Sunday, April 29, 2012

රස්තියාදුකාරයා - I

සොම්බි ආක්‍රමණයකින් මුළු ලෝකෙම හිටපු මිනිස්සු මැරිලා මළ මිනී ඇවිදින්න ගත්තම මම දන්නා තරමින් ඉතුරු වෙලා හිටියේ මම විතරයි. තව මම වගේ බේරුණු අය ඉන්න පුළුවන් වුණත් හරියටම දැනගන්නවත් කිසිම සම්බන්ධතාවක් පවත්වන්න වත් අවස්ථාවක් තිබුනේ නෑ. කොළඹ පාරවල් පාළුවෙලා තිබුණා. වාහන අන්තිමට නවත්තල තිබුණු තැන්වලම නවත්තල තිබුණා. එහෙන් මෙහෙන් මැරුණත් නොමැරුණු සදහටම පැරඩොක්සයක හිරවුණු දිරාපත් මිනිස් ශරීර ඉබාගාතේ ඇවිද්දා. 'ජීවය' කියන වචනෙත් එක්ක මේ ලෝකය පෑහුණේ නෑ. කෙනෙකුට ඕනෙනම් මේ ලෝක අවසානය කියල හඳුන්වන්න පුළුවන් වුණත් විනාශ වෙලා තිබුනේ මිනිස් සංහතිය විතරයි. සොම්බිලගේ අතින් මැරුණු සත්තු ඇරුනම සත්තුන්ට මේක බලපෑවේ නැති තරම්. මිනිස්සු පෘථිවියට කළ හානියත් එක්ක බලද්දී එකේ පුදුමෙකුත් නෑ.

මම හිටියේ තට්ටු ගණනක් උස ගොඩනැගිල්ලක ඉහලම තට්ටුවට වෙලා. බිම ඉඳන් එපමණ ඉහලට සංවේදනයක් සොම්බිලට තිබුනේ නෑ. මගේ අත්දැකීම් අනුව නම් කොහොමත් උන්ට සංවේදන හැකියාව ජීවමාන මිනිසුන්ට වඩා සැහෙන අඩුයි. ක්‍රියාදාම චිත්‍රපටයක වගේ තුවක්කුවක් හොයාගෙන මුන්ට වෙඩි තියාගෙන යන්න උවමනාවක් හිතේ කැරකි කැරකි තිබුණා. ඒ අදහස ක්‍රියාත්මක කරන්න නම් මෙතනින් යන්න වෙනවා. ඒත් ඒකම තමයි ප්‍රශ්නේ, මෙතනින් යන්න නම් සොම්බිලගේ අවධානය ලබන්නේ නැතිව වාහනයක් හොයාගන්න වෙනවා. මම හිමිහිට පහල බහින්න ගත්තා, ගොඩනැගිල්ල යුද්දෙකට මැදි වෙලා වගෙයි. හැබැයි විනාශ වුණු බිත්ති මේස පුටු ඇරුනම මිනිස් සලකුණක්වත් තිබුනේ නෑ. අහ්! සමාවෙන්න හැම අතම විහිදුනු ලේ සලකුණු නම් ඕනෙතරම්. ගොඩනැගිල්ලේ බිම්මහල වෙන්වුණේ  වාහන නවත්වන්න. බිම්මහලේ වාහන කිහිපයක් අතරින් මම තෝරාගත්තේ වැඩිපුරම ආරක්ෂාවක් තියෙන්න පුළුවන් කියල හිතල ජීප් එකකට ඇතුල් වුණා. ඒත් එක්කම තිබුණ වාහනය මම ගොඩක් කැමැත්තෙන් හිටපු කාර් එකක් වුණත් ඒ ගැන තිබුණු ආශාව දැන් සම්පූර්ණයෙන්ම වගේ හිඳිලා තිබුණා.

දැන් තමයි අමාරුම කොටස; තුවක්කුවක් හොයාගැනීම. පොලිසියකට ගියොත් ඒක කරගන්න පුළුවන් වේවි කියල හිතාගෙන පුළුවන් තරම් අඩුවෙන් ශබ්ද වෙන විදිහට වාහනේ එලවන්න ගත්තා. තැන් තැන් වල වාහන නැවතුනු පාරක යාම පහසු නෑ, සොම්බිල තැනින් තැන ගැවසෙන නගරයක වාහන එළවීම කොහෙත්ම පහසු නෑ. වාසනාවකට හෝ අවාසනාවකට මට පොලිසියකට යන්නත් මියගිය නිලධාරියෙකුගේ විය හැකි තුවක්කුවකුත් හමුවුණා. නැවතත් වාහනේට නැගල අතුරු පාරෙන් ප්‍රධාන පාරට එද්දිම මුහුණ දෙන්න වුනේ සොම්බිලා සිය ගණනකට, නැත්තම් ඊටත් වඩා. කොහොම වුණත් පාර පිරෙන්නම උන් හිටියා. වාහනේ පුළුවන් තරම් වේගෙන් ආපස්සට අරන් හරවල ආපහු හිටපු පැත්තටම එන්න හැදුවත් ඒ පාරත් සොම්බිලාගෙන් පීරලා තිබුණා. දෙපැත්තෙන්ම වට වෙලා හින්ද කරන්න තිබුනේ වෙඩි තියන එක විතරයි. ඒ එක්කම මම කළේ ආසන්නයට ආ එකෙක්ට වෙඩි තැබීම, ඒ හඬ මම හිතුවට වඩා තියුණුයි. කොයිතරම්ද කිව්වොත් දවල් හීන බලන මිනිස්සුන් නැගිට්ටවන තරම් ශක්තිමත්.

මම ඇස්දෙක විවර කළාට පස්සේ කළේ මම ඉන්නේ කොහෙද කියල බලපු එක. ඉන්නේ ගෙදර මගේ කාමරේ ඇඳේ වැතිරගෙන බවත් අතින් ගෙදර අය කතාකරන නිසා සොම්බි ආක්‍රමණයක් වෙලා නැති බවත් තේරුනේ තප්පර කිහිපයක පමාවකින් පස්සේ. ඇඳ ළඟ තිබුණු මේසේ ලොකු පොතක් දිග ඇරපු ගමන් එහෙම්මම තිබුණා. දාඩිය වැඩිකම හින්ද පවන් ගහන්න ඒ පොතෙන් පිටු කිහිපයක් කඩා ගත්තා. පොත වැහුවහම තමයි දැන් ගත්තේ ඒ බයිබලය බව, නොදැනුවත්වම සුසුමක් පිටවුනේ ඒ එක්කමයි. සෑහෙන වෙලාවක් (ඔරලෝසුවක් ළඟපාතක තිබුනානම් කොච්චර වේලාවක්ද කියන්නත් තිබුණා) නිදාගත්තට පස්සෙත් මහන්සියේ අඩුවක් තිබුනේ නෑ. ඒක මානසික මිසක් කායික විඩාවක් වෙන්න බෑ.

ඇඳෙන් නැගිටලා මේස ලාච්චුව ඇදල බලද්දී පැරසිටමෝල් පෙති ගණන් කරන්නේ නැතිව කිහිපයක් අතට හලගත්තේ බොන්න. බෙහෙත්වලින් මේ අසනීපය හොඳ කරන්න බැරිබව දැනගෙනත් ඒවා බිව්වේ තාවකාලික හිරිවටිමකට. කොහොමත් මම හිරිවැටුණු මිනිහෙක් වගේ තමයි. අනිත් හැමෝම වුවමනාවට වඩා කලබල වෙද්දී වෙලාව ගැන මට ගානක්වත් නෑ. කාලය හෝ අවකාශය කියල දෙයක් ඇත්තටම නෑ කියල පිළිගනිද්දී අනිත් පුද්ගලයන්ගේ ක්‍රියාවන් ගැන මට ඇතිවුනේ අනුකම්පාවක්.

"උඹට ඔය විදිහට ජීවත් වෙන්න අමාරු වෙයි" දවසක් මට යාලුවෙක් කිව්වා. මම උත්තර දෙන්න ගියේ නෑ. එහෙම හිතෙන්නේ පිටින් බලන පුද්ගලයට විතරයි, හැමදේම සාපේක්ෂ නිසා ජීවත් වෙන විදිහ කියල දෙයක් නෑ, උඹ හිතන්නේ මේ මම ජීවත් වෙනවා කියලද වගේ ප්‍රතිචාර දැක්විය හැකි වුණත් මේවගේ ප්‍රශ්න දහස් ගානකට උත්තර දීල මම වෙහෙසිලා හිටියේ. මගේ ජීවිතය, ජීවත්වෙන විදිහ තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඇයි? ඇයි මිනිස්සුන්ට අනුන්ගේ ජීවිතවලට ඇඟිලි නොගහ ඉන්න බැරි? දැන් ඒවා මට ප්‍රශ්නත් නෙමෙයි. පොදු මිනිස් ගති නිසා තියෙන්නේ උපේක්ෂාවක් විතරයි.

සොම්බිලාගෙන් පිරුණු ලෝකය මේ අවදිවුණු ලෝකෙට වඩා සාර්ථකයි. ඒ ලෝකෙදි මම තරමක වීරයෙක්. මගේ හරි වැරදි හොයන්න කවුරුවත් නැති හින්ද කරදරයකුත් නෑ. සැබෑ ලෝකය ඒක වෙලා මේක හීන ලෝකය වුනානම් හොඳයි. නෑ, කලින් කිව්ව වාක්‍යයේ කිසි තාර්කික හෝ දාර්ශනික බවක් නෑ. 'සැබෑව' මොකද්ද කියන එකත් ප්‍රශ්නයක් වෙද්දී හීන වලින් මිදීම කියල දෙයක් තියෙන්නත් බෑනේ. මම මේට්‍රික්සයක හිර වෙලා ඉන්නවනම් කවුරුවත් කෙනෙක් ඇවිත් දෙන තොරගතයුතු රතු හෝ නිල් බෙහෙත් කරලකුත් නැත්තම් මම 'සැබෑව' තුල හිර වීමේ තේරුමක් නෑ. පැරසිටමෝල් අධි සාන්ද්‍රණයක් ලේවලට එකතු වීමෙන් මත් ගතියක් එක්ක ආපු සමබරතාව නැතිවීම නිසා මම ආයෙත් ඇඳේ වැතිරිලා ඇස දෙක පියාගත්තා. සොම්බි ලෝකය හිතින් මවාගන්න ගත් අසාර්ථක උත්සාහයන් කිහිපයකට පස්සේ නැවතත් නැගිටලා ඇඳේ වාඩිවුණා. බයිබලය අතට අරන් අහඹුවෙන් පිටුවක් පෙරලුවෙත් කිසිවක් කියෙව්වේ නෑ. පොත පුළුවන් තරම් වැරෙන් විසිකළා, එය බිත්තියේ වැදිලා බිම වැටුනා.

මම තීරණය කළා මගේ ආත්මය යක්ෂයාට උගස් කරන්න.




-ඉතිරිය මතුවට-

16 comments:

  1. මුලින් කියවද්දි මම හිතුවේ I am ledgend ෆිල්ම් එක වගේ කතාවක් කියලා.. මැදදි වෙනස් උනානේ.. බලමුකෝ ඉතුරු ටිකත් ආවම..

    ReplyDelete
    Replies
    1. මුල් කොටස ලියුවහම හිතුනා ඒවගේ කතාවක් වුණත් ලියන්න බැරි කමක් නෑ කියල, බලමුකෝ ඉදිරියට...

      Delete
  2. /*මම තීරණය කළා මගේ ආත්මය යක්ෂයාට උගස් කරන්න.*/
    ඔය වාක්‍යත් එක්ක මම කියන්න හිතන් හිටපු එක අමතක වුනා...

    සාතන් මුණ ගැහෙන්න කැමැත්තෙන් ඉන්න කීපදෙනාගෙ ලිස්ට් එකේ උඹත් උඩින්ම ඉන්නව... :)

    ReplyDelete
    Replies
    1. හෙහේ, මෙහෙම ගියොත් මට සාතන්ව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මුණගැහෙන්න වෙනවා තමා. :D

      Delete
  3. අමුතුම ආරයක කතාවක්!

    //දාඩිය වැඩිකම හින්ද පවන් ගහන්න ඒ පොතෙන් පිටු කිහිපයක් කඩා ගත්තා. පොත වැහුවහම තමයි දැන් ගත්තේ ඒ බයිබලය බව, නොදැනුවත්වම සුසුමක් පිටවුනේ ඒ එක්කමයි. //

    මේ කොටසින් කියවන්නාට පණිවිඩයක් දෙනවා කියලයි හිතෙන්නේ. බයිබලයේ පිටුවලින් පවන් ගැහුවාම විඩාව නිවී ගියාද?

    ReplyDelete
    Replies
    1. කතා නායකයාගේ විඩාව නිවුණේ නෑ, ඒකනේ පොත වීසි කළේ...

      Delete
  4. මමත් කැමැත්තෙන් කියෙව්වා. ඉතිරිය කියවන්නත් කැමැත්තෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, හැකිතරම් ඉක්මනින් ලියන්නම්.

      Delete
  5. [කොයිතරම්ද කිව්වොත් දවල් හීන බලන මිනිස්සුන් නැගිට්ටවන තරම් ශක්තිමත්.]
    ප්‍රබල අදහසක්!

    ReplyDelete
  6. කතා නායකයාගේ ජීවිතේ ඉන්න අනික මිනිස්සු zombie ලා විදිහටත්, ඒ අනිත් මිනිස්සුන්ට කතා නායකයා zombie කෙනෙක් විදිහටත්, දැනෙනවාද?
    රසවත් මායාව කටුක යතාර්තයකට වඩා හොඳයිද?
    මගේ යතාර්ථය ඔබේ යතාර්ථය මත සමපාත වේවිද? නිරපේක්ෂ යතාර්ථයක් පවතිනවාද?

    මේක කියවගෙන යද්දී මට හිතුනේ ඕවා තමයි. ඒවාට පිළිතුරු ඇහුව නෙවෙයි. මට නිකමට හිතුන දේ. :)

    ගොඩක් ලස්සනට ලියල තියෙනවා. ඊළඟ කොටසත් ඉක්මනින් ලියන්න.

    ReplyDelete
    Replies
    1. මම නිරපේක්ෂ යතාර්ථයක් ගැන විශ්වාස කරන්නේ නෑ. අපේ යතාර්ථ සමපාත විය යුතුත් නෑ. පිළිතුරු ඇහුවේ නැතුවත් කිව්වා. :)

      ස්තුතියි, ඔන්න දැන් ලියල ඉවරයි.

      Delete
  7. හපොයි උඹත් වින්දනය කොටස් කරල දෙන්න ගත්තද?

    ReplyDelete
    Replies
    1. කලිනුත් ඔහොම ලිව්වා බං. :D
      හිතේ තියන කතාව දිගයි. එක දිගට ලියන්න කම්මැලියි, වෙලාවත් යනවා.

      Delete