Thursday, November 21, 2013

අතීතයට සමාව දෙමු

සුබෝධාට අලුත විශ්‍රාම ගිය සැමියෙක්ද, ළඟකදී විවාහ වූ දියණියක්ද, පිටරට රැකියාවක් කරන පුත්‍රයෙක්ද, මියයාමට ආසන්න බැල්ලක්ද, අල්ලපු ගෙදරට නීති පරිදි අයිති වුවත් මේ ගෙදර වැඩිකල් වාසය කරන කකුලක් කොට පූසෙක්ද සිටියි. (මේ ලැයිස්තුව දික් කිරීමට අවශ්‍යනම් ඉදහිට කඩාපාත් වන මහලු නැන්දම්මාද, අතමාරුවක් අවශ්‍ය විට පමණක් ඇයව සිහිවන තම සොයුරියවද, ආඩම්බරකාර නෑනාවද ඇතුලත් කර ගත හැකි ය. ගෙදර සිටින කූඹි ගුල්, කරදරකාර හූනන්, කොල්ලකාරී මීයන් ඇය තමාගේ කියා පිළිනොගන්නා නිසා ඒ කොට්ටාසය අත්හැරීම පහසුය.)

තම සැමියාගේ විශ්‍රාම ගැනීමෙන් පසු සුබෝධාට යම් ඉස්පාසුවක් ලැබේ යැයි ඇය විශ්වාස කලද සිදුවුයේ එහි අනිත් පැත්ත යි. සැමියාගේ සියලු අහිනි පහිනි කර අවසාන වන විට ඇගේ දවසද එලෙසම අවසාන විය. සුමනසිංහ, නැතහොත් ඇය කියන පරිදි සුමනේ නොකළ වැඩක්ද කළ වැඩක්ද නොවුණු නමුත් ඔහුගේ කාලය කිසියම් ආකාරයකින් ගෙවී තිබුණි. ඔහුගේ සහයිකාව ලෙස ඇයත් ඔහුගේ පස්සෙන් ගොස් තම කාලය ගෙවා දැම්මා ය. එක අතකින් එය ඇයට සතුටකි. වෙනත් කිසිඳු බාහිර හේතුවක බාධාවක් නැතුව තම සැමියා සමග මෙලෙස කල් මැරීමෙන් ඇය සියුම් සතුටකට පත්ව සිටියා ය.

'ගබඩා කාමරය' ලෙස නම් ලද එහෙත් අනවශ්‍ය ප්‍රයෝජනයකට නැති වෙනත් වචන වලින් කියනවා නම් කුණුකසල වලින් ගහන කාමර අස්පස් කිරීමට දෙන්නා සුදානම් වුයේ එලෙස ය. හිතුවාට වඩා අපහසු වූ එය, දහවල් වන විට කාමරයෙ ඇති දෑ වලින් අරික් කාලක්වත් සෙලවීමට නොහැකි විය. දහවල් කෑමෙන් පසු සුමනේ ඇඳට වී සිටියේ අලුත හුරු වූ පුරුදක් වූ දහවල් නිදාගනීමට ය. සුබෝධා මේ සලාක ක්‍රමයේ වැඩ වලට ප්‍රිය නොවූවා ය. ඇයට අවශ්‍ය වුයේ ඉක්මනින් පටන් ගත කාර්යන් අවසන් කිරීමට යි. තනිවම නැවත වැඩ පටන් ගත ඈට මීට කලින් දැක පුරුදු නැති යමක් ඇගේ ඇස ගැටුණි.

සැබෑවකි, මළකඩ කෑ බෙලෙක් බිස්කට් පෙට්ටි දැක නොපුරුදු ඒවා නොවේ. එහෙත් මෙහි විශේෂත්වයක් ඇයට හැඟින. පරණ බිස්කට් පෙට්ටිවල ඈ දමා ඇත්තේ මාල වළලු අභාරණ ය. ඒවා මෙතන තිබීමට ඉඩක් නැත. දුවිල්ලෙන් ගහන පෙට්ටිය අතට ගත් ඇය එය පිස දැමුවා ය. ඊළඟට එළැඹුණේ අපහසු කටයුත්තකි, මළ කෑ එය විවෘත කිරීමට ඇයට ඇගේ සිරුරේ තිබු සෑම ශක්තියක්ම වැය කරන්නට අවශ්‍ය විය. අවසානයේ 'ප්ලොප්' හඬකින් එය විවෘත වුයේ සුබෝධාට අස්වැසිල්ලක් ගෙන දෙමිනි.

පෙට්ටිය තුලටද තරමක් දුවිල්ල කාන්දු වී තිබෙන බව සුබෝධාට හදිසියේ ඇතිවූ කැස්සෙන් පසක් වුණි. පෙට්ටියේ ඇති දෑ එකින් එක එලියට ගත් ඇය ඒවා එකින් එක පිරිකසන්නට විය. යතුරු රදවනයක් සමග යතුරු කැරැල්ලක්, කුරුළු ජෝඩුවක් සංකේතවත් වන කුඩා සිහිවටනයක්, ගැහැණු ලේන්සුවක්, සිහින් සුවඳ විලවුන් බඳුනක් ඇරෙන්නට එහි තිබුනේ කහ පැහැ කඩදාසි පාර්සලයකි.

කුතුහලය සංසිදුවා ගැනීම සඳහාම ඈ පාර්සලය විවෘත කළා ය. එහි වුයේ ලිපි කිහිපයකි. සුබෝධාට දැන් මෙය තමාගේ නොවන බව පැහැදිලි ය. පුතාගේ හෝ දුවගේද විය නොහැකිය, ඔවුන් ලිපි හුවමාරුවට හිනාසෙන්නේ 'ඕවා ආදී කාලේ වැඩ' කියමිනි. ඉතින් ඉතිරිවන්නේ සුමනේ ව ය. එහෙත් ප්‍රශ්නයනම් මේ ලිපි ගොනුව මෙසේ දමා ඇත්තේ ඇයිද යන්න යි. තම පුතා තමාට දුරකතනයෙන් කතා කරනවාට අමතරව ලිපි ලිව්වා නම් ඒවා නැවත නැවතත් කියවන්නට හැකි නේදැයි තමන්ට කියා සුසුමක් හෙලමින් ඇය ලියුම කාගෙන් දැයි බැලීමට එකක් විවෘත කොට බැලුවා ය.

සුමනේ,
මම දන්නවා දැන් මට ඔයාට ආදරණීය මගේ සුමනේ කියල කතා කරන්න බැරි බව. ඔයා දැන් මගේ නෙවෙයි. ඔයාට ඒක විශ්වාස කරන්න පුලුවන්ද. මටනම් මේක හීනයක් වගේ. මට තාමත් හිතෙන්නේ ඔයා මගේ ම යි කියල. ඔයාට උත්තරයක් දෙන්න පුලුවන්ද සුමනේ, ඔයාට එක ගෑණියෙක් ට ආදරෙයි කියල තවත් ගෑණියෙක් කසාද බඳින්න පුලුවන්ද. ඔයා මහා චපලයි සුමනේ. මම ආදරේ කලේ මේ වගේ මිනිහෙක්ටද කියල මටම හිතා ගන්න බැහැ. ඒත් ඔයා දන්නවද මමත් චපලයි මොකද ඒ මම තාමත් ඒ චපල පුරුෂයාට පිස්සුවෙන් වගේ ආදරය කරන හින්දා.

ලිපිය ඉදිරියටත් තිබුනේ අඩු වැඩි වශයෙන් සුමනේට ඇති ආදරය ගැනම ය. ලිපිය අවසන් කර ඇත්තේ 'හැමදාමත් ඔයාගේම නිර්මලා' යන නමිනි. සුබෝධා සුසුමක් හෙලුවා ය. මොහොතකට ඇය තමන් සිතිය යුත්තේ කුමක් දැයි කියා අමතකව තිබුණි. ඇයට තමා සමගම ඇති වූයේ කෝපයකි. තරහව පැසවන ගමන්ම ඇය ඊළඟ ලිපියත් අතට ගත්තාය. එයද කලින් ලිපියට වඩා වෙනසක් නැත. නිර්මලාගේ ශෝකයෙන්ද හද වේදනාවන්ගෙන්ද එය පිරී තිබිණි. සුබෝධාට එවර කෝපයක් මතු වුයේ නිර්මලා වෙතය. තම සැමියාට මෙලෙස වහ වැටි ඇති චපල ස්ත්‍රිය ගැන සුබෝධා සිතා තම නළල රැලි කරගත්තා ය. "වේසි" ඇයට ඉබේම කියවිණි. ඊළඟ ලිපියට ඇගේ අත ගියේ අවිඥානිකව ය. ඒ හසුන කලින් ඒවාට වඩා වෙනස් වන්නේ සුමනේ හා නිර්මලා අතර සිදුවේ ආදර කතා බහින්, කල් මැරීමේ මතක වලින්, නිර්මලා හා ගිය ගමන්වලින් ඇති වූ අත්දැකීම් වලින් පිරුණු නිසා ය. පළමු වතාවට සුමනේ ගේ පැත්තෙන් නිර්මලා ගැන දැනගන්නට හැකි විය.

නිර්මලා ආතුර වූ ප්‍රේමය ඒක පාර්ශවික එකක් නොවීම නිසා ඇය එවර කෝපයට පත් වුයේ ඇගේ සැමියා වෙත යි. සුමනේ තමා බැලීමට ආ පළමු වතාව ඇයට සිහිවිය. ඈතින් නෑ වන නැන්දා කෙනෙක් ගෙනා යෝජනාවකින් තම පවුල සමග ආ, පිරුණු හිනාවක් ඇති ඒ කඩවසම් පුරුෂයා ගැන සුබෝධාට කැමැත්තක් ඇති කිරීමට බාහිර බලපෑම් අවශ්‍ය නොවී ය. පළමු වර සුමනේ සමග කතා කරද්දී සුමනේ වචන දෙක තුනකින් උත්තරදී සිනා සුනු විට ඈ සිතුවේ ඒ ඔහුගේ ලාමක ලැජ්ජාව නිසාවෙන් කියා ය. නිර්මලා ඒ පසුපසින් සිටි වග පසක් කර ගත් සුබෝධාගේ උගුර සිරවිනි.

කිසිත් නොසිතන්නට තැත් කරමින් ඇය ඊළඟ ලිපියද අතට ගත්තා ය. එය නිර්මලා හා සුමනේ අතර වූ අතිශය පෞද්ගලික හුවමාරුවක් ගැන ලියවී ඇත්ත කි. සුබෝධාට එය වැඩි දුර කියවීමට අපහසු විය. ඈට ඕනෑ වුයේ සුමනේව නැගිට්ටවා "ඈ යකෝ තෝ කොහෙවත් යන පට්ට බල්ලියෝ එක්ක නිදාගෙන ඉඳලද මාව හොයාගෙන ආවේ?" කියා ඇසීමට ය. එහෙත් ඇය එසේ නොකළාය, ඒ ඇයි යන පැනයට උත්තරයක් ඇය සොයන්නට උත්සහද නොගත්තා ය. සුමනේ කහින ශබ්ධයකින් සුබෝධා නැවතත් පියවි ලෝකයට පැමිණියා ය. ලිපි එකතුව නැවත පෙට්ටියට එබූ ඇය පෙට්ටිය තම දියණියගේ පරණ අල්මාරිය තුලට තල්ලු කළා ය.

ඉන් පසුව සිදුවුයේ හැමදාම සිදුවන දෑ ය. කිසිවක් නොවූ පරිදි සිටීමට සුබෝධා උත්සහ කළා ය. බහුතරයක් ලෙස ඈ එහිදී සාර්ථක ද වුවා ය. එහෙත් ඈට තම සැමියා ගැන මීට හෝරාවකට කලින් මෙන් සිතන්නට නොහැකි විය. එක මොහොතකින් ජීවිත කාලයක දෑ ප්‍රශ්නය නගන්නට ඈට සිදුවී ඇත. ඈට ඈ ගැනම ඇතිවූ ආත්ම අනුකම්පාවකින් පෙලී ඉක්මනටම ඇඳට වැදුනා ය. එහෙත් ඇය කරා ආ නින්දට නිර්මලාගේ අත් අකුරු වලින් පහුරු කෑම් බාධා සිදුවිය. තම මදුසමය දා සුමනේ තමා සමග රාජකාරියකට මෙන් කායිකව එක්වූ සැටි සිහියට නැංවී සුබෝධාට හැඬුම් ආවා ය.

"සුබෝ, මට ඔයාව බඳින්න කලින් කෙල්ලෙක් හිටියා. ඒත් දැන් ඒක ඉවරයි. මාව තේරුම් ගන්න, මේ අපි දෙන්නගේ කාලේ ඉස්සරහටත් එහෙමයි. මම පොරොන්දු වෙන්නම්." යැයි සුමනේ මීට අවුරුදු තිහකට ප්‍රථමයෙන් කිව්වනම් සුබෝධා එය කල් ගතවී හෝ බාර ගන්නා බව සුබෝධා දැන සිටියා ය. එසේ වූවා නම් තත්වය මීට බොහෝ සෙයින් වෙනස් වෙයි. එවිට සුබෝධා කරන්නේ ඒ කතාවට තිත තබා සුමනේ සමග ජීවිතය අලුතින් පටන් ගැනීම යි. එහෙත් ඒසේ වුයේ නැත, සුමනේ නිරමලා ගැන කීවේ නැත. විවාහ වූ පසු කලින් පෙම්වතිය සමග ලිපි හුවමාරු කරගත්තා කියා හැඟෙව්වේ ද නැත. වංචාකාරයා සුමනේ බව සැබෑ වුවත් සුබෝධාද වරදකාරී බවකින් මිරිකී සිටියා ය.

පසු දිනයේ සුමනේ තමාගේ සුපුරුදු කඩපිල් සංචාරයේ යෙදෙද්දී සුබෝධා ලිපි එකතුව යලිත් තමා අතට ගත්තා ය. නැවැත්වූ තැනින් නැවත කියවීම ආරම්බ කල ඈ ලියා ඇති ඕනෑම දෙයකට ඔරොත්තු දීමට තම මනස සුදානම් කර ගත්තා ය. එහෙත් එසේ බිය විය යුතු කිසිවක් ඒවායේ වුයේ නැත. එක ලිපියක නිර්මලා සුමනේව හමුවීමට අවශ්‍ය බව කියා සිටියත් ඊළඟ ලිපියෙන් සුමනේ එය ප්‍රතික්ෂේප කර ඇති බව පසක් වීමෙන් සුබෝධා සුසුමක් හෙළුවා ය. අවසන් ලිපිය වන තෙක් ඈ ඇය එය කියා විය යුතුද නැතිද යන උභතෝකෝටිකයකින් ඇය පීඩා වින්දාය.
දැන් ඔයා මට ලියන එකත් නතර කරලා. මම දන්නවා සුබෝධා ඔයාට හොඳ ඇති ආදරෙත් ඇති. සමහරවිට මටත් වඩා. ඔයා මාව දාල ගිය එකට තරහ නෑ සුමනේ. සුබෝධව දාලා මා ගාවට එන්න කියල මම කියන්නේ නෑ. ඇත්තටම මම මෙහෙම මම ලියන්නේ ඇයි කියලත් මම දන්නේ නෑ. මම දන්නේ මම ඔයාට ආදරෙයි කියල විතරයි සුමනේ. එදත් අදත් හෙටත් හැමදාටමත් එහෙමයි. මාව අමතක කරන්නා එපා. ඒත් සමහර විට ඒක ඔයා දැනටමත් කරල ඇති. කමක් නෑ සුමනේ මට තේරුම් ගන්න පුළුවන්. සුබ ගමන්. මම ඇත්තටමයි කියන්නේ, ඔයාට සුබ ගමන්. මේ මගේ අන්තිම ලියුම. මීට පස්සේ මගෙන් ඔයාට කරදරයක් නෑ. පුලුවන්නම් සුබෝධටත් මටවගේම ආදරේ කරන්න. ඔයාට මගේ සුබ පැතුම්. 
මීට,
ඔයාගේ නොවන නිර්මලා.
පළමු වතාවට සුබෝධාට නිර්මලා කෙරෙහි අනුකම්පාවක් ඇති විය. නිර්මලා වෙනුවට ඇය එතන සිටියානම් ඇයද මීට නොවෙනස් ලෙස ක්‍රියාකරන්නට ඇති ඉඩ කඩ වැඩි බව ඇයට පසක් විය. එක අතකින් ඇය හා නිර්මලා එකම කාසියේ පැත්ත වෙයි. වෙනස සුබෝධා වැඩි වාර ගණනක් ජයග්‍රහණය කිරීමයි. පරාජිතයාගේ සිතුම්  ගැන ඇයට ජීවිතයේ පළමු වරට අදහසක් ආවා ය. දෙවැනියා කිසිඳු අත්දැකීමක් නැති ඈට මෙතෙක් කලක් තමන් දෙවැනියෙක් ව සිට ඇති බව ද පසක් විය. පුදුමයකට මෙන් ඇය කෝපයට පත් වුයේ නැත. වටහාගත නොහැකි පරිදි ඇය ඒ ගැන තෘප්තියට පත් ව සිටියා ය.

මේ සියල්ල අතරේ සුමනේ සිටින්නේ කොතනද දැයි ඇයට සිතා ගැනීමට කල් වැය කරන්නට සිදු විනි. අතීතය මතක් කරද්දී පළමුව සිහියට නැගෙන මතක ගණනාවකින් සුබෝධා නැහැවී සිටිද්දී, දියණිය උපත ලද දා සුමනේ කුඩා බිලිඳා වඩා ගත් සැටි, පළමු වරට තම පුතු තාත්ත කියූ විට සුමනේගේ ඇස් තෙත් වූ අයුරු මතක් වී ඇයට නැවතත් හැඬුම් ආවා ය. ඇය නැවතත් ලිපි  බිස්කට් පෙට්ටියට දමා පියනෙන්ද වසා දැම්මා ය.

ඉන් පසුව ඈ කලේ එම පෙට්ටිය සාලයේ වූ මිටි මේසය මත තැබීම යි. සුමනේ මෙය දුටු විට කුමක් කර යි දැයි ඇය නොදත්ත්ද තමන් සුමනේගේ අතීතය ගැන දැන ගත බව හැඟවීමට සුබෝධාට ඕනෑ විය.තම සංචාරය නිමාකර පැමිණි සුමනසිංහට බිස්කට් පෙට්ටිය ඇස ගැටිණි. එය කුමක් දැ යි, කෙසේ මෙතනට පැමිණියේ දැ යි තේරුම් ගැනීමට මොහොතක් වැය කළ ඔහු එතැනම ගල් ගැසුනේ ය. සුබෝධා පසෙකින් වී ඔහු දෙසා බලා සිටියා ය.

"අපි ඒ ටික පුච්චලා දාමු." සුමනසිංහ ටිකකින් කීවේ ය.

ඒ සුබෝධා බලාපොරොත්තු වූ පිළිතුර නොවේ. කලබල වී ඝෝෂා කරන්නට නැතිනම් දිගින් දිගටම ඇගෙන් සමාව ඉල්ලන්නට සුමනේ සුදානම් වනු ඇති ඇය සිතුවා ය. එහෙත් ඇය එම ප්‍රතිචාරය පිළිගත්තා ය. ජීවිතේ සැටි එලෙස ය. දෙදෙනෙකු ගේ සතුට වෙනුවෙන් එක කෙනෙකුගේ සිත වෙනස් කරන්නට සිදුවේ. තුන්වැනි යෝජනාවකට දෙදෙනාටම එකඟ වන්නට සිදුවේ. තම හිස වැනු ඇය, පිලිස්සනු වස් ගෙනිපෙට්ටියක් සෙවීමට යොමු වුවා ය.

17 comments:

  1. ලියවිල්ල අපූරුයි හිරණ්‍ය, එක හුස්මට කියෙව්වා. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔබටත් ජය!

      Delete
  2. ලස්සන ලියවිල්ලක්...

    ReplyDelete
  3. ප්‍රොෆයිල් ෆොටෝ එක දැකලා හිනත් ගියා... මං මේ වයිට් කොලර් සීරීස් එක දාගෙන වැඩ කරන ගමන්... හි හි...

    දෙදෙනෙකුගේ සතුට වෙනුවෙන් නෙවෙයි මං හිතන්නෙ... පස්දෙනෙක්ගෙ... අන්තිමට හැමදාම ඔය ටික තමයි වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. හෙහේ, මට බලන්න ලැබුනේ එක season එකක් විතරයි. මේ දවස් වල බලන්නේ American Horror Story.

      හැමදාම මෙහෙම නොවී ඕනේ නම් වෙනස් කරගන්න හැකියාව තියෙන්නෙත් අපිට ම යි.

      Delete
  4. මං හිතුවෙ වලියක් යයි කියල හරි නැත්තං දෙන්නා අවසානෙ උනුසුම් හාදුවක් හරි හුවමාරු කරගනී කියලා හරි..
    සික් දෙකම නැහැ.. ආතල් මදි..

    ReplyDelete
    Replies
    1. උඹ බලාපොරොත්තු නොවිච්ච අවසානයක් හිරණ්‍ය දීලා.. එහෙනම් මට අනූව හිරණ්‍ය සාර්ථකයි!

      Delete
    2. හැමවෙලේම අපි බලාපොරොත්තු වන දේම වෙන්නේ නෑනේ නේද? එක විදිහකින් මේ කතාවෙන් කියන්නෙත් ඒකනේ.

      Delete
    3. @පූසා; ඔය පූසාගේ සාර්ථකත්වය මනින දර්ශකයද? එල එල. :D

      Delete
  5. ඇත්තටම කාලෙකට පස්සෙ රසවිදපු හොදම කෙටි කතාවක්. සුභ පැතුම් හිරණ්ය.

    ReplyDelete
  6. උඹේ අදහස් ගැන පොඩි හරි අවබෝදයක් තියෙන හින්දද මන්ද නිර්මලාගෙ පළවෙනි ලියුමෙදිම හිතුන අවසානය මෙහෙම වෙයි කියල... උඹේ ඉස්සර කතාත් එක්ක බලද්දි මට නම් මේක මදි යාළුවා... :)

    ReplyDelete
    Replies
    1. උඹ බලාපොරොත්තු නොවෙන අවසානයක් දෙන්න නම් අමාරුවෙ යි. බලමුකෝ...

      Delete
  7. දැනෙන්න ලියලා වගේ අයියා. :)
    මගේ නම් අදහස හැමදෙයක්ම අකුරක් නැර කියන්න ඔනේ. පහු වේලා දැනගෙන දුක් වෙන්න, රණ්ඩු වෙන්න, පසුතැවිලි වෙන්න වෙනවට වඩා ඒක ලෙසි පහසුයි.
    කලින්ම කිවුවාම දරාගන්න පුළුවන්නම් දිගටම ඉන්නවා. නැත්තන් යන්න පුළුවන්.
    හ්ම්ම් නැද්ද මං අහන්නේ? :)))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි. :)

      එහෙම වුනානම් හොඳයි තම යි. ඒත් එහෙම නොවුනොත්? ඇත්ත කාලෙකට පස්සේ එලිවුනොත් එතකොට කොහොමද ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? ඒ ගැන තමයි මේ කතාව.

      Delete
  8. මම මේ බ්ලොග් එකේ එකදිගට කියෝන හතරවෙනි සටහන. අදමයි බ්ලොග් එකට ආවේ. කලින් තුන වගේම මේකත් සුපිරි.

    ReplyDelete