Friday, April 1, 2011

සමාන්තර (2වන කොටස)

උත්තරාගේ දෘෂ්ටිකෝණයෙන්:

"කොහෙද අර එදා අවිශ්කත් එක්ක රවුන් ගැහුවේ?", මාලන් මාව දැක්ක ගමන් එහෙම ඇහුවා.
"හා,,, දැන් මම කරන කියන හැමදේම හොයනවා වගේ", මට තරහත් ගියා. ඔහොම පොලීසියෙන් වගේ ප්‍රශ්න අහන්නේ මම මොනව කරාටද.
"හොයනවා තමයි, දැන් මිනිහ මොනවද කියන්නේ"
"ම්ම්,,,, මම දැන් කියන්නම ඕනද?", මම ඇහුවේ ඕනවට එපාවට.

මාලන් උත්තර දුන්නේ නෑ බලාගත්ත අතම බලාගෙන හිටියා, තරහකුත් එක්ක පොඩි අසරණ බවකුත් 
මූණෙන් පෙනුණා. "මං ගැන ඔච්චර වදවෙන්නේ මොකටද?", "නැත්තන් ආදරේ කියන්නේ ඒකටද?", "ආදරේ කරද්දී හැමදේම හොයන්න ඕනෙද?" ඔය වගේ ප්‍රශ්න ගොඩකින් හිත බර වුණා. ඒත් ඉතින් ආදරෙයි කියල මගේ නිදහස නැති කරගන්න මට බැහැනේ. මට මාලන් ආදරේ කරනවා නම් මාව මම හැටියට භාරගන්න ඕනේ, මාව එයාට ඕනේ විදිහට වෙනස් කරන්න යන්නේ නැතුව. මමත් එයාට අරක කරන්න මේක කරන්න යන්න එපා කියල උපදෙස් දීල නෑනේ.
ආයෙත් මාලන් දිහා බලනකොට තාමත් එයා ඒ විදිහටම ඉන්නවා, පව් කියලා හිතුණා. මම එයාගේ අතින් අල්ලලා මගේ ලඟට ගත්තා. ඒ මුණ කඩවසම් , ඒ ලස්සන ඇස් දෙකෙන් ඕන කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන්, ජීවයෙන් පිරිලා. මම පළවෙනි වතාවට ඒ ඇස් වලට එබිකම් කළ වෙලාව මතක්වුණා. තාමත් ඒ විදිහටම බලන බලන වතාවක් ගානෙම මාව පුච්චන්න ඒ ඇස් වලට පුළුවන් වුණා.

"මාලන්, ඔයා දන්නවනේ හොඳටම මම ඔයාට ආදරෙයි කියලා, එක හැමතිස්සෙම කියන්නේ නැත්තේ ආදරේ නැති හින්ද නෙමේ, ඒ වචන වල වටිනාකම අඩුවෙයි කියන බයට,,, ඔයා දන්නවනේ මං ගැන, මම කොටුවෙලා ඉන්න කැමති කෙනෙක් නෙමේ, යටත් වෙලා ඉන්නත් මට ඕනේ නෑ. ඔයා මට ආදරේ නම් ඔයා ඒක පිළිගන්න ඕන, මාව ඒ විදිහට බාරගන්න, තේරුම්ගන්න.",එයාගේ ඇස් දිහා බලාගෙනම මම කිව්වා.

"මම දන්නවා උත්තරා, මම ඔයාට කැමති උනෙත් ඒ හින්දමයි, එත් සමහර වෙලාවට මට හිතනවා ඔයා මගේම කරගන්න."
"කෙනෙක්ව තවත් කාගෙවත් කරගන්න ඒක ආදරේ නෙමෙයි මාලන්, ඒක බලහත්කාර කමක්, වහල්කමක්."
"එහෙම නෙමේ මට කියන්න ඕන උනේ, ඔයා ,,,, හරි මෙහෙමයි කෙටියෙන්ම කිවොත් මම ඔයා අවිශ්කත් එක්ක තියන යාළුකමට කැමති නැහැ."
"මාලන් මට මොනවද කරන්න ඕනේ කියලා කියන්න එපා, ඔයා දැන් කියාවි මම මුරණ්ඩුයි කියල ඔව් එක්කෝ මම එහෙම වෙන්න ඇති, කොහොම උනත් ඒ මගේ හැටි. අනිත් එක අවිශ්ක කියන්නේ මගේ හොඳම යාළුවා, ඔයා ඒක කලින් ඉඳලම දන්නවනේ"
"ඒකනම් දන්නවා, එත් කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි හොඳම යාලුවෝ වගේ විතරක් ඉන්න පුලුවන්ද? එකේ මායිම තියෙන්නේ කොතනද?"
"එතැනදී මායිම් තීරණය කරන්න නිශ්චිත කඩයිමක් නෑනේ, ඒක තමන්ගේ හිතේ තියන දෙයක්."
"දැන් අවිශ්කගේ හිතේ තියන අදහස් ඔයා දන්නවද?'
"දන්නේ ටිකයි, එත් මම මගේ හිත ගැන දන්නවනේ,,,"

නිහඩතාවක් තවත් වෙලාවක් තිබුණා. මාලන් මොනවා හිතනවද කියලා තේරුම් ගන්න එච්චර අමාරු උනේ නැහැ, සමහර විට මම කියපු දේවල් තදින් හිතට වදින්න ඇති. දුකත් හිතුනා, එත් ඉතින් මම කිව්වේ බොරු නෙමේනේ.

ටිකක්වෙලා මාලන් මං දිහා බලාගෙනම ඉඳල හිනාවෙලා මාව තුරුළු කරගත්තා. මම එයාගේ පපුවෙන් ඔලුව තිබ්බා, එයාගේ හදවත ගැහෙනවා මට දැන් හොඳට දැනෙනවා, ඒ රාවයත් එක්ක මගේ හදවතේ ගැස්මත් මුසුවුණා. ඒ රිද්මය මුළු ශරීරය පුරා පැතිරුණා, ඒ වෙලාවේ මට හැඟුනේ මාලන් මගේම කොටසක් කියලා, සමහර විට එයා කියන්න උත්සහ කලෙත් මේ වගේම දෙයක් වෙන්න ඇති. මෙහෙම හැමදාම ඉන්න පුලුවන්නම් කොච්චර හොඳද. 
මාලන් මගේ ඔලුව ඉබිනවා දැනුනේ හීනෙන් වගේ. ඊට පස්සේ එයා මගේ ඔලුව පිරිමැද්දා, හරිම සනීපයක් දැනුනා, ඒ හිටපු විදිහටම නින්ද යන තරම්. දැනුන සතුට උහුලගන්න බැරි තරම්.

"මගේ මැණික, මට පොරොන්දු වෙන්න මට ආදරේ කරන එක කවදාවත් නවත්තන්නේ නෑ කියලා", මාලන් හීන් හඬකින් ආදරෙන් ඇහුවම බැහැ කියන්නේ කොහොමද, අනික ඒකමනේ මටත් ඕන.

මාලන් මගේ නිකටින් අල්ලලා මුණ ඉස්සුවා, දැන් එයාගේ මුණත් මගේ මූණත් ගෑවෙන නොගෑවෙන තරම්. තවත් වෙලාවක් අපි අපේ ඇස් දිහා බලාගෙන හිටියා, මට දැනුනේ ඒ ඇස් මම ඔයාට ආදරෙයි කියලා කෑගහනව වගේ. මම බලා පොරොත්තු නොවූ වෙලාවක එයා මාව සිපගත්තා, මාව පිච්චිලා හිරිවැටුනා. මාව දිය වෙලා මාලන්ගේ ඇඟේ ඇලෙන්න තරං ආදරයක් හිතුනා, එත් එක්කම මම තවතවත් එයාටම තුරුළු උනේ අහපු ප්‍රශ්නෙට උත්තරේ විදිහට. 


3 comments:

  1. හරිම ලස්සනයි. වෙනස් විදිහට හිතලා තියෙනවා. ඒ වෙනස හොඳයි. ඉතුරු කොටසත් එනකම් බලන් ඉන්නවා.... :)

    ReplyDelete
  2. ලස්සනයි හිරණ්ය..ඉතින් ඉතුරු ටික..

    ReplyDelete
  3. @කොට ජීවිතේ: ඔව් වෙනසක් කරන්න ඕනේ වුණා, එකට කැමති වෙච්ච එක ගැන සතුටුයි, ස්තුතියි. :)

    @නිම්ශා: ස්තුතියි, ඉතිරිය ඉක්මනට ලියන්නම්.

    ReplyDelete