Wednesday, October 19, 2011

වැද්දොත් එක්ක යුද්ද කරමු!

අජිත් තිලකසේනයන් රචනා කළ සුන්නද්දූලි කෙටි කතා සංග්‍රහයේ එන වැද්දන් සමග යුද වදින්නට කෙටි කතාව අනුසාරයෙන් ලියුවෙමි.


"දැන් ලෑස්තිද? මේ වෙනකොට රෙඩි පිට ඉන්න ඕනේ." අමිත් හර්ෂට කිව්වේ කාමරේට ඇතුල් වෙනවත් එක්කමයි. මුළු කාමරේම කහළ ගොඩකටත් වඩා යුද පිටියක් වගේ. ඒත් තවම යුද්දේ පටන්ගෙන නෑ. යුද්ද කරන්න සුදානම් වීමත් එක්තරා විදිහක යුද්දයක් තමයි. මේසේ උඩ අත් පත්‍රිකා, පෝස්ටර් තොගයක්, පාප්ප බාල්දි, ලොකු පින්සල්, තීන්ත බෝතල් එහෙමත් බිම ගල් ඉනි, උදලු, මෝල්ගස්, දම්වැල්, හොකී පිතිත් තිබුනේ පිළිවලකින් තොරවයි. හර්ෂ කාමරේ ඉඩ තියන තැනකින් වාඩිවෙලා තමන් ලියමින් හිටි පොස්ටරෙන් ඔලුව ඉස්සුවා.
"ඔව්, දැන් සෑහෙන වැඩ කොටසක් ඉවරයි අයියේ."
"එහෙනම් අද රෑට මෙව්වා අලවමු" අමිත් කිව්වේ පෝස්ටර් එහෙන් මෙහෙන් අධීක්ෂණය කරන ගමන්.
"අයියට ෂුවර් නේද අවුලක් වෙන එකක් නෑ කියල?"
"ඔව් බන් ඔව්, ඒක නෙමේ අද මට නියම භාණ්ඩයක් හම්බුණා." අමිත් ඉනේ ගහගෙන හිටපු පිස්තොලේ පරිස්සමින් අරගෙන හර්ෂ අතේ තිබ්බේ ධාතු වඩම්මනවා වගේ. හර්ෂ ටිකක් විතර ගැස්සුනත් හිත තද කරගෙන භාණ්ඩේ අතට ගත්තේ 'මටත් මේක පාවිච්චි කරන්න වේවිද' කියල හිතමිනුයි. හදිස්සියෙන් වත් එහෙම වුණොත් මොනවා වෙයිද කියල නොහිතන ගමන්ම ආයෙත් වස්තුව අතින් අතට මාරු කළා. හර්ෂ අමිත් දිහා බැලුවේ මේක කොහෙන්ද කියල දැන ගැනීමේ ආසාවෙන්.
"උඹ නොදන්නවට මේ වැඩේට හුඟ දෙනෙක් සපෝට් බං." අමිත් හයියෙන් හිනාවුණා. හිනාවේ සද්දේ මුළු ගෙදරටම පැතිරුණා ඒ හින්ද ආයෙත් සද්දේ කාමරේට එක්කන් ආවේ හර්ෂගේ අක්කා අනුපමා ව.

"මොකද්ද මේ කට්ටියම එකතුවෙලා කරන්න යන්නේ?" අනුපමා ඇහුවේ කේන්තියෙන්. මේ වැඩවලට මල්ලිත් එකතුයි කියල දැන ගන්නකොට ගෙදර උන්දැලා පරක්කුයි. අම්මා කඳුළු හැලුවත් තාත්තා කතා නොකර හිටියත් හර්ෂව නවත්තන්න බැරිවුණා. අම්මා පිට පළාතක වැඩ කරන අනුපමා ට කතා කරලා ගෙන්න ගත්තේ අක්කට වත් මල්ලිව මට්ටු කරන්න පුලුවන්ද බලන්න. දැන් ඔය අක්කා ගෙදර ආව විතරයි. හර්ෂ අක්කා දිහා ගොලුවෙලා වගේ බලන් හිටියා. අමිත් මේසේ උඩ තිබුන අත් පත්‍රිකාවක් අරන් අනුපමා ට දුන්නා.

-------------------------------------------------------------------------------------
වහාම නැවැත්විය යුතු වැද්දන්ගේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණය
  • වැද්දන් යනු කව්රුන්ද?
වැද්දන් යනු විජයට දාව කුවේණි බිහි කළ දරුවන් දෙදෙනාගෙන් පැවත එන්නන් කියා කතාවක් වැද්දන් කියයි. අප දන්නා පරිදි එසේ බිහිවූ ජාතියක් නම් නැත. එසේ වූවානම් ඔවුන් අවජාතික ජාතියකි, අවලම් ජාතියකි. ඒ කෙසේද යත් කුවේණි නම් යක්ෂණිය විජය රජතුමා කෙරෙහි ඇති කරගත් නොසන්සිදෙන කාමය නිසා ඇති වූ ප්‍රතිපලයක් නිසාවෙනි. අවසානයේදී මේ අවලම් කාමය වෙනුවෙන් යුක්තිය විජය රජුට ඉෂ්ට වුයේ කුවේණි නම් සදාචාර විරෝධී ගැහැණිය පන්නා දැමීමෙනි. දැන් තත්වය භයානකය, මේ වැද්දන් තමන්ට ආදිවාසීන් යැයි කියාගනියි. එහෙත් ඔවුන් කියන කාරණාවේ විසංවාදයක් ඔබටම පෙනෙනවා ඇත. ප්‍රශ්නය ආරම්භවන්නේ එතැනනි.

  • වැද්දන් කරන්නට යන්නේ කුමක්ද?
  1. වැද්දන්ගේ තමන්ට ආදිවාසීන් යැයි කියා ගැනීම.
  2. වැද්දන්ට ලැජ්ජාවක් කියා දෙයක් නැති බැවින් අදින්නේ ගස්වල කොට අතු හා පරණ රෙදි කෑලි පමණක් නිසා අපේ රටේ අවුරුදු දෙදහස් ගණනක් පවත්නා සංස්කෘතිය හා සදාචාරයට වන හානි කිරීම.
  3. ඉහත දක්වා ඇති දෙය වැද්දන් දන්නා නමුත් ඔවුන් උවමනාවෙන්ම තම නිරුවත පෙන්වීමට උත්සහ කිරීම.
  4. වනචාරී ලෙස හැසිරෙමින් එය ඔවුන්ගේ උරුමය පිලිබඳව අයිතිය යැයි කියා ආඩම්බර වීම.
  5. අපගේ භාෂාව භාවිත කිරීමට හා අපගේ සදාචාරය පිළිගෙන සුචරිතවත් ශිෂ්ට ජීවිතයක් ගත කිරීමට උත්හස නොකිරීම.
  6. සත්ව ඝාතනය හා ගව ඝාතනය.
  7. ඔවුන් තවමත් අශිෂ්ට ලෙස ගස් ගල් වඳිනවා පමණක් නොව එම පළාත්වල අනෙක් ආගම ප්‍රචාරණයට අකමැති වීම.
  8. ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් සිටිනා නිසා විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වීම.
මේ ඔවුන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියා මාර්ග කිහිපයක් පමණි.

  • අප කුමක් කළ යුතුද?
අප වහා ක්‍රියාත්මක විය යුතුය. අපගේ අඛණ්ඩ සංස්කෘතිය සදාචාරය හා ඒකීයත්වය එදිරියටත් පවත්වාගෙන යා යුතුය. ඒසඳහා සැවොම එක්වෙමු. එලෙසම ඔබලා දැනගත යුතු දෙයක් ඇත එනම් ඊනියා මානවවාදීන් යැයි කියා ගන්නා පිට රටවලින් සල්ලි ගරාගන්නා පිරිසක් වැද්දන්ට උදව් කිරීමයි. ඔවුන් වැද්දන්ටත් වඩා ආන්තික හෙයින් ඔවුන්ගෙන් වඩා පරිස්සම් විය යුතුයි.
  • අපි එක්වෙමු!
මේ පිළිබඳව දැනුවත් කිරීම් මාධ්‍ය හරහා ප්‍රචාරය වීම ළඟ දීම ආරම්බවීමට නියමිතයි. එතෙක් වැඩි විස්තර දැන ගත යුතු නම්. මට කතා කරන්න. අමිත් - 000 0000000.
---------------------------------------------------------------------------------


"මොනවද මේ විකාර? ඔලුව හොඳ නැද්ද මල්ලි" අනුපමා කෑගැහුවා. එතකොට තමයි දැක්කේ කාමරේ පුරවල තිබුණු ආයුධ තොගය. "හානේ! මේවා මොනවටද?"
"වැද්දොත් එක්ක යුද්ද කරන්න" හර්ෂ වෙනුවෙන් උත්තර දුන්නේ අමිත්.
"පිස්සුද? උන් තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසකයෝ."
"අහිංසක? දන්න තරම තමයි!" අනුපමා ට තරහ පාලනය කරගන්න බැරිතරම්. අනුපමා එහෙටයි මෙහෙටයි ඔලුව හැරෙව්වා. කලින් අහල තිබුන විදිහට දහයට ගණන් කරන්න පටන් ගත්තා. මොන, කිසි වෙනසක් නෑ. ඒපාර කළේ මේසේ උඩ තිබුන පෝස්ටර් ටික ඉරල දන්න හදපු ඒක, ඒත් අමිත් ඉක්මනින් ක්‍රියත්මක වුණා. අනුපමා පැත්තකට වීසි වුණා. 'මල්ලි' අක්කට කෑගැහුනා. හර්ෂ අක්කව අල්ලාගෙන ළඟ තිබුන පුටුවකින් වාඩිකෙරෙව්වා.
"මල්ලි, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා ඔය කරන්න යන දේ ගැන." තරහ අයින් කළ අනුපමා කතා කළේ සන්සුන් ස්වරයෙන්.
"අපි යමු බං උඹලගේ අක්කට පිස්සුද කොහෙද?" අමිත් පෝස්ටර් ටිකයි පාප්පයි අතට ගන්න ගමන් කිව්වා. හර්ෂ අමිත් එක්ක යන්න ගත්තත් ආයේ පස්ස හැරිලා අක්කා දිහා බැලුවා. අනුපමා මල්ලි දිහා බලන් හිටියේ හැඟීම් වලින් තොර බැල්මකින්.

8 comments:

  1. මොකද්ද මම දාන කමෙන්ට් එක කියලා මං මේ කල්පනා කලේ.. කතාවේ අවසානයේ හිතන්න දේවල් ගොඩක් ඉතුරු වෙලා.. වැද්දොත් එක්ක සටනට යන අයත් වැද්දෝ ගානට වැටිලද කියලත් හිතෙනවා...

    ReplyDelete
  2. මේකට අටුවා ටීකා ලියන්න තරම් මම දක්ෂයෙක් නෙවෙයි.
    කොහොම වුණත් වචන වලට නගන්න බැරි කතන්දර කිහිපයක්ම මේ හරහා කියවන්න පුඵවන් වුණා. සමහර විට ඒ ඔබේ සිතේ තිබූ කතාවක්ම වෙන්න පුඵවන්.
    මතුපිට යථාර්තයෙන් හැඟී ගියේ පොල්පිත්තකින් හෝ හදපු සතුරෙක් අවශ්‍ය අපේ මානව අවශ්‍යවතාවයයි.
    අජිත් තිලකසේනගෙ කෙටිකතා නම් හරිම සංකීර්ණ යටිපෙලක් තියෙන ඒවා විදියටයි මට රස විඳින්න වුණේ. අධියථාර්ත සම්ප්‍රදායේ කෙටිකතා වල ආරම්භකයා ඔහු විය හැකි බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
  3. වැද්දන්ගෙ වාස භූමිවලට ලොක්කෙක් ආස වුණොත් වැද්දන් රටේ සංස්කෘතිය, සභ්‍යත්වය වගේ (අපි දැකලවත් නැති) දේවල් වලට හානියක් කියල මතයක් ගොඩනගන එක අමාරුවක් නෙවෙයි. ඒ අතින් ගත්තම මේක වැද්දො ගැන කතාවකුත් නෙවෙයි.

    ReplyDelete
  4. අමුතුම ආරයක කතාවක්. හොඳ පණිවිඩයක් දීලා තියනවා.

    ReplyDelete
  5. පට්ට...
    අනිවා.... වැද්දා මරමු අපි......

    ReplyDelete
  6. @Dinesh: කෙටියෙන් කිව්වොත් කියන්න උත්සහ කළ දෙයට ඔබ කියන දේත් ඇතුලත් යාළුවා.

    @Outsider: ඔව් හිතේ තිබුන කතාවක් නේන්නම්. අජිත් තිලකසේනයන් ගේ කෙටි කතාව තුලින් මම දැක්කෙත් ඒකයි. සමහර විට ඔහු කියුවේ මීට සම්පූර්ණ වෙනස් කතාවක් වෙන්නටත් පුළුවන්.
    මමත් හිතන්නේ, තිලකසේනයන් ගැන කියනව නම් වෙනම පොස්ට් එකක්ම ලියන්න වෙනවා.

    @hare: ඔව්, අදහසට තුති.

    @ගලයා: :o)

    @Kumarihami: බොහොම ස්තුතියි.

    @Charmi: ඔව්, පව් කරපු නැත්තෝ එකතු වෙලා ගල් ගහලම මරමු.

    @ඔබ නොදු‍ටු ලොවක්: එපා කිව්වට, පව් කිව්වට නොකර ඉඳීවිද?

    ReplyDelete