මාලන්ට කතාකරනවා කියල අවිශ්කට පොරොන්දු වුනත් ඒක වුනේ නෑ. මාලන් ගැන ඒ විදිහේ දෙයක් කවදාවත් අහන්න වෙයි කියල මම හිතුවේ නෑ. හිරුනි කතා කළහම මම හිතුවේ මේ ඉරිසියාවට කියපු දෙයක් කියලා. ඒත් අවිශ්ක ඒක ඇත්තයි කියලා කියද්දී හදවතට මහා බරක් දැනුණා. මම කවදාවත් ගොඩ එන්න බැරි අගාධෙකට වැටුනා වගේ. අවිශ්කට මේ ගැන මුකුත් නොකරන්න කියලා උපදෙස් දෙන්න හිතට හයිය ආවේ කොහොමද මන්ද. ඒ ඇමතුමෙන් පස්සේ ඇඳට වැටිලා ඔහේ හිටියා, කල්පනා කරා, ඇඩුවා. දවස් දෙකක් විතර, වෙලාව ගතවෙනවා දැනුනේවත් දැන් ගන්න වුවමනාවක් වත් නැතිව ඔහේ ගතවුණා. කන්න කතා කළහම කෑවා, අම්මා උදව්වක් ඉල්ලුවහම කරලා දුන්නා, ප්‍රශ්නයක් ඇහුවහම උත්තරත් දුන්නා. ඔය හැම දේම කළා නෙමෙයි කෙරුණා, ඉබේටමත් නෙමේ, කලින් සකසපු රොබෝවෙක් වගේ. කිසිම දෙයක් කරන්න වුවමනාවක් නැතිවුණා. ජීවත් වුනාට මිසක් නැත්තන් මළමිනියකට වඩා වැඩි වෙනසක් දැනුනේ නෑ. ජංගමයාත් ක්‍රියා විරහිත කළා, කව්රුහරි ගෙදරට කතා කළොත් මම ගෙදර නෑ කියල කියන්නත් කිව්වා. අම්මාට මගේ වෙනස නොදැනුනා වෙන්න බෑ, ඒත් මුකුත් අහන්න ගියේ නෑ. අම්මා ගැන දුක හිතුණා, මේ ප්‍රශ්න ඉවර වුනත් නැතත් මගේ හිත ටිකක් හරි හැදුනහම ඔක්කොම විස්තර කියනවා කියල හිතා ගත්තා.
කොච්චර කල්පනා කරත් කරන්නේ මොනවද කියල හරියටම හිතාගන්න බැරිවුණා. දැන් හවස් වෙලා කරුවල වැටෙන්නත් ලඟයි. තේරුමක් නැතුව බලන් ඉඳල එපා වෙලා අන්තිමට පොතක් ගත්තා කියවන්න. ඒත් වැඩිවෙලා පොත කියවන්න ලැබුනේ නෑ අවිශ්කගේ කටහඬ ඇහුණා, ටිකකින් මගේ කාමරේ දොරට තට්ටු කළා. මට කතාකරන්න කිසිම ඕන කමක් තිබුනේ නෑ, මාව හොයා ගෙන ගෙදරට ආවත් මම ගෙදර නෑයි කියන්න අමතක වුනානේ. කීප සැරයක් තට්ටු කළහම කරන්නම දෙයක් නැති හින්ද දොර ඇරියා.
මම දොර ඇරලා ඇවිත් ඇඳේ ඉඳගත්තා. අවිශ්කත් ඇවිල්ල මට ටිකක් එහායින් වාඩිවුණා. එයා මං දිහා බලන් ඉන්නවා කියල තේරුණත් මම බිම බලාගෙනම හිටියා. අවිශ්ක මගේ කාමරේට ඕන තරම් ඇවිත් තියනවා. පොඩි කාලෙ ඉඳල අපි සෙල්ලම් කරන්න එහෙම නැත්තන් තරඟෙට පොත් කියවන්න ඉස්කෝලේ වැඩ කරන්න වගේ සෑහෙන දේවල් අපි දෙන්න එකතුවෙලයි කළේ.
"ඔයාට දැන් කොහොමද?" මගේ හිත අතීතයෙන් වර්තමනෙට ගන්න ඒ ප්‍රශ්නෙට පුළුවන් වුණා. මට කොහොමද? ඒක මමවත් දන්නේ නෑ. කොහොම උත්තර දෙන්නද....
"දන්නේ නෑ" කියන්න දෙයක් තිබුනේ නැති හින්ද එහෙම කිව්වා.
"හ්ම්,,, ලැහැත්ති වෙන්න අපි කොහේ හරි යමු"
"මට බෑ" මම එහෙම කිව්වම අවිශ්ක මගේ මූණ දිහා බලාගෙන හිටියා මිසක් මුකුත්ම කිව්වේ නෑ.
අපි දෙන්නම මුකුත් නොකිය එහෙමම ටික වෙලාවක් ගතවුණා. අවිශ්කට මොනවහරි කියන්න වුනවනාවක් තියනවා කියල පෙනුනට එයා කියන්න ගියෙත් නෑ, මම අහන්න ගියෙත් නෑ.
"මම යනවා එහෙනම්, හෙට ලෙක්චර්ස් වලට එන්න" අවිශ්ක යන්න නැගිටලා කිව්වා.
"හරියටම කියන්න බැහැ, හිතුනොත් එනවා" මම කිව්වේ ඕනවට එපාවට.
"නෑ නෑ දැන් දවස් තුනක්ම නෑවිත් හිටියනේ, ඕනෙනම් මම එක්කන් යන්න එන්නම්"
"නෑ එපා" අවිශ්ක මගේ දිහා තරහෙන් වගේ බලන් හිටියා, තරහෙන් බැනගෙන යන්න පුළුවන් කමක් තිබුනත් අමාරුවෙන් ඒක පාලනය කරගන්න බවක් පෙනුනා.
ටිකකින් අවිශ්ක මුකුත් නොකියම යන්න ගියා.
**************
ක්‍රියාවිරහිත කරපු ජංගමයා අතට ගත්තේ හිරුනිට කතාකරන්න. මේ දවස් තුනට සෑහෙන ප්‍රමාණයක ඇමතුම්, පණිවිඩ ලැබිල තිබුනත් ඒවා කියවන්නේ බලන්නේ නැතිවම අයින් කළා.
මම: හෙලෝ හිරුනි මට ඔයාගෙන් උදව්වක් ඕනේ?
හිරුනි: හානේ උත්තරා! ඔයා කොහෙද ඉන්නේ? මොකද උනේ? ඇයි අවේ නැත්තේ?
හපෝ මේකිනම් මහා ඇණයක්, උදව්වකට මිසක් කතා කරන්න කිසිම කැමැත්තක් නෑ.
ප්‍රශ්න පත්තරයක් ඉදිරිපත් කළේ විස්තර හැමෝටම ප්‍රචාරය කරන්න වෙන්න ඇති. මම ප්‍රශ්නේ මග අරින්න උත්සහ කළා.
මම: මට උදව්වක් ඕනේ,
හිරුනි: හරි ඉතින් කියන්න බැරිනම් කමක් නෑ, මොකද්ද උදව්ව?
මම: අර ඔයාට කොහොමද මාලන් ගැන ආරංචියක් අවේ?
හිරුනි: ආ ආ,,, මේ ඒක ඒ කියපු කෙනා මට කව්ද කියල කියන්න එපා කිව්වා.
මම: ම්,,, මම හිතුවේ ඔයා මගේ හොඳ යාලුවෙක් කියලා, කමක් නෑ. හැබැයි මම නම් ඔයා ඉල්ලපු උදව්ව කළා, අවිශ්කට ඔයා ගැන කිව්වා.
හිරුනි: හානේ ඇත්තද? ඉතින් එයා මං ගැන මොකද කිව්වේ?
මම: දැන් එයා කියපු දේ වැඩක් නෑනේ, ඔයා මට උදව් කරන්නේ නෑනේ.
හිරුනි: හරි එහෙනම්, ඒක කිව්වේ නර්මදා ඒ කිව්වේ වර්ශගේ යාළුවා.
කොහොමරි පෙරැත්ත කරලා කව්ද කියලා හොයා ගත්තා, දැන් ඉතින් කරන්න තියෙන්නේ මගේ ප්ලෑන් එකට වැඩ කරන ඒක තමයි.
මම: ඇත්තද, ඔයා එහෙනම් මේකයි කරන්න ඕන උදව්ව.......
දිගටම ලියන්න
ReplyDeleteඔයා ලස්සන කතව ගලපගෙනයනව
ලස්සන අවසනයක් බලපොරොත්තුවෙන් ඉන්නේ.
@mahima: ස්තුතියි, දිගටම රැඳී ඉන්න. :)
ReplyDeleteලස්සනයි යාළුවා කතාව වෙනද වගේම....
ReplyDelete@Dinesh: ස්තුතියි සහෝ.
ReplyDeleteඅප්පා හිර්ණ්ය මම කොටස් දෙකක්ම මග ඇරන් ... :( ඔන්න අද දෙකම කියවලා දැම්මා....ඉතුරු ටිකත් එහෙනම් දාන්න ලස්සනයි ආසවෙන් බලන කතාවක් වෙලා ඔයාගේ කතාවත් දැන්...
ReplyDelete@නිම්ශා: කමක් නෑ දැන් කියෙව්වනේ, තවටිකකින් ඉතිරි කොටස දාන්නම්.
ReplyDelete