Friday, April 26, 2013

අවසන් යම - Say Goodbye

රෝහලේ සෙනග එච්චර හිටියේ නැතත් වෛද්‍යවරුන් සහ හෙදියන් කිහිප දෙනෙක් එහෙ මෙහෙ ගියේ කලබලෙන්. රෝගීන් ලබන්න ආපු අයත් හිමින් ඇවිදිමින් එකිනෙකාට කොඳුරමින් ගියේ තම තමන්ගේ ලෝක වල තනිවෙලා. එළිමහනට විවර වුණු තැනක ඇති දිග පුටු පේළියක කෙලවකරකින් මම වාඩිවුණා. ඉර එළිය අප්‍රාණවත්ව වැටුනේ ගිම්හානය නිසා කොළ හැලුණු ගසකට. අඩ එළිය ගහේ කඳේ වැදිලා සෙවනැල්ල සහ ආලෝකය කලාත්මක චිත්‍රයක ස්වරූපයක් මතු කළා.

ඉර එළිය අඳුර අතරින් අතුරුදන් වෙද්දී රෝහලේ සෙනග තරමක් වැඩිවෙන්න ගත්තා. තරුණ තාත්තෙක් එක්ක ආපු පුංචි ළමයෙක් මට පසෙකින් ඇති පුටුවේ වාඩිවුණා. වයස හතරක් විතර වෙන්න පුළුවන් දරුවා අතේ තිබුනේ කතා පොතක්. මම ඒ දිහා බලලා හිනා වුණා. ඒ පුතාගේ ඇස් තිබුනේ පොතේ නිසා එයා දැක්කේ නෑ මාව. කොහොම වුණත් ඒ දර්ශනය මට පැහැදිලි කරගන්න අපහසු හේතුවකට සතුටක් ගෙනාවා. ටිකකින් ළමයාගේ තාත්තා ඇවිත් දරුවා එක්ක ගෙන ගියා. මම පුතා දිහා බලල හිනා වෙලා අත වැනුවා. මම ඉන්න දිහා බලන් ගියත් ඒ ළමයට මාව පෙනුනේ නෑ. මොහොමතකට ඒ දරුවට ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇති කියල ඇති වෙලා නැතිවෙලා ගියේ පොත කියවපු බව මතක් වෙලා.

මම එතැනින් නැගිටලා ඇවිදින්න ගත්තා. රෝහලේ විදුලි බල්බ දැල්විලා ටයිල් පොලව බිත්ති හැමතැනම සුදු පාටින් ඒකාලෝක වුණා. හිමින් ඇවිදන් යද්දී මම ඉදිරියට දෙතුන් දෙනෙක්ම මුණගැහුනත් ඒ කාටවත් මාව පෙනෙන ලෙසක් දැනුනේ නෑ. එකපාර ම මම අදිසි වෙලා තිබුණා. එක අතකින් ඒක හොඳයි. කාගෙන්වත් කරදරයක් නැතිව ඉන්න පුළුවන්. මම මගේ අලුත් බලයෙන් ප්‍රයෝජන ගන්නත් එක්ක මම හිතෙන හිතෙන තැන ඇවිදින්න ගත්තා. එක එක වාට්ටු වල, පෞද්ගලික කාමරවල, වෛද්‍යවරුන්ගේ කැබින් වල පවා මම නිදහසේ ඇවිද්දා. මාව නවත්තන්න කවුරුවත් හිටියේ නෑ. එක්වරම මට සිහිවුණා මා කළ යුතු ම දෙය. එකම තැන එකම විදිහට ඉඳල එපාවුණු නිසා ලැබුණු නිදහසෙන් ප්‍රයෝජන ගත්තට ඒ නිදහස නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. ඔව්; මම ගෙදර යන්න ඕනේ. මම රෝහලෙන් එලියට යන්න පටන් ගත්තා. කිහිප සැරයක් වටපිටත් පිටුපසත් බැලුවට මම යනවා කාටවත් පෙනුනේවත් දැනුනේ වත් නෑ. කිහිපවතාවක්ම පඩි නැගල බැහැල දකුණට වමට හැරිලා ඇවිත් මම පිටවීමේ දොර පෙනෙන මානයට ආවා.

"ඔහොම ඉන්න" කව්ද කතා කළා. මම හැරිලා බැලුවේ නැතුවම අඩි ඉක්මන් කළා.

"ඔහොම ඉන්න!" ඒ වතාව කලින්ට වඩා සද්දෙන් ඇහුනේ. මම දුවන්න උත්සහ කළා.

ඒත් අසාර්ථක යි. කව්ද කෙනෙක් මගේ අතින් අල්ල ගත්තා. බලාපොරොත්තු වුණාට වඩා ඒ ග්‍රහණය සුමට යි. මම ආපස්ස හැරුණා. හිටියේ තරුණ ගැහැණු කෙනෙක්. එයා ලස්සනයි. ඒත් තරමක් සුදුමලියි. තනි සුදු පාට දිග ගවුමකින් සැරසිලා හිටි ඇය රෝහලට ගැලපීමක් නැතිව කැපිල පෙනුණා. ඇය මම දිහා බලලා හිනා වුණා. පිවිතුරු මත් නොවන ව්‍යාජත් නොවන ඒ අතර ස්වභාවයේ හිනාවක්.

"ඔයාට මාව පේනවද?" කියන්න දෙයක්  හිතාගන්න බැරිතැන මම ඇහුවා. එයා කළේ ඔලුව වනපු එක විතර යි.

"ඔයා කවුද?" මට එහෙම අහන්න ලැබුනේ නෑ. "අපි යමු" එයා මගෙන් අතෙන් ඇදගෙන ආපහු රෝහල ඇතුලට යන්න ගත්තා. මට ආයේ යන්න කිසිම උවමනාවක් නොතිබුනත් මම හොරෙන් යන්න හැදුව කියල දැනගනීවි කියන බයෙන් මම මුකුත් කරන්න ගියේ නෑ.

අපි රෝහල ඇතුලටම ගමන් කළා. මම පසු කරගෙන ආ තැන නැවතත් හමුවුනේ සිනමා පටයක් ආපස්සට  ධාවනය කරනවා වගේ. මම හිටපු කාමරය ළඟට ඇවිත් අපි නතර වුණා. ඇය මා දිහා බලල ඇතුලට යන්න කියල අතින් සන් කළා. මම ඇතුලට අකමැත්තෙන් වුණත් ගියා. ඒත් මම හිටපු ඇඳේ කවුද හිටියා. ඒ හිටියේ කවුද කියල දකින්න ලැබුනම මට මොහොමතක් කාලය නතර වුණා වගේ දැනුනා. මුළු ලෝකයම නතර වෙලා මම මොනවද කරන්නේ කියල බලන් ඉන්නවා වගෙත්, මහා මේරු පර්වතය මගේ කරපිට තැබුවා වගෙත් ලෝක අන්තයෙන් පහලට වැටෙනවා වගෙත් හැඟීම් ගොන්නක් ඇති වුණේ ඒ එක්කම යි. මම නැවතත් ඒ රෝහල් ඇඳ මත හිටිය පුද්ගලයා දිහා හොඳින් බැලුවා. ඔව්, විශ්වාසයි ඒ මම ම යි.

මට කරන්න දෙයක් හිතාගන්න බැරිතැන මම පිටුපස බැලුවා. පුදුමෙකින් ඇය වගේ තාමත් හිටියා. මම බලාපොරොත්තු වුනේ ඇය නැතිවෙලා ඉන්න. මේ කවුරුහරි මට කරන ඇස් රතු වෙන විහිළුවක් වෙන්න තවමත් අවස්ථාව තිබුණා. නැත්තම් මම දකින නරකම නරක හීනයක් වෙන්නත් පුළුවන්. මම පුළුවන් තරම් තදින් මගේ කම්මුල කොනිත්තා ගත්තා. පුදුමයි; මම හීනෙකින් ඇහැරුනේ වත් කෙනිත්තුවට රිදුනේවත් නෑ.

"බය වෙන්න එපා" ඇය මගේ අතින් අල්ලාගෙන සන්සුන් හඬකින් කිව්වා.

"ඒත්... ඒත්? මේ..." මම අහන්න දෙයක් හිතාගන්න බැරිව ලතවුණා.

"මතක් කරලා බලන්න." මම ඔලුව වැනුවා. "ඔයාට පුළුවන්, මතක් කරන්න"

මම ඇස්දෙක පියාගෙන මතක් කරන්න ගත්තා. මොහොතක් දෙකක් යනකම් කිසිවක්ම වුණේ නෑ. මම වැඩේ අසාර්ථක වුණු තැන ඇස් අරින්න උත්සහ කරන කොටම මට මතක් වෙන්න ගත්තා. මීට පැය ගණනකට කලින්: මම මගේ බිරිඳ එක්ක රණ්ඩු වෙච්ච හැටි, ඇයව තල්ලු කරලා ගෙයින් එලියට ඇවිත් වාහනයට ගොඩවුණු හැටි, පුළුවන් උපරිමයෙන් කාර් එක එලවගෙන් ගිය හැටි, පාරේ යන අනික් වාහන ගැන අවධානය යොමු නොකරපු හැටිත් එක්වරම නොපෙනී ආ විසල් ලොරියක් වහනයේ බඳේ හැපිලා බරපතල තුවාල වුණු හැටිත් යන මතකයයත් මගේ ඉස්සරහ දැන් වෙනවා වගේ පෙනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සිහිය යන එන විදිහට රෝහලේ විදුලි එලිත් වෛද්‍යවරුන් සැත්කම් කරන හඬත් අපිළිවෙලට අපැහැදිලිව මතක් වෙන්න ගත්තා.

"මම... මම හැ-" මට කතා කරන්න අපහසු වුණා. ඇය තාමත් සුදුමැලි මුහුණින් යුතුව මා දිහා බලන් හිටියා. මම ඇඳේ ඉන්න 'මම' වෙත ඇඟිල්ල දිගුකළා. ඇය කළේ ඔලුව වනපු එක විතර යි.

"අපි යමු නේද? ඔයා ලැහැස්තිද?" මම මොකටද කොහෙටද කියල ඇහුවේ නෑ. ඇය ඒ ගැන නොකියත් මට ඒ ගැන යම් අදහසක් කොහෙන් හරි ඇවිත් තිබුණා.

මම නැවතත් නිදාගෙන වගේ ඉන්න මම දිහා බලන් හිටියා. අනතුර වුණ හැටි නැවත නැවතත් සිහියට ආවා. ඊළඟට ආවේ මගේ බිරිඳ ගැන මතකය. ඇය මේ ගැන දන්නවද, දන්නවනම් ආවේ නැත්තේ ඇයි, මගේ අම්මා තාත්තා? එතකොට යාළුවො? ප්‍රශ්න කෝටියයි තව එකකින් මගේ හිත බරවෙන්න ගත්තා. මගේ බිරිඳට කතා කරන්න ඇයගෙන් සමාව ඉල්ලන්න අවස්ථාවක් ලැබෙනවානම් කියන ප්‍රාර්ථනාවක් ආවේ ඒ මතකයන් එක්ක සැරිසරද්දි යි.

"අපි යමු නේද?" සුදු වත හැඳි කත ආයෙමත් ඇහුවා. මට කරන්න ඕනේ මොනවද කියල පැහැදිලි අදහසක් වත්  ඒ ගැන සිහියක් වත් නැතුව වටපිට බැලුවා.

"අත්තරින්න දරුවෝ, අත් ඇරලා දාන්න." ඇය දයාබර කට හඬකින් කිව්වා. මම ඔලුව වැනුවා.

ඇය මා ළඟට ඇවිත් මාව වැළඳ ගත්තේ අම්මෙක් දරුවාව තුරුළු කරගන්නවා වගේ. මම ඇස් දෙක පියා ගත්තේ අලුත උපන් සහනයකුත් එක්ක යි. ලෝකය ම කරමත වගේ දැනුන බර සැහැල්ලු වෙලා ගියා. හිතට වද දුන්න මගේ අනතුර ගැන මතකය කෙමෙන් අමතක වෙන්න පටන් ගත්තා. බිරිඳ ගැන, දෙමව්පියන් ගැන හිතවතුන් ගැන ඇති ඇල්ම බිඳිලා යද්දිනම් දුකක් දැනුනත් ඒ ගැන කම්පා වෙන්න වෙලාවක් නැතුව ගියා. මම මගෙන් වෙන්වෙලා සුදු කත සමග අවකාශය අතරින් යන්න ගත්තා. පාවෙන සැහැල්ලුවක්. සැහැල්ලු පාවීමක්. මම කොටස් දෙකකට කැඩිලා ගත හැරලා සිත ගමන් ගත්තා.

රෝහල් කාමරයෙන් හදගැස්ම පෙන්වන යන්ත්‍රයේ හදගැස්ම නැවතිලා "නීක් නීක්" හඬින් නලාව නාද වෙන්න පටන් ගත්තෙත් ඒ එක්කම යි.

ප.ලි. : මේ අග්නි ධාරාගේ "තමන්ගේ මරණය තුන්වැනියෙක් හැටියට අත්දකින අවස්ථාවක් ගැන ලියන්න" කියූ ඉල්ලීමට ප්‍රතිචාරය. අග්නි ධාරා කතාවට කැමති වෙයි කියල හිතනවා.

8 comments:

  1. නියමයි මචං.. මරණය කොයි වගේ වෙයිද කියලා කියන්න බැහැනේ.. අග්නියා විතරක් නෙමෙයි.. අපිත් කැමතී මේකට..

    ReplyDelete
  2. පට්ටයි.... ඉතිං ඊට පස්සෙ මොකද උනේ ?

    ReplyDelete
  3. නියමයි... ඒත් තව මොකක් හරිම අඩුවක් තියෙනව ලොක්කා... හරියට ලුනු ටිකක් මදිවෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. ඇයි සාතන් දෙහි...ඇඹුලුත් දිංගක් විතර මදි නේද? :D:D

      Delete
  4. “අපි රෝහල ඇතුලටම ගමන් කළා. මම පසු කරගෙන ආ තැන නැවතත් හමුවුනේ සිනමා පටයක් ආපස්සට ධාවනය කරනවා වගේ.“

    කතාව ඇතුලෙ මට මැව්න ලස්සනම සිද්ධිය... ඒක හරි ඉක්මනට ක්ලික් වුනා...

    ඔයාට ගොඩාක් ස්තූතී.... හිතුවෙවත් නැතිවිදියෙ කතාවක්...
    මරණය කියන්නෙ හරි සුන්දර මාතෘකාවක්....
    කතාව අවසානයේ එයාට මරණය දැනෙන හැඟීම විස්තර කරල තියෙන විදිය හරිම අපූරුයි...

    අග්නි ධාරා කැමතියි නෙමේ... අග්නි ධාරා ගොඩා...............ක් කැමතී මේ කතාවට :)

    ReplyDelete
  5. අදයි මේ පැත්තට ආවේ ජයම වේවා !

    ReplyDelete
  6. හරිම ලස්සනට වචන ගලපලා තියනවා හිරණ්‍ය..අපිත් ඒ අත්දැකීම විඳිනවා වගේ දැනුනා..

    ReplyDelete