Friday, October 14, 2011

ප්‍රහර්ෂය : කාම වියෝග සූත්‍රය

පළවෙනි කොටසට
දවස් හතකට පස්සේ මම ඇහැරුණා. නිදාගත්තේ කොතනද කියල මතක නැතත් අවදි වුණේ මගේම ගෙදර මගේම ඇඳින්. පහුගිය දවස් කිහිපය කොහොම කොයි විදිහට ගත කළාද කියල මතක් කරගන්න උත්සහ දැරීමෙන් වුණේ දැනෙමින් තිබූ හිසේ කැක්කුම උත්සන්න වීම පමණයි. ගතේ අපහසුවත් එක්ක ඔලුවේ අසහනය එකතුවෙලා හර්ද කැක්කුම බල රහිත කළා. පහුගිය දවස් ගණනේ මතක අතුරුදන් වීමට ඒ හදවත් වේදනාව බලපාන්න ඇතියි කියලා මතක් වුණේ එතකොටයි. ඇඳෙන් නැගිටලා මට හිටගන්න පුලුවන්ද කියල බලන්න ඕනේ වගේ කල්පනාවක් ආවත් ඇඳේම ඇලිල හිටියේ කම්මැලි කමකටත් වඩා උවමනාවක් නැතිවීම නිසයි. පහුගිය දවස් හත ගැන මතකයක් නැති වුණත් දවස් හතකට කලින් වුණ දේවල් මතක තිබුණා. ඒත් ඒ මතකයන් අවුස්සන එක එච්චර ඇඟට ගුණ නැති බවත් ඇවිස්සුවා නම් තව දවස හතකට විතරක් නෙමේ, මාස හතක් මට මම ම නොදැනී ගෙවන්න පුළුවන් බව දැනුණා.

මට උවමනා කරලා තිබුනේ ඇඳටම වෙලා ඉන්නයි, ක්ෂේත්‍රයේ ඇසුරම හොයන සමාජ සත්වයා අතුරුදන් වෙලා හිටියා. හොයාගන්න අවශ්‍යතාවත් නැතිවෙලා ගිහින්. ඇඳටම වෙලා කිසිවක් නොකර ඉඳල මොනව කරන්නද වගේ ප්‍රශ්නයක් හිතේ කොනක එල්ලිලා තිබුණත් ඒ ගැන නොසලකා හැරියා. කව්රුවත් නොබලන නොසලකන අත්හැර දැමු වයෝවෘදයන් මෙහෙම අසරණවම මැරිලා ගිය පුවතක් සිහියට නැගෙමින් තිබුණා. එතකොටයි මතක් වුණේ මට හරි හමන් මිත්‍ර සම්බන්ධතාවක් වත් නැහැ නේද කියන කාරණය. ක්ෂේත්‍රයේ හඳුනාගත් ව්‍යාපාරික සබඳතා, සෝබන හිනාවීම් කතාවීම් ඇරුණු කොට පෞද්ගලික ජීවිතේට එකතුවුණු කව්රුත් හිටියේ නෑ. එහෙම අවස්ථා උදා වුණත් මම ම මඟ ඇරියා මට අවශ්‍ය නැහැයි කියල.

වෙලාව බැලීමේ අරමුණෙන් ඇඳ ළඟ තිබුණු ඔරෝලොසුව දිහා බලද්දියි දැක්කේ එතන ලියුමක් තියනවා. නිකම් කොළයක හදිස්සියට ලියපු කලබල අත් අකුරු ඒකෙ සටහන් වෙලා. ලියුම ලියල තියෙන්නේ චමේලි. පහුගිය දවස්වල කොතැනක හරි ඒකිත් රැඳුනා කියල යන්තම් මතකයක් ආවා. මේ වගේ අවස්ථාවක ගණිකාවක ගෙන් ලියුමක් කියවන්න ලැබීම වාසනාවක්ද අවාසනාවක්ද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඉඩ නොදීම මම ලියුම කියවන්න පටන් ගත්තා.

අනුරුද්ධ,
මේ ලියුම ලියන්න කලින් කිහිප වතාවක්ම කල්පනා කළා ලිවිය යුතුද නැද්ද කියල. අන්තිම තීරණයේ ප්‍රතිපලය තමයි මේ ඔයා කියවන්නේ. ලියුම ලියපු හේතුව අහන්න එපා. ඇහුවත් කියන්නෙත් නෑ, අනික ඔයාට කියල වැඩකුත් නෑ. ඒවගේම ඕනෙම යක්ෂයෙක් ඇතුලේ උනත් මනුස්සකම් දන්න මිනිහෙක් හැංගිලා හරි ඉන්නවා කියල මම දන්නවා. එහින්ද ඔයාටම හේතුව තේරුම් ගන්න පුළුවන් වේවි කවදාහරි. අනිත් පැත්තෙන් ඔයා ආචාර්යවරයෙක් සමාජය හොඳින් දන්න කෙනෙක්. එහින්ද මානුෂික සබඳතාවල ස්වභාවය අමුතුවෙන් ඔයාට විතර කරලා දෙන්න උවමනා නැහැනේ.
එදා ඔයා මං ගාවට එද්දී හොඳටම බීලයි හිටියේ, හරියකට කෙලින් හිටගන්නවත් බැරිතරම්. ඔයාට අවශ්‍ය වුණේ මගේ ගතේ පහස නෙමෙයි. මගේ සෙනෙහස. ඔයාට ඕනේ වුණා මගෙන් සැනහෙන්න. මං ළඟට එන හැම මිනිහටම වගේ ඕනත් ඕකමයි. ලෝකෙටම පේන්න ලොකුකම් කියවන මිනිස්සු හිතින් හරි අසරණයි. මගේ නිරුවතට අවනත වෙන ඒ මිනිස්සු මගේ ආදරය ඉදිරියේ අඬන්න ගන්නවා. ඒ වෙලාවට උන්ගේ ඇස් වලින් පෙනෙන්නේ තනිකමින් පීඩාවෙන හදවත් වල විලාපය. ඔයගෙනුත් මම දැක්කේ ඒ තනිකම ම තමයි. මම දන්නවා මම ඔය කාගෙවත් පෞද්ගලික විස්තර දන්නේ නෑ තමයි. ඒ වගේම ඒ දේවල් නොදැන මිනිස්සුන්ව මණින එකත් මම අනුමත කරන්නේ නැහැ. හැබැයි මම දන්න දේ නම් මා ගාවට එන ගැනුම්කරුවන් ඉදිරියේ මම නිරුවත් වුණාට උන්ගේ නිරුවත් වෙන්නේ ගත නෙමෙයි, මුළු ආත්මයම. ඒ ආත්මයන් තැලිලා පොඩිවෙලා පීඩාවෙලා. එතකොට මට ඒ මිනිස්සු ගැන දැනෙන්නේ කලකිරීමක් නෙමෙයි දුකක්.
තවත් මේ විදිහට විස්තර කරන්න යන්න පුළුවන් වුනත් මම එහෙම කරලා ඔයා ඉන්න තත්වය තවත් පහළට ඇදල දන්න උවමනාවක් මට කොහෙත්ම නෑ. ඒත් ඔය දැන ගත යුතු දේ කියන්න ඕනේ. ඔයා වෙරිවෙලා ඉඳිද්දී ඔයා 'සඳා' කියල කියවන්න ගත්තා. මම දන්නවා ඔයා බැඳලා නැහැයි කියල, ඒ හින්ද මගේ ඊළඟ උපකල්පනය වුණේ ඔයාගේ හිටපු පෙම්වතියක් එවන්න ඇති කියල. ඔයා ඒ අවසිහියෙන්ම ඒ නම කියමින් අඬන්න පටන් ගත්තා. මම කොච්චර උත්සහ කළත් නැවතුනේ නෑ. මම දන්නවා ඔයා ඒ සම්බන්ධයෙන් සෑහෙන්න දුක්වෙන්න ඇති. අනිත් කෙලවරක් නැති සම්බන්ධතා වලට මූලික හේතුව වෙන්න ඇති. අනිත් කෙල්ලන්ගෙන් සඳාව හොයන්න මහන්සි වෙලා පසු තැවෙන්න ඇති. ආදරේ කියන්නේ ඔහොම තමයි. ආදරෙන් පීඩා විඳින්නෙත් ආදරේ කරන අයම තමයි. ඒ වගේම ආදරේ නිසාම අනිත් අයට පීඩා කරන්නෙත්.
ඔයා පහුගිය දවස්වල හිටියේ මා ගාව, මගේම ගෙදර. එතෙනට ගැනුම්කාරයෝ කව්රුවත් එන්නේ නෑ. ඒත් ඔයාව මම එතනට ගත්තා. කන්න බොන්න දුන්නා සැලකුවා. ඊට පස්සේ ඔයාව ගෙදරටම ගෙනත් ඇරලුවා. ඔයාට දැන් ඒවා අමතක ඇති. නැත්තම් අමතක කරන්න උත්සහ කරනවා ඇති. ඒක හොඳයි. ඔයා ඒ හිටපු තත්වය අනුව ඔයාව නිකන් අත ඇරලා දාන්න මට බැරිවුණා. ඔයා ඒ දවස් වල හැසිරුනේ මැරෙන්න දඟලන සතෙක් වගේ. මට ඔහොම තේරුමක් නැතිව ජිවිතේ විනාස කරගන්නවා බලන් ඉන්න බැහැ. මේ පළවෙනි වතාවත් නෙමෙයි. ඔය අවස්ථාවම නොවුනත් මීට සමානව මම ක්‍රියා කළ අවස්ථා තිබුණා. කොහොම වුණත් මෙච්චරයි කියන්න තියෙන්නේ මීට පස්සේ ඔයා මං ගාවට එන්න එපා. ආවට බාරගන්නෙත් නෑ. මම දන්නවා ගණිකාවකගෙන් උපදෙස් ගන්න උවමනාවක් නම් ඔයාට කොහෙත්ම නැතුව ඇති ඒත් පුළුවන් නම් මාව, මම කරපු දේවල් පහු කරලා ආයෙමත් ජීවත් වෙන්න උත්සහ කරන්න.

හිතුවට වඩා දේවල් ලියවුණා, දැන් නැවත්විය යුතුයි. අවසානයේදී කියන්න තියෙන්නේ මගෙන් ජීවිතයට සුබ පැතුම් අනුරුද්ධ කියලයි.

මීට, චමේලි.


-ප්‍රහර්ෂයේ නිමාවයි-

8 comments:

  1. ආදරය කියන්නෙත් මහ පිස්සුවක් විතරයි. බලාගෙන ගියාම ආදරය කියන දේ රැඳිල තියෙන්නෙ හිතන්නෙවත් නැති තැන්වල.
    හොඳයි කතා පෙළගැස්ම..

    ReplyDelete
  2. ගෙදර ගිහින් ආපහු කියවන්න ඕන...

    ReplyDelete
  3. ආදරය කියන්නේ වෙලාවකට පිස්සුවක්.. ජිවිතේ හරි මග අරන් යන්න හිතපු අනුරුද්ධ ආයෙම හිටපු තැනටම ඇවිත්.. අළුත් ඇරඹුමක් එනකම්..

    හැමදාම වගේ වෙනස් විදිහක කතවක් යාළුවා.. තව එකක් ලියමු...

    ReplyDelete
  4. හ්ම්ම්ම්... චමේලිගෙ ලියුමෙ තියෙන දේවල්වල කතාවක කොටසක් කියල පැත්තකට දාන්න බැරි ඇත්තක් තියෙනව...

    ඒත් ඒක ඇත්ත වුන පළියටම පිළිගන්නවද කියන එක ප්‍රශ්නයක්.. :)

    ReplyDelete
  5. @Outsider: ඒකනේ ආදරේට පුර්ව නිගමන දෙන්න නරකයි. ස්තුතියි මිත්‍රයා.

    @Dinesh: සමහර වෙලාවට අපි කොච්චර දේවල් කළත් ඉන්නේ එකතැනමයි. ස්තුතියි යාලු, බලමුකෝ.

    @සාතන්: ඒක ඉතින් බාර වෙන්නේ කියවන්නාට. ඒත් සමහර විට ප්‍රකාශය ඉදිරිපත් වන පුද්ගලයාම ඊට හරස් වෙන්න පුළුවන්. ස්තුතියි බං.

    ReplyDelete
  6. ලස්සනයි කතාව. පිරිමියෙක්ගේ හිතක් ගැන හොඳ සටහනක්. චමේලීගේ ලියුම, කතාවේ හොඳම කොටසයි.

    'චමේලී' කියලා හින්දි ෆිල්ම් එකක් තිබුනද කරීනා කපුර් ඒ වගේම චරිතයක් රඟපාන?

    ReplyDelete
  7. @Kumarihami: බොහොම ස්තුතියි.
    ඔව් එහෙම ෆිල්ම් එකක් තිබුණා, චරිතෙත් මේ හා සමාන්තරයි. කාලෙකට කලින් බලපු නිසා ඒකෙ කතාව නම් කොයි වගේද මට මතක නෑ. මේ චරිතෙට ඒ නම යොදාගත්තේ ඇයි ද මන්දා. ඉබේටම හිතුනා, ඒක නිසා නාමකරණය කළා. සමහරවිට ඒ ෆිල්ම්එක ගැන මතකයක් මටම නොදැනී තියෙන්න ඇති.

    ReplyDelete
  8. ආද්‍රය ගැන හැමූම දකින පොදු අදහසට අමතරව ඔයා මේක ඇතුලේ ආදරය යනු ආදරයම බව කියල තියෙනවා...බොහෝම හොඳයි..තව එකක් ලියන්න අපි මග බලාගෙන ඉන්න්නේ...

    ReplyDelete