Friday, November 29, 2013

සෞම්‍යාලෝකයට නිරාවරණය වුණෙමි.


මේ සටහන සුනේත්‍රා රාජකරුණානායක ලියූ සෞම්‍යාලෝකය නම් කෘතිය ගැන ලියැවෙන සරල කියැවීම ක් ගැන යි.

සෞම්‍යාලෝකය අලුත් කතාවක් නෙවෙ යි. පොදු පුරුෂයාහි සුනේත්‍රා කියන්නෙත් මේ කතාව ම යි. 'කිලිනොච්චි අහසයි කොළඹ අහසයි වෙනස් නෑ' කියල පොදු පුරුෂයා පටන් ගන්න තැන ඉඳලම ඇය මතුරන්නේ සාමයේ හා සහජීවනයේ ගාථාව. එක වංචනික පුරුෂයෙක් හා කායික මානසික සම්බන්දකම් පවත්වන මවක් හා ඇගේ දියණිය අතර ඇතිවන සිත් තැවුල්, සිත් බිඳීම්, ලජ්ජාවන්, ක්‍රෝධයන් ගැන ලියන සුනේත්‍රා මේ තුන්කොන් සම්බන්දය ලංකාවේ ජනවාර්ගික අර්බුධය ගැන ලොකු රූපකයක් කරගන්නවා. මේ ලොකු රූපකය අන්තිමට ඉවරවෙන්නේ සියල්ලන්ම තම තමන්ට සමාව දීමෙන්. රටම දෙදරවන භූමි කම්පාවක් ඇවිත් ඒ කම්පනයත් එක්ක මව මිය ගියාට පස්සේ ඒ ගැන දුව කම්පා වෙනවා. තමන්ගේ අම්මත් එක්ක ඇති කරගත් ආරවුල් ගැන පසු තැවෙනවා. භූමි කම්පාවෙන් අතරමන් වුනු කුඩා දෙමල දැරියක් රැකවරණයට ගන්න ඇය, කතාව අවසන් වෙද්දී වෙනසක් නැතිව ප්‍රභාකරන්ටත් මෛත්‍රී කරන්න ඉගෙන ගන්නවා.

පොදු පුරුෂයා සාන්ද්‍ර අම්ලයක් නම් සෞම්‍යාලෝකය කියන්නේ එහිම ඉතා තනුක කල අම්ලය. සුනේත්‍රා අම්ල තනුක කිරීමට බලපෑ හේතු හිතාගන්න පුළුවන්. පොදු පුරුෂයා ගැන විවිධ අයට විවිධ නිර්වචන තියෙන්න පුළුවන් වුනත් පොදුවේ පොදු පුරුෂයා එක පන්තියකට පමණක් සීමාවුණ එක පන්තියක් මුල් කරගෙන ලියු කතාවක් කියල නිගමනයකට එන්න පුළුවන් වේවි. පොදු පුරුශයාහි පාත්‍ර වර්ගයා ඇතුලත් වෙන්නේ ඉහල මැදි පන්තියට (නැත්තම් අඩුතරමේ ඒ පන්තියට පනින්නට උත්සහ කරන්නන්ට). ඒ නිසාම කතාවෙන් කියවෙන්නේ එක පන්තියකට යුද්ධය බලපාන (හෝ බල නොපාන) හැටි විතර යි. යුද්ධයට ඍජුව මුහුණ නොදුන් ඔවුන් යුද්ධයට විවිධ අර්ථකතන දෙනවා, විසඳුම් ඉදිරිපත් කරනවා, යුද්ධයම විවේචනය කරමින් එය වෘත්තියක් කරගන්නවා.

සෞම්‍යාලෝකයේ පාත්‍ර වර්ගයාගෙන් බහුතරය යුද්ධයට ඍජුවම මුහුණ දී බැට කෑ අය. කොටින්ගෙන් බිහිසුණු ලෙස පීඩා විඳින සිංහල මායිම් ගම්මාන වැසියන්, ඊට ආසන්නයේ අනිත් ගම්මානයේ සිටින ගිරයට හසුවුණු දෙමල වැසියන් ගෙන් පටන් ගෙන කොළඹ බර්ගර් ජාතියන්, දෙමළ කොට්ටාශ, මහනුවර සිංහල භික්ෂුන් වෙනකම් පුළුල් පරාසයක චරිත මෙහි හමුවෙනවා. ඒ වගේම ඔවුන් බොහෝවිට පහල පාන්තිකයන්. ඒ නිසා එක අතකින් පොදු පුරුෂයා ලියද්දි මග අරුණු කොටසක් ඇය ලියනවා වෙන්න පුළුවන්. ඒත් ඇය ලියන්නේ එකම තේමාවක් මුල්කරගෙන නිසා එකම දේ නැවත නැවත කියවීම වෙහෙස කර යි.

පාවාදීම්, වංචාවන්, කපටිකම්, කුහකකම් සියුම්ව පෙන්වන පොදු පුරුෂයා ස්ථර ගණනාවකින් සමන්විත වූවක්. උදාහරණයක් විදිහට මනොරම්‍යාගේ දරු සෙනෙහස, සාෂා වෙත ඇති ප්‍රේමය/ක්‍රෝධය, ආත්ම අනුකම්පාව ආදී සංකීර්ණ මානුෂික හැගීම් රැසක් පොදු පුරුෂා තුලින් පෙන් වන්න සුනේත්‍රා සමත්. සෞම්‍යාලෝකය සරල යි, ඍජු යි සුනේත්‍රා ලියන හැම කතාවක වගේම තියන අතුරු කතා එහිත් තිබුනත් වෙන්කර දැක්විය හැකි තල කිහිපයක් සියුම් බවක් නෑ. සරලවම හා මුලිකම කතාව යුද්ධයේ තුවාල් සුව කරගැනීම වෙනුවන් කියල ඇය ඍජුව කියනවා. සාහිත්‍යාත්මකව සෞම්යාලෝකය පොදු පුරුෂයාට වඩා පහතින් ඉන්නේ ඒ නිස යි. පොදු පුරුෂයා තුල ඇති විවිධ මාන සෞම්‍යාලෝකය තුලින් ගිලිහි ගිහින්. එහි සිටින්නේ බොහෝ විට පැතලි චරිත.

මම හිතන්නේ නෑ සෞම්‍යාලෝකය අසාර්ථක කතාවක් කියල. ඒත් මට සෞම්‍යාලෝකය සුනේත්‍රා ලියපු එකක් නෙවෙයි වගේ. වැඩි පරාසයක පාඨක පිරිසක් ඉලක්ක කරගෙන ලියු නිසා එහි සුනේත්‍රා නෑ. සුනේත්‍රාගේ අනන්‍යතාවය පෙනෙන තැන් නැත්තෙමත් නැති වුනත් සුනේත්‍රාගේ කැපී පෙනෙන ස්වභාවය ලිවීම ඇතුලේ අතුරුදැන් වෙලා. කොටිම්ම කියනවා නම් මේ පොත මට ඍජු වැඩි යි. එයින් අදහස් වෙන්නේ නෑ ඍජු වීම වරදක් කියල, එයින් අදහස් වෙන්නේ සෞම්‍යාලෝකයේ සාහිත්‍ය (අව)භාවිතාවට මම අකමැතියි කියන එක.

Thursday, November 21, 2013

අතීතයට සමාව දෙමු

සුබෝධාට අලුත විශ්‍රාම ගිය සැමියෙක්ද, ළඟකදී විවාහ වූ දියණියක්ද, පිටරට රැකියාවක් කරන පුත්‍රයෙක්ද, මියයාමට ආසන්න බැල්ලක්ද, අල්ලපු ගෙදරට නීති පරිදි අයිති වුවත් මේ ගෙදර වැඩිකල් වාසය කරන කකුලක් කොට පූසෙක්ද සිටියි. (මේ ලැයිස්තුව දික් කිරීමට අවශ්‍යනම් ඉදහිට කඩාපාත් වන මහලු නැන්දම්මාද, අතමාරුවක් අවශ්‍ය විට පමණක් ඇයව සිහිවන තම සොයුරියවද, ආඩම්බරකාර නෑනාවද ඇතුලත් කර ගත හැකි ය. ගෙදර සිටින කූඹි ගුල්, කරදරකාර හූනන්, කොල්ලකාරී මීයන් ඇය තමාගේ කියා පිළිනොගන්නා නිසා ඒ කොට්ටාසය අත්හැරීම පහසුය.)

තම සැමියාගේ විශ්‍රාම ගැනීමෙන් පසු සුබෝධාට යම් ඉස්පාසුවක් ලැබේ යැයි ඇය විශ්වාස කලද සිදුවුයේ එහි අනිත් පැත්ත යි. සැමියාගේ සියලු අහිනි පහිනි කර අවසාන වන විට ඇගේ දවසද එලෙසම අවසාන විය. සුමනසිංහ, නැතහොත් ඇය කියන පරිදි සුමනේ නොකළ වැඩක්ද කළ වැඩක්ද නොවුණු නමුත් ඔහුගේ කාලය කිසියම් ආකාරයකින් ගෙවී තිබුණි. ඔහුගේ සහයිකාව ලෙස ඇයත් ඔහුගේ පස්සෙන් ගොස් තම කාලය ගෙවා දැම්මා ය. එක අතකින් එය ඇයට සතුටකි. වෙනත් කිසිඳු බාහිර හේතුවක බාධාවක් නැතුව තම සැමියා සමග මෙලෙස කල් මැරීමෙන් ඇය සියුම් සතුටකට පත්ව සිටියා ය.

'ගබඩා කාමරය' ලෙස නම් ලද එහෙත් අනවශ්‍ය ප්‍රයෝජනයකට නැති වෙනත් වචන වලින් කියනවා නම් කුණුකසල වලින් ගහන කාමර අස්පස් කිරීමට දෙන්නා සුදානම් වුයේ එලෙස ය. හිතුවාට වඩා අපහසු වූ එය, දහවල් වන විට කාමරයෙ ඇති දෑ වලින් අරික් කාලක්වත් සෙලවීමට නොහැකි විය. දහවල් කෑමෙන් පසු සුමනේ ඇඳට වී සිටියේ අලුත හුරු වූ පුරුදක් වූ දහවල් නිදාගනීමට ය. සුබෝධා මේ සලාක ක්‍රමයේ වැඩ වලට ප්‍රිය නොවූවා ය. ඇයට අවශ්‍ය වුයේ ඉක්මනින් පටන් ගත කාර්යන් අවසන් කිරීමට යි. තනිවම නැවත වැඩ පටන් ගත ඈට මීට කලින් දැක පුරුදු නැති යමක් ඇගේ ඇස ගැටුණි.

සැබෑවකි, මළකඩ කෑ බෙලෙක් බිස්කට් පෙට්ටි දැක නොපුරුදු ඒවා නොවේ. එහෙත් මෙහි විශේෂත්වයක් ඇයට හැඟින. පරණ බිස්කට් පෙට්ටිවල ඈ දමා ඇත්තේ මාල වළලු අභාරණ ය. ඒවා මෙතන තිබීමට ඉඩක් නැත. දුවිල්ලෙන් ගහන පෙට්ටිය අතට ගත් ඇය එය පිස දැමුවා ය. ඊළඟට එළැඹුණේ අපහසු කටයුත්තකි, මළ කෑ එය විවෘත කිරීමට ඇයට ඇගේ සිරුරේ තිබු සෑම ශක්තියක්ම වැය කරන්නට අවශ්‍ය විය. අවසානයේ 'ප්ලොප්' හඬකින් එය විවෘත වුයේ සුබෝධාට අස්වැසිල්ලක් ගෙන දෙමිනි.

පෙට්ටිය තුලටද තරමක් දුවිල්ල කාන්දු වී තිබෙන බව සුබෝධාට හදිසියේ ඇතිවූ කැස්සෙන් පසක් වුණි. පෙට්ටියේ ඇති දෑ එකින් එක එලියට ගත් ඇය ඒවා එකින් එක පිරිකසන්නට විය. යතුරු රදවනයක් සමග යතුරු කැරැල්ලක්, කුරුළු ජෝඩුවක් සංකේතවත් වන කුඩා සිහිවටනයක්, ගැහැණු ලේන්සුවක්, සිහින් සුවඳ විලවුන් බඳුනක් ඇරෙන්නට එහි තිබුනේ කහ පැහැ කඩදාසි පාර්සලයකි.

කුතුහලය සංසිදුවා ගැනීම සඳහාම ඈ පාර්සලය විවෘත කළා ය. එහි වුයේ ලිපි කිහිපයකි. සුබෝධාට දැන් මෙය තමාගේ නොවන බව පැහැදිලි ය. පුතාගේ හෝ දුවගේද විය නොහැකිය, ඔවුන් ලිපි හුවමාරුවට හිනාසෙන්නේ 'ඕවා ආදී කාලේ වැඩ' කියමිනි. ඉතින් ඉතිරිවන්නේ සුමනේ ව ය. එහෙත් ප්‍රශ්නයනම් මේ ලිපි ගොනුව මෙසේ දමා ඇත්තේ ඇයිද යන්න යි. තම පුතා තමාට දුරකතනයෙන් කතා කරනවාට අමතරව ලිපි ලිව්වා නම් ඒවා නැවත නැවතත් කියවන්නට හැකි නේදැයි තමන්ට කියා සුසුමක් හෙලමින් ඇය ලියුම කාගෙන් දැයි බැලීමට එකක් විවෘත කොට බැලුවා ය.

සුමනේ,
මම දන්නවා දැන් මට ඔයාට ආදරණීය මගේ සුමනේ කියල කතා කරන්න බැරි බව. ඔයා දැන් මගේ නෙවෙයි. ඔයාට ඒක විශ්වාස කරන්න පුලුවන්ද. මටනම් මේක හීනයක් වගේ. මට තාමත් හිතෙන්නේ ඔයා මගේ ම යි කියල. ඔයාට උත්තරයක් දෙන්න පුලුවන්ද සුමනේ, ඔයාට එක ගෑණියෙක් ට ආදරෙයි කියල තවත් ගෑණියෙක් කසාද බඳින්න පුලුවන්ද. ඔයා මහා චපලයි සුමනේ. මම ආදරේ කලේ මේ වගේ මිනිහෙක්ටද කියල මටම හිතා ගන්න බැහැ. ඒත් ඔයා දන්නවද මමත් චපලයි මොකද ඒ මම තාමත් ඒ චපල පුරුෂයාට පිස්සුවෙන් වගේ ආදරය කරන හින්දා.

ලිපිය ඉදිරියටත් තිබුනේ අඩු වැඩි වශයෙන් සුමනේට ඇති ආදරය ගැනම ය. ලිපිය අවසන් කර ඇත්තේ 'හැමදාමත් ඔයාගේම නිර්මලා' යන නමිනි. සුබෝධා සුසුමක් හෙලුවා ය. මොහොතකට ඇය තමන් සිතිය යුත්තේ කුමක් දැයි කියා අමතකව තිබුණි. ඇයට තමා සමගම ඇති වූයේ කෝපයකි. තරහව පැසවන ගමන්ම ඇය ඊළඟ ලිපියත් අතට ගත්තාය. එයද කලින් ලිපියට වඩා වෙනසක් නැත. නිර්මලාගේ ශෝකයෙන්ද හද වේදනාවන්ගෙන්ද එය පිරී තිබිණි. සුබෝධාට එවර කෝපයක් මතු වුයේ නිර්මලා වෙතය. තම සැමියාට මෙලෙස වහ වැටි ඇති චපල ස්ත්‍රිය ගැන සුබෝධා සිතා තම නළල රැලි කරගත්තා ය. "වේසි" ඇයට ඉබේම කියවිණි. ඊළඟ ලිපියට ඇගේ අත ගියේ අවිඥානිකව ය. ඒ හසුන කලින් ඒවාට වඩා වෙනස් වන්නේ සුමනේ හා නිර්මලා අතර සිදුවේ ආදර කතා බහින්, කල් මැරීමේ මතක වලින්, නිර්මලා හා ගිය ගමන්වලින් ඇති වූ අත්දැකීම් වලින් පිරුණු නිසා ය. පළමු වතාවට සුමනේ ගේ පැත්තෙන් නිර්මලා ගැන දැනගන්නට හැකි විය.

නිර්මලා ආතුර වූ ප්‍රේමය ඒක පාර්ශවික එකක් නොවීම නිසා ඇය එවර කෝපයට පත් වුයේ ඇගේ සැමියා වෙත යි. සුමනේ තමා බැලීමට ආ පළමු වතාව ඇයට සිහිවිය. ඈතින් නෑ වන නැන්දා කෙනෙක් ගෙනා යෝජනාවකින් තම පවුල සමග ආ, පිරුණු හිනාවක් ඇති ඒ කඩවසම් පුරුෂයා ගැන සුබෝධාට කැමැත්තක් ඇති කිරීමට බාහිර බලපෑම් අවශ්‍ය නොවී ය. පළමු වර සුමනේ සමග කතා කරද්දී සුමනේ වචන දෙක තුනකින් උත්තරදී සිනා සුනු විට ඈ සිතුවේ ඒ ඔහුගේ ලාමක ලැජ්ජාව නිසාවෙන් කියා ය. නිර්මලා ඒ පසුපසින් සිටි වග පසක් කර ගත් සුබෝධාගේ උගුර සිරවිනි.

කිසිත් නොසිතන්නට තැත් කරමින් ඇය ඊළඟ ලිපියද අතට ගත්තා ය. එය නිර්මලා හා සුමනේ අතර වූ අතිශය පෞද්ගලික හුවමාරුවක් ගැන ලියවී ඇත්ත කි. සුබෝධාට එය වැඩි දුර කියවීමට අපහසු විය. ඈට ඕනෑ වුයේ සුමනේව නැගිට්ටවා "ඈ යකෝ තෝ කොහෙවත් යන පට්ට බල්ලියෝ එක්ක නිදාගෙන ඉඳලද මාව හොයාගෙන ආවේ?" කියා ඇසීමට ය. එහෙත් ඇය එසේ නොකළාය, ඒ ඇයි යන පැනයට උත්තරයක් ඇය සොයන්නට උත්සහද නොගත්තා ය. සුමනේ කහින ශබ්ධයකින් සුබෝධා නැවතත් පියවි ලෝකයට පැමිණියා ය. ලිපි එකතුව නැවත පෙට්ටියට එබූ ඇය පෙට්ටිය තම දියණියගේ පරණ අල්මාරිය තුලට තල්ලු කළා ය.

ඉන් පසුව සිදුවුයේ හැමදාම සිදුවන දෑ ය. කිසිවක් නොවූ පරිදි සිටීමට සුබෝධා උත්සහ කළා ය. බහුතරයක් ලෙස ඈ එහිදී සාර්ථක ද වුවා ය. එහෙත් ඈට තම සැමියා ගැන මීට හෝරාවකට කලින් මෙන් සිතන්නට නොහැකි විය. එක මොහොතකින් ජීවිත කාලයක දෑ ප්‍රශ්නය නගන්නට ඈට සිදුවී ඇත. ඈට ඈ ගැනම ඇතිවූ ආත්ම අනුකම්පාවකින් පෙලී ඉක්මනටම ඇඳට වැදුනා ය. එහෙත් ඇය කරා ආ නින්දට නිර්මලාගේ අත් අකුරු වලින් පහුරු කෑම් බාධා සිදුවිය. තම මදුසමය දා සුමනේ තමා සමග රාජකාරියකට මෙන් කායිකව එක්වූ සැටි සිහියට නැංවී සුබෝධාට හැඬුම් ආවා ය.

"සුබෝ, මට ඔයාව බඳින්න කලින් කෙල්ලෙක් හිටියා. ඒත් දැන් ඒක ඉවරයි. මාව තේරුම් ගන්න, මේ අපි දෙන්නගේ කාලේ ඉස්සරහටත් එහෙමයි. මම පොරොන්දු වෙන්නම්." යැයි සුමනේ මීට අවුරුදු තිහකට ප්‍රථමයෙන් කිව්වනම් සුබෝධා එය කල් ගතවී හෝ බාර ගන්නා බව සුබෝධා දැන සිටියා ය. එසේ වූවා නම් තත්වය මීට බොහෝ සෙයින් වෙනස් වෙයි. එවිට සුබෝධා කරන්නේ ඒ කතාවට තිත තබා සුමනේ සමග ජීවිතය අලුතින් පටන් ගැනීම යි. එහෙත් ඒසේ වුයේ නැත, සුමනේ නිරමලා ගැන කීවේ නැත. විවාහ වූ පසු කලින් පෙම්වතිය සමග ලිපි හුවමාරු කරගත්තා කියා හැඟෙව්වේ ද නැත. වංචාකාරයා සුමනේ බව සැබෑ වුවත් සුබෝධාද වරදකාරී බවකින් මිරිකී සිටියා ය.

පසු දිනයේ සුමනේ තමාගේ සුපුරුදු කඩපිල් සංචාරයේ යෙදෙද්දී සුබෝධා ලිපි එකතුව යලිත් තමා අතට ගත්තා ය. නැවැත්වූ තැනින් නැවත කියවීම ආරම්බ කල ඈ ලියා ඇති ඕනෑම දෙයකට ඔරොත්තු දීමට තම මනස සුදානම් කර ගත්තා ය. එහෙත් එසේ බිය විය යුතු කිසිවක් ඒවායේ වුයේ නැත. එක ලිපියක නිර්මලා සුමනේව හමුවීමට අවශ්‍ය බව කියා සිටියත් ඊළඟ ලිපියෙන් සුමනේ එය ප්‍රතික්ෂේප කර ඇති බව පසක් වීමෙන් සුබෝධා සුසුමක් හෙළුවා ය. අවසන් ලිපිය වන තෙක් ඈ ඇය එය කියා විය යුතුද නැතිද යන උභතෝකෝටිකයකින් ඇය පීඩා වින්දාය.
දැන් ඔයා මට ලියන එකත් නතර කරලා. මම දන්නවා සුබෝධා ඔයාට හොඳ ඇති ආදරෙත් ඇති. සමහරවිට මටත් වඩා. ඔයා මාව දාල ගිය එකට තරහ නෑ සුමනේ. සුබෝධව දාලා මා ගාවට එන්න කියල මම කියන්නේ නෑ. ඇත්තටම මම මෙහෙම මම ලියන්නේ ඇයි කියලත් මම දන්නේ නෑ. මම දන්නේ මම ඔයාට ආදරෙයි කියල විතරයි සුමනේ. එදත් අදත් හෙටත් හැමදාටමත් එහෙමයි. මාව අමතක කරන්නා එපා. ඒත් සමහර විට ඒක ඔයා දැනටමත් කරල ඇති. කමක් නෑ සුමනේ මට තේරුම් ගන්න පුළුවන්. සුබ ගමන්. මම ඇත්තටමයි කියන්නේ, ඔයාට සුබ ගමන්. මේ මගේ අන්තිම ලියුම. මීට පස්සේ මගෙන් ඔයාට කරදරයක් නෑ. පුලුවන්නම් සුබෝධටත් මටවගේම ආදරේ කරන්න. ඔයාට මගේ සුබ පැතුම්. 
මීට,
ඔයාගේ නොවන නිර්මලා.
පළමු වතාවට සුබෝධාට නිර්මලා කෙරෙහි අනුකම්පාවක් ඇති විය. නිර්මලා වෙනුවට ඇය එතන සිටියානම් ඇයද මීට නොවෙනස් ලෙස ක්‍රියාකරන්නට ඇති ඉඩ කඩ වැඩි බව ඇයට පසක් විය. එක අතකින් ඇය හා නිර්මලා එකම කාසියේ පැත්ත වෙයි. වෙනස සුබෝධා වැඩි වාර ගණනක් ජයග්‍රහණය කිරීමයි. පරාජිතයාගේ සිතුම්  ගැන ඇයට ජීවිතයේ පළමු වරට අදහසක් ආවා ය. දෙවැනියා කිසිඳු අත්දැකීමක් නැති ඈට මෙතෙක් කලක් තමන් දෙවැනියෙක් ව සිට ඇති බව ද පසක් විය. පුදුමයකට මෙන් ඇය කෝපයට පත් වුයේ නැත. වටහාගත නොහැකි පරිදි ඇය ඒ ගැන තෘප්තියට පත් ව සිටියා ය.

මේ සියල්ල අතරේ සුමනේ සිටින්නේ කොතනද දැයි ඇයට සිතා ගැනීමට කල් වැය කරන්නට සිදු විනි. අතීතය මතක් කරද්දී පළමුව සිහියට නැගෙන මතක ගණනාවකින් සුබෝධා නැහැවී සිටිද්දී, දියණිය උපත ලද දා සුමනේ කුඩා බිලිඳා වඩා ගත් සැටි, පළමු වරට තම පුතු තාත්ත කියූ විට සුමනේගේ ඇස් තෙත් වූ අයුරු මතක් වී ඇයට නැවතත් හැඬුම් ආවා ය. ඇය නැවතත් ලිපි  බිස්කට් පෙට්ටියට දමා පියනෙන්ද වසා දැම්මා ය.

ඉන් පසුව ඈ කලේ එම පෙට්ටිය සාලයේ වූ මිටි මේසය මත තැබීම යි. සුමනේ මෙය දුටු විට කුමක් කර යි දැයි ඇය නොදත්ත්ද තමන් සුමනේගේ අතීතය ගැන දැන ගත බව හැඟවීමට සුබෝධාට ඕනෑ විය.තම සංචාරය නිමාකර පැමිණි සුමනසිංහට බිස්කට් පෙට්ටිය ඇස ගැටිණි. එය කුමක් දැ යි, කෙසේ මෙතනට පැමිණියේ දැ යි තේරුම් ගැනීමට මොහොතක් වැය කළ ඔහු එතැනම ගල් ගැසුනේ ය. සුබෝධා පසෙකින් වී ඔහු දෙසා බලා සිටියා ය.

"අපි ඒ ටික පුච්චලා දාමු." සුමනසිංහ ටිකකින් කීවේ ය.

ඒ සුබෝධා බලාපොරොත්තු වූ පිළිතුර නොවේ. කලබල වී ඝෝෂා කරන්නට නැතිනම් දිගින් දිගටම ඇගෙන් සමාව ඉල්ලන්නට සුමනේ සුදානම් වනු ඇති ඇය සිතුවා ය. එහෙත් ඇය එම ප්‍රතිචාරය පිළිගත්තා ය. ජීවිතේ සැටි එලෙස ය. දෙදෙනෙකු ගේ සතුට වෙනුවෙන් එක කෙනෙකුගේ සිත වෙනස් කරන්නට සිදුවේ. තුන්වැනි යෝජනාවකට දෙදෙනාටම එකඟ වන්නට සිදුවේ. තම හිස වැනු ඇය, පිලිස්සනු වස් ගෙනිපෙට්ටියක් සෙවීමට යොමු වුවා ය.

Sunday, November 17, 2013

ඩොක්සාවට එරෙහිව!


රළ නැගෙයි රළ බසියි
නගින රළ බැසයත්ම තවත් රළක්
රළ මම වන අතර ඔබ මුහුද වෙයි
මම ඔබෙන් වෙන්වීද
ඔබ හට මා ලංවීද
ඔබෙන් තොර වීමක් නැත

රළ වදින තරමට 
බාධක වැඩිවුණු පමණට
වැඩිද සුන්දර බව
වැලි අතර ගල් පතර
සිපගමිනි ස්නේහයෙන්
ලස්සන කරනු වස්

හිරු එළිය පතිත
පෙන මත වර්ණ නංවයි
දේදුනු රටා මත අලුත් වර්ණයක්
නැගෙන රළ අතර
කිසිදා නොකියූ කතාවකින්
මතුවෙයි ඩොක්සාවට විරෝධය

Wednesday, July 24, 2013

Friday, July 19, 2013

සප්ත පාප: මානය



විදුලි ආලෝක දහසක් ඒ සුරූපී මුහුණ ඉදිරියේ නිවෙමින් පත්තු වෙන්න පටන් ගත්තා. රිදී තිරයේ දකිනවාටත් වඩා දිව්‍යමය ස්වරූපයක් ඇයට උරුම වෙලා තිබුණේ. ඇය වාහනයෙන් එළියට බැහැල රසික රසිකාවියන්ට අතවනමින් රතු පලස මතින් ගියේ බළල් ගමනින්. අමාට පුදුමයි මේ අවස්ථාව ගැන. ප්‍රවීනා පලිපාන කියන ජනප්‍රිය නිළිය කවදාවත් පෞද්ගලිකව මුණ ගැහෙන්න ලැබෙයි කියල අමා හිතුවේ නෑ.

අමාට ප්‍රවීනා රඟපෑ සිනමා පටයක් ඇස ගැසුනේ අහම්බෙන්. දවසක් අමා සැක කාරයෙක් පස්සෙන් ඇවිත් ඇතුළු වෙලා තිබුනේ සිනමා ශාලාවකට. සැකකරයා පෙනෙන මානයෙන් වාඩි වුණු අමාගේ අවධානය ගන්න තිරයේ හැසිරුණු  ප්‍රවීනාට ගතවුනේ මොහොතකටත් අඩු කාලයක්. අමාගේ හද ගැස්ම සාමාන්‍ය එකක් වුණානම් හද ගැස්ම ඉහල යන්න ඉඩ තිබුණා. කොටින්ම කිව්වොත් දශක ගණනාවකට පස්සේ දැකපු ආකර්ශනීයම කෙල්ල තමයි ප්‍රවීනා. අමා ප්‍රවීනාගේ තාත්වික රඟපෑම දිහා ඇසිපිය නොහෙලා (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම) බලා හිටියා. සැකකාරයා චිත්‍රපටය ඉවර වෙනකම් හිටියේ නැති හින්ද අමාටත් නැගිටලා යන්න වුණා. ඒත් සිනමා ශාලාවෙන් එලියට එද්දී 'ප්‍රවීනා සින්ඩ්‍රෝමයෙන්' අමා ආතුර වෙලයි හිටියේ. කොහොම හරි සතියක් ඇතුලත අමා ප්‍රවීනා රඟපාපු ච්ත්‍රපටි හැම එකක්ම කිහිපවතාවක් බලල තිබුණා.

ඔය අතරේ තමයි චිත්‍ර පටයක මංගල දර්ශනයකට ප්‍රවීනා සහභාගී වෙනවා කියල දැනගන්න ලැබුනේ. ඉතින් මේ වගේ අවස්ථාවක් පැහැර හරින්නේ කොහොමද. රසිකයන්ගේ බෙරිහන් දීමත් මාධ්‍ය වේදීන්ගේ නොනවතින ප්‍රශ්නත් අතරින් ප්‍රවීනා ශාලාව ඇතුලට ඇදුනේ ලොකු පිරිවරකුත් එක්ක. අමාත් කලබල අතරින් ශාලාවේ කෙළවරකට රිංග ගත්තා. සිනමා පටය දර්ශනය කරන්න කලින් පවත්වන්නට යෙදිලා තිබුණේ ප්‍රවීනාගේ මාධ්‍ය සාකච්චාව.

"ප්‍රවීනා, ප්‍රවීනා, අපිට ඔයාගේ අලුත්ම ෆිල්ම් එක ගැන කියන්න!" රසික ඝෝෂාව හා කැමරා ක්ලික් ශබ්ධ අතරින් එක මාධ්‍යවේදියෙක් ඇහුවා.

"මේ කතාව මගේ යාළුවෙක් ලියපු කතාවක්. හිරණ්‍ය කතාව ලියද්දි මට කිව්වේ එයා රන් මැණිකාගේ චරිතය නිර්මාණය කළේ කාටවත් රඟපාන්න බැරි විදිහටයි කියල. ඉතින් මම මේක භාරගත්තේ අභියෝගයක් විදිහට. ඒත් මට රඟපාන්න බැරි චරිතයක් තියනවද. නේද?" ප්‍රවීනා සිහින්ව  හිනාවුණා. "හිරණ්‍ය වැරදියි කියල පෙනන්න මට ඕනේ වුණා."

"රන් මැණිකා මොන විදිහේ කෙනෙක්ද?" ඒ ඊළඟ ප්‍රශ්නය.

"රන් මැණිකා සම්ප්‍රදායික ගැමි ගැහැනියක් නෙවෙයි. රන් මැණිකා කලාකාරිනියක්, විප්ලවකාරියක්, සමාජ සේවිකාවක්, වෛද්‍යවරියක් ඒවගේම රන් මැණිකට මන්තර ගුරුකම් එහෙමත් පුළුවන්. කතාවේ රසය නසන්නේ නැතුව කිව්වොත් එක අවස්ථාවක රන් මැණික අඬනවා තමන්ගේ ප්‍රේමවන්තයා තමන්ට වංචා කළා කියලා දැනගත්තම. සාමාන්‍යයෙන් නම් ඊළඟ පියවර හැටියට වෙන්නේ මේ චරිත ලක්ෂනත් එක්ක රන් මැණිකා මොනවහරි මන්තර බලයෙන් අවැඩක් කරන එකනේ. ඒත් රන් මැණිකා කරන්නේ සාමාන්‍යයෙන් හිතන දේට සම්පූර්ණ විරුද්ධ දෙයක්. එයා අඬ අඬම ලොකු දානයක් දෙනවා හිටපු පෙම්වතා වෙනුවෙන්. අන්තිමට වෙන දෙයක් හිතාගන්න බැරි වුණ ඒ මිනිහ අන්තිමට රන් මැණිකාගෙන් සමාව ගන්නේ වැඳ වැටිලා. ඔය වගේ ගුණාංග හින්ද මේ චරිතය විශේෂයි."

රැස් වුණු පිරිස ටික වෙලාවක් යනකම් නිශ්ශබ්ධ යි. ප්‍රවීනා වටපිට බලලා හිනා වුණාම ආයෙත් ඝෝෂාව නැගී හිටියා.

"ප්‍රවීනා ජනප්‍රියම නිළියයි හොඳම නිළියයි හින්ද දැන් හරි ආඩම්බරයි කියල කියනවා."

"ඇත්තට?" ප්‍රවීනා ඇස් පුංචි කරලා බැලුවා, ඊට පස්සේ හිනා වුණා. "ආඩම්බර වෙන්න දේවල් තියෙද්දී ආඩම්බර වෙනවා තමයි."

එහෙම කියල ප්‍රවීනා යන්න හැරුණා. අමාට පියවි සිහිය ලැබුනේ එතකොටයි. අමා ඔලුව ගසල සෙනග පීරමින් ප්‍රවීනා වෙත ඇදුනේ පෙනෙන නොපෙනෙන වේගයෙන්. තමන්ගේ වැම්පයර් ගතිගුණ පුළුවන් තරමින් රහසක් හැටියට තියාගන්න ඇය උත්සහ කළාට මේ අවස්ථාවේ අමාගේ පරිස්සම අතපසු වෙලා තිබුණා.

"ප්‍රවීනා!" අමා තම හඬ අවදි කළා. ප්‍රවීනා ආපසු හැරිලා බැලුවෙත් සිනමාත්මක විලාශයෙන්. ඇත්තටම එහෙම නැතත් අමාට පෙනුනේ එහෙමයි.

"ඔව්?" ප්‍රවීනා ඇස් පුංචි කළා.

"මට ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද?" අමා ඇහුවා.

"කියන්න දෙයක් තියනවා නම් ඉක්මනට කියන්න." මාධ්‍ය සාකච්චාවේදී තිබුණු මිත්‍රශීලි ස්වභාවය ප්‍රවීනාගේ වචනවලින් කොහෙටද මන්ද අතුරුදන් වෙලා තිබුණා.

"මෙහෙම නෙමෙ යි. පෞද්ගලිකව කතා කරන්න පුලුවන්ද?"

ප්‍රවීනා අමා දිහා බැලුවේ 'ඔයාට පිස්සුද?' කියල අහන්න වගේ. තප්පර කිහිපයක් ඇය එහෙම බලන් ඉඳල නැවත හැරුණා.

"ප්‍රවීනා!" අමාට කියවුණා.

ඊට පස්සේ වුණේ හිතාගන්නත් බැරි දෙයක්. ප්‍රවීනා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට සඥා කරනවත් එක්කම ඔවුන් අමා වෙත ඇවිත් අමාව ශාලාවෙන් එලියට ඇදලා දැම්මා. වැම්පයර් බලයන් පාවිච්චි කළා නම් පහසුවෙන්ම නිලධාරීන්ව පරද්දන්න තිබුනත් අමාට එහෙම කරන්න උවමනාවක් තිබුනේ නෑ. ප්‍රවීනාගේ සැහැල්ලු මිත්‍රශීලි ප්‍රතිරූපය බිඳීමෙන් ඇය අතාර්කික විදිහට කම්පාවට පත්වෙලයි හිටියේ.

ශාලාව දෙස එක වරක් නැවතත් හැරිලා බලපු අමා තමන්ගේ හුරුපුරුදු අන්ධකාරය වෙත නැවතත් එළැඹුණා.

* * *
කලින් වුණු සිද්ධියෙන් ප්‍රවීනා කනස්සලටත් කලබලයටත් පත්වෙලා හිටියා. ජනප්‍රිය වීමේ යහ විපාක වගේම දුර් විපාකත් මේ වෙනකොට හොඳට අත්විඳින්න පුළුවන් අවස්ථා ගණනාවක් ඇය පසු කරගෙන ඇවිත් තිබුණා. ඒ ගැන වැඩිය වදවෙන්න ඉඩ ලැබෙන්නේ නැතිවම චිත්‍ර පටය පටන් ගත්තා. සැබෑ ප්‍රවීනා ඉදිරියේ රිදී තිර ප්‍රවීනා විසල්ව වැඩ හිටියා.

ප්‍රවීනා කවදාවත් තමන් රඟපාපු චරිතයක හරි වැරදි හොයන්නේ නෑ. එක, එහෙම කරලා වැඩක් නෑ. තමන් තෝරාගන්න චරිත එකිනෙකට වෙනස් නිසා එකක වැරදි හඳුනාගැනීම තව එකකට උදව්වක් වෙන්නේ නෑ. දෙක, ප්‍රවීනාට තමන්ගේ රංගනය උපරිම විශ්වාසයක් තිබුණා. තුන, ඒක මහා කම්මැලි වැඩක්.

ප්‍රවීනා සිනමා පටය අවසන් වෙන්නත් කලින්ම ශාලාවෙන් පිටතට ආවේ හිරණ්‍යට කතා කරන්න හිතාගෙන. ඇය ඔහුගේ අංක ඇමතුවා. හිරණ්‍ය ඇමතුම බාරගත්තේ කිහිප වරක්ම නාද වුණාට පස්සෙයි.

"කුමබකර්ණ නිදගෙනද හිටියේ?" ප්‍රවීනා කාර් එකට හේත්තු වුණා.

"හ්ම්..."

"මොකද ආවේ නැත්තේ? පුරුදු කම්මැලි කමටද නැත්තම් මම චැලේන්ජ් එක දිනනවා දකින්න අකමැති හින්දද?"

"හපොයි, මට තමුසෙගෙ ඕව ඇක්ටින් බලන්න ඕනේ නෑ. ශුව එකටම නාගෙන ඇති."

"හෙහෙ දැන්ම පරාජය බාරගෙන වගේ.ඒයි!" රථගාලේ එක පැත්තකින් එළියක් ඇතිවෙලා නැතිවෙලා ගියා. ප්‍රවීනා එකපාරටම ගැස්සුනා. "කව්ද එකෙක් ෆොටෝ ගන්නවද කොහෙද? මේ පැපරාසියෝ මහා වාතයක්."

"නිකම් බොරු කරන්න ඕනේ නෑනේ, ඔයා ඒකට කැමතියිනේ."

"මැට්ටා. මම තියනවා."

"ලොකු දෙයක්."

ප්‍රවීනා වටපිට බැලුවත් කවුරුවත් පෙනෙන්න හිටියේ නෑ. පැපරාසි ගිහින් වෙන්න ඇති. තවත් වදවෙන්නේ නැතිවම ප්‍රවීනා වහනයට නැගල තමන් කැමති විදිහට වේගයෙන් රිය පදවන්න පටන්ගත්තා. ඒ යන අතරවාරයේ තමයි ඇයට චිත්‍රපටය වෙනුවෙන් ප්‍රදර්ශය කළ විසල් දැන්වීම් පුවරුව දකින්න ලැබුණේ. ඇය ගාම්භීර ගැමි පෙනුමකින් නැගී හිටියේ දේශපාලන නායිකාවක් වගේ. හිරණ්‍යට කියල ඒවගේ කතාවකුත් ලියවගන්න ඕනේ කියල සිතුවිල්ලක් එක්ක ඒ වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් ලැබෙන්වත්. සම්මානය අතැතිව පාවඩ මැද ගුවන්තොටුපලෙන් එනවත් සිහින ගැන්විලා, ප්‍රවීනාට මන්දස්මිතියක් පහළ වුණා.

ඉතිරිය මතුවට. 

ප.ලි. : කුමාරිහාමි ඉදිරිපත් කළ පසුව අමා අතින් තවත් දීර්ග වූ කතාව මේ ලියන්නේ අපි නිතර දකින බ්ලොග් ලියන්නන් ලියන්නියන් ගේ නම් ඇසුරින් වුණත් ඔවුන් හා මේ චරිත අතර කිසිඳු ඍජු සම්බන්ධයක් නැහැ වගේම ඔවුන්ට අපහාසයක්/උපහාසයක් බලපොරෝත්තු වන්නෙත් නෑ. මෙය හුදු විනෝදය සඳහා ලියන්නක් පමණයි.

Tuesday, June 4, 2013

තවම දළඹුවෙක්


අහස දෙස බලන මම;
පියාපත් විහිදුවා
හුළඟේ දැවටෙමින්
කලුවරද නොතකමින්
මුදු සමනලයෙක් වන්නට,
දළඹුවෙකි පෙරුම් පුරන


Saturday, May 18, 2013

ඇමරිකානු සිහිනය | The Weeping Eagle

ඔහු සිගරට් එක පත්තු කරගෙන කන්‍යාරාමයේ දොරට තට්ටු කළා. සතියේ දවසක රාත්‍රියේ නිසා ගොඩනැගිල්ල අවට පරිසරයේම තිබුනේ පාලු ස්වභාවයක්. විදි පහන්වල මලානික ආලෝකය ගොඩනැගිල්ලේ වර්ණ ගැන්වූ ජනෙල මතට වැටිලා දිස්නේ දුන්නා. නගරයේ දුහුවිල්ල නිසාම රාත්‍රී අහස අපැහැදිලියි. තරු නොපෙනෙන තරම්, අඩ හඳ උස් ගොඩනැගිලි අතරින් දිස් වුනේ බොඳ වෙලා. ශ්‍රී ලාංකික පුරුෂයා ආයෙත් දොරට තට්ටු කරන්න යද්දීම මැදි වියේ වූ කන්‍යා සොයුරියක් බර හඬක් නගමින් ලී දොර හැරියා.

"ඇයි?" ඇගේ කටහඬ සෞම්‍යයි.

"මම සුසන්ත, ලංකාවෙ ඉඳන් ආවේ. මට නවතින්න තැනක් නැහැ. තැනක් හොයාගන්න සල්ලිත් නැහැ." සුසන්ත පින්සෙන්ඩු වුණා. "අනේ කරුණාකරලා."

"බැහැ බැහැ, අපිට පිරිමි නවත්තගන්න බැහැ."

"එහෙම කියන්න එපා. මම මේ හීතලේ පාරේ නිදාගත්තොත් හෙට උදේ වෙද්දී මැරිලා යාවි. මම ඕනෙම උදව්වක් කරන්නම්."

කන්‍යා සොයුරිය නළල රැලි කරගත්තා. කල්පනා සාගරයක මොහොතක් නිමග්න වුණා. "ඕනෙම උදව්වක්?"

සුසන්ත යුහුසුළුව ඔලුව වැනුවා. ඔහු ඇමරිකාවට පය තියල දවස් තුනකට වැඩියි. බෝට්ටුවට නැගල සති දෙකකකට වැඩියි. වමනේ යන ඔලුව කැරකෙන ගතිය අඩුවෙලා තිබුනට හරි නින්දක් නැති හින්ද ඔහු හිටියේ හරියකට කෙලින් හිටගන්නත් බැරිව. කන්‍යා සොයුරිය වරක් දෙවරක්ම වටපිට බැලුව. ඉඳහිට ඈතින් යන වාහන හැරුණු කොට මිනිස් ජීවයක ලකුණු තිබුනේ නෑ.

"හ්ම් ඇතුලට එන්න." කන්‍යා සොයුරිය හඬ අවදි කළා.

සුසන්තට ලැබුණු කාමරය කුඩයි. අපිරිසිදුම නැති වුණත් කාලෙකින් භාවිතා කරලා නැති නිසා පුස් ගන්ධක් වහනය වුණා. කුඩා කාමරයේ පැත්තකින් ඇතිරිලි රහිත මෙට්ටයක් ඇඳ මත තිබුණත්, කොට්ටයක සලකුණු තිබුනේ නෑ. ශ්‍රී ලාංකික පුරුෂයාට මේ අඩුපාඩු පෙනුනේ නෑ. අතේ තිබුණු ගමන් මල්ල බිමින් තියල ඔහු ඇඳේ වැතිරුණා. එහෙම ඉඳගෙන මතක් කළේ ඇයි ඇමරිකාවට එන්න යෙදුනේ කියල. ගෙවල් ළඟ නිමල් අයියා බෝට්ටුවෙන් ඇමරිකාවට පැනගත්ත හැටිත්, නිමල්ගේ ගෙදර තට්ටු දෙකට හදපු හැටිත්, අලුත් අලුත් ඇමරිකන් ටීවී ෆ්‍රිජ් කැමරා වලින් ගේ පිරුණු හැටිත්, අවුරුද්දකට විතර පස්සේ සුද්දියෙක් එක්ක ලංකාවට ආව හැටිත්, වැඩිකල් නොගිහිම්ම මුළු පවුලම ඇමරිකාවට ගෙන්න ගත්ත හැටිත් සුසන්තට මතක් වුණා.

"කොහෙද උඹට පුලුවන්ද එච්චර වැඩක් කරගන්න. බලාපල්ලකෝ අර අල්ලපු ගෙදර උන් ටික. දැන් උන් ඇමරිකන්කාරයෝ. පුහ්! උඹට වාසනාව නෑ. කාලකන්නි..." නිමල්ගේ පවුල රට ගිය අලුතම සුසන්තගේ අම්ම කිව්වේ එහෙම.

කොහොම වුණත් සුසන්තට බෝට්ටුවේ එන්න සල්ලි හොයල දෙන්න අම්මා සෑහෙන මහන්සි වුණා. තියන රත්තරන් බඩු ඔක්කොම උගස් කරලා දන්න දන්න අයගෙන් ණය අරගෙන ගාන හදාගෙන බෝට්ටු මුදලාලිට ගෙව්වා. පොරොන්දු වුණු හැටියට හැමදේම නොවුණත් සුසන්ත ඇමරිකාවට ගොඩ බැහැල තිබුණා. තමන්ව මුණගැහෙන්න කෙනෙක්, රස්සාවක් ඉන්න තැනක් දෙන්න කෙනෙක් ඉන්නවා කියල කිව්වා පොරෝද්දු කඩ වුණත්, ඇමරිකාවට ආ එක ගැන ඔහු සතුටු වුණා. තමන් අල්ලගනිවී කියන බය සුසන්තට කරදර කළේ සුළු වෙලාවකට විතරයි. ඇමරිකාව කියන්නේ ලංකාව වගේ වගේ දහස් ගණනක් විතර විශාල රටක් බවත්, අඩියෙන් අඩියට හඳුනුපත් පරික්ෂා කරන පොලිස් නිලධාරීන් නැති බවටත් සුසන්තට තේරුණා. සැක හිතෙන්නේ නැති විදිහට ඉන්න හැටිත් මිනිස්සුත් එක්ක ස්වභාවික විදිහට හැසිරෙන විදිහත් ආයාසයකින් තොරවම ඇඟට ඇවිත් තිබුණා.

"අර පැත්තෙන් බාත් රූම් එකට යන්න පුළුවන්. කන්න නම් දෙයක් නෑ. අපි කළා ඉවර වෙලා දැන් ගොඩක් වෙලා." කන්‍යා සොයුරිය කිව්වා.

සුසන්ත කමක් නෑ කියන්න ඔලුව වැනුවා. කොහොමත් මන්සියයි නිදිමතයි එක්ක කන්න ප්‍රියතාවයක් ඔහුට තිබුනේ නෑ. සුසන්ත නාන කාමරයට ගිහින් ජල කරාමය ඇරියා. උණු වතුර මාංශ පේශි ලිහිල් කරලා ගෙනාවේ සැහැල්ලුවක්. ඒ සුවයත් එක්ක විනාඩි ගණනක් ගත කරලා නාල තුවාය දවටගෙන අයෙත් කාමරේට එද්දී කන්‍යා සොයුරිය ඇඳේ වැතිරිලා ඉන්නවා දැකල ශ්‍රී ලංකික පුරුෂයා ගැස්සුනා.

"මේ... මේ මොකද?" සුසන්ත ගොත ගැහුවා.

කන්‍යා සොයුරිය නැගිට ඇඳේ වාඩි වුණා. ඔහුටත් වාඩිවෙන්න වෙන්න කියල අතින් සං කළා. සුසන්ත ඇය පසෙකින් වාඩි වුණේ හිතේ දෙගිඩියාවෙන්. ඇය අගේ හිස් වැසුම අයින් කරලා හිටියේ, ඇඳ හිටි ගවුමත් කලින්ට වඩා ලිහිල්ව පෙනුණා. කන්‍යා සොයුරිය සුසන්තගේ මුහුණ අත ගාන්න පටන් ගත්තා. ක්‍රමයෙන් අත ඔහුගේ බෙල්ල, පපුව, බඩ, යටි බඩ වෙනකම් පහලට ආවා. මහන්සිය නිදිමත නිසාම සුසන්තට මේ ඇත්තක්ද හීනයක්ද කියල හිත ගන්න බැරිව ලත වුණා. තුවාය කඩල අයින් කරන්න යද්දීම තමයි ඔහුට වැටහුනේ මෙය වෙන්නේ සැබෑ ලෝකයේ බව.

"එපා." ඔහු කන්‍යා සොයුරියගේ අත ඇදල විසිකළා.

"එපා? මට ඔයාගේ වීසා එක පෙන්නන්න කිව්වොත් ඒකටත් ඔයා එපා කියනවද? පොලිසියට කියනවා කිව්වොත්? එතකොට ඔයා මොකද කියන්නේ?" සුසන්ත ගල් ගැහුණා. පොලිසිය ඇවිත් කුදලාගෙන යනවත්, මාස ගණනක් හිරේ ඉන්නවත් හිස් අතින්ම ආයේ ලංකාවට යනවත්, බලාපොරොත්තු කඩ වුණු මවගේ මුහුණත් සුසන්ත ඉදිරියේ දිස් වෙන්න ගත්තා.

කන්‍යා සොයුරිය හයියෙන් හිනා වුණා. "ඒක තමයි මාත් හිතුවේ. අපි එපා නොකිය ඉමු. අනික ඔයා කිව්වනේ ඕනෙම උදව්වක් කරනවා කියල. මේක දෙවියන්ට කරන උදව්වක් කියල හිතන්න."

ඇය සුසන්තව ඇඳේ පෙරලලා ඔහුගේ ඇඟ උඩ නැග්ගේ ගවුම ගලවලා විසිකරන ගමන්. ටික වෙලාවකින් ඇය පොඩි කාලේ වගේ අස්සයා පදින්න ගත්තේ ශබ්ධ නගන ගමන්. අගේ වැහැරුණු පියයුරු ඉහල පහල යද්දී ගෙල මත පැළඳි කුරුසයත් රටාවකට නැලවුණා. සුසන්ත පියාගෙන මේ ඇත්තක් නෙමෙයි කියල හිතාගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා. දෙවියන් වෙනුවෙන් කළ උදව්ව අවසන් වෙද්දී සුසන්ත සිහිසුන් වෙලාද නින්ද ගිහින්ද කියල හිතාගන්න කන්‍යා සොයුරියට අපහසු වුණා.

* * * * *
සුසන්ත මැදියම් රාත්‍රියේ එක් වරම ඇහැරුණා. තමන් කොහෙද ඉන්නේ, මොකද්ද වුණේ කියල මතක් වෙන්න ඔහුට මොහොතක් අවශ්‍ය වුණා. කන්‍යා සොයුරිය පෙනෙන මානයක නොහිටි හින්ද ඔහුට යම් සහනයක් හිතට දැනුණා. අලුයම වෙන්න තව වෙලා තිබුනත් ඔහු යන්න සුදානම් වුණා. කලින්ටත් වඩා ඇඟට තද අපහසුවක් දැනුනත් තව මොහොතක් වත් රැඳී ඉන්න සුසන්තට උවමනා වුණේ නෑ. කිලිටි ඇඳුම් නැවතත් ඇඟලා ගත ඔහු කුඩා කාමරයෙන් එළියට ආවේ හැරිලාවත් බලන්නේ නැතිව.

කන්‍යාරාමයෙන් එළියට යද්දීම තමයි ඔහුට මතක් වුණේ තමා අත මුදල් නැති බව. කාර්යාල කාමරයට සීරුවෙන් ගිහින් අගුල කඩල ඩොලර් නෝට්ටු ගණනක්ම සාක්කුවේ දාගන්න ශ්‍රී ලංකික පුරුෂයාට හැකි වුණා. සුසන්ත ඒ පවුකාර ගොඩනැගිල්ලෙන් පිටවෙද්දී වත් හිරු එළියේ සලකුණු මතුවෙලා තිබුණේ නැහැ. තව දවස් කිහිපයකට සරිලන්න මුදල් තිබුනත් ඉක්මනින් රස්සාවක් හොයගැනීමේ අවශ්‍යතාවයකින් ඔහු පෙලුනා. නැවත වරක් දෙවියන්ට උදව් කරන්න නම් කිසි උවමනාවක් ඔහුට තිබුනේ නෑ. ඒ මතක හිතේ අඳුරු කොනක අගුලු දමන්න උත්සහ කරමින් ශ්‍රී ලාංකික සංක්‍රමණික පුරුෂයා සුස්මක් හෙලුවා. පරිසරයේ අධික සිසිලස ඔහුට අපහසුවක් බව ඔහුට අමතක වෙලා තිබුණා.

ප.ලි.: මේ ''ලංකාව ඉන්දියාව යටින් තියෙන්නෙ නැතුව කියුබාව තියෙන තැනට රී ප්ලේස් වෙනවා..එතකොට අපිට ඇමරිකාවට පනින්න ලේසියි...'' කියල අමිල ඉදිරිපත් කල අදහස වෙනුවෙන් ලියු කෙටි කතාව. කොහොමද අමිල?

Friday, April 26, 2013

අවසන් යම - Say Goodbye

රෝහලේ සෙනග එච්චර හිටියේ නැතත් වෛද්‍යවරුන් සහ හෙදියන් කිහිප දෙනෙක් එහෙ මෙහෙ ගියේ කලබලෙන්. රෝගීන් ලබන්න ආපු අයත් හිමින් ඇවිදිමින් එකිනෙකාට කොඳුරමින් ගියේ තම තමන්ගේ ලෝක වල තනිවෙලා. එළිමහනට විවර වුණු තැනක ඇති දිග පුටු පේළියක කෙලවකරකින් මම වාඩිවුණා. ඉර එළිය අප්‍රාණවත්ව වැටුනේ ගිම්හානය නිසා කොළ හැලුණු ගසකට. අඩ එළිය ගහේ කඳේ වැදිලා සෙවනැල්ල සහ ආලෝකය කලාත්මක චිත්‍රයක ස්වරූපයක් මතු කළා.

ඉර එළිය අඳුර අතරින් අතුරුදන් වෙද්දී රෝහලේ සෙනග තරමක් වැඩිවෙන්න ගත්තා. තරුණ තාත්තෙක් එක්ක ආපු පුංචි ළමයෙක් මට පසෙකින් ඇති පුටුවේ වාඩිවුණා. වයස හතරක් විතර වෙන්න පුළුවන් දරුවා අතේ තිබුනේ කතා පොතක්. මම ඒ දිහා බලලා හිනා වුණා. ඒ පුතාගේ ඇස් තිබුනේ පොතේ නිසා එයා දැක්කේ නෑ මාව. කොහොම වුණත් ඒ දර්ශනය මට පැහැදිලි කරගන්න අපහසු හේතුවකට සතුටක් ගෙනාවා. ටිකකින් ළමයාගේ තාත්තා ඇවිත් දරුවා එක්ක ගෙන ගියා. මම පුතා දිහා බලල හිනා වෙලා අත වැනුවා. මම ඉන්න දිහා බලන් ගියත් ඒ ළමයට මාව පෙනුනේ නෑ. මොහොමතකට ඒ දරුවට ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇති කියල ඇති වෙලා නැතිවෙලා ගියේ පොත කියවපු බව මතක් වෙලා.

මම එතැනින් නැගිටලා ඇවිදින්න ගත්තා. රෝහලේ විදුලි බල්බ දැල්විලා ටයිල් පොලව බිත්ති හැමතැනම සුදු පාටින් ඒකාලෝක වුණා. හිමින් ඇවිදන් යද්දී මම ඉදිරියට දෙතුන් දෙනෙක්ම මුණගැහුනත් ඒ කාටවත් මාව පෙනෙන ලෙසක් දැනුනේ නෑ. එකපාර ම මම අදිසි වෙලා තිබුණා. එක අතකින් ඒක හොඳයි. කාගෙන්වත් කරදරයක් නැතිව ඉන්න පුළුවන්. මම මගේ අලුත් බලයෙන් ප්‍රයෝජන ගන්නත් එක්ක මම හිතෙන හිතෙන තැන ඇවිදින්න ගත්තා. එක එක වාට්ටු වල, පෞද්ගලික කාමරවල, වෛද්‍යවරුන්ගේ කැබින් වල පවා මම නිදහසේ ඇවිද්දා. මාව නවත්තන්න කවුරුවත් හිටියේ නෑ. එක්වරම මට සිහිවුණා මා කළ යුතු ම දෙය. එකම තැන එකම විදිහට ඉඳල එපාවුණු නිසා ලැබුණු නිදහසෙන් ප්‍රයෝජන ගත්තට ඒ නිදහස නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. ඔව්; මම ගෙදර යන්න ඕනේ. මම රෝහලෙන් එලියට යන්න පටන් ගත්තා. කිහිප සැරයක් වටපිටත් පිටුපසත් බැලුවට මම යනවා කාටවත් පෙනුනේවත් දැනුනේ වත් නෑ. කිහිපවතාවක්ම පඩි නැගල බැහැල දකුණට වමට හැරිලා ඇවිත් මම පිටවීමේ දොර පෙනෙන මානයට ආවා.

"ඔහොම ඉන්න" කව්ද කතා කළා. මම හැරිලා බැලුවේ නැතුවම අඩි ඉක්මන් කළා.

"ඔහොම ඉන්න!" ඒ වතාව කලින්ට වඩා සද්දෙන් ඇහුනේ. මම දුවන්න උත්සහ කළා.

ඒත් අසාර්ථක යි. කව්ද කෙනෙක් මගේ අතින් අල්ල ගත්තා. බලාපොරොත්තු වුණාට වඩා ඒ ග්‍රහණය සුමට යි. මම ආපස්ස හැරුණා. හිටියේ තරුණ ගැහැණු කෙනෙක්. එයා ලස්සනයි. ඒත් තරමක් සුදුමලියි. තනි සුදු පාට දිග ගවුමකින් සැරසිලා හිටි ඇය රෝහලට ගැලපීමක් නැතිව කැපිල පෙනුණා. ඇය මම දිහා බලලා හිනා වුණා. පිවිතුරු මත් නොවන ව්‍යාජත් නොවන ඒ අතර ස්වභාවයේ හිනාවක්.

"ඔයාට මාව පේනවද?" කියන්න දෙයක්  හිතාගන්න බැරිතැන මම ඇහුවා. එයා කළේ ඔලුව වනපු එක විතර යි.

"ඔයා කවුද?" මට එහෙම අහන්න ලැබුනේ නෑ. "අපි යමු" එයා මගෙන් අතෙන් ඇදගෙන ආපහු රෝහල ඇතුලට යන්න ගත්තා. මට ආයේ යන්න කිසිම උවමනාවක් නොතිබුනත් මම හොරෙන් යන්න හැදුව කියල දැනගනීවි කියන බයෙන් මම මුකුත් කරන්න ගියේ නෑ.

අපි රෝහල ඇතුලටම ගමන් කළා. මම පසු කරගෙන ආ තැන නැවතත් හමුවුනේ සිනමා පටයක් ආපස්සට  ධාවනය කරනවා වගේ. මම හිටපු කාමරය ළඟට ඇවිත් අපි නතර වුණා. ඇය මා දිහා බලල ඇතුලට යන්න කියල අතින් සන් කළා. මම ඇතුලට අකමැත්තෙන් වුණත් ගියා. ඒත් මම හිටපු ඇඳේ කවුද හිටියා. ඒ හිටියේ කවුද කියල දකින්න ලැබුනම මට මොහොමතක් කාලය නතර වුණා වගේ දැනුනා. මුළු ලෝකයම නතර වෙලා මම මොනවද කරන්නේ කියල බලන් ඉන්නවා වගෙත්, මහා මේරු පර්වතය මගේ කරපිට තැබුවා වගෙත් ලෝක අන්තයෙන් පහලට වැටෙනවා වගෙත් හැඟීම් ගොන්නක් ඇති වුණේ ඒ එක්කම යි. මම නැවතත් ඒ රෝහල් ඇඳ මත හිටිය පුද්ගලයා දිහා හොඳින් බැලුවා. ඔව්, විශ්වාසයි ඒ මම ම යි.

මට කරන්න දෙයක් හිතාගන්න බැරිතැන මම පිටුපස බැලුවා. පුදුමෙකින් ඇය වගේ තාමත් හිටියා. මම බලාපොරොත්තු වුනේ ඇය නැතිවෙලා ඉන්න. මේ කවුරුහරි මට කරන ඇස් රතු වෙන විහිළුවක් වෙන්න තවමත් අවස්ථාව තිබුණා. නැත්තම් මම දකින නරකම නරක හීනයක් වෙන්නත් පුළුවන්. මම පුළුවන් තරම් තදින් මගේ කම්මුල කොනිත්තා ගත්තා. පුදුමයි; මම හීනෙකින් ඇහැරුනේ වත් කෙනිත්තුවට රිදුනේවත් නෑ.

"බය වෙන්න එපා" ඇය මගේ අතින් අල්ලාගෙන සන්සුන් හඬකින් කිව්වා.

"ඒත්... ඒත්? මේ..." මම අහන්න දෙයක් හිතාගන්න බැරිව ලතවුණා.

"මතක් කරලා බලන්න." මම ඔලුව වැනුවා. "ඔයාට පුළුවන්, මතක් කරන්න"

මම ඇස්දෙක පියාගෙන මතක් කරන්න ගත්තා. මොහොතක් දෙකක් යනකම් කිසිවක්ම වුණේ නෑ. මම වැඩේ අසාර්ථක වුණු තැන ඇස් අරින්න උත්සහ කරන කොටම මට මතක් වෙන්න ගත්තා. මීට පැය ගණනකට කලින්: මම මගේ බිරිඳ එක්ක රණ්ඩු වෙච්ච හැටි, ඇයව තල්ලු කරලා ගෙයින් එලියට ඇවිත් වාහනයට ගොඩවුණු හැටි, පුළුවන් උපරිමයෙන් කාර් එක එලවගෙන් ගිය හැටි, පාරේ යන අනික් වාහන ගැන අවධානය යොමු නොකරපු හැටිත් එක්වරම නොපෙනී ආ විසල් ලොරියක් වහනයේ බඳේ හැපිලා බරපතල තුවාල වුණු හැටිත් යන මතකයයත් මගේ ඉස්සරහ දැන් වෙනවා වගේ පෙනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සිහිය යන එන විදිහට රෝහලේ විදුලි එලිත් වෛද්‍යවරුන් සැත්කම් කරන හඬත් අපිළිවෙලට අපැහැදිලිව මතක් වෙන්න ගත්තා.

"මම... මම හැ-" මට කතා කරන්න අපහසු වුණා. ඇය තාමත් සුදුමැලි මුහුණින් යුතුව මා දිහා බලන් හිටියා. මම ඇඳේ ඉන්න 'මම' වෙත ඇඟිල්ල දිගුකළා. ඇය කළේ ඔලුව වනපු එක විතර යි.

"අපි යමු නේද? ඔයා ලැහැස්තිද?" මම මොකටද කොහෙටද කියල ඇහුවේ නෑ. ඇය ඒ ගැන නොකියත් මට ඒ ගැන යම් අදහසක් කොහෙන් හරි ඇවිත් තිබුණා.

මම නැවතත් නිදාගෙන වගේ ඉන්න මම දිහා බලන් හිටියා. අනතුර වුණ හැටි නැවත නැවතත් සිහියට ආවා. ඊළඟට ආවේ මගේ බිරිඳ ගැන මතකය. ඇය මේ ගැන දන්නවද, දන්නවනම් ආවේ නැත්තේ ඇයි, මගේ අම්මා තාත්තා? එතකොට යාළුවො? ප්‍රශ්න කෝටියයි තව එකකින් මගේ හිත බරවෙන්න ගත්තා. මගේ බිරිඳට කතා කරන්න ඇයගෙන් සමාව ඉල්ලන්න අවස්ථාවක් ලැබෙනවානම් කියන ප්‍රාර්ථනාවක් ආවේ ඒ මතකයන් එක්ක සැරිසරද්දි යි.

"අපි යමු නේද?" සුදු වත හැඳි කත ආයෙමත් ඇහුවා. මට කරන්න ඕනේ මොනවද කියල පැහැදිලි අදහසක් වත්  ඒ ගැන සිහියක් වත් නැතුව වටපිට බැලුවා.

"අත්තරින්න දරුවෝ, අත් ඇරලා දාන්න." ඇය දයාබර කට හඬකින් කිව්වා. මම ඔලුව වැනුවා.

ඇය මා ළඟට ඇවිත් මාව වැළඳ ගත්තේ අම්මෙක් දරුවාව තුරුළු කරගන්නවා වගේ. මම ඇස් දෙක පියා ගත්තේ අලුත උපන් සහනයකුත් එක්ක යි. ලෝකය ම කරමත වගේ දැනුන බර සැහැල්ලු වෙලා ගියා. හිතට වද දුන්න මගේ අනතුර ගැන මතකය කෙමෙන් අමතක වෙන්න පටන් ගත්තා. බිරිඳ ගැන, දෙමව්පියන් ගැන හිතවතුන් ගැන ඇති ඇල්ම බිඳිලා යද්දිනම් දුකක් දැනුනත් ඒ ගැන කම්පා වෙන්න වෙලාවක් නැතුව ගියා. මම මගෙන් වෙන්වෙලා සුදු කත සමග අවකාශය අතරින් යන්න ගත්තා. පාවෙන සැහැල්ලුවක්. සැහැල්ලු පාවීමක්. මම කොටස් දෙකකට කැඩිලා ගත හැරලා සිත ගමන් ගත්තා.

රෝහල් කාමරයෙන් හදගැස්ම පෙන්වන යන්ත්‍රයේ හදගැස්ම නැවතිලා "නීක් නීක්" හඬින් නලාව නාද වෙන්න පටන් ගත්තෙත් ඒ එක්කම යි.

ප.ලි. : මේ අග්නි ධාරාගේ "තමන්ගේ මරණය තුන්වැනියෙක් හැටියට අත්දකින අවස්ථාවක් ගැන ලියන්න" කියූ ඉල්ලීමට ප්‍රතිචාරය. අග්නි ධාරා කතාවට කැමති වෙයි කියල හිතනවා.

Thursday, April 11, 2013

ඊළඟට ලියන්නේ මොනවද?

මේක අර්ධ-ලිපියක්. ඒ මේක සම්පූර්ණ වෙන්නේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙද්දී නිසා. මා ලවා කතාවක් ලියවා ගන්න නැත්තම් මම එක් ආකාරයක, එක් වස්තු විෂයක කතාවක් ලියන තෙක් බලා ඉන්න අයට අවස්ථාවක් මේ. කරන්න තියෙන්නේ මම ලියනවට ඔබ කැමති දේ කියන එක යි.


උදාහරණයක් විදිහට ඔබට ඕනෑ කරන කතාව මෙහෙම කෙටියෙන් කියන්න.

  • සමරිසි වැම්පයර් කෙල්ලෙක් අපරාධකාරයන්ට දඬුවම් දෙන කතාවක්.
  • අල්ලපු ගෙදර වයසක ආච්චි පිට සක්වල ජීවියෙක් බව අඳුන ගන්න ළමයි දෙන්නෙක් ගැන කතාවක්.
  • සාතන් දවසක් උදේ නැගිටිද්දී තමන් කෙල්ලෙක් වෙලා කියල දැන ගත්තට පස්සේ ආයේ කොල්ලෙක් වෙන්න මොකද කරන්න ඕනේ කියල හොයන ස්වයං සංචාරයක්.
  • පොඩි කුමාරිහාමිගේ ක්ලෝනයක් කුමාරිහාමිව බලෙන් පැහැරගත්තට පස්සේ කුමාරිහාමි එතැනින් බේරිලා එන හැටි.
  • හිරණ්‍ය කියන්නේ මහා බොරුකාරයෙක් කියල ලෝකෙටම එළිවුණාට පස්සේ මිනිස්සුන්ට මුහුණදෙන්න බැරිවෙලා සියදිවි හානි කරගත්තට පස්සේ අවතාරයක් වෙන කතාවක්.

ඔය උඩින් මම ලියල තියන ඒවා ආකාරයේ වෙන්න ඕනේ නෑ, ඔබට කැමැති ඕනෙම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ කරන යෝජනාව වඩාත්ම නිර්මාණාත්මක වෙන තරමට, අභියෝගාත්මක වන තරමට මම කැමති යි. එහෙම ලැබුණු කතා සංකල්ප වලින් වඩාත් හොඳයි කියල හිතන යෝජනා තුනකට මම කතා ලියනවා. දැනට හිතන් ඉන්නේ එක් කොටසකින් කෙටිකතාව බැගින් ලියන්න වුණත් ඉදිරිපත් කරන අදහස කොටස් කිහිපයක් තෙක් දික් වෙන විදිහේ එකක් නම් එහෙම ලියන්නත් බැරි නැහැ.



Thursday, April 4, 2013

විසඳුම

ලැබුණු සාක්ෂි සලකා බැලීම් පසුව නැවත ගොඩනගන ලද සිදුවීම.

"චානක ඊළඟට ලියන්න ඉන්න කතාව මොනවගේද?" රශ්මි චනකගෙන් ඇහුවා.

"කතා ගොඩක් හිතේ තියෙනවා. හැබැයි එකක්වත් හිතට හරියන්නේ නෑ."

"හිතේ තියන එක කතාවක් කියන්න, මම පුලුවන්නම් උදව් කරන්නම්."

චානක කෝපි කෝප්පේ අතට අරන් එහෙට මෙහෙට හැරෙව්වා. ඊළඟට පිම්බා. කෝපි රස්නේ නැති වුණත් බොන්න කලින් පිඹින පුරුද්දක් චානකට තිබුණා. රශ්මි සිය දීප්තිමක් ඇස් දෙක හීනි කරමින් බලාසිටියේ චානක උත්තර දෙනකම්. මීට කලින් චානක ඔහොම ප්‍රශ්න වලට උත්තර දෙන්න හොරයි. රශ්මි බලකරලා උත්තර ගන්න නොගියත් හිතේ තියන කුතුහලය රශ්මිව චානකගේ ප්‍රතිචාරයක් ලැබෙනකම් සාගින්නෙන් යුතුව බලාගෙන හිටියා. රශ්මි චානකට කෙලින්ම කිව්වේ නැති වුණාට රශ්මි චානක ලියපු හැම කතාවක්ම අකුරක් නෑර කියවලයි තිබුණේ. පළවෙනි කතාව කියවද්දී රශ්මි තමන්ටම හිනාවුණා බොළඳ රහස් පරීක්ෂක කතා කියවනවට. දෙවැනි පොත කියවද්දී රශ්මිට තමන් ගැනම තරහයි. තුන්වෙනි හතරවෙනි පොත වෙද්දී අමාරුවෙන් වුනත් රශ්මිට පිළිගන්න වුණා චානකගේ ලිවීමට ඇය ඇබ්බැහි වෙලා ඉන්න බව.

"මේක ටිකක්- නෑ ගොඩක්- පිස්සු අදහසක්. ඔයා ඒක ගැන මොනවා හිතයිද දන්නේ නෑ." චානක තෙපර බෑවා. "මගේ හිතේ අදහසක් තියනවා මැදි වයස පහුකරන ගෑනියෙක් මිනීමරන කතාවක් ලියන්න. කොටින්ම කිව්වොත් මට ඒ අදහස ආවේ මිසිස් මුණසිංහ අනුව."

රශ්මි ඔලුව වැනුවේ කියන් යන්න කියන්න.

"ඒත් ප්‍රශ්නේ මේකයි, ඒකට ප්‍රබල හේතුවක් මට හිතාගන්න බෑ. හැබෑ ජීවිතේදී ඕනෙම මිනිමරුවෙක්ට පිළිගන්න පුළුවන් හේතුවක් තියෙන්න ඕනේ නෑ මිනීමරන්න, ඒත් කතාවකදී එහෙම බෑ. මිනිස්සුන්ට ඒක දැනෙන්න ඕනේ."

"ඉතින් මිසිස් මුණසිංහව මානසික ලෙඩෙක්ව කරන්න. සිරියල් කිලර් කෙනෙක්."

"මම ඕක ගැන හිතුවා, ඒත් මම මේ දවස්වල පත්තරේට ලියන කතාවකත් මිනීමරුවා මානසික ලෙඩෙක්. ඉතින් එක විදිහේ කතා මම ආයේ ලියන්න කැමති නෑ." චානක ආයෙත් කොපි කෝප්පේ අතට ගත්තා. කෝපි බීලා ඉවර වුණත් කෝප්පේ ආයෙත් තොල ගෑවා. එක පාරටම චානක රශ්මි දිහා බැලුවේ බලාපොරොත්තුවේ සේයාවක් තමන්ගේ ඇස්වල රඳවා ගනිමින්. "ඔයාට කරන්න පුළුවන් උදව්වක් තියනවා. මට දැනගන්න ඕනේ මිසිස් රණසිංහ මිනිමරුවෙක් වෙනවා නම් ඒ ඇයි කියන හේතුව."

"අයියෝ ඕක අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. උත්තරේ තමන්ගේ පුතා. මිසිස් මුණසිංහ එයාගේ පුතාට හරි ආදරෙයි, සමහර වෙලාවට ඒක පිස්සුවක්. එයාට ඕනේ එයාගේ පුතාව රූකඩයක් වගේ තමන්ට ඕනේ විදිහට නටවන්න. පුතා දැන් ඉන්නේ රට, මෙයාගේ වදේට කියන්නෙත් නැතුවයි ගිහින් ඉන්නේ. කතා කරන්නෙත් අවාරෙට පොල් වැටෙනවා වගේ. ඒ වුණාට කියන්නේ නම් එයත් යන්න ඉන්නේ කියල. අර වයසක මනුස්සයටත් හරියකට සලකන්නේ නෑ, එයාට ඕනේ හැමෝවම පාලනය කරගෙන ඉන්න. වෙලාවකට මහා ඇණයක්. මගෙත් වැඩවලට ඇඟිලි ගහනවනේ." රශ්මි කියාගෙන යද්දී තමන්ගේ හිතේ මිසිස් මිනසිංහගේ වැඩ ගැන තිබුණ තරහත් පිටවුණේ නොදැනුවත්වම. අනුන්ගේ වැඩවලට ඕනෙවට වඩා ඇඟිලි ගහනවට, ඉවරයක් නැති ඕපාදුප හෙවිල්ලට, මිනිස්සුන්ව අල්ලේ නටවන්න හදනවට රශ්මි කේන්තියෙන් හිටියේ.

"ඉතින් මම දැන් මොනවද කරන්න ඕනේ?" රශ්මි චානක ගෙන් එහෙම ඇහුවහම චානකගේ ඇස් දිලිසුණා.

"මම කියන්න ඕනේ නෑනේ. ඔයාටම ඕක කරන්න පුළුවන්."

* * * * *

හිතපු වෙලවටම වගීෂ ආවේ කාර් එකේ. අලුත්වැඩියා කරන්න දීල තිබුණු වාහනේ හදන්නත් කලින්  අරන් එන්න විදිහට පෙළෙඹවීමක් කරන්න රශ්මිට පුළුවන් වුණා. රශ්මිගේ අතාර්කික තුරුම්පුව වුණේ වගීෂගේ ඇය ගැන තිබුණු කැමැත්ත. අනෙක් අයගේ අවධානයට ලක්වෙන්න, ආදරය ලබන්න කවුද අකමැති. වගීෂගේ විශේෂ සැලකීම් වලින් රශ්මි සතුටටත් ආඩම්බරයටත් පත්වුණා. වගීෂ පිස්සුවෙන් වගේ රශ්මි පස්සේ වැටිලා ඉන්න කොට කාර්යාල මිතුරියක් කිව්වේ, "පව් බං. ඌ මෝඩය වගේ උඹේ පස්සෙන් එන්නේ ආදරේටනේ, ඒකෙන් ප්‍රයෝජන ගන්න එපා" කියලා. රශ්මි එවෙලාවේ මහා හයියෙන් හිනා වුණාට තමන්ට ලැබිලා තිබුණු අවස්ථාව ගැන ඇය උද්දාමයට පත්වුණා.

"මොකද්ද ඕනේ කිව්ව උදව්ව, හදිස්සියක්ද? කරදරයක්ද?" වගීෂ කර එකෙන් බැහැල ඇවිත් ගේ ඉස්සරහින් හිටගෙන ඇහුවේ කලබලෙන්.

"නෑ නෑ, එහෙම මුකුත් නෑ. ගේ ඇතුලට එන්නකෝ මම කියන්න."

වගීෂ පුටුවෙන් වාඩිවුණේ නුහුරු විදිහට. කලින් තිබුණු කලබල ස්වභාවය සම්පූර්ණයෙන්ම නැතත් තරමක් හිඳිලා තිබුණා. රශ්මි වාඩිවුණේ ඒ පුටු ඇන්දේ වගීෂගේ ඇඟේ හැපෙන විදිහට. රශ්මි ටික වෙලාවකට කලින්  ඉහ ගත්ත සුවඳ විලවුන් වල ලා සිට්‍රික් ඝන්ධය වගීෂගේ නාසයේ ඇතිල්ලිලා පපුව ඇතුලටම කිඳා බැස්සා. රශ්මි වගීෂ දිහා බලලා යන්තම් හිනාවුණා.

"මේක මේ යාලුවෙක්ට කරන විහිළුවක්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චර යි. මේ නම්බර් එකට කතා කරන්න, කවුරු ආන්සර් කළත් කමක් නෑ, එයාට කියන්න ඔයා රුවන් මුණසිංහගේ යාලුවෙක් කියල. ඊට පස්සේ වැඩේ ලේසියි. මේ කොලේ බලාගෙන ඉතිරි ටික කියන්නයි තියෙන්නේ. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න එපා. ඔයා ඔය ටික කිව්වම ඇති."

වගීෂ රශ්මි දුන්න කොලේ කියවන්න පටන් ගත්තා,

විශේෂ පණිවිඩයක් තියනව කියන්න, ඔයාට කරන්න තියෙන්නේ ප්‍රශ්න අහන්නේ නැතුව මම කියනදේ හොඳට අහගෙන ඉන්න. තමුන්ගේ පුතා රුවන් මුණසිංහ ඉන්නේ රට නෙවෙයි ලංකාවේ ම යි. තමුන්ගේ වදේට බොරු කියල පැනල ගිහින්. දැන් ඉන්නෙත් බැඳපු තමුන්ගේ ලේලිත් එක්ක නෙවෙයි, මතක් කරලා බලනවා අන්තිමට ලේලි කතා කළේ කවද්ද කියල, දැන් තමුන්ගේ මහා ලොකු පුතා ඉන්නේ ළමයි දෙන්නෙක් එක්ක අනාත වෙච්ච නාකි ගෑනියෙක් එක්ක. මෙච්චර කල් තමුන්ට කරලා තියෙන්නේ ලොකු බොරුවක්. බයවෙන්න එපා මම මේවා කාටවත් එලි කරන්නේ නෑ. ඒත් මට උදව්වක් ඕනේ. මේ කෝල් එක ඉවර උනාට පස්සේ පුතාට කතා කරලා කියන්න ඕනේ තමුන් ඔක්කොම රහස් දන්නවා කියල. සරලයි, එච්චරයි, සුබ රාත්‍රියක්.

"මේ විහිලුවක්ද? නැත්තම් තර්ජනයක්ද?" වගීෂ ඇහුවේ සැකයෙන්. වාඩිවෙලා හිටපු පුටුවෙන් ඔහු නොදැනීම නැගිට්ටවිල තිබුණා.

රශ්මි වගීෂ ගේ කම්මුල සියුම්ව අතගෑවා. වගීෂට ඇස් පියවුණේ ඉබේටම. තප්පර කිහිපයක් රශ්මිගේ සියුමැලි පහස විඳමින් ඔහු සිහින ලෝකයක පාවුණා. නැවත ඇස් අරිද්දීත් රශ්මි වගීෂ දිහා බලාගෙන හිටියේ. රශ්මිගේ බැල්ම වගීෂව පසාරු කරගෙන ගියා. වගීෂ වීදුරුවක් වෙලා රශ්මිගේ තියුණු නෙත් තුලින් ආලෝක කිරණ ගමන් කළේ වර්තනයක් වෙන්නේ නැතුව ම යි. රශ්මි ඔලුව වැනුවේ තමන් එක කළ යුතු ම බව පවසන්න. අවසානයේ වගීෂත් එය අනුමත කරන්න ඔලුව වනමින් හිටියා.

"හරි එහෙනම් ඔයා කෝල් එක දෙන්න. මම ටක් ගලා මිසිස් මුණසිංහ බලල එන්නම්." රශ්මි පහත් හඬින් කිව්වා. "ආ තවත් එකක්, ඔයාට කූල් ඩ්‍රින්ක් එකක් ඇති ඒකත් බොන්න."

* * * * *

රශ්මි ගෙයින් එළියට බහිද්දී හඳ එළිය පරිසරය නහවල ලා නිල් පාට ආලෝකයකින් බාහිර ලෝකය වර්ණ ගන්වලා තිබුණා. රශ්මි සඳ පහස වින්ද ගනිමින් වටපිට බැලුවා. චානකගේ ගෙදර කළුවරේ තනිවෙලා, මිසිස් මුණසිංහගේ ගෙදර ඇතුලින් එක තනි එළියක් විතරක් දිස්වුණා. වගීෂ කතා කරලා මිසිස් මුණසිංහ ට විස්තරේ කියද්දී ඇය පුදුමයටත් කලබලයටත් පත්වෙන හැටි සිහිවෙලා රශ්මිට හිනා ආවා. එතන වරදකාරී හැංගීමක් නැහැ. වගීෂ දැන් කියන ඒවා බොරුමත් නෙවෙයි නේ, සුළු සංස්කරණ ටිකක් සහිත ඇත්තනේ. ඒ පාර රශ්මිට සිනහ පහල වුණේ තමන් ගැන ම යි. ඇය චානක අතින් ලියවෙන්න පුළුවන් විදිහේ කතාවක චරිතයක් වෙලා හිටියා.

නැවත ගෙට ඇතුළු වෙද්දී වගීෂ හිටියේ සෝපාවේ සිහිසුන්ව. සිසිල් පැන් තිබුණු වීදුරුව හිස් වෙලා වගීෂ ගේ පසකින් බිම වැටිලා තිබුණා. රශ්මිගේ සිසිල් පානය නියම ලෙසම වැඩකරලා. වගීෂව නැවත වාහනේට දාන එක හිතුව තරම් අමාරු වුණේ නැහැ. වගීෂ රශ්මිගේ උපකල්පිත බරට වඩා අඩු නිසා කරදරයක් නැතිවම වාහනේ ළඟට ගෙනියන්න ඇයට හැකිවුණා. හඳ එළියෙන් පමණක් ඔප වැටුණු පරිසරයේ රශ්මි කුමක් කරනවද බලන්න හැකියාව ඇත්තෙක් ඒ අසල හිටියේ නෑ. පසුපස ආසනයට වගීෂව වත්තම් කරගත් ඇය කාර් එක පණ නොගන්වා රියදුරු අසුනේ හිඳ බලා හිටියේ පාරේ වාහනයක් යනකම්.

රශ්මිට පුළුවන් වුණා, කරදරයක් නොවෙන්න වගීෂ ව නැවත ඔහුගේ ගෙදර ගිහින් ඇරලවන්න. සිසිල් පැන් වලට එක්කල බෙහෙත නිවැරදි නම් ඔහුට මේ කිසිවක් වූ බවට ඇති මතකය නැතිවෙන්න ඕනේ. රශ්මි වගීෂ ගේ වාහනය පදවාගෙන ඇවිත් නතර කළේ චානකගේ ගෙදර. කලින් සුදානම් කරගත්ත විදිහට ගේට්ටුවට යතුරක් ඇය සතුව තිබුණා. රශ්මි කාර් එකෙන් බැහැල අඩි ගණන් කළේ මිසිස් මුණසිංහගේ ගේ දෙසට. ගේ තුලින් විශ්‍රාමක විදුහල්පතිනියගේ තනිවම කරන වාග් හරඹ අසමින්ම (ඇත්තෙන්ම මුණසිංහ බිරිඳ පුතාගේ තතු දැන ගැනීමෙන් ලොකු කම්පනයකට පත්වෙලා තිබුණා. පුතාට කතා කරලා ඇත්ත නැත්ත ඇහුවහම පුතා වරද පිළිගත්ත එකනේ වැඩේ!) ඇය වගීෂට දුන් බෙහෙතේ ඉතිරිය තම අතට ගත්තා. වැඩි මාත්‍රාවක් ගැනීම මරණීය වෙන එය සම්පුර්ණයෙන්ම කටේ හලාගත් රශ්මි මුණසිංහ ගෙදර මල්පොච්චියකට හිස් බෙහෙත් කුප්පිය විසි කළා.

හිස බමද්දී, ගුරුත්වාකර්ෂණය පිස්සු නටද්දී, හඳ එළිය ගස්වල රටා මවද්දී රශ්මි නැවතත් චානකගේ ගෙදර මිදුලේ නතර කළ වගීෂ ගේ වාහනය වෙත පැමිණියා. බෙහෙත ඉතා ඉක්මනින් ක්‍රියා කරවමින් රශ්මිව අක්‍රීය කළා. ඇයට දැනුනේ කාලය ගතවෙන්නේ වෙනදට වඩා සීයකින් එකක වේගෙකින් කියල. රශ්මිට කාර් එකේ දොර වහගන්න අපහසු වුණා. අතේ ඇඟිලිවත් ඇස්වල දෘෂ්ටියවත් නියමිත පරිදි වැඩකළේ නැතුව රශ්මිව අඩාල කළා. ප්‍රකාශ කරගන්න අමාරු වේදනාවකින් මුළු සිරුරම ගැහෙද්දි, හදවත අපහසුවෙන් ලැබ-ඩබ් ශබ්ද නගද්දී, වමනේ යන්න ලොකු උවමනාවකින් බඩ පෙරලෙද්දී රශ්මි මේ කිසිවක් ගැනම නොසිතන්න ගත් උත්සහයකින් ඇය ඇස් පියාගත්තා.

චානකට උවමනා වුණාටත් වඩා සාර්ථක කතාවකට සාධක සපයන්න රශ්මිට පුළුවන් වීම ගැන ඇය සියුම් තෘප්තියකින් සැනසුණා.

අවසානයි.

Thursday, March 28, 2013

සාක්ෂි III

ශ්‍රීමා මුණසිංහ (රශ්මි සිටි කුලී නිවස හිමි විශ්‍රාමලත් විදුහල්පතිනිය) ගේ සාක්ෂිය

මම අවුරුදු 30 කටත් වඩා හිටියේ වැඩකළේ ළමයිත් එක්කයි ළමයින්ගේ අම්මල තාත්තලා එක්කයි හින්ද කෙනෙක් කොහොමද කියන්න වචනයක් කතා කළාම ඇති. ඒ හින්ද රශ්මි ළමයා පත්තරේ පළවුණු දැන්වීම බලාගෙන මාව හම්බවෙන්න ආපු වෙලාවේම මට රශ්මි කොහොමද කියන්න පුළුවන් වුණා. රශ්මි හොඳ තැම්පත් නිවිච්ච දරුවෙක්, දැන් කාලේ හැදෙන අනිත් උන් වගේ නෙමේ අනිත් අයට හොඳට ගෞරව කරලා කතාකරන්න දන්නවා. රශ්මි වැඩිහිටියන්ට කන්දෙන හොඳ කීකරු දරුවෙක් කියල මට දැන ගන්න වැඩිකල් ගියේ නෑ. රශ්මි එහෙමයි, අම්මෙකුට තාත්තෙකුට ආඩම්බරෙන් කතාකරන්න පුළුවන් දුවක්.

අපේ පුතා බැන්දට පස්සේ රට ගිය හින්ද පුතාට අපේ වත්තේම වෙනම හදපු ගේ නිකම්ම වහල දාන්න වුණා. අපි හිතුවේ පුතා ඒ ගෙදර පදිංචි වෙයි කියල ඒ වුණත් දුවට හොඳ රස්සාවක් ලැබුන නිසා ඒවා දාල රට යන්න ගියා. දැන් ඉන්නේ ඔයින් දහ ගුණයකටත් වඩා හොඳ තැනක. මම පින්තුරත් දැක්කනේ. හැබෑ ලස්සනයි. ටික කාලෙකින් මාවත් පුතාල ළඟට ගෙන්න ගන්නවා කියලයි තියෙන්නේ. අපි සතුටු වෙන්න ඕනේ පුතාලගේ වාසනාවට; අපේ මනුස්සයා පුතා නැති එක ගැන කුණු කුණු ගාද්දී මම මතක්කරල දෙන්නේ එහෙමයි. ඉතින් පාලුවට ගිය ගෙට මොකද කරන්නේ කියල මම පුතා කතාකරද්දී ඇහුවම පුතා කිව්වේ කුලියට දෙන්න කියල. ඒත් ඉතින් එහෙම ආවට ගියාට ගෙවල් කුලියට දෙන සිරිතක් නෑනේ. දැන් කාලේ මිනිස්සුන්ව විශ්වාස කරන්න පුළුවන් කාටද. මේ නාකි මනුස්සයවයි මාවයි රෑට මරල දාන්නත් බැරි නෑනේ. පහුගිය කාලේ අපේ ලේන් එකේ ගෙවල් දෙක තුනකටම හොරු පැන්නනේ. දැන් ඔච්චර යහ ගුණේට හිටි රශ්මි ළමයාට වෙච්ච වැඩේම බලන්නකෝ ඉතින්. මම හොඳට හිතල බලලා පත්තරේ දැන්වීම දැම්මා. පවුල් ගෙන්න ගත්තම කරදරයිනේ. අපිට කණක් ඇහිලාවත් ඉන්න තියෙන්න එපායැ. කුලියට දෙන්න හොඳම හොඳ හැදිච්ච තරුණ ගෑණු ළමයෙක්ට. දැන්වීමේ ඒවා පිළිවෙලට ලිව්වා. රශ්මි ළමයා මෙහෙ ආවහම මම හිතුවේ ගැලපෙනම ළමයා එයා කියල.

රශ්මි ළමයාට බොහොම කාර්යබහුල රස්සාවක් තිබුණට මොකද ඉඳහිට මට කතා කරලා අපේ මනුස්සයාගේ ලෙඩ දුක් බලලයි යන්නේ. ඔය ඔක්කොමත් හින්ද මම රශ්මි ළමයට සැලකුවේ මගේම දුවෙක් හැටියට. පරක්කුවෙද්දී හොයල බලන්න, ගෙදෙට්ට යන එන අය කවුද කියල බලන්න, කතාකරන්නේ කාත් එක්කද බලන්න, රස්සාවේ හොඳ නරක අහන්න මම පුරුදු වුණා. ඒවා කරදරයක් හැටියට නෙමේ යුතුකමක් හැටියටයි සැලකුවේ. තනියෙන් ඉන්න ගෑණු ළමයනේ; හොයල බලන්න එපා යැ. කිව්වට මොකද කල වයසත් හරි නිසා මම දෙතුන් පලකින්ම මගුල් තුලා බැලුවත් එක්ක. අනේ ඉතින් ඒ කටයුතු කෙරෙන්නේ නෑනේ.

ඔන්න ඉතින් එදා, රශ්මිව වාහනේ ඇතුලේ මැරිලා ඉඳල හොයාගන්න කලින් දවසේ රෑ මම අපේ ගෙදර ඉස්සරහට වෙලා අපේ මනුස්සයත් එක්ක පුතාගේ පොඩි කාලේ විස්තර කතා කර කරයි හිටියේ. සමහර දාට අපි එහෙම තමයි, කාල එහෙම ඉවර වෙලා රස්නේටත් එක්ක ටිකක් ඉස්තෝප්පුවට වෙලා ඉන්නවා. හුළඟත් නියම ගානට. මිදුලේ ගස් වලින් හින්ද සීතලකුත් එනවනේ. රශ්මි ගෙදර හිටියේ නෑ මම හිතන්නේ, ඒ වුණත් ගෙදරින් එළියක් පෙනුණා. සමහර දාට ඒ ළමයා වැඩට යද්දී ලයිට් නිවන්න අමතක කරනවා. ඉස්තෝප්පුවෙන් වම් පැත්තට වෙන්න තමයි පුතාට හදපු ගේ තිබුනේ. අපි හිටපු තැනට හොඳටම නැතත් ගොඩක් දුරට පැහැදිලිව පෙනුණා ඒ ගෙදර ඉස්සරහ. ඉතින් ටික වෙලාවකින් ඒ ගෙදර මිදුලට වාහනයක් ආවා (ඒ ගෙදරට වෙනවම පාරට යන්න එන්න පුළුවන් විදහටයි හදල තියෙන්නේ), කාර් එකක් මම හිතන්නේ. රශ්මි තව කාත් එක්කහරි මොනවද කතා කරනවත් ඇහුණා, කතා කළේ හිමින්, කතාව ටික වෙලාවක් ඇදුනා. අපු කෙනා ආයේ වාහනේට නැගල ටිකකින් ආපු වාහනේ යන්න ගියා. ඒක සක කරන්න තරම් දෙයක් නොවුනත් රශ්මි යන්නේ එන්නේ කාත් එක්කද බලන එක අපේ වගකීමක් නේ. මම මොකද කියල බලන්න යන්නත් හැදුව කොහෙද මේ අපේ මනුස්සයා කෑගහන්න ගත්තනේ යන්න ඕනේ නෑ කියල. ඊට පස්සේ විශේෂ මුකුත් වුණේ නෑ. ටිකකින් ගේ ඉස්සරහ ලයිට් එහෙමත් නිවුණා. ඊට පහුවෙනිදා තමා ඉතින් ඕං ආරංචිය ආවේ රශ්මිව මරල දාල කියල. දෙයියනේ මම බය වුණු තරමක්. මම පොලිසියට දෙතුම් පාරක් කතා කළත් එක්ක. මම පුතාටත් කෝල් කරලා කිව්වා.

මටනම් සැක අර පොත් ලියන මිනිහා. ඒ මිනිහ ලියන්නෙත් ඔය අපරාධ ගැනලු නේ. මම නම් ලියපු එව්වා කියවල නෑ, ඔය බාල බොලඳ පත්තර වල යන කුණුහරප කියවන්න ඕනෙත් නෑ, අහපු කතා තමයි. කව්ද දන්නේ හැමදාම ලියන එව්වා ඇත්තටම කරලා බලන්න ඕනේ වුණාද කියල. ඔය වගේම කතා ලියල ලියලම මොලේ විකාර වෙලා ඇති. මට මතකයි දෙතුන් පාරක්ම ඒ මිනිහ රශ්මි දුවව කතාවට අල්ල ගන්න හදනවා. රශ්මිත් ඉතින් හරි නිරහංකාර ළමයා හින්ද කාත් එක්කත් කතා කරනවා. මම පස්සේ රශ්මිට කියල දුන්න සමහර වෙලාවට ගෑණු ළමයෙක් ආඩම්බර වෙන්නත් ඕනේ කියල.

මීට මාස කීපයකට කලින් මට ඔය මහා ලොකු ලේඛකයාව හම්බ වුණා. අපේ ලේන් එකේ තරුණ ළමයි එකතුවෙලා ශ්‍රමදානයක් කළානේ. ඔය මිනිහත් ඇවිත් හිටියා. කරපු වැඩක් නම් නෑ, හැමෝවම කතාවට අල්ලාගෙන හැමෝගෙම වැඩට බාධා කළා මිසක්. මම ඉතින් ගියා මිනිහ ළඟට, මොකද්ද මේච්චර විශේෂ කියල බලන්න.

"ආ මිසිස් මුණසිංහ, කොහොමද?" මිනිහා හිනා වුණා. කපටි හිනාවක්.

"ළමයෝ, හරියට වැඩ නේද? මම හිතුවේ මේ ළමයාගේ  කතා පත්තර වල යන තරමට ගෙදරින් හෙල්ලෙනවත් වෙලාවක් නැතුව ඇති කියල."

"මේවාට නෑවිත් කොහොමද?" මිනිහ ආයෙත් බොරුවට දත් පෙන්නුවා. "ඒක නෙමෙයි. මම මේ දවස් වල ලියාගෙන යන කතාවේ මිසිස් මුණසිංහ වගේම කෙනෙක් ඉන්නවා. කතාව ලියන යද්දී මට මිසිස් මුණසිංහව ම යි මතක් වුණේ. කාටවත් කියන්නේ නැත්තම් රහසක් කියන්නම්," මිනිහා කටේ සද්දේ අඩු කළා. "මිසිස් මුණසිංහ තමයි ඒකෙ මිනීමරුවා. පත්තරේ ආවම කියවන්නකෝ." මිනිහ කතාව නැවත්තුවේ මට ඇහැකුත් ගහල.

මාව පිච්චිලා ගියා. ඇයි දෙයියනේ මේ මට අහන්න පුළුවන් කතාද, මම වගේ කෙනෙක්ට කියන දේවල්ද. ඔය කෙහෙල්මල් කතාව පිට වුණාම මිනිස්සු මොනවා නොහිතයිද. මගේ කේන්තිය පිට කරන්න විදිහක් තිබ්බේ නැතුව මම එවෙලේ ගල් ගැහුණා. ගෙදර ආව ගමන් මම කලේ අපේ ප්‍රොක්ට මල්ලිට කතා කරලා විස්තරේ කිව්ව එක. ඒ මල්ලි කිව්වේ දැනට කලබල නොවී ඉඳල ප්‍රශ්නයක් වුණොත් විතරක් අර මිනිහට විරුද්ධව ඇක්ෂන් එකක් ගමු කියල. චරිත ඝාතනය වෙනුවෙන් ලොකු වන්දියක් ගන්නත් පුළුවන් වේවිනෙ. එයින් පස්සේ මම ඒ මිනිහ ඉන්න දිහාවත් බැලුවේ නෑ. ඉතින් ඒ මිනිහාව සැක කරන එක සාධාරණ නැද්ද කියන්නකෝ.

අන්තිමට රශ්මි ළමයා නැති වුණා. මේ අකල් මරණේ නොදකින්න ඒ ළමයාගේ දෙමව්පියෝ නොහිටිය එකම හොඳ යි. මට දුක කියල ඉවර කරන්න බැහැ. ඒත් ඉතින් අපියි කියලත් මොනවා කරන්නද. ජීවත විනාස වෙනහැටි තමයි ඉතින්. මම මේ විස්තර මොකුත් අපේ එක්කනාට කිව්වේ නෑ. ලෙඩ මනුස්සයනේ, හදවත දුර්වලයි. මම කිව්වේ රශ්මි වැඩ වගයකට රට ගිහින් කියල. ඒ පාර එයා අහනවා පුතා ඉන්න රටටද කියල. මම කටට ආපු රටක නමක් කියාල බේරුණා. පව් ඉතින්; මම ඕවා නොකියන්නේ එයාගෙම හොඳට නේ. මීට පස්සෙනම් කවුරු මොනවා කොච්චර කිව්වත් මම නම් ආයේ කීයටවත් ගෙවල් කුලියට නම් දෙන්නේ නෑ.

සාක්ෂි තුනම අවසානයි. විසඳුම ඉදිරියට ඉතිරිව ඇත.

Tuesday, March 26, 2013

සාක්ෂි II

වගීෂ ගුණතිලක (රශ්මිගේ වෘත්තීය සහයක) ගේ සාක්ෂිය.

රශ්මිව විස්තර කරන්න ගොඩක් ආකාර තියනවා. දක්ෂයි කියල විශේෂණයක් ඉස්සරහට රශ්මිගේ නම ඉස්සරහින් එනවනම් වඩාත් නිවැරදියි. අපේ කම්පනි එකට රශ්මි ඇවිත් වැඩි කල් නෑ. අවුරුදු දෙකකටත් අඩුයි මට මතක විදිහට. මුලින්ම ආවේ අකවුන්ටන්ට් කෙනෙක් විදිහටම වුණත් ඉක්මනටම රශ්මිට ඩිවිෂන් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් වුණා. අපේ ආයතනයේ ප්‍රොජෙක්ට් කිහිපයකටම රශ්මි කැපවීමෙන් වැඩ කළා. රශ්මිට හොඳ ඉවසීමකුත්, පිලිවලකුත් තිබුණ නිසා එයත් එක්ක වැඩ කරන එක අනිත් අයටත් පහසුයි. දක්ෂ රශ්මි; එයාව එහෙම හඳුන්වනවාට එයා කැමති යි.

එක ව්‍යාපෘතියක මට බාර වෙලා තිබුනේ ඇඩ්වටයිසින් පැත්ත. රශ්මිට ඒ ගැන ඇකඩමික් දැනුමක් නැතිවුණත් මාත් එක්ක එකතුවෙලා වැඩ කරන්න පුළුවන් වුණා. ඇත්තම කිව්වොත් රශ්මිගේ ටෙක්නික්ස් නියමයි. මිනිස්සු නොදැනීම අපේ ප්‍රඩක්ට් එකට නම්මගන්න ඒවාට ලේසියෙන්ම පුළුවන්. රශ්මිට ඉන්ඩස්ට්‍රී එක ගැන හොඳ අලුත් වෙන දැනුමක් තිබුණා. ඒවගේම එයා හැම දෙයක් ගැනම ටච් එකෙන් හිටියේ. අපේ තරඟකාරයෝ ගැන, අපිට තර්ජනයක් වෙන්න පුළුවන් අලුත් ආයතන ගැන එයාට අනාවැකි කියන්න පුළුවන් වුණා. ඉව; ඔව් රශ්මිට හොඳ ඉවක් තිබුණා. අපේ කම්පනි එක එයාගේ ඉවෙන් උපරිම ප්‍රයෝජන නොගත්තත් රශ්මි හින්ද වුණ වාසි නම් ගොඩයි.

ඔය වගේ දේවල් හින්ද තමයි මට රශ්මි ගැන කැමැත්තක් ඇති වුණේ. වෘත්තීය සම්බන්ධයකට වැඩි විශේෂ පෞද්ගලික බැඳීමක් ඇති කරගන්න මම කැමැත්තෙන් හිටියා. මම ඒ බව එයාට අඟවද්දී එයා අකමැත්තක් පෙන්නුවේ නෑ. විශේෂයෙන් කැමැත්තක් පෙන්නේවෙත් නෑ. අපි දෙන්නා එක එක තැන්වලට ගියා කෑම කන්න එහෙම. ෆිල්ම් බලන්නත් බීච් එකටත් දෙතුන් පාරක් ගියා මතක යි. ඒ වගේ යාලුවෝ එකතු වුණහම පොඩි පොඩි දේවල්. එච්චරයි, වෘත්තියමය යාලුවෝ; ඒ වගේ නමක් අපේ සම්බන්ධය හඳුන්වන්න යොදාගන්න පුළුවන්.

"මම ඔයාට කැමති යි." දවසක් මම රශ්මිට කෙලින්ම කිව්වා. "නිකම්ම කැමැත්තක් නෙමෙයි, විශේෂ කැමැත්තක්."

රශ්මි යන්තම් හිනා වුණා. ඒ හිනාව එයත් මට කැමතියි කියන හිනාවක් නෙමෙයි. 'මම දන්නවා, මට අකමැති කෙනෙක් නෑ' කියන හිනාවක්.

"ඇත්තටම, මම කැමතියි අපි අතරේ විශේෂ සම්බන්ධයක් ඇති වෙනවා නම්." මම ආයේ උත්සහ කළා.

"ඉතින් ළමයෝ අපි අතරේ තියන සම්බන්දේ විශේෂයි තමයි. ඔයා හිතන්න කෙල්ලෝ කීදෙනෙක් ඔයත් එක්ක මේ විදිහට කිසිම හැංගිච්ච බලාපොරොත්තුවක් නැතිව තැන් තැන් වල රස්තියාදු වෙන්න එයි ද?" රශ්මි එහෙම කියල ඇස් පුංචි කරලා හිනාවුණේ එයා කියපු දේ මම දැනටත් දැනන් ඉන්න ඕනේ දෙයක් වගේ.

මම මුකුත් උත්තරයක් දෙන්න ගියේ නෑ.

රශ්මි මම ගැන දැක්වුවේ බොහොම ඇල්මැරුණු උදාසීන ආකල්පයක් හින්ද මම මගේ තිබුණ අදහස අත්හැර ගත්තා. මම හිතන්නේ රශ්මිට ලොකු හීන තිබුණ. ඕනෙනම් එයාට අපේ වගේ කම්පනි එකක් තනියම පටන් අරන් සාර්ථක විදිහට කරන්යන්න පුළුවන් කම තිබුණා. රශ්මි ඒක දැනගෙනත් හිටියා. මම වගේ අවධානමක් ගන්න අකැමති කෙනෙක් එක්ක එකතුවෙන එක එයාගේ ගමනට බාධාවක් හැටියට එයා හිතන්න ඇති. එයා ගැන තිබුණ අදහස නැති කරගත්තේ කිසිම තරහකින් නෙමෙයි. ඔව්, මම පිලිගන්නවා ඒක ලේසි වැඩක් නෙමෙ යි. එවුණත් නොවෙන දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැති වැඩක්. ඒ හින්ද මට පොරොන්දු වෙන්න පුළුවන් රශ්මිව මරල දාන්න තරම් තරහක් නම් මට කොහොමවත්ම තිබුණේ නෑ.

රශ්මි මගේ කාර් එක ඇතුලේ මැරිලා හිටියේ කොහොමද කියන්න මම දන්නේ නෑ. ඒ මගේ කාර් එක තමයි. එවුණත් මම ඊට දවස් දෙකකට කලින් මම මගේ වාහනේ සර්විස් කරන්න ගරාජ් එකකට දීලයි තිබුණේ. නැහැ, ගරාජ් එක මම දන්නා තැනක් හින්ද රිසිට් එකක් ගත්තේ නෑ. මම වාහනේ ආයේ අරන් යන්න ආවා කියන කතාව පිළිගන්නේ නෑ. මට එහෙම ගන්න යන්න උවමනාවක් තිබුණේ නෑ. වාහනේ බාරදෙද්දී කිව්වේ වැඩේට දවස් හතරක් පහක් යයි කියල. ඉතින් මම මොකටද කළින් ගන්න යන්නේ. මම ඒ චෝදනාව ප්‍රතික්ශේප කරනවා.

රශ්මි මැරිලා කියල ආරංචි වුණ දවසට කලින් දවසෙත් මම රශ්මිව දැක්කා. අපි වෙනද වගේම කතාබහ කළා වැඩ කළා. එයාගේ වෙනසක් පෙන්න තිබුනේ නෑ. එයා වෙනද වගේම සැහැල්ලුවෙන් උනන්දුවෙන් වැඩ කළා. නැහැ, මම හිතන්නේ නැහැ එයාට වෙන පෞද්ගලික ප්‍රශ්න තියනවා කියල. දැන් මේක කියද්දියි මතක් වෙන්නේ, රශ්මි එයාගේ පෞද්ගලික විස්තර කතාකරන්න හරි අකැමතියි. මම දැනන් හිටියේ එයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම නැතිවෙලා එයාව හදා ගත්තේ එයාගේ ආච්චි, දැන් ඒ ආච්චිත් නැතිවෙලා කියලා විතරයි. එයා වැඩි විස්තර කියන්න අකමැති නිසා මම හාර හාර විස්තර අහල එයාව අපහසුවට ලක් කරන්න ඕනේ වුණේ නෑ.

කොහොමහරි එදා මම වැඩ ඇරිලා ගෙදර ගියේ පාරේ බස් එකේ. ගෙදර ගිහින් කළේ වෙනද කරන ඒව ම යි. මහන්සියට නාල කළා නිදා ගත්තා. ඊට පස්සේ දවසේ මගේ ඔෆිස් කැබින් එකටම ඇවිත් මාව පොලිසියෙන් එක්ක යද්දී තමයි මම රශ්මි මැරිලා කියල දැන ගත්තේ. මම හිතන්නේ මට ආයේ එතන වැඩ කරන්න පුළුවන් වෙන එකක් නෑ. මාව රිමාන්ඩ් කරන්න අරන් යද්දී මං දිහා බලන් හිටපු විදිහ මතක් වෙද්දී මම ආයේ එතන රස්සාව කරන්නේ කොහොමද. අන්තිමට කියන්න තියෙන්නේ මම නිර්දෝශියි කියල තම යි. ඉස්කෝලේ යන කාලේ වලියකදී ඇරෙන්න මම කාටවත් ගහලවත් නෑ. මම රශ්මි වගේ කෙල්ලෙක්ව ඔහොම මරල දන්නා තරම් අමනයෙක් නෙමෙයි. මාව විශ්වාස කරන්න, මේ මට ජීවත් වෙන්න ඕනේ විදිහ නෙමෙයි.

දෙවන සාක්ෂිය ඉවරයි. අවසන් සාක්ෂිය සමග විසඳුම ඉදිරියට.

Friday, March 22, 2013

සාක්ෂි I

චානක සිරිවර්ධන (රශ්මි රණසිංහගේ අසල්වැසි ලේඛක) ගේ සාක්ෂිය.

කාර් එකේ පිටිපස්සේ වම්පත්තේ දොර ඇරලයි තිබුණේ, සම්පූර්ණයෙන්ම නෙමෙයි තරමක්. කාගේද අතක් එළියට ඇවිත්. අතේ අයිතිකාරි (ගැහැණු අතක්, සිහින් සියුමැලි අතේ වළලු දෙකක් තිබුණා) හෙල්ලුනේ නෑ. අත එතනමයි. වාහනේ විදුරු කලුයි. ඇතුලින් එළිය මිසක් එළියේ ඉඳන් අතුල බලන්න අමාරුයි. මම ළඟට ගියේ හිමින් අඩි  තියමින්. ඒ මොකද කියල දන්නේ නෑ, ඉබේම එහෙම වුණා.

ළඟට යද්දිත් අත හෙල්ලුනේ නෑ. මම ළඟට ගිහින් දොර සම්පූර්ණයෙන්ම විවෘත කළා. ඇතුලේ හිටියේ මගේ අසල්වැසියා රශ්මි රණසිංහ. මම නම් එයාට කතා කළේ මිස් රශ්මි කියලා. එයා මට කතා කරන්න කිව්වෙත් එහෙමයි.

"මම රශ්මි. අපි දැන් නේබර්සලා. ඊයේ තමා බඩු ගෙනත් දාල අස්පස් කරගත්තේ." රශ්මි මට මුලින්ම මුණගැහුණු දවසේ කිව්වා. "දන්නේ නැද්ද, වටේ පිටේ ඉන්න අය අඳුනගන්න එක හොඳයිනේ."

මම ඔලුව වැනුවා. හිනාවුණා. ඊළඟට එයාට වාඩිවෙන්න කතා කළා. රශ්මි පස්සේ එන්නම් කියල ආපහු හැරුණා. මම හිතුවේ නිකම් ගැලවෙන්න කිව්ව බොරුවක් කියල, හැබැයි එයා ආවා, කිහිප වතාවක්ම. රශ්මි ලස්සනම කෙනෙක් නෙමෙයි. කැතත් නැහැ. සාමාන්‍ය පෙනුමක් තිබුණත් රශ්මිගේ අමුතු ආකර්ශනයක් තිබුණා. යන එන විදිහේ, බලන විදිහේ, කතාකරන විදිහේ වෙනසක් තිබුණා. දන්නේ නැද්ද නිකම් කාන්දමක් වගේ ගතියක්. ගිනි දැල්ලට ගිනිකණ වැටෙනවා වගේ. රශ්මිට ඒක ගැලපුනා; ගිනි සිළුව.

"මම පොත් ලියනවා." මම මොනවද කරන්නේ කියල රශ්මි ඇහුවහම මම උත්තර දුන්නා.

"හ්ම්. ලේඛකයෙක්." රශ්මි මගේ පොත් රාක්කය දිහා බලමින් හිටියා. මම හිතුවා කියවන්න පොතක් ඉල්ලයි කියල. ඒත් කියවන්න උවමනාවක් තිබුනේ නෑ. පොත් කියවනවට වඩා පොත් අතර ඉන්න රශ්මි කැමති වුණා .

"මොනවද ලියන්නේ?" එහෙම ඇහුවේ රශ්මි තවත් දවසක. ඇය ආවහම ලොකු වෙලාවක් ඉන්නේ නෑ. ඇවිත් මගෙන් ප්‍රශ්න අහන්න අමතක කරන්නේ නෑ. හැමදාම එක එක ප්‍රශ්න. මට අකමැති වෙන්න දෙයක් නෑ මගේ ලිවීම ගැන උනන්දු වෙන අයට මම කැමතියි. හැබැයි ඇය අහන ප්‍රශ්න වලට උත්තරයක් දුන්නත් නැතත් කමක් නෑ.  මම ලියපු මුල්පිටපත් බලන්න පුලුවන්ද කියලත් දවසක ඇහුවා. ඒ වෙලාවේ මා ළඟ තිබුණේ නෑ. මම ඒ බව කිව්වම රශ්මි ඇස් දෙක පුංචි කළා. මම කිව්වේ බොරු කියල හිතන්න ඇති.

"සාමාන්‍යයෙන් රහස් පරීක්ෂක කතා, මිනීමැරුම්, අපරාධ ගැන." රශ්මි පුටුවක වාඩිවෙලා කකුල් දෙකත් උඩට ගත්තා. "ඒ ඇරුනම කෙටි කතා දෙක තුනකුත් ලියල තියනවා."

"අන්තිමට වැරදිකාරය අල්ලගන්නවද? නැත්තම් පැනල යනවද? මම නම් කැමති අපරාධකාරයා පැනල යන ජාතියේ ඒවාට. නැත්තම් බෝරින්"

සිද්ධිය වෙන්න කලින් දවසේත් රශ්මි මාව මුණගැහෙන්න ආවා. මම වැඩ ගොඩක එරිලා හිටියේ. සති අන්ත පත්තර තුනකට මගේ කතා ඕනේ වෙලා තිබුණා. කතා පටලගන්නේ නැතුව ලියන්නත් ඕනෙනේ. ඒ අතරේ මම භාර දීපු එක කොටසකට කැමති නෑ කියන්න පත්තරේක සංස්කාරක මාත්‍ එක්ක ඇමතුමක. මිනිහට කතාව අකමැති වෙලා හින්ද නෙමේ, ඊළඟට වෙන්නේ මොකද්ද කියල දැනගන්න උවමනාව තිබුණේ.

"මම ඔයාගේ පොතක චරිතයක් වෙනවනම්.  අපරාධකාරයෙක්ද අහිංසකයෙක්ද?" හැමදේම අතරින් රශ්මි ඇහුවා. මම වාඩිවෙන්න කියල ඇයට අතින් සන් කළාට රශ්මි එහෙම කළේ නැතුව මගේ මෙසේ තියන කොළ කෑලි, මම කතාව කියන්න අරං බාගෙට ලියල හරි නැති හින්ද අයින් කරපුවා කියවන්න ගත්තා. ඒවායේ පිළිවෙලක් අගක් මුලක් නෑ. අනික රශ්මි කියෙව්වෙත් එහෙන් මෙහෙන්. ඒ වුණාට ඒවා කියවද්දී රශ්මිගේ ඇස් දිලිසුනා.

කටට ආපු බොරු වගයක් කියල මම කෝල් එක නැවැත්තුවා.

මම කල්පනා කළා. රශ්මි පොතකට හොඳ චරිතයක් වුණාට එහෙම චරිතයක් මම මීට කලින් නිර්මාණය කරලා තිබුණේ නෑ. මගේ චරිත බොහොම සාමාන්‍යය යි, සමහර වෙලාවට සෑහෙන්න නීරස යි. අමුතු චරිත මගේ කතාවලට එකතු කරන එක මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙන්න හේතුවක් විදිහටයි මම හිතුවේ.

"ඔය හිතන්නේ කොහොමද?" උත්තරයක් හිතාගන්න බැරි තැන මම ප්‍රශ්නයක්ම ඇහුවා.

"මම හිතන්නේ මම හරිද වැරදිද කියල හිතාගන්න කාටවත් බැරිවෙයි. මම සදහටම අභිරහසක් වෙයි." රශ්මි හිනාවුණා. ඇස් පුංචි කරලා කලින් මතක් වෙච්ච දේකට වගේ. ඊට පස්සේ එක පාරටම රශ්මි යන්න ගියා.

කොහොමහරි ආයේ මුලට ආවොත්. මම මගේ අලුත් පොතේ වැඩකට එඩිටර්ව හම්බවෙන්න ගියේ සිද්ධිය වෙන්න කලින් දවසේ. කතා කරන්න දේවල් සෑහෙන දේවල් තිබුණ හින්ද ගිය දවසෙම මට ගෙදර එන්න වුණේ නෑ. මට ඕනේ වුණේ ගෙදර ආපු හැටියෙම නාල තේ එකක් එහෙම බීලා නිදා ගන්න. ඒත් මම ගෙදර එද්දී ගේට්ටුව ඇරලා කවුරුහරි වාහනයක් දාල තිබුණා. කවුරුත් වටපිට පේන්න හිටියෙත් නෑ. කලින් කිව්වා වගේ මම වාහනේ ළඟට ගියේ කවුරුත් ඉන්නවද බලන්න.

ඔන්න ඉතින් මම කාර් එකේ දොර ඇරියා. ඇතුලේ හිටියේ රශ්මි. මුණ ඇතුළු පැත්තට වෙන විදිහට සීට් එක උඩ තියාගෙන හිටපු විදිහට මම මොහොතකට හිතුවේ රශ්මි නිදි කියල. ඒත් මහ දවල් මගේ මිදුලේ කාගේද කාර් එකක නිදාගන්න සිරිතක් නෑනේ. මම රශ්මිගේ උරහිසට තට්ටු කළා. එකපාරටම ඇගේ ඇඟ පණ නැතුව වගේ කඳ කඩන් වැටුණා. මම දෙතුන් පාරක්ම හය්යෙන් තට්ටු කළත් ඇය හෙල්ලුනේ වත් නෑ. ඇඟ තරමක් සීතල වෙලා තිබුනේ මම හිතන්නේ. මම ආයෙත් වට පිට බැලුවා. නෙබ්‍ර්සලා කවුරුවත් පේන්න හිටියේ නෑ. ඊට පස්සේ මම කර එකේ අනෙක් තැන් වලත් බැලුවා මොනවහරි තියනවද කියල. ලේ මොනවත් තිබුණේ නෑ. රශ්මිට එහා පැත්තෙන් එයාගේ බෑග් එක තිබුණා එච්චරයි. මම පොලිසියට කතා කළා. පොලිසිය එන්න විනාඩි විස්සකටත් වඩා ගියා. ඇවිත් ප්‍රශ්න ඇහුවා. හැම තැනම බැලුවා. මට පොලිසියට යන්නත් වුණා කට උත්තර දෙන්න. ගිහින් එද්දී මිදුල නිදහස් වෙලා තිබුණා. රශ්මිත් වාහනෙත් අරන් ගිහින්.

දවසකට පස්සේ දැන ගන්න ලැබුණා රශ්මි මැරිලා කියාලා.

පළමු සාක්ෂිය අවසානයි. තවත් සාක්ෂි දෙකක් හා විසඳුම ඉදිරියට.

Thursday, February 21, 2013

අපි හරි මානුෂිකයි! | Boo you barbarians!

ඔන්න එකමත් එක කාලෙක කොහෙද මන්ද රටක මහා නරකම නරක මිනිහෙක් හිටියලු. ඒ මිනිහගේ නම ප්‍රභා ලු. හැබැයි ඉතින් හැම නරක මිහිහෙක්ට හැමදාම නෝටි වැඩ කර කර ඉන්න වෙන්නේ නෑනේ. ඒ රටේ වීරයෝ එකතු වෙලා ප්‍රභා ව අල්ලා මරල දැම්මලු. වැඩේ කියන්නේ ප්‍රභාට පවුලකුත් හිටියලු. ඔච්චර කැත මිනිහෙක්ට පවුලක් හිටියේ කොහොමද කියලනම් මගෙන් අහන්න එපා. මේ කතාව ප්‍රභා ගැන නම් නෙවෙයි එයාගේ පොඩි පුතා ගැන, බාලා.

ඔන්න ඉතින් ප්‍රභාව පරද්දපු වීර මාමලා කට්ටියට මේ බාලා ව හම්බවුනාලු. බාලා අවුරුදු දහයක විතර පොඩි දරුවෙක් වුණත් බාලා ගේ තාත්තා මිනිමරුවෙක් අපරාධකාරයෙක් නේ. අපරාධකාරයාගේ පුතත් ඒ අපරාධ වලට වගකියන ඕනනේ නේද? ඒ අභිමානවත් සදාචාරවත් ශිෂ්ට රටේ හැටි එහෙමයි. දන්නේ නැත්තම් ඉගෙන ගනිල්ලා. කෝ ඉතින්, ඔන්න ඒ වීර මාමලා කල්පනා කරන්න ගත්තලු. බාලට දෙන දඬුවම මොකද්ද කියලා. එක එක වීරයෝ එක එක යෝජනා ගෙනාවලු.

1. ඕකව උලතියමු. උල තියද්දී උල පස්සේ ඇනිලා ලේ විසිවේවි. හැම තැනම ලේ ගෑවේවි. ඕකගේ තාත්ත කරවපුව හැටියට ඒක හොඳ වැඩියි.

2. කටට මෝටාර් එකක්! පුකට ක්ලේමෝ එකක්!

3. මම කියන්නේ හතරට පලලා ගස් හතරක එල්ලමු. හා හොඳ නැද්ද ඒක? මාගාව කැමරාවකුත් තියනවා. වීඩියෝ කරන්න බැරියෑ. ආයේ නෑ මාස ගානකට ආතල්.

4. ඕකව තියාගමු. පස්සේ ඕනේ වෙන්නත් බැරි නෑනේ...

5. පිස්සුද උඹට මූත් තාත්තා වගේම තමයි. අනාගත ත්‍රස්තවාදියා!

කොහොමින් කොහොමින් හරි කාටවත් දෙන දඬුවම ගැන සමතයකට එන්න බැරි වෙලා. ඔයවගේ අවස්ථා වල වෙලාවත් හරි වැදගත් නේ. ඔන්න ඉතින් එක වීර මාමෙක් බාලා ළඟට ගියාලු කතාකරන්න. වැඩේ කියන්නේ ඒ යකා බාලාට බිස්කට් පැකට් එකකුත් දුන්නනේ. ඔන්න ඉගෙන ගනිල්ලා සල්ලිවලට තමන්ගේ රට පාවා දෙන උන් ඒ කාලෙත් හිටියා.

"බාලා, කොහොමද?" දේශද්‍රෝහියා ඇහුවා.
"කෝ අපේ තාත්තා අම්මා?"
"දන්නේ නෑ." බාලා ගොළුයි.
"බාලා බයවෙලාද? බය වෙන්න එපා."
බාලා ඔලුව වැනුවා.

කොහොම වුණත් බාලට මොකද වෙන්නේ කියලා බාලවත් ඒ වීර මාමලවත් දැනගෙන හිටියේ නෑ. ටික වෙලාවකින් කෝල් එකක් ආවලු. රහස් ඇමතුමක්, ඕන්. කෝල් එකින් කිව්වේ බාලව අතුරුදහන් කරන්න කියල. දන්නේ නැද්ද, ඔය රහස් වැඩ එහෙමනේ. ඔන්න ටිකකින් බලද්දී බාලා නෑලු. කොහෙට ගියාද නෑ. කකා හිටපු බිස්කට් පැකට් එක බිම වැටිලා තිබුනලු. වීර මාමලා වැඩේ තේරුම් ගත්තලු. සමහරු නම් දුක් වුණාලු. අතුරැදහන් වීම වීඩියෝ කරන්න බැරි වුණාට.

ඔන්න ඉතින් ළමයි කතාව ඉවරයි. හරිම මානුෂිකයි නේද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා! සාදු සාදු සාදු!

Sunday, February 17, 2013

බුර්කා - Burqa



අතේ ඇඟිලි වෙව්ලන්න ගත්තේ නොදැනුවත්ව ම. මම කුරාණය පැත්තකින් තියල මගේ හිස් වැස්ම ගැලෙව්වා. මට ලස්සන කොණ්ඩයක් තියනවා කියල හිතෙනවා. ඒත් ඒක දැකල තියෙන්නේ මගේ අම්මයි නංගියි විතර යි. අඩුම තරමේ තාත්තවත් දැකල නෑ. මම මගේ කොන්ඩේ ලස්සනයි කියල අහගන්නවට කැමතියි. කොන්ඩේ මලක් ගහගෙන යන්න, කොන්ඩ මෝස්තරයක් දාගන්න එහෙම නැත්තම් අඩුම තරමේ කොන්ඩේ ගොතාගෙන ගමනක් යන්න ආසයි. ඒත් ඒක හීනයක්, හැබෑනොවෙන හීනයක්. කොන්ඩේ විතරක් නෙමෙයි මට ඇස් දෙකවත් ඇරගෙන ඉන්න අවසර නෑ.

මම බඩු අහුරන්න ගත්තා. හෙට 'මගේ' විවාහය නිසාත් එයින් පස්සේ මම බැඳපු කෙනා ගාවට යන්න වෙන නිසාත් මගේ බඩු ඇසිරීම කාටවත් සැක කරන්න කාරනයක් වුනේ නෑ. මීට සති දෙකකට කලින් ආපු මිනිහෙක්ට මාව 'බන්දලා' දෙන්න මගේ තාත්තා ගිවිසගෙන තිබුණා. ඒ මිනිහා කීයක් මං වෙනුවෙන් දෙන්න පොරොන්දු වුනාද කියල මම ඇහුවේ නෑ. නොවටිනා දෙයක් වෙනවට වඩා අඩුම තරමේ යම්කිසි අගයක් වත් මට ලැබීම ගැන සතුටු වෙන්න මම උත්සහ කළා. ඒ මිනිහගේ මූණවත් නොබලා වචනයක් වත් කතා නොකර හෙට මම විවාහක කාන්තාවක් වෙනවා. සමහර විට මගේ කොන්ඩේ දැකල තමන් මිලදී ගත්ත භාණ්ඩේ ගැන ඒ මිනිහ සතුටු වේවි. මම එහෙම හිතාගන්න ගත උත්සහය සාර්ථක වුනේ පොඩි වෙලවක ට යි.

"දුවේ සති දෙකකින් කසාදෙ" අර මිනිහ ආවට පස්සේ දවසේ අම්මා කිව්වා. මම ඔලුව හෙල්ලුවා විතරයි. මොනවහරි දෙයක් කිව්වහම ප්‍රශ්න අහන්නේ නැතිව ඒක කරන්න කියලයි මට පොඩි කාලෙම කියල තියෙන්නේ. 'ඇයි' කියන්නේ අපේ ගෙදර තහනම් වචනයක්.

මම පොඩි කාලෙ දවසක්, මට වයස අවුරුදු අටක් විතර වෙන්න ඕනේ, මම ඇහුව තාත්තාගෙන් ඇයි මල්වලට සමනල්ලු එන්නේ කියල.

"ඒ අල්ලා මවපු හැටිනේ ළමයෝ, මේ මල්, සමනල්ලු, අපි, ලෝකේ හැමදේම ඇති උතුම් අල්ලාගෙ නිර්මාණ" තාත්තා එහෙම කිව්වේ බැතිබර ගයනාත්මක ස්වරූපයෙන්.

"ඇයි ඉතින් අල්ලා එහෙම මැව්වේ ඇයි සමනල්ලු මල්වල විතරක් වහන්නේ?"

"මම කියල තියනවනේ අල්ලාගෙ බලය ප්‍රශ්න කරන්න එපා කියල!" තාත්තට තරහා ගියා.

"මට බැහැ, මට අල්ලාට කතාකරල දැනගන්න ඕනේ" එක පාරම මගේ කම්මුල පුපුරලා ගියා. තාත්තා මගේ කම්මුලට ගැහුවා කියල තේරුම් ගන්න මට වෙලා ගියා. ඊට පස්සේ දවසක්ම මට ඉන්න වුනේ කළුවර කාමරයක් ඇතුලට වෙලා තනියම.

හවස තාත්ත නැති වෙලාවක අම්මා ඇවිත් මාව එලියට ගත්තා. අම්මගේ ඇස් රතුවෙලා. සමහර විට තාත්තා අම්මටත් බනින්න ඇති. ආයේ තාත්තාගෙන් තියා වැඩිහිටි කාගෙන්වත් ඇයි කියල අහන්නේ නෑ කියල අම්ම මාව පොරොන්දු කරගත්තා. මට අම්මට වදයක් වෙන්න, මම හින්ද කරදර වෙන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. මම ඇයි කියල අහන්නේ නැතුවම ඔලුව වැනුවා.

ඒ පොරොන්දුව කාලයක් යනකම්ම ආරක්ෂා වෙලා තිබුණා. දවසක් මගේ ඥාති සහෝදරියකගේ විවාහ උත්සවයකට අපිට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබිල තිබුණා. එදා හැන්දෑවේ මම ඒ අක්කලාගේ ගෙදර කාමරේකට වෙලා කණ්ණාඩිය ඉස්සරහට වෙලා වැඩිවෙලා කොන්ඩේ පීරමින්. එක පාරටම කව්ද කාමරේට ආවා.

ඒ බැඳපු අක්කගේ මල්ලි. එයා මට වඩා අවුරුද්දක් විතර වැඩිමල්. මේ තමයි පිට කෙනෙක් මාව හරියටම දැකපු පලවෙනි අවසථාව. ගැස්සුන නිසා මට එක පාරටම ඔලුව වහ ගන්නත් අමතක වුණා. මම ඉක්මන් කරලා හිස්වැස්ම අතට ගත්තා.

"එපා!" එයා කිව්වා. "ඔයාගේ කොන්ඩේ ලස්සනයි"

මම හිනා වුණා. මම කවදාවත් පිරිමි ළමයෙක් එක්ක කතා කරලා නැති හින්ද මට කියන්න දෙයක් හිතා ගන්න බැරි වුණා. ඒ අයියා කඩවසම්. ඒත් මට "ඔයත් ලස්සනයි" කියල කියන්න බැරි වුණා. එයා හිනාවෙලා යන්න ගියා. මගේ ජීවිතේ පළවෙනි වතාවට යහපත් කරුණාවන්ත පිරිමි ඉන්න පුළුවන් කියල හිතුණා.

එදා හමුවීමෙන් පස්සේ අපි දෙන්නා ආයේ කවදාවත් මුණ ගැහුනේ නෑ. එයාගේ කාසදෙ ට ත් අපේ පවුලටම ආරාධනා ලැබුනේ ඊට අවුරුද්දකට විතර පස්සේ. මට යන්න ඕනේ වුණේ නෑ. ඒහින්ද අම්මත් ඒ එක්ක නංගිත් හිටියා. ඒකට මම දුක්වුණා අම්මට නිදහසේ සතුටු වෙන්න ලැබුණු අවස්ථාවක් මම නිසා නැති වුන එක ගැන.

අපේ පවුලට වඩා නිදහස තියන පවුල් තියන හින්ද සමහර විට ඒ අයියට එය බඳින්න යන කෙනා එක්ක කතා කරන්න ඉඩ ලැබෙන්නත් ඇති. එදා ගෙදර ඇවිදින කොට මගේ කකුල පූසාගේ ඇඟේ කිහිප සැරයක්ම හයියෙන් වැදුනා. "අපේ අක්ක අද හරි නපුරු යි" නංගි කිව්වා. මම කාමරේට ගිහින් කණ්ණාඩිය දිහා බලද්දී ඇස් වල කඳුළු තිබුණා.

එදා හැන්දෑ වෙනකම්ම මම හිටියේ කණ්ණාඩිය ඉස්සරහ. තාත්තා ගෙදර ඇවිත් මට කතා කරලා තිබුණා. මට ඇහුනේ නෑ. මම උත්තර නොදුන් හින්ද තාත්තට හොඳටම තරහ ගිහින් තිබුණා. නංගි මට පස්සේ කියපු විදිහට තාත්තා මම කොහොද කියල නංගිගෙන් අහල තිබුණා. "අක්කා කාමරේ, කණ්ණාඩිය ඉස්සරහ" නංගි උත්තර දීල. ඊට පස්සේ වුණේ හිතාගන්නවත් බැරි දෙයක්. එක පාරටම කාමරේට ආපු තාත්තා කණ්ණාඩිය අල්ලලා පොලවේ ගැහුවා. වීදුරු කෑලි දහස් ගණනකට කණ්ණාඩිය බිඳිලා ගියා.

"උඹ වැඩ කරන්න ඕනේ මං කියන විදිහටයි, දැනගනින්!" තාත්ත කෑගැහුවා. "වයස ගියාට මහ ගෑනියෙක් කියලද හිතන් ඉන්නේ?"

"මහ ගෑනියෙක් වුණත් මට ඕනේ දේවල් කරන්න නිදහසක් නෑ කියල මම දන්නවා." මම එහෙම කිව්වේ නෑ. කිව්වනම් මොනවා වෙයිද කියන්න අල්ලා වත් දන්නේ නෑ. මම බිම බලාගත්තා. මට මාවවත් බලාගන්න තිබුණ කණ්ණාඩිය නැතිවුණා.

මම බඩු අහුරලා ඉවර වෙලා නිදා ගත්තේ වෙලාසනින් ම. ඒ හින්දම රෑ නැගිටින්න පුළුවන් වුණා. වෙලාව රෑ එකයි කාලයි. කුස්සියේ විතරයි සද්ද ඇහුනේ. කෑම හදන අය ඇරුනම අනෙත් ඔක්කොම නිදි. මම පැත්තකින් තියපු කුරාණය අරගෙන බිමින් තිබ්බා. ගිනිපෙට්ටියක් අතට ඇවිත් දැල්විලා පොත උඩට වැටුනේ හීනයකින් වගේ. මම ජනේලේ ඇරලා කලින් ලැහැස්ති කරගත්ත විදිහට ග්‍රිල් දැල ගලවලා අයින් කළා. මම ගෙයින් එළියට එද්දී පොත හොඳටම පිච්චිලා තිබුණා. ඒ එක්කම මේ හිර ගෙදරත් පිච්චිලා අළු වෙලා යනවනම් හොඳයි කියල හිතිලා ඒ ප්‍රාර්ථනාව නවත්ත ගත්තේ අම්මවයි නංගිවයි මතක් වෙලා.

කුස්සියේ වැඩකරන මිනිස්සුන්ට ගින්න පෙනෙයි කියල හිතන ගමන් මම පාරට ආවා. පාරේ තැනින් තැන එළියයි. කාත් කවුරුත් නැති වුණත් තනියම ගමනක් යන පලවෙනි වතාව වුණත් බයක් දැනුනේ නෑ. මට මම ගැනම පුදුම හිතුණා. මට තියන ආත්ම ශක්තිය ගැන ආඩම්බර හිතුණා. මම දන්නවා මට අල්ලා සමාව දෙනවා මොකද අල්ලා කියන්නේ ආදරය කරුණාව මිසක් වෛරය හිංසාව නෙවෙයි.

Tuesday, January 29, 2013

(බ්ලොග් අවකාශය තුල) කිසිවක් බලාපොරොත්තු නොවන්න


බ්ලොග් එකට මාස දෙකකින් විතර ලියල නෑ කියල මතක් වුණා. ඒ එක්කම මම ලියන ඒවා කියවන්න පාඨකයන් බලන් ඉන්නවා කියන දේත්. අඩුම තරමින් මම මගෙන් බලාපොරොත්තු වුණා මම මොනවා හරි ලියයි කියල. ලියවුනේ නෑ, වැඩ ගොඩක් තිබුනත් උවමනාවක් තිබුණ නම් වෙලාව හොයාගන්න අමාරු නැහැ. එතකොට මට බ්ලොග් ගැන දැන් කැමැත්තක් උවමනාවක් නැද්ද කියන ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් නෑ.

මම මේ බ්ලොග් එක අත්හැරලා දාන්න හිතුවා. මේක ලියන්න පටන් ගනිද්දී ලියන්න උවමනා වුනු දේ සමහරක් ලියුවා, සමහර දේ ලියුවේ නෑ. ඒත් ප්‍රධාන තේමාව වුණු සමානාත්මතාව, ආදරය, පිළිගනිම, සහෝදරත්වය, මෛත්‍රිය හැම ලිපියක් ගානෙම හැම වචනයක් ගානෙම ඔබ්බවන්න උත්සහ කළා. ඒ හින්ද ලියනවා නම් ලියන්න තියෙන්නේ එකම දේ, වචන වලින් විතරයි වෙනස. මම කියපු දේ එක අයෙකුට වත් අනුභාශයක් ලබන්න තරම් වුණා නම් මට සතුටක්, ඒත් ඒ බව මනින්න මිමි නැති හින්ද දැන ගන්න වෙන්නේ නැ. මිනිස්සුන්ට අදහස් සම්ප්‍රේෂණය ඉතාම අමාරුයි. හැමදේම සාපේක්ෂ නිසා, මම අදහස් කරන දෙයට හාත්පසින් ම විරුද්ධ දෙයක් වුණත් කියවන්නෙක් මා කියූ දෙයක් හැටියට වටහා ගන්න පුළුවන්. ලිවීම අභියෝගයක් වන්නේ ඒ හින්ද.

නැහැ මම ලියන එක අත්හරින්නේ නෑ, බ්ලොග් එක වහලා දාන්නෙත් නෑ. සමහර විට ආයේ වැඩිකල් නොගිහින් ම ලියන්නත් ඉඩ තියනවා. වෙනස මගේ ස්වභාවය හින්ද, වෙනස් විදිහකින් නැවතත් ලියනවා කියන එකේ තේරුමක් නෑ. වෙනසේ අන්තය මොකද්ද? පරිපුර්ණ වෙනස; වෙනස් නොවීම. අනිත්‍ය යමක් තුල අනිත්‍ය ස්වභාවය තුල වෙනසක් සෙවීමේ තේරුමක් නැහැ. හැම දෙයක් තුලම ඇත්තේ වෙනස නිසා. අනිත්‍ය තුල නිත්‍ය වීම තමයි වෙනස. නිවන.

බ්ලොග් ලිවීම තුලින් එන්නට හැකි වූ සිංහල බ්ලොග් අවකාශය ගැන නිගමන කිහිපයක් මේ,
  • බ්ලොග් තුල වන තර්ක කිරීම් වලින් කිසි වෙකුට වෙන සෙතක් නෑ. පාර්ශවයන් දෙක තමන් දිනන්න උත්සහ ගන්නවා මිසක් අනෙක් කෙනා කියන දේ වටහා ගන්න උත්සහ කරන්නේ වත් නෑ. අදහස් වලින් සිංහල බ්ලොග් එකතැන පල්වෙන්න එක හේතුවක් ඒ.
  • සමහරු බ්ලොග් ලියන්නෙකු ලියන්නියකගේ පෞද්ගලිකත්වයට නැත්තම් පෞද්ගලික අදහස් දැරීමේ අයිතියට ගරු කරන්නේ නෑ.
  • කලින් කිව්වා වගේ ලිපිවල ඇති දේ වටහා ගැනීමේ දෝෂ. මේකට ලියන්නාගේ අඩුපාඩු බලපාන්නත් පුළුවන්. කොහොම වුනත් ඉතා පැහැදිලි ලිපිත් වෙතත් අදාල නැති අදහස් එකතු නොවෙන්නේ නෑ.
  • සිංහල බ්ලොග් ලියන්නන් බ්ලොග් ලියන්නේ අන්තර්ජාලය හරහා වුණත් සමහර විට අන්තර්ජාල සාක්ෂරතාව අඩුයි නැත්තම් අතර්ජාලය ලැබිය හැකි දැනුම ගැන උනන්දු නැහැ. නොදන්නා දෙයක් දන ගැනීමට බොහෝ දෙනා බවිත කරන ලෙහෙසි හා පහසු විකිපීඩියා පාවිච්චිය බ්ලොග් ලියන්නන්ගේ අඩු බව ලියන ලිපිවලින් බලාගන්න පුළුවන්. නව දැනුමට ඉඩක් නැහැ නැත්තම් උවමනාවක් නැහැ.
  • බ්ලොග් ලියන්නන් බොහෝවිට ඍණාත්මක යි. වැරදි අඩුපාඩු මකාගෙන ඉදිරියට යාමේ උනන්දුව අඩුයි.
  • බොහෝ දෙනෙක්ට තමන්ටම කියා වෙන්කර පෙන්විය හැකි අනන්‍යතාවක් නැහැ.
තවත් ලියන් යන්න පුළුවන්. ඒත් ඕනේ නෑ, ඉතිරි වෙන්නේ අඩුපාඩු ගොඩක්. අර ඍණාත්මක බ්ලොග් කරුවන් අතරට මමත් අයිතිද මන්ද. කොහොම වුණත් උඩින් දක්වපු නිගමන සිංහල බ්ලොග් රචකයන්ගේ ලක්ෂණ විතරක් නෙමෙයි, ලංකාවේ අපි හැමෝගෙම ඒත් නැත්තම් මනුෂ්‍ය වර්ගයාගේම අඩු හෝ වැඩි වශයෙන් ස්වභාවය හැටියට පෙනෙන්නත් පුළුවන්.

මගේ බ්ලොග් ලිවීම ගැන මට බලාපොරොත්තු වෙන්න බැහැ. ඒනිසා ඔබ බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබේ බලාපොරොත්තු ගැන ඔබට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? උත්තරේ ඔව් නම් හොඳයි. ඒත් හැමෝටම හැමවිටම 'ඔව්' උත්තර ලැබෙන්නේ නෑ. කිසිවක් බලාපොරොත්තු නොවීම පහසු වන්නේ ඒ නිසා. එහෙනම් ගිහින් එන්නම්, එතකම් සුබ පැතුම්.