Tuesday, September 6, 2011

සෙන් කතා තුනක්


මේ තියෙන්නේ හොඳම සෙන් කතා තුන නෙමෙයි, හැබැයි මේවා විශිෂ්ටයි කියල කියන්න නම් මම පසුබට වෙන්නේ නෑ. සමහර විට මේ සෙන් කතා දන්නවත් ඇති, අහලත් ඇති. ලාංකික ජනකතාවල, පංචතන්ත්‍රයේ, බෞද්ධ සාහිත්‍යයේ, ඊසොප්ගේ උපමා කතාවල, නස්රුදීන්ගේ කතාවල ආදියේ යම් යම් සමානකම් තියනවා. සෙන් කතාවලින් එක්තරා අතීතකාමී රසයක් දැනෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති. කොහොම වුනත් මේ කතා උපුටා ගන්නේ අනුරාධ මහසිංහගේ 'පිනි බිඳක පුරසඳ' පොතෙන් (උපුටගන්නේ අහලනම් නෙමේ හැබැයි, ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල හිතනවා). හරි එහෙනම් කියවලම බලන්න. 

 හෙලවෙන්නේ කුමක්ද?

 සුළඟෙහි ලේලෙමින් තිබු කොඩියක් ගැන දෙදෙනෙක් වාදයක පැටලී සිටියහ. 
 "ඇත්තටම මේ සෙලවෙන්නේ හුලඟයි, කොඩිය නෙවෙයි." එක් අයෙක් කීය. 
 "නැහැ, හෙලවෙන්නේ කොඩියයි." අනෙකා වාද කළේය. 
 එතනින් යමින් සිටි සෙන් හිමි නමක් වාදයට බාධා කළහ.
 "දරුවනේ, හුළඟවත් කොඩියවත් නෙමෙයි නුබලගේ හිතයි සෙලවෙන්නේ..."

****** 

 ශුන්‍යතව හා කෝප්පය

 තරුණ සෙන් සිසුවෙක් වූ යමොකෝ ටෙෂු, විවිධ ගුරුවරු වෙත ගොස් අවසානයේ ගොතොකු'හි දොකුඔන් හිමි වෙත පැමිණියේය. තම කැපවීම හා උද්‍යෝගය ප්‍රකට කරනු සඳහා ඔහු මෙසේ කීය.
 "අවසානයේදී මනස, බුදුන් සහ සියලු සචේතනික වස්තුන් කිසිවක් පවතින්නේ නෑ. සංසිද්ධිවල සැබෑ ස්වභාවය තමයි ශුන්‍යතාව. කිසිඳු අවබෝධ කරගැනීමක් නැහැ. ආර්ය හෝ අනාර්ය බවක් නැහැ. දීමට හෝ ගැනීමට කියා දෙයකුත් නැහැ..." දොකුඔන් හිමි නිහඬව තරුණයාගේ කතාවට කන්දී සිටියේ පයිප්පයෙන් දුම් උරමිනි. ඒ කතාව අවසන් වූ පසුව හෙතෙම තම පයිප්පය තරුණ සිසුවා වෙත වරෙන් දමා ගැසුවේය. යමොකෝ ටෙෂු එයින් තදින් කිපුනේය. 
 "කිසිවක් නැතිනම් ඔය කේන්තිය ආවේ කොහෙන්ද?" දොකුඔන් හිමි විචාළේය. 

******

 හෙට දවස

 ජපන් යුද සෙබළෙකු තම සතුරු හමුදා කණ්ඩායම අතට හසුවී සිරගත විය. එදින රාත්‍රියේ ඔහුට නින්ද කර එළැඹීම ඉතා අපහසු කටයුත්තක් විය. පසු දින කෙරෙන ප්‍රශ්න කිරීම්, එයින් නොනැවතී කෙරෙන තර්ජන, පහරදීම් ආදිය ගැන සිතද්දී ඔහුගේ සිත සැලෙන්නට පටන්ගත. එක්වරම ඔහුට සෙන් භික්ෂුවකගේ වදන් කිහිපයක් සිහිවූයේ අහම්බෙන් මෙනි. "හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..." එයින්ම සෙබළා සුවයෙන් නිදාගත්තේය.

13 comments:

  1. "හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..."

    මේකනම් තදින්ම හිතට වැදුනා යාළුවා..

    ReplyDelete
  2. හ්ම්... අද මිස හෙටක් කොයින්ද?
    මැණික්

    ReplyDelete
  3. @Dinesh: එහෙනම් සතුටුයි යාළුවා.

    @මැණික්: හෙට කියන්නේ අදට ලැබෙන ප්‍රතිපලයනේ.

    ReplyDelete
  4. මමත් සෙන් කතා ගොඩක් කියවල තියෙනව.
    අනෙක් ඒවට වඩා මේව වෙනස් වෙන්නෙ අධ්‍යාත්මික ස්වභාවය මූලික කොටගෙන තියෙන නිසයි.

    ReplyDelete
  5. "හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි"

    මේක ප්‍රින්ට් කර මූණ තියාගෙන ඉන්න තැනට ඉස්සරහින් අලව ගත්තා

    ReplyDelete
  6. @Outsider: ඇත්තෙන්ම, ඒවායේ අනන්‍යතාවය නිසාමයි මමත් ඒවාට වඩා කැමතිත්.

    @ජීවිතේ මල්: :D

    @Chanuka: ඇත්තටමද ඔය? හොඳයි හොඳයි, ඒවගේම සතුටුයි.

    ReplyDelete
  7. ඇත්තටම කළා
    මම චානුක නෙවෙයි chanaka

    ReplyDelete
  8. @Chanaka: සමාවෙන්න චානක, වැරදීමට.
    එහෙම උත්තේජනයක් දෙන්න ලැබීම ගැන මට සෑහෙන්න සතුටුයි. :)

    ReplyDelete
  9. සිතේ දුක හෝ සතුට ඇති වෙන්නෙ එක්කො අතීතය ගැන හිතල එහෙම නැත්තන් අනාගතය ගැන හිතලා ආනාපානසතිය වගේ සමථ භාවනා වලදි කරන්නෙ සිත වර්තමානයේ රඳවා තබා ගැනීම

    ReplyDelete
  10. @Chanaka: ඔව් ඇත්තෙන්ම. භාවනාවේ මුලික අදියරත් මේ මොහොතේ ජීවත්වීමයි.

    ReplyDelete
  11. මමත් ගොඩක් ආසයි සෙන් කතා කියවන්න.ස්තූතියි මේව අපිත් එක්ක බෙදාගත්තට.

    ReplyDelete
  12. @නදී: කියවන්න ආසා දෙයක් ලියන්න ලැබුණු එක ගැන සතුටුයි.

    ReplyDelete