Tuesday, March 26, 2013

සාක්ෂි II

වගීෂ ගුණතිලක (රශ්මිගේ වෘත්තීය සහයක) ගේ සාක්ෂිය.

රශ්මිව විස්තර කරන්න ගොඩක් ආකාර තියනවා. දක්ෂයි කියල විශේෂණයක් ඉස්සරහට රශ්මිගේ නම ඉස්සරහින් එනවනම් වඩාත් නිවැරදියි. අපේ කම්පනි එකට රශ්මි ඇවිත් වැඩි කල් නෑ. අවුරුදු දෙකකටත් අඩුයි මට මතක විදිහට. මුලින්ම ආවේ අකවුන්ටන්ට් කෙනෙක් විදිහටම වුණත් ඉක්මනටම රශ්මිට ඩිවිෂන් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් වුණා. අපේ ආයතනයේ ප්‍රොජෙක්ට් කිහිපයකටම රශ්මි කැපවීමෙන් වැඩ කළා. රශ්මිට හොඳ ඉවසීමකුත්, පිලිවලකුත් තිබුණ නිසා එයත් එක්ක වැඩ කරන එක අනිත් අයටත් පහසුයි. දක්ෂ රශ්මි; එයාව එහෙම හඳුන්වනවාට එයා කැමති යි.

එක ව්‍යාපෘතියක මට බාර වෙලා තිබුනේ ඇඩ්වටයිසින් පැත්ත. රශ්මිට ඒ ගැන ඇකඩමික් දැනුමක් නැතිවුණත් මාත් එක්ක එකතුවෙලා වැඩ කරන්න පුළුවන් වුණා. ඇත්තම කිව්වොත් රශ්මිගේ ටෙක්නික්ස් නියමයි. මිනිස්සු නොදැනීම අපේ ප්‍රඩක්ට් එකට නම්මගන්න ඒවාට ලේසියෙන්ම පුළුවන්. රශ්මිට ඉන්ඩස්ට්‍රී එක ගැන හොඳ අලුත් වෙන දැනුමක් තිබුණා. ඒවගේම එයා හැම දෙයක් ගැනම ටච් එකෙන් හිටියේ. අපේ තරඟකාරයෝ ගැන, අපිට තර්ජනයක් වෙන්න පුළුවන් අලුත් ආයතන ගැන එයාට අනාවැකි කියන්න පුළුවන් වුණා. ඉව; ඔව් රශ්මිට හොඳ ඉවක් තිබුණා. අපේ කම්පනි එක එයාගේ ඉවෙන් උපරිම ප්‍රයෝජන නොගත්තත් රශ්මි හින්ද වුණ වාසි නම් ගොඩයි.

ඔය වගේ දේවල් හින්ද තමයි මට රශ්මි ගැන කැමැත්තක් ඇති වුණේ. වෘත්තීය සම්බන්ධයකට වැඩි විශේෂ පෞද්ගලික බැඳීමක් ඇති කරගන්න මම කැමැත්තෙන් හිටියා. මම ඒ බව එයාට අඟවද්දී එයා අකමැත්තක් පෙන්නුවේ නෑ. විශේෂයෙන් කැමැත්තක් පෙන්නේවෙත් නෑ. අපි දෙන්නා එක එක තැන්වලට ගියා කෑම කන්න එහෙම. ෆිල්ම් බලන්නත් බීච් එකටත් දෙතුන් පාරක් ගියා මතක යි. ඒ වගේ යාලුවෝ එකතු වුණහම පොඩි පොඩි දේවල්. එච්චරයි, වෘත්තියමය යාලුවෝ; ඒ වගේ නමක් අපේ සම්බන්ධය හඳුන්වන්න යොදාගන්න පුළුවන්.

"මම ඔයාට කැමති යි." දවසක් මම රශ්මිට කෙලින්ම කිව්වා. "නිකම්ම කැමැත්තක් නෙමෙයි, විශේෂ කැමැත්තක්."

රශ්මි යන්තම් හිනා වුණා. ඒ හිනාව එයත් මට කැමතියි කියන හිනාවක් නෙමෙයි. 'මම දන්නවා, මට අකමැති කෙනෙක් නෑ' කියන හිනාවක්.

"ඇත්තටම, මම කැමතියි අපි අතරේ විශේෂ සම්බන්ධයක් ඇති වෙනවා නම්." මම ආයේ උත්සහ කළා.

"ඉතින් ළමයෝ අපි අතරේ තියන සම්බන්දේ විශේෂයි තමයි. ඔයා හිතන්න කෙල්ලෝ කීදෙනෙක් ඔයත් එක්ක මේ විදිහට කිසිම හැංගිච්ච බලාපොරොත්තුවක් නැතිව තැන් තැන් වල රස්තියාදු වෙන්න එයි ද?" රශ්මි එහෙම කියල ඇස් පුංචි කරලා හිනාවුණේ එයා කියපු දේ මම දැනටත් දැනන් ඉන්න ඕනේ දෙයක් වගේ.

මම මුකුත් උත්තරයක් දෙන්න ගියේ නෑ.

රශ්මි මම ගැන දැක්වුවේ බොහොම ඇල්මැරුණු උදාසීන ආකල්පයක් හින්ද මම මගේ තිබුණ අදහස අත්හැර ගත්තා. මම හිතන්නේ රශ්මිට ලොකු හීන තිබුණ. ඕනෙනම් එයාට අපේ වගේ කම්පනි එකක් තනියම පටන් අරන් සාර්ථක විදිහට කරන්යන්න පුළුවන් කම තිබුණා. රශ්මි ඒක දැනගෙනත් හිටියා. මම වගේ අවධානමක් ගන්න අකැමති කෙනෙක් එක්ක එකතුවෙන එක එයාගේ ගමනට බාධාවක් හැටියට එයා හිතන්න ඇති. එයා ගැන තිබුණ අදහස නැති කරගත්තේ කිසිම තරහකින් නෙමෙයි. ඔව්, මම පිලිගන්නවා ඒක ලේසි වැඩක් නෙමෙ යි. එවුණත් නොවෙන දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැති වැඩක්. ඒ හින්ද මට පොරොන්දු වෙන්න පුළුවන් රශ්මිව මරල දාන්න තරම් තරහක් නම් මට කොහොමවත්ම තිබුණේ නෑ.

රශ්මි මගේ කාර් එක ඇතුලේ මැරිලා හිටියේ කොහොමද කියන්න මම දන්නේ නෑ. ඒ මගේ කාර් එක තමයි. එවුණත් මම ඊට දවස් දෙකකට කලින් මම මගේ වාහනේ සර්විස් කරන්න ගරාජ් එකකට දීලයි තිබුණේ. නැහැ, ගරාජ් එක මම දන්නා තැනක් හින්ද රිසිට් එකක් ගත්තේ නෑ. මම වාහනේ ආයේ අරන් යන්න ආවා කියන කතාව පිළිගන්නේ නෑ. මට එහෙම ගන්න යන්න උවමනාවක් තිබුණේ නෑ. වාහනේ බාරදෙද්දී කිව්වේ වැඩේට දවස් හතරක් පහක් යයි කියල. ඉතින් මම මොකටද කළින් ගන්න යන්නේ. මම ඒ චෝදනාව ප්‍රතික්ශේප කරනවා.

රශ්මි මැරිලා කියල ආරංචි වුණ දවසට කලින් දවසෙත් මම රශ්මිව දැක්කා. අපි වෙනද වගේම කතාබහ කළා වැඩ කළා. එයාගේ වෙනසක් පෙන්න තිබුනේ නෑ. එයා වෙනද වගේම සැහැල්ලුවෙන් උනන්දුවෙන් වැඩ කළා. නැහැ, මම හිතන්නේ නැහැ එයාට වෙන පෞද්ගලික ප්‍රශ්න තියනවා කියල. දැන් මේක කියද්දියි මතක් වෙන්නේ, රශ්මි එයාගේ පෞද්ගලික විස්තර කතාකරන්න හරි අකැමතියි. මම දැනන් හිටියේ එයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම නැතිවෙලා එයාව හදා ගත්තේ එයාගේ ආච්චි, දැන් ඒ ආච්චිත් නැතිවෙලා කියලා විතරයි. එයා වැඩි විස්තර කියන්න අකමැති නිසා මම හාර හාර විස්තර අහල එයාව අපහසුවට ලක් කරන්න ඕනේ වුණේ නෑ.

කොහොමහරි එදා මම වැඩ ඇරිලා ගෙදර ගියේ පාරේ බස් එකේ. ගෙදර ගිහින් කළේ වෙනද කරන ඒව ම යි. මහන්සියට නාල කළා නිදා ගත්තා. ඊට පස්සේ දවසේ මගේ ඔෆිස් කැබින් එකටම ඇවිත් මාව පොලිසියෙන් එක්ක යද්දී තමයි මම රශ්මි මැරිලා කියල දැන ගත්තේ. මම හිතන්නේ මට ආයේ එතන වැඩ කරන්න පුළුවන් වෙන එකක් නෑ. මාව රිමාන්ඩ් කරන්න අරන් යද්දී මං දිහා බලන් හිටපු විදිහ මතක් වෙද්දී මම ආයේ එතන රස්සාව කරන්නේ කොහොමද. අන්තිමට කියන්න තියෙන්නේ මම නිර්දෝශියි කියල තම යි. ඉස්කෝලේ යන කාලේ වලියකදී ඇරෙන්න මම කාටවත් ගහලවත් නෑ. මම රශ්මි වගේ කෙල්ලෙක්ව ඔහොම මරල දන්නා තරම් අමනයෙක් නෙමෙයි. මාව විශ්වාස කරන්න, මේ මට ජීවත් වෙන්න ඕනේ විදිහ නෙමෙයි.

දෙවන සාක්ෂිය ඉවරයි. අවසන් සාක්ෂිය සමග විසඳුම ඉදිරියට.

9 comments:

  1. කුතුහලය ඇවිස්සෙන විදියට ලියලා තියනවා...

    අන්තිමට විසඳුමකුත් දෙනවද? නැත්නම් අපිට විසඳන්ට කියලා අන්තිමට ඔයාගේ විසඳුම අපිට කියනවද? :)

    ReplyDelete
    Replies
    1. ඔව්, අන්තිමට විසඳුමක් දෙනවා. ඊට කලින් සාක්ෂි ඔක්කොම ලැබුනට පස්සේ කුමාරිහාමිට උපකල්පනය කරන්න පුළුවන්. :)

      Delete
  2. ම්ම්ම්ම්ම්ම්ම්..... බලමුකො එහෙනම් විසඳුම...

    ReplyDelete
  3. ඇත්ත හරි හමන් සාක්ෂි නැතුව කිසි කෙනෙක් සැක කරන්න නරකයි.

    ReplyDelete
  4. ඊළඟ සාක්කියත් කියවලම සැකකාරයො නම් කරන්නම්කො :)

    ReplyDelete
  5. ඔය සිරා කතා කියවද්දි ඒව අපට වදින්නෙ (සිරා තත්ත්වෙන්) කතාව නිසා විතරක්ම නෙවෙයි. කතාව ඇතුලෙ බොහොම පොඩි දේවල් නිසා. සමහර විට කතාවෙ ප්‍රධාන චරිත වලට වඩා අතුරු චරිතයක් අපිව කතාවට ඈඳන්න පුළුවන්. ඒක චරිත ගොඩනැගීමේ විශිෂ්ඨත්වය! මට මෙතනදි ඒ අදහස හරියටම හරි කියල තේරුණා...

    ඉතිරි එකත් එනකල්!

    ReplyDelete
    Replies
    1. ඔය පොඩි පොඩි දේවලින් කරන්නේ ඒ ඒ චරිත වල ජීව ගුණය වැඩිකරන එක. පුංචි පුංචි විස්තර හින්ද ඒ චරිත වඩාත් තාත්වික වෙනවා, අපි එදිනෙදා දකින හඳුනන අයට ආසන්න වෙනවා. කතාවක චරිත සජීවී වෙන තරමට කතාව සිරා වෙනවා. ඔය ඉතින් මගේ පැහැදිලි කිරීම, හරි ඇති මම හිතන්නේ. :)

      Delete
  6. ම්ම් ම්ම්....බලමුකො...

    ReplyDelete
  7. මේකනම් නියමයි මචං.. ඊළග එකත් ඉක්මනටම බලාපොරොත්තුවෙන්..

    ReplyDelete