Monday, October 17, 2011

ජනකතා හා පොලිටික්ස්



"කොටි වලිගේ අල්ල ගත්තා වගේ" යන කියමන අපේ කටවහරේ පවතිනවනේ. මේ ප්‍රස්ථාව පිරුළ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ ගැලවෙන්න අමාරු කරදරයක් සම්බන්ධයෙනුයි. ඒ පිරුළ අපි අතරට එන්නේ කතාවකින්. මට මතක විදිහට ඒ කතාව මෙහෙමයි.

ඔන්න දවසක් වෙළෙන්දෙක් වෙළදාමේ ගිහින් ආයේ ගමට එමින් හිටියා. ගමට යන පාර වැටිලා තියෙන්නේ කොටි වලස්සු එහෙම ඉන්න ඝන කැලෑවක් මැදින්. ඉතින් වෙළෙඳ ඔහොම කැලේ මැදින් යද්දී කොටියෙක් කුරුමානම් අල්ලමින් වෙළෙන්දා පස්සෙන් ගියා. ඒ බව වටහා ගත් වෙළෙන්දා කොටිය පනිද්දීම බේරුනේ කොටියාගේ වලිගේ එල්ලිලා. වෙළෙන්දාගේ වැඩෙන් කොටිය හොඳටම කලබල වෙලා දුවන්න පටන්ගත්තා. තමන් කරපු වැඩේ තමන්ටම හිතාගන්න අපහසු වුණු වෙළෙන්දා කොටියාගේ වලිගේ අතාරින්න බයවුණා. දැන් ඔහොම කොටියා මෙලෝ සිහියක් නැතිව දුවද්දී වෙළෙන්දා ගාව තිබුණු සල්ලි කාසි මල්ල ඉරිලා කාසි එකින් එක වැටෙන්න පටන් ගත්තා. ඔහොම ටිකක් දුර යද්දී ගැමියෙක් මේ සිද්ධිය දැක්කා.
"මොකද බොල මේ?" ගැමියා කෑගහල ඇහුවේ පුදුමයෙන්.
"ආ,,, මේ කොටියා නිධානයක්. මුගේ නැට්ටේ එල්ලිලා යද්දී සල්ලි මතුවෙනවා!" කපටි වෙළෙන්දා උත්තර දුන්නා.
අනේ මේ නූගත් ගැමියා මේ කතාව ඇත්ත කියල පිළිගත්තා. ඇයි ඉතින් කියපු විදිහටම සල්ලිත් පාර දිගට වැටිලානේ. ඉතින් ඒ මිනිහටත් ඕනේ වුණා කොටියාගේ නැට්ටේ එල්ලිලා සල්ලි හොයාගන්න.
"අනේ ඕයි මටත් ටිකක් ඔය නැට්ට දෙනවකො" ගැමියා යෝජනා කළා.
"පස්සේ බලමු..." වෙළෙන්දා බොරුවට ගණන් ඉස්සුවේ ගැමියාගේ විශ්වසේ තවත් වැඩි කරන්න.
"අනේ..." ඒපාර ගැමියා පින්සෙන්ඩු වුණා.
"හා හා අල්ලගන්නවකෝ එහෙනම්."
ඔන්න ඉතින් කොහොම හරි වෙළෙන්දා අල්ල ගත්ත කොටි නැට්ට ගැමියාට දුන්නා. වෙළෙන්දා උගුලෙන් ගැලවුණා, තමන්ගේ සල්ලි ටිකත් අහුලාගෙන ආයේ ගමට යන්න ගත්තා.

පහුගිය ඡන්ද දවසේ මහපාරේ මිනිස්සු ඉස්සරහම දේශපාලකයෝ මීනිමරාගත්තට පස්සේ විවිධ පුද්ගලයෝ එක එක විදිහේ කතා කිව්වනේ. මේ තියෙන්නේ මම අහපු දැකපු කතා කිහිපයක්. 

"මළ එකත් එකයි, මැරෙන්න ඉන්න එකත් එකයි. අවිගත්තෝ අවියෙන්ම නැසෙති!"
"මැරෙන්න ඕනේ එකා නෙමෙයි මළේ. අර ඉස්පිරිතාලේ ඉන්නවා ඇත්තේ බොරුවට. තව ටික දවසකින් වැඩිපුර බෙහෙත් කරන්න කියල රටිනුත් පනියි."
"මැරුණට පස්සේ විතරක් ඇයි මිනිස්සුන්ගේ හොඳ පෙන්නේ?"
"මහා කුඩ්ඩා තුවාල වෙලා හින්ද පොඩි කුඩ්ඩො හරි අමාරුවෙන් ඇත්තේ..."
"එක්ස් රේ එකේ පේන වෙඩි උණ්ඩය, උණ්ඩයක් නෙමේ ඒ උගේ මොලේ!"
"අනේ කෙල්ලේ මේ පොලිටික් මඩවලට නම් නාවට කමක් නෑ"
"ඔය හැම දේටම වග කියන්න ඕනේ ලොක්ක තමයි. වැරදිකාරයා මුළු රටම දැන දැනත් තාම කිරි පොවන හැටි."
"මුන් ලොක්කට බනින හැටි ලජ්ජා නැතිව, රට නිදහස් කරගත්ත මේ මහා නායකයා රටෙන් කෑල්ලක් කෑවත් මොකෝ."
"උනුත් එකයි, මුනුත් එකයි, ඡන්දේ දෙන අපිත් එකයි. මේ ක්‍රමය වෙනස් වෙන්නේ කවද්ද..."
"අතීතය නැවත නැවතත් සිදුවේ."

මේ කතා කියන හැමෝම වාසි බලාගෙන කොටි වල්ගයක් අල්ලාගෙනද? නැත්තම් මේ කතාව ලියන මම කොටි වල්ගයක් අල්ලගෙනද? නැත්තම් හැමෝම එකතු වෙලා නොදැනීම අල්ලාගෙන තියෙන්නේ එකම කොටියාගේ වල්ගයද? ලැබෙන්නේ නැති දේවල් පස්සේ ගිහින් කොටි වල්ගයක් අල්ලාගත්තේ අපි හොඳටම රැවටිලා හින්දද, නැත්තම් රැවටිලා කියල දැන දැනත් එල්ලිලා ඉන්නේ අත ඇරියොත් කොටියා කාවි කියන බයටද, එහෙනම් ඇයි කොටියා කියල දැන් දැනත් වලිගේ අල්ලාගත්තේ...

7 comments:

  1. කවුරුත් අල්ලගෙන ඉන්නෙ එකම කොටියා නෙවේ. විවිධ කොටි. හැබැයි එකෙක්ගෙවත් ලොකු වෙනසක් නෑ.

    ReplyDelete
  2. කොටි වල්ග කතාව අහල තියෙන්නෙ නම් ටිකක් වෙනස් විදිහට...

    මාත් කොටි වල්ගයක් අල්ල ගත්තදෝ කියල හිතෙනව දැන්නම්... ;)

    ReplyDelete
  3. ඔය දේශපාලන මාතෘකාව නම් දැන් තිත්ත වෙලා තියෙන්නේ...

    ReplyDelete
  4. මේ දේශපාලන කොටි වල්ගය.. එකින් එකට වෙනස් නමුත් ප්‍රතිඵලය එකම තමයි....

    ReplyDelete
  5. අපි හැමෝම වල්ගෙ පාගගෙන ඉන්න එකනම් ෂුවර් ;-)

    ReplyDelete
  6. කොටි වලිගෙ එල්ලෙන එකෙත් හෙණ ආතල් එකක් තියෙනව සමහරුන්ට. උන්ගෙ ආතල් එක දැකල අනෙක් එවුනුත් අල්ලගන්නව. ඒත් ඒ ආතල් එකේ තියෙන චාටර් එක දකින්න කාටවත් අවශ්‍ය නෑ.

    ReplyDelete
  7. @රාජ්: ඔව්, එක එක කොටි අල්ලාගෙන. ඒ වගේම ලංකාවේ මේ කියන දේශපාලනයත් එක්තරා විදිහක කොටියෙක් තමයි.

    @සාතන්: අපි හැමෝම වලිග අල්ලාගෙන නේන්නම්. අනිත් කතාව මොකද්ද බං? මම අහල නෑනේ...

    @Chamma: එපා වෙන්නේ නැද්ද මේ වෙන වැඩවලට...
    මටත් එකම දේ මඩේ දදා හෝදන්න ඕනේ නෑ. ඒත් මේ පැල්ලම් ලේසියෙන් යන්නෙත් නැහැනේ.

    @Dinesh: ඒකනේ, අන්තිමට යන්නේත් නෑ ඉන්නෙත් නෑ.

    @hare: වලිග අල්ලගන්නවා මදිවට වලිග පාග ගත්තහම කොහොමට හිටීවිද...

    @Outsider: සමහර උන් චාටර් කියල දන්නවා, ඒත් ඔහේ ඉන්නවා මොනවහරි ලැබේවි කියල හිතාගෙන. නැත්තන් චාටර් එකම ආතල් එකක් කරගන්නවා.

    ReplyDelete