Friday, March 22, 2013

සාක්ෂි I

චානක සිරිවර්ධන (රශ්මි රණසිංහගේ අසල්වැසි ලේඛක) ගේ සාක්ෂිය.

කාර් එකේ පිටිපස්සේ වම්පත්තේ දොර ඇරලයි තිබුණේ, සම්පූර්ණයෙන්ම නෙමෙයි තරමක්. කාගේද අතක් එළියට ඇවිත්. අතේ අයිතිකාරි (ගැහැණු අතක්, සිහින් සියුමැලි අතේ වළලු දෙකක් තිබුණා) හෙල්ලුනේ නෑ. අත එතනමයි. වාහනේ විදුරු කලුයි. ඇතුලින් එළිය මිසක් එළියේ ඉඳන් අතුල බලන්න අමාරුයි. මම ළඟට ගියේ හිමින් අඩි  තියමින්. ඒ මොකද කියල දන්නේ නෑ, ඉබේම එහෙම වුණා.

ළඟට යද්දිත් අත හෙල්ලුනේ නෑ. මම ළඟට ගිහින් දොර සම්පූර්ණයෙන්ම විවෘත කළා. ඇතුලේ හිටියේ මගේ අසල්වැසියා රශ්මි රණසිංහ. මම නම් එයාට කතා කළේ මිස් රශ්මි කියලා. එයා මට කතා කරන්න කිව්වෙත් එහෙමයි.

"මම රශ්මි. අපි දැන් නේබර්සලා. ඊයේ තමා බඩු ගෙනත් දාල අස්පස් කරගත්තේ." රශ්මි මට මුලින්ම මුණගැහුණු දවසේ කිව්වා. "දන්නේ නැද්ද, වටේ පිටේ ඉන්න අය අඳුනගන්න එක හොඳයිනේ."

මම ඔලුව වැනුවා. හිනාවුණා. ඊළඟට එයාට වාඩිවෙන්න කතා කළා. රශ්මි පස්සේ එන්නම් කියල ආපහු හැරුණා. මම හිතුවේ නිකම් ගැලවෙන්න කිව්ව බොරුවක් කියල, හැබැයි එයා ආවා, කිහිප වතාවක්ම. රශ්මි ලස්සනම කෙනෙක් නෙමෙයි. කැතත් නැහැ. සාමාන්‍ය පෙනුමක් තිබුණත් රශ්මිගේ අමුතු ආකර්ශනයක් තිබුණා. යන එන විදිහේ, බලන විදිහේ, කතාකරන විදිහේ වෙනසක් තිබුණා. දන්නේ නැද්ද නිකම් කාන්දමක් වගේ ගතියක්. ගිනි දැල්ලට ගිනිකණ වැටෙනවා වගේ. රශ්මිට ඒක ගැලපුනා; ගිනි සිළුව.

"මම පොත් ලියනවා." මම මොනවද කරන්නේ කියල රශ්මි ඇහුවහම මම උත්තර දුන්නා.

"හ්ම්. ලේඛකයෙක්." රශ්මි මගේ පොත් රාක්කය දිහා බලමින් හිටියා. මම හිතුවා කියවන්න පොතක් ඉල්ලයි කියල. ඒත් කියවන්න උවමනාවක් තිබුනේ නෑ. පොත් කියවනවට වඩා පොත් අතර ඉන්න රශ්මි කැමති වුණා .

"මොනවද ලියන්නේ?" එහෙම ඇහුවේ රශ්මි තවත් දවසක. ඇය ආවහම ලොකු වෙලාවක් ඉන්නේ නෑ. ඇවිත් මගෙන් ප්‍රශ්න අහන්න අමතක කරන්නේ නෑ. හැමදාම එක එක ප්‍රශ්න. මට අකමැති වෙන්න දෙයක් නෑ මගේ ලිවීම ගැන උනන්දු වෙන අයට මම කැමතියි. හැබැයි ඇය අහන ප්‍රශ්න වලට උත්තරයක් දුන්නත් නැතත් කමක් නෑ.  මම ලියපු මුල්පිටපත් බලන්න පුලුවන්ද කියලත් දවසක ඇහුවා. ඒ වෙලාවේ මා ළඟ තිබුණේ නෑ. මම ඒ බව කිව්වම රශ්මි ඇස් දෙක පුංචි කළා. මම කිව්වේ බොරු කියල හිතන්න ඇති.

"සාමාන්‍යයෙන් රහස් පරීක්ෂක කතා, මිනීමැරුම්, අපරාධ ගැන." රශ්මි පුටුවක වාඩිවෙලා කකුල් දෙකත් උඩට ගත්තා. "ඒ ඇරුනම කෙටි කතා දෙක තුනකුත් ලියල තියනවා."

"අන්තිමට වැරදිකාරය අල්ලගන්නවද? නැත්තම් පැනල යනවද? මම නම් කැමති අපරාධකාරයා පැනල යන ජාතියේ ඒවාට. නැත්තම් බෝරින්"

සිද්ධිය වෙන්න කලින් දවසේත් රශ්මි මාව මුණගැහෙන්න ආවා. මම වැඩ ගොඩක එරිලා හිටියේ. සති අන්ත පත්තර තුනකට මගේ කතා ඕනේ වෙලා තිබුණා. කතා පටලගන්නේ නැතුව ලියන්නත් ඕනෙනේ. ඒ අතරේ මම භාර දීපු එක කොටසකට කැමති නෑ කියන්න පත්තරේක සංස්කාරක මාත්‍ එක්ක ඇමතුමක. මිනිහට කතාව අකමැති වෙලා හින්ද නෙමේ, ඊළඟට වෙන්නේ මොකද්ද කියල දැනගන්න උවමනාව තිබුණේ.

"මම ඔයාගේ පොතක චරිතයක් වෙනවනම්.  අපරාධකාරයෙක්ද අහිංසකයෙක්ද?" හැමදේම අතරින් රශ්මි ඇහුවා. මම වාඩිවෙන්න කියල ඇයට අතින් සන් කළාට රශ්මි එහෙම කළේ නැතුව මගේ මෙසේ තියන කොළ කෑලි, මම කතාව කියන්න අරං බාගෙට ලියල හරි නැති හින්ද අයින් කරපුවා කියවන්න ගත්තා. ඒවායේ පිළිවෙලක් අගක් මුලක් නෑ. අනික රශ්මි කියෙව්වෙත් එහෙන් මෙහෙන්. ඒ වුණාට ඒවා කියවද්දී රශ්මිගේ ඇස් දිලිසුනා.

කටට ආපු බොරු වගයක් කියල මම කෝල් එක නැවැත්තුවා.

මම කල්පනා කළා. රශ්මි පොතකට හොඳ චරිතයක් වුණාට එහෙම චරිතයක් මම මීට කලින් නිර්මාණය කරලා තිබුණේ නෑ. මගේ චරිත බොහොම සාමාන්‍යය යි, සමහර වෙලාවට සෑහෙන්න නීරස යි. අමුතු චරිත මගේ කතාවලට එකතු කරන එක මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙන්න හේතුවක් විදිහටයි මම හිතුවේ.

"ඔය හිතන්නේ කොහොමද?" උත්තරයක් හිතාගන්න බැරි තැන මම ප්‍රශ්නයක්ම ඇහුවා.

"මම හිතන්නේ මම හරිද වැරදිද කියල හිතාගන්න කාටවත් බැරිවෙයි. මම සදහටම අභිරහසක් වෙයි." රශ්මි හිනාවුණා. ඇස් පුංචි කරලා කලින් මතක් වෙච්ච දේකට වගේ. ඊට පස්සේ එක පාරටම රශ්මි යන්න ගියා.

කොහොමහරි ආයේ මුලට ආවොත්. මම මගේ අලුත් පොතේ වැඩකට එඩිටර්ව හම්බවෙන්න ගියේ සිද්ධිය වෙන්න කලින් දවසේ. කතා කරන්න දේවල් සෑහෙන දේවල් තිබුණ හින්ද ගිය දවසෙම මට ගෙදර එන්න වුණේ නෑ. මට ඕනේ වුණේ ගෙදර ආපු හැටියෙම නාල තේ එකක් එහෙම බීලා නිදා ගන්න. ඒත් මම ගෙදර එද්දී ගේට්ටුව ඇරලා කවුරුහරි වාහනයක් දාල තිබුණා. කවුරුත් වටපිට පේන්න හිටියෙත් නෑ. කලින් කිව්වා වගේ මම වාහනේ ළඟට ගියේ කවුරුත් ඉන්නවද බලන්න.

ඔන්න ඉතින් මම කාර් එකේ දොර ඇරියා. ඇතුලේ හිටියේ රශ්මි. මුණ ඇතුළු පැත්තට වෙන විදිහට සීට් එක උඩ තියාගෙන හිටපු විදිහට මම මොහොතකට හිතුවේ රශ්මි නිදි කියල. ඒත් මහ දවල් මගේ මිදුලේ කාගේද කාර් එකක නිදාගන්න සිරිතක් නෑනේ. මම රශ්මිගේ උරහිසට තට්ටු කළා. එකපාරටම ඇගේ ඇඟ පණ නැතුව වගේ කඳ කඩන් වැටුණා. මම දෙතුන් පාරක්ම හය්යෙන් තට්ටු කළත් ඇය හෙල්ලුනේ වත් නෑ. ඇඟ තරමක් සීතල වෙලා තිබුනේ මම හිතන්නේ. මම ආයෙත් වට පිට බැලුවා. නෙබ්‍ර්සලා කවුරුවත් පේන්න හිටියේ නෑ. ඊට පස්සේ මම කර එකේ අනෙක් තැන් වලත් බැලුවා මොනවහරි තියනවද කියල. ලේ මොනවත් තිබුණේ නෑ. රශ්මිට එහා පැත්තෙන් එයාගේ බෑග් එක තිබුණා එච්චරයි. මම පොලිසියට කතා කළා. පොලිසිය එන්න විනාඩි විස්සකටත් වඩා ගියා. ඇවිත් ප්‍රශ්න ඇහුවා. හැම තැනම බැලුවා. මට පොලිසියට යන්නත් වුණා කට උත්තර දෙන්න. ගිහින් එද්දී මිදුල නිදහස් වෙලා තිබුණා. රශ්මිත් වාහනෙත් අරන් ගිහින්.

දවසකට පස්සේ දැන ගන්න ලැබුණා රශ්මි මැරිලා කියාලා.

පළමු සාක්ෂිය අවසානයි. තවත් සාක්ෂි දෙකක් හා විසඳුම ඉදිරියට.

7 comments:

  1. අන්තිමේ රෂ්මි කතාවක චරිතයක් වෙලා නේද?

    ReplyDelete
  2. රෂ්මි මැරුණෙ කොහොමද ?

    ReplyDelete
  3. මරු මරු මචං.. ඇත්තටම කුතුහලය අවුස්සන කතාවක්. මට රෂෝමාන් මතක් වුණා.

    ReplyDelete
  4. නියමයි ඈ... :)

    දැන් ආපහු මාස ගානක් අතුරුදහන් නොවී ඉතුරු ටිකත් ඉක්මනට දාපන්...

    ReplyDelete
  5. අයියෝ කෝ කමෙන්ට් එක මගේ :( 

    මම මේ කතාවට කැමති. බලමු අනිත් සාක්ෂි දෙකත් :)

    ReplyDelete
  6. පළවෙනි සාක්ෂිය ඉවරයි.. ලංකාවේ ක්‍රමයට.. ඊළග දෙකට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන.. කල් නොගෙන ලියපං මචං..

    ReplyDelete
  7. මටත් මතක් උනේ අර ජපන් කතාව. එක, එක්කෙනාගේ අදහස් දැක්වෙනකොට මොන, මොන කතා එලියට එයිද දන්නේ නෑ. අන්තිමට රෂ්මි නිකංම චරිතයක් වෙලා නතර වෙයිද කියලා හිතෙනවා.

    ReplyDelete