Tuesday, April 17, 2012

ස්තූතියි : සුනාමි සමග අවුරුදු


අවුරුදු දවසට කලින් දවසේ මළ ගෙදරකට සහභාගී වෙන්න වුණා. මට නෑදෑකම අනුව සීයා වෙන කෙනෙක්, ඔහුගේ දුව ජීවත් වෙන්නේ මුහුද ආසන්නයේම නොවුණත් ඊට කලින් දවසේ ඇතිවුණ සුනාමි අවධානම නිසා ඇතිවුණ කම්පනය ඔහුගේ හදවතට අනතුරක් කරන්න සමත්වෙලා තිබුණා. අන්තිමට සුනාමි ආවේ නැතත් ඒ මරණයට ආසන්නම හේතුව වෙන්නේ එය.

ඔහු නිසා මට සහ අපේ පවුලේ අයට විවිධ තැන්වල ඇවිදින්න යන්න අවස්ථා උදා වුණේ ඔහු සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිසා. එක් වතාවක් ඔහුගේ අවසරයෙන් මට නානුඔය ඉඳල නාවලපිටියට එනකම්ම දුම්රිය එන්ජිමේ යන්න පුළුවන් වුණා. මළ ගෙදරදී නම් ඕවා මතක් වුණෙත් නෑ. වැඩිපුරම වුණේ තම තමන්ගේ දුකසැප විමසීම, ඒකෙ වරදකුත් නෑ. ඒ විනෝදකාමී පුරුෂයා බලාපොරොත්තු වෙන්නෙත් ඒවැනි ප්‍රතිචාරයක් තමයි.

අවුරුද්ද ගෙවුනේ බොහොම උදාසීනව.

බ්ලොග් ලිවිමටවත් ඒ කම්මැලිකම නවත්තන්න බැරි වුණා. කොටින්ම කිව්වොත් බ්ලොග් ලියන්නත් දැන් කම්මැලියි. ඒ ලියන්න දේ නැතුව නම් නෙමෙයි. ඕනේ තරම් තියනව ඒත් කොච්චර ලිව්වත් බ්ලොග් අවකාශය තාම එතන ගතියක් තමයි පෙන්න තියෙන්නේ. අනික් අතට එතනත් නෙමෙයි ආපස්සට යනවා වගේ. අතීතකාමියෙක් වගේ කලින් හොඳයි දැන් හොඳ නෑ කියන්න උත්සහයක් නැති වුණත් ප්‍රතිගාමී ස්වභාවයක් නම් දකින්න නෑ.

දැන් මම කරන්නේ මගේ වැරැද්ද/නොහැකියාව වහගන්න අනුන්ගේ කුණු හොයන එක, ඒ හින්ද බ්ලොග් ගැන කතාව ඇති.

රොක් ශානාරයේ රසිකයෙක් හැටියට මාව හඳුන්වා ගැනීම නිවැරදි නෑ. Linkin Park, Evanescence, Nightwish, Nirvana වගේ කණ්ඩායම් කිහිපයක් ඇරුනම රොක් ගැන මගේ දැනුම අල්පයි. කොහොම වුණත් පහුගිය දවසක මැරිලින් මන්සන් ගේ වීඩියෝවක් බැලුවේ අහම්බෙන්. ඔහු ඒ සාකච්චාවේ අන්තිමට කිව්ව කතාවට මම මොහොතකට ගල් වුණා.

ඔබට දරුවන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් යමක් කියන්න තියනවද?
- මම මොනවත් කියන්න යන්නේ නෑ. ඔවුන්ට කියන්න තියනදේට ඇහුම්කන් දෙනවා. මොකද ඒක තමයි කිසිවෙක් නොකළේ.

දැන් මම කරන්න යන්නේ අනුන්ට ඇහුම්කන් දීමද? මම හරියටම කියන්න දන්නේ නෑ. සමහරවිට මෙය උදාසීනබවට පිලියමක් වෙන්නත් ඉඩ තියනවා.

අනුන්ට ඇහුම්කන් දෙන්න කලින් මම මට ඇහුම්කන් දෙනවද? ඒකත් ප්‍රශ්නයක් තමයි.

මේ විදහට තවත් ලියාගෙන ගිහින් දැනටමත් තියන අච්චාරු ගතිය වැඩිකරන්න ඕනේ නෑ. ලියන්න උනන්දු වුණු වෙලාවට වැදගත් යමක් ලියන්නම්. එතකන් මේ සින්දුව අහන්න. 


ප.ලි. : තවදෙයක් තියනවා, මම මේ වෙනකොට ලිපි 102 ක් පල කරලා තියනවා. ඒ වෙනුවෙන් ඒ බ්ලොග් ඒකත් එක්ක රැඳුනු හැමෝටම ස්තුතියි. මුලින්ම කමෙන්ට් කරපු වත් (සොඳුරු සිත), සඳරු, නිම්ෂා, කොට ජීවිතේ, දිනේෂ්, හරේෂ්, outsider, සාතන්, කුමාරිහාමි ඇතුළු නම නොකිව්ව හැමෝටමත් ඇවිල්ල කියවල බලපු හැමෝටමත් බොහොම ස්තුතියි. ලාංකීය සිතුවිලි සින්ඩියටත් අඹ ගහටත් මගේ ප්‍රණාමය. තවත් ලිපි සියක් වෙනුවෙන් උත්සහ කරමු.

6 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා!
    සුභ පැතුම් ලිපි 102ට. කම්මැලි නැතිවෙලා බ්ලොග් ලෝකයට යලි පන දෙන්න ශක්තිය ලැබේවා.
    මමත් මේ පැත්තේ ආවේ සාතන් අයියා පාර කියලා.

    ReplyDelete
  2. ලියන එක ගැන පිට මිනිහෙක්ට කියන්න බෑ. නමුත් ඔයාගෙ ගනුදෙනුව තියෙන්න ලිවීම එක්ක විතරක් නම් බ්ලොග් අවකාශය හෝ වෙනත් බාහිර සාධකයක් ලිවීම පවත්වාගන්න එකට අදාල කරගන්නෙ නැත්නම් හොඳයි.

    කොටින්ම වෙන කවුරුත් ග‍ඟේ ගියාට දුක් වෙන්න අවශ්‍ය නෑ. තමන් යන්න ඕන හරහටද උඩටද පහලටද කියන එකයි වැදගත්. ලියවෙන්නෙ නැත්තං ලියන්න හිතෙනකල් නොලිය ඉන්න එකෙත් කිසි අවුලක් නෑ. :-)

    ReplyDelete
  3. මම මං හිතන්නේ ඔබේ ලිපි 30ක විතර අතීතයක ඉදන් මේ පැත්තට හැමදාම එන්නේ.. ඒකට තියෙන එකම හේතුව ඔබේ ගැඹුරු ලිපි තේරුම් ගන්න්න.. එහෙම බැරි උන දාට මම තේරුණේ නෑ කියලා ගොය අවස්ථාත් තියෙනවා.. ඔබේ ඒ ශෛලියට මම කැමතියි.. ඒ විදිහට දිගටම ලියමු.. ස

    ReplyDelete
  4. සුබ පැතුම් 102ට. මම මෙහේ එන්නේ ඔයාගේ ලියවිල්ලේ දකින අපූරු ගතිය නිසයි, ඔයා අමුතුම ශෛලයකින් ලියන කෙනෙක්. දිගටම ලියන්ට සමහරු කමෙන්ට් නොකලත් හොඳ බ්ලොග් කියවනවා.:D

    මේ බ්ලොග් ලෝකේ වැඩියෙම වෙන්නේ ලියන එක නෙමේ. අනුන් මොනවද කරන්නේ කියලා හොයන එක. ඉතින් ඒක නතර වෙලා තියන එක අහන්ට දෙයක්ද? ඔයා නම් නතර නොකර දිගට ලියන්ට. කවුරු නැතත් අපි කියවනවනේ.:)

    ReplyDelete
  5. ලිපි 102 ට සුබ පැතුම්...
    මමත් ගොඩ වෙලාවට ඇවිත් ලිපි කියවලා කමෙන්ට් නොකර ගිහින් තියෙනවා

    ලිවිල්ල ගැන මගේ අදහස මේකයි,
    අනිත් අය ගැන හිතන්නේ නැතුව ලියන්න
    ලියන්න කම්මැලිනම් පොඩි විවේකයක් ගන්න
    එක්කෝ ලියන ලිපි ගාන අඩු කරන්න

    ජයවේවා....!

    ReplyDelete
  6. ලිවීම අත් හරින්න එපා. බ්ලොග් අවකාශය යන අතක යද්දෙන්. ඉදිරිගාමී හෝ පසුගාමී වෙද්දෙන්. කියවන අය ඇති වෙද්දෙන් එහෙම නැත්නම් නැති වෙද්දෙන්. ඒත් ඔයා ලියන්න. ඔයාගේ ඇතුළින් ඇතිවන පරිකල්පනයන් ලියන්න. කිසිවක් වෙනුවෙන් නෙවෙයි නිකම්ම නිකම් ලියන්න.

    ReplyDelete