Monday, March 26, 2012

වීරයා මැරිලා නෑ

වීරයා මැරිලා නෑ, ඒ වුණාට නිශ්චිත වශයෙන් ජීවත් වුණෙත් නෑ. මේ වෙලාවේ වීරයා හිටියේ නිදිගතව. ලනු ඇඳක පැද්දී පැද්දී අනාගත ජනධිපති වීමේ සිහිනයක ආශ්වාදය ලැබුවා. වෙනසකටත් එක්ක ඔහු දිව්රුම් දුන්නේ මහා ජනකායක් ඉදිරිපිට. අලුත පත්වුණ ජනාධිපතිවරය ට ඔවුන් ඔල්වරසන් දුන්නා. උපදේශකයෙක් ඇවිත් මංගල කතාව කරද්දී 'බුද්ධිමත් ජනතාව' කියන වචනය නිතර භාවිතා කළ යුතු බව මතක් කළා. දිවුරුම් දුන්නට පස්සේ ජනතාවට අතවනපු වීරයා කතාවට සුදානම් වුණා. අවුරුදු හතකට කලින් තිබුණු බෝම්බ බය තිබුනේ නැති වුණත් ආරක්ෂාව වෙනුවෙන් වෙඩි නොවදින වීදුරුවක් තැබිය යුතු බව කියා සිටියේ වීරයාගේ නිලි බිරිඳ. 

ඡන්දෙට කලින් පත්තරේ සාකච්චාවක් කළ බිරිඳ තමන්ගේ සැමියාගේ නම හැම උත්තරයකට ඔබ්බවන්න තරම් පරිස්සම් වුණා. වීරයා ඇයව විවාහ වෙන්නට ඉස්සර ඇයව පැහැරගෙන යාම සම්බන්දයෙන් ප්‍රශ්නයකට නිළිය මහා හයියෙන් හිනා වෙලා උත්තර දුන්නේ 'අනේ මේ අපේ එක්කෙනාගේ පිස්සු වැඩ' කියල. කොහොමින් කොහොමින් හරි ඒ සාකච්චාව සුදානම් කරලා තිබුනේ වීරයාගේ සංවිධායකවරයෙක් කියල දැන ගත්තම නිලියට කේන්ති ගියත් තරහ පිට කරගන්න අවස්ථාවක් නැති කමෙන් කට වහගත්තා. වීරයා ඡන්දේ දිනුවා කියල දැන ගත්තට පස්සේ ඒ කේන්තිය පිට වුනේ කඳුළු විදිහට. පාක්ෂිකයෝ කවුරුත් ඒ කඳුළු බාරගත්තේ සතුටු කඳුළු විදිහට. වීරයා ඇවිත් නිළියව අල්ලලා නළලට හාදුවක් දුන්නම නම් නිලියට ඇඬුනේ ඇත්තටම යි. ඒ ඇඬිල්ලෙන් වීරයාට කලින් එල්ල වුනු බාල දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව දිය කරන්න වුණත් පුළුවන් වුණා. ජනාධිපති ආර්යාව වීමේ සතුටින් හැම මාධ්‍ය ඡායාරූපයකටම පෙනේ සිටි ඇය හැම අමුත්තෙකුටම කෑම බීම සපයන්න තරම් නිරහන්කාර වුණා.

ඡන්දේ දිනන එක අමාරු වුනේ නෑ. ඒ වෙද්දී අනෙක් පක්ෂ නැත්තටම නැති වෙලා ගිහින් නිසා තරගයක් තිබුනේ තමන්ගේ පක්ෂයෙන්ම තමයි. වීරයාට කලින් ජනධිපති වේවිමයි කියල හිතපු දෙන්නා තමන්ගේ ඥාතිත්වයත් අමතක කරගෙන ඇනකොටා ගනිද්දී වීරයා නම් ඒවට මුකුත් කියන්න ගියේ නෑ. අන්තිමේදී එක්කෙනෙක් වෙඩි කෑමෙන් මිය යද්දී අනෙකා හිරේ යන්නේ නඩු අහන්නෙත් නැතිව යි. සිද්ධි ඔහොම වෙද්දී කවදාවත් වැටෙන්නේ නෑ කියල හිතගෙන හිටපු සහෝදරත්වයේ පාලනය කඩා වැටෙන්න ගත්තේ හිටපු රජතුමාට ආයේ පත්වෙන්න තිබු අවස්ථාව අහිමි කරමින්. ඔය ජල්තර අස්සේ එලියට එන වීරයාට පක්ෂ නායකයා වීමේ අවස්ථාව ලැබෙන්නේ වාසනාව නිසා කියලයි ගොඩක් දෙනෙක් කිව්වේ. ඔහුට අකමැති අය පක්ෂයේ ඕන තරම් හිටියත් ඔවුන්ගේ පශ්චාත් භාගය කෙලින් නොවීමේ රෝගය නිසා 'එසේය ස්වාමිනි' කියන්න ගෝලයෝ රොත්තක් නිර්මාණය වුණේ ඉබේටමයි. පක්ෂයේ නමට ලැබෙන ඡන්ද ගැන කිසි සැකයක් නැති වුණත් බරපතල විදිහට වීරයා තුලින් ජනාධිපති ස්වරූපයක් මතු කළ යුතු නිසා විවිධ ඡන්ද ව්‍යාපාර කළ යුතු වුණා. ඒ අතරින් 'වෙඩි උණ්ඩ තුනක් හිසට වැදිලත් රට වෙනුවෙන් බේරුණු නායකයා' කියල කළ රූපවාහිනී වාර්තා වැඩසටහන ගොඩක්ම ආකර්ශනීය වුණා.

ඒ වෙද්දී විපක්ෂයේ නම් ප්‍රශ්න සෑහෙන දුරට අඩු වෙලා තිබුනත් අලුත පත් වූ පක්ෂ නායකයට ජනතාව ඇද ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. පෞද්ගලික මාධ්‍යයක් ඒ සඳහා දිවා රෑ වෙහෙස වුණත් ඒවායින් කිසි ප්‍රයෝජනයක් ලැබුනේ නැති තරම්. එක කාලයක ජාතියක වීරයෙක් වූ කෙනෙක් කවුරුත් නොදැනම මියගියේ හිරෙන් නිදහස් වෙලා දින කිහිපයකට පස්සෙයි. හිටපු පක්ෂ නායකයි හිටපු ජනාධිපතිවරියකුයි වාමාංශික පක්ෂයක නායකයෙක් වෙනුවෙන් තැන තැන කතාකරව ඇහුනාට ප්‍රසිද්ධ වේදිකාවේ දකින්නවත් හිටියේ නෑ. ජනතා කැමැත්ත අඩු වේවි යද්දී රජතුමා කළේ තම බාල කුමාරයාගේ හඳට යෑමේ දොළ දුක සංසිඳ වන්න යැංකි රටට පිටත් වීම. ඔය කොයි කොයි දෙයිනුත් වුණේ වීරයාගේ ජය තහවුරු වීම ම තමයි.

තමන් ආපු දුර මතක් වෙලා වීරයාගේ නෙතට කඳුලක් නැගුනා. ඒකනම් හදවතින්ම ආ සුසුමක්. ඕනෙම පර බල්ලෙකුට වුණත් හර්ද සාක්ෂිය අත ගෑමෙන් ඔය වගේ කම්පාවීම ඇති වෙන්න පුළුවන් බව වීරයාට දැනුනා. ලැබුණු අවස්ථාවෙන් රටට ඇත්තටම වැඩක් කළ යුතුයි කියල හැඟීමක් ඇති වෙලා නැති වෙලා ගියේ ඒ එක්කමයි. ජනතාව ඔහු කතාව ආරම්බ කරන තුරු බලන් හිටියේ උපේක්ෂාවෙන්. තමන් පළාත් සභා මන්ත්‍රී කෙනෙක්ව සිටිද්දී තමන්ගේ පුතාට රස්සාවක් ඉල්ලගෙන ආපු වයසක අම්මෙක් ඉස්සරහිම්ම හිටගෙන හිටියේ මුහුණේ කිසිම හැඟීමකින් තොරව. තමන් ඔහුට රැකියාවක් දුන් බවත් ඡන්දේ දවසක වුනු සිදු වීමකින් තමන්ව බේරලා ඔහු හිරේට ගිය බවත් වීරයා අමතක කරන්න අසාර්ථක උත්සාහයක යෙදුනා. ඔය අතරේ එකපාරටම ඊළාම් කොඩියක් උස්සගෙන ජනතාව අතරෙන් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙක් මතු වෙනවත් එක්කම ආරක්ෂක නිලධාරීන් හතර අතටම වෙඩි තියන්න ගත්තා. කලබල වුණු වීරයා එකපාරම ඇදගෙන වැටුනේ ලනු ඇඳෙන් බිමට හීනෙත් ඉරාගෙන.

දාඩිය පිහමින් නාන්න යන්න සුදානම් වෙද්දී ඈත රටක නතර වෙලා හිටපු ගෙදර අක්කා කතා කළේ මුණේ හිනාවකුත් එක්ක "ආ මල්ලි ඔයා නැගිට්ටද?  අන්න ලොක්කා කතා කළා. තව මාසෙකින් විතර යන්න ලැහැස්ති වෙන්න කිව්වේ"

5 comments:

  1. කොහෙටද වෙඩි තිබ්බෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ...

    ReplyDelete
  2. කමෙන්ට් එක ලියන්න අරන් විනාඩි තුනක් විතර උනා.. ඒත් ලියන්නේ මොනාද කියලා හිතා ගන්න බැරි උනා..

    ReplyDelete
  3. අනේ මන්දා. වීරයා මැරිලා නැතුව ඇති. වීරයා ඉපදිලාත් නැතුව ඇති

    ReplyDelete
  4. දිග කතාවකට හොඳ කෙටි කතාවක්!!!

    ReplyDelete
  5. " ඕනෙම පර බල්ලෙකුට වුණත් හර්ද සාක්ෂිය අත ගෑමෙන් ඔය වගේ කම්පාවීම ඇති වෙන්න පුළුවන් බව වීරයාට දැනුනා"

    හෘද සාක්ෂියක් නැති පර බල්ලන්ටනම් අවුලක් නෑ.

    ReplyDelete