Wednesday, April 20, 2011

සමාන්තර (6වන කොටස)

අවිශ්කගේ දෘෂ්ටිකෝණයෙන්:

පොඩි කාලේ ඉඳලම උත්තරාගේ දුක් ගන්න රාළ වුනේනේ මමයි. උත්තරා දුකින් ඉන්නවා බලන්න මට බෑ, ඒක හින්ද පොඩි කාලේ ඉඳල මොනවා හරි ක්‍රමයකින් එයාව සතුටු කරවන්න පුළුවන් වුණා. එහෙම හිතල එයාව බලන්න ගියාට උත්තරගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. එයා හිටපු තත්වෙත් එක්ක වැරද්දක් කියන්න බැරි වුනත් හිත රිදුනේ නැත්තෙමත් නෑ. කොහොම උනත් ඊට පස්සේ දවසේ ලෙක්චර්ස් වලට උත්තරා ආවා, ඒත් මට කතාකරන්නේ නැතිවම ගියා. මොකද්ද හේතුව කියල දැන ගන්න උවමනාවක් තිබුනට හොයන්න බෑ කියල හිතුනා. ඕනේ වෙලාවට කතා කරයිනේ. 

"මොනවද කල්පනා කරන්නේ?", ගිම්හාන් ලඟට එනකම්ම දැක්කේ නෑ.
"උත්තරාට මොනවද වෙලා තියෙන්නේ කියල"
"ම්ම්ම්,,,"
"ඇයි 'ම්ම්ම්' කිව්වේ?"
"නෑ ඉතින් උඹ කොයි වෙලාවේ බැලුවත් උත්තරා ගැනමනේ හිතන්නේ"
"මොකද්ද ඒ කතාවේ තේරුම?"
"උඹ කාවද බං රවට්ටන්නේ?"
"මොකද්ද දැන් මේ කියන්නේ? කියන දෙයක් කෙලින්ම කියහන්"
"මම කියනදේ කෙලින්ම තමා කියන්නේ උඹ උත්තරාට ආදරෙයි, හිතල බලපන්! කතාකර හැම වචනේකම ඉන්නේ උත්තරා, හිතන හැමදේකම ඉන්නේ උත්තරා. කොටිම්ම කිව්වොත් උත්තරගෙන් තොර ලෝකයක් උඹට නෑ"

මට ඒක එහෙම නෑ කියල කියන්න හොඳටම වුවමනාව තිබුනා, ඒත් කතාකරන්න කට ඇරියට වචන පිට උනේ නෑ, උගුරේ හිර වෙලා. හිතල බලපුවහම ගිම්හාන් කියපුදේ  එච්චර වරද්දකුත් නෑ වගෙයි. එතකොට මම ඇත්තට උත්තරාට ආදරෙයි ද? ඒක මෙච්චර එයාගැන හොයන්නේ, වදවෙන්නේ...

"මම යනවා" ටිකකින් ගිම්හාන් එහෙම කියල යන්න ගියා, අතින් ඇදල නවත්තගෙන කතා කරන්න ඕනේ උනත් මොනවද කියන්න ඕනේ කියල තේරුනේ නෑ.  ගිම්හාන් යන දිහාවම බලං හිටියා. 
මගේ හිතේ තියන ආදරය කාට කොහොම එකක්ද කියල හිතාගන්න බැරි වුණා. හිත අතරමන් වෙලා ඔහේ ඉබාගාතේ යන ඒක නවත්තන්න ඕනේ උනත් ඒක අපහසුයි. මොනවද කරන්න ඕනේ කොහොමද කියල අහන්න උපදෙස් ගන්න කෙනෙක් හොයන්න උත්සහ කලත් මේ ප්‍රශ්නෙදි උත්තර හොයන්න ඕනේ මමමනේ. ඔයවගේ ප්‍රශ්න ගොන්නක් එක්ක භාහිර ලෝකෙන් අයින් වෙලා මගේම ලෝකෙක තනිවෙලා ඇවිද්දා. කකුල යන අතට ගියා, ඔහේ වාහන වලටත් ගොඩවුනා. අන්තිමට ඇවිත් නතර වෙලා තිබුනේ උත්තරාගේ ගෙදර.

ආයෙත් වතාවක් මෙහෙම ගෙදර ආවට උත්තරා මොනවා කියයිද කියල සැකයක් තිබුනත්, මම වැරද්දක් කරලා නැතිහින්ද හිතහදාගෙන ගෙන ගිහින් දොරට තට්ටු කළා, උත්තරයක් නෑ. කීප  සැරයක්ම තට්ටු කළාට පස්සේ උත්තරාම ඇවිත් දොර ඇරියා. උත්තරා මගේ දිහා පුදුමෙන් වගේ බලන් හිටියා. 

"උත්තරා මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ"
"දැන් ගෙදර කවුරුත් නෑ පස්සේ එන්න"
"ඉතින් අපි ඕන තරම් තනියම කතා කරලා තියෙන්නේ"
"ඒ ඉස්සරනේ,,,"
"ඉතින්? ඔයා මොකද්ද මේ කියන්න හදන්නේ?"
"මට දැන් ඔයත් එක්ක කතාකරන්න බෑ, පස්සේ කතාකරමු" ,එහෙම කියල එයා දොර වහන්න හැදුවා. මම අත තියල දොර නවත්තගත්තා.
"ඔහොම ඉන්න, ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? මම දැන් ඔයාගේ යාලුවෙක් නෙමෙයිද? ඇයි මාව මගාරින්න හදන්නේ?"
"ප්ලීස් අවිශ්ක, මට දැන් කතාකරන්න බැහැ, ඔයා දැන් යන්න"
මම උත්තරාගේ මුණ බැලුවහම එයා මුණ අනික් පැත්ත හරවගත්තා. වැඩක් වෙන්නේ නැති බව තේරුණා හින්ද ටික වෙලාවකින් මම යන්න ගියා. උත්තරා දොරවහගන්න සද්දේ පිටිපස්සෙන් ඇහුණා.

ආයෙමත් මාව මෙහෙම එලවගත්තේ මොකද කියල හිතාගන්න බැරි වුණා. උත්තරා සෑහෙන්න වෙනස් වෙලා, මේ ඔක්කොම අර මාලන් හින්දනේ. හරි! ප්‍රශ්නෙට මුල ඌ වගේම අවසානයත් ඌම වෙන්න ඕනෙනේ. වැඩිය කල්පනා කරලා බලන්නේ නැතිවම කෙලින්ම ගියේ මාලන්ගේ ගෙදර.

"මාලන් ඉන්නවද ?" , මාලන්ගේ අම්මවෙන්න පුළුවන් පෙනුමක් තියන කෙනෙක්ගෙන් මම ඇහුවා.
"ඉන්නවා, පොඩ්ඩක් ඉන්න" එහෙම කියල එයා ගෙදර ඇතුලට ගිහින් "පුතා" කියල කතාකරනවා ඇහුණා, එහෙනම් ඒ අම්මම තමයි.
ටිකකින් මාලන් ආවා, උත්තරා වගේම පුදුම වුණා.
"මට පොඩ්ඩක් කතාකරන්න ඕනේ" මම කිව්වා.
"ආ?,,, ආ එන්න ඇතුලට"
"නෑ , මාලන් මං එක්ක යන්න එන්න ඕනේ"

3 comments:

  1. මේ කතාව මම ගොඩක් ආසාවෙන් කියවන්නේ... දිගටම ලියන්න..

    ReplyDelete
  2. සෑහෙන කාලෙකින් බ්ලොග්ස් පැත්තේ ආවේ... කොටස් දෙකක්ම මග ඇරිලා. කතාව නම් හරිම ලස්සනයි. ඉතුරු ටික කියවන්න මුව අයාගෙන බලා සිටිමි.... :)

    ReplyDelete
  3. @Dinesh: ස්තුතියි සහෝ, දිගටම කියවන්න.

    @කොට ජීවිතේ: හොඳයි, ඉතිරි ටිකත් ඉක්මනට දාන්නම්. :)

    ReplyDelete