර්ද සූත්‍රය, සුබෝධාලංකාරය, කවි කඳුර, සඳුන් ගිර ගිනි ගනියි, මතක පොත හා පූර්ව ජන්ම අපූර්වය. අවසානයේ කියන්න තියෙන්නේ මේ ලිපිය සුනේත්‍රට භක්ත්‍යාදරය දැක්වීම සඳහාම ලියූ බව. මේ ලිපිය අවසානයට ප්‍රේම පුරාණයේ ඇය ලියූ පිදුම ගැලපේවි කියල හිතනවා.

ප්‍රේමයෙන්ම හුස්ම ගනිමි
ප්‍රේමයෙන්ම හුස්ම හෙලමි
ප්‍රේමයේ ඔසු වනයේම සරා ඵල නෙලමි
සිත් චිත් ආනන්දයෙන්
ප්‍රේමයේම සුවය සොයමි
මම මා ප්‍රේමයෙන්ම
ශුන්‍ය ප්‍රීතියට මුසු කරමි
අසංග වූ ප්‍රේමයෙන්
මේ ප්‍රේම පුරාණය 
ප්‍රේමයටම පුද කරමි

Sunday, November 20, 2011

ඝාතනයේ ආශ්වාදය | Killing for fun




සමනළයා මල එක්ක බර කතාවක වැටිලා ඉන්න කොටයි දඩයක්කාරයා කොහේදෝ ඉඳල මතු වුණේ. ඒ සමනළ දඩයක්කාරයෙක්. ඔහු ගාව විවිධ වර්ගයේ සමනළයන් එකතුවක් තිබුණා. මිනිස්සු ඒ එකතුව බලල සතුටු වුණා. සමහර දාට දඩයක්කාරයා සාදයක් සංවිධානය කරලා දන්න දන්න හැමෝටම කතා කළා. හැමෝම එකතු වෙලා සමනළ එකතුව අගය කළා. ආපු පුරුෂයන්ට දඩයම් කිරීමේ අසාවෙන් තුවක්කු ගැන තොරතුරු හෙව්වා, කාන්තාවෝ එකතු වෙලා සමනළ පිහාටු වල පාට ගැන කතා කරලා ඇහිබැම නැටෙව්වා.

"අනේ මේ මොකද?" දඩයක්කාරයා දැකපු මල කෑගැහුවා. දඩයක්කාරයා මලට උත්තර දුන්නේ නෑ සමහර විට මල කිව්වේ මොනවද කියල ඇහෙන්න නැතුවත් ඇති. දඩයක්කරයට සිහිවුනේ තමාගේ එකතුව. මේ සමනළ වර්ගය විතරයි ඔහුට අඩු වෙලා තිබුණේ.
"පැනල යන්න, ඉක්මනට" මල සමනළයට කිව්වේ බයෙන් වෙව්ලන ගමන්.
සමනළයා පුළුවන් උපරිමයෙන් පියාඹන්න ගත්තා. ඒත් වැඩි වෙලා යන්න ලැබුනේ නෑ. ඩෝන්! මහා සද්දෙකුත් එක්ක පිටවුණු වෙඩි උණ්ඩය සමනළයාව අප්‍රාණික කරලා බිම හෙලුවා.

දඩයක්කාරයා සතුටින් ඉපිලුණා. කොච්චර කල් ඉඳල කරගන්න උවමන වුණු දෙයක්ද මේ. දඩයක්කාරයා ආයෙත් අහසට වෙඩිල්ලක් යැව්වේ සතුට වැඩි කමට. මියැදුණු සමනළයා පෙට්ටියක දාගත්ත දඩයක්කාරයා ආපහු යන්න හැරුණේ සාදයක් දාන්න කටයුතු සුදානම් කරන්න හිතින් සැලසුම් කරන ගමන්.
මේ හැමදේම බලන් හිටපු මලට අඬන්න ඇහැට කඳුළු ආවෙත් නැතුව අසරණ වුණා.

Wednesday, November 16, 2011

සංසාර ආරණ්‍යය : නිසසල නවාතැන

පළවෙනි කොටස
දෙවැනි කොටස
තෙවැනි කොටස
සිව්වැනි කොටස


"අපි ඇයි මෙහෙට ආවේ?" ආදිත්‍ය අවස්ථාව තේරුම් ගැනීමේ උවමන්වෙන් ඇහුවා.
"දන්නෑ"
"දන්නෑ?"
"පොඩ්ඩක් කටවහන් ඉන්නවද?" මගේ ඒ ප්‍රකාශය ආදිත්‍යව නිහඬ කළා.
මම ආදිත්‍යට පේරාදෙණිය මල් වත්තට යමු කිව්වේ ඇයි කියන ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් නෑ. ඒක මගේ හිතට සහනයක් ලබා ගැනීම, ආදිත්‍යගේ ලියුමට ප්‍රතිචාරයක් දැක්වීම, නැතිනම් නිකම්ම නිකන් අලස රස්තියාදුවක් වගේ කරුණක් වෙනුවෙන් විය හැකි යි. ඇත්තෙන්ම හේතු හොයන්න යන එකේ තේරුමකුත් නෑ. අවශ්‍ය වුණේ ඉදිරිය පැහැදිලි කර ගැනීම පමණයි. ආදිත්‍යට දෙන්න ඕනේ කොයි වගේ පිළිතුරක් ද කියල මම දැනගෙන හිටියේ නැති වුණාට එයා කියපු විදිහේ පිළිකුලක් නම් ඇති නොවුණු බව විශ්වාස යි. ඒත් එතනින් එහා දැනුණු හා හැඟුණු දේ වචන වලට පෙරලීමේ අපහසු කටයුත්තේ මම අතරමන් වෙලා.

සංසාර ආරණ්‍යයේ ස්වභාවය තුලින් මේ ප්‍රශ්නයට උත්තර ලැබුනත් ඒකට හාත් පසින්ම වෙනස් ලෝකෙක ප්‍රශ්නවලට උත්තර සෙවීම පහසු නෑනේ. අනිත් එක හැමදාම ෆැන්ටසියක් තුල ජීවත්වෙලා තමන්ටම බොරුකරගත්තත් සැබෑවට මුහුණ දෙන්න දවසක් උදා වෙනවනේ. සමහරවිට ඒ මේ පරිවර්තනයේ ආරම්බය වෙන්න පුළුවන්. සාර්ථකත්වය සාපේක්ෂයි වුණත් මට ජීවිතය සාර්ථක කරගැනීමේ උවමනාව හොඳටම තිබුණා. ඒත් ආදිත්‍ය ඒ සාර්ථකත්වය එක්ක ගැලපෙන්නේ කොහොමද කියන එකයි ගැටලුව.
"අපි කතාකරන්න ඕනේ..." මම ආදිත්‍යට කිව්වම එයා ඔලුව වැනුවා."කෙටියෙන්ම කිව්වොත් උඹ බලාපොත්තු වෙන දේ වෙන්නේ නෑ."
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ උඹ ජීවත් වෙන්නේ හීන ලෝකෙක, ඒ හීන කවදාවත් හැබෑ වෙන්නේ නෑ"
"ඒත් උත්සහ කරන්න පුළුවන්නේ"
"ඔව්, ඒත් කවදාහරි තේරේවි කරපු දේවල් වැඩක් නෑ කියල."
"එහෙම වෙන්නත් පුළුවන්, ඒත් කමක් නෑ."
"ජීවිතේ නාස්තිකර ගත්තට කමක් නෑ?"
"හීන පස්සේ ගිහින් නොලැබුනත් ඒක හීන නොබලා ඉන්නවට වඩා හොඳයි."
"ඒ උඹ හිතන විදිහ..."
"දැන් රවීන් හිතන්නේ කොහොමද?"
"මම හිතන්නෙද? මම හිතන්නේ අපේ යාළුකම මෙතනින් ඉවර යි."
"මොකද්ද?"
"උඹ මීට පස්සේ මගේ යාලුවෙක් නෙමේ යි." මම වචන කඩමින් උච්චාරණය කළා.
මම ආදිත්‍යගේ ප්‍රතිචාරය ලැබෙනකන් හිටියේ නෑ. ප්‍රතිචාරය දැන ගන්න ඕනේ කමක් තිබුනෙත් නෑ. ඒක එක්තරා විදිහක ළදරු වැඩක් වුණත් එහෙම හරි ප්‍රශ්න වලින් පැනල යන්න මට ඕනේ වුණා. අනිත් අතට මේ ප්‍රශ්නේ විසඳ ගත යුත්තේ කොහොමද කියල තේරුමක් මට තිබුනෙත් නෑ. දැනන් හිටියේ නොවිය හැකි යමක් කියල විතර යි. මම ආපහු හැරිලා යන්න ගත්තා. අතින් ආදිත්‍ය නවතින්න කියල කෑගැහුවත් මම නැවතුනේ නෑ. මම නෑහුනා වගේ දිගටම ඇවිද්දා.

"උඹ මහ බයගුල්ලෙක් රවීන්!" ආදිත්‍ය එහෙම බෙරිහන් දෙනවත් එක්කම මම නැවතුනේ මොන හේතුවකට කියල හරියටම කියන්න අමාරු යි. සමහරවිට මම බයගුල්ලෙක් කියල හඳුන්වනවාට ඇති අකමැත්ත නිසා වෙන්න පුළුවන්. නැත්තම් මගේ හොඳම යාළුවව මෙහෙම මගහරින්න බැහැ කියල හිතුන හින්ද වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ප්‍රශ්නයට විසඳුමක් ආ යුත්තේ අපෙන්මයි කියල හිතුන හින්ද. කොයි හේතුව වුණත් නැවතුන එක ගැන මම අදටත් සතුටු වෙනවා.
* * * * * *

අපි වැල් පාලමේ මැදට වෙලා යටින් ගලා යන මහවැලි ගඟ දිහා බලන් හිටියේ පරිසරයේ නිස්කලංක බව හා සුන්දරත්වය විඳින ගමන්. පරිසරය හා මුසු වෙච්ච ළා සුළඟ අපිව සුවපත් කළා. ඒ ශාන්ති දායක සුවය වඩා වැදගත් වෙන්න ඇත්තේ මට යි.
"මට ඕනේ වුනේ මට දැනෙන දේ රවීන්ට කියන්න විතර යි." ආදිත්‍ය කතාව ආරම්බ කළා. "රවීන්ට මෙහෙම හිතෙන්නේ නැත්තන් කමක් නෑ. එහෙනම් ඒක මගේ ප්‍රශ්නයක්. එත් අපි තවදුරටත් යාලුවෝ නෙමෙයි කියන එක අසාධාරණයි..."
"මම එහෙම හිතන්නේ නැත්තේ නෑ." මම අමාරුවෙන් වචන එකතු කළා.
"මොකද්ද?"
"අ,,, උඹට හිතෙන විදිහ. එහෙම මටත් හිතෙනවා..." ආදිත්‍යට හිනා ගියා, අර ළා හිනාව තවත් හිත් පැහැරගන්න තරම් සුන්දර වෙලා. ඒ නිසාම මටත් හිනා නොවී බැරි වුණා.
"ඉතින් එහෙනම්?"
"මම හිතන, ඇත්තමට කිව්වොත් හිතාගන්න තැනක් තියනවා සංසාර ආරණ්‍යය කියල" ආදිත්‍යට උත්තර දෙන්නේ නැතුවම මම කියන් ගියා. "එතන තියෙන්නේ උපරිම නිදහසක්. කිසිම දෙයකට කිසිම කෙනෙක් බාධා කරන්නේ නෑ. ඒ වගේ තැනක අපි දෙන්නට ඉඩක් තිබුනට, සැබෑ ලෝකෙදි අපි දෙන්නට අනගතයක් නෑ. අපි ආදරය කරන්නේ පුද්ගලයාට මිසක් භාහිර දේට නෙමේ යි කියන එක තේරුම් කරගන්න එකකුත් නෑ. ඒකයි මම කියන්නේ අපි මේ දකින්නේ හීන විතරයි කියල."
"හ්ම්ම්,,, හරි මෙහෙම හිතමු ඔය සංසාර ආරණ්‍යය කියන්නෙත් ඇත්ත ලෝකෙම තමයි. සැබෑ ලෝකෙත් කිසිම බාධාවක් නෑ, සම්පූර්ණයෙන්ම නිදහස්. සීමා මායිම්, බාධක, සම්මතයන් සේරම හදාගන්නේ මිනිස්සුම මිසක් හැමදාම පැවතුන ඒවා නෙමෙයි නේ. අනුන් හිතන, කරන දේ අපි ප්‍රශ්නයක් කර නොගන්නා තාක් අපිට ඔය කියන සංසාර ආරණ්‍යයේම ජීවත් වෙන්න පුළුවන්..."
වෙන කවුරුවත් ඔය දේම එවෙලාවේදී නැත්තම් ඕනෙම කෙනෙක් වෙන වේලාවකදී මට ඔය කතාව කිව්වොත් මම කරන්නේ ඒ ගැන තවතවත් හිතල හිත බර කර ගැනීම. ඒත් ඒ වෙලාවේදී පුදුමෙකට වුණේ එකේ අනිත් පැත්ත. මගේ හිත සැහැල්ලු වුණා. පිහාටුවක් වගේ පාවෙලා යන තරමටම නොවුණත් ඒ තරමටම ලංවෙන්න. ආදිත්‍යට යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු වුණත් මට කියන්න දෙයක් එක පාරටම හිතට ආවෙත් නෑ. ආදිත්‍යත් එක දැනගෙන වෙන්න ඇති බලකරලා මොනවත් දැන ගන්න ඕනේ වුණෙත් නෑ.

අපි දෙන්නා පරිසරයේ සන්සුන් බවත් එක්කම එකතුවෙලා ඒ නිහඬ බවේ සුන්දරත්වය විඳගත්තා. ඒක නියගයකට පස්සේ වැටෙන වැස්සක්, අසනීපයකට ලැබෙන රස ඔසුවක්, දාහයට හමන මද පවනක් තරම්ම සුවදායි යි. අවශ්‍යතාවයක් තියනවනම් කරන්න බැරි දෙයක් නැති නිසාත්, ජීවිතය කියන අභියෝගය භාර ගෙන මම මම වෙනුවෙන් හා අපි අපි වෙනුවෙන් සටන් කළයුතු නිසාත් මම අපේ අනගතය ගැන සිහින මවමින් හිටියා. ආදිත්‍ය මගේ කර වටේට අත දාල එයාගේ ඔලුව මගේ උරහිස උඩින් තිබ්බෙත් ඒ එක්කම යි.

"දන්නවද? මට දැන් කලින් නොතිබුන දෙයක් තියනවා." මම කිව්වේ නිහඬ බවට හානියක් නොවෙන්න.
"මොකද්ද?"
"බලාපොරොත්තුවක්..."


-සංසාර ආරණ්‍යය මෙතැනින් නවාතැන් ගනී.-

Sunday, November 13, 2011

පාලුයි ද සෙබළ



ඒකල දුරකථන කුටියෙන්
ඇමතුමක් ගන්නේ
තුවක්කුව එල්ලා ගත්
හුදකලා සෙබළෙක්

බයිසිකලය පැදගෙන 'විත්
නැවතුනේ කුටිය අසල
තවකෙක්, ඒත් ඒ
අපේ (නො)වෙන එකෙක්

සෙබළා කියයි දුක
දුරකතනයට හෙමිහිට
අනෙකා බලාසිටි
අවස්ථාව එන තුරු ඔහුට

"වැඩ කරන්නේ නැද්ද කොහෙද"
එළියට එන සෙබළා කියා
යයි එක්වන්නට
සුපුරුදු හුදකලාවට

අනෙකා තවම අනෙකාමයි
නැහැ එහි වෙනසක්
බලා කුටිය දෙස 
යන්නට ආපසු හැරුණා
අතැර පැතුම් දහසක්

පාලුයි ද සෙබළ
නැතිව කෙනෙක් තනිකමට
අමතක වී ද කතාකරන්න
ළඟම ඉන්න නෑයාට

Wednesday, November 9, 2011

සංසාර ආරණ්‍යය : පෙම්බර කුමරාණ

දෙවැනි කොටස
තෙවැනි කොටස

රවීන්,
පහුගිය අවුරුදු දාහතටම මට යාලුවෝ සෑහෙන ගණනක් හිටියා, තාමත් එහෙම්ම ම ගානක් ඉන්නවා. ඒත් 'හොඳම' කියල විශේෂණයක් ඉස්සරහට දාන්න තරම් කවුරුවත් මට හමුවෙලා තිබුනේ නෑ, එක්කෝ හම්බවෙච්ච අය තේරුම් ගන්න මම උත්සහ කළේ නෑ. සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන්, මම කොච්චර වැරදි වුණත් මාව හරිගස්සන්න උත්සහ කරන, බැන්නත් ගහගත්තත් මරාගෙන හරි අඬාගෙන හරි වුණත් යාළුකම නැතිකරගන්නේ නැති කෙනෙක්. කිසිම සැකයක් බයක් පැකිලීමක් නැතිව ඕනෙම දෙයක් කතාකරන්න, හිතේ තියෙන හැමදේම කියන්න කොටිම්ම කිව්වොත් මුළු ආත්මයම නිරාවරණය කරන්න පුළුවන් යාළුවෙක්. කලින් මම හිතුවේ එහෙම යාලුවෝ ඇත්තටම නැතිව ඇති කියල, හරියට පරිපූර්ණ වායු වගේ. ඒත් ඒ වගේ පරිපූර්ණත්වයේ අයිඩියෝලොජි එකක් විදිහට වෙන්න වත් උත්සහ ගන්න කෙනෙක් මට හමු වෙලා තිබුනේ නෑ. ඒත් මම වැරදියි, ඒ එක්කම මම වරද්දා ගත්තට සතුටුයි. මේ මම වැරදුනහම සතුටු වෙන පළවෙනි වතාව වෙන්න ඕන.

මට ඒ පරිපූර්ණ යාළුවාව මුණ ගැහුනා.

මම දැන් ලියන්නේ මගේ කාමරේ ජනේලේ ගාව මේසේ තියාගෙන. මේ හැන්දෑව පුදුම තරම් ලස්සනයි. කඳු අතරින් ඉර එළිය ගලාගෙන එන්නේ තැඹිලි, කහ, රතු පැහැයන්ගේ සංකලනයකින්. වලාකුළු වලට ඒ එළිය වැටිලා මවල තියෙන්නේ හිත නිසංසල කරවන විදිහේ චිත්‍රයක්. ජනේලේ ළඟ බලන් ඉන්න මමත් ඒ චිත්‍රෙටම ඇතුළු වෙලා ධ්‍යාන ගත වෙලා. මනස සමාධි ගත වෙලා තියෙන්නේ මගේ යාලුකම ගැන අලුත්ම සොයාගැනීම තුල. ඒක ඒක විදිහක පිස්සුවක්, ආදරණීය පිස්සුවක්! වැස්සේ තෙමෙන්න හිතෙන, නිකන් ඉන්න ගමන් සින්දු මිමිණෙන, කොලයක් දැක්කොත් මොනවා හරි කුරුටු ගෑවෙන, හිනා යන්නේ නැති ඒවටත් හිනා වෙන, නම මතක් වෙද්දීත්  ඇස දිලිසෙන තාලේ මේනියාවක්. කියවපු අහපු බලපු කතාවල නම් මෙහෙම වෙන්නේ මොකටද කියල මම දන්නවා. කවදාවත්ම බලාපොරොත්තු වුණේ නැති විදිහට මමත් ප්‍රේමයෙන් ආතුර වෙලාද?

උඹ අහස තරම්ම ගැඹුරුයි රවීන්.


රවීන්,
වසන්තය දැන් උදාවෙලා, ඒත් ඒක මට විඳ ගන්න ලැබෙන්නෙත් නැතිව අත්හරින්නයි වෙන්නේ. මොකද මගේ වසන්තය එළඹිලා තියෙන්නේ ගිම්හාන කාලයක නිසා. ඒත් ඒ මගේම වසන්තයනේ. ඒක හින්ද මම එකට ආදරෙයි. ඒත් සමහරු මම රැවටිලා කියල කියාවි, වසන්තය කියල මම අල්ලාගෙන තියෙන්නේ සිසිරය යැයි කියාවි, ඒත් නැත්තන් මගේ වසන්තය විනාශ කරලා දාවි. මේ විස්තර ලියද්දි මට මතක් වුණේ නන්ද මාලිනි කියන සින්දුවක්.

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න
මගේ හීනෙන් මා මුදන්න ලං නොවන්න

මටත් මගේ වසන්තය ඕනේ. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? මම ඉර ඉල්ලලා අඬන්නේ නෑ. හඳ මගේ කියල පම්පෝරි ගහන්නෙත් නෑ. මට ඕනේ වසන්තය විතරයි, ඉතින් එකත් ලැබෙන්නේ නැතිව ගියහම මට මොකද වෙන්නේ?


ඉතින් රවීන්,
ඉස්කෝලෙට ආව පළවෙනි දවසෙම මට ගුටි කන්න වෙච්ච එක ගැන උඹ පස්සේ දවසක මට මෙහෙම කිව්වා,
"සොරි මචන්"
"මොකටද?"
"උඹට ගහන්න වෙච්ච එකට. ඒ වෙලාවේ මට මොනවා උනාද මන්ද..."
"අවුලක් නෑ."
"සොරි ආදිත්‍ය"
"හරි හරි, දැන් අවුලක් නෑ කියල කිව්වනේ."
"ඒ වුණාට සොරි..."
"උඹට වෙරිද බං?"
"අනේ මන්ද බං..."
ඔය ප්‍රශ්නේ ඒ කිව්වේ 'උඹට වෙරිද' කියල මගෙන් ඇහුවත් මටත් උත්තර දෙන්න වෙන්නේ මම දන්නේ නෑ කියල තමයි. ඔව්, මම ආදරයෙන් මත් වෙලා. මේ මත කවදාවත් හිඳෙන්නේ නෑ, එන්න එන්න වැඩි වෙනවා විතරයි. ප්‍රේමයේ ඇල්කොහොල් ප්‍රතිශතය පරද්දන්න මොන බීමට වත් බැහැ. එහෙම වෙන්න ඕනෙත් නෑ. මම දන්නවා රවීන්, උඹත් දැන් මත් වෙලා ඉන්නේ කියල, ඒත් එක තාම උඹ දන්නේ නෑ. මටත් ඔහොම කාලයක් තිබුණා. ඒත් මං දැන් දන්නවා.

මම උඹට මත් වෙලා රවීන්.


රවීන්,
මේ ලියුම මම ලිව්වේ දෙන්න හිතාගෙන නෙමේ යි. ඒත් දැන් මම ඒක උඹට දෙන්න තීරණය කළා. ඇයි කියල කියන්න දන්නේ නෑ. සමහරවිට මගේ හිතේ තියන දේවල් උඹට දැන ගන්න අරින්න වෙන්න ඇති. අනිත් අතට උඹ මගේ හොඳම යාලුවනේ, අපිට කතා කරන්න බැරි දෙයක් තියෙන්න විදිහක් නෑනේ.
දැනට මගේ ආදරය මට විතරක් වුණාට පස්සේ කලෙකදී ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියනවා. ඒ මොකද මම ආදරේ කරන්නේ කොල්ලෙකුට හින්දා. මම ආදරේ කරන්නේ කෙල්ලෙක්ට නෙමේ යි කියන ඒක අනිත් එවුන්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල මට තේරුම් ගන්න අමාරු යි. අනිත් අතට මට අනිත් එවුන්ගේ මගුල් වලින් වැඩක් ඇත්තෙත් නෑ. ඒත් මට කිසිම ලෙඩක් නැතිව මානසික ලෙඩෙක් කියල අහගන්න, කිසිම හැදියාවක් නැති වනචරයෙක් කියල බැනුම් අහන්න, කිසිම දෙයක් කරගන්න බැරි නපුංසකයෙක් කියල කතා අහගන්න මම කරපු වැරැද්ද මොකද්ද. ආදරේ වැරද්දක් වෙන්නේ කොහොමද රවීන්? මම මහා පවුකාරයෙක් වෙන්න ඇති.
මම දන්නවා ආදරේ කරන්න ලේසි නෑ. ආදරේ කොහොමත් අමාරුයි. ඒත් මේ වගේ අවස්ථාවකදී ඒ අමාරුකම් වලට තවත් අමාරුකම් ගොන්නක්ම එකතු වෙනවා. මම ඒවාට බයත් නෑ, බය වෙන්න ඕනත් නෑ. ඒත් ඒක ඒකපාර්ශවීය වුණහම විඳව ගන්න අමාරුයි.මේ ආදරේ ඉල්ලලා කෑගහනවා නෙමෙ යි. මගේ හිතේ තද කරගෙන තියන ඒවා කියනවා විතර යි, ආදරෙයි කැස්ස යි හංගන්න බෑ වගේ කොහෙන්ම හරි ඒ හැඟීම් එලියට එනවා. මම දන්නේ නෑ මේ ලියුම කියවල උඹ මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. ගොඩක් වෙලාවට උඹ මාව පිළිකුල් කරයි. ඒත් කමක් නෑ. මම ඉවසන්නම්.

මම උඹට ආදරෙයි රවීන්.

මීට,
ආදිත්‍ය.



-ඉතිරිය මතුවට-

Tuesday, November 8, 2011

කොන්දේසි විරහිත ආදරය | The Giving Tree



ඔන්න එක ගහක් හිටියා...
ඇය පොඩි ළමයෙකුට ගොඩාක් ආදරෙන් හිටියේ.
හැමදාම ඒ ළමයා ඇවිත් ඇගේ කොළ එකතු කරලා ඔටුන්නක් හදාගෙන කැලේ රජතුමා විදිහට සෙල්ලම් කළා.
ඔහු ඒ ගහේ කඳ උඩට නැග්ගා, අතුවල එල්ලිලා ඔන්චිලි පැද්දා, හැදිලා තිබුන ඇපල් ගෙඩි කඩන් කෑවා.
එයාල එකතුවෙලා හැංගිමුත්තන් සෙල්ලම් කළා.
පොඩි ළමයට මහන්සි දැනෙන කොට ඇගේ සෙවනට වෙලා නිදාගත්තා.
ළමයා ගහට ආදරේ කළා... ගොඩාක්....
ඉතින් ගහ හරිම සතුටු වුණා.

ඔහොම කල් ගතවුණා.
ළමයා ටිකෙන් ටික වැඩිහිටියෙක් වෙන්න පටන් ගත්තා. ඉතින් ගහ හැම වෙලාවේම වගේ හිටියේ තනියම.
ඔන්න ඉතින් දවසක්, ඔහු ගහ හොයාගෙන ආවා.
"එන්න දරුවෝ, ඇවිත් ගහට නගින්න, අතුවල එල්ලිලා ඔන්චිලි පදින්න, ඇපල් කන්න, මගේ වටේ සෙල්ලම් කරන්න ඉතින් එහෙම කරලා සතුටු වෙන්න." ඇය කිව්වා.
"මම දැන් එහෙම සෙල්ලම් කරන්න ලොකු වැඩියි" ඔහු කිව්වා. "මට එක එක දේවල් අරන් සතුටු වෙන්න සල්ලි ඕන."
"මට සමාවෙන්න." ගහ කිව්වා. "මං ගාව සල්ලි නැහැනේ. තියෙන්නේ කොළයි ගෙඩියි විතරයි. මේ ඇපල් ගන්න. ඒවා අරන් ගිහින් නගරේ විකුණන්න. එතකොට සල්ලි ලැබිල සතුටු වෙන්න පුළුවන් වෙයි."
ඉතින් ඔහු ගහට නැගල ගෙඩි කඩාගෙන යන්න ගියා.
ඉතින් ගහත් සතුටු වුණා.

ඒත් ඒ ළමයා කාලෙකින් ගහ බලන්න අවේ නෑ... ගහ බොහොම දුක් වුණා.
ආයෙත් දවසක ළමයා ආවා. දැන් ඉතින් ගහට සතුට ඉහ වහා ගියා.
"එන්න දරුවෝ, ඇවිත් ගහට නගින්න, අතුවල එල්ලිලා ඔන්චිලි පදින්න, ඇපල් කන්න, මගේ වටේ සෙල්ලම් කරන්න ඉතින් එහෙම කරලා සතුටු වෙන්න." ඇය කිව්වා.
"එහෙම කරලා සතුටු වෙන්න දැන් මට වෙලාව නෑ." ඔහු කිව්වා. "මාව රස්නෙන් තියන්න මට ගෙයක් ඕන, මගේ බිරිඳටයි ළමයින්ටයි ඉන්න ගෙයක් ඕනේ. මට ගෙයක් දෙන්න පුලුවන්ද?"
"ඒත් ඉතින් මට ගෙයක් නෑනේ." ඇය කිව්වා. "මේ කැලේ තම මගේ ගෙදර. ඒත් මේ මගේ අතු කපාගෙන ගිහින් ගේ හදාගෙන සතුටු වෙන්න."
ඉතින් ඔහු ගහේ අතු ටික කපාගෙන ගිහින් ගෙයක් හැදුවා.
ඉතින් ගහත් සතුටු වුණා.

ළමයා නෑවිත් තවත් කාලයක් ගතවුණා...
ඔහු නැවතත් ආවා. ගහට සතුට වැඩි කමට කතා කරගන්නත් බැරිව ගියා.
"එන්න දරුවෝ." ඇය කිව්වා. "ඇවිත් සෙල්ලම් කරන්න."
"මට දැන් වයසයි දුකයි හින්ද සෙල්ලම් කරන්න බෑ." ළමයා කිව්වා. "මට බෝට්ටුවක් ඕනේ මාව මෙහෙන් අරන් යන්න යන්න. මට බෝට්ටුවක් දෙන්න පුලුවන්ද?"
"මේ ගහේ කඳ කපල අරන් බෝට්ටුවක් හදන්න" ගහ කිව්වා. "ඈතට යාත්‍රා කරන් ගිහින් සතුටු වෙන්න."
ඉතින් ළමයා ගහ කපල බෝට්ටුවක් හැදුවා.
ඈතට පාවෙලා යන්න ගියා.
ගහ සතුටු වුණා.
ඒත් ඇත්තටම නෙමෙයි.

සෑහෙන කාලෙකට පස්සේ ළමයා ආයෙත් ගහ හොයා ගෙන ආවා.
"මට සමාවෙන්න දරුවෝ." ගහ කිව්වා. "මා ගාව දෙන්න දෙයක් ඉතිරි වෙලා නෑ. මගේ ඇපල් නැතිව ගිහින්."
"මගේ දත් වලින් දැන් ඇපල් හපන්න අමාරුයි" ළමයා කිව්වා.
"මගේ අතු නැතිව ගිහින්." ඇය කිව්වා. "එල්ලිලා සෙල්ලම් කරන්න බෑ."
"අතුවල එල්ලිලා සෙල්ලම් කරන්න මම වයසක වැඩියි." ඔහු කිව්වා.
"මගේ කඳ නැති වෙලා." ඇය කිව්වා. "ගහට නගින්නත් බැහැ"
"මට ගස් නගින්න මහන්සියි." ළමයා කිව්වා.
"මට සමාවෙන්න දරුවෝ මට දෙන්න දෙයක් නෑ." ගහ කිව්වා. "මම දැන් මොනවත් කරගන්න බැරි පරණ මුල් කොටයක් විතරයි. මට සමාවෙන්න..."
"මට වැඩිය මොනවත් ඕනේ නෑ." ළමයා කිව්වා. "ඕනේ වාඩිවෙලා ඉන්න නිසංසල තැනක් විතරයි. මට දැන් හරිම වෙහෙසයි..."
"හොඳයි" පුළුවන් තරම් කොටය සමතල කරමින් තරම් ඇය කිව්වා. "මේ පරණ කොටය ඉඳගන්න ඇති වෙයි නේ. එන්න දරුවෝ, ඇවිත් වාඩිවෙලා වෙහෙස නිමා ගන්න."
ඉතින් ළමයා එහෙම කළා.
ඉතින් ගහ සතුටු වුණා...

෴නිමි.෴


ප.ලි. : මේ Shel Silverstein නම් තැනැත්තිය විසින් 1964දී රචනා කළ ළමා පොතක් වූ The Giving Tree නම් කතාව. සමහර විට කලින් අහලත් ඇති. සෑහෙන්න සංවේදී ලස්සන කතාවක් හින්ද අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියල මම සිංහලට හැරෙව්වා. ඕනෙනම් ඒ කතාවම තියන වීඩියෝවත් බලන්න.



Sunday, November 6, 2011

කාළ හංස යෝගය | Black Swan Complex



නුදුරේදී වඩාත්ම සිත්ගත් සිනමා කෘතිය කුමක්දැයි කිසිවෙක් ලේඛකයාගෙන් ඇසුවහොත් ඔහුගේ පිළිතුර වනුයේ Black Swan (2010) ය. එය ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේදී විවිධ අංශයන්ගෙන් නිර්දේශ වීම හා ප්‍රධාන චරිතය රඟ දැක් වූ Natalie Portman හට හොඳම නිලිය (Actress in a Leading Role) සම්මානය පවා හිමි වීමෙන් එහි සාර්ථකත්වය මොනවට පැහැදිලි වේ.

මෙහි අන්තර්ගත කතාව කෙටියෙන් මෙසේ යි; තම ජීවිතයෙන් උපරිමයෙන්ම බැලේ නාටිකාංගනාවක් (ballerina) වන නීනාට (Natalie Portman) හංස විල මුද්‍රා නාටකයේ (Swan Lake) ප්‍රධාන චරිතය රඟ දැක්මට අවශ්‍ය වේ. එහෙත් ඇයගේ නර්තන උපදේශකයා ඇයට එම චරිතය ලබා දීමට මැලි වේ. හංස විල නාටකයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නියට ද්විත්ව රංගනයක නිරත වීමට ඇත. එකක් අහිංසක සියුමැලි ධවල හංසිනිය යි, අනෙක කපටි රාගික කාළ හංසිනිය යි. නීනා සුදු හංස චරිතය නැටුමට ඉතා දක්ෂ වුවත් කාළ හංස චරිතය සාර්ථකව කිරීමට අසාර්ථක වේ. මේ නිසා ඇය වෙනුවට ලිලී (Mila Kunis) නම් තවත් ශිල්පිනියක් ගැනීමට සුදානම් වේ. නර්තන උපදේශකගේ විවිධ බලපෑම් මත නීනා පුළුවන් උපරිමයෙන් තමා තුලින් කාළ හංසිනිය උපදවා ගැනීමට උත්සහ කරයි. ඇගේ උත්සාහය මත ඇයට ඒ චරිතය හිමිවන අතර එය ඇය ඉතා විශිෂ්ට ලෙස නර්තනයටද අවස්ථාව ලැබේ. එහෙත් කාළ හංසිය ධවල හංසිය යටපත් කරයි, සුදු හංසිනිය කාළ හංසිනිය අතින් මරණයට පත්වේ. එහෙත් ඇය සාර්ථකය, අවසානයේදී ඇය පරිපුර්ණත්වයට පැමිණේ. ඇගේ අවසාන ප්‍රකාශය 'මම පරිපූර්ණත්වයට පැමිණියා' කියා යි ("I was perfect...").

ලේඛකයාට හැඟෙන පරිදි මෙය මිනිස් ස්වභාවය අපුර්ව ලෙස ප්‍රතිනිර්මාණය කරන සිනමා නිර්මාණයකි. සෑම මිනිසෙකු තුලම හොඳ මෙන්ම නරක දෙකම ඇත, සම්පූර්ණයෙන්ම කළු සුදු චරිත නැති අතර විවිධ වර්ගයේ අළු පැහැයන් පමණක් පවතියි. යින්-යැන්, කළු-සුදු, 0-1, දෙවියා-යක්ෂයා ආකාරයේ ද්වන්ධත්වය (duality) පවතින්නේ මිනිස් සිතේ පමණක් නොවේ, ලෝකයේ පවතින සියල්ලටමද ක්‍රියා සිදුවීම් සියල්ලටමද මේ ස්වරූපය හිමිවේ. එනම් එක අතකින් මෙය 'සියල්ල සාපේක්ෂය' යන්න නැවත නැවතත් කියන කතාවකි. එක මොහොතක සුදු දෙයක් එක මොහොතකින් කළු බවට හැරවීමට ඒ දෙය වෙනස් වීමටම අවශ්‍ය නැත. ඒ සඳහා ඉදිරිපත් වන නිර්ණායක වෙනස් වන විට ඒ පිලිබඳ ආකල්පයද වෙනස් වේ. එහි විලෝමය ආකාරයක්ද ගත හැක. එනම් සුදු දෙයක් දිගටම සුදු බව පවත්වා ගැනීමට අවශ්‍ය නම් 'සුදු යනු කුමක් දැයි' නිර්වචනය වන ආකාරය වෙනස් කළ කල්හි සුදු දෙයක් කෙතරම් කළු බවට හැරුණත් එය සුදු ලෙසම පවතී යි. අවසානයේ කළු සුදු කිසිවක් නැති අතර ඉතිරිවන්නේ විවිධ ලෙස අර්ථ දැක්වූ දෑ සමූහයක් පමණි.

යමක් සර්ව සම්පූර්ණ වන්නට නම් එහි මේ කියනා අන්ත දෙකම තිබිය යුතුය. එක අන්තයක් තිබු පමණින් පූර්ණත්වයට පත් විය නොහැක, ඒ එක අන්තයක් මග හැරීමෙන් එයට අයත් සියල්ලද ඒ සමග අතහැරෙන බැවිනි. මේ කියනා පරිපූර්ණත්වය මධ්‍යම ප්‍රතිපදාව විය නොහැක, මෙහිදී වන්නේ අන්ත දෙකකින් කිසිවෙකට අයත් නොවීම නොව අන්ත දෙකටම අයත් වීම යි (ඒ අරුතින් ගතහොත් මැදුම් පිළිවෙතද අන්තයක් වේ!). දුක-සතුට, යස-අයස (කොටින්ම මුළු අටලෝදහමම) ඇතුලත් වූ කල්හි පමණක් සර්ව සම්පූර්ණ බවට පත්විය හැක. ඇතැම් විටෙක අපේ රට 'සකල සිරින් පිරි සිරි ලංකාවක්' කියා ආශ්චර්ය කර යන ගමනේදී ඔවුන් අපි සර්ව සම්පූර්ණ විය යුතු යි කියා සිතනවා විය හැක. එවිට අප (ආණ්ඩු පක්ෂය, විපක්ෂය, සෙසු පක්ෂ හා එකී නොකී සියලු දෙනාම) මේ පරිපූර්ණත්වය වටහා ගත යුතු ය. කුඩු කාරයන්, මිනීමරුවන්, හොරුන්, මංකොල්ලකාරයන්, බොරුකාරයන් ද අත්‍යවශ්‍යයෙන්ම සිටිය යුතු ය. ඔවුන්ව නැති නොකර රැක ගත යුතු ය. කිනම් හෙයින්ද යත් පරිපූර්ණත්වයේදී සියල්ලන්ම අවැසි වන බැවිනි.

ඉහත සඳහන් චිත්‍රපටයට එක්තරා ආකාරයකින් සමාන්තර තේමාවක දිවෙන Born This Way ගීත දසුනේ Lady GaGa මෙසේ කිය යි; How can I protect something so perfect without evil? ('නරකය නැතිව කෙසේද මා පරිපූර්ණත්වය සුරකින්නේ?'). එනිසා බිය නොවන්න, කලබල විය යුතුද නැත. මේ අප පරිපූර්ණත්වය කරා යන ගමන යි.

Friday, November 4, 2011

සිංහලයාගේ පිට්ටු බම්බුව | Bamboo Heritage of Sinhalese

ලේඛකයා පසුගිය දිනෙක විකාශය වූ දොරමඩලාව බැලුවේ 'ආතල්' එකක් ගැනීම සඳහා ය. අපේක්ෂා කළ පරිදිම ඔහුට එය ලබා ගැනීමටද හැකිවිය. මාතෘකාව වූ 'පරපුරක දැනුම' යටතේ කතා කළ වරලත් උවදෙසු මැවිසිරු (හෙළුවෙන්, ඉංජිනේරු උපදේශක යැයි කියන්නේ එලෙසිනි!) හීලියන් ද සිල්වා, අතීත සිංහලයා නිර්මාණය කළ පිට්ටු බම්බුවක් පෙන්වා ඒ අපගේ මහා විද්‍යාත්මක දැනීම බවත් වහ වහා නැවතත් එය ලබා ගත යුතු බවත් සුද්දාට හා ඉන්දියන්කාරයට පලු පැලෙන්න බැන කියා සිටියේ ය.
එහෙත් මේ කියන්න උත්සහ ගන්නේ දොරමඩලාව ගැන නම් නොවේ. පහත ලක්ෂණ ඔබට සමීප දැයි බලන්න.

1. පවුලක සාමාජිකයින් හය, හත් දෙනෙක් සිටින අතර පියා පවුලේ ප්‍රධානියා වේ. ඔහු යමෙකුට වැඩක් පැවරු කල්හි එය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු අතර කිසිවෙකු ඔහුව නැවත ප්‍රශ්න කරන්නේ වත් නැවත විමසා සිටින්නේ වත් නැත. දරුවන් හා දෙමවුපියන් (විශේෂයෙන්ම පියා) අතර සුහද කතාබහක් ඇති නොවන අතර පියා හා කතා කිරීම රාජ කාරිමය (formal) ස්වභාවයක් ගනි යි.

2. දරුවන් අලුයම අවදි විය යුතු අතර එසේ නොමැති නම් ඔවුන් කම්මැලියන් ලෙසත් පවුකාරයන් ලෙසත් හංවඩු ගැසිනි. දරුවන්ට මුලික අධ්‍යාපනය බොහෝවිට මවගෙන් ලැබෙන අතර වයසින් වැඩිවෙත්ම පිරිමි ළමුන් ඒක-ලිංගික (all boys) පාසලක ඉගෙන ගැන්මට යොමුකරව යි. ගැහැණු ළමුන් බොහෝවිට වැඩි දුර ඉගෙන නොගන්නා අතර ගෙදර නැවතී යහපත් භාර්යාවක් වීමට පුහුණු වේ.

3. විවාහ වීමේදී දෙමවුපියන්ගේ මැදිහත් වීම අනිවාර්ය වූ අතර කුලය, පන්තිය, වංශවත් බව, ධනය විවාහයේ ප්‍රධාන සාධක වීම.

4. ලිංගිකත්වය, නිරුවත, මත්ද්‍රව්‍ය/මත්පැන් ආදිය ගැන කතා කිරීමක් නොවුණු අතර ඒවා කතා කිරීමට නුසුදුසු ඒවා ලෙස සමාජ සම්මත වීම (prudish behavior).

5. කාන්තා හා පිරිමි දෙපාර්ශවයම සෑම විටකම සම්පූර්ණයෙන් ඇඟ වැසෙන ලෙස ඇඳුම් අඳින ලබයි. පොදු ස්ථාන වල ස්නානයේදී කිසිම විටක නිරුවත් වීමක් නොවේ, ඒ සඳහා විශේෂිත ඇඳුමක් වේ (නෑමට කිසිම ගැලපීමක් නැති එය බොහෝ විට මුළු ඇඟම වැසෙන පරිදිය).

6. විවාහයෙන් පසු කාන්තාවන් රැකියාවක් නොකර නිවසේ රැඳී ළමුන් බලා ගැනීම, ආහාර පිසීම, නිවස පිළිවලට තබා ගැනීම ආදියේ නිරත විය යුතු ය (ධනවත් පවුලක නම් ඒවා කිරීමට මෙහෙකාරයෝ සිටින නිසා තත්වය තරමක් වෙනස් ය). යම් හෙයකින් කාන්තාවක් විවාහ නොවිණි නම් ඇය සමාජ සේවය සඳහා තම ජීවිතය කැප කළ යුතු ය.

7. විෂමලිංගිකයන්ට තම ලිංගිකත්වය සම්බන්ධයෙන් කිසිඳු දිරි දීමක් හෝ නිදහසක් නොවූ අතර සමලිංගිකත්වය දැඩි දඬුවම් ලැබිය හැකි අපරාධය කි.

මේ සිංහලබෞද්ධ සිරිත් හෝ සදාචාරය ගැන තතු (facts) නොව එංගලන්තයේ ක්‍රියාත්මක වූ වික්ටෝරියානු සම්ප්‍රධායේ මූලික ලක්ෂණ කිහිපයකි. එහෙත් සමහරෙකුට අනුව මෙය වසර 2500 සිට අඛණ්ඩව පැවත එන ආරිය සිංහල ගතිය වේ. අනගාරික ධර්මපාල ඇරඹි මේ සිංහලබෞද්ධ ක්‍රමය වර්තමානයේ හෙළ උරුමය හරහා ආන්තික තත්වයකට පත්ව ඇත. ඕනෑම කෙනෙකුට තමන්ට කැමති ඕනෑම චින්තනයක් පිළිගැනීමට හෝ මල් තබා වැඳීමට පවා නිදහස ඇත. එහෙත් එය අනෙකෙකු මත බලෙන් පැටවීම හෝ විකෘති ඉතිහාසයක් ප්‍රචාරණය කිරීම ලේඛකයා දකින්නේ වරදක් ලෙස ය. වික්ටෝරියානු සදාචාරය ආරම්බයේ සිටම කුහකය, එය නිපදවූ වික්ටෝරියා රැජින හා ඇල්බර්ට් කුමාරයා එය තඹ සතයකට මායිම් කළේ වත් ඒවා පිළිගත්තේ වත් නැත (නිරුවත මහා පාපයක් ලෙස බණ දෙසු වික්ටෝරියාට නිරුවත් පිරිමි සිරුරු සිතුවම් ළඟ තබා ගැනීමේ විනෝදාංශයක්ද විය). දොරමඩලාවට පැමිණි 'උවදෙස් මැවිසිරු' ඉතිහාසය කියා කුමක් දකිනවාදැයි ලේඛකයා නොදන්නා නමුත් වර්තමාන ක්‍රම සියල්ලම අමතක කොට අතීතයට යාමේ ගමන ඔහුට විහිළුවකි (එංගලන්තයට ගොස් උපාධිගත් හීලියන් ද සිල්වා ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නැතැයි ද කිය යි). දොරමඩලාවට එන්නන්ගේ කතා එසේ ය. එබැවින් එය ලේඛකයාට 'ආතල්' වැඩසටහනකි.

අනේ ඉතින් හසන්ත මහත්තයෝ ඔබට නාථ දෙවියන්ගේම පිහිට යි. තව තවත් මෙවන් ආතල් දෙන්නට හැකියාව ලැබේවා!

Tuesday, November 1, 2011

සංසාර ආරණ්‍යය : විකසිත ආදර ප්‍රාර්ථනා




වලාකුළු බැම්ම එපිටින් නුවර වැවේ කම්මැලි කමට වගේ රැලි ගහන අතරේ බැහැගෙන යන ඉර එලිය තරංග මත ආලෝක රටා මැව්වා. අපි, ඒ කියන්නේ මම හා ආදිත්‍ය ඇවිදමින් හිටියේ නුවර වැව වටා යන සංගරාජ මාවතේ පදික වේදිකාවේ. ඒක අර්ධ-අලස රස්තියාදුවක් වුණාට ඇත්තට ම නම් අපි අපේ හිත් සොයාගැනීමේ වීර චාරිකාවක්. ඔඩිසි වගේ කතාවක කියවෙන විදිහේ ආක්‍රමණ ශීලී යුද්ධ, නාවික ගමන්, දේව අනුග්‍රහයන් නැතිවුණත්, අටවක පුත්තු වල එන දමයන්ත තමන්ගේ මියගිය අඩහඳයාව තමන්ට හමුවෙන පුද්ගලයන් තුලින් සෙවීම වගේ ගවේශනයක් අප දෙදෙනා අතරේ නොවුණත් අපි අපිට තවත් සමීප වෙමින් තිබුණා. මගේ වචන වලින් කිව්වොත් සංසාර ආරණ්‍යය තුලට ආදිත්‍ය ආගමනය වීමේ ක්‍රියාවලිය ආරම්බ වුණා.

වසන්තය හේතුවෙන් ගස් වල මල් පිපිලා බිමට හැලිලා පදික වේදිකාව එක්තරා ආකාරයක මල් පලසක් කරලා තිබුණා. අපි ඇවිද්දේ ඔය මල් පලස උඩින්. ආදිත්‍ය මල් බේරලා අඩිය තියද්දි මම ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ. තැකීමක් කළේ නෑ කියන්නේ මට ඒ ගැන මතක් වුණෙත් නෑ. ඒ වගේ වෙලාවක බිම වැටුණු මල් පෑගෙයි කියල කරදර වෙන්නේ කව්ද.
"ඔය මල් පාගන්න එපා අපරාදේ..." ආදිත්‍ය කිව්වා.
"හ? කොහොමත් මේවා අපරාදේ තමයි."
"ඔව්, ඒත් පාගල දාන එක ඊටත් වඩා අපරාදයක්!"
ආදිත්‍ය ගේ කීම අහල මමත් මල් බේරමින් ඇවිදින්න ගත්තා. එහෙම ඇවිදින්න නම් කකුල තියන්න වෙන්නේ එක එක තැන වලින්. සමහර විට පනින්නත් වෙනවා, එක විදිහක අර පොඩි කාලේ කරන සෙල්ලමක් වගේ. කවුරුහරි අපිව දැක්කනම් පිස්සෝ දෙන්නෙක් කියල අපි හිතන්නත් ඉඩ තියනවා.

ඒ වෙනකොට අපි හොඳම යාලුවෝ වෙලා හිටියේ. ඉඳල හිටල 'තාම කම්මුල රිදෙනවද' කියල විහිලුවට අහනවා ඇරුණම අපි අතරේ ප්‍රශ්නයක් ඇති වුණෙම නැතිතරම්. අපි මුලිම යාලුවෝ ඊට පස්සේ පියවර විදිහට හොඳම යාලුවෝ බවට පරිවර්තනය වුණේ ඉබේටම වගේ. ඒ ක්‍රමයෙන්ම හොඳම යාලුවන් ගෙනුත් තව පියවරක් ඉදිරයට යැවුනේ අපිටත් නොදැනීමයි. ආදිත්‍ය ට මේ කියන දවසේ පන්ති ඉවර වුණාට ගෙදර යන්න කම්මැලි වුණා. මට ආරාධනා කළේ එයත් එක්ක ඔහේ රවුන් ගහන්න. මටත් ඒ අවස්ථාව මගාරින්න උවමනාවක් කොහෙත්ම නැති නිසා මම ආරාධනාව ඉහලින්ම පිළිගත්තා.

"කඩල කනවද?" වලාකුළු බැම්ම ඉවර වෙලා නාගරික තදබදය අඩු වුණාට පස්සේ කඩල විකුණන කරත්තයක් දැකල මම ඇහුවා. ආදිත්‍ය ඔලුවේ වැනුවේ 'හා' කියන්න. කඩල ගත්තට පස්සේ ඔහේ ඇවිදින එක නතර කරලා ගහකට හේත්තු වෙලා වැව දිහා බලාගෙන කඩල කන්න ගත්තා.

හිරු එලිය වැටීම ටිකෙන් ටික අඩු වෙලා අඳුරෙන් කඳු වැහෙන්න ගත්තත් එක්කම තැනින් තැන කෘතීම ආලෝක, ඒ කියන්නේ විදුලි බල්බ දැල්වෙන්න ගත්තා. පරිසරයේ උෂ්ණත්වය අඩුවෙලා සිසිලස ගලා එන්න පටන්ගත්තෙත් ඒ එක්කමයි.
"ප්‍රශ්නයක් අහන්න ඕනේ" ආදිත්‍ය කිව්වා. "ටිකක් විතර විකාර ප්‍රශ්නයක්..."
"මම, විකාර ප්‍රශ්න වලට කැමති යි."
"අපි කොහොමද යාලුවෝ උනේ?"
"හ්ම්,,, මාත් මේ හිතන්නේ මොකට යාලු උනාද කියල තමයි." මම හිනා වුණා. "නෑ මෙහෙම යි අඳුනගත්ත වෙලාවේ ඉඳල ඒක ඉබේම වෙච්ච දෙයක්."
"ඒක හින්ද වෙන්න ඇති ආපු ගමන් වලියක් ඇදගත්තේ?"
"ඕනේ නම් ඒක අඳුන ගැනීමේ උපක්‍රමයක් කියල හිතන්න පුළුවන්."
"නෑ, අපි සෑහෙන්න වෙනස්නේ"
"මම හිතන්නේ ඒක හොඳයි, අපි දෙන්න එක වගේ උනානම් කොහෙත්ම යාලුවෝ වෙන්නේ නෑ. අනික කොහොමත් මිනිස්සු එකිනෙකාට වෙනස් නේ. සමහර වෙලාවට අදහස් නොගැලපීම මත ඇතිවෙන සම්බන්ධය ශක්තිමත් වෙන්න පුළුවන්. මම හිතන්නේ මම අනිත් අයට යාලුවෙක් වෙන්න ඇත්තේ මම මාව අනික් පුද්ගලයන්ට ඉදිරිපත් කරන විදිහ වෙන්න ඇති. ඒ අනුව මාව විශ්වාසකරන මට්ටමට ඒ පුද්ගලයා මානසිකව සකස් වෙනවා ඇති, මම මාවම අගයකරගෙන උද්දච්ච විදිහට හිටියනම් එහෙම වෙන එකක් නෑ. ඒත් ඒකම තවත් කෙනෙක් මම කරන්නේ බොරු රඟපෑමක් කියල හිතන්නත් පුළුවන්. පුද්ගලයන් තමන්ව ඉදිරිපත්කරන සහ ඒ ඉදිරිපත් කිරීම අනෙක් අය බාරගන්න විදිහ විවිධකාරයිනේ. පෞද්ගලිකව මම ආදිත්‍ය ට කැමති උඹ හැමෝටම හොඳින් කතාකරන සලකන, බොහොම සැහැල්ලු, සතුටින් ඉන්න උත්සහ කරන චරිතයක් හින්ද. "
"හ්ම්,,, ඔය කියන දේවල් මම කරන්නේ හිතල නෙමෙයි. සමහර විට ඒ ඒ පුද්ගලයා කරන්නෙත් නොදැනුවත්වම, නැත්තම් සමහර විට ඒ එයාලගේ හැටි වෙන්න ඇති."
"ඔව්, වැදගත් වෙන්නේ තමන් තමන්ම විතරක් වීම."
"ඒක සෑහෙන්න පුදුමයි, මොකද සමහර වෙලාවට තමන් යාලු වෙලා තියෙන්නේ තමන්ට වෙන්න අවශ්‍ය පුද්ගලයා එක්ක."

ඔය විදිහේ ප්‍රශ්න වට, කතා තුලින් වුණේ අපි අපට ලංවෙනවාටත් වඩා මම මාවම තේරුම් ගැනීමක්. ඒ ආදිත්‍ය අහන ප්‍රශ්නවලට උත්තර දීමෙන් මම මාවම ප්‍රශ්න කරගන්න නිසා. කාලයත් එක්ක ඒක විශේෂ ප්‍රාගුන්‍යයකට හැරුණා. අර කලින් කිව්වා වගේ ඒකෙන් වුණේ ආදිත්‍ය සංසාර ආරණ්‍යයට ඇතුල්වීම, ඇතුලත් කරගැනීම කළේ මම වුණත් ආදිත්‍ය ඒකට නොදැනුවත්වම උදව් දුන්නා. මම අභ්‍යන්තරව හදා ගත්ත මනෝ ලෝකෙකට කෙනෙක් පැමිණීම පිටින් බලන්නෙකුට මහා දෙයක් නොවෙන්න පුළුවන්, ඒත් ඒක මට විශේෂයි. කාව්‍යාකාරව දක්වනවා නම් ඒක සමාන වෙන්නේ 'මගේ හදවතේ ප්‍රේමයක් හට ගැනීම හේතුවෙන් හදවත ප්‍රේමයට පුද කිරීම' වගේ අලංකාර අතිශයෝක්ති භාවිතයකට.

"දැන් යමුද? රෑ වෙලා ." මම ආදිත්‍යගේ කර වටේ අතදාන ගමන් ඇහුවා. ආදිත්‍ය ඔලුව වැනුවා. විදි ලාම්පු වල එළියෙන් ආදිත්‍යගේ ඇස් දිලිසුනෙත් ඒ එක්කමයි.


-ඉතිරිය මතුවට-