Wednesday, April 6, 2011

සමාන්තර (4වන කොටස)

අවිශ්කගේ දෘෂ්ටිකෝණයෙන්:

ගෙදර ආවට පස්සේ මම වැඩි හරියක්ම ඉන්නේ මගේ කාමරේ. මටම වෙන්වුණු ඒක තියෙන්නේ දෙවැනි තට්ටුවේ, ඒක හින්දම ගොඩක් වෙලාවට නිදහසකුත් ඉතිරි වුණා. සාමාන්‍යයෙන් බැල්කනියේ පුටුවක් තියාගෙන නිවිහැනහිල්ලේ පොතක් කියවන ඒක මගේ පුරුද්දක්. මේ නිදහස විඳගෙන පොතේ අභ්‍යන්තරයට ගිලා බහින්න මේ විදිහෙන් ලේසියි, පහසුයි. ඔහොම ඉන්න අතරෙයි උත්තරාගෙන් ඇමතුමක් ලැබුනේ. වෙලාවකට මේ ජංගමයා මහ වදයක්.

මම: හෙලෝ උත්තරා කොහොමද ඉතින්?
උත්තරා: වරදක් නෑ, ඔයා වැඩකද හිටියේ?
මම: කමක් නෑ කියන්න.
උත්තරා: මට අදත් මාලන්ව හම්බවුණා, ඔයා අර ලියුම ගැන මට කියල දැන් ටික දවසක් උනාට තාම එයා මට ඒගැන කිව්වේ නෑනේ.
මම: මාලන් ඒක කියන්න තරම් දෙයක් නෙමෙයි කියල හිතන්න ඇති.
උත්තරා: එහෙනම් එහෙම වෙන්නත් ඇති, එත් අනේ මන්ද අවිශ්ක දැන් එයා හරි වෙනස්, මට අද කතාකලෙත් ඕනෙවට එපාවට වගේ.

මට උත්තරාට උත්තර දෙන්න ලැබුනේ නෑ. තවත් ඇමතුමක් ඒ ගිම්හාන්. ඉතින් උත්තරාට පොඩ්ඩක් ඉන්න කියලා අනික් ඇමතුමට කතා කළා.

ගිම්හාන්: හෙලෝ අවිශ්ක මාර වැඩේනේ!
මම: මොකද්ද? කියහන්කෝ ඉතින්,
ගිම්හාන්: අන්න අරූ වර්ශාත් එක්ක ෆිල්ම් බලන්න ගිහින්.
මම: අරූ කියන්නේ කව්ද?
ගිම්හාන්: වෙන කව්ද බං ඉතින්, මාලන් තමයි.
මම: හප්පා, ඉතින් ඇහුවේ නැද්ද උත්තරාට මොකද වෙන්නේ කියල?
ගිම්හාන්: ඇහුවා, ඌ කියන්නේ ඒක සැරේ දෙකක් කරනකොට ආතල් කියල.
මම: යකෝ මූ මාර එකෙක්නෙ.
ගිම්හාන්: ඒකනේ දෙකක් ඒක සැරේ කරද්දී ආතල් ලු බං, මාත් ට්‍රයි එකක් දීල බලන්න ඕනේ.
මම: ඔව් උඹට ඒකනේ දැන් මදි වෙලා තියෙන්නේ. මගේ යකා අවුසන්නේ නැතුව හිටහන්.
ගිම්හාන්: හෙහෙ, මම උඹේ යකාට බය නෑ.
මම: විකාර නැතුව කියහන් දැන් මොකද්ද කරන්න ඕනේ? උත්තරාට කියනවද?
ගිම්හාන්: නොකිව්වත් දැනගනීවි.

ආයෙත් ඇමතුම් දෙක මාරු කරන්න ඕනේ උනත්, ඒකට වෙලාවක් ගත්තේ තරහ පාලනය කරගන්න. ඒත් ඒක කොච්චර දුරට සාර්ථක වුණාද මන්ද. කොහොමහරි ආයෙත් උත්තරාට කතාකළා.

මම: හෙලෝ උත්තරා, මට දෙයක් කියන්න තියනවා හැබැයි කලබල වෙන්න නම් එපා.
උත්තරා: හරි කියන්න, හැබැයි මම දන්නවා ඔයා කියන්න යන්නේ මාලන් වර්ශාත් එක්ක ෆිල්ම් බලන්න ගිය එක ගැනනේ.
මම: ඔව් ඔයා කොහොමද දන්නේ?
උත්තරා: ඔයාට මම කතාකරන්න කලින් මට හිරුනි කතාකරල කිව්වා, ඒත් එච්චර ගණන් ගත්තේ නෑ.
මම: ඉතින් දැන් මොකද කරන්නේ? මම මාලන්ට කතාකරල බලන්නද?
උත්තරා: අපෝ එපා, එතකොට තවත් ප්‍රශ්නයක් වෙයි.
මම: "මොකද මිනිහෝ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ" කියල දැනගන්න එකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ කොහොමද?
උත්තරා: ඔන්න ඔන්න, මට කලබල වෙන්න එපා කියල ඔයාම කලබල වෙලා.

මම මුකුත් කිව්වේ නෑ, කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා. අරූට දෙකක් ඇනල එන්න කියලයි හිත කෑගැහුවේ. එක හින්ද උත්තරාම කතාකළා.

උත්තරා: ඔයා දැනට මුකුත් කරන්න යන්න එපා. මම මාලන්ට කතාකරල බලන්නම්.
මම: හ්ම්,,,
උත්තරා: මොකෝ "හ්ම්" කියන්නේ? තේරුම් ගන්න අවිශ්ක ඔයා දැන් මාලන් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගත්තොත් තවත් මේ ප්‍රශ්නේ දිග්ගැස්සේනවනේ. කියන්න මට ඔයා මොනවත් කරන්න යන්නේ නෑ කියල.
මම: හරි හරි.

මම හරියි කිව්වට තාමත් මගේ තරහ නම් අඩු වෙලා තිබුනේ නෑ. මාලන් මට හම්බවුණොත් පෙරලාගෙන ගහන්න තරම් ඕනෑකමකුත් ඇතිවෙලා තිබුනේ. එක අතකට මම ඕනවට වැඩිය කලබල වෙලා කියලත් හිතුණා. උත්තරා මගේ හොඳම යාලුවා තමයි. ඒත් උත්තරාට රිද්දුවහම මට මෙච්චර රිදෙන්නේ ඇයි? හොඳම යාලුවෝ එහෙමද? නැත්තන් වෙන දෙයක්ද? ඔය වගේ ප්‍රශ්න තොගයක් මා වටේ කැරකුනා. පොත අරන් ආයේ කියවන්න වාඩි වුණත් කියන්න අපහසු වුණා. නිදාගන්න වෙලාව තාම නාවත් අදට වැටුනේ ඔලුව බර ගතියක් ඒක පාරට ආව හින්දා.

6 comments:

  1. අදයි මම මේ කතා ,ආලාව කියවන්න එකතු උනේ . සේරම කොටස් ටික බැලුවා .. වරදක් නෑ කතාව හොඳට ගලා ගෙන යනවා ...

    මේ කතාවත් ටිකක් මම දන්න කෙනෙකුගේ ජීවිත කතාව වගේමයි...

    ReplyDelete
  2. @හිස් අහස: ස්තුතියි, දිගටම කියවන්න. වරදක් තියනවනම් පෙන්නන්න අමතක කරන්න එපා. :)

    එහෙමද? පුදුමයි, මේ මම හිතල ලියන එකක්. හැබැයි ඉතින් අහන දකින දේවල් වලින්ම තමයි.

    ReplyDelete
  3. ලස්සනයි කතාව.. හරිම ආසාවෙන් කියෙවුවේ...

    ReplyDelete
  4. @Dinesh: ස්තුතියි, දිගටම කියවන්න. :)

    ReplyDelete
  5. හ්හ්ම්ම්ම්.... එක හුස්මට කියෙව්වා... ඉතුරු කොටසත් බලාපොරොත්තුවෙන් සිටිමි... :)

    ReplyDelete
  6. @කොට ජීවිතේ: ඔය වගේ අසාවෙන් කියවන්න අය බලන් ඉන්නවා කිව්වහම නොලියා ඉන්නේ කොහොමද. ඉක්මනටම දාන්නම්. :)

    ReplyDelete