Thursday, April 5, 2012

සිංහලබෞද්ධයන්ගේ™ ෆෝබියා දශකය

ෆෝබියා යන්නේ සරල තේරුම බිය යන්න යි. මනෝවිද්‍යාවේදී එය යම් වස්තුවක්, සිදුවීමක්, තත්වයක් කෙරෙහි ඇති නොනවතින භීතියකි, චිත්ත වියවුලකි. එහෙත් මා මෙහිදී ෆෝබියා යන්න භාවිත කරන්නේ මනෝ-චිකිත්සක අරුතකට වඩා සමාජයීය අරුතකිනි. ඒ නිසා මෙහෙදී ෆෝබියා යන්න වඩාත් ගැලපෙන්නේ ආකල්ප, අගතීන්, නොරිස්සිම් හා වෛරය යන වචන වලටයි. මේ මා දක්නා ලද ප්‍රධාන ෆෝබියා දශකය වන අතර විටක මට මග ඇරෙන්නට ඉඩ ඇති ඒවාද තිබෙනු ඇත. එසේම මෙහි සඳහන් සමහර ෆෝබියා සිංහලබෞද්ධයන්ට™ පමණක් විශේෂයෙන් ඇති ඒවා නොවේ.

10. බුද්ධිමත්ෆෝබියාව
මේ නම් බුද්ධිමතුන් කෙරෙහි ඇති බියයි. බුද්ධිමතුන් සොයාගැනීමේ අපහසුව වෙනම කතාවකි. පවතින ඕනෙම රජයකට හා එහි බත් බැලයන්ට ඕන කර ඇත්තේද 'සියල්ලම ඉතාම අගනේය හාමුදුරුවනේ' කියනා ජනතාවක් නිසා මේ ෆොබියාවට දේශපාලඥයන් ද කැමැත්තක් දක්වයි. ඕනෑම දෙයක් විචාර බුද්ධියෙන් බලන්නන්ට ඉතා පහසුවෙන් ලේබල් වැදෙනා නිසා හදුනා ගැනීමද දුෂ්කරය. මෙයට ආසන්නම හේතුව විය හැක්කේ ලංකාව ආගම මුල්කරගත් දේශයක් වීම විය හැක. විද්‍යාව හා විශ්වාසය සමාන්තරව ගලා යාම අපහසුය.මේ කරුණු කෙසේ වුවත් අප රටේ ජනතාව "බුද්ධිමත් ජනතාවකි".


9. ධනවත්ෆෝබියාව
ධනවත් වූ සියල්ලෝම ශ්‍රමය සූරා කන යක්ෂයන් බවත් මුදල් තම ජීවිතය කරගත් පරිභෝජනවාදීන් බවත් සිතීම මෙයට අයත් වේ. ධනවතුන්ගේ දේපල විනාශ කිරීම, ව්‍යාපාර බිඳ දැමීම වීර ක්‍රියාවක් සේ සලකන අතර විශාලම හානිය කළ කෙනා වීර පුරුෂයෙකි. පුද්ගල සංවර්ධනය හා ව්‍යාපාරික දියුණුව ලැබූ/ලබන ව්‍යාපාරිකයන් නිසැකවම හොරුන් හා අපරාධකාරයන් බවට පත්වේ.


8. වැඩදායකෆෝබියාව
බහුතරයක් රැකියාවට යන්නේ තමන්ට අයත් කාර්ය කිරීමට නොවෙන බව කවුරුත් දන්නා කරුණකි. නිකරුනේ කාලය ගත කිරීමට බොහෝ දෙනා ප්‍රවනතාවක් දක්වන අතර වැඩදායක පුද්ගලයන්ට ඉතා බියක් දක්වයි. අයිස් නොගසන්නන්ට බොහෝ අවස්ථාවලදී උපහාස/අපහාස විඳ ගැනීමට සිදුවන අතර ඔවුන්ම අවැඩදායක පුද්ගලයන් අතින් සිදුවන පාඩුව පියවිය යුතුද වේ. විශාල මට්ටමෙන්ද මෙය සිදුවන අතර මිහින්ලංකා ගුවන් සමගම හා හම්බන්තොට වරාය සාර්ථක නිදසුන් වේ.


7. මුස්ලිම්ෆෝබියාව
ජාතිවාදයේ නවතම මුහුණුවර මෙයයි, ප්‍රසිද්ධ ෆෝරමයකට ගිය විට මුස්ලිම් ජාතිකයන්ට අපහාස කරන ඉස්ලාම් ආගමේ වැරදි සොයා ජාතිවාදී උණ විකාරයෙන් දොඩවන්නන් ඕනෑ තරම් සොයා ගත හැක. නවතම තත්වය වන; මුස්ලිම් ජාතිකයන් ටොපි මගින් සිංහලයන්ව වඳ කිරීමේ සංවිධානාත්මක වැඩ පිළිවෙලක නියුතු නිසා මුස්ලිම් ජාතිකයෙක් ගැවුණු තැනකින් ඇඳුම් මිලදී ගැනීම කිසිසේත්ම නොකළ යුතුය. ගෝත්‍රය අනෙක් සියල්ලටම ප්‍රථමයෙන් පැමිණෙන නිසා ඔබත් මුස්ලිම් කඩ වර්ජනය කරන්න.


6. බෞද්ධෆෝබියාව
බෞද්ධයන් ලංකාවේ සිටින්නේ ඉතා අඩු ප්‍රතිශතයකිනි. මේ කියන්නේ නමට බෞද්ධ වූවන්, දෙමාපියන් බෞද්ධ නිසා ඒ ආගම ම අනුගමනය කරන්නන්, ප්‍රොතෙස්තන්ත කරණය වූ වික්ටෝරියානු බෞද්ධයන් හෝ හින්දු-බෞද්ධයන් නොව සැබෑවටම බෞද්ධයන් ගැනයි. සැබෑ බෞද්ධයන්ට ඊනියා බෞද්ධයන්ගේ මතවාද රීති බලෙන් පටවන අතර, සිංහල යන විශේෂණය බෞද්ධ යන පදයට එකතු විය හැක්කේ අනන්‍යතාවය හුවා දැක්වීමට පමණක් බව ඔවුන් නොදනිති. සිංහලබෞද්ධයන්™ බුදුන්ගේ දේශනාව වන හරි වැරැද්ද කුමක්ද යන්න තමන්ම විනිශ්චය කිරීමේ අයිතියට ගරු නොකරයි.


5. කාන්තාෆෝබියාව
බොහෝ සිංහල පිරිමින් කාන්තාවට බිය ය. කාන්තාවගේ නිරුවතට බිය ය. ඒ බිය වසාගන්නට උත්සහ දරන්නේ ප්‍රචණ්ඩත්වය මගින් හෝ කාන්තාව යටපත් කිරීමෙනි. කාන්තාවකට හදිසියේ අතවරයක් වුණහොත් එය එම කන්තාවම කළ (කොට ඇඳුම් පැළඳීම වැනි) අනුබලයක් නිසා සිදුවූ බවට සපත වන්නේත් අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදේශ ගතවීමට ඉඩ නොදෙන්නට නීති සම්මත වන්නේත් එබැවිනි. කාන්තා ඇඳුම් සම්බන්දයෙන් දක්වන බිය වෙනම මාතෘකාවක් වන අතර එහි වැඩි විස්තර මෙතැනින් කියවිය හැක.


4. බටහිරෆෝබියාව
මෙය සුලබ ෆෝබියාවකි (phobia) . ඇමරිකාව, එංගලන්තය ඇතුළු මුළු යුරෝපාකරයම (western counties) බල සිටින්නේ අප රටට වින කිරීමට (doing jinx) නිසා ඔවුන් නිරන්තරයෙන් (always) (ඒ කියන්නේ ඔවුන්ගේ අනෙක් වැඩ සියල්ලම පැත්තකට දාල) අපේ රටේ කුණු (garbage) ඇවිස්සීමට බලා සිටියි. ඒ නිසා මින් ඉදිරියට ලංකාවේ සිදුවන සෑම වැරද්දකටම නිසැක හේතුව (cause) බටහිර වේ. ඒ නිසා අපි බටහිර කුමන්ත්‍රණ වලට එරෙහිව (against) නැගී සිටිමු. "We Sri Lankans are condoming America!"


3. ඉන්දියන්ෆෝබියාව
බටහිර ෆෝබියාවට වඩා මෙය සංකීර්ණය. ළඟම ඥාතියා කියා වැළඳ ගන්නත් නරකම සතුරා කියා මුනුමුනු ගාන්නත් වැඩි වෙලාවක් අවශ්‍ය නැත. ලොකු අයියට කීකරු නංගි දඟ වැඩ කළ විට අයියගෙන් තරවටු ලබා අඬයි, එහෙත් කිසිවක් තනියම කරගත නොහැකි නිසා නැවත්තත් හුරතල් වන්නට අයියා ළඟටම දුවයි. එනිසා ඉන්දියාව පිළිබඳ කිසිවක් ප්‍රසිද්ධියේ නොකියා සිටීම ඇඟට ගුණය.


2. සාමෆෝබියාව
යුද්දයක් පවතින විට සාමය යන වචනය ඇසීම පවා ඇඟ කිලිපොලායන තරම් භීතියක් ඇති කර වීමට සමත්ය. "වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත, අවෛරයෙන් අවෛරය සංසිඳේ" යන බෞද්ධ පාඨය සිංහලබෞද්ධයන්™ අසා නැත, ඇසුවත් සත පහකට ගණන් ගන්නේද නැත. ඇයි යකෝ, අරෙහෙන් ගහද්දි අපිට උඩ බලන් ඉන්න කියලද කියන්නේ. මේක අපේ සිංහල රට බොලව්!


1. මානවහිමිකම්ෆෝබියාව
අප රටේ මිනිසුන්ට මානව හිමිකම් නැත, තිබුනත් අපට ඒවා උවමනා නැත කියනා පිරිසක්ද සිටියි. වර්තමානයේ ජාතින් වෙනසක් නොමැතිවම මානව හිමිකම් කඩවන අවස්ථා ඕනෑ තරම් දක්නට ඇතත් ඒවට සාධාරණයක් ඉටුවන බවක් පෙනෙන්නට නැත. එසේ කරනා පාලනයටම ආවඩන පිරිසකුත් ඇත. පෙළපාලි, උද්ගෝෂණ යනුද ඇත. (රූපවාහිනී වැඩසටහන් වලට කතාකොට තමන්ට මානව හිමිකම් නැතිව ජීවත් විය හැකියි කියනුද ඇත, රු 2500/= කින් මාසයක් නොමැරී සිටිය හැකියි කිව්වා සේ) තමන්ට මානව අයිතිවාසිකම් එපා යැයි නොකියා කියනා ජනතාවක් සිටිනා රට ආශ්චර්යක් හැර වෙන කුමක්ද?

23 comments:

  1. බෞද්ධ දර්ශනය පිළිඹද තරමක වැටහීමක් ඇති කෙනෙකුට ඔය ෆෝබියා එකක් වත් නැති බව තමයි කියන්න තියෙන්නෙ... උඩ කියල තියෙන කාරණා වලට ආගමේ සම්බන්දයක් නැති විත්තිය හිරණ්‍ය වුනත් දන්න බව තමයි මගේ විශ්වාසය...

    ReplyDelete
    Replies
    1. මානව හිමිකම් පිලි ගෑනීමට අපේ මිනිසුන් සුදානම්ද,වෑඩිය ඕන නෑ තමන් සිටින මතයට විරුද්දව බ්ලොග් එකක පෝස්ට් එකක් දෑමුවොත් වෑටෙන කොමෙන්ට් කොහොමද??

      සාතන් - අදහසට සම්පුර්නයෙන් එකගයි,ඔය ෆොබියා ඔක්කොටම වඩා දරුනුයි මරනය ගෑන තියන බිය,නමුත් මරන ෆෝබියාව ඒ අයට නෑත්තේ මෑරෙන් නෑතුව වගේ ජීවත් වෙන නිසා.

      Delete
    2. සාතන් ඔය උඩ කියන කාරනා බොහොමයක් වලට ආගමේ සම්බන්ධයක් ලොකුවටම තියෙනව කොහොමද අපේ බොදුබල සේනා කට්ටියගෙ වැඩ කිඩ.
      මේ රට එන්න එන්නම අතීතයට යන රටක්

      Delete
  2. මේ කියන ෆෝබියා ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ... හැබැයි මම නිරීක්ෂණය කරපු දෙයක් කියන්න හිතුණා. ඔය ස්ටැට් පෙන්නන ගැජට් එකේ (උඹ ඒකට දාල තියෙන්නෙ ගණනය කියලා) ලොකු අඟක් වගේ එකක් තියෙනව නේද? ඕක හැදුණෙ අර සමලිංගිකයන්ව එල්ලා මැරිය යුත්තේ ඇයි කියන පෝස්ට් එක නිසා වෙන්න ඕන. ඔය ලිස්ට් එකේ 11ට "සමරිසි ෆෝබියාව" එන්න පුළුවන්ද :P

    සාතන් කියපු කතාව ගැන මට හිතෙන්නෙ දැන් සිංහලබෞද්ධයන්™ බෞද්ධාගම ගැන දන්නව වැඩියි කියලයි ;-)

    ReplyDelete
    Replies
    1. ඔව් එන්න පුළුවන් (සමහර විට ඊට ඉහල තැනකටත්), ඒක මෙතනට ඇතුළු නොකළේ කලින් ඒ ගැන ලිව්ව නිසා වගේම ෆෝබියා ඇතිවෙන්න සමරිසි බව ගැන කිසිත් නොදන්නා අයත් ලංකාවේ ඉන්න නිසාත්. ;)

      Delete
  3. දැන් ඇත්තටම මිනිස්සු ඉස්සරට වඩා මේ දේවල් වලට බයයි.. විශේෂයෙන්ම 1,2,4 වගේ කාරණා වලදි..

    ReplyDelete
  4. නොදන්නදේට බියවීම මිනිස් ස්ව්භාවය නෙව.....:P

    ReplyDelete
  5. මම නම් කැමතිම අර කාන්තා ෆෝබියාව ගැන කියපු ටිකට. ඔය කතාව කාන්තාවක් එහෙම කීවා නම් බලාගන්ට තිබුනා....:D

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇමරිකානු ප්‍රාග්දනයෙන් මෙහෙයවෙන ස්ත්‍රීවාදී ව්‍යාපෘතිය සිංහල බෞද්ධ විරෝධය හා එකට හිටගන්න බවයි මේකෙන් පේන්න තියෙන්නේ.මේ අය සුලුජාතීන් කීවාට මුස්ලිම් අයට විරුද්ධයි.ඒත් ඇමරිකානු අවශ්‍යතාවය නිසයි.සුලු ජාතීන් කියන්නේ ඇමරිකානු අවශ්‍යහාවයට ගලපෙන සේ රටවල් කැබලි කරන්නන්ටයි.උදහරනයකට පිලිපීනයේ මින්ඩනාවෝ වරුන් සුලුජාතියක් නොවෙයි.ඇමරිකානු සහාය මත පිලිපීන රජය කරන දේ මානව හිමිකම් කැඩීමක් නොවෙයි

      Delete
  6. ආහාර ඇඳුම් නිවාස තිබුනට මිනිසුන්ට ඒ මතම ජීවත් වෙන්න බෑ..තව මොනවහරි ටොපික්ස් ටිකක් ඕනි...
    මමනම් හිතන්නෙ මිනිස්සු ඔය වගේ ෆෝබියා දාගන්නෙ ජීවිත වටා තියෙන හිස්කම නැති කරගන්න...එදා ආරච්චි කියන්නෙ ප්‍රකට බඩු කාරයෙක්, දරුණු චරිතයක්, අධිකරණ බලය ඇති කෙනෙක්, ඒත් අද
    නිකම්ම නිකම් පොරක් විතරයි ග්‍රාමසේවක..
    එක්තරා කලකදී මිනිස්සුන්ට ජීවත්විමට මුදල් වලට අමතරව යමක් තිබිය යුතු උනා..ඒත් අද මුදල් විතරයි...ඒ නිසා ඉතිරිය වෙනුවෙන් මොකක් හරි ෆෝබියා එකක් ඇදල අරන් දා ගන්නවා...ඒක ලේසියි..නව මතයක් ගොඩනංවනවට, නව ප්‍රවාහයක් හදනවට, නව නිර්මාණ කරනවාට වඩා බෝම ලේසියි ෆෝබියා තුල ජීවත්වීම..සහ ෆෝබියා විඳීම...

    ReplyDelete
    Replies
    1. //නව මතයක් ගොඩනංවනවට, නව ප්‍රවාහයක් හදනවට, නව නිර්මාණ කරනවාට වඩා බෝම ලේසියි ෆෝබියා තුල ජීවත්වීම..සහ ෆෝබියා විඳීම...//

      ජීවත් වෙන්න කෙනෙක්ට ෆෝබියාවක් අවශ්‍යනම් ප්‍රශ්නයක් නෑ, ඒත් තමන්ගේ ෆෝබියාව තමන්ටම විතරක් තියාගන්නවනම් තමයි හොඳ. ඒත් ඒ ෆෝබියා නිසා අපහසුතාවන්ට, පීඩාවන්ට, ශාරීරික/මානසික වද වලට ලක්වන්නන් කොච්චර ඉන්නවද?

      Delete
  7. ලෝකයේ සකලවිධ මිනිස් දුබලතාවන් සියල්ල තම ජාතියට ආදේශකොට උදම්ඇනීම (හෙවත් උඩබලාගෙන ලකල ගැසීම) කවරනම් මානසික ව්‍යාධියක්ද?

    ReplyDelete
    Replies
    1. සකලවිද මිනිස් දුබලතා එක් විශේෂිත ජාතියකට ආදේශ කළේ නැත. මා දකින දුර්වලතා පෙන්වූවා පමණි. සඳහන් කර ඇති පරිද්දෙන්ම මේවා එක් ජාතියකට පමණක් ඇති ඒවා නොවිය හැක.

      ඒ 'මානසික ව්‍යාධිය', ගෞතම බුදුන් උපතින් ඇතුළු වූ කුලය අනුව කිසිවෙකු වසලයකු හෝ බ්‍රහ්මයකු වන්නේ නැති බවද එසේ වන්නේ කරන ක්‍රියාවන් අනුව බව කිය වූ, පොළව විශ්වයේ මැද යැයි සිතාසිටි කාලයක කොපර්නිකස් එයට විරුද්ධ මතයක් කීමට පෙළඹ වූ, කළු ජාතිකයන්ට පහත ලෙස සැලකු කාලයක මාටින් ලුතර් කින් තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්නට උරදුන් 'ව්‍යාධියම' විය යුතුය.

      Delete
    2. නියම පිළිතුර!

      Delete
  8. ඔය එක බියක්වත් නැති මිනිහෙක් මේ ලෝකෙ ඇත්තෙම නෑ කියලයි මට නං හිතෙන්නෙ අනික මානසික ව්‍යාධීන්ට හොදම ඔසුව බුද්ධ දර්ෂණය කියලයි බුධු මග යන්නෙක් අනුව මගේ අදහස. ඒත් මේ සියල්ල තුල සිංහලබෞද්ධයන්ගේ™ කියන වචනය මේ මානසික ව්‍යාධීන් සමග ගැලපෙනවද යන්න ගැටළුවක්. මොකද සිංහලබෞද්ධයන්™ කියන එක ජානියාදය නම් ලොකුම ජානිවාදියෙක් තමයි අනගාරික ධර්මපාල තුමා, ඒත් ඒක එහෙම නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ ෆෝබියා මානසික ව්‍යාධි නොවේ, එසේ කියාද නැත. ඔබ එසේ සිතාගත්තේ ඇයි දැයි නොදනිමි. මේවා දෙස මා බලා ඇත්තේ සමාජයීය පැතිකඩකිනි. අනිත් අතින් "සබ්බේ පොතුඡ්ජනිකා උම්මත්තකා" කියනා නිසා හැමෝටම අඩු/වැඩි වශයෙන් ඔහොම තත්ත්ව පවතින්නට ද හැක.

      Delete
    2. අනගාරික ධර්මපාලතුමා ගැන දැනගන්න මේක කියවන්න!

      http://www.scribd.com/doc/89863805/Ashoka-Handagama-Speach

      Delete
  9. කුමන හෝ ආකාරයක ෆෝබියාවක් නොමැත්තා එක්තරා ආකාරයක මානසික රෝගියෙකි.

    ReplyDelete
  10. මෙතන තියන බොහෙිමයක් ෆෝබියාවන් සිංහල බෞද්ධයාට පමනක් ඇතිඒවා නොවේ. සෑම රටකම පාහේ අඩු වැඩි වශයෙන් මෙවන් ෆෝබියාකාරයන් ඇත.

    ReplyDelete
  11. සටහන හොඳයි!!!

    රාජ් කියන එක හරි. මේවා සමස්ත ලෝකයේ ෆෝබියා දශකය කියලා දැම්මා නම් වඩාත් නිවැරදියි. ඔබාමාට 8, 9, 10 තියන බව පැහැදිලිව දකින්න පුළුවන්!!! "බෞද්ධෆෝබියාවත්" තියෙන්නෙ සිංහල භාවිතා කරන ලංකාවේ බෞද්ධයන් අතර විතරක් ම නෙමෙයි; බෞද්ධාගම ප්‍රධාන ආගමක් හැටියට අදහන්න ඉඩදෙන චීනයේ ද දලේ ලාමා ගැන ෆෝබියාවක් තියෙනවානේ!!!!

    ReplyDelete
  12. @රාජ් සහ අරුණි,
    ඔව්, මේ ෆෝබියා එක් ජාතියකට විශේෂ නොවිය හැකියි, ඒසේම එසේ වන අවස්ථාද අසා/දැක ඇත. මම ඒ බව මුලින්ම සඳහන් කරලා තියනවනේ.

    දලයි ලාමා ගැන ෆෝබියාව නිකම්ම බෞද්ධ ෆෝබියාවක් කියල ගන්න පුලුවන්ද? ඒ එක්කම ටිබෙටයේ බලය බෙදීම, වෙනම රටක් ලෙස ගැනීම වගේ කරුනුත් එකතු වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ලෝකෙ හැම තැනම තියෙන "ෆෝබියා" ලැයිස්තුවක් වෙන්න පුලුවන්. ඒත් මේ වගේ ලියමනක්/කියමනක්/ජනශ්‍රැති නිසියාකාර ව "පත්තු වෙන්නේ" කිසියම් සංස්කෘතියක් තුල කිසියම් සන්දර්භයකට අදාල ව කියවනකොට, ලියනකොට, භුක්ති විඳින කොට. සිංහලෙන් කියවන පාඨක පිරිසක් එක්ක මේක මේ විදිහට බෙදාගැනීම අර්ථාන්විත බව යි මට හැඟෙන්නෙ.

      Delete
  13. හිරන්‍යලා බලාපොරොත්තුවන බෞද්ධයා මරන විට මරනානුස්මෘතිය වඩන්නෙක්.ඊලම සැලසුම් කළ හිරන්‍ය ලාගේ ප්‍රධානීන් ඊළම පිහිටවීමට මැලේසියාව ,ඉන්දියාව හෝ සිංගප්පූරුව තෝරානොගැනීමට හේතුව ලංකාවේ ඇති බුදුදහමලු.ඔවුන් සිතුවේ දෙක වදින කොට දුවයි කියාය.දැන් ඔවුන්ට සිදුවී ඇත්තේ ලංකාවෙ බලු කුක්කන් ලවා බ්ලොග් ලියවීමයි අනේ පවු

    ReplyDelete