Monday, September 19, 2011

මමත් පොත් ගත්තා!

එක අතකින් මේක ලියන්න තරම් වැදගත් දෙයකුත් නෙමේ, අනිත් අතින් මට සෑහෙන වැදගත්. හැමදාම යන පොත් ප්‍රදර්ශනයට මේ සැරෙත් යැවුනේ පුරුද්දට වගේ. ආසාවක් නැති නිසා නෙමෙයි, තියනවා. පටන්ගත්ත දවසෙම ගියෙත් ඒ නිසාමයි. කොහොමහරි එදා (17 වෙනිදා) එච්චර සෙනග හිටියෙත් නෑ, ඒ හින්දම පොත් තෝරන්න ගන්න යම් පහසුවක් තිබුනත් ඒ වැඩි වෙලාවකට නෙමෙයි. හවස් වෙද්දී සැහෙන්න ජනගහනය වැඩිවුණා. ඒ වෙද්දී පොත් අරන් ඉවරවෙමින් හිටිය නිසාම ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ.
ඔය උඩින් තියෙන්නේ මම ගත්ත සිංහල පොත් (දැන් ඉතින් කියවන්න තමයි තියෙන්නේ!). ප්‍රදර්ශනයේ විශේෂයෙන් සඳහන් කරන්න තරම් දෙයක් නැහැ. හැබැයි බණ්ඩාරනායක ප්‍රධාන ශාලාව වහල නිසා ප්‍රදර්ශන කුටි අඩුයි වගෙත් දැනුනා. ඒත් එහෙම නෑ සැහෙන්න තියනවා (කුටි 416 විතර). පොත් ගැන විස්තර දැම්මම කියන එකේ තේරුමක් නෑ. කියවලම විස්තර කියන්නම්. 


එතකන් පොත් කිහිපයකින් ගත් යම් යම් උපුටගනීම් කිහිපයක් මේ,

"බෙරය මතට වැටුණු රතු රෙදිකඩ සෙමින් දරණය ගසන්නාක් මෙන් ඔහු දුටුවේය. කැරකි කැරකී රවුම් වෙමින් කැරකෙද්දී එතෙක් බෙරය වටා තිබු හම පටවල් ටිකෙන් ටික රත් පැහැ ගන්නට විය. නිලංකාර  වූ දෑසින් ඔහු නැගිට ගන්නට උත්සහ ගත්තේ ය. දෙපා වෙව්ලා යමින් තමන් වැටෙන්නට යන්නේ යයි ඔහුට කෙමෙන් කෙමෙන් දැනී යන්නට විය." - චම්මින්ද වෙලගෙදර (සක්කාරං)      

"සම්ප්‍රදායික විවාහය නමැති සංකල්පය හැරපියා දැමූ ඇහැළමලී වෘත්තීය ජීවිතයේ කාර්ය බහුල තත්වයකට පත්ව වෙහෙසකාරී ජීවිතයක් ගත කළාය. ඇගේ ජීවිතයට සම්බන්ධ වන්නට බොහෝ පිරිමි උත්සහ කළ ද ඇය කිසිඳු සම්බන්ධයක් පිළිබඳව උනන්දුවක් නො දැක්වී ය. ඒ පිලිබඳ ව විවිධ හේතුකාරණා කාලයෙන් කාලයට ඇය වටා සිටි මිනිසුන් ප්‍රකාශ කළද ඇහැළමලීට ඒ කිසිවක් අලුත් ඇහුම්කම් දීම් නො වුණු හෙයින් ම ඒ කිසිවකට සිය ශක්තිය අභිභවා යන්නට නො දුන්නෝය." - මනෝහාරී හේවාවසම් (ඇහැළමලී)

"දයාවතිගේ මඟුල දවසේ තමයි ගමේ ඉලන්දාරි කුසුමව හරියටම දැක්කේ ඒ කව්රුත් පුංචි සන්දියේ එකට සෙල්ලම් කරපු කට්ටිය. සමහරු පන්තියක් දෙකක් ඉහලින් හරි පහලින් හරි හිටපු අය. සමහරු එක පන්තියෙමයි. වත්තේ වැඩ නොකරන අය පතල් වැඩ කරනවා. හිමේ ලී කපන්න යනවා. පතල් වැඩ කරන අයට නං ජයයි වාගේ. සුදට සුදේ ඇත දිග කමිසෙයි සරමුයි ඇඳලා. අත්වල ඔරලෝසු හෙම බැඳලා. මඩට තැම්බිලා ඉදිමිලා වාගේ තියන කකුල් දැක්කම පතල් වැඩ කාරයන් නිකම්ම තෝරාබේර ගන්න පුළුවන්. 'අප්පේ කුසුම අක්කගේ ලස්සන,,,' කීප දෙනෙක් කිව්වා." - සුනේත්‍රා රාජකරුණානායක (සඳුන්ගිර ගිනිගනියි)  


"නමුත් එය සිහිනයක් නොවීය. මගේ දෙසවන් වලට ගලා අවේ හිස් වායුවක් නොවේ. මා ඉදිරි පිට බිම වාඩිවී මා දෙස බල සිටියේ සබැ ගැහැනියකි. මගේ දෙසවන් තුළට ගලා ආ ඒ හඬ දොර ජනෙල් වැසූ සිර කුටිය තුල දෝංකාර දුන්නේය.ඒ හඬ ඇගේය,,,පිර්වඩුස් ගේ කටහඬ ය." සිසිර අලහකෝන් (වැලි කතරේ කුසුම) [Woman at Point Zero - Nawal El Saadawi පරිවර්තන]

Tuesday, September 13, 2011

හොල්මනක් සමග මම




"මොකටද ආවේ, මම කියලනේ තියෙන්නේ?", මම මිමිණුවා.
කොච්චර හිමින් කිව්වත් එයාට මාව කොහොමත් ඇහෙනවා. සමහර විට එයා කොහේ හිටියත් මං ගැනම අවධානය තියාගෙන ඇති, එහෙමත් නැත්තම් අපේ සම්බන්දය තද නිසා මාව එයාට දැනෙනවා ඇති. කොයික වුනත් මට එයාව එපා වෙලා දැන් ටිකක් කල්. මගෙන් හේතු අහන එකේ තේරුමක් නැහැ, ඒ මම දන්නේ නැති හින්ද. අපිට ඕනේ දේවල් අපි ඇත්තටම දන්නේ නැතිව ගිහින් අපිට ඕනේ නැති දෙයක් අපි ඕනේ කරගන්නවා, මටත් එහෙම වුනා වෙන්න පුළුවන්. 
"ඇයි මාව පන්නන්නේ? ඔයාට දැන් අමතකයි මම ඔයාට කරපු උදව්..."
"කෙහෙම්මල් උදව්! මට ඒවා ඕනේ වුනේ නෑ කවදාත්."
"මට කියන්න ඔයා ඔය කතාකරන්නේ හොඳ සිහියෙන්ද?"
"උඹ කියන්නේ මට පිස්සු කියලද? පිස්සු! ඔව් මට පිස්සු තමා", මට කේන්ති ගියේ නෑ, මට හිනා ගියා. මේ හොල්මකට කතා කරන්න මට පිස්සු වෙන්නම ඕනෙනේ. මට ඒක ක්‍රියාවෙන්ම තහවුරු කරන්නත් එක්ක හොඳවයින් ජල්ලියක් අල්ලන්න හිතුණා. ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා අතට අහුවෙන මල් පෝච්චි, වීදුරු, ෆොටෝ ඔය හැමදෙයක්ම වියරු ආශාවකින් පොළවේ ගැහුවා. පුදුමකට වගේ ඒවා කැඩෙන වාරයක් ගානේ මම සතුටින් ඉපිලුනා. එයා මං දිහා බලන් හිටියේ ඕනේ එකක් කරගත්තාවේ කියන්න වගේ, කොහොමත් හොල්මනකට මනුස්සයෙක්ව නවත්තන්න බැහැනේ. තොවිලෙක වගේ වෙස්මූණක් තිබුනානම් මට දාගෙන නටන්න තිබුන කියල කල්පනාවක් ආවේ කොහේ ඉඳලද මන්ද.

"පලයන්! පලයන් යන්න, උඹ තමා මට පිස්සු වට්ටන්නේ." මම බෙරිහන් දුන්නා.
"හරි මම යන්නම්, හැබැයි මට පොරොන්දු වෙන්න..."
"මොකටද? ඔයා හොල්මනක් විතරනේ."
"පොරොන්දුවෙන්න ඔයා හොඳින් ඉන්නවා කියල."
"යකෝ! මේන්, හරි වැඩක්නේ. උඹ නැති කාලේ මම හොඳින් තමා හිටියේ." එතකොට නම් එයාගේ මුණ අඳුරු වුණා, අඬන්න වගේ. හොල්මනකට වුණත් ඔච්චර දරුණුවට කතා කරන එක හරි නැති වුණත් මට ඔහොම දේවල් එක පාරටම කියවෙනවනේ. ඒ වුණාට එයාට දුකයි කියල මම මොනවා කරන්නද. හොලමනක් වුණහම දුක වැඩියි කියල එයා තේරුම් ගන්න ඕනෙනේ. 
මම බිම වැටිලා බිඳුන ඒවගේ කෑලි අහුලන්න ගත්තා. එව්වා බිම වැටිලා තිබුනේ රටාවකට, ලොකු කෑලි ලඟින් ලඟින්, පොඩි කොටස් ඈතින් ඈත. මට පොඩි කාලේ මතක් වුණා. ඉස්සර අපි මුහුදු වෙරළට ගියහම සිප්පි කටු අහුලන්නේ මෙහෙමනේ. එතකොට අපේ නංගි වැලි මාලිගාවල් හදන්න රුසියා. මමයි අයියයිත් සමහර දාට එකතු වෙනවා. අන්තිමට වෙන දේ දන්නවනේ, වැලි මාලිගා මුහුදු රළින් බිඳිලා යනවා. නංගි අඬන වෙලාවට අපි එයාට තේරුම් කරන්න හැදුවට වැඩක් නැහැ. එයා අඬනවම තමයි. ඒ කාලේ හොල්මන ඉන්න ඇත්තේ කොහෙද කියල දන ගන්න මට ආසාවක් ආවා.

"ඔයා කොහෙද ඒ කාලේ හිටියේ?"
"කොයි කලේද?"
"ඇයි අනේ? අපි වැලි මාලිගා හදන කාලේ, ඒ කාලේ ඔයා මැරිලද?"
"මැරිලා? මැරිලා වගේ තමයි."
"කියන්න! ඒ කාලේ කොහෙද හිටියේ?"
"ඒ කාලේ... ඒ කාලේ මම හිටියෙත් ඔයා හිටපු හරියෙම තමයි. ඒක නෙමේ අපි ගමනක් යමුද?"
මට උත්තර දෙන්න ලැබුනේ නෑ, එකපාරටම හොලමනගේ යාලුවෙක් මතුවුණා. ඒකි ගෑනු හොල්මනක්. හැබැයි හැමවෙලේම බය වෙලා, දුකෙන් තමයි ඉන්නේ, හරියට මමයි හොල්මන වගේ. සමහර වෙලවට ඒකි මං ලඟට වෙලා අඬනවා. පිස්සුද මන්ද.

"අය්යේ, මම ඩොක්ටර්ව එක්කන් එන්නද", ගෑනු හොල්මන අනිත් එකාගෙන් ඇහුවා.

එයා ඔලුව වැනුවා. මේ හොල්මනට ඉන්නේ මහා අමුතු යාලුවෝ. ඔයා දැන් ආපු එකී එයාට කතාකරන්නේ අයියා කියල. අයියා හොල්මනයි නංගි හොල්මනයි, හරි ෂෝක් නේ. ඊළඟට ඔයා එන්න හදන අනිත් ඩොක්ටර් හොල්මන, මහා කරදර කාරයෙක් මොකක්ද පෙට්ටියක් උස්සගෙන එන්නේ. ඊළඟට මොකද්ද එකක් මගේ පපුවට තියල බලනවා, ඒ සද්දේ අහන්නලු. හොල්මන මැරිලා හින්ද පණ තියන සද්දේ අහන්න කැමති ඇති. මම කැමතිම නැති එක තමයි මොනවද රවුන් රවුන් ජාතියක් දෙන එක. මුලින් මම හිතුවේ ඒ මට සෙල්ලන් කරන්න කියල එත් ඒවා මම ගිලින්න ඕනෙලු. මං බෑම කිව්වත් මේ හොල්මන මට පොවනවමයි.


ඔන්න ඒ පාර අර නංගි හොල්මනයි, ඩොක්ටර් හොල්මනයි මතුවුණා. ඩොක්ටර් හොල්මන වෙනද වගේම අර බටයක් අරන් ඇවිත් සද්දේ ඇහුවා. මටත් මගේ සද්දේ අහන්න ඕනේ වුණා. එක ඉල්ලගෙන මම සද්දේ අහන්න පටන් ගත්තා. මහ පුදුම සද්දයක්. හරියට බෙරයක් ගහනවා වගේ. මට තොවිලයක් මතක් වුණා. දැන් නම් බෙර සද්දෙත් තියන එකේ වෙස්මූණු ඕනේ නෑ. මම ආයෙත් පුටුවෙන් නැගිටලා බෙර සද්දෙත් එක්ක එකතු වුණා. හරියට මම නෙමේ වගේ, නැත්තම් මම යකා වුණා වගේ. ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ,,, මමත් නටනවා මගේ බෙරයත් නටනවා.

"උඹලත් නටපල්ලා, යක්කු පන්නන්න නටපල්ලා..." මම කෑගැහුවා. ඒ එක්කම මට හූ කියල යටි ගිරියෙන් කෑගහන්න ආසාවකුත් ආවා. ඒත් ඒක කරන්න දෙන්නේ නැතුව මාව නවත්ත ගත්තා. අර හොල්මන මාව ඇඳට ඇදල දාල හයියෙන් අල්ල ගත්තා. ඩොක්ටර් හොල්මන ඉඳි කට්ටක් අරන් ඇවිත් මගේ හම හිල්කළා. ඒකට නම් මට හරියට රිදුණා. මට ඒ එක්කම මගේ අම්මවත් මතක් වුණා. අම්ම හිටියනම් මේ හොල්මන් වලට මට වද දෙන්න ඉඩදෙන්නේ නැහැනේ. ඒ පාර මම හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒ එක්කම මගේ ඇඟ පණ නැතිවේගෙන ආවා. හොල්මන ඇවිත් මාව බදා ගෙන මගේ ඔලුව අතගෑව. නංගි හොල්මනගේ ඉකි ගහන සද්දේ අහගෙනම මගේ ඇස්දෙක පියවුණා.

--නිමාව--

Monday, September 12, 2011

දිය කිඳුරියක් අල්ලගමු



සිහිනමය සන්ද්‍යාවක
වලාපටල මැදින්
ගලා ආ රිවි රැසින්
දැක ගතිමි ඔබ
මා සෙවූ ඒ ප්‍රාණියා බව


කැරලි ගැසුණු කෙහෙ රැලි
වල ගැසුණු රෝස කම්මුල්
අතරින් පුළුල් නයන
කතාකරද්දී හැඳිනගතිමි ඔබ
දිය කිඳුරියක්ම වන වග


මගේ මිතුරියේ,
ඔබව සොයා ගැනීමට 
වෙහෙස වූ තරම දනී නම්


ඒ අතීතයේ ගීතය ගයන්න 
සූර නැවියන්ගේ කතා අසන්න
ආසයි මමත් ප්‍රියාවිය


පරම බලාපොරොත්තුව
සඵල කරගැන්මට 
අපේම නවාතැනකට 
මුළු ලොවින්ම වෙන්වී
එන්නට මා සුදානම්


කිඳුරියේ, මා කිඳුරියේ 
මා මනුෂ්‍යයෙක් බව
සපත කරන්නට
කනට කොඳුරා පවසන්න
සදහටම ඔබ මගේ කියා


වින්දනයේ ආශ්වාදය වැඩි කරගන්න මේ සින්දුවත් අහන්න. කවියටම පෑහේවී. 


Saturday, September 10, 2011

නාසිසස් සංකීර්ණය හා මම මට ආදරෙයි.



ග්‍රීක පුරාවෘත්තවල සඳහන් වෙන නාසිසස් තමන්ට ආදරය ප්‍රකාශ කරපු සෑම කෙනෙක්ම ප්‍රතික්ෂේප කරන්නේ නොසැලකීම මුසු උද්ධච්ච කමකින්. දවසක් නාසිසස් කවදාවත් දැකල නැති තමන්ගේ ඉතා කඩවසම් ප්‍රතිබිම්බය පොකුණක ජල තලයකින් දැක්කට පස්සේ තමාගේම රුපයට වහ වැටෙනවා, කොච්චර තදින් තමන්ටම තණ්හා වෙනවද කියතොත් ප්‍රතිරූපය දාල යන්න බැරි වෙලා මැරිලා යනවා. පස්සේ කාලෙකදී ඔය සිද්ධිය පසුබිම් කරගෙන සිග්මන් ෆ්‍රොයිඩ් රචනා කරනවා On Narcissism කියල සටහනක්, එහි කියවෙන්නේ නාසිස්තිකත්වය ගැන ෆ්‍රොයිඩ්ගේ අදහස් (ඔහු එය ප්‍රාථමික හා ද්විතියික ලෙස කොටස් දෙකකට බෙදනවා). කොහොම වුනත් දැන් වෙනකොට ඔය නාසිස්තිකත්වය (Narcissism) කියන වචනය පුළුල් රාමුවකින් අරුත් ගැන්වෙනවා. මුලික අර්ථය ආත්ම රාගය ලෙස හඳුන්වන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් සෑම කෙනෙක්ගෙම පවතින ලක්ෂණයක් වුනත් සීමාව ඉක්මවා ගියහම ඒක මානසික රෝගයක් බවට පත්වෙනවා.  



අපේ සීයාගේ මතකය සමරන්නට ප්‍රදානය කරන දානය පහුගිය දවසක පැවැත්වුණා. සීයා විශ්‍රාමික ගුරුවරයෙක් වීම, දහම් පාසලේ විදුහල්පති වීම, සමාදාන විනිශ්චයකරුවෙකු වීම වගේ කරුණුත් එක්ක සීයාව විවිධ ආකාරයේ පුද්ගලයන්ව ආශ්‍රය කළා. ඒ විවිධකාර පුද්ගලයන් දානයටත් ඇවිත් දුක්වුණා, සීයා ගැන කතා කළා, කාල බීල ගියා.  අපේ අයියා ඇහුවේ,
"කීදෙනෙක් ඇත්තටම දුක්වෙන්න ඇතිද?" කියල.
"දානේ දුන්නට මට දිවැස් ලැබුනේ නෑනේ" මං විහිළු කළාට මොකද මම හිතුවේ 'කීදෙනෙක් තමන් වෙනුවෙන් දුක් වෙනවා ඇත්ද' කියල. 
"වෙලාවකට මේවගේ දේවල් කරන එකේ තේරුමක් නෑ." කියල අයියා යන්න ගියා.
සීයත් එක්ක එකට වැඩකරපු විශ්‍රාමික ගුරුවරියක් මාත් එක්ක කතා කළා. ඒ කාලේ සිදුවීම්, සුන්දර අත්දැකීම් මාත් එක්ක බෙදාහදා ගෙන ඇය නැවතුනේ ඇහැට කඳුලකුත් ආවට පස්සෙයි. ඒ කතාවෙන් නම් ඇත්තටම දුක්වෙන පිරිසක් ඉන්නවා කියලා තේරුනත් කීදෙනෙක් තමන් වෙනුවෙන් දුක් වෙනවා ඇත්ද කියන කරණය මගේ හිතේ එහෙමෙහෙ ගියා.


බෞද්ධයෝ හැටියට කෙනෙක් මියගියහම නැවත ඉපදෙනවා කියල දැන දැනත්, කිතුනුවෝ හැටියට මියගියහම ස්වර්ගස්ථ වෙනවා කියල දැන දැනත් අපි දුවෙන්නේ ඇයි? ඇත්තටම අපි දුක්වෙන්නේ ඒ මියගිය පුද්ගලයා වෙනුවෙන්ද නැත්නම් අපි වෙනුවෙන්ද? ඒ විශ්‍රාමික ගුරුවරිය දුක්වන්න ඇත්තේ ප්‍රිය ඇසුරක් නැතිවීම නිසාද, ලැබෙන්න තිබු උදව් නොලැබී යන නිසාද එහෙමත් නැත්නම් තමන්ටත් ඒ ඉරණමම අත්වීම පිලිබඳ දැනුණු බිය නිසාද කියන්න මට පුළුවන් කමක් නෑ සමහර විට ඇයත් හරියටම නොදන්නවා වෙන්න පුළුවන්. තම පෙම්වතිය තවත් කෙනෙක් එක්ක සම්බන්දයි කියල දැනගත්තහම තරුණයෙක් ඒ තරුණියවත් මරල තමාවත් මරාගන්නේ ආදරය නිසාද නැත්නම් අර කලින් කියපු නාසිසස් ආකාරයේ මානසික රෝගයක් නිසාද. ඇත්තටම ඒ පුද්ගලයා ඒ තරුණියට ආදරය කරනවා නම් අනෙක් සම්බන්දතාවය සැබෑ එකක් කියල දැනෙනවානම් දෙන්නටම සුබ පතල පැත්තකට වෙන්න ඕනේ නේද. එත් එහෙම පරිත්‍යාගයක් කරන්න පුළුවන් කාටද. මිනිස්සු කව්රුහරි මැරුණහමත් අඩන්නේ 'අනේ ඇයි මාව දාලයන්නේ' කියල මිසක් 'ගිය තැනක හොඳින් ඉන්න' කියල නෙමේනේ. මේ බන කියන මමත් ඔය වගේ අවස්ථාවක ඔය විදිහටම කටයුතු කරන්න ඉඩ තියනව. කොහොම වුනත් ප්‍රිය විප්‍රයෝගයකදී අපි දුක්වෙන්නේ අපි ගැනම නේද, එතකොට ඒ ශෝකයට මුල ආත්මාර්ථයද. අපි කොච්චර කතා කිව්වත් ඇත්තටම ජීවත්වෙන්නේ අපි වෙනුවෙන් විතරද, ඇත්තටම පිවිතුරු ආදරය කියල දෙයක් නැත්ද. එහෙමත් නැත්තම් පිවිතුරු ආදරය කියන්නේ තණ්හාවෙන් තොර මෛත්‍රියද...

Tuesday, September 6, 2011

සෙන් කතා තුනක්


මේ තියෙන්නේ හොඳම සෙන් කතා තුන නෙමෙයි, හැබැයි මේවා විශිෂ්ටයි කියල කියන්න නම් මම පසුබට වෙන්නේ නෑ. සමහර විට මේ සෙන් කතා දන්නවත් ඇති, අහලත් ඇති. ලාංකික ජනකතාවල, පංචතන්ත්‍රයේ, බෞද්ධ සාහිත්‍යයේ, ඊසොප්ගේ උපමා කතාවල, නස්රුදීන්ගේ කතාවල ආදියේ යම් යම් සමානකම් තියනවා. සෙන් කතාවලින් එක්තරා අතීතකාමී රසයක් දැනෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති. කොහොම වුනත් මේ කතා උපුටා ගන්නේ අනුරාධ මහසිංහගේ 'පිනි බිඳක පුරසඳ' පොතෙන් (උපුටගන්නේ අහලනම් නෙමේ හැබැයි, ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල හිතනවා). හරි එහෙනම් කියවලම බලන්න. 

 හෙලවෙන්නේ කුමක්ද?

 සුළඟෙහි ලේලෙමින් තිබු කොඩියක් ගැන දෙදෙනෙක් වාදයක පැටලී සිටියහ. 
 "ඇත්තටම මේ සෙලවෙන්නේ හුලඟයි, කොඩිය නෙවෙයි." එක් අයෙක් කීය. 
 "නැහැ, හෙලවෙන්නේ කොඩියයි." අනෙකා වාද කළේය. 
 එතනින් යමින් සිටි සෙන් හිමි නමක් වාදයට බාධා කළහ.
 "දරුවනේ, හුළඟවත් කොඩියවත් නෙමෙයි නුබලගේ හිතයි සෙලවෙන්නේ..."

****** 

 ශුන්‍යතව හා කෝප්පය

 තරුණ සෙන් සිසුවෙක් වූ යමොකෝ ටෙෂු, විවිධ ගුරුවරු වෙත ගොස් අවසානයේ ගොතොකු'හි දොකුඔන් හිමි වෙත පැමිණියේය. තම කැපවීම හා උද්‍යෝගය ප්‍රකට කරනු සඳහා ඔහු මෙසේ කීය.
 "අවසානයේදී මනස, බුදුන් සහ සියලු සචේතනික වස්තුන් කිසිවක් පවතින්නේ නෑ. සංසිද්ධිවල සැබෑ ස්වභාවය තමයි ශුන්‍යතාව. කිසිඳු අවබෝධ කරගැනීමක් නැහැ. ආර්ය හෝ අනාර්ය බවක් නැහැ. දීමට හෝ ගැනීමට කියා දෙයකුත් නැහැ..." දොකුඔන් හිමි නිහඬව තරුණයාගේ කතාවට කන්දී සිටියේ පයිප්පයෙන් දුම් උරමිනි. ඒ කතාව අවසන් වූ පසුව හෙතෙම තම පයිප්පය තරුණ සිසුවා වෙත වරෙන් දමා ගැසුවේය. යමොකෝ ටෙෂු එයින් තදින් කිපුනේය. 
 "කිසිවක් නැතිනම් ඔය කේන්තිය ආවේ කොහෙන්ද?" දොකුඔන් හිමි විචාළේය. 

******

 හෙට දවස

 ජපන් යුද සෙබළෙකු තම සතුරු හමුදා කණ්ඩායම අතට හසුවී සිරගත විය. එදින රාත්‍රියේ ඔහුට නින්ද කර එළැඹීම ඉතා අපහසු කටයුත්තක් විය. පසු දින කෙරෙන ප්‍රශ්න කිරීම්, එයින් නොනැවතී කෙරෙන තර්ජන, පහරදීම් ආදිය ගැන සිතද්දී ඔහුගේ සිත සැලෙන්නට පටන්ගත. එක්වරම ඔහුට සෙන් භික්ෂුවකගේ වදන් කිහිපයක් සිහිවූයේ අහම්බෙන් මෙනි. "හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..." එයින්ම සෙබළා සුවයෙන් නිදාගත්තේය.

Monday, September 5, 2011

ඇලිස්ගේ විශ්ම(නොවන) ලන්තය




ඇලිස් එක්වරම අවදි වුවාය. ඈනුමක් පිටකර ඇඟමැලි කඩා දැමු ඇය වටපිට බලන්නට විය. බලන බලන අත ඇසට හසු වුයේ පළපුරුදු දසුන් නොවේ. ඇය සිටින්නේ කොහේදැයි කියා සිතා දැනීමට ඇයට ඉතා අපහසු විය. එය කලකින් නඩත්තු නොකළ මල් වත්තකි. සුරංගනා කතාවක තරම් ලස්සන නැතද ඒ උයන ඇසට අපූර්වත්වයක් ගෙන ඒමට සමත්ය. පමණට කප්පාදු නොකළ ගස් වල නිදහසේ පැතිරී ගොසිනි. තැනින් තැන වන මල් පිපී පරිසරය සරසා තිබිණ. ඉඳහිට කුරුල්ලන්ගේ කූජනයද ශ්‍රවනය වේ. කෙසේ වුවද තමා මෙතනට ආවේ කවර අයුරින්දැයි මතකයට නඟා ගැනීමට ඇලිස් අසමත් විය.


ටික වේලාවක් ඒ මේ අත සැරිසැරූ ඇයට ඉතා මිහිරි නාදයක් ඈතින් ඇසෙන්නට පටන්ගත. ශබ්දය එන අතට ඇය ඉබේම වාගේ ඇදී ගියාය. එම නාදය සොයා යත්ම ඇයට දර්ශනය වුයේ කිසි ලෙසකින්වත් සැබෑ විය නොහැකි ආකාරයේ දසුනකි. ගරා වැටුණු ගොඩ නැගිල්ලක් ඉදිරි පිට වයලීනයක් වාදනය කරමින් සිටි විශාල නිල් පැහැ දළඹුවෙකි. දළඹුවට වයලීනය වාදනය කළ හැකිනම් කතාකිරීමටද හැකි වියයුතු යැයි ඇලිස් සිතුවාය. එසේ නම් තමා සිටින්නේ කොහේදැයි කියා ඇයට දැනගත හැකිය.
දළඹුවා තමාට අනතුරක් නොකරාවි කියා ඉවෙන් මෙන් දැනගත් ඇය තව ටිකක් ආසන්නයට ගොස් උගුර පාදන්නට වුවාය. වරක් දෙවරක් උත්සහ කළ පසු දළඹුවා තමා කළ කාර්ය නවතා ඇලිස් දෙස බැලුවේය. 


"සමාවෙලා මම මේ කොහෙද ඉන්නේ කියන්න පුලුවන්ද?" ඇලිස් බැගෑපත්ව විමසුවාය.
"මගේ ඉස්සරහ" උවමනාවට එපාවට මෙන් දළඹුවා උත්තර දුන්නේය.  
"නෑ, මම ඇහුවේ මේ පළාතට කියන නම මොකද්ද කියල"
"මේ පළාත? ඒකට නමක් නෑ."
"එතකොට?"
"එතකොට එච්චරයි. මෝඩ ළමයා!"
ඇලිස්ට ඉන්පසුව ඇසිය යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවිය. කෙසේ වුවද ඇයට තමාගේ ගෙදර යාමට තදින්ම අවශ්‍ය විණ.
"මම ආපහු ගෙදර යන්නේ කොහෙමද?" ඇලිස් නැවතත් විමසුවාය.


එක්වරම දළඹුවා ඇඟිල්ල දික්කළේය. ඇලිස් සිතුවේ ඒ තමාට පාර පෙන්වනවා කියායි. එහෙත් ඒ අනුව ගමන් කළ ඇයට ඇස ගැටුනේ බිම වැටී ඇති කුඩා මංජුසාවකි. එය රනින් ඉතා පරිස්සමට වැඩදමා නිම කළ වටිනා භාණ්ඩයක් බව ඇයට පසක් විය. එහි අන්තර්ගතවී ඇත්තේ කුමක්දැයි දැනගැනීමට ඇය එය විවෘත කිරීමට පටන්ගත්තාය. එහෙත් ඇයට එය සාර්ථකව අවසන් කරගත නොහැකි විය. කොහේදෝ සිට පැමිණි සොල්දාදුවන් කණ්ඩායමක් ඇයව වටකර ගත. ඉන්පසුව සිදුවූ දෙය ඇයට දරාගත නොහැකිව ඇය සිහිසුන් වුවාය. 

නැවත සිහි එළඹෙන විට ඇය සිටියේ රවුම් ගොඩනැගිල්ලකයි. ඇලිස් කාමරය මැද වැටී සිටි අතර මිනිසුන් පිරිසක් ඇය වටකොට වාඩිවී සිටියහ. ඒ මිනිසුන් සාමාන්‍ය ප්‍රමාණය වඩා මිටි වූ අතර කුරුමිට්ටන් මෙන් දිස්විය.  ඒ අතරින් එක කුරුමිට්ටෙක් නැගිට්ටේය.
"අපි මේ එක්වෙලා ඉන්නේ යුක්තිය අඛණ්ඩව පවත්වා ගැනීමේ වැඩපිළිවෙලේ තවත් එක අදියරක් විදිහට. මේ අවස්ථාවේ අපට ලැබිල තියෙන්නේ බරපතල අපරාධකාරයෙක්. අපේ ජාතික ආරක්ෂාව සඳහා මේ අවස්ථාවේ හොඳින් ක්‍රියා කළ යුතු--" ඔහුට කියාගෙන යාමට ඉඩ නොදෙමින් බළලෙක් සභාවට ඇතුල්විය.

කලබල වූ කුරුමිනිසා ඉතා උස්වූ පුටුවක වාඩිවී සිටි රැජින දෙස බැලුවේය (රැජින අනෙක් කුරුමිනිසුන්ගෙන් වෙනස් වන්නේ ඇයගේ ඉතා විශාල ඔලුවෙන් පමණි). කෙසේ වුවද ඇය කලබල වුයේ නැත. බළලා හිමින් ඇවිදවිත් රැජිනගේ ඔඩොක්කුවට ගොඩ වී ඇලිස් දෙස බලා විරිත්තන්නට විය.
"අන්න අර පූසා හිනා වෙනවා." ඇලිස් පුදුමයෙන් කෑගවාය. 
"ඉතින්, ඒ අපේ රජගෙදර කවටයනේ." බළලාගේ ඔලුව අතගාමින් රැජින කිව්වාය."එහෙනම් අපිට කතාවක් කියන්න, පැටියෝ."
නැවතත් සිනාසුනු බළලා බිමට පැන තම කතාව ආරම්බ කළේය.
"ඔන්න එකමත් එක කාලෙක සින්ඩරෙල්ලා කියල කුමාරිකාවක් හිටියා, හරිම කඩවසම් ඒවගේම නිර්භීත. ඒ කාලෙම ජැක් කියල තරුණයෙකුත් හිටියා. එයා හරිම රූමත්, ලස්සන කියලවත් ලියලවත් ඉවර කරන්න බෑ. ඒ වගේම එයා අහිංසකයි වැඩට පලට දක්ෂයි. ඉතින් ඔන්න දවසක් සින්ඩරෙල්ලාට ජැක්ව මුණගැහිලා එයා ගැන සෑහෙන ආදරයක් ඇතිවෙනවා. ඉතින් ඒකට බයවුණු සින්ඩරෙල්ලාව බඳින්න හිටපු කුමාරයා ජැකට මරණ දඬුවම නියම කරනවා. අන්තිමට සින්ඩරෙල්ලා ඒ කුමාරයාව බැඳලා හැමදාමත් සතුටෙන් ජීවත් වෙනවා." 
බළලාගේ කතාවට සතුටු වුනු මිනිසුන් අත්පොලසන් දෙන්නට විය, සමහර ගැහැනුන් සතුටු කඳුළු පිසදන්නට විය.

මේ කිසිදෙයක අගක් මුලක් නොතේරුණු ඇලිස් පුදුමයෙන් බලා සිටියාය. රැජින නැවතත් කතා කරන්නට පටන්ගත්තාය.
"ඔහේට දැන් නිදහසට කරුණු කියන්න පුළුවන්."
"මම වරදක් කළේ නෑ..." තමා කුමක් කළේ දැයිවත් නොදත් ඇ කිව්වාය. 
"වරදක් කළේ නෑ? ජාතික මංජුසාව හොරකන් කළේ නෑ කියලද ඔහේ කියන්නේ? ඒ වුණාට අපිට සාක්ෂිත් ලැබුන අර දළඹුවගෙන්. දැන් කරන්න දෙයක් නෑ තීරණය ලබා දීල ඉවරයි. මේ ළමයා කරල තියන වැරැද්ද අනුව ලැබෙන දඬුවම අවුරුදු එකසිය එකොළහක් අතුරුදහන් කරලා තියන එක." රැජින කෲර ලෙස කියාගෙන ගියාය.
"මෙයාව අරන්යන්න, නඩුව ඉවරයි." රැජින සොල්දාදුවන්ට අණ කළාය.
ඇලිස්ට අවනත වනවා හැරෙන්නට කරකියාගත දෙයක් නොවීය. සොල්දාදුවන් 'විත් ඇයව කැඳවාගෙන ගියේ ඇලිස්ගේ කෑගැහීම මැද්දෙයි. සබාවේ මිනිස්සු සතුටින් විසිර ගියහ.

෴නිමි

Saturday, September 3, 2011

මටත් සම්මානයක් ලැබෙයිදෝ


ලොකු සද්දයක් දාගෙන
රතු පලසක් උඩින් ඇවිදගෙන
දෙලොවටම  වැඩක් නැති 
කතාවක් පවත්වාගෙන
සම්මානයක් ගන්න 
මමත් හරි ආසයි

පැපරාසි පස්සෙන් එද්දී
පත්තරෙන් සාකච්චා තියද්දි
රසිකයන්ට අත්සන් දෙද්දී 
සම්මානයක් ගන්න 
මමත් හරි ආසයි

සම්මානයක් එක්ක
ලොකු වටිනාකමක් 
වටිනාකමත් එක්ක 
ලොකු බලයක්
බලයක් එක්ක
ලොකු ශක්තියක් 
එතකොට මම
මම, මම, මම
හැමෝටම ඉහලින් 

සුළඟට පාවෙන මළ කොළයක් නොවී
රූස්ස ගහක පිපුණු මලක් වෙන්න 
වේලුනු පොළවට ලා පොද වැස්සක්
ගොළු වුණු සිතට ආදර සිනහවක් 

අනේ මටත් ආසයි 

සම්මානයක්,
මටත් සම්මානයක් ලැබෙයිදෝ!