Thursday, October 27, 2011

සංසාර ආරණ්‍යය : වස්සානයට අවසරයි



විවේක කාලයෙදි පන්තිය සම්පූර්ණයෙන් ම වගේ හිස්. ආදිත්‍ය පේලි කිහිපයක් ඈතින් වාඩිවෙලා තනියම පොතක් කියවමින් (නැත්තම් කියවන බව පෙන්වමින්) හිටියා. අසාර්ථක රැග් එකෙන් පස්සේ සැලකිය යුතු තරම් දෙයක් සිද්ධ වුණේ නෑ. මං ළඟින් වාඩිවෙන්න ආවත් ආපහු වෙන තැනකට ආදිත්‍ය මාරු වුණා. පන්තියේ කවුරුත් ආදිත්‍ය එක්ක කතා කරන්න උත්සහ කළේ වත් ආදිත්‍ය ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ වත් නෑ. කොටින්ම කිව්වොත් ආදිත්‍ය එක්තරා විදිහකින් කොන් වෙලා හිටියා. අලුතින් ඉස්කෝලෙට ආපු පළවෙනි දවසෙම ඔහොම ඉරණමක ට මුහුණ දෙන්න කොහොමවත් නොහිතන්න ඇති. ඒත් මට කරන්න දෙයක් නෑනේ.

එක අතකින් ඒකට මමත් වගකිව යුතුයි තමයි.

මම ආදිත්‍ය හිටපු තැනට ගිහින් පිටට තට්ටුවක් දැම්මා. ඒකට එයා ගැස්සුනා. බලාපොරොත්තු නොවුණු වෙලාවක සිද්ධ වෙන දේවල් නිසා ගැස්සෙනවා තමයි. මට හිනා යන්න ආවත්, ඒක අසාර්ථක විදිහට පාලනය කරමින් හිටියා. ආදිත්‍ය තාමත් ගැස්සුණු ගමන් මා දිහා බලන් හිටියේ සැකෙන් වගේ.

"කැන්ටීන් එකට යමුද?" මං ඇහුවා, ඒක කොච්චර දුරට සාර්ථක ප්‍රශ්නයක් ද මන්ද, ඒත් මට අහන්න කටට ආවේ ඕක යි. මම පුළුවන් උපරිමයෙන් අවංකවම හිනා වුණා. සැකය තාමත් ඉවර නෑ. පුදුමෙන් වගේ මගේ මූණ දිහා බලන් හිටියා විතරයි, එක අතකින් පුදුම නොවී ඉන්නත් බැහැ නේ. ඒත් ඊළඟට පුදුම වෙන්න අවස්ථාව උදාවුනේ මට යි, ආදිත්‍ය ඔලුව වනල 'යමු' කිව්වා.

දවල් වුණත් පරිසරය ළා මීදුමක ගිලිලා තිබුණේ. වැහින්නේත් නැති නැත්තෙත් නැති වලාකුළු වලින් අහස බර වෙලා මහනුවරම අඳුරක පටලවලා. උදේ ඉඳන් ඉර එලිය නොවැටීම නිසාවෙන් උෂ්ණත්වයත් සිසිලස යි. අපි කැන්ටීන් එකට යන අතර තුරේදී අපි දෙන්නා ගෙන් කවුරුත් කතා කළේ නෑ. මට නම් කතා කරන්න උවනමාවක් තිබුණත් කතාව පටන් ගන්න අවස්ථාවක් නැති කමෙන් ලොප් වුණා.
"මොනවද කන්නේ මම ගන්නම්?" මම ඉදිරිපත් වුණා.
"එපා එපා, මම ගන්නම්."
"බෑ බෑ, මොනවද ගන්නේ කියන්නකො?"
"එහෙනම්, කැමති දෙයක් ගන්න." ආදිත්‍ය උත්තර දුන්නේ හිනා වෙලා. සමහර විට මේ එක්කන් යන්නේ තවත් රැග් එකකට කියල හිතන්න ඇති. නැත්තම් තාමත් මේ රැග් එකේම කොටසක් කියල හිතනවද දන්නෙත් නෑ. කොහොම වුණත් මට ඒ ප්‍රතිචාරය යම් සහනයක් ගෙනාවා.

නිශ්චිතවම කන්නේ මොනවද කියල ආදිත්‍ය කිව්වේ නැති හින්ද මම ගත්තේ මම සාමාන්‍යයෙන් ගන්න කෑම ම යි. වෙන දවසක් වුණානම් කැන්ටීන් එක පිරෙන්න ම ළමයි ඉන්නවා උනත් එදා කැන්ටින් එක සෑහෙන දුරට හිස්. ජනේලයක් ළඟ මේසයකට අපි එකතු වෙනකොට වැහිබර වලාකුළු වැස්ස නිදහස් කරලා තිබුණා.

"කම්මුල් පාර රිදුනද?" මම එහෙම ඇහුවේ නෑ. අහන්න උවමනාවක් නම් හොඳටම තිබුණා. ඒකට ලැබෙන ප්‍රතිචාර කොහොම වේවිද කියල හිතාගන්න බැරිව ලත වෙද්දී වැරද්දක් කළාට පස්සේ ඇතිවෙන කලකිරීමකුත් හිතේ දෝලනය වුණා. ඒත් එහෙම අහල මේ ගලා යාම නතරකරන්න බැරි ගතියක් දැනුනා. ඒ වෙනුවට මම ඇහුවේ "ආදිත්‍ය කොහෙද ගෙවල් කියල?" යි.

"කටුගස්තොට." තනිවචනයේ උත්තරයක්. ආදිත්‍යගෙන් දිගටම ලැබුනේ තනි වචනයේ පිළිතුරු. 'කලින් ඉස්කෝලේ ගියේ කොහෙද' 'ඇයි මේ ඉස්කෝලෙම තෝරාගත්තේ?' 'පන්ති යන්නේ කොහෙද?' 'පවුලේ විස්තර' වගේ හැම දෙයක් ගැනම මම ප්‍රශ්න ඇහුවා. ආදිත්‍ය උත්තර දුන්නේ අකමැත්තෙන් නොවෙයි කියල තේරුනත් වැඩි පුරාම කතා කෙළේ මම යි. ආදිත්‍ය වැඩි පුරාම කලේ ඔලුව හොල්ලන එක තමයි. එක අතකින් ඒක එයාගේ හැටි වෙන්නත් ඇති. පළවෙනි හමු වීමෙන් ම පුද්ගලයන් ගැන නිගමන වලට එන්න බෑනේ.

විවේක කාලය ඉවර වුණත් අපි (ඇත්තම කිව්වොත් මම) ඔහේ කතා කර කර හිටියා. ආදිත්‍ය ට ආපහු යන්න ඕනේ බවක් පෙනුනෙත් නෑ. වැස්සත් යම් තරමකින් අඩු වෙලා තිබුනත් ළා චිරි චිරිය අපිව කම්මැලි කරලා එක්තැන් කළා. එකපාරටම කැන්ටීන් එකට ඉක්මන් ගමනකින් ආව හරේන්, මම යි ආදිත්‍ය යි කතා කරමින් ඉන්නවා දැකල එතනට ආවා. මම මුලින් ම හිතුවේ පන්තියට කවුරුවත් ඇවිල්ලා ඇති කියලා. ඒත් එහෙම නෙමේ යි.
"රවීන්, උඹල දෙන්න පන්තියේ නැති හින්ද බලන්න ආවේ..." හරේන් කිව්වේ සැකෙන්.
"ඇයි?" මම ඇහුවා.
"නෑ මේ, වලියක්ද බැලුවා... දැන් ප්‍රශ්නයක් නෑ?" මම එහෙම නෑ කියන්න ඔලුව වැනුවා.
"වලියක් නෑ?" ඒ ප්‍රශ්නය යොමු වුනු මෙච්චර වෙලා කතා නැතිව හිටපු ආදිත්‍ය ගෙන්.
"නෑ, ඇයි දැන් වලියක් ඕනෙද?" මම ඇහුවේ විහිලුවට.
"අපරාදේ, මම හිතුවේ මටත් කම්මුලට ගහන්න චාන්ස් එකක් ලැබේවි කියලා." ආදිත්‍ය කට කොනින් හිනා වෙලා කිව්වා, මටත් හිනා. මේ කතා නොතේරුණු හරේන් අපි දිහා ඇස් ලොකු කර ගෙන බලන් හිටියේ අපිට පිස්සු යි කියන්න වගේ.

වැස්සේ සැර අඩුවෙලා යන්න පුළුවන් තත්වයට ආවත් එහෙන් මෙහෙන් ළා පොද වැටුනා. ඒත් ආයේ වැස්ස පටන් ගනීවිද කියලා දන්නේ නැති නිසා පන්තියට ආවේ හරේන් ඉස්සරහිනුත් ආදිත්‍ය හා මම එක පෙලට පිටිපසිනුත්. ආදිත්‍ය ගේ හැසිරීම දැන් කලින්ට වඩා සැහැල්ලු වෙලා තිබුණා. කලින් සැකෙන් ඉන්න ඇති මම මොනවද කරන්න යන්නේ කියලා හරියටම හිතාගන්න බැරිව.
"කම්මුල තාම රිදෙනවද?" පන්තියට යන අතර තුරේදී මම ඇහුවා.
"ඇයි රිදෙනවා නම් අතගාන්න ද?"
"ඕනේ නම් බැරි කමකුත් නෑ..."
"මෙහෙම කරමු, මම රවීන්ට කම්මුල් පාරක් ගහන්නම්, එතකොට රිදෙනවද නැද්ද කියලා බලාගන්න බැරියෑ" ආදිත්‍ය කිව්වේ විහිලුවට, කට කොනින් හිනාවෙන ගමන්. අර ළා හිනාව. මම හිතන්නේ ඒක ආදිත්‍ය හැම තිස්සෙම කරන දෙයක් වෙන්න ඕන. මාත් ඒ එක්කම හිනාවෙලා නිකන් හිටියට කල්පනා කළේ කම්මුල් පාරක් නොවුණා නම් අපි ඉන්නේ කොතනද කියන දේ. කම්මුල් පාරක් නිසා නේ අපිට මෙහෙම කතා කරන්න ඉඩ ලැබුනේ. සමහර විට ඒක විය යුතු ම දෙයක් වෙන්න ඇති.


-ඉතිරිය මතුවට-

4 comments:

  1. හරි පොඩ්ඩයිනෙ එක සැරේට. මෙගා එකක් වගේ අදින්නද හදන්නෙ.:) තවම ආරම්භයට ලින්ක් එකක් හොයාගන්න බැරිවුණා

    ReplyDelete
  2. මටනම් මේ කතාව මොන පැත්තකට යයිද කියලා හිතාගන්න බෑ.. තාම කොටස් දෙකනේ.. ඊලග එකත් ඉක්මනට දාන්නකෝ...

    ReplyDelete
  3. @Outsider: මෙගා එකක් කරන්නේ නම් නෑ, ඒත් එක පාරටම හදිස්සි කරලා ගලායාම කඩන්නත් බෑ නේ.
    මුළු කතාව ම කියවන්න වෙනවා ඒකට නම්. :)

    @Dinesh: හ්ම්,,, දාන්නම් යාළුවා.

    ReplyDelete
  4. මදෑ...මම කතාව කියවන්න ආවා..මුලනේ තාම..ඒකට මොකෝ..හිරණ්‍ය කොහොමත් අමුතුනේ..මේකත් එහෙම වෙන්න ඇති..ඉතුරු ටිකත් කියවලාම බලමුකෝ...
    මම හිරණ්‍ය කිව්වේ හිරණ්‍ය ලියන ඒවට හොඳේ..මම තාම ඇත්ත මිනිහා දැකලා නෑනේ....
    ලියන ටික නම් කම්මැලි නැතුව කියවන්න පුලුවං ....ස්තූති හොඳ කතාවක් දෙනවට..:)

    ReplyDelete