Sunday, April 3, 2011

සමාන්තර (3වන කොටස)


ගිම්හාන්ගේ දෘෂ්ටිකෝණයෙන්:

ලෙක්චර්ස් ඉවර උන ගමන්ම එලියට පැනගත්තේ මහන්සියටයි ඉක්මනට යන්න ඕනේ කියලයි හිතාගෙන, අවිශ්කත් කලින් කියල තිබුනනේ අද හම්බවෙමු කියල. ඒක හින්ද කාත් එක්ක හරි කතාවට වැටෙන්න කලින්නම මාරු වෙන එක හොඳයිනේ. ඒ මදිවට ලෙක්චර් එක අතරෙත් වර්ශා මගේ දිහා බලබල මාව කතාවට අල්ල ගන්න උපරිම උත්සහ ගත්තා, දැක්කත් මම නොදැක්ක වගේ හිටියේ බොහොම අමාරුවෙන්. ඒ හොල්මනවත් මග අරින්න ඕනෙනේ. වර්ශා කියන්නේ කරදර කාර කෙල්ලෙක්. දකින දකින කොල්ලොන්ගේ ඇගේ එල්ලෙන චරිතවත් ස්ත්‍රී රත්නයක්. කෙල්ලෙකුයි කොල්ලෙකුයි තරහ උනොත් එකට වර්ෂාගේ නම 
ගෑවෙන්නේ ඉබේටමයි. ඔය වගේ එක එක හේතු හින්දම හොඳ හොඳ නම් වගයෙකුත් ඒකිට හැදිලා තිබුණා. පව් ඉතින්, ඔහොම පාච්චල් වෙනවා කියල වර්ශත් නොදැන ඉන්න බැහැනේ.

"ගිම්හාන්,,, ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ!", හපොයි අහුවුණා, මාරු වෙන්න හැදුවට හරිගියේ නෑනේ. මෙච්චර ඉක්මනට ළඟටම ආවේ රහත් වෙලාද, දැන් ඉතින් ඇහෙන්නේ නෑ වගේ ඉන්නත් බෑනේ. ඒක හින්ද නැවතුණා.

"හලෝ, කොහොමද ඉතින්? හුඟ කාලෙකින්", මම ඇහුවේ වෙන කියන්න දෙයක් 
එකපාරට හිතට ආවේ නැති හින්ද.
"එච්චර හොඳක් නෑ, හැබැයි ඔයා උදව්වක් කලොත් මම සතුටු වේවි", මේ කියන්න හදන්නේ මොන බෝම්බයක්ද ගැනද දන්නේ නෑ. පරිස්සමෙන් පුතෝ.
"මොකද්ද අප්පේ ඒ?"
"අර ඔයාගේ යාළුවා, මාලන්, අන්න එයාට, පණිවිඩයක් "
"හරි මම කියන්නම්"
"කියන්න නෙමෙයි අනේ, මම ලියල තියෙන්නේ, මේ,,, මේ ලියුම එයාට දෙන්න හොඳේ", බැග් එකේ දාගෙන හිටපු ලියුමක් මඩේ අතේ තියල මහා කපටි හිනාවක් පෙන්නලා වර්ශා යන්න ගියා.

පෙරලුනොත් ඉතින් බාල්දියක් මටම තමා, මේකි මොනාටද මේ එන්නේ, මොකක් උනත් හොඳක් නම් වෙන්න බෑ. මේ ලියුමේ මොනවා තියනව ඇත්ද මාලන් සම්බන්ද දෙයක් වෙන්නත් ඕනෙනේ, මාලන්ට ශිෂ්‍ය සංගමයක ලොකු තැනක් තියන හින්ද රට පෙරලලා එයාට ජනාධිපතිකම ගන්න උදව් දෙන්න කියල තිබුනත් මම පුදුම වෙන්නේ නෑ. කොහොම උනත් ඉතින් මේ වගේ ලියුමක් නොබලා ඉන්නේ කොහොමද. බලන්නද එපාද කියකිය හිත හිත ඉඳල 
අන්තිමට බැලුවේ ඕන දෙයක් වෙච්චාවේ කියල.



ආදරණීය මාලන්,

ඔව් මම දන්නවා මට ඔයාට තවම එහෙම ආමන්ත්‍රණය කරන්න පුළුවන් කමක් නෑ, ඒ මට තාම ඔයාව අයිති නැති හින්ද. එත් මම දන්නවා අපි දෙන්න වෙන්කරන්න කාටවත් බෑ උත්තරාටවත්. එයාට ඔයාව අයිති නැහැ, අයිති මටයි. ඔයා මම ගැන තාම හරියට දන්නෙත් නැනේ, ඉන්න මම කියන්නම්. මාව ඔයා දැකලත් මාත් එක්ක කතාකරලත් තියනවා. ටිකක් මතක් කරලා බලන්නකෝ. අපි දෙන්න මුලින්ම දැකපු දවසේ තමයි අපි දෙන්න අපිටම විතරක් උරුම බව මම හොඳටම දැනගත්තේ. ඒ වෙලාවේ මට අදහගන්නවත් බැරි උනා, ඒ තරමට සමීප බවක් දැනුනේ, හරියට අපි හොඳට දන්නවා වගේ, ඒක ආත්මීය බැඳීමක් වෙන්න ඇති නේද මාලන්? ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද? මට ඔයාව දැක්ක වෙලාවේ ඉඳල මගේ හිතින් ඔයාව තප්පරෙකට වත් අයින්කරන්න බැරි උනා, කොයි වෙලාවෙත් ඔයා මගේ හිත ඇතුලේ රැව්දෙනවා, ඒ වෙලාවේ ඉඳල ඔයා මාත් එක්කම ජීවත් වෙනවා වගේ, මගේම කොටසක් වෙලා, කනකොට බොනකොට විතරක් නෙමේ මම නිදගනිද්දී පවා ඔයා මාත් එක්ක ඉන්නවා, මගේ හිතේ. මම ඒකට බයත් නැහැ, මොකද ඔයා මගේ මම ඔයාගේ කියල මට හොඳටම දැනෙන හින්ද, මම දන්නවා මම මේවා කියද්දී ඔයා හිතයි මට පිස්සු කියල, ඔව් ඔයා හිතවා හරි, මට පිස්සු තමයි මට එහෙම වෙලා තියෙන්නේ ඔයා හින්ද ඔයාට තියන ආදරේ හින්ද. මාව ඔයා විශ්වාස කරන එකක් නැහැ, ඒ ඔයා දැන් බොරුවක පැටලිලා, ඒ බොරුකාරියක් ඔයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන හින්ද, ඔව් ඒ බොරුකාරී තමයි උත්තරා, එයා මහ බොරුකාරියක් ඔයාට ආදරෙයි වගේ හිටියට එහෙම නැහැ, එයා ආදරේ අර අවිශ්කට, ඔයාව රවට්ටනවා. මට හරි දුකයි මාලන් ඔයා ගැන, එත් බය වෙන්න එපා මම ඔයාව බේරා ගන්නවා. අපි අයිති අපිටයි, අපිට විතරයි. දැන් ඔයාට මේ ලියුම විකාරයක් වගේ පෙනේවි, ඒ ඔයා උත්තරා හින්ද අන්ධ වෙලා ඉන්න හින්ද. කමක් නැහැ මම ඔයාව බේරා ගන්නවා රත්තරන්.

ඔයාට ආදරේ කරන එකම කෙල්ල,
වර්ශා.



ඕනේ දෙයක් වෙච්චාවේ කියල කියෙව්වට මොකද මේවගේ දෙයක් නම් බලාපොරොත්තු උනේ නෑනේ. හැබැයි ඉතින් එකේ ඇති මහා පුදුමෙකුත් නෑ ඕව වර්ශට ආගන්තුක දේවල් යෑ. මම දන්නවා අනුන්ගේ ලියුම් කියවන එකනම් හොඳ වැඩක් නෙමේ, එත් මේ අවස්ථාවෙදිනම් මට ඒ ගැන කිසිම වැරද කාරී හැගීමක් ආවේ නෑ.
හොඳ වෙලාවට මමයි අවිශ්කයි යාලුයි කියල මෙයා දන්නේ නැත්තේහෙහ් වර්ශා වර්ශා,,, ඔයාට මාලන්වම ලැබෙයි. 

*******

"දැන් ඉතින් අපි මේකට මොකද කරන්නේ?", ලියුම කියවපු අවිශ්ක ඇහුවා.
"විසිකරලා දාල, කවදාවත් ඔහොම එකක් දන්නෙත් නෑ වගේ ඉන්නවා,"
 මම එහෙම කිව්වම අවිශ්ක මං දිහා රවල බලපු විදිහට හිනා ගියා.
"හරි එහෙනම් දැන් මොකද්ද කරන්න ඕන?"
"මේක මාලන්ට දෙන්න, අපිට ඕක අදාල නැනේ,,,"
"ආ හරිද එතකොට, උඹේ යාලුවනේ ඕකෙන් අමාරුවේ වැටෙන්නේ", මේ මිනිහට ඕක තේරෙන්නේ නැද්ද. එදා උත්තරා අවිශ්කත් එක්ක කතා කියල ගෝරියක් ඇල්ලුවා කියලත් කිව්වේ. ඕව මේවා එක්ක ප්‍රශ්න වැඩිවෙයි කියල 
තේරෙන්නේ නැද්ද. 
"මම ඒක ගැන උත්තරාට කියන්නම් "
"එහෙම කලාම හරියාවි කියල හිතනවද? ඔන්න මම වගකියනු නොලැබේ, අනිත් එක උඹේ නමත් ගැවිලා තියනවනේ"
"හ්ම්ම් ප්‍රශ්නයක් උනත් ඉතින් මටනේ."
"ඇයි අමතක උනාද ඔයාට ප්‍රශ්නයක් කියන්නේ මටත් ප්‍රශ්නයක් කියල"

අවිශ්ක හිනාවුණා, ඒ හදවතින්මයි. එහෙම හිනා වෙනකොට එයාගේ ඇස් දිලිසෙනවා කතාකරනවා, හරියට ගීතයක් මුමුණනවා වගේ. මටත් හිනා නොවී ඉන්න බැරිවුණා. ටිකක් වෙලා මං දිහා බලන් හිටපු අවිශ්ක මගේ අතින් ඇදල මාව ලඟට අරන් මගේ උරහිස වටේට අතදාල තවත් ලඟට ගත්තා. මම අවිශ්කගේ උරහිස උඩින් මගේ ඔලුව තිබ්බේ ඇස් පියාගෙනම එයාගේ ඇස් ගයන ගීතයට නැලවෙමින්. 

3 comments:

  1. මම හිතුවටත් වඩා සෑහෙන්න වෙනස් කතාව. හොඳයි... මම පළවෙනි පාරට තමයි සිංහලෙන් මෙහෙම කතාවක් කියවන්නේ... ඉතුරු කොටසත් බලාපොරොත්තුවෙන් ඉන්නවා....

    ReplyDelete
  2. ඔව් කතාව වෙනස්ම පැත්තකටයි යන්නේ..හොදයි... ඉතුරු ටිකත්..දාන්නකෝ..

    ReplyDelete
  3. @කොට ජීවිතේ: හ්ම් ස්තුතියි, දිගටම කියවමු. :)

    @නිම්ශා: හරි දාන්නම්,,, ස්තුතියි.

    ReplyDelete