Tuesday, January 29, 2013

(බ්ලොග් අවකාශය තුල) කිසිවක් බලාපොරොත්තු නොවන්න


බ්ලොග් එකට මාස දෙකකින් විතර ලියල නෑ කියල මතක් වුණා. ඒ එක්කම මම ලියන ඒවා කියවන්න පාඨකයන් බලන් ඉන්නවා කියන දේත්. අඩුම තරමින් මම මගෙන් බලාපොරොත්තු වුණා මම මොනවා හරි ලියයි කියල. ලියවුනේ නෑ, වැඩ ගොඩක් තිබුනත් උවමනාවක් තිබුණ නම් වෙලාව හොයාගන්න අමාරු නැහැ. එතකොට මට බ්ලොග් ගැන දැන් කැමැත්තක් උවමනාවක් නැද්ද කියන ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් නෑ.

මම මේ බ්ලොග් එක අත්හැරලා දාන්න හිතුවා. මේක ලියන්න පටන් ගනිද්දී ලියන්න උවමනා වුනු දේ සමහරක් ලියුවා, සමහර දේ ලියුවේ නෑ. ඒත් ප්‍රධාන තේමාව වුණු සමානාත්මතාව, ආදරය, පිළිගනිම, සහෝදරත්වය, මෛත්‍රිය හැම ලිපියක් ගානෙම හැම වචනයක් ගානෙම ඔබ්බවන්න උත්සහ කළා. ඒ හින්ද ලියනවා නම් ලියන්න තියෙන්නේ එකම දේ, වචන වලින් විතරයි වෙනස. මම කියපු දේ එක අයෙකුට වත් අනුභාශයක් ලබන්න තරම් වුණා නම් මට සතුටක්, ඒත් ඒ බව මනින්න මිමි නැති හින්ද දැන ගන්න වෙන්නේ නැ. මිනිස්සුන්ට අදහස් සම්ප්‍රේෂණය ඉතාම අමාරුයි. හැමදේම සාපේක්ෂ නිසා, මම අදහස් කරන දෙයට හාත්පසින් ම විරුද්ධ දෙයක් වුණත් කියවන්නෙක් මා කියූ දෙයක් හැටියට වටහා ගන්න පුළුවන්. ලිවීම අභියෝගයක් වන්නේ ඒ හින්ද.

නැහැ මම ලියන එක අත්හරින්නේ නෑ, බ්ලොග් එක වහලා දාන්නෙත් නෑ. සමහර විට ආයේ වැඩිකල් නොගිහින් ම ලියන්නත් ඉඩ තියනවා. වෙනස මගේ ස්වභාවය හින්ද, වෙනස් විදිහකින් නැවතත් ලියනවා කියන එකේ තේරුමක් නෑ. වෙනසේ අන්තය මොකද්ද? පරිපුර්ණ වෙනස; වෙනස් නොවීම. අනිත්‍ය යමක් තුල අනිත්‍ය ස්වභාවය තුල වෙනසක් සෙවීමේ තේරුමක් නැහැ. හැම දෙයක් තුලම ඇත්තේ වෙනස නිසා. අනිත්‍ය තුල නිත්‍ය වීම තමයි වෙනස. නිවන.

බ්ලොග් ලිවීම තුලින් එන්නට හැකි වූ සිංහල බ්ලොග් අවකාශය ගැන නිගමන කිහිපයක් මේ,
  • බ්ලොග් තුල වන තර්ක කිරීම් වලින් කිසි වෙකුට වෙන සෙතක් නෑ. පාර්ශවයන් දෙක තමන් දිනන්න උත්සහ ගන්නවා මිසක් අනෙක් කෙනා කියන දේ වටහා ගන්න උත්සහ කරන්නේ වත් නෑ. අදහස් වලින් සිංහල බ්ලොග් එකතැන පල්වෙන්න එක හේතුවක් ඒ.
  • සමහරු බ්ලොග් ලියන්නෙකු ලියන්නියකගේ පෞද්ගලිකත්වයට නැත්තම් පෞද්ගලික අදහස් දැරීමේ අයිතියට ගරු කරන්නේ නෑ.
  • කලින් කිව්වා වගේ ලිපිවල ඇති දේ වටහා ගැනීමේ දෝෂ. මේකට ලියන්නාගේ අඩුපාඩු බලපාන්නත් පුළුවන්. කොහොම වුනත් ඉතා පැහැදිලි ලිපිත් වෙතත් අදාල නැති අදහස් එකතු නොවෙන්නේ නෑ.
  • සිංහල බ්ලොග් ලියන්නන් බ්ලොග් ලියන්නේ අන්තර්ජාලය හරහා වුණත් සමහර විට අන්තර්ජාල සාක්ෂරතාව අඩුයි නැත්තම් අතර්ජාලය ලැබිය හැකි දැනුම ගැන උනන්දු නැහැ. නොදන්නා දෙයක් දන ගැනීමට බොහෝ දෙනා බවිත කරන ලෙහෙසි හා පහසු විකිපීඩියා පාවිච්චිය බ්ලොග් ලියන්නන්ගේ අඩු බව ලියන ලිපිවලින් බලාගන්න පුළුවන්. නව දැනුමට ඉඩක් නැහැ නැත්තම් උවමනාවක් නැහැ.
  • බ්ලොග් ලියන්නන් බොහෝවිට ඍණාත්මක යි. වැරදි අඩුපාඩු මකාගෙන ඉදිරියට යාමේ උනන්දුව අඩුයි.
  • බොහෝ දෙනෙක්ට තමන්ටම කියා වෙන්කර පෙන්විය හැකි අනන්‍යතාවක් නැහැ.
තවත් ලියන් යන්න පුළුවන්. ඒත් ඕනේ නෑ, ඉතිරි වෙන්නේ අඩුපාඩු ගොඩක්. අර ඍණාත්මක බ්ලොග් කරුවන් අතරට මමත් අයිතිද මන්ද. කොහොම වුණත් උඩින් දක්වපු නිගමන සිංහල බ්ලොග් රචකයන්ගේ ලක්ෂණ විතරක් නෙමෙයි, ලංකාවේ අපි හැමෝගෙම ඒත් නැත්තම් මනුෂ්‍ය වර්ගයාගේම අඩු හෝ වැඩි වශයෙන් ස්වභාවය හැටියට පෙනෙන්නත් පුළුවන්.

මගේ බ්ලොග් ලිවීම ගැන මට බලාපොරොත්තු වෙන්න බැහැ. ඒනිසා ඔබ බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබේ බලාපොරොත්තු ගැන ඔබට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? උත්තරේ ඔව් නම් හොඳයි. ඒත් හැමෝටම හැමවිටම 'ඔව්' උත්තර ලැබෙන්නේ නෑ. කිසිවක් බලාපොරොත්තු නොවීම පහසු වන්නේ ඒ නිසා. එහෙනම් ගිහින් එන්නම්, එතකම් සුබ පැතුම්.

22 comments:

  1. උඹ විස්වාස කලත් නොකලත් ඊයෙ වැඩ ඇරිල යන ගමන් කල්පනා කලේ උඹට ඊමේල් එකක්වත් දාල මොකද වුනේ බලන්න ඕන කියල... ඒත් මගේ මතකයෙ හොඳ කමට ගෙදරට යනකොට ඒ අදහස අමතක වෙලා උඹේ පෝස්ටුව දැක්කහම තමා මතක් වුනේ...

    ඇත්තටම මමත් කිසි සද්දයක් නැතුව බ්ලොග් එක අතඇරල දාල ඉන්නෙ... එහෙම එකේ දිගටම ලියපන් කියන්නෙ නෑ... :)

    උඹත් නතර වෙනවනම් බ්ලොග් අවකාශය කියන එකේ මට කියවන්න ලැබුන හොඳම බ්ලොග් දෙක තවදුරටත් ලියවෙන්නෙ නෑ කියල තමා හිතන්න වෙන්නෙ (රමීෂාත් ලිවීම අතඇරල දන්න තරමින්)...

    එහෙමනම් මිත්‍රයා ආපහු එනකම් සියළු බලාපොරොත්තු අරමුණු ඉටුවෙන අනාගතයකට සුභ පැතුම්!...

    (ඊමේල් එක කැන්සල් නොකර තියාගනිං... එහෙම කරනව නම් මොකක් හරි කන්ටෑක්ට් ඩීටේල් එකක් එවල හිටපන්)

    ReplyDelete
    Replies
    1. නෑ, උඹව විශ්වාස කරන්න අමාරු නෑ. එහෙම වෙන්න ඇති. ඊ මේල් කැන්සල් කරලා නෑ. මට මේල් කරපන්. උඹටත් ඒ විදිහටම සුබ පැතුම්.

      Delete
  2. මම නම් බ්ලොගේ ලියන්නේ මට ඕන කරන දේවල්. හිතේ තියෙන දේවල් ලියල දානකොට රැකෙනවා. මගේ ඒවා පර්යේෂණ වල ඵල තමයි. අපි දිනපොත් ලියන ජාතියක් නොවීම නිසා වැදගත් දේ පවා අමතක වුනොත් ඉවරයි. මට හරියට අවබෝධයක් ගන්න කියවන්න බැරි වුනත් විරල සිතුවිලි තිබෙන එක අගයමි.

    ReplyDelete
  3. මමත් දැන් ලියන නොලියන ගානයි. හැබැයි බ්ලොග් එක තියෙනවා. ඒකෙන් ගන්න එකම වැඩේ ඔලුවෙ තියාගෙන ඉන්න අමාරු දෙයක් ආවොත් ගෙනත් අතහැරල දාන යන එක. ඒකෙන් අඩුගානෙ ඔලුව හරි නිදහස්වෙනවා.

    ReplyDelete
    Replies
    1. හිතාගෙන ආපු එක කියන්න අමතකවුනා. මේ මාතෘකාව.......... ඔක තමා බ්ලොග් ලියන එකෙකුට/එකියකට දෙන්න තියෙන හොඳම උපදේශය.

      Delete
    2. බලමු, වෙන අයට කෙසේ වෙතත් මට මගේ අවවාදය පිළිපදින්න පුළුවන් වේවිද කියල.

      Delete
  4. එක දෙයක් හැරෙන්න අනික් හැම දේකටම සෑහෙන්න එකගයි!
    "බ්ලොග් තුල වන තර්ක කිරීම් වලින් කිසි වෙකුට වෙන සෙතක් නෑ. පාර්ශවයන් දෙක තමන් දිනන්න උත්සහ ගන්නවා මිසක් අනෙක් කෙනා කියන දේ වටහා ගන්න උත්සහ කරන්නේ වත් නෑ. අදහස් වලින් සිංහල බ්ලොග් එකතැන පල්වෙන්න එක හේතුවක් ඒ."

    අදහස් වලින් සිංහල බ්ලොග් පල්වෙනවා වෙන්න පුළුවන්. නමුත් බ්ලොග් තුල වෙන තර්ක වලින් කිසි කෙනෙකුට සෙතක් වෙන්නේ නෑ කියන එක මට පිළිගන්න පුළුවන් කමක් නෑ. හේතුව, මම මේ වෙනකොට දරන අදහස් ආකල්ප බොහොමයක් මීට අවුරුදු කීපයකට කලින් මං දැරුව අදහස් ආකල්ප වලට වඩා හාත්පසින්ම වෙනස්. ඒ වෙනසට හේතු උනේ මේ සිංහල බ්ලොග් කියන එක මම ඕන තැනක කියනවා. ආගම ගැන මිත්‍යා විශ්වාස ගැන දේශපාලයන ගැන සමාජය ගැන මේ බ්ලොග් වල ඕන තරම් තර්ක ඇති වෙලා තියෙනවා. අන්න ඒ තර්ක කිරීම් වලට සහභාගී වෙලා හෝ පැත්තකට වෙලා බලාගෙන ඉඳලා තමයි මේ අද මම ඉන්න තැනට මගේ අදහස් ආකල්ප වෙනස් උනේ.

    පොඩි අවුලකට මම දකින්නේ එදා බොහොම හරවත් සංවාද ගොඩ නැගුනු බ්ලොග් බොහොමයක් දැන් නෑ. එහෙමත් නැත්තම් ඒ ලේඛකයන් ලියන්නේ නෑ. තවත් ලේඛකයන් දැන් ඒ මාතෘකා ගැන කතා කරන්නේ නෑ. අද වෙනකොට මම දකින තව දෙයක් තමයි සිංහල බ්ලොග් කණ්ඩායම් ඇති වෙලා. ඒ ඒ බ්ලොග් වලට ඒ ඒ කණ්ඩායම් විතරයි යන්නේ. ඔක්කොම තියෙන්නේ එකම අදහස්. ඒ වගේ තැනක විරුද්ධ අදහසක් දක්වන්න බැරි තත්වයක් තියෙන්නේ.

    "බ්ලොග් ලියන්නන් බොහෝවිට ඍණාත්මක යි. වැරදි අඩුපාඩු මකාගෙන ඉදිරියට යාමේ උනන්දුව අඩුයි."
    100%ක් එකගයි. වැරදි තැන් පෙන්නලා දෙන්න ගිහින් මං කීප සැරයක්ම බැණුම් ඇහුවත් එක්ක! :D

    අන්තිමට, ඔබේ බ්ලොග් එක ලිවීම හෝ නොලිවීම ඔබේ තීරණයක්. ඔබ ලිව්වත් නොලිව්වත් පාඨකයින් පිරිසක් සතුටු වේවි. පිරිසක් දුක් වේවි!

    ReplyDelete
    Replies
    1. පූසා සමඟ එකඟයි. බ්ලොග් කියලා විශේෂත්වයක් නෑ. මෙතනත් හැමෝම නියෝජනය කරණවා, බුකියේ වගේ මල් කඩන් අයත් ඉන්නවා, මැද මාවතේ අයත් ඉන්නවා, බොළඳ අයත් ඉන්නවා, උගත් අයත් ඉන්නවා, නූගත් අයත් ඉන්නවා, හැමෝම ඉන්නවා. එහෙමනම් මිනිස්සු පත්තර බලන එකත්, ලියන එකත් නවත්වයි, මුළු පත්තරේම දැණුම ලබා ගන්න ඕනම නම් පිටුවක් තියෙයි. ඉතිරි ඒවා මිනිමැරුම්, රේප් කේස්, පාතාල, ජෝතිෂ, හොල්මන්, එහෙම කියාලා පත්තර බලන්නෙ නැතුව ඉන්නෙ නෑනේ. ඕන දේ ගන්නවා, අන්වශ්‍ය දේ බැහැර කරනවා. මම හිතන්නෙ බ්ලොග් කලාව කිසිම කෙනෙක් තවමත් නියමාකාරයෙන් තේරුම් අරගෙන නෑ. මේක පුද්ගල නිදහස ඉහලින්ම තියෙන තැනක්. ලියන කෙනා කැමති දෙයක් ලියනවා. විවේචනයට හැමෝටම ඉඩ තියෙනවා. මම ඇනෝලා බ්ලොක් කරලා නැත්තේ ඒ නිසයි. හරවත් දේ ලියන අය අදටත් ඉන්නවා. මේ තර්කයත් ලංකාවට ආවේනික තර්කයක්. එදා තමයි පොරවල් උන්නේ, එදා තමයි කොර, අද පොරවල් නෑ, පට්ට පල් කියන තර්කේ ඕක හැම තැනම කරන දෙයක්. එහෙම නෙමෙයි, වෙනස් වෙවි ඉදිරියට යන එකයි හොඳම දේ. එක පරපුරක දේ අනික් පරපුර හෙලාදකින්නේ නැතුව, ඒ අය වැළඳ ගන්න එකයි කල යුත්තේ. පූසා කිව්වා වගේ මගේ දැණුම පුළුල් කරන්න පොත පත් වගේම. මනුස්සයෙක් කරන්න රාවය පුවත්පත ඉවහල් වූ බව මම ඕනෑම තැනක බය නැතුව කියනවා. අදටත් හරවත් යමක් තියෙන පුවත් පතක් නම් ඒ රාවය පුවත් පත පමණයි.

      Delete
    2. ඔව්, කිසිවෙකුට සෙතක් නෑ කියන එක සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. මමත් ඔබ කියන විදිහටම දෙපාර්ශ්ව වලින් එන අදහස් වලින් දේ දැනගත් අයෙක්. මෙතැනදී අදහස් කළේ එහෙම තර්ක කිරීම් පාර්ශව දෙකෙන් කිසිවෙක් අවසන් නිගමනයකට ඇවිත් නැහැ, බොහෝවිට වෙන එකකුත් නෑ කියන්න. මතවාද දෙකකින් එකක් අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ නැහැ. ඒ වුණත් සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් එකම අවස්ථාවක නිවැරදි වෙන්න බොහෝ විට ඉඩක් නැහැනේ. එය දිහා පිටතින් බලන්නාට විවිධ අදහස් දැනගන්න පුළුවන්, එච්චරයි. වැරදි නිවැරදි බව හොයාගත යුත්තේ තමන් ම යි.

      Delete
  5. ඕක මහලොකු දෙයක් නෙවෙයි. කොහොමත් රටේ ලෝකේ ඇත්තට වෙන දේවල් සත පහක තරම්වත් වෙනස් කරන්න බිලොග්වලටවත් වෙන සමාජ ජාල වලටවත් ලංකාවෙදි බැරි තරම්. මොකද ලංකාවෙ මිනිස්සු හැමෝම හිතන්නෙ මම හරි, අනිත් උන් මම අනුව වෙනස් වෙන්න ඕන කියල (මාත් යම් තරමකට එහෙමයි. හැබැයි සාධාරණ සාක්ෂි එක්ක ඕන වෙලාවක වෙනසට සූදානම්) ‍'වෙනස් වුණොත් සල්ලි තමයි' කියල කැම්පේන් එකක්වත් දැම්මොත්නං ඕං හා කියල වෙනස් වෙයි මිනිස්සු. උන් වෙනුවෙන් ඉරාගෙන ලියල වැඩක් නෑ තමයි. ඒ වුණාට මිනිහෙක්ට ලියන්න හිතෙන දේවල් ටිකක් තියෙනවා. ඒව අනිත් උන්ට වැඩක් ඇතිව හෝ නැතිව ඔහේ ලියනවා. නැතිව වෙන කරන්න දේකුත් නැති නිසා.

    ඔන්න ඔහේ හිතෙන කාලෙක ආයෙ ලියපං. එකතං ඉන්ටනෙට් එකෙන් වෙන විනෝදයක් ගනිං. නැතුව මේක අස්සෙ මොන විප්ලවද? ;-)

    ReplyDelete
    Replies
    1. //ඔන්න ඔහේ හිතෙන කාලෙක ආයෙ ලියපං. එකතං ඉන්ටනෙට් එකෙන් වෙන විනෝදයක් ගනිං.//
      මේක තමයි ප්ලෑන් එක. :D

      Delete
  6. මම ඒත් කල්පනා කලා හිරණ්‍ය පේන්ට නැත්තේ මොකද කියලා.:)

    කියලා තියන කරුණු ගොඩක් ඇත්තයි. ඒත් ඉතින් බ්ලොග් නොලියා ඉඳීමෙන් ඔය කිසිදෙයක් වෙනස් වෙන්නේ නෑ වෙන්නේ ඔයාගේ බ්ලොග් එක කියවන අයට හීනි දුකක් ඇතිවෙන එක විතරයි.

    මේ බ්ලොග් එක වෙනස්ම එකක්. කියවන්ට හිතෙන බ්ලොග් අතුරින් එකක්. ඒ නිසා ලියන එක නවත්තන්ට එපා.

    බලාපොරොත්තු නැති තැන ජීවිතයක් නෑ හිරණ්‍ය...

    ReplyDelete
    Replies
    1. ප්‍රශංසාවට ස්තුතියි. ඒත් දුක් වෙන්න එපා කුමාරිහාමි. බ්ලොග් නොලිව්වට බ්ලොග් කියවන්න බැරි වෙන එකක් නැහැ. වලව්වට ඇවිත් යන්න පුළුවන් වේවි. ගැලපෙන තැනකදී කවියක් වුණත් ලියල කමෙන්ට් කරන්න හැකි වේවි. :)

      බලාපොරොත්තු තියාගන්න එපා කිව්වේ හැම වෙලාවේම බලාපොරොත්තු ඉටු වෙන්නේ නැති හින්ද. ඕනෙම දෙයක් එන හැටියට බාරගන්න පුළුවන් හින්ද. එතකොට හිත් රිදීම් අඩුයි.

      Delete
  7. අපිට ජනප්‍රිය මාධ්‍ය මගින් සැමවිටම ලැබෙන්නේ වෙළඳපොල වෙත හිතකර වෙන දැන්වීම් ගොඩක් විතරයි...වෙළඳපොල ගැන හිතන්නෙ නැතුව අපිට හිතෙන දේ ලියන්න පුලුවන් වෙන්නෙ අන්තර්ජාල අඩවි වල විතරයි...
    පත්තරේක නං පත්තර අයිතිකාරයා අනුව අපිට හැඩගැසෙන්න වෙනවා මෙතන එහෙම එකක් නැහැ...ඕනි විදියක ඕනි දෙයක් කරන්න පුලුවන් හැකියාව තියෙනවා.. නමුත් ඒ නිදහස නිසියාකාරයෙන් ප්‍රයෝජනයට ගන්නෙ නැහැ...ඒක නිර්මාණශීලිව භුක්තිවිඳින්න පෙළබෙන්නෙ නැහැ...
    ඉතිං අපිට හැකිනම් අපේ සාර්ථක අදහස් වලිං අංශු මාත්‍රයක් හරි අනික් මිනිසකුට ලබාදෙන්න ඒක හොද වැඩක්..

    ReplyDelete
    Replies
    1. //ඉතිං අපිට හැකිනම් අපේ සාර්ථක අදහස් වලිං අංශු මාත්‍රයක් හරි අනික් මිනිසකුට ලබාදෙන්න ඒක හොද වැඩක්.//

      ඔව්, එකඟයි. අන්තරජාලය නිදහස් නිසා අපේ අදහස් වල සාර්ථක අසාර්ථක බවය තීරණය කරන්න පුළුවන් පාඨකයා ට. එයින් යමක් ගැනීම හෝ නොගැනීම ඔවුන්ගේ වැඩක්. ඒකයි බ්ලොග් ලියන්නන් හැටියට අපිට කිසිත් බලාපොරොත්තු විය නොහැක්කේ. ජනප්‍රිය මාධ්‍යයක් නොවන නිසා කළ හැකි බලපෑම සීමිත යි.

      Delete
  8. හිරන්‍යගේ කතා වලින් ගොඩකට එකගයි .ඒ වගේම අපි දෙන්න අතර
    ඇති උන ආරෝවත් මතකයි .එදා ඔබ කියපු දේවලුයි එතන , අද මෙතන
    කියන දේවලුයි සමහර දේවල් ගැලපෙන්නෙත් නැහැ .

    ( කමක් නැහැ , ඕනේ නැහැ ) ඔතන තමන්ගේ මතය දැරීම කියන දේ නම්
    සම්පූර්ණ හරි .( ඒක ඔබත් කරනවා ) අනික් මිනිහ කියන දේ හරි වැරැද්ද නෙවේ
    හිතන්නේ තමන්ගේ මතේ කොහොමද ඔබන්නේ කියන දේ විතරයි..

    මේ වන තෙක් එහෙම නිහතමානී කෙනෙක් දැකලත් නැහැ මාත් .අනේ මන්ද වැඩි දුර
    මන් පෝස්ට් එහෙකිම්ම දැන්නම්..සරලවම ඉතින් ඔබ කියපු කාරණා වලට එකග වෙලා
    නිහඩ වෙනවා ...

    ReplyDelete
    Replies
    1. ඔබ එක්ක අරෝවක් ඇති වුණා? මට මතක නැහැ. අමතක අරෝව වුණු හේතුව වැදගත් නොවන නිසා වෙන්න ඕනේ. ඔබත් එය අමතක කරන්න.

      Delete
  9. මාතෘකාවේ තිබුණු අමුතු බව නිසා ඇවිත් බලන්න හිතුන. මම නම් අදමයි මේ බ්ලොග් එකට අවේ. මේකේ අනිත් බ්ලොග් වලට වඩා අමුතු විශේෂත්වයක් තියෙනවා. භාෂව හසුරුවන විදියේ අමුතු ලස්සනක් තියෙනවා.හරයක් නැති බොළඳ විහිළු වලින් පිරිච්ච බ්ලොග් වලට වඩා කියවන්න දෙයක් තියෙනව. කරුණාකර ලිවීම නතර කරන්න එපා.ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්, ප්‍රශංසාවට ස්තුතියි. ලිවීම නතර කරන්නේ නෑ. බ්ලොග් එකයි නතර කරන්නේ (සමහර විට තාවකාලිකව). මෙහෙට අලුත් නිසා මම කලින් ලියු දෑ කියවන්න පුළුවන්නේ.

      Delete
  10. විශ්වාස කරන්නෙ නැහැ...බ්ලොග් එක නතරකරයි කියල.....

    තේරුනේ නැතිවුනත් ගොඩක් දේවල් ඔයා කියන.....(චූටි නිසා වෙන්න ඇති) ඇත්තටම රසවින්ද.... අහම්බෙන් දවසක් හම්බවුන “පශ්චාත් වැලන්ටයින් වාතාවරණය“ පෝස්ට් එකේ ඉඳල නොකියවපු පෝස්ට් එකක් නැහැ....කමෙන්ට්ස් නොදැම්මට....සාතන් අයිය කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නෙ... ඔයා ඔය තීරණේ ගත්තොත්.... කියවන්න තියෙන හොඳම බ්ලොග් එකක් අපිට නැතිවෙයි....

    ප්ලීස් අයියේ......

    තේරුමක් නැතිවුනත්
    හරි හැටි නොතේරෙන
    ආසයි අතරමං වෙන්න...
    නොතේරෙන ඉමක
    අකුරින් හැඩ කල

    ReplyDelete
  11. උඹට දැනෙන දේ කරපන් හිරණ්‍ය. මම හිතනවා උඹ බ්ලොග් එකක් ලිව්වෙ මහා සමාජ විප්ලවයක් කිරීමේ පරම පවිත්‍ර චේතනාව ඇතිව නෙවෙයි කියලා. එහෙම හිතන එකම ගොන් කමක්. මම දන්න උඹ මේ බ්ලොග් එක ලියන්නෙ උඹ විශ්වාස කරනා යම් දෙයක් තවත් කිහිප දෙනෙක් එක්ක බෙදාගන්න අරමුණින්. "හෙට දිනයේ ලස්සන ලෝකයක්" කියන කන්සෙප්ට් එක උඹේ ඔලුවේ කැරකි කැරකි තියෙනවා කියන එකත් මම දන්නවා. කොහොම වුනත් මේ බ්ලොග් එක කියවන්න මෙතනට එන්නෙ උඹව දිරවන මිනිස්සු, උඹව තේරෙන මිනිස්සු. එතනදී එකඟ වීම් ඇති නැති වෙන්න පුලුවන්. ඒත් ආසාවක් නැති නම් මේව කියවන්න එන්නෙ නෑනෙ. අපි හැමෝම ඇත්ත ජීවිත වල පට්ට බිසී එවුන්. උඹ ලියපන් ඒ මිනිස්සුන් අතර මොනව හරි මතවාදීමය දියුණුවක් වෙනුවෙන්. මෙතනට එන තව බ්ලොග් ලියන එකෙක් උබේ අදහසක් තව දියුණු කරලා දෙයක් ලියයි. ඒ වෙනුවෙන් ලියපන්. ලස්සන ලෝකයක් කවද හරි හැදෙයි. එතකල් අපිට තේරෙන අපිට දැනෙන විදියට කාටවත් වාත නොවී අපි ජීවත් වෙමු.
    අනෙක් කියන්න ඕන කාරණා උඩ කියලා තියෙනවා, හරේෂ්, පූසා, මාතලන්. චාමි සහ සාතන්ටත් කියන්න තියෙන්නෙ මේ උඩ කියපු ටික තමයි.
    ස්තුතියි.

    ReplyDelete