Tuesday, October 25, 2011

සංසාර ආරණ්‍යය (ඇරඹුම)

ආයෙත් කතාවක් ලියන්න හිතුවා, කියවල බලන්න. පෙර සේම සියලු නම්, ගම්, සිද්ධි මනඃකල්පිත යි. සැබෑ ලෝකය හා සම්බන්ධය හුදු අහඹුවක් පමණයි.



මට ඕනේ වුණා මේ ලෝකේ තියන නේකවිධ රාමු අතරින් මිදෙන්න, සියලු දේටම ලේබල් ගහල වර්ගීකරණය කළ සමාජයක ඒක අභව්‍යය යි තමයි. ඒත් පුළුවන් උත්සාහයෙන් මම ලේබල් විරහිතව ඉන්න උත්සහ කළා, ඉදිරියටත් එහෙම යි. ප්‍රධාන හේතුව මට එක රාමුවකට කොටු වෙන්න කිසිම අවශ්‍යතාවක් නොවීම, මාව ලේබලයකින් කිසිවෙක් තේරුම් ගන්න උත්සහ කරනවානම් ඒක ඒ පුද්ගලයා දැන දැනම කරගන්නා වැරද්දක්. අවශ්‍ය වෙන්නේ මා තුලින් මාව හඳුනාගන්න තැත් දැරීම. අනිත් අතින් තවමත් මම මාවම තේරුම් ගනිමින් සිටිනා නිසා බාහිර පුද්ගලයකුට කලින් එය සොයාගත යුත්තේ මම ම යි.


සංසාර ආරණ්‍යය; ඒක තමයි මම දුන්න නම. එතන කොහොම තැනක්ද කියල විස්තර කරන්න බෑ, විස්තර කරන්න ඕනෙත් නෑ. එතකොට වෙන්නේ ඒ පිළිබඳව සිතේ යම් සටහනක් ඇඳෙන එකයි. ඒ කියන්නේ රාමු නිර්මාණය වීමක්. සංසාර ආරණ්‍යය කියන්නේ කිසිවකින් නිශ්චය කරන්න බැරි ස්ථානයක්. එතැන සාපේක්ෂව දක්වන්න අමාරු රාමු එතනට අදාල නැති නිසයි. ඒත් මේ විදිහට සංසාර ආරණ්‍යය හඳුන්වන්න පුළුවන්. සංසාර ආරණ්‍යය කියන්නේ මම හිතෙන් හිතාගත්ත ෆැන්ටසියක්. ඒ තුල මම නිදහස්. සියල්ලෙන්ම නිදහස්. රාමු, සීමා, බැඳීම් මේ කිසිවක් සංසාර ආරණ්‍යයේ අන්තර්ගත වෙන්නේ නෑ. මේ ආරණ්‍යය මට සංසාරය තුල නවාතැන් සපයනවා. ඒක හරියට ආරණ්‍යයවාසී ව ජීවත් වෙනවා වගෙයි. බාහිර ලෝකයෙන් වියුක්තයි. ඒත් ෆැන්ටසියක් පස්සේ පන්නන එකේ තේරුමක් නෑ, මොකද කවදාවත් නොලැබෙන දෙයකට ආශා වුණහම නවතින්න වෙන්නේ සිත් වේදනා මැද නිසා. ඒ බව දැන දැනත් සමහර වෙලාවට අපිට ඒ දේවල් අතාරින්න අපහසුයි. මම සංසාර ආරණ්‍යය තුලම ඇලෙන්නේත් ඒ නිසා වෙන්න ඕනේ.

මහනුවර, මගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් වලට පසුබිම් සපයනවා. ඒක එක අතකින් අර සින්දුවේ කියන 'මේ නගර මා ඔබ මුණ ගැසුණු නගරය යි' වගේ මගේ ජීවිතය ආදේශ කරන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ ගීතයම නෙමෙයි කොටසක් පමණයි. හැම කොටසක්ම ආදේශ කරන්න ගියොත් වෙන්නේ රාමු ගත වෙන එක, අර කලින් කිව්වා වගේ. පාසල, නිවස, ප්‍රේමය ආදී එකී නොකී දෑ මහනුවර වටා කේන්ද්‍ර ගත වෙලා පැවතුනා සහ පවතිනවා. ඒ නිසා මගේ ජීවිතයේ ප්‍රධාන ම අංගයක් විදිහට නුවර හැඳින්වුවාට වරදක් නෑ. සංසාර ආරණ්‍යය ට කවදාහරි බාහිර පෙනුමක් අවශ්‍ය වුණොත් ලැබෙන්නේ මේ සෙන්කඩගල ම තමයි.

වසරේ අරම්බක දිනය, උසස් පෙළ කරන්න පළවෙනි පාරට ඉස්කෝලෙට ගියේ මහා බලාපොරොත්තු ගොඩක් ඔලුවේ තියාගෙන නොවුණත් සාර්ථකව විභාගේ කරන්න අධිෂ්ඨානයක් තිබුණා. ඒත් වසර පටන් ගැන්මට යෙදුනු දවස කම්මැලි දවසක් වෙන පාටක් තිබුණේ, සෑහෙන තරම් පැමිණීමක් තිබුණත් වැඩක් කෙරුනේ නෑ. පන්ති වලට අපි විෂයන් අනුව වෙන්වෙන හැටි අපිට කලින්ම දැනුම් දීල තිබුණා. වාණිජ පන්ති හතරක් තිබුණ ඒ ගොඩනැගිල්ලේ උඩම, තෙවන තට්ටුවේ පන්ති අතරින් මහනුවර වැවට මුහුණලා, කෙලවරේ පන්ති කාමරය ස්ථානගත වුණා. එදා වෙන්වුණේ එකිනෙකාව අඳුන ගන්න කියල තමයි පන්ති භාර ගුරුතුමා කරුණු පැහැදිලි කළේ. ඒ වුණත් සර් හිටියේ එක පීරියඩ් එකයි, ඊට පස්සේ එයා යන්න ගියා අපිට අපිවම අඳුන ගන්න ඉඩ දීලා (සර් එහෙම කිව්වේ නැතත් අපි එහෙම හිතා ගත්තා). ඒත් එක වසරේ ඉඳල ඉස්කෝලේ ගිය මට අමුතුවෙන් අඳුන ගන්න කෙනෙක් නෑ. සමාවෙන්න, මම වැරදියි! අඳුර ගන්න කෙනෙක් හිටියා.

ඒ තමයි ආදිත්‍ය.

ආදිත්‍ය පන්තියට ආවේ කාල පරිච්ඡේද දෙක තුනක් විතර පහුවෙලා. ඒ අලුතින් ඉස්කෝලෙට අලුතින් ඇතුලත් වෙන ශිෂ්‍යයන්ට පවත්වපු දේශනයෙන් පරක්කු වුණු නිසයි. මම වාඩි වෙලා හිටියේ පන්තියේ මැද කොටසේ ජනේලයක් ළඟට වෙන්න. මට එහා පැත්තේ ඩෙස් එක හිස්, ආදිත්‍ය වාඩි වෙන්න තීරණය කළේත් එතන යි. තව හිස් තැන් කිහිපයක් තිබුණත් එතනටම පැමිණි හේතුව මම දන්නේ නෑ. සමහර විට එහෙම විශේෂ හේතුවක් තියෙන්නත් නැතුව ඇති.

"මෙතන කවුරුත් ඉන්නවද?" ආදිත්‍ය ඇහුවේ ළා හිනාවක් එක්කයි. මට උත්තර දෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ. පන්තියේ හැමෝම ආදිත්‍යව වට කර ගත්තේ සෑහෙන වේගෙකින්.

"නම මොකද්ද?" මගේ හොඳ යාලුවෙක් වන හරේන් ඇහුවේ ආදිත්‍ය ගෙන්. ආදිත්‍යගෙන් බය වුණු පෙනුමක් දිස් වුණේ නෑ, තිබුණේ අර කලින් නඟා ගත්ත ළා හිනාව ම යි. මේක අපේ කණ්ඩායමට ප්‍රශ්නයක් වුණා. හරේන්ට ඕනේ වුණේ ආදිත්‍යව ගැස්සිලා යන්නයි.

"ආදිත්‍ය නානායක්කාර." පැහැදිලි ගැඹුරු හඬකින් කිව්වා, ඒ මම නම අහපු පළවෙනි වතාව.

"හා, එහෙනම් යනවා පන්තිය ඉස්සරහට, ගිහින් අපිට උගන්නනවා! පේනවනේ අද උගන්නන්න කවුරුත් නෑ." හරේන් කිව්වේ අණ කිරීමේ ස්වරයෙන්. තාමත් අර ළා හිනාව, දැන්නම් ඒකට යම් විදිහක සියුම් උපහාසකුත් එකතු වෙලා. ආදිත්‍ය 'බෑ' කියන්න වගේ ඔලුව වැනුවා. මේ නම් හරේන් ඇතුළු රැග් කාරයන් කොහොමටවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමේ යි. කට්ටියම ඊළඟ පියවර ගැනීම සඳහා මොහොතක් දෙකක් වැය කළා.

"දැන් එතකොට යන්නේ නෑ?" හරේන්ගේ කටහඬේ තිබුණේ ආවේගයක්.

"නෑ." සන්සුන් පැහැදිලි ස්වරයෙන් ආදිත්‍ය උත්තර දුන්නා. හරේන් වට පිට බැලුවේ තිබුන ආවේගය සංසිඳවා ගන්න වුණත් ඒක සාර්ථක වුණ පාටක් නැහැ. ආදිත්‍ය ගේ ප්‍රතිචාරය එකට තවත් උදව් කළා විතරයි. හරේන් ආදිත්‍ය ළඟට යන්න ගත්තා, වටා වෙලා හිටපු කට්ටියම ඇතුළු මමත් වෙන්න යන්නේ මොකද්ද කියල බලන් හිටියේ ගල් ගැහිලා වගේ. හරේන් හෙමින් ළඟට ගිහින් ආදිත්‍ය ව පස්සට තල්ලු කළා. ඒක එතරම් ලොකු තල්ලුවක් නෙමේ වුණත් සෙල්ලමට කරන තල්ලුවකුත් නෙමේ යි. ආදිත්‍ය මොකුත් නොකර වෙන පැත්තක් දිහා බලන් හිටියේ මොනවත් වුණේ නෑ වගේ. හරේන් තව තවත් තරහ ගත්තා. ඊළඟ තල්ලු කිරීම කලින් වතාවට වඩා රළු වුණා. ඒත් ආදිත්‍ය ගෙන් ලැබුණු ප්‍රතිචාරය එම ම යි. හරේන් පිරුණු කෝපයත් එක්ක ආදිත්‍ය ව තල්ලු කළේ වඩාත් තදින්. ආදිත්‍ය පස්සට විසිවෙලා ගියත් සමබරතාව රැක ගන්න පුළුවන් වුණා. ඊළඟ සිදුවීම් වුණේ සෑහෙන ඉකමනින්, ආදිත්‍යගේ ඉවසීම පිපිරුවා, ඉස්සරහට ඇවිත් හරේන්ව තල්ලු කළේ බලාපොරොත්තු නොවුණු වෙලාවක. හරේන් පිටිපස්සට විසිවෙලා වැටුනේ ඩෙස් පුටුත් පෙරලගෙන. ඊළඟට මම කරලා තිබුනේ පුළුවන් උපරිම වැරෙන් ආදිත්‍ය ගේ කම්මුලට ගහපු එකයි.

'චටාස්' කම්මුල් පහර දසත පැතිරුණා. ආදිත්‍ය මම දිහා පුදුමෙන් වගේ බලාගෙන් හිටියා මිසක් මට ආයේ ගහන්න අවේ නෑ. එහෙම වුණානම් මොකද කරන්නේ කියල තීරණයක් මට තිබුනෙත් නෑ. හැමෝම මම දිහා බලන් හිටියේ විවිධ හැඟීම් මූණේ රඳවා ගෙන. 'එල, ඔහොම තම කරන්න ඕනේ' 'පිස්සුද බං?' 'හොඳ වැඩේ, අලුතෙන් ආවනම් ඒ විදිහට ඉන්න ඕනේ' 'පව් බං' වගේ ප්‍රතිචාර මුහුණු වලින් මට කියව ගන්න පුළුවන් වුණා. ඒත් කියවගන්න බැරි වුණේ ආදිත්‍යගේ මූණ විතර යි. කලකිරුණු ස්වභාවයක්, එපා වීමක් වගේම කේන්තියක් වගෙත් තිබුණා වගේ පෙනුනත් හරියටම හිතාගන්න අමාරුයි. මම ඔහේ හිටියා, මොකද්ද ඊළඟ පියවර කියල එක පාරට හිතාගන්න බැරිව, වරදකාරී හැඟීමක නිමග්න වුණා.

මම ආයේ සැබෑ ලෝකෙට එන කොට සර් පන්තියට ඇවිත්. ඩෙස් පුටු පෙරළීමයි, කම්මුල් පාරේ සැරයි පහළ ස්ටාෆ් රූම් එකට දැනිල තිබුණා. සර් ඇවිත් කෙලින්ම ප්‍රශ්න කළේ ආදිත්‍ය ගෙන්, සමහර විට රැග් එක ගැන සැක හිතිලා වෙන්න ඇති.

"නෑ, සර් මේ වතුර වගයක් වැටිලා තිබිල මම වැටුනා" ආදිත්‍ය උත්තර දුන්නා. සර් උත්තරේ විශ්වාස කරන බවක් වත් බාරගන්න බවක් වත් පෙනුනේ නැතත් 'හ්ම්,,, කට්ටිය තමන්ගේ වැඩක් බලාගන්න' කියල ආයේ යන්න ගියා. හරේන් මගේ දිහා බැලුවේ, මූණේ ප්‍රශ්නාර්ථයක් තියාගෙන. මම උත්තර දැනන් හිටියේ නෑ. මම ජනේලේ පැත්තට හැරිලා එලිය බැලුවා. මහනුවර කඳු මුදුන් මීදුමෙන් වැහිලා අතරමන් වෙලා හිටියේ දැන් ගැලවෙන්නේ කොහොමද කියල හිතාගන්න බැරිව.

-ඉතිරිය මතුවට-

7 comments:

  1. ලස්සන කතාවක අරම්ඹයක් යාළුවා.. වෙනස්ම තේමාවක් කියලා හිතෙනවා හැමදාම වගේ.. ආසාවෙන් එකතු වෙනවා කතාව කියවන්න..

    ReplyDelete
  2. හිරණ්‍ය ලියන විදිහ සිරා. ඉතිරි ටිකත් ඉක්මනට ලියන්න :)

    ReplyDelete
  3. @Dinesh: ස්තුතියි යාලු, දිගටම කියවමු.

    @මාලන්: දාන්නම්, බොහොම ස්තුතියි. :)

    ReplyDelete
  4. "මේ ආරණ්‍යය මට සංසාරය තුල නවාතැන් සපයනවා. ඒක හරියට ආරණ්‍යයවාසී ව ජීවත් වෙනවා වගෙයි. බාහිර ලෝකයෙන් වියුක්තයි"

    එතනත් යම් රාමුවක් තියෙනව නේද? දන්න රාමු වලින් වෙනස් විදියට තමන්ටම කියල හදා ගත්ත රාමුවක්.

    තවම කතන්දර දෙකක් හමුවන තැනට ඇවිත් නැති නිසා මොකුත් කියන්න අමාරුයි.

    ReplyDelete
  5. අමුතුම මාදිලියක කතාවක් ආරම්භ කරලා. ඉස්සල්ලා මට හිතුනේ හිරන්‍යගේ ජීවිත කතාව ලියන්ට පටන්ගෙන කියලයි. පස්සේ තේරුනේ කතාවක් කියලා.

    ආදිත්‍යගේ චරිතය ඔන්න දැනටම හදබැඳගන ඉවරයි...:)

    ReplyDelete
  6. @Outsider: ඔව්, රාමු වලින් නිදහස් වීමට උත්සහ කිරීමත් එකතරා රාමුවක් තමයි. මම හිතන්නේ එතන ප්‍රශ්නය ඇති වෙන්නේ මොන රාමුවක් කෙරෙහිවත් තදින් බැඳීම/නොබැඳීම මත. ඒ කියන්නේ එක සෑහෙන පෞද්ගලික මානසිකත්වයක්.

    @Kumarihami: නෑ නෑ මේ මගේ කතාව නෙමේ, මගේ කතාවේ කොටසක් කලින් කියලත් තියනවා.
    ස්තුතියි, එහෙනම් දිගටම කියවමු.

    ReplyDelete
  7. එක හුස්මට කියෙව්වා..බෝම මනස්කාන්ත අමුතු ආරම්-බයක්.....ඉතුරු එකත් කියවල කොමෙන්‍ටුවක් දානවා...

    ReplyDelete