මේ කියන්න යන්නේ පොතක් ගැන විස්තරයක්. ඒ කෙටි කරපු දිග කතා ලියල තියෙන්නේ කුමාරි (කුමාරි කුමාරගමගේ) නම් කෙනෙක්. ඇය නැගෙනහිර පළාතේ සිටින විට 2007 වසර ඇතුලත ලබා ගත් අත්දැකීම් මත, විවිධ පුද්ගලයන් මුල්කරගත් කෙටි කතා කිහිපයක එකතුවක් තමයි මේ පොතේ ඇතුලත් වෙන්නේ. පොත කියවන්න පටන් ගත් වෙලාවේ ඉඳල ඇති වුණු කම්පනය නම් දරුණු යි. කියවල ඉවර වෙලා කිහිප දවසක් ම ගත වුණත් තාමත් ඒ අකුරු අතරින් ගලා ආපු කෘර බව හිතට වද දෙනවා. මම මේ කරන්න යන්නේ විචාරයක් නෙමේ, අනික සැබෑ අත්දැකීම් මත ලියපු යමක් විචාරය කරන්නත් බැහැ කියලයි මම හිතන්නේ. ඒ නිසා යම් යම් උපුටා දැක්වීම් කිහිපයක් පමණක් දක්වන්නම්.
කතාව ගැන යමක්
දිනක් ත්‍රිකුණාමලයේ සිට නුවර බලා යමින් සිටි මා ගමන් ගත් රථය පිපිරුම් ශබ්දයකට පාරේ නැවතිණි. ඒ තම්පලකාමම් / තඹලගමුව මංසන්ධිය යි. ඉදිරියේ නාවුක හමුදා බසයක් බිම් බෝම්බයකට හසුව පුපුරා ගොස් පසෙක තිබු කුඹුරකට පෙරළී ගිනි ගෙන තිබුණි. මළ සිරුරු හා සියලු සුන් බුන් ලහි ලහියේ ඉවත් කොට පැයකට පමණ පසු මාර්ගය විවෘත විය. නාවුක හමුදා බටයෙකුට අයත්ව තිබු ඔප දැමු කළු පැහැ සපත්තුවක් අයිති කරුවා අහිමිව තනිවී පාර අයිනේ රැඳී තිබුණි. එය මට පැවසුයේ අත්හරිනු ලැබූ තවත් එක් කතාවකි.
පාර්වතී
තනිවම ඇවිද ගන්න බැරිව පැනල එන්නේ කොහොමද? අනික ඒ කඳවුරු වටවෙලා තියෙන්නේ හමුදා කඳවුරකින්. අනිත් පැත්තෙන් මුහුද, තව පැත්තක ගඟ. කොහොම හරි පැනල ආවමයි කියමුකෝ. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් උස්සගෙන් ගිහින් පැනල ගියාට දඬුවම් දෙයි. නැත්තම් කවුරුහරි වෙඩි තියල දායි. ඒත් නැත්තම් ළමයා වෙනුවට ගෙදර කාවහරි අරන් යයි. කරදර විතරයි. එහෙම වෙන්නේ නෑ කියල කාටද සහතික වෙන්න පුළුවන්. අන්තිමට පාර්වතී තීරණය කළා බලා ඉන්න. කවදාහරි දවසක කවුරු හරි පුතාව ගෙදර ගෙනත් ඇරලවයි.
පොන්නුදුරෙයි
"පුතාව හම්බ වුණාද?"
"ඔව්, අපි ඉන්න තැන හොයාගත්තා. කතාබහ කරන්නත් හම්බ වුණා. ළමයා අඬනවා ගෙදර එන්න. අපි මොනවා කරන්නද නෝනා. දෙවියෝ තමයි අපිට ඉන්න එකම පිහිට."
"දෙවියෝ! දෙවියෝ ඉන්නවනම් ඉතින් ඇයි ඔයාලට මෙච්චර කරදර වෙන්නේ..."
"නෝනා එහෙම කියන්න එපා. ජීවිතේ පටන් ගත්ත දා ඉඳන් අපි වෙනුවෙන් කිසිම කෙනෙක් මොනවත් කළේ නැහැ. ඉස්සරහට කරන්නෙත් නෑ. බලයේ හිටපු අයයි බලය ගන්න හදන අයයි කවුරුත් කළේ අපිට නිදහසේ ඉන්න දුන්නේ නැති එක. අපිට ඉන්නේ දෙවියෝ විතරයි නෝනා. දෙවියෝ මගේ පුතාව ගෙදර එන්න සලස්වාවී"
මව්වරු සහ දරුවන්
පොන්නුදුරෙයිලගේ ගෙදරට පිටිපස්සේ ගෙදරින් වයසට ගිය අම්මෙක් එබිකම් කළා. " ඒ මගේ අක්කා, එයාගේ පුතාවත් එල්.ටී.ටී.ඊ. එකෙන් අරන් ගියා. දැන් අවුරුදු දෙකකට විතර ලොකු පුතා පැනල ආපු කාලෙ ඒ ළමයාත් පැනල ආවා. කරුණා පාටිය ඇවිත් මේ ගේ ඉස්සරහ... අන්න අර අඹ ගහ ළඟදී ඒ දරුවට වෙඩි තිබ්බා. මැරෙනකොට අවුරුදු 18 යි වයස. යන්තමින් දැලි රැවුල ආවා විතර යි..."
පොන්නුරෙයි ගේ අක්කා කම්බි වැට උඩින් අපි දිහා බලලා එක දතක් වත් නැති ලොඹු කටින් හිනා වුණා.
"දෙමළ වෙලා ඉපදුන පාපෙට දෙයියෝ මොනවා කරන්නද?"
අපි එන්න හැරෙනකොට ඒ කතාව ඇහුනේ පොන්නුදුරෙයි ගේ අක්කගේ ගෙවල් පැත්තෙන්.
මව්වරු සහ දරුවන්
"එදා හවස එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් පැලේ හේත්තු කරලා තිබුණ බයිසිකලේ ඉල්ලලා. එයා කියල අනේ ඒක නම් දෙන්න බැහැ ඒක නැතුව කොහොමද මම ගෙදර යන්නේ කියල. උන් ඒක අහන්නේ නැතිව බයිසිකලේ ළඟට යද්දී බල්ලා ගොරවලා. එතකොටත් එයා කිව්වලු බල්ලට මොනවත් කරන්න එපා බයිසිකලේ මම අරන් දෙන්නම් කියල. ඒත් උන් බයිසිකලේ අත ඇරලා බල්ලාගේ කනට වෙඩි තියල..."
සිත්තාන්ඩි
සිත්තාන්ඩි
"කවුද ඉතින් වෙඩි තියල තියෙන්නේ?"
"දන් නෑ"
"එල්.ටී.ටී.ඊ. ද?"
"නෑ"
"කරුණාද?"
"නෑ"
"වෙන කණ්ඩායමක්ද?"
"නෑ"
"හමුදාවද?"
"දන් නෑ"
-------------------
"හමුදාවේ පොලිසියේ අය ආවේ නැද්ද ශිව කුමාරගේ මරණෙට?"
"පහුවදා ආවා"
"ඉතින්?"
"කවුද වෙඩි තිබ්බේ ඇහුවා අපි කිව්වා දන්නේ නෑ කියල"
"එතකොට එයාල මොකද කිව්වේ?"
"ඔව්, ඔයාල දන්නේ නෑ. එල්.ටී.ටී.ඊ. එකෙන් වෙන්න ඇති කිව්වා."
"ඔයගොල්ලෝ කිව්වද නෑ කියල?"
"එක නැන්දෙක් කිව්වා ඇඳුම් ඔයාලගේ වගේ, දිග තුවක්කු තිබුණා කියල"
-------------------
"කව්ද ගමට ෂෙල් ගැහුවේ?"
"දන්නේ නෑ"
"ඇයි? කවුරුත් ඔයාලට කිව්වද ඔයාල දන්නේ නෑ කියල?"
"ඔව්..."
කුහන් - ත්‍රීවිල්කාරයා / දේශපාලනඥයා
"ඇත්තටම සිංහල දෙමළ අතර ඉරි අඳින්න පුළුවන් කාටද අක්කා... කොහෙන් කොහොමද ඒක පටන් ගන්නේ? මම දෙමළ වෙලා ඉන්න කැමතියි. ඇත්තම කිව්වොත් දෙමළ කියාගන්න ආඩම්බරයි. හැබැයි ඒක මාව මරණයට තීන්දු කරන්න හේතුවක් වෙන්නේ කොහොමද? ඒක අක්කව මරන්න මට ලැබෙන ලයිසන් එකක් වෙන්නේ කොහොමද? ඒක මම කතා කරන භාෂාවට, මම ජීවත් වෙන විදිහට, මම අදහන ආගමට, මම ජීවත් වෙන ප්‍රදේශයට හේතුවක් විතරක් කරගන්න පුළුවන් නම්... එහෙනම් අපි කොච්චර වසනාවන්තද නේද අක්කා... දැන් බලන්න කඳවුරේ හිටපු අර මල්ලි... එයාගේ අම්මා සිංහලද දෙමළද? එය දෙමළ කියල කවුරු හරි කියනව නම් එයාගේ සිංහල කෑල්ලට තියන අයිතිය එහෙම්පිටිම්ම නැති වෙනවද? එතකොට ඒ අම්මගේ ළමයි... උන් කවුද? ඒ ළමයින්ට ජීවිතේ කවදාවත් සතුට කියන එක විඳින්න බැරි වෙන්න කරපු පාපය මොකද්ද? අපේ මිනිස්සුන්ට මේවා තේරෙන කාලෙ වෙද්දී අනිත් ඒවා කෙසේ වෙතත් ලොකු කනත්තක් නම් ඉතිරි වේවි."
ආයේ අමුතුවෙන් මට කියන්න දෙයක් නෑ, මේ වචන ඒවා වෙනුවෙන්ම කතා කරනවා. මේ පොතේ නැවත නැවතත් කියවෙන්නේ යුද්ධයේ කුරුරි බව හා සාමයේ වැදගත්කම ගැනම තමයි. ඒ වගේම 'දෙමළුන්ට ප්‍රශ්න තියනවද' කියන ප්‍රශ්නෙටත් සාධාරණ උත්තරයක් මේ පොතෙන් ලැබෙනවා. ඇය කියල තියන විදිහටම මේ මහා චිත්‍රය නෙමේ යි, මේ ඉතාම කුඩා කොටසක් පමණයි. මේ කොටසින් මහා රූපය බලන්න බෑ වගේම මේ කොටස නැතුව මහා චිත්‍රය සම්පූර්ණ වෙන්නෙත් නෑ. අවසානයේදී කියන්න තියෙන්නේ නොකියවුණු කතාවක් දැනගන්න මේ පොත පුලුවන්නම් කියවන්න කියල තමයි.
සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
සියොතුනේ දකුණින් එහි යන පියඹා
දකුණේ දිනු ගම් පීරා
උතුරේ උන් හා..
අහසේ හමුවන තැන කොතැනේ....
ආයේ අමුතුවෙන් මට කියන්න දෙයක් නෑ, මේ වචන ඒවා වෙනුවෙන්ම කතා කරනවා. මේ පොතේ නැවත නැවතත් කියවෙන්නේ යුද්ධයේ කුරුරි බව හා සාමයේ වැදගත්කම ගැනම තමයි. ඒ වගේම 'දෙමළුන්ට ප්‍රශ්න තියනවද' කියන ප්‍රශ්නෙටත් සාධාරණ උත්තරයක් මේ පොතෙන් ලැබෙනවා. ඇය කියල තියන විදිහටම මේ මහා චිත්‍රය නෙමේ යි, මේ ඉතාම කුඩා කොටසක් පමණයි. මේ කොටසින් මහා රූපය බලන්න බෑ වගේම මේ කොටස නැතුව මහා චිත්‍රය සම්පූර්ණ වෙන්නෙත් නෑ. අවසානයේදී කියන්න තියෙන්නේ නොකියවුණු කතාවක් දැනගන්න මේ පොත පුලුවන්නම් කියවන්න කියල තමයි.
සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
සියොතුනේ දකුණින් එහි යන පියඹා
දකුණේ දිනු ගම් පීරා
උතුරේ උන් හා..
අහසේ හමුවන තැන කොතැනේ....