Monday, October 10, 2011

ප්‍රහර්ෂය : සරාගී දෑස අතර

පළමු කොටසට


"ඔයා මට ආදරේද?" අනීශා ඇහුවා. මේ වගේ හදිසි එක්වීම් වලින් පස්සේ ගෑණුන්ට ඔය වගේ ප්‍රශ්න අහන්න හිතෙනවා. ඒක තමන් දැන් පත්වුණු තත්වය, ස්ථාවරය දැනගන්න කරන ස්ත්‍රී මායමක් වෙන්නත් පුළුවන්, නැත්තම් ස්වභාවිකව ගැහැණියට ආරක්ෂාව රැකවරණය දෙන්න පිරිමියා අවශ්‍ය බව පෙනෙන පරිණාමික ලක්ෂණයක් වෙන්නත් බැරි නැහැ. කොහොම වුණත් මම ඕක අහන බව දන්නවා, ඊට පස්සේ අහන ප්‍රශ්නත් අහනවා. ටිකෙන් ටික පිරිමියාව දැලේ දාගෙන කසාද බඳින්න තල්ලු කරන්නේ හීන් සීරුවේ. අන්තිමට නොදැනිම වලේ වැටිලා. මෙච්චර අත්දැකීම් රාශියක් එක්ක මාව තම්බන්න පුළුවන් කියල වෙන්න ඇති අනීශා හිතන් ඉන්නේ.

"ගෑණුන්ට ඔය ප්‍රශ්නේ හරි වැදගත් නේද?"
"ඔව්, ඉතින් උත්තර දෙන්නකෝ..."
"මෙහෙමයි, මට ඕනෙනම් ඔව් කියල උත්තර දීල ඔයාව රවට්ටන්න පුළුවන්. ඒත් මම බොරු කියන්න කැමති නෑ. ඔයාට ආදරේ කරන්න නම් ඔට ගැන කොච්චර දේවල් දැනගන්න තියනවද, අනිත් එක ඒකට තව කල් ඕනේ. තප්පරෙන් දෙකෙන් ආදරයක් ඇතිවෙන්න බැහැනේ. අපි මෙහෙම කරමු."මම සුපුරුදු ශේප් නියාය අනුගමනය කරමින් හිටියා. "අපි අපිව මුලින්ම අඳුනගන්න ඕන, ඊට පස්සේ ඕක කියන්න බැරියෑ"

"මාත් එක්ක නිදාගත්තට පස්සෙද ඒක මතක් වුණේ?"
"සෙක්ස් කියන්නෙත් ඒකෙම කොටසක් තමයි."

බලාපොරොත්තු වුණු විදිහටම අනීශා මගේ ඒ ප්‍රතිචාරයට කැමති වුණේ නෑ. ඒත් දැන් කරන්න කියල වෙන දේකුත් නැති හින්ද ගෑණිට එකඟ වෙන්නම වෙනවා. කෙල්ලෙක්ව දැනගන්න, තේරුම් ගන්න මම කැමතියි. ඒත් එහෙම ගත් උත්සාහයන් එකකවත් අවසානය සාර්ථක නැහැ, හැම අවස්ථාවකදීම මට සිදු වුණේ හර්ද කම්පාවකට ලක්වෙන්න. හදවතට දැනෙන කම්පා භුමි කම්පවකටත් වඩා භයානකයි. තැලිලා පොඩිවෙලා චෝප්පවෙලා ගිහින් හදවත කෑලි වලට කුඩු වුනාට පස්සේ ආයේ හාවෙන්න ලේසි නෑ. දැන් මගේ හදවත දොරවල් හතකින් වහල තියෙන්නේ. මොන කෙල්ල ආවත් ඔය හැම දොරකටම යතුරු උන් ගාව නෑ. නැත්තම් තියනවා කියල දන්නේ නෑ, මම හොයාගන්න උදව් කරන්නෙත් නෑ.

මම මුල්ම වතාවට ප්‍රේමයෙන් ආතුර වෙද්දී ස්වප්න මෝචනය වුණා විතරයි. මම ඒ සිද්ධිය අයියාට කිව්වට පස්සේ එයා 'උඹ දැන් ලොකු මිනිහෙක්' කියල හිනාවුණා. මට මුලින්ම කෙල්ලෙක්ට ලියුමක් ලියන්න ලැබුනේ මට ලැබුණු ලියුමක උත්තරයක් විදිහට. ඒකිට හොඳ හොඳ කතා හැදිලා තිබුනට මට අලුත් මම ගැන දැනගන්න ඒකි උදව් කළා. ඇත්තම කිව්වොත් සඳමාලි මට අවුරුදු දෙකක් වැඩිමල් අක්ක කෙනෙක්. මුලින් මුලින් මට මල්ලි කියමින් හිටියට මට පස්සේ අයියා වැඩ කරන්න පුළුවන් වුණා. කසාද බැඳලා යන්න හදද්දී සඳා අක්ක හොඳටම ඇඬුවා ඒකි යන්නේ අපායකට කියල. මට කරන්න කියලා කිසිම දෙයක් තිබුනෙත් නෑ, මම කරබාගත්ත. එදා තමයි මම කෙල්ලෙක් වෙනුවෙන් අඬපු පළවෙනි වතාව. ආයේ නම් කෙල්ලෙක් වෙනුවෙන් අඬන්නේ නෑ කියල මම මටම පොරොන්දුවක් දීගත්තට මොකද මම අතින් කීප වතාවක්ම ඒ පොරොන්දුව බිඳුනා. අර සිනමාවේ පෙන්නන විදිහේ නැත්තම් නවකතාවල තියන විදිහේ අකුණු වදින ගතියක්, මල්වෙඩි  පුපුරන ගැස්මක් නැති වුණත් මම සඳා අක්කට ආදරේ කළා. සමහර විට පෙම්වතියකටත් වඩා මගේම සහෝදරියක් විදිහට. ඒ වෙන්වීමෙන් පස්සේ මම මාස ගණනාවකටම අක්‍රීය වුණා. කෙල්ලෙක් ගැන යන්තම්වත්  උනන්දුවක් ඇතිවුණේ, අවුරුද්දකින් විතර පස්සේ. සඳමාලිව මුණ ගැහෙන්න කියල එක එක ප්ලෑන් ගැහුවට එක ක්‍රියා කරවන්න මට මානසික ශක්තියක් තිබුනේ නෑ, අනිත් එක ප්‍රශ්න ඇති කරගන්න ඕනේ වුණෙත් නෑ. අයියාට මගේ වෙනස තේරුණා උදව් කරන්නත් හැදුවා ඒත් මම ඕනේ නෑ කිව්වා. මම ඒ උදව් බාර ගත්තනම් මම දැන් ඉන්නේ බොහොම වෙනස් තැනක් කියන එක ස්ථිරයි. ඊට පස්සේ වුණේ කවදාවත් කෙල්ලන්ට මගේ හදවතේ ඉඩක් නොදෙන්න උත්සහ කරපු එක. ඒත් මම අසාර්ථක වුණා, කිහිප වතාවක්ම. එහින්දම දැන් ඒ ගැන මම හොඳටම සැලකිලිමත්.

අනීශාට මම, අපි අපිව හඳුනාගන්න ඕනේ කියල කිව්වේ බොරුවටමත් නෙමේ. මේ යාමට අවසානයක් තියෙන්නත් ඕනෙනේ. හැමදාම මෙහෙම නිදාගන්න විතරක් ගෑණු පස්සේ යන එකත් එපා වෙන කාලයක් ඒවි කියල මම දැනන් හිටියා. ඒත් ස්ථිර වශයෙන්ම තැම්පත් වීමක් ගැන මම විශ්වාස කළේ නෑ. එක ගෑණියෙක්ට කොටුවෙන්න උවමනාවක් තිබුණෙත් නෑ. ඒත් යම් අවසානයක් අවශ්‍ය බව විතරක් දැනන් හිටියා. ඒ අවසානයට ගැලපෙන්නේ කොයි විදිහේ කෙල්ලෙක්ද කියල මට යම්තම්වත් අදහසක් තිබුණේ නෑ. අනික එක එක විදිහේ පෙම්වතියන් ඉඳලත් ඒ ගැන නොදැනීම මහා පුදුම දෙයක්.

එකවතාවක් රූපවාහිනී සාකච්චාවකදී රැඩිකල්වාදියෙක් කිව්වා "මිනිහෙක් ගෑණු සියගානක් එක්ක වුණත් නිදාගෙන ඊට පස්සේ හැබෑ ආදරේ හොයාගන්න පුළුවන් කියල." මම ඒකට එකඟ වුණාම මගේ පාර්ශවයේ අනිත් උන් පුදුම වුණා. එකෙක් වැඩසටහන තුලදීම මට කිව්වා මම කටුස්සෙක් කියල. තව එකෙක් පාවාදෙන දෙන්න කීයක් ගත්තද කියලත් ඇහුවා. කොච්චර වංක මිනිහෙක්ට වුණත් ආත්මයක් තියනවනම් එක වතාවක් හරි අවංක වෙනවා කියල කියන්න හිතුනත් මම කියන්න ගියේ නෑ. ඕකුන්ට ඕව කියල වැඩකුත් නෑ.

අනීශා මං දිහා බලල හිනා වුණා. මමත් හිනා වුණා.
"හරි එහෙනම් හොඳ උත්සහයක් දෙමු." මම ඔලුව වැනුවා. මම අනීශාව තුරුළු කරගත්තේ මටවත් නොදැනීමයි. 


-ඉතිරිය මතුවට-

7 comments:

  1. මේක ගැන කියන්න දෙයක් හිතාගන්න බෑ බන්... සිරාම සිරා... ඊළඟ කොටසත් ඉක්මනට දාපන්...

    ReplyDelete
  2. අනිත් කොටසත් ඉක්මනි ලියන්න යාළුවා...

    ReplyDelete
  3. @සාතන්: බෝම ස්තුතියි බං, දාන්නම්.

    @visithuru: :D

    @Dinesh:ලියන්නම් යාළු.

    ReplyDelete
  4. පරමාදර්ශී ආදර සම්බන්ධතා ගැහැණු පිරිමි අතර ඇතිවෙනව කියල මමනම් විශ්වාස කරන්නෙ නෑ. ඒ හැම එකක්ම අවස්ථානුකූල බැඳීම් විතරයි.
    අලුත් විදියෙ කතාවක් ලියමුකො ඉතිරි කොටසත්..

    ReplyDelete
  5. //"මිනිහෙක් ගෑණු සියගානක් එක්ක වුණත් නිදාගෙන ඊට පස්සේ හැබෑ ආදරේ හොයාගන්න පුළුවන් කියල." //

    මම මේ කල්පනා කරන්නේ ගෑනියෙක් මෙහෙම දෙයක් කීවොත් මොනවා වෙයිද කියලා.

    වෙනස් ආරයක කතාවක්. හිතට එන හැඟීම් අවංකවම කියලා තියන එක හොඳයි. හිත කියන එක පාලනය කරන්ට පුලුවන් දෙයක් නෙවේ. ඒත් ගෑනු හිතක් පිරිමි හිතකට වඩා වෙනස් වෙන්නේ ඔන්න ඔතනදී. පිරිමියෙකුට ගැහැනියක් එක්ක ඉන්ට ආදරයක් අවශ්‍ය නැහැ. ඒත් ගැහැනියකට එහෙම බෑ. කීදෙනෙක් මා එක්ක එකඟ වෙයිද මම දන්නේ නෑ.

    ReplyDelete
  6. @Outsider: මගේ අදහස නම් එහෙම සම්බන්ධතා ඇති වෙන්න බැරි කමක් නැහැ කියලයි. ඒත් අපි අහන දකින ඒවානම් අවස්ථාවාදී ඒවම තමයි.

    @Podi Kumarihami: ඔය විදිහට ගැනියෙක් කිව්වොත් හොඳ නමක් හදාගන්න පුළුවන්. සමහර විට ශුද්ධවන්තයන් එකතු වෙලා ගල් ගහන්නත් බැරි නෑ.
    ස්තුතියි, ඕක දෙපැත්තම බලපාන්න පුළුවන්. ඒත් පිරිමි පාර්ශවයෙන් ඒ තත්වය සුලබයි.

    ReplyDelete