Saturday, October 22, 2011

දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි


"පිස්සෝ, ඔය මොකද්ද කරන්නේ? වහිනවා පෙන්නේ නැද්ද, මෙහාට එනවා නැත්තම් අසනීප වේවි" රසංගා කෑගැහුවා. ඒ වුණාට සමීරට නම් ගානක් වත් නෑ. වැහි පොද මූනට වැටෙද්දී දැනෙන සියුම් වින්දනයෙන් මන්මත් වෙලා හිටියේ හරියට ආරූඪයකින් වගේ. ආදරෙන් හිත පිරුණම, තමන් ආදරේ කරන කෙනා දැන් ඉන්නවා වගේ ජීවිතේ හැම දවසකම හැම තප්පරයකම ලඟින් ඉන්නවා කියල දැනුනම ඔහොම වෙනවා. ඒක ආදරණීය පිස්සුවක්. රසංගා ඕක දන්නවා වුණාට පොඩ්ඩක් තරුවටු කළේ බයටත් වඩා ආදරේට.
"ඔයත් එන්න." සමීර කිව්වා.
"මට බෑ" ඒපාර සමීර රසංගා වැස්සට මුවා වෙලා හිටපු ගහ යටට ආවේ දඟ ගමනකින්.
"ගහ යට වැහි දෙකයි කියල අහල නැද්ද?"
"ඇත්තට? මට නම් මෙහෙම හොඳයි"
"ඒ වුණාට මට හොඳ නෑ. යංකෝ"
"පිස්සුද? මට බෑ."
"මෙහෙ එනවා." කියල සමීර කරපු වැඩේ කොහොමටවත් හිතාගන්න බැරි තරම්. සමීර රසංගාව හරහට වඩා ගත්තේ හරියට පොඩි බබෙක්ව උස්සනවා වගේ. රසංගා කෑගැහුවා, එත් වැස්සේ රාවය ඒ හඬට වඩා උස් වුණා. සමීර රසංගා ව උස්සගෙනම මුවා වුණු තැනින් එලියට ආවේ දෙන්නවම වැස්සට නිරාවරණය කරගෙන.
"ඔයාට නම් හොඳටම පිස්සු සමීර, මාව බිමින් තියන්න." රසංගා කිව්වේ සමීරගේ පපුවට ළා පහරක් ගසමින්.
"මට පිස්සු කියල දැන්ද දන්නේ?"
"නෑ නෑ, කලින් ඉඳලම දන්නවා. දැන් ඉතින් බිමින් තියන්නකෝ."
"බෑ, එතකොට ඔයා ආපහු යාවිනේ."
"නෑ, පොරොන්දු වෙන්නම්."
"මොනවද?"
"හාදු පන්සීයක්!" සමීර රසංගාව හිමීට බිමින් තිබ්බා. රසංගා වැස්සෙන් පැනල ගියේ නෑ. අනික දැන් ගියත් වැඩක් නෑ, හොඳටම තෙමිලා ඉවරයි.
"කෝ හාදු?"
"ඒ මොකටද? මං පොරොන්දු කැඩුවේ නෑනේ."
"ඒ වුණාට කමක් නෑ." සමීර හිනා වුණා.ඒ හිනාවට රසංගා ටත් හිනා නොවී ඉන්න බැරි වුණා.
"බෑ, දෙන්නේ නෑ." සමීර රසංගගේ ඇඟ වටේ අත දාල ලඟට ගත්තා.
"ඕනේමයි."
"මට මොනවද දෙන්නේ?"
"මොනවද ඕනේ?"
"ඉල්ලන ඕනෙම දෙයක් දෙනවද?" සමීර රසංගාගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ. රසංගා සමීරගේ ඇස් දෙක දිහාම බලන් හිටියා. කටින් උත්තර නොලැබුනත් ඇස් දෙකෙන් තමන්ට අවශ්‍ය උත්තරේ ලැබුන නිසා රසංගා අයෙත් වැස්සට මුවා වෙන්න යන්න හැදුවා. ඒත් සමීරගේ ග්‍රහණයෙන් මිදෙන්න රසංගා ට බැරි වුණා.
"හරි, හාදු දෙන්නම්. දැන් යමු." රසංගා කට කොනේ හිනාවක් තියාගෙන කිව්වා. ඒ පාර සමීරටත් හිනා. සමීර රසංගා ගේ නළල සිපගත්තේ වැස්සෙන් හොඳටම තෙමිලා හීතලේ ගැහෙද්දි වුණත් රසංගා ට සීතලක් නම් දැනුනේම නෑ. සමීරට තුරුළු වෙලා ආදරෙන් මත් වෙලා ඉඳිද්දී මොන සීතලක්ද. සමීරගේ චුම්බනයෙන් රසංගාට තව තවත් රස්නේ දැනුනා. ආදරේ කොච්චර පුදුමකාරද ගැහෙන හීතලක උණුසුමක් ගේන්නත් ඉන්න බැරි තරම් දාහයක මද නලක් වෙන්නටත් ආදරේ සමත්.
"ඔන්න ආයෙත් දඟ වැඩ බෑ." දෙන්නම යන්න හදද්දී රසංගා මිමිනුවා.
"බලමුකෝ..." සමීර උත්තර දුන්නේ දඟ හිනාවක් එක්කයි.

8 comments:

  1. දඟ වැඩ කෙසේ වෙතත්, වැස්සේ තෙමෙන්ට මාත් ආසයි.
    හරිම ආදරනීය ලිපියක්....:D

    ReplyDelete
  2. නියමයි... ඔච්චර දුර නොගියට භාගයක් හරියට මාත් ගිහිං තියේ...

    ReplyDelete
  3. මම නම් දැනගත්ත ගොනා හැරෙද්දිම පොල් පැලේ කයි කියල... දැන් කවද්ද කියපන්කො වෙඩිම...

    ReplyDelete
  4. ආදරණිය ලිපියක්.. මාවත් මගේ අතීතයට අරන් ගියා මේ ලිපිය...

    ReplyDelete
  5. මාර සුන්දර අත්දැකීමක් වෙන්න ඇති..මමත් ඒ අත්දැකීමට ආසයි..ඒත් අපි තව තනිකඩනේ.....

    ReplyDelete
  6. නියමෙට හිතට වැදුනා කතාව.

    ReplyDelete
  7. @Kumarihami: මම නම් වැස්සේ තෙමෙන්න එච්චර කැමැත්තක් නෑ, හැබැයි මේ විදිහට කව්රුහරි කතා කළොත් නොතෙමි ඉන්නෙත් නෑ. බොහොම ස්තුතියි. :)

    @Prasanna: එහෙනම් ඉතිරි ටිකත් යන්න ලැබේවා!

    @සාතන්: මොන වෙඩිමක්ද බං? මේ මගේ පෞද්ගලික අත්දැකීමක් නෙවේ. ගොනා පැලේ කෑවේ නෑ.

    @Dinesh: ස්තුතියි යාළුවා.

    @ගලයා: මේක මගේ අත්දැකීමක් නෙවේනේ, ප්‍රබන්දයක්. ඉතින් මාත් තවම ඔය කණ්ඩායමේම තමයි.

    @නිසුපා: බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. සිරා අද්දැකීමක් නොවැ ඉක්මනටම ඇත්තටම විඳගන්න ලැබේවා..

    ReplyDelete