Monday, December 12, 2011

නරකය යනු දෘෂ්ටිකෝණයක් පමණි | Evil is a Point of View


සංදර්ශනයට තව විනාඩි පහ යි. කණ්ණාඩිය ඉදිරියට වෙලා මුණේ පාට තවරමින් හිටියේ අද සෙනඟ කොච්චර ඇවිත්ද කියල හිතන ගමන්. පහුගිය කාලේ තිස්සෙම මේ සර්කස් බලන්න එන අය ටිකෙන් ටික අඩු වුණා. දැන් කුඩාරම පිරෙන්න මිනිස්සු එන්නේම නැති තරම්. අපිට හිනාවෙන පොඩිත්තන්ගේ හිනා හඬ අහන්න අපි කොච්චර ආසද, වඩාගෙන හුරතල් කරන්න, සීනි බෝලයක් ටොපියක් දීල සතුටු වෙන්න. එහෙමත් කාලයක් තිබුණා. දැන් කාටවත් සර්කස් ඕනේ නෑ. දැන් සමහරුන්ට සර්කස් කියන්නේ මොකද්ද කියලත් අමතක යි.

"ලෑස්තිද? බය වෙන්න ඕනේ නෑ. කවුරුත් දන්නේ නෑනේ." මගේ සගයෙක් ඇවිත් පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.
"නෑ. මම කලබල වෙලා බෑ"
"ඔව්, අපි කළේ වැරද්දක් නෙවෙයිනේ"

සර්කස් එක තියන ඉඩමේ අයිතිකාරයා මැරුණට පස්සේ ඉඩම බාර වෙලා තියෙන්නේ බැංකුවකට. ඒ බැංකුවෙන් නියෝජිතයෙක් එව්වා ඉඩම බාරගන්න බව දැනුම් දෙන්න. අපි අවුරුදු ගානක් ඉඳන් හිටියේ මෙතන. ඉඩමේ අයිතිකර මහත්තයා කවදාවත් අපිව එලවගත්තේ නෑ. අනේ ඒ මනුස්සයට කොහොම ස්තුති කරලා ඉවර කරන්නද. තමන්ට යන්න එන්න තැන නැති වුණහම කාටත් වෙනවා වගේ අපිත් කම්පා වුණා, දුක්වුණා, අනාගතය ගැන තවතවත් බය දැනෙන්න ගත්තා. අපිට ලබා දුන්නේ සති දෙකයි. ඒ බැංකු නියෝජිතයත් නරක එකෙක් නෙමේ. රාජකාරියනේ, කරන්න වෙනවනේ අකමැති වුණත්.

මම තවත් පව්ඩර් ටිකක් මුනේ ගාගත්තා. ඇස් වටේට රතු කළු පාටින් ලොකු රවුන් දෙකකුත්, කට මැදිවුණු රතු පාට ලොකු හිනාවකුත් ඇඳගත්තේ පුරුදු විදිහටම යි. හැමදාම වගේ මම මම නොවී වෙන ලෝකෙකින් ආපු විහිළුකාරයෙක් වෙලා හිටියා. පොඩි ළමයි ආදරය කරන, වැඩිහිටියෝ බයවෙන තාලේ කෙනෙක්. බොරු කොන්ඩෙත් එක්කම තියෙන තොප්පියයි, බැලුන් බෝල ටිකයි ගත්තම මගේ පෙනුම සම්පූර්ණයි. එතකොට මට විහිළුකාරයට ආරෑඪ වෙලා හැමෝවම සතුටු කරන්න පුළුවන්, හැමෝවම.

මිනිස්සු ප්‍රශ්න ඕනෙවට වඩා ඔලුවට ගන්නවා වැඩියි. සමහර ප්‍රශ්න ආයේ හිතල බැලුවහම ඇත්තටම ප්‍රශ්නත් නෙමෙ යි. මම නම් හිතන්නේ මිනිස්සුන්ව ජීවත් කරවන්නේ ප්‍රශ්න. සමහරුන්ට ප්‍රශ්නයක් නැත්තම් නින්ද යන්නේ නෑ. සරල කම කියන එක නිකම්ම වචනයක් වෙලා. උවමනාවෙන්ම තමන්ගේ වැඩ වැඩි කර ගෙන වෙලාව නෑ කියා කියා බොරුවට දුක්වෙන එක තරම් විහිළුවක් තවත් නෑ. ඔය වගේ මිනිස්සුන්ගේ හිනා යන වැඩ කොච්චර තියනවද. ඒවා මිනිස්සු තේරුම් ගන්නවා නම් මට මෙහෙම අමුතුවෙන් විහිළුකාරයෙක් වෙන්න ඕනේ නෑ. නිරායාසයෙන්ම මිනිස්සුන්ට සතුට ළඟා වේවි. ඔය කොයි දේ කිව්වත් සමහරු සල්ලි ගෙවල හිනාවෙන්න උත්සහ කළත් බැරි අයත් ඉන්නවා. ඒ මිනිස්සුන්ට නම් මොනවා වෙලාද මන්ද. එක්කෝ හිනාවෙන්න උවමනාවක් නැතිකම. නැත්තම් හිනාවට තියෙන බය. ඔව් සමහර මිනිස්සු හිනාවට බය යි.

මට අර බැංකු නියෝජිතට වුණ දේ ගැන දුකයි, ඇත්තටම. ඒත් මට කරන්න දෙයක් නෑ. සමහර වෙලාවට එක හොඳ වැඩක් නිසා නරක ප්‍රතිපලයක් ලැබෙන්න පුළුවන්. හරියට ආත්ම ආරක්ෂාවට තවත් කෙනෙක්ව මරණවා වගේ. එතකොට කෙනෙක් මරන්නේ අපිට ජිවත් වෙන්න හින්ද එක වැරද්දක් නෙමෙ යි. නැත්තම් රට වෙනුවෙන් යුද්ධ කරනවා වගේ. අපි හතුරෝ මරන්නේ නොමරා රට බේරගන්න බැරි හින්දනේ. මේකත් ඒවගේ තම යි. අපි අවුරුදු ගානක ඉඳල ජීවත් වෙන, සල්ලි හොයාගන්න තැන දාල කොහේ යන්නද. දැන් ඉස්සර වගේ හිස් ඉඩකඩන් ඇත්තෙත් නෑනේ. අනික අපිට ඉඩන් ගන්න එච්චර සල්ලි කොහෙද. අපිට උදව් කරන්නේ කව්ද. අපි මිනිස්සුන්ව හිනැස්සුවට අපිට හිනාවෙන්න අවස්ථාවක් දෙන්නේ කොයි මිනිහද. මම සටන් කළා, ඔව් රට වෙනුවෙන් සටනට ගිය සොල්දාදුවෙක් වගේ. මම රණවිරුවෙක්, මම අපේ කණ්ඩායම වෙනුවෙන් යුතුකම් ඉටු කළා. ඉදිරියත් එහෙමයි. මම දන්නවා මේ අවසානය නෙවෙයි, ආරම්බය.

අපේ කණ්ඩායමේ අය මට දැන් කලින්ටත් වඩා ගෞරව කරන්නේ මම වීරයෙක් හින්ද. හැමෝම වගේ මමත් මගේ ගුණ කියනවට කැමති යි. ඉතින් එහෙම සලකන කොට මම ආඩම්බර වෙනවා. සතුටු වෙනවා. අපේම උන් වෙනුවෙන් මැරෙන්න වුණත් හිතෙන තරම් ශක්තියක් එන්නේ කොහෙන්ද මන්ද. සර්කස් බලන්න එන බාහිර මිනිස්සුන්ට මම විහිලු කාරයෙක් විතරයි. ඒත් කමක් නෑ. ඒ මගේ වෘතිය, මේ මගේ ස්වභාවය.

"යමු, දැන් වෙලාව හරි" මගේ සගයා කුඩාරමට ඔලුව දාල කිව්වා.

මම නැගිට්ටේ ඇඳුම් පැළඳුම් වල වැරදි හදන ගමන්. සර්කස් එක තියෙන ලොකු කුඩාරම පිරෙන්නම නැතත් සෑහෙන සෙනඟක් ඇවිත් හිටියා. ඒක ඇහැට කඳුලක් ගේන සතුටක්. හැම තැනම ආලෝකය විහිදිලා දිලිසුනා. ආයේ හැමදේම පරණ තලෙටම ඇවිත් කියල කෑගහලා උඩ පනින්න තරම් සතුටක් ඇති වුණේ පොඩිත්තන්ගේ හිනා කටවල් දැක්කහම. ඒක මගේ හිතේ තිබුන හැම සැකයක්ම, හැම දුකක්ම නැතිවෙන තාලේ හැඟීමක්. මම අපරාධකාරයෙක් නෙමේ, මම වීරයෙක් මම මටම කියාගත්තේ සියවෙනි වතාවට.

"සර්කස් එකට පැමිණි සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා!" අපේ සර්කස් එකේ නායක තුමා හැමෝටම ඇහෙන්න කිව්වා.

8 comments:

  1. මම හිතන්නෙ ඔයා හරි! හොඳයි නරකයි කියන්නෙ හදාගන්න දේවල් විතරයි!

    ReplyDelete
  2. තවත් අමුතුම මාදිලියක කතාවක්. හොඳ නරක දෙක එකම කාසියක දෙපැත්ත වගේ නේද?

    ඔව් ඉතින් බලන විදිය තමයි. මට හරිදේ තවත් කෙනෙකුට වැරදි වෙන්ට පුලුවන්.:)

    ReplyDelete
  3. මේකට කියන්නෙ සාධාරණවාදය කියල. ඕනම දෙයක් අදාල සන්දර්භයෙදි අතිශය සාධාරණයි.

    ReplyDelete
  4. වර්ණ රූ රටා මුසු කරගෙන ජීවිතයට
    පාට පාට සිහින ලොවක සිරියාව අරගෙන
    මම තවම නුඹ එනකම් සැණකෙළිය අභියස
    සිනහ තවරන්න විඩාබර ඔබේ හදවතට..

    ReplyDelete
  5. කෝ මේ හිරණ්‍ය???

    ReplyDelete
  6. @තනි අලියා: හ්ම්ම්, හොඳයි නරකයි විතරක් නෙමේ ඕනෙම දෙයක් හදාගන්නේ හිතෙන් කියලත් කිව්වැකි.

    @Kumarihami: ඉන්නවා, ටිකක් අසනීප වුණා. හොයල බැලුවට ස්තුතියි. :)
    ඒකනේ හොඳ නරක බොහෝවිට (හැමවෙලාවෙම නෙවේ නම්) සාපේක්ෂයි.

    @hare: "නරකය යනු දෘෂ්ටිකෝණයක් පමණි" කියල මම අදහස් කළෙත් ඔබ කියන සාධාරණවාදයම වෙන්න ඕනේ.

    @Dinesh: කවි පිළිතුරට ස්තුතියි යාළුවා.

    ReplyDelete
  7. අමුතුම විදිහේ කතාවක්. මට මේ කතාවෙ බැංකු නිළධාරියාට උන දේ හිතාගන්න අමාරුයි. මගේ වටහා ගැනීමේ අඩුපාඩුවක් වෙන්න ඕන.

    ReplyDelete
  8. @හංසි: මෙහෙම කියන්නම්, මේ කතාව කියන්නාගෙන් බැංකු නියෝජිතයාට බරපතල වැරද්දක් වෙලා.

    ReplyDelete